මගේ ලිපි කියවන විට ඔබට හිතෙනවා ද දන්නේ නැහැ , අන්තිම ට කැරකිලා කැරකිලා අතීතයටමයි යන්නේ කියලා. (ඇම්ඩන් සහ මැක්කා වගේ) මගේ හැම ලිපිය ම අතීත කතා ම නොවෙයි කියලා ඔබ ට ටිකක් පසු පස ට ගිහින් බැලුවොත් සොයා ගන්නත් පුළුවන්. මා මෙතෙක් දුර කියවූ, අධ්‍යයනය කළ, ගවේෂණය කළ දේ සහ ඒ ඇසුරෙන් සොයාගත් තොරතුරු, ඔබටත් කිසි යම් ප්‍රයෝජනයක් වේය කියලා සිතුනු විට ඒවා බෙදා හදා ගැනීමයි මෙහිදී කරන්නෙ. මා අතීත කාමියකු නොවෙයි. ඒ නිසා මනසින් අතීතයෙ ජීවත් වන්නෙ නෑ. අතීතයේ තිබූ දැනුම හා ක්‍රම වේදයන් සොයා ගෙන අදට ඒවායින් ගතහැකි මොනවාද යන්න සොයා බැලීමත්, අපට වැරදුනු තැන් බලා පාඩම් ඉගෙනීමත්, අප කවුරුන්ද යන්න වටහා ගැනීමත් තමයි එයින් ලබා ගත හැකි මහත් ම ප්‍රයෝජනය.
අනුරාධපුරයේ විශාල වශයෙනුත්, පොළොන්නරුවේ සැළකිය යුතු ප්‍රමාණයකුත් අනෙක් ප්‍රදේශවල ඉඳ හිටත් හමු වන දැවැන්ත හා කලාත්මක ගොඩනැගිලි, ප්‍රතිමා, වැව් ආදිය දකින විට අප අතරින් එක් එක් අය ඉදිරිපත් කරන විවිධ අදහස් තිබෙනවා. "මිනිසුන්ගෙන් බලෙන් වැඩ ගන්න ඇති", "වහලුන්ගෙන් වගේ වැඩ ගන්න ඇති", වැනි කතා එයින් කිහිපයක්. "මේවා කරන්න ඇත්තෙ පිට රටින් ගෙන්නපු ශිල්පීන් විසින් වෙන්න ඇති" කියලා කියන අය පවා ඉන්නවා. ( ඒ කතාව කියන අය නම් දන්නෙ නැහැ කලා හා තාක්ෂණ නිර්මාණ අධ්‍යයනය කර බලා ශිල්ප සම්ප්‍රදාය හඳුනා ගන්නට හැකි බව.) ( අනෙක, බලෙන් වැඩ ගන්නා සමාජ පසුබිමකදී නම් ගුරු කුලයන් තුල ශිල්ප සම්ප්‍රදායයන්, තාක්ෂණය ආදිය ප්‍රගමනය වන්නේ, සංවර්ධනය වන්නේ, ඉතා අල්ප වශයෙන් බව පැහැදිලියි නේ.)
මේ නිර්මාණ ගැන එවැනි සෘණාත්මක කතා කියන අය පමණක් නොවෙයි, "මෙන්න අපේ අතීත රජවරුන්ගෙ හපන්කම්" කියලා සාම්ප්‍රදායික විදියට උදම් අනන අය පවා නොදන්නා කාරණයක් තිබෙනවා. ඒ කාරණය පිලිබඳ ව හමු වී ඇති ලිඛිත සාක්ෂි සීමිතයි. ඒ වුණත් මුළු රජරට රාජධානි යුගය ම පරීක්ෂා කර බැලුවාම ඒ කරුණ පිලිබඳ අලිඛිත සාක්ෂ්‍ය වටහා ගත හැකියි.
"මෙන්න අපේ රජවරුන් ගෙ හපන්කම්" කියලා එක් පිරිසක් කියන විට තවත් පිරිසක් කියනවා "රජවරු මොනවද කළේ. මේවා රටේ මිනිසුන්ගෙ ශ්‍රමය" කියලා. ඒ කථාව හරියට ම අර "රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ නිර්මාණයක් නොවෙයි, මේසන් බාස්ලගෙ වැඩක්" ය කියනවා වැනි බහු බූත කතාවක් කියලයි මට හිතෙන්නෙ.
මා එසේ කියන්නෙ මෙන්න මේකයි. මේසන් බාස්ලා හෝ ගල් වඩුවන් තමන්ට ඔහේ හිතුණු නිසා කරපු වැඩ එකක් වත්, මේ මහා පරිමාණ නිර්මාණ අතර ඇතැයි මා හිතන්නෙ නැහැ. අනෙක් අතට දූරාතීතයේ සිට ක්‍රි.ව. 1815 දක්වා අප රටේ විසූ පාලකයන් අතුරින් සියලු දෙනාගෙම නම් නිතර ඇසෙන්නෙ නැති වුවත් කාටත් හුරුපුරුදු මතක හිටි නම් කිහිපයක් තිබෙනවා. එසේ මතක ඇති අය සියලු දෙනාම පාහේ කැපී පෙනෙන නිමැවුමක් හෝ යම් සමාජ පරිවර්තනයක් කරවපු අය. ඒ වගේ දෙවල් කරවූයේ කොහොමද? සඳළු තලයකට වෙලා, ගැඹුරු හඬින් හා ලියන බාසාවේ බර වචන වලින්, "ඇමතිය, මෙසේ කරනු" කීවාම ඇමතිවරු කෙසේ හෝ වැඩය කරවනවා ද??? අපේ බොහෝ දෙනෙකුගේ සිතෙහි තිබෙන්නේ එවැනි චිත්‍රයක්.
ඒ වගේ විකාර හිතළුවලින් බැහැර වෙලා වඩාත් ප්‍රායෝගික ව හිතුවා ම වටහා ගත හැකි දෙය තමයි, විශිෂ්ඨ නිර්මාණ බිහි වූ, ජනතාව සුඛිත මුදිත ව ජීවත් වූවායයි කියැවෙන යුගයන්හි ඒ පාලකයන් සියල්ල සිදු කරවන්නට ඇත්තේ මනා ව සැකසුණු පරිපාලන ව්‍යුහයක් හා විධිමත් නිලධාරි තන්ත්‍රයක් මගින් බව.
මා පෙරදී කීවා වගේ ම මේ කාරණය පිලිබඳ ලිඛිත සාක්ෂි තරමක් සීමිතයි. මේ පිළිබඳ ව හමු වී ඇති වැදගත් හා විස්තරාත්මක සාක්ෂියක් වන්නෙ iv වැනි මහින්ද රජුගේ මිහින්තලා පුවරු ලිපි යි. දහ වැනි ශත වර්ෂයේ අප රටේ විධිමත් ගිණුම්කරණ ක්‍රමවේදයක් තිබුණු බව තහවුරු කරනු පමණක් නොව විධිමත් ගණකාධිකාරි සේවාවක් හා පරිපාලන සේවාවක් තිබුණු බවට පවා මෙම සෙල් ලිපි මගින් සාක්ෂ්‍ය සැපයෙනවා.
ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය මගින් වාර්ෂික ව පළ කරනු ලබන ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සඟරාවට (වෙළුම 5 , වසර 2014) ප්‍රසාද් ෆොන්සේකා මහතා විසින් සපයා ඇති, හතරවන මිහිඳු රජුගේ (952-968) මිහින්තලේ පුවරු ලිපි නමැති ලිපියේ මේ පිලිබඳ කදිම විවරණයක් කෙරෙනවා. අදාල ලිපියෙන් උපුටා ගත් කොටස් කිහිපයක් මා පහතින් දක්වනවා. (නිල් පැහැයෙන් දක්වා ඇත්තේ උපුටා ගත් කොටස් බව සලකන්න.)
උපුටා ගැනීම
සෑගිරි විහාරයේ සියලු ම භික්ෂූන් ද, නිලධාරීන් ද, දැසි දසුන් ද අඳ ගොවීන් ද මෙම නීති මාලාවට යටත් වන අතර ඔවුන්ගේ රාජකාරි පිළිබඳ විස්තර ද, මුදල් ලැබීම් හා ගෙවීම් පිළිබඳ රෙගුලාසි ද, පරිපාලන නීති හා ගිණුම් පිළියෙල කිරීම පිළිබඳ උපදෙස් ද එසේ ම ඔවුන් ට හිමි දීමනා පිළිබඳ නියෝග ද එහි දැක්වේ.
උපුටා ගැනීම
1. (පරිපාලන) කමිටු සාමාජිකයන් වන්නේ නකා වෙහෙර පාලක හිමියන්, (ගිහි) පිරිවෙන් පාලක, විනය පාලක, ප්‍රධාන කාර්මික නිලධාරි (ඉංජිනේරු), සැපයුම් නිලධාරි, විහාර ලේකම්, කරඬු ලේකම්, කරඬු භාර නිලධාරි යන අය යි. මේ සියලු දෙනා අභයගිරි විහාර දෙඛණ්ඩයෙහි භික්ෂූන් සමග ඇත්වෙහෙරයට රැස් විය යුතු ය. ඔවුන් විසින් රාජකාරි ස්ථාන තීරණය කොට විහාරස්ථානය තුල හා පිටත (මුදල්) ලැබීම් හා ගෙවීම් ගැන සොයා බැලිය යුතු ය.
2. විහාර දේපළ පරිහරණය කරන්නන් අතින් සිදු විය හැකි අලාභ හානි සඳහා අදාල පුද්ගලයන්ගෙන් තැන්පත් මුදලක් ලබා ගත යුතු ය.
3. විහාරයේ භික්ෂූන් ට සම්බන්ධ කිසිවකු විහාර සේවයට යොදා ගෙන තිබේ නම් සියලු ම දීමනා ආපසු අය කරගෙන ඔහු සේවයෙන් පහ කළ යුතු ය.
4. ධාතු කරඬු, අදාල නිලධාරින් ඉදිරිපිට මුද්‍රා තබා නියමිත ස්ථානවල තැබිය යුතු ය.
5.ගෙවීම් කාර්යාලයේ, සහල් එකතු කරන ස්ථානයේ හා මධ්‍යාහ්නය ට පෙර දානය භාර ගන්නා ස්ථානයේ නිලධාරීන් ඉවතට යන විට ඔවුන්ගේ වැඩ බැලීම ට වෙනත් නිලධාරීන් පත් කළ යුතු ය.
6. ඇත් වෙහෙරේ ධාතු ගෘහයට අයිති කිසිවක් විකිණීම හෝ ණයට දීම නොකළ යුතු ය.
7.විහාර නිලධාරින් විසින් විහාර සේවකයන් තමන්ගේ වැඩට හෝ වෙනත් අයගේ වැඩට නොයෙදිය යුතු ය.
8. කටු මහා සෑයේ නඩත්තුවට ඒ සඳහා ඇති ඉඩම්වල ආදායම යෙදවිය යුතු ය.
9.කිරිබඬු පවු දාගැබේ නඩත්තුවට ඒ සඳහා ඇති ඉඩම්වල ආදායම යෙදවිය යුතු ය.
10.විශාල බුද්ධ ප්‍රතිමාව ඇති ධාතු මන්දිරයෙන් ද, බෝධි මළුවෙන් ද, නයින් ද,(සිද්ධස්ථානයෙන්) මිණිනාල් දෙවොලෙන් ද, කටු මහා සෑයෙන් ද, කිරිබඬු පවු දාගැබෙන් ද, කඳු ඉහළ දාගැබ්වලින් ද, පහළ ඇති ඇත් වෙහෙරේ දාගැබ්වලින් ද, ලැබෙන මුළු ආදායම හා (රජු විසින් ) පූජා කරන රන් කලං සියය ද, ඇත් වෙහෙරට ලැබෙන යහල දහයක වී ද යන සියලු ආදායම ඕනෑ ම අළුත්වැඩියාවක් සඳහා යෙදවිය හැකිය.
11. විහාරයට අයත් ගම් වැසියන්ගෙන් ද සේවකයන්ගෙන් ද අය කරනු ලබන සියලු දඩ මුදල් විහාරය සතු ය.
12. කිරිබඬු පවුවේ ගහකොළවලින් ද, සංගවැල්ලෙන් ලැබෙන ගෙවල් කුලී වලින් ද, මනුවැසර වැවෙන් හා ලිහිණි පවුවේ වැව් දෙකෙන් ද, පහණවිල හා පොරදෙණි පොකුණ අවට ඉඩම්වලින් ද ලැබෙන ආදායමෙන් තුනෙන් කොටසක් විහාරය සතු වේ.
13. විහාරයට අයත් නිවාසවල වසන අයගෙන් සාධාරණ කුලියක් අය කළ යුතු ය. එහෙත් නිලධාරීන්ගෙන් හා සේවකයන්ගෙන් කුලී අය නොකළ යුතු ය.
14. විහාරයේ කටයුත්තකට හැර යහපත් සේවකයන්ගේ දේපළ පවරා නොගත යුතු ය.
සේවකයන්ට හා සාමාන්‍ය ජනයාට අදාල නියෝග
1. විහාරයට අයිති දේපළ බදු පදනමක් යටතේ පවරා දීමට හැකි වුව ද සින්නක්කර ව පැවරිය නොහැකි ය.
2.(සාමාන්‍ය ජනයාට) දින තුනක අනිවාර්ය සේවා මුරය හැර පොහොය දින සේවය වැනි වෙනත් අතිරේක කාර්යයන් නොපැවරිය යුතුය.
3.සේවකයන් ට පවරා ඇති ඉඩම් හැර ඇත් වෙහෙරට අයත් කිසිම දේපළක් ත්‍යාගයක් ලෙස පැවරීමට හෝ බදු දීමට නොහැකිය.
4. පෙර චාරිත්‍ර ලෙස ලැබෙන සහල් හැර විහාර සේවයේ යෙදෙන කිසි ම නිලධාරියකු වෙනත් යැපීම් දීමනා ලබා නොගත යුතු ය. තම කුඹුරු අස්වැද්දීමට ගොන් බානක් හෝ නොගත යුතු ය.
5.බදුකර යටතේ ලබාගත් ඉඩම් ආපසු ලබා ගත හැක්කේ ඔවුන් (වගා නොකරන්නේ ) නම් පමණි.
6.ඉඩම්වලට අවසර නැතිව ඇතුල්වීම තහනම් වේ.
7.ගස්කොලන් කැපීම තහනම් ය. විහාරයට අයත් ඉඩම්වල තල ගස් හා මී ගස් කැපීමට විශේෂ අවසරයක් ගත යුතු ය.
8. කිසි යම් වැසියකුගෙන් දඩ මුදලක් අය කරන විට එය පෙර චාරිත්‍ර ලෙස අය කළ යුතු ය. ඒ තැනැත්තා ඒ වෙනුව ට වැව්වල වැඩ කිරීම ට ඉල්ලා සිටියොත් ඔහුට එයට ඉඩ දිය යුතු ය.
9.විහාරයට අයත් ගම්වල පාරවල් හා මහා මාර්ග ද කුල සේවකයන් ද විහාරය සතුය.
10.විහාරයට අයත් ඉඩම් කිසිවකු විසින් මිළ දී ගෙන ඇත්නම් එම මුදල විහාරය සතු කරගෙන අදාල පුද්ගලයන් විදේශයන්ට පිටුවහල් කළ යුතු ය.
11.මෙහි දක්වා ඇති නියෝග කිසිවක් උල්ලංඝනය නොකොට ක්‍රියාත්මක කළ යුතු ය.
මුදල් රෙගුලාසි හා ගිණුම් පිළියෙල කිරීම
1.යැපීම් දීමනා ලෙස ලැබෙන දේ හැර (විහාරස්ථානයට ලැබෙන) අනෙකුත් සියලු ම ලැබීම් හා නියමිත අනුමැතිය මත ගෙවන සාධාරණ සත්‍ය ගෙවීම් අදාල ස්ථානයේ පවත්වා ගෙන යන ලේඛනයක සටහන් කළ යුතු ය.
2.දිනපතා (විහාරස්ථානයේ) නඩත්තුවට වියදම් වන මුදල් ද, අළුත්වැඩියාවන් සඳහා වියදම් වන මුදල් ද ලේඛනයේ සටහන් කළ යුතු ය.
3.(ඉහත ලේඛන මත) අදාල ස්ථානයේ හෝ ව්‍යාපාරයේ (එහි පරිපාලනයේ ද) එකඟත්වය ඇති ව ගිණුම් පිළියෙල කළ යුතු ය. එසේ කිරීමේ දී වැරදි සටහන් (ඇත්නම්) ඉවත් කළ යුතු ය.
4.ගිණුම් සටහන් (පිටපතක්) කරඬුවක දමා මුද්‍රා තැබිය යුතු ය.
5. සෑම මසක ම ගිණුම් පිළියෙල කොට ප්‍රසිද්ධ කළ යුතු ය.
6.මාසික ගිණුම් දොළහ ඒකාබද්ධ කර වසරේ අවසානයේ ගිනුම් පිළියෙල කළ යුතු අතර ශේෂ පත්‍රයක් පිළියෙල කොට එය සංඝයා මධ්‍යයේ කියවිය යුතු ය.
7.මෙම නීති කඩ කරන නිලධාරීන් වෙතොත් දඩ මුදල් අය කොට සේවයෙන් පහ කළ යුතු ය.
දෙවැනි සෙල් ලිපියේ ඇත්තේ විහාර සංකීර්ණයේ සේවය කළ අයට ලැබෙන දීමනාය. එකල කුල භේදයක් නොතිබුණු බවට මේ ලිපියෙන් ඉඟියක් සපයයි. නිලධාරීන් හා සේවකයන් හඳුන්වා ඇත්තේ ඔවුන් කළ රාජකාරිවලින් පමණකි.
(උපුටා ගැනීම අවසන්)
දීමනා හිමි වන නිලධාරින් අතරින් කිහිප දෙනෙකුගේ තනතුරු මෙසේ දැක්විය හැකියි.
නකා වෙහෙරේ පාලක හිමියන්, විහාර පරිපාලක (ගිහි), පරිපාලන කමිටු නිලධාරින්, ගිහි ශිෂ්‍ය නිවාස අධිපති, සංචාරක ආරක්ෂක, උත්සව සංවිධායක, විකට නැටුම් ශිල්පීන්, ගොපල්ලන්, මැටි පාත්‍ර සපයන්නා, බාහිර කාර්ය සංවිධායක, වියන් බඳින්නා, ප්‍රධාන පින්තාරුකරු, පින්තාරුකරුවන් එකොළොස් දෙනා, අයකැමි හා ඔහුගේ සහකරුවන්, ධාන්‍ය ගබඩා පාලක, කුලී කම්කරුවන් 24 දෙනා, ප්‍රධාන අරක්කැමි, අනෙක් අරක්කැමියන්,මැටි භාජන සපයන්නා, මාස්පතා ජලපෙරන (ෆිල්ටර්) සපයන්නා, වෙදැදුරන්, කරණවෑමියා, ධාතු මන්දිර පාලක, තෙල් හා තිර සපයන්නා, නෙළුම් මල් සපයන්නන් දෙදෙනා, ගිහි ධර්ම දේශක හා ගුරුවරුන් හය දෙනා, දුම්මල සපයන්නා, ප්‍රධාන කාර්මික නිලධාරි, වඩුවන්, කම්මල් කරුවන් දෙදෙනා, හුණු සපයන්නන්.... ආදි වශයෙන්.
උපුටා ගැනීම
මෙම සෙල්ලිපියෙන් අනුමාන කල හැකි වැදගත් කරුණක් නම් එකල ශක්තිමත් රාජ්‍ය පරිපාලන නීති රීති හා සම්ප්‍රදායන් ද, ඒවා ක්‍රියාත්මක කිරීමට නිසි පරිපාලන සේවයක් ද තිබුණු බව යි. රටේ එවැනි උසස් නීති මාලාවක් ක්‍රියාත්මක වී නොතිබුණේ නම් අඩු තරමින්, මෙවැනි නීති කෙටුම්පත් කිරීමක් පවා සිදු කිරීම අපහසු ය.
උපුටා ගැනීම
විහාර දේපළ සඳහා ආරක්ෂක තැන්පතුවක් ලබා ගැනීම ඉතා උසස් හා ප්‍රායෝගික ක්‍රම වේදයක් පැවැති බවට සාධකයකි. අද පවා ව්‍යාපාර ආයතනවල මෙම ක්‍රමය ක්‍රියාත්මකය. එමෙන් ම භික්ෂූන් වහන්සේලාට සම්බන්ධ අයවලුන් හට තනතුරු නොදීම දූෂණ අවම කිරීමේ ක්‍රමවේදයකි.
උපුටා ගැනීම
වර්තමානයේ වැව් නඩත්තුව, එනම් මඩ ඉවත් කිරීම කරනු ලබන්නේ වැවක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වූ විට වුව ද වැව්වල නඩත්තතුව නිතිපතා කළ බවට මෙම ශිලා ලේඛන සාක්ෂි දරයි. එක් පුද්ගලයකුට පැවරෙන ප්‍රමාණය රියන් 16 ක වට ප්‍රමාණය හා රියනක ගැඹුර බව ද දක්වා තිබේ.
මෙම සෙල් ලිපියේ ඇති ඉතා ම වැදගත් කරුණ නම් අතීත ලංකාවේ ක්‍රමවත් ගිණුම්කරණයක් තිබූ බවට ලැබෙන සාක්ෂියයි. මෙවැනි නිවැරදි අංග සම්පූර්ණ ගිණුම් ක්‍රමයක් එම කාලයේ වෙනත් රටක තිබූ බවට සාක්ෂ්‍ය සොයා ගත නොහැකිය. මෙම ගිණුම්කරණ ක්‍රියාවලිය අංග සම්පූර්ණ වන්නේ මුදල් පොත ලිවීමේ සිට මාසික ගිණුම් පිළියෙල කිරීම දක්වාත් ඉන් පසු වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ඒවා ප්‍රසිද්ධ කළ යුතු බවට දී ඇති උපදෙස් නිසා ය. අවසානයේ ගිණුම් සංඝයා මධ්‍ය යෙහි කියවිය යුතු ය. දැනුදු ව්‍යාපාරවල ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමවේදය ම නිසා අතීත සිංහලයන්ගේ ගිණුම් කටයුතු ඉතා උසස් තත්ත්වයක තිබී ඇති බව පැහැදිලි ය. අනෙක් අතට, ගිණුම් කටයුතු කර ඇත්තේ විහාරයට සම්බන්ධයක් නොමැති ගණකාධිකාරිවරුන් වන අතර ඔවුන් අදාල ස්ථානයේ පරිපාලනයේ එකඟත්වය ද ඇති ව ගිණුම් පිළියෙල කළ යුතු බවට නියෝග කොට තිබේ. එසේ නම් වෙන ම ගණකාධිකරණ සේවයක් තිබෙන්නට ඇත. ලේඛන ආරක්ෂා කිරීමට ද නීති පනවා තිබේ. මේ අනු ව මෙම ශිලා ලේඛන දෙක පිළිබඳ ව ගැඹුරු විශ්ලේෂණයක් කළ හැකිවා සේ ම එමගින් ශ්‍රි ලංකාවේ අතීතය ගැන බොහෝ සාමාජයික හා ආර්ථික කරුණු සොයා ගැනීමට ද හැකි වනු ඇත.
(උපුටා ගැනීම අවසන්)
රට හා එහි ජනතාවගේ ජීවන මට්ටම වඩාත් ඉහල තලයකට ඔසවා තැබීමට සමත් වූ රජවරුන් කිහිප දෙනාගේත් ඒ තත්ත්වය බිඳ නොවැටී පවත්වාගෙන යාමට සමත් වූ රජවරුන්ගේත් පාලන සමයන් හි මෙයට සමාන පරිපාලන ව්‍යුහයක් හා ක්‍රමවේදයන් පැවතුනා නිසැකයි.
දුර්වල පාලකයන් සිටි යුගවල හා රටේ පාලක පැලැන්තිය බල ලෝභයෙන් එකිනෙකා ඇන කොටාගත් යුගවල දී මෙම පරිපාලන ව්‍යූහය බිඳ වැටෙන්නට හා නිලධාරි තන්ත්‍රය අවුල් වන්නට ඇතිවාට සැකයක් නැහැ. මෙවැනි අවස්ථාවල දී කල් යල් බලා පැමිණි ආක්‍රමණිකයන් මේ දිවයිනේ පාලනය සියතට ගෙන මේ සියලු ව්‍යුහයන් හා පද්ධතීන් උඩු යටිකුරු කරනවා. ඉතිහාසය පුරා ආසන්න වශයෙන් වසර දෙසීයකට වරක් මෙබඳු ආක්‍රමණ මගින් සිදු ව ඇති විනාශයන් දැක ගත හැකියි.
කලක් මනා ව වර්ධනය වී පැවති පරිපාලන ව්‍යුහයන් බිඳ වැටී, රාජ්‍යය ද විනාශ වූ අන්දම පිලිබඳ තොරතුරු පොළොන්නරු රාජධානිය බිඳ වැටීමේ කථාන්කරයෙන් වටහා ගත හැකියි.
මනා පරිපාලන ව්‍යුහයක් පවත්වා ගෙන ගිය පරාක්‍රමබාහුගේ මරණින් පසු, රජ කමට පත්වන්නේ රජ මාලිගා සංකීර්ණය තුල ම කිසියම් නිලයක් දරමින් සිටි විදේශික (කාලිංග - නූතනයේ ඔරිස්සා) කුමාරයෙක්. ඔහු නිශ්ශංක මල්ල. ඔහු රජ වූ පසු හීන් සීරුවේ පරාක්‍රමබාහු ප්‍රතිරූපයට මඩ ගසන අයුරු හා පාලන තන්ත්‍රය තුල වූ පරාක්‍රමබාහු ලකුණ මකා දැමීමට උත්සාහ කරන අයුරු ඔහුගේ ම ශිලා ලිපි තුලින් හඳුනා ගත හැකියි. ඒ අරමුණින් ඔහු විවිධ අමනෝඥ ක්‍රියාවන් සිදු කර ඇති බව ද පෙනෙනවා.
එක් උදාහරණයක් මෙසේ දැක්විය හැකියි. වගා නොකර පුරන් වීමට හරින කුඹුරුවලින් පරාක්‍රමබාහු රජය බද්දක් අය කළා. මෙහි අරමුණ භාණ්ඩාගාරය තරකිරීම නොව කුඹුරු, වගා නොකර නිකරුණේ තැබීම අධෛර්යමත් කිරීම බව පැහැදිලියි. පෙර රජු පැනවූ, ජනතාව පෙළන බදු ඉවත් කරන්නෙමැයි කියා නිශ්ශංක මල්ල එම බද්ද ඉවත් කළා. ප්‍රතිඵලය බුද්ධිමත් ඔබට වටහා ගත හැකියි.
(විහාර කිහිපයක පිළිසකර කිරීම් හැරුණු විට නිශ්ශංක මල්ල විසින් කළ ජනතාවට මතක හිටින දෙයක් නැති බැවින් ඔහු කළේ විවිධ ප්‍රචාරණ උපක්‍රම මගින් සිය නම ජනයාගේ සිත්වලට ඇතුලු කිරීමට උත්සාහ කිරීමයි. තමා මෙහි වාඩි වී පිරිත් ඇසුවාය, මෙහි වාඩි වී නැටුම් බැලුවාය, ආදි වශයෙන් සටහන් කළ ගල් පුවරු පොළොන්නරු රාජධානියේ පමණක් නොව ඉන් බැහැර ස්ථානවල පවා දැක ගත හැකියි. වරක් පරාක්‍රම සමුද්‍රයේ අළුත් වැඩියාවක් කරවූ ඔහු එය නිශ්ශංක සමුද්‍රය ලෙස නම් කර ඵලකයක් සවි කරනවා.)
මෙම යුගයේ ක්‍රමික ව සිදු වූ, පාලන තන්ත්‍රයේ අවනතිය, රජ වී නව වසරකින් සිදු වූ නිශ්ශංක මල්ලගේ මරණයත් සමග තව තවත් ශීඝ්‍ර වෙනවා. ඉන් පසු ආ එකොළොස් අවුරුදු අවිචාර සමයේ මේ බිඳ වැටීම උපරිමයට යනවා.
එසේ දුබල ව පැවති දේශයට කල් යල් බලා පැමිණි කාලිංග මාඝ ආක්‍රමණිකයා විසින් අපගේ පරිපාලන ව්‍යුහයේ එතෙක් වූ සියල්ල ද විනාශ කර දැමූ බව කියැවෙනවා. ඒ විනාශයේදී අපගේ මිනිස් ජීවිත පමණක් නොව, සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම්, දැනුම, සම්ප්‍රදාය, තාක්ෂණය, පොත පත, කලා කෘති, වගා බිම්, වාරිමාර්ග ඇතුලු සියල්ල විනාශ වෙනවා.
මනා පරිපාලන ව්‍යුහයක් නොමැති ව, මහා වාරිමාර්ග පද්ධති සහිත පුළුල් කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් පවත්වාගෙන යන්නට බැහැ. ආක්‍රමණිකයා වෙනත් කිසිවක් විනාශ නොකර, පරිපාලන ව්‍යුහය පමණක් බිඳ දැමුවත් මේ ශිෂ්ටාචාරය විනාශ වී යන්නට තිබුණා.
එසේ ම ඔහු පැමිණෙන කාලය වන විට පරිපාලන ව්‍යුහය කෙතරම් බිඳ වැටී තිබුණේද යත් ආක්‍රමණයක් සිදු නොවුව ද මේ රාජධානිය බිඳ වැටී යාමට ඉඩ තිබුණු බව ට ද අදහසක් පවතිනවා.
(කාලිංග මාඝ ආක්‍රමණිකයා විනාශ කරන්නෙ පොළොන්නරුව පමණක් නොවෙයි. අවසන් චෝල ආක්‍රමණයේ දී විනාශ නොවී ඉතිරි වුණු, සහ පොළොන්නරු යුගයේ රජවරුන් විසින් පිළිසකර කරවූ අනුරාධපුරයේ වූ ඉදිකිරීම් සියල්ල ද ඔහු විනාශ කරනවා. මුළු රජරට ශිෂ්ඨාචාරය ම අත්හැර දැමීමට සිදු වන්නේ මේ ව්‍යසනයෙන් පසුවයි.)
ඉතින් අප අද සිටින්නේ කොතැන ද? අතීත යුගයන්හි සංවර්ධිත රටක් වූ අප අද ඉන්නේ කුමන අන්දමේ ප්‍රපාතයක ද? අදත් අප බත නිපදවා ගන්නේ මුලින් කී විශිෂ්ඨ පාලකයන්ගේ යුගවල ඉදි කළ මහ වැව් කිහිපය නිසා. විදේශ විනිමයෙන් කොටසක් උපයා ගන්නේ ඒ යුගවල කෙරුණු නිර්මාණයන්ගේ අවශේෂ, විදේශිකයන් ට පෙන්වීමෙන්.
අප හැමදා පහළ සිටි ජාතියක් නොව උඩ සිට පහළට ඇද වැටුණු පිරිසක් බව ඔබට පැහැදිලි වන්නට ඇති.
ඔබේ අදහස් මොනවාද කියා දැන ගැනීමටත් කැමතියි.
පරාක්‍රමබාහු රජු විසින් පැනවූ අධික බදු / සේවා දරාගත නොහැකි වූ සාමාන්‍ය ජනයා ගම්මාන පිටින් රාජධානිය හැරදමා රාත්‍රියේ සැඟවී (වයඹ පළාතට)පලා ගියා ලු, නිශ්ශංකමල්ල උත්සහ දරන්න ඇත්තේ එම ගැටලුවට විසඳුමක් දෙන්නයි,
ReplyDeleteඑවැනි සිද්ධියක් තහවුරු කෙරෙන කිසිදු සාධකයක් මේ ගවේෂණ හා පර්යේෂණවලදි හමු වන්නෙ නැහැ මිතුරාණනි. අනෙක් අතින් වයඹ, මධ්‍යම ආදි පළාත් සෘජුව ම පරාක්‍රමබාහුගේ ආධිපත්‍යයට නතු වූ ප්‍රදේශ. ඒ දෙසට පලා ගොස් ඔහුගේ බළ පෑම්වලින් ගැලවීමේ පසු බිමක් තිබුණෙ නැහැ. (අප නිශ්ශංක මල්ල ගැන උවමනාවටත් වඩා තොරතුරු රැස් කර තිබෙනවා. වසර කිහිපයක් තිස්සේ මගේ දවස ගෙවෙන්නේ මේ පොළොන්නරු භූමිය ඇසුරේ. ඔහු ගැන ලියැවී තිබෙන පර්යේෂණ ග්‍රන්ථ ද බොහොමයි. ඒවා ඇසුරෙනුත්, මගේ අධ්‍යයනයන් ඇසුරෙනුත් එළඹ ගත හැකි නිගමනය මා ඉහත ලිපියෙහි සඳහන් කර ඇති තත්ත්වයයි.එක් එක් පුද්ගකයන් කියන පමණින් විශ්වාස නොකර තමා ම අධ්‍යයනය කිරීමෙන් තමයි යමක යථාර්ථය වටහා ගත හැකි වන්නේ.) ද
ReplyDeleteඋඩ ඉදන් වැටෙනවා වැටෙනවා ඉවරයක් නැහැ .ඔක්කොටම හපන් රාජ්‍ය පරිපාලනය ...උසස් අධ්‍යාපනයයි මහා මාර්ගයි එක ඇමතිට තිබ්බ රටක්නේ මේක.ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීම් වලට
ReplyDeleteඔබගේ ඇගයීම මට ද මහත් ශක්තියක්. ඒ ගැන ඔබටත් ස්තුතියි. එසේ ම මේ ව්‍යසනය වටහා ගත හැකි අය අතරින් ඔබ ද කෙනෙකැයි මට හිතෙනවා. සමාජයේ විශාල පිරිසක්, ඉතිහාසය නොදන්නා, එසේ නැතහොත්, ඉතිහාසයට ද්වේෂ කරන අය බව මා දැක තිබෙනවා. එවැනි අය නම් ව්‍යසනයක් සිදු ව ඇති බව පවා වටහා ගන්නේ නැහැ.
Delete