Sunday, March 25, 2018

මනුසත්තුන්ට ගොදුරක් විය අප්පච්චි.......

- බන්ධුල සිසිර කුමාර -



ඔබ, ඔබ ගැන මඳක් මේ අන්දමින් සිතා බලන්න.

ඔබ ඔබගේ ජීවන අරගලය තුල නිමක් නොමැති ගැටළුවලට විසඳුම් සොයමින් දිවා රෑ දෙකෙහි හෙම්බත් ව සිටිනවා. මේ අතර කිසිවකු පැමිණ ඔබගේ දේපළ විනාශ කර දමනවා. ඔබට පහර දෙනවා. නැත් නම් ඔබ මරා දමනවා. ඒ ඔබ අතින් සිදු වූ කිසිදු වරදක් නිසා නොවෙයි. ඔබ කිසියම් ජන වර්ගයකට අයත් වීම නිසා.

මේ මොන තරම් නම් ක්‍රෑර, දුෂ්ඨ, අමානුෂික ක්‍රියාවක්ද?

මා සියලු ම ආකාරයේ ජාතිවාදී ගැටුම් අතිශයින් පිළිකුල් කරන්නේ මේ නිසයි.

2009 අවසන් වූ තිස් වසර තුල අපේ රටේ ඈත ගම් දනව්වල විසූ අහිංසක ජනතාව මේ ආකාරයෙන් ම සිංහල වීම නිසා (සමහර ස්ථානවලදී, මුස්ලිම් වීම නිසා) නිරපරාදේ මරණයට ගොදුරු වූවා. බෙදුම්වාදීන්ගේ සිහින රාජ්‍යයේ සීමාවන්ට යාබද ව තිබූ, එම නිසා මායිම් ගම්මාන ලෙස නම් කෙරුණු එම ගම්වල වැසියන් මුහුණ දුන් ගැටළු ද ඔවුන්ගේ සමස්ත ජීවන අරගලය ද, අද බ්ලොග් කියවන ඔබ ද මා ද මුහුණ දෙන ගැටළුවලට වඩා බෙහෙවින් කටුකයි. එසේ දිවා රෑ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරන ඔවුන්, රාත්‍රි අඳුර තුල සැඟව එන මාරයන් විසින් කපා කොටා මරා දමන ලද බව, ගෙවල් දොරවල් ගිනි තබා දමන ලද බව, පැති බෝම්බයකට හසුව බසයක යද්දී මළ බව කියැවෙන පුවත්වලින් එකල දිනපතා හා සතිපතා පුවත්පත් පිරී ඉතිරී තිබුණා. එසේ මරා දැමුණු මිනිසුන්ගේ, වියපත් ඇත්තන්ගේ, දරු පැටවුන්ගේ, ගැබිණි මව්වරුන්ගේ, අතදරු මවුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගෙන දිනක් කවදා එළැඹෙනු ඇති ද? 

මේ සිදු වීම්වල වේදනාව වරින් වර විවිධ කලා කෘතීන් බවටද පෙරලුනා. මෙම බ්ලොගයෙහි මගේ අඳුරු මතකය නමැති ලිපියෙහි විස්තර කෙරෙන්නේද එවන් එක් ගීත නිර්මාණයක් ගැනයි.

අදට වසර 23 කට පමණ එපිට දී සංගීතවේදිණී නන්දා මාලිනී මහත්මිය විසින් නවමු ආරක කටයුත්තක් සිදු කරනු ලැබුවා. එතෙක් කරලියට ඒමට වරම් නොලද, දිවයිනේ විවිධ පෙදෙස්වල සිටි ගේය පද රචකයන්ගේ නිර්මාණ එකතු කර ගීත කැසටයක් එළි දැක්වීමයි ඒ. අරලිය ලන්ද නමින් නම් කර තිබූ එම ගීත එකතුව සඳහා තෝරාගෙන තිබූ ගේය පද රචනා සියල්ල ම ඉතා ඉහළ මට්ටමේ පැවතුනා.

එම ගීත සමුච්චය එළි දැක, දශක දෙකකටත් වඩා ඉකුත් ව ගොස් තිබුණ ද එහි වූ සමහරක් නිර්මාණ දැනුදු හද සසල කරවන සුළුයි. එබඳු එක් ගීතයකින් කියවෙන්නේ ඉහතින් දැක්වූ ආකාරයේ වේදනාකාරි සිදුවීමක්.

ගතේ හා හිතේ වීරියෙන් මහ පොළොව සමග ඔට්ටු ‍වෙමින් සිය දරු පවුල රැක බලා ගෙන, මායිම් ගම්මානයක ජීවත් වූ පියෙක්. නියඟින් බව බෝග විනාශ වී යද්දීත් දරු පැටවුන් කුස ගින්නේ නොතබා කෙසේ හෝ දරු පැටවුන්ගේ කුස පිරවූ පියෙක්.


සූරිය උදා වුනු ගෙපැලේ පෙර දාක
යෝද ඇලේ වීරිය වූ අප්පච්චී
කුරක්කනේ නියඟෙන් ඇවිලුණු කලට
මඩු කොකු මිටක් වත් වූවයි අප්පච්චී


මව ද ජීවතුන් අතර නොමැති පසුබිමක, දරුවන් වෙත මවකගෙන් ලැබිය යුතු ආදරය, රැකවරණය ආදි සියල්ල ද ලබා දෙමින් සිය දරුවනට මව ද පියා ද වන්නේ ඔහුයි. හරි හමන් අධ්‍යාපන පහසුකමක් නැති ඒ ඈත වන්නිකරයේ සිය දරුවන්ට හැකි පමණින් වත් අධ්‍යාපනය ලබා දුන්නු බව මෙන් ම, දැනුමෙන් හීන ඒ අන්ධකාර සමාජයේ ඔහු ස්වල්ප වශයෙන් හෝ දැන උගත්කමක් ඇතිව හුන් බව ගීතයේ දෙවන කොටසින් කියැවෙනවා.


මව් නැති දොහේ නෙත ඉතිරූ කඳුලකට
අම්මා වෙලා දුක් ගත්තයි අප්පච්චී
ශිල්ප නොලද වන්නියෙ මහ කළුවරට
මී තෙල් පන්දමක් වූවයි අප්පච්චී


එබඳු වූ දුක්ඛ දෝමනස්සයන් දරා හිඳිමින්, අනන්ත අප්‍රමාණ වෙහෙස විඳිමින් සිය දරුවන් වෙනුවෙන් සිය ජීවිතම කැප කර සිටි ඔහු ලේ පිපාසිත අමනුස්සයන් විසින් බිලි ගැනීම අහස පොළොව උහුලා සිටින අපරාධයක්ද?


මායිම් ගමේ ගිනිගත් මිනිසත් කමට
උන්ට මුන්ට මැදිහත් විද අප්පච්චී
සීපා සතා තරමට බය දෙන හිතට
මනු සත්තුන්ට මැදිහත් විද අප්පච්චී
අප්පච්චී....


ප්‍රවීණයන් ලෙස එවකට ප්‍රසිද්ධියට පත්ව නොසිටි නිර්මාණශිල්පීන් අතින් බිහි වුව ද මෙම ගීත සමුච්චයේ වූ ගීත ඉතා ඉහළ ප්‍රමිතියක වූ බව මගේ හැඟීමයි. පිටු ගණනාවක් පුරා ලිවිය යුතු කතාවකින් දනවන හැඟීම් හා රස භාවයන්, ඉතා අල්ප වචන සංඛ්‍යාවක් යොදා ගනිමින් සහෘදයා තුල ප්‍රතිනිර්මාණය කිරීම ම මෙහි ගේය පද රචනය කළ සේපාලි ආටිගල ගේ ප්‍රතිභාව විදහා දක්වන්නක්. එසේම, බහු අරුත් දනවන උපමා රූපක භාවිතා කර ඇති ආකාරයත් විශිෂ්ටයි. 

හිරු උදාවක් පිළිබඳ හැඟීමක් ජනිත කරවන සංගීත ඛණ්ඩකින් ඇරඹී අනතුරු ව රාත්‍රි අන්ධකාරය තුල හිඳ ගැයෙන බවට ඉඟියක් දෙන, මේ ගීතයේ අපූර්ව සංගීත නිර්මාණය කර තිබෙන්නේ සරත් වික්‍රම. 

මෙම සබැඳිය ඔස්සේ ඔබට ගීතය රස විඳිය හැකියි.

























 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...