Friday, August 17, 2018

නැතුවම බැරිද...?

-බන්ධුල සිසිර කුමාර-



නන්නාඳුනන කෙනෙකු වරක් මගේ මිතුරකුගෙන් ඇසුවා ඔබ කාගේ කවුද කියා.කුඩා කල සිට දෙමාපියන් අහිමි ව ළමා නිවාසයක හැදුණු ඔහු තම දෙමාපියන් හෝ උපන් ගම ගැන දැන සිටියේ නෑ.මගේ නෙතට කඳුලු නැංවූ ඒ සිදුවීම මට මතක් වූයේ වෙනත් දෙයක් ගැන කල්පනා කරද්දියි.


වෙනත් අයකුට තමන් ගැන හඳුන්වා දීම ට නම් අප පළමු ව කොට අපගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් කවුරුන්ද යන්න දැන සිටිය යුතු වෙයි. සීයලා ආච්චිලා ගැන හා අනෙකුත් නෑදෑයන් ගැන දැන සිටීමත් බොහෝ වැදගත් විය හැකියි. පරපුරෙන් අපට උරුම විය යුතු දේවල් ඇත් නම් ඒවා ලබා ගැනීමටත් මේ දැනුම අවශ්‍යයි. අද අප සිටින සමාජ හා ආර්ථික තත්ත්වයටත් මේ වන විට මුහුණ දෙන ගැටළුවලටත් හේතු සෙවීමට මේ නෑදෑයන් හා ඔවුන් කළ කී දෑ ගැන දැන සිටීම අත්‍යවශ්‍යයි.


ඔබ ළඟ මේ දැනුම නැත්නම් ඔබට උරුම දේපළ වෙනත් අය විසින් රහසේ කොල්ල කා ගනු ඇති. ඔබ දැනට පෙළන සමාජ හා ආර්ථික ගැටළු වලට හේතු සොයා ඒවා විසඳා ගැනීමට නොහැකි වනු ඇති. ඔබ කාගේ කවුරුන්දැයි කිසිවකු අසන පැණයට නිවැරදි පිළිතුරක් දී ගත නොහැකි වනු ඇති.


ඉතිහාසය යනු අමුතු දෙයක් නොව ඉහතින් කියූ දැනුමයි. තමාගේ, තම පවුලේ, ගමේ, පලාතේ හා රටේත්, අවසානයේ දී ලෝකයේත්, වශයෙන් මෙම දැනුම පුළුල් වෙයි.


ඉතිහාසයේ ම එක්තරා අවදියක ඉතිහාසය විෂයය පාසල් විෂය මාලාවෙන් ඉවත් කෙරුණා. ඉන් පසු ව බිහි වූයේ මුල් සිඳුනු පරපුරක්. තමා ඓන්ද්‍රිය වශයෙන් මේ රටට බද්ධ ව ඇත්තේ කෙසේදැයි නොදන්නා හිස් ආකල්ප වලින් යුතු පරපුරක්. ජාතික උරුමයන් වැනසීම පිළිබඳ පුවත් අද දස අතින් ඇසෙන්නේත් උපන් බිමට එරෙහි ව විජාතිකයනට දර දිය අදින්නවුන් බහුල ව ඇත්තේත් ඒ අතීත වරදෙහි ප්‍රතිඵලයක් ලෙස යි.
මේ ගත වී යන හැම මොහොතක් ම ඉතිහාසයයි. අද අප ගත කරන හැම දවසක් ම ඊයේ දිනයේ ප්‍රතිඵලයක්. අද සිදු වන දේ වල ප්‍රතිඵලය හෙට දැක ගත හැකි වනු ඇති. සැම දිනක් ම ඊට පෙර සහ පසු දින හා සම්බන්ධ ව පවතී. වසර දහස් ගණනක අපේ ඉතිහාසය කියන්නේ මෙසේ එකිනෙක බැඳී ගෙවුණු දවස් සමුදායක්. එසේ ගෙවුණු යම් දිනයන් හි සිදු වූ විවිධ සිදුවීම් වල ප්‍රතිඵල අප අද අත් විඳිමින් සිටිනවා. අප අද කරන දැයෙහි ප්‍රතිඵල අනාගතය විසින් භුක්ති විඳිනු ඇති.
.
වසර දෙදහස් ගණනක ඉතිහාසය පැත්තක තිබුණාවේ; අපේ රට ඉංග්‍රීසීන් ට යටත් වෙලා තව ම ගෙවී ඇත්තේ හරියට ම අවුරුදු 202 යි. අපේ දිගු ඉතිහාසයත් එක්ක සසඳන විට මේ කොයි තරම් කෙටි කාලයක් ද? ඒත් අද අප බොහෝ දෙනෙකුට මේ නම් සිතා ගැනීමට බැරි තරම් ඈත අතීතයක්. අද අප මුහුණ දෙන බොහෝ ගැටළු වල හේතූන් බිහි වුණේ මේ අවසාන අවුරුදු 202 තුල බව දකින්නේ කලාතුරකින් කෙනෙකු පමණයි. සමහරුනට ඉතිහාසය යනු ජීවිතය හා බද්ධ වූ ඓන්ද්‍රිය තොරතුරු සමුදායක් නොවෙයි. ඔවුනට එය තවත් එක්තරා ශුද්ධ විෂයයක් පමණයි. තමන් හා එය අතර සම්බන්ධතාවක් ඔවුන් දකින්නේ ම නැහැ. තවත් සමහරුන් එය දකින්නේ තනිකර ම විදේශීය ඇසකින්.

2 comments:

  1. ඇත්ත එත් පාසලේ ඉගැන්නුවේ නැනේ මේ 202 ඉතිහාසය , ඒ ඉතිහාසය වෙනම රජයේ කොටසක් විසින් අධ්‍යයනය කරලා ඒ ඉතිහාසයේ දැනට පවතින සමාජයට ඇති බලපෑම විශ්ලේශනය කිරීම අවශ්‍යයි

    ReplyDelete
    Replies
    1. සමාජය ඥානනය කිරීම සහ තමතමා ඥානනය වීම වඩාත් පුතිඵලදායී වේවි.

      Delete

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...