Sunday, May 31, 2020


කරකැවිල්ල


- බන්ධුල සිසිර කුමාර -


මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්.


එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණු පොතේ පළ වූ දෙයක් ගැන, එතැනදී අදහස් නොදක්වා ලිපියක් ලියන්නේ ඇයි ද කියා.


ඔබ මේ දිනවල මුහුණු පොත අවධානයෙන් නිරීක්ෂණය කරන අයෙක් නම් දකින්නට ඇතුවා නිසැකයි, සමහර කණ්ඩායම් තමන්ගේ විවිධ මතවාදයන් සමාජගත කිරීමේ අරමුණෙන් පෝස්ටු ඉදිරිපත් කරන ආකාරයත්, එම මතවාද ප්‍රශ්න කරන අයට වටකර පහර දෙන ආකාරයත්.


එවැනි පසුබිමක් තුල, එම අදහස් වල ඇති වැරදි තැන් සමාජයට පෙන්වා දීමේ අවස්ථාවන් කිසිසේත් උදාවන්නේ නැහැ.


එහෙත් වෙනත් මාර්ගයක් හරහා හෝ යමක නිවැරදි තතු සමාජ ගත කළ යුතුයි. එසේ නොවුනහොත් කලක් ගතවෙද්දී සත්‍යය මිත්‍යාව ලෙස ද, මිත්‍යාව සත්‍ය ලෙස ද පිළිගැනී තිබෙනු ඇති.


අදාල ලිපිය පළ කර තිබුණේ මිහින්තලයේ පුරාණ රෝහල පිළිබඳවයි. මෙම රෝහලද ඇතුළු ව, ඉපැරණි රෝහල් කිහිපයක නටබුන්, අනුරාධපුරය පොළොන්නරුව ආදී විවිධ ප්‍රදේශවලින් හමු වී තිබෙනවා. බෙහෙත් ඔරු වැනි ශිලාමය දේවල් හැරුණු විට, විවිධ වෛද්‍ය උපාංග, ශල්‍ය උපකරණ, බෙහෙත් කිරන සියුම් තරාදි ආදී විවිධ දෑ මෙම රෝහල් භූමිවලින් හමුවී තිබෙනවා. ස්ථාපිත, දියුණු වෛද්‍ය ක්‍රමයක් මෙම කාලයන් හි පැවති බවට ඒ පුරාවස්තු සාක්ෂි දරනවා.




මිහින්තලේ රෝහල සම්බන්ධව ලියවුණු, මා මුලදී සඳහන් කළ ලිපියේ කියවුන දෙයක් තමයි, අපේ මේ ඉතිහාසය අප විසින් වළ දමන ලද්දේය, යන්න.


ඇත්තටම, අපේ ඉතිහාසය හා ඉපැරණි දැනුම් පද්ධතිය වළ දැම්මේ අප ද?


අප මුලින්ම විමසා බලමු ශිෂ්ඨාචාරයකට දැනුම් පද්ධතියක් ලැබෙන්නේ කෙසේද කියා.


මිනිසා තමාගේ ජීවිතයේ එදිනෙදා කටයුතුවල යෙදෙන විට, එම කාර්යයන් අතරදී ම ඒවා ආශ්‍රයෙන් අත්පත් කරගන්නා දැනුමක් තිබෙනවා. ඒකට අප කියනවා, ප්‍රත්‍යක්ෂමූලික දැනුම නොහොත් ආනුභවික දැනුම (empirical knowledge) කියලා. ප්‍රාථමික අවධිවල මිනිසා ද මෙසේ ප්‍රත්‍යක්ෂමූලික දැනුම අත්පත් කර ගන්නවා. දිගින් දිගටම ඔහු මෙවැනි කාර්‍යයන් කරන විට, එම දැනුම තව තවත් ඔප මට්ටම වෙනවා.


ඉන්පසු, අදාල කාර්යය නිතිපතා කරන පවුල් හා කණ්ඩායම් තුල, වෙනත් අන්දමකින් කියනවා නම් ගුරුකුල තුල මෙම දැනුම තව තව ඉහළ මට්ටම් කරා දියුණු වී යනවා.


උදාහරණයක් දක්වන්නම්.


යම් පුද්ගලයෙකු, කුඩා දිය පාරක් හරස් කර අමුණක් බැඳ, තමාගේ වගාවට අවශ්‍ය ජලය සපයා ගන්නවා. ඔහු තවදුරටත් එවැනි කටයුතුවල යෙදීමෙන් ලබාගන්නා අත්දැකීම් තුළින් දැනුම තව තව ඔපමට්ටම් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගම් වැවක් තනා ගැනීමට ප්‍රමාණවත් දැනුමක් ගොඩ නැගෙනවා. මේ දැනුම, ගුරුකුලයන් තුල තවදුරටත් වර්ධනය වෙනවා. එහි ප්‍රතිඵලය ලෙස, අපේ රටේ ඇති මහ වැව් හා විශිෂ්ඨ වාරි මාර්ග ඉදි කිරීමට අවශ්‍ය මට්ටම දක්වා, දැනුම හා තාක්ෂණය දියුණුවී තිබෙනවා.


ඕනෑම ශිෂ්ටාචාරයක් තුළ මෙවැනි දැනුම් පද්ධති ගොඩනැඟෙනවා.


එහෙත් අප රටේ තත්ත්වය මීටත් වෙනස්. අප රට බොහෝ කලක් පැවතුණේ පෙරදිග හා අපරදිග යා කරන සමුද්‍ර සේද මාර්ගයේ සැතපුම් දහස් ගණනක දුර ප්‍රමාණයේ පිහිටි එකම නැවතුම්පොළ හා හුවමාරු මධ්‍යස්ථානය ලෙස. මෙම පසුබිම යටතේ අපේ රටේ නිෂ්පාදන අපනයනය කිරීම පමණක් නොව, ප්‍රති නැව්ගත කිරීම්, නැව් වලට හා නාවිකයන්ට අවශ්‍ය සේවා සැපයීම් ආදී විවිධ කටයුතු අප රටේ සිදු වූවා. මෙම වටපිටාව තුල, බොහෝ දේ අප රට හරහා ගලා ගියා. දැනුම, තාක්ෂණය, චාරිත්‍ර වාරිත්‍ර, විවිධ මතිමතාන්තර, සාහිත්‍යය, මිල මුදල් ආදිය ඒ අතරින් කිහිපයක්.

 (මේ නිසා ම, අප රට දූපතක් වුව ද, සමහරුන් පවසන ආකාරයේ ඊනියා දූපත් මානසිකත්වයක් මෙරට බිහි වූයේ ද නැහැ.)


මේ අනුව මෙහි ගොඩනැගී තිබූ දැනුම් පද්ධතිය, ලෝකයේ විවිධ දෙසින් ගලා ආ දැනුම් පද්ධතීන් සමග මිශ්‍රවීමෙන් තවදුරටත් ඔපවත් වන්නට ඇතිවා නිසැකයි. අපගේ විශේෂිත තත්ත්වය නිසා අපට මේවා ලැබෙන්නට ඇත්තේ අසල්වැසි භාරත භූමියෙන් පමණක් ම නොවෙයි.


මා පෙර ලිපියක ද කියා ඇති පරිදි, අපේ රට ජනාවාස වීමේදී මෙහි සිටි ස්වදේශික ජනයා හැරුණුවිට, විටින් විට මෙහි පැමිණ පදිංචි වූ සංක්‍රමණිකයන් ද ඒ සඳහා විශාල දායකත්වයක් දක්වන්නට ඇතිවා නිසැකයි. මේ අනුව මෙරට ජනතාව තුළ මනා ජාන සංකලනයක් සිදුවන්නට ඇති. මෙසේ විවිධ ජාන මිශ්‍ර වීමෙන් වඩාත් ඉහල ගති ලක්ෂණ සහිත පුද්ගලයන් බිහි වීම බොහෝ විට සිදු වන දෙයක්. ඇත්ත වශයෙන්ම අප රටේ ජනතාව එසේ විවිධ වූ ජාන සම්මිශ්‍රණයකින් ගොඩනැගී ඇති බව වරින් වර සිදු කෙරුනු පර්යේෂණවලින් ද හෙළි වී තිබෙනවා.


මෙය දුටුවිට ඔබ අතරින් කිසිවකු කලබල විය හැකියි, එසේ වන්නේ කෙලෙසද? අප බොහොම "සංශුද්ධ" පුද්ගලයන්ය කියා.


අප එසේ මිශ්‍ර වී නොතිබුනා නම්, අප ඊනියා "සංශුද්ධ" ජනතාවක් වූවා නම්, අපගේ පෙනුම කෙසේ වනු ඇතැයි ඔබ සිතනවාද?


එසේ වූවා නම් අප සියලු දෙනා, කළු පැහැ සම ඇති, උඩු රැවුල හා නිකටෙ හි පමණක් රැවුල වැවෙන, කම්මුල්වල රැවුල නොවැවෙන, පපුවෙහි රෝම නොවැවෙන, මඳක් කාන්තා ස්වරූපයක් ගන්නා ලැම පෙදෙසක් තිබෙන පිරිමින් වනු ඇති. අප රටේ හමු වී ඇති ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂ අනුව මේ දක්වා එළඹගෙන ඇති නිගමනය වනුයේ, අදාල මානවයා ශාරීරික පෙනුම වශයෙන් බොහෝ දුරට සමාන වනුයේ වත්මන් වැදි ජනතාව ට බවයි. ( මෙය එම ජන පිරිසට කිසිදු නිගරුවක් නොවේ.) අප බහුතරයකගේ පෙනුම මීට වඩා වෙනස් වීම ම, ඉතිහාසය පුරා සිදු වී ඇති අපේ ජාන සම්මිශ්‍රනය පිළිබඳ මනා සාධකයක්.



ජාන සම්මිශ්‍රණය පසෙක තබා අප නැවතත් අපගේ දැනුම් පද්ධති පිළිබඳ මාතෘකාව ට හැරෙමු. අනුරාධපුර යුගයේ අග භාගය වන විට, අපේ දැනුම් පද්ධතියෙහි වර්ධනය වී තිබුණේ, මෙහි මාතෘකා කොට ගත් වෛද්‍ය අංශය පමණක් නොවෙයි. වාරිමාර්ග, යකඩ හා වානේ ඇතුළු ලෝහ විද්‍යාව, වාස්තු විද්‍යාව, ගල් කැටයම් හා චිත්‍ර කලා, එම අංශයන් අතරින් කිහිපයක් පමණයි. මේ හැරුණු විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන ක්ෂේත්‍රයන් ද තිබෙනවා.


මූල්‍ය කළමනාකරණය, මුදල් රෙගුලාසි, ආයතන පරිපාලනය වැනි කටයුතු අතින් අප සිටින්නට ඇත්තේ කොතැනදැයි බොහෝ දෙනකු දන්නේ නැහැ. වත්මන් ව්‍යවහාරය අනුව බැංකු ලෙස නම් කළ හැකි මූල්‍ය ආයතන එකල තිබී ඇති බව ද නොදන්නා අය බොහොමයි. මිහින්තලයේ දක්නට ලැබෙන  IVවැනි මිහිඳු රජුගේ පුවරු ලිපිවල සඳහන් කරුණු අධ්‍යයනය කළහොත් ඒ පිළිබඳ ව තොරතුරු රැසක් අවබෝධ කරගත හැකි වේවි. (මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ඔබට මගේ උඩ ඉඳලයි වැටුණේ ලිපිය කියවීමෙන් දැනගත හැකියි.)


එසේනම් මේ දැනුම් පද්ධතියට කුමක්ද වුනේ?


සමහරුන් කියන පරිදි අප ම එය වළලා දමලාද?


අපගේ ඉතිහාසය නිරීක්ෂණය කරද්දී, දිගින් දිගට ම දැකගත හැකි දෙයක් වන්නේ, දුර්වල පාලකයන් සිටි කාල සීමාවන්හිදී මෙරට විවිධ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වී ඇති බවයි. ආක්‍රමණවල අරමුණ වන්නේ හුදෙක්, අපගේ සිංහාසනයේ ආක්‍රමණිකයන්ගෙන් කෙනෙකු වාඩි වී අපේ රට පාලනයේ යෙදීම නොවේ. එය පමණක් සිදු කිරීම සඳහා ඔවුන් ඉමහත් ධනස්කන්ධයක් හා ජීවිත විශාල සංඛ්‍යාවක් බිලි දේ දැයි සිතා බලන්න.


ඒ මගින් ඔවුන් මුදුන්පත් කර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණ වන්නට ඇත්තේ, අප රටේ බදු ආදායමෙන් විශාල කොටසක් ඔවුන්ගේ රටට ගෙන යාම, අපේ රටෙන් උපදින සම්පත් සිය මව් රටට ගෙන යාම, මා පෙරිදී කී පරිදි වැදගත් ජාත්‍යන්තර වෙළඳ සන්ධිස්ථානයක පිහිටීම නිසා අප රටට ගලා ආදායම සියතට ගැනීම, ඔවුන්ගේ සංස්කෘතිය මෙරට තුළ රෝපණය කිරීම ඇතුළු කරුණු සමුදායක්.


අනුරාධපුර රාජධානි සමයේ, අප ලෝකයේ විශිෂ්ඨතම වානේ වර්ගයක් අපනයනය කරමින් සිට තිබෙනවා.


( ලෝකයේ විශිෂ්ටතම කඩු තැනුණු සිරියාවේ දමස්කස් නුවර, ඒ කඩු සෑදීමට භාවිතා කරන ලද්දේ "සෙරන්ඩිබ් වානේ"නම් වූ මෙරටින් රැගෙන ගිය වානේ බවයි කියවෙන්නේ.)


අනුරාධපුර රාජධානිය බිඳ දමා චෝළයින් විසින් පොළොන්නරුවේ රාජධානිය පිහිටුවා ගත් ආක්‍රමණයෙන් පසු, අපගේ මේ වානේ අපනයනය නැවති තිබෙනවා. ඔවුන්ගේ ආක්‍රමණයේ එක් අරමුණක් වන්නට ඇත්තේ ම එම වෙළඳපොල කඩා දැමීමයි. ඒ වන විට දකුණු ඉන්දියාවේද වානේ තාක්ෂණය දියුණුව පැවති අතර ඉන්පසු එම වෙළඳාම ඔවුන් අතට පත්වූ බව පෙනෙනවා.


මෙවැන්නක් සිදු වූ පසු, අදාළ කර්මාන්තයේ සැලකිය යුතු බිඳ වැටීමක් සිදු වන බව වටහා ගත හැකියි. ඊට සාපේක්ෂව ඒ වටා එක් රැස් ව තිබූ විශේෂඥ දැනුම් සම්භාරයේ යම් යම් කොටස් ද, අභාවිතය නිසා, පරපුරු කිහිපයක් තුළ ගිලිහී යාම බලාපොරොත්තු විය හැකි දෙයක්.


මේ කීවේ එක් උදාහරණයක් පමණයි.


කලක් අනුරාධපුරයේ ගොඩනැගී තිබූ විභූතිමත් තත්ත්වය නොමැති වුවද, පොළොන්නරු යුගය තුල පවා, ඒ ඒ ක්ෂේත්‍රයන්හි අප ගොඩනගාගත් දැනුම් සම්භාරයේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වී තිබී ඇති බව අපට වර්තමානයේ දී දැකගත හැකි අවශේෂ වලින් වටහා ගත හැකියි.


අප රටේ දැනුම් පද්ධතියටත්, අනිකුත් බොහෝ දේටත් එල්ල වූ මාරාන්තික ප්‍රහාර වලින් එකක් එල්ල වූයේ පොළොන්නරු රාජධානි සමය පමණක් නොව රජරට ශිෂ්ටාචාරය ම අවසන් කරමින්.


කිහිප දෙනෙකු දන්නා, වර්තමානයෙහි බොහෝ දෙනකු නොදන්නා එය කාලිංග මාඝගේ ආක්‍රමණය. එය සිදු වූයේ 
 අදින් වසර 700 කට පමණ පෙර 


ඔහුගේ පාලනය යටතේ අප රට පූර්ණ වශයෙන් ම වියවුලකට ඇද දමන ලද බවයි පෙනෙන්නට තිබෙන්නේ. එතෙක් මෙරට ස්ථාපිත ව පැවති පාලන තන්ත්‍රය අවුල් කළ බවත්, සමාජ සංවිධානය අවුල් කළ බවත්, දැනුම හා දහම අන්තර්ගත ව පැවැති පොතපත විනාශ කළ බවත් කියවෙනවා. එසේ ම නිස්කාරණ බියවැද්දීම්, හිරිහැර කිරීම් හා කොල්ල කෑමවලින් ජන සමාජය තැති ගැන් වූ බව දැනට සොයා ගැනීමට ඇති ලිඛිත මූලාශ්‍රවල සඳහන් වන අතර පොළොන්නරුවේ සමහර නෂ්ටාවශේෂ පිරික්සීමෙන්ද මේ තොරතුරු කිසියම් දුරකට එය තහවුරු කරගත හැකියි. මෙම ඝාතක ආක්‍රමණිකයා හා සමකළ හැකි මෑතකාලීන චරිතය වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් යයි මා සිතනවා.


මොහුගේ කාලයේදී ධනවතුන් අල්ලා වධ දී ඔවුන්ගේ ධනය පැහැර ගත් බවත්, ළමා විය ඉක්මවූ සියලු පිරිමින් මරා දැමූ බවත්, කියැවෙන කථා ද තිබෙනවා.


එවැනි සිද්ධියක් සිදු වී නම් එහි ප්‍රතිඵලය කුමක් වේ දැ යි සිතන්න.


පරපුරක දැනුම, තාක්ෂණය ආදී වශයෙන් වූ එක් රැස් කර ගත් දැනුම් පද්ධතිය බොහෝ දුරට පවතින්නේ එම ප්‍රජාවේ පිරිමින් අතයි. ඔවුන් සමූලඝාතනය කිරීමක ප්‍රතිඵලය වනුයේ එතෙක් ගොඩනගාගත් දැනුම් පද්ධතියෙන් අති විශාල කොටසක් ද ඒ හා සමගම අතුරුදන් වී යෑමයි. එසේ ම දැනුමින් ද හීන ව, කාන්තාවන් ඇසුරේ හැදී වැඩුණු ඊළඟ පරපුරක් බිහිවීමයි.


අනුරාධපුර හා පොළොන්නරු යුගවල නශ්ඨාවශේෂයන් හා ඊට පසු යුගවල අවශේෂයන් සසඳා බැලීමේදී පැහැදිලි ව කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. ඒ, පෙර කී රජරට රාජධානි යුගවල මෙන් දැවැන්ත වාරිමාර්ග, සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම්, ගලින් කළ මනහර කැටයම්, සම්භාව්‍ය චිත්‍ර කලා ආදිය, ඉන්පසු යුග වල දක්නට ලැබීම අවම වීමයි. නිවැරදි ව කියතොත් දක්නට නොලැබෙන තරම්. ( යාපහුව හැරුණුකොට.)


කෙසේ වුවත් ඉන් පසුවට ද අප ගොඩනඟා ගත් දැනුම් සම්භාරයේ කොටසක් හෝ ඉතිරිව තිබෙනවා. ඒ ඉතිරි වූ කොටස මහනුවර යුගයේ අවසානය වන තුරු රැඳී පවතිනවා.


එතැන් සිට අපේ දැනුම් පද්ධතිය විනාශ වීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලපෑම තුලයි. එය කිහිප ආකාරයකින් සිදුවෙනවා.


අධිරාජ්‍යවාදී පාලකයන්ට භෞතිකව තර්ජනයක් විය හැකි අංගම් ශිල්ප කලාව නීතියෙන් තහනම් කිරීම ඉන් එකක්. එසේම, ඔවුන්ගේ වානේ කර්මාන්තයට අප රට තුළ වෙළෙඳපොළ ගොඩනැගීම සඳහා දේශීය වානේ කර්මාන්තය තහනම් කිරීමට ගත් පියවර ද ඇතුළත් වන්නේ ඒ කාණ්ඩයටමයි.


අපගේ දැනුම් සම්භාරය විනාශ කිරීමට බල පෑ අනෙක් කටයුත්ත නම් මෙරට එතෙක් පැවති සමාජ දේශපාලනික හා ආර්ථික ව්‍යුහය කඩා බිඳ දමා ඒ මත ඔවුන්ගේ ක්‍රමය රෝපණය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශිල්ප ශ්‍රේණි ක්‍රමය අක්‍රිය වූ අතර ගුරුකුල තුල දැනුම වර්ධනය වීම ඇනහිටීම සිදු වූවා.


මහනුවර රාජධානි සමයේ, ඉන්දියානු සමාජ සංස්කෘතික බලපෑම් මත ඇතිව තිබූ කුල පීඩනය ද දිගින් දිගටම පැවතිය යුතුය යන්න නොවේ, මෙයින් අදහස් වනුයේ. පැවති ක්‍රමය ස්වාභාවික පරිණාමයකට ලක් වූවා නම් මීට වඩා සාධනීය ප්‍රතිඵල ඉතිරි වීමට ඉඩ තිබුණා. එහෙත්, පැවති ක්‍රමය කෘත්‍රිම ව කඩා බිඳ දමා වෙනත් ක්‍රමයක් බලහත්කාරයෙන් රෝපණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පැරණි ක්‍රමයේ තිබූ යහපත් අංගයන් ද, දැනුම ද, අතුරුදන් ව ගොස් තිබෙනවා. අහෝසි විය යුතු දෙයක් වූ කුල භේදයේ නෂ්ටාවශේෂ ඉතිරිව තිබෙනවා.


ඔවුන්ගේ ආධිපත්‍යය නිසා අපේ දැනුම් පද්ධතිය අහිමි වූ තුන්වැනි ආකාරය මානසික ආක්‍රමණයක්.


ඒ, එක ම දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතිය ය යන විශ්වාසය අප ජනතාව තුළ රෝපණය කිරීමයි. මේ හේතු කොටගෙන අපේ සාම්ප්‍රදායික දැනුම නොසලකා හරින හා ඊට ගරහන මානසිකත්වයක් අපේ ජනතාව තුල ම ඇති වුණා.


විසිවන ශතවර්ෂයේ අවසාන භාගයේ සිට මේ දක්වා වූ විශ්ව ගම්මාන මායාවට හසුවූවන් අතීතයේ අප සතුව දැනුම් පද්ධතියක් තිබූ බව වත් දන්නේ නැහැ.


අද වන විට බටහිර දැනුම් පද්ධතිය බොහෝ ඉදිරියට ගොස් ඇති බව ඇත්තයි. ඔවුන් එය අධිපති මතවාදය ලෙස ලෝකය පුරා ව්‍යාප්ත කරගෙන සිටින බව ද ඇත්තයි. එහෙත් අප වටහා ගත යුතු සත්‍යය වන්නේ ලෝකයේ ඇති එක ම දැනුම් පද්ධතිය එය පමණක් ම නොවන බවයි.


මේ සියල්ල සාරාංශ කර විමසා බැලූවොත් ඔබට තීරණය කර ගත හැකි වේවි, අපේ දැනුම අප විසින් වළලා ගෙනද, නැතිනම් ඉහත විස්තර කළ ඓතිහාසික ඛේදවාචකයන් හේතු කොටගෙන වැළලී ගොසින් ද කියා.


මේ වැළලුනු අතීතය ගොඩ ගනිමින් එය අපට පෙන්වා දෙන්නේත්, පෙන්වා දී ඇත්තේත් එතෙක් මෙතෙක් අප රට බිහිවූ ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විසින්.


එහෙත් මේ වන විට අප රටේ සමාජය තුළ අමුතු “ට්‍රෙන්ඩ්” එකක් පැතිරී යන බව නිරීක්ෂණය වෙනවා. ඒ, ඉහත කී ඉතිහාසඥයන්ට හා පුරා විද්‍යාඥයන් ට ගරහමින්, රටට හා ජාතික උරුමයට ආදරය කරන මිනිසුන් මොළ ශෝධනයට ලක් කර වෙනත් මගක යැවීමයි. වෙනත් විදියකින් කියනවා නම් කරකවා හැරීමයි. මේ කරකැවිල්ල ට හසු නොවීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි.


එසේ නොවුණහොත්, අපේ සැබෑ අතීතයත්, අපේ උරුමයත්, උපන් බිමත් කරකවා හැරෙනු ඇති. සිදු වූයේ කුමක්දැයි සිහි එළවා ගන්නා විට සියල්ල අවසන් ව තිබේවි.




No comments:

Post a Comment

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...