Sunday, December 31, 2017

අපිට අමතක වූ අපි


බන්ධුල සිසිර කුමාර -



අපේ අතීතය, ප්‍රධාන වශයෙන් අනුරාධපුර යුගයේ අග භාගයේ සිට විමසිල්ලෙන් නිරීක්ෂණය කළ හොත් දැක ගත හැකි දෙයක් තමයි, වසර දෙසීයකට පමණ වරක් අප මත මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී ඇති බව. මේ ප්‍රහාරයන්වලට ගොදුරු වෙමිනුත් අප අපගේ දැනුම, තාක්ෂණය, සම්ප්‍රදාය ආදි දේ රැකගෙන බොහෝ කලක් පැවතුණා. මේවා අතුරින් සමහර ප්‍රහාර අතිශය තීරණාත්මක වුණා. පොළොන්නරු යුගය අවසාන කරමින් කාලිංග මාඝ විසින් වසර හත් සියයකට පමණ පෙර එල්ල කළ ප්‍රහාර මාලාවත් 1818 න් පසු ඉංග්‍රීසින් විසින් කළ විනාශ කිරීම්, ප්‍රහාර හා තහනම් නීති රීති පැණවිම් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

කාලිංග මාඝගේ ප්‍රහාරයන් වලදී වයස 16 ට වැඩි සියලු පිරිමින් මරා දැමීමට නියෝග කළ වගක් පැවසෙනවා. (මෙවැනි ක්‍රියාවක් 1818 හෝ 1848 කැරලි සමයේදී ඉංග්‍රීසින් විසින් ද ක්‍රියාත්මක කළ බවට කතාවක් තිබෙනවා.) එවැන්නක් සිදු වුවහොත්, රටක ඒ දක්වා පැවති දැනුම, තාක්ෂණය, ශිල්ප ක්‍රම, අභිමානය ආදි බොහෝ දෑ අහෝසි වී යනවා. ඉන් පසු නැවත ජාතිය වර්ධනය වන්නේ මව් වරුන්, මිත්තණියන් ඇසුරේ හැදී වැඩුණු කුඩා ළමුන් ලොකු මහත් වීමෙන්. ඔවුනට උගැන්වීමට, මග පෙන්වීමට පිරිමි පරපුරක් නැහැ . ඇත්ත වශයෙන් ම අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හි ඉදි වූ මහා කලා නිර්මාණ, විශිෂ්ට ගණයේ සෙල් මුවා පිළිම, බිතු සිතුවම්, මහා වෙහෙර විහාර ආදිය පොළොන්නරු යුගයෙන් පසු නැවතත් ඉදි නොවීමට හේතුව මෙය විය හැකියි.

ඉංග්‍රීසි පාලකයන් විසින් ද, අපගේ ආර්ථිත රටාවන් හා සම්ප්‍රදායන් වෙනස් කිරීම, අපේ වාරිමාර්ග පද්ධතිය කඩා බිඳ දැමීම, ඉන් පසු අපට ආහාර සැපයීමේ කාර්යය අප මත ම පැටවීමේ අරමුණින් වැව් අමුණු නැවත ප්‍රතිසංස්කරණය කළ ද, පැවති විශීෂ්ට වාරිමාර්ග පද්ධතිය විකෘති කිරීම හා අපේ අද්විතීය නිර්මාණයන් වූ බිසෝ කොටුව වැනි අංගයන් කඩා ඉවත් කිරීම, ෂෙපීල්ඩ් වානේ වලටත් වඩා උසස් යයි ඔවුන් ම පිළි ගත්, සහශ්‍ර වර්ෂ ගණනාවක් වර්ධනය වී ඉතා ඉහළ මට්ටකට පැමීණ තිබූ අපේ වානේ කර්මාන්තය තහනම් කර එංගලන්තයේ වානේ වලට අපේ රට තුල වෙළඳ පොළක් සැකසීම, තමන් ට තර්ජනයක් වීම වැළැක්වීමේ අරමුණින්, ඉතා දියුණු අඩියක පැවැති අපගේ අංගම් ශිල්පය ඉගැන්වීම තහනම් කිරීම වැනි අනේක විධ විනාශයන් රැසක් අප වෙත එල්ල කළා.

නාමික ව ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී ඇත ද, ආර්ථික වශයෙන් ඔවුන්ගේ මළ පුඩුවෙහි සිර ව සිටින, නිදහසින් පසු යුගයේ ද, විජාතික කරණය, ඉතිහාසය පාසල් විෂය මාලාව තුලින් ඉවත් කිරීම ආදී කටයුතු මගින්, තමන් කවුරුන් ද, තමන්ගේ අතීතය කෙබඳු ද යන්න නොදත් ජාතියක් බිහි වීම වැනි විනාශයන් දිගින් දිගට ම සිදු වුණා.

මේ පිළිබඳ ව අපි ඉදිරි ලිපියක දී වැඩි දුරටත් කතා කරමු. අද මා කියන්න ට බලාපොරොත්තු වුණේ මෙහි කියවුණු  දෙයක් වූ වානේ කර්මාන්තය හා සෙල් මුවා පිළිම නෙලීමට අදාල පුංචි කාරණාවක්.

අනුරාධපුර හා පොළොන්නරු යුගවල ඉදි වූ සෙල් මුවා පිළිම, සඳකඩ පහණ ආදිය දකින සමහරු කියන කථාවත් තමයි, ගල් මොළොක් කරන බෙහෙත් එකල තිබෙන්නට ඇතිය කියන එක. තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයකු වන මා දන්නා දෙයක් තමයි, යමක් මනා ලෙස කැපීමට අත්‍යවශ්‍ය වන්නේ මොළොක් වීම නොව අභ්‍යන්තර ආතතීන් නොමැතී වීම හා එය කැපිය හැකි ආවුදයක් සකසා ගැනීම බව. ගල්වලට වඩා බෙහෙවින් මෙළෙක් වූ ලී කැබැල්ලකින් වුවත් නිර්මාණයක් කිරීමේදී අභ්‍යන්තර ආතතීන් නිසා එය කැඩී යා හැකියි.

ගල් මොළොක් කරන බෙහෙත් නොව, ගල්වල අභ්‍යන්තර ආතතීන් ඉවත් කරන ශිල්ප ක්‍රම හෝ රසායන ද්‍රව්‍ය තිබෙන්නට ඇති. එසේ නැත්නම් අභ්‍යන්තර ආතතීන් රහිත ගල් තෝරා ගැනීමේ ශිල්ප ක්‍රම තිබුණා විය හැකියි.

අනෙක් කරුණ වන්නේ ආවුදය සකසා ගැනීමයි. නියමාකාරයෙන් වානේ සංයෝග කිරීමේ හා නියම පමණට පණ පෙවීමේ තාක්ෂණය ඇති ශීල්පීන් හට ඉතා විශාල පරාසයක් තුල විවිධ දැඩි බවින් යුතු වූ ද්‍රව්‍යයන් කැපීම සඳහා විවිධ කැපුම් ආවුද නිපදවීම මහා ලොකු දෙයක් නොවෙයි. වානේ තාක්ෂණය අතින් ඉතා ඉහළ සිටි අපේ පැරැන්නන් ඉතා පහසුවෙන් මේ ආවුද තනා ගන්නට ඇති.

ප්‍රතිමාවල මිනුම් හා අනුපාත පිළිබඳ ව එකල තිබූ "බිම්බමානය නොහොත් ශාරිපුත්‍රය" වැනි පොතපත අදටත් සොයා ගැනීමට තිබෙනවා. නිවැරදි අනුපාත පිහිටුවා ගැනීමට ඒ දැනුම භාවිතා වන්නට ඇති. ඒ අනුපාතයන්ට අනුව ත්‍රිමාණ ව ප්‍රතිමාව නෙලීමේදී ඊට අදාල විවිධ උපකරණ හා ශිල්ප ක්‍රම යොදා ගෙන තිබෙනවා. මේ සඳහා භාවිතා වූ එක් සැකැස්මක් වන "ලඹ තට්ටුව" නමැති සැකැස්ම කොළඹ කෞතුකාගාරයේදී දැක ගත හැකියි.

මේ විශිෂ්ට නිර්මාණ සඳහා බලපෑ තවත් කරුණක් නම් ශිල්පියාගේ සංයමය හා විනය යි. ඒ සංයමය සහ විනය සඳහා සාම්ප්‍රදායික විශ්වාස ආදියත් කිසියම් බල පෑමක් ඉටු කර තිබෙන බව පෙනෙනවා. ප්‍රතිමාවක ඒ ඒ කොටස නිර්මාණයේදී වැරදි සිදු කළ හොත් ශිල්පියාගේ පවුලේ ඒ ඒ අයට අපල ඇතිවන බවට විශ්වාසයන් පැවතී තිබෙනවා. මේ නිසයි අපට විකෘති වූ ප්‍රතිමාවන් දැක ගැනීම අති දුලබ වන්නේ.

ඇත්ත වශයෙන් ම, අද අප අතරින් සමහරුන් භෞතිකවාදී ව අවඥාවෙන් බැහැර කළ ද අපගේ විනය පවත්වා ගැනීම සඳහා අතීතයේ මෙම සාම්ප්‍රදායික විශ්වාස ද, වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනෙනවා. 

තව බොහෝ දෑ ඉදිරි දිනක කතා කරමු.

මෙය ලියන විට මගේ හිතට නැගුණු ගීතයකුත් මේ සබැඳිය ඔස්සේ අහන්න.

සුද්දා බිසෝ කොටුව කඩන්න නියෝග කළේ ඇයි?



බන්ධුල සිසිර කුමාර



වේල්ලට කිසිදු හානියක් නොවී මහා ජලාශයකින්, පාලනයක් සහිතව ජලය පිටතට ගැනීමේ තාක්ෂණය ලෝතයට හඳුන්වා දුන්නෙ අප. මේ සඳහා ඉදිකරන ලද ව්‍යූහයට කියන නම තමයි බිසෝ කොටුව කියන්නෙ. ඉංග්‍රීසීන් මුලින් ම අපේ වැව් අමුණු පද්ධතිය වනසා දමනවා. ඒ එතෙක් ශක්තිමත් ව පැවතුණු අපේ පදනම බිඳ දමන්න. පසු කාලයක ඔවුන් ම අපේ මහ වැව් කිහිපයක් අළුත් වැඩියා කරනවා. ඒ යටත් වැසියාගෙ බත සපයා ගැනීමේ කාර්යය ඔහුට ම කර ගන්නට ඉඩ සළසා තමන්ගෙ වැඩ අඩු කර ගන්න. ඒත් එහිදී ඔවුන්, එතෙක් හොඳ තත්ත්වයේ පැවති බිසෝ කොටු එකක් වත් අළුත් වැඩියා කරන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒවා කඩා දාන්න නියම කරනවා. අපේ අනන්‍යතාවය හා අපේ අභිමානය ඒ නිර්මිතයෙහි රැඳී තිබෙන නිසයි ඒ එසේ කරන්නෙ. පාකර් මෙයට විරුද්ධ වුණත් ඔහුට ආණ්ඩුකාරවරයාගෙ නියෝගය ක්‍රියාත්මක කරන්න වෙනවා. මේවා කඩා දැමීමට නොහැකි .තරම් ශක්තිමත් බව ඔහු වරෙක කියනවා.

කෙසේ වුවත් අවසානයේ සිදුවන්නේ එතෙක් පැවැති බිසෝකොටු බොහොමයක් විනාශ කරනු ලැබීමත්, ඉතිරි ඒවා භාවිතයෙන් ඉවත් වීමත්. ඉංග්‍රීසීන් ඒ වෙනුවට ඒ සිද්ධාන්තයම ක්‍රියාත්මත වෙන, එහෙත් ඔවුන් ගේ අනන්‍ය ලකුණ සහිත වෙනත් නිර්මිතයන් ඒ සඳහා ඉදිකරනවා.

ජනතාවගේ අවශ්‍යතාවක් මත නොව දේශපාලකයන් අතලොස්සකගේ පුද්ගලික කෝන්තර හා බල ලෝභය හේතු කොට ගෙන, යුද්ධයකින් කවදාවත් ආක්‍රමණිතයකුට සම්පූර්ණයෙන් යටත් කරගත නොහැකි වූ අපේ රට කුමන්ත්‍රණාත්මක කපටි ව්‍යාජ ගිවිසුමක් මගින් වසර 202 කට පෙර 1815 දී ඉංග්‍රීසීන් විසින් යටත් කර ගනු ලැබුවා. 

ඒ හේතුවෙන් අපට අහිමි වී ගිය බොහෝ දේවල් අතරින් එකක් පමණයි මේ. අනෙක් ඒවාත් ලියන්න ගියොත් මේ ලිපිය බොහෝ දීර්ඝ වේවි. ඒ නිසා ඒවා ගැන පසුව කථා කරමු.

ඔබ සමහරු කියාවි අපට ඔවුන්ගෙන් ලැබුණු දේත් තියනවා නේද කියා. ඒ දේවල් ලැබෙන්නේ යටත් විජිතයක් වුණොත් විතරද? එසේ වෙනවා නම් (දෙවැනි ලෝක යුද්ධයේදී පරාජය බාර ගැනීම හැර) කවදාවත් කාගෙවත් යටත් විජිතයක් නොවුණු ජපානය අද ගල් යුගයේ ද තිබෙන්නේ...?

කවදාද අපගේ මොළය පෑදෙන්නෙ....?

මේ සබැඳියේ ඇති වීඩියෝව බලන්න. බිසෝකොටුව ගැනත්, ඊට සිදු වූ දේ ගැනත් බොහෝ දෑ දැනගත හැකි වේවි.


https://www.youtube.com/watch?v=gh0x5XusJ4M

Sunday, December 24, 2017

අවසාන සමුගැනීම

බන්ධුල සිසිර කුමාර -





නවකතාවක් සිනමාවට නැගීම, කතාවක් කාව්‍ය හෝ ගීත නිර්මාණයක් බවට හැරවීම ආදී වශයෙන් නිර්මාණයක් වෙනත් මාධ්‍යයකට හැරවීමේ දී සිදුවිය යුත්තේ කුමක් ද? මෙහිදී මා දරන අදහස නම් මුල් නිර්මාණය අප තුල ඇති කරන රස භාවයන් කෙබඳු ද, එම රස භාවයම හෝ ඊට ඉතා ආසන්න රස භාවයන් සහෘදයා තුල ඇති කළ හැකි නම් පමණක් ඒ නිර්මාණය වෙනත් මාධ්‍යයකට හැරවීම සාර්ථක වී ඇති බව කිව හැකියි. අපේ රටේත් විදේශ රටවලත්, නව කතා හා ඒවා ආශ්‍රයෙන් නිමැවුණු සිනමා කෘති විමසීමේදී මෙම අවශ්‍යතාවය ඉටු නොවූ අවස්ථා තමයි වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ. එය සාර්ථක ව ඉටු වූ අවස්ථා ගැන සළකා බලද්දී සිහියට නැගෙන එක් උදාහරණයක් තමයි තුංමංහන්දිය. නවකථාවේ රචකයා මෙන්ම සිනමා පටයේ අධ්‍යක්ෂ වරයාත් එක් අයකු වීම වගේම මහගම සේකරයන් වෙත වූ අති විශිෂ්ට ප්‍රතිභා ශක්තියත් මේ සඳහා බල පාන්නට ඇති.

ඒත් මා මේ ලිපිය පටන් ගත්තේ සිනමා පට ගැන කියන්නට නොවේ.

කිසියම් නවකතාවක සියලු රස භාවයන් කැටි කොට ගත් ගීතයක් නිමැවුණු අවස්ථා ඔබ අසා තිබේ ද?

මා සඳහන් කරන්නට යන ගීතය අලුත් එකක් නොවේ. එය දශක ගණනක් පැරණියි. එහෙත් පැරණි වූ පමණින් නිර්මාණයක විශිෂ්ට ලක්ෂණයන්හි කල් ඉකුත් වී යන්නෙ නැහැ. මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගේ පද රචනයක්.

මේ 
කඳුලු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි
එය ඔබේමයි

ඇඳ වියල ලඟ අඩ සඳින් දිදුලන
මළ තාරකාවක සිහිල කැටි වුණ
මේ
කඳුලු බිඳුවේ අයිතිකාරිය
ඔබ තමයි

හඬන්නට
කිසිදා නොදැන සිටි මට
මළ පොත කියා දී නොකියා ම ගිය
මේ
කඳුලු බිඳුවේ අයිතිකාරිය
ඔබ තමයි


එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා නවකතා යුගලයෙහි කියැවෙන ශෝකී ප්‍රේම වෘත්තාන්තය, එහි රස භාව ඒ ලෙසින් ම ජනිත වන ලෙස නිමැවුණු ගීතයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. නවකතාවට සම්බන්ධ ස්ථාන නාම, පුද්ගල නාම ආදි කිසිවක් සඳහන් කිරීමක් පවා නොකර එම රස භාවයන් පමණක් ප්‍රතිනිර්මාණය කළ හැකිවිම මා නම් දකින්නෙ අති විශිෂ්ට හා අති දුර්ලභ හැකියාවක් ලෙසයි.

මා මේ ගීතයේ දකින සුවිශේෂීතාව එපමණකින් නිමා වෙන්නෙ නැහැ. ඉතා සරල හා අවම වචන කිහිපයකින් මේ මහා වික්‍රමය සිදු කරන අතර ම, සිංහල භාෂාවෙ වචනවල ඇති බහු අර්ථ, ශ්ලේෂාර්ථ ආදිය මනා ව හසුරුවා ගනිමින් විවිධ මංපෙත් ඔස්සේ අර්ථ නැංවෙන අයුරින් සිදු කර ඇති භාෂා භාවිතය මේ හැරුණු විට මා දැක ඇත්තෙ ගීත අතලොස්සක විතරයි. එයිනුත් සමහර ඒවා රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගේ ම ගීත නිර්මාණ. 

ගීතයේ දෙවන කොටසෙහි, කඳුලු බිඳුව ගැන පැවසීමේ දී, එය මළ තාරකාවක් සේ ශීතල බව කියැවෙනවා. තාරකාව ස්ත්‍රී රූපී ව ගත හොත්, එය කාන්තාවකගේ මළ සිරුරක් හා එහි ශීතල සිහියට නංවනවා. අනෙක් අතින් විද්‍යාත්මකව සළකා බාහිර අර්ථය ගතහොත්? මළ තාරකාවක් - දැවී නිම වූ තාරකාවක් යනු අධි ශීත වස්තුවක්. 

තුන් වැනි කොටසෙහි භාෂාව යොදා ගැනීමත් ඒ හා සමානයි. 

"හඬන්නට කිසිදා නොදැන සිටි මට - මළ පොත කියා දී නොකියා ම ගිය"

එක් අරුතක් සළකා බැලූ විට, මළ පොත කියවීම යනු අතීතයේ දී අවමඟුල් නිවෙස් වල ශෝකී ස්වරයෙන් කළ ගායනා විශේෂයක්. මෙතෙක් කල් හඬන්නට හුරු වී නොසිටි ඔහුට ඇය එම ශෝකී පසුබිම නිර්මාණය කර නික්ම යනවා. අනෙක් අරුත සැලකූ විට, නොදන්නා කෙනෙකුට මුලින් ම අකුරු කියාදෙන පොත ලෙසත් මළ පොත සඳහන් වෙනවා නේ. (මළ පොතේ අකුරක් බැරි මිනිසුන්) ඒ අරුතින් ගත් විට දීත්, හඬන්නට නොදත් ඔහුට හැඬීමේ මළ පොත කියා දෙන්නෙ ඇයයි.

එසේ ම මේ කොටස් දෙකෙහි ම ඇසෙන "මළ" යන්නෙහි ධ්වනිතාර්ථයෙන් මේ කථාවෙහි ශෝකී අවසානය හඟවනවා.

මෙම ගීතයේ ඊ ළඟ වික්‍රමය මා දකින්නෙ සංගීත නිර්මාණකරු රෝහණ වීරසිංහයන් වෙතින්. 

මේ තරම් විශීෂ්ට ගීත රචනාවක් ව තිබියදීත්, පාද එකින් එකට විවිධ මාත්‍රා ගණන් සහිත ව නිසඳැසක් මෙන් ලියැවී ඇති මේ පද මාලාව සුගායනීය වන අයුරින් මෙන් ම අර්ථය ද කුළු ගැන්වෙන අයුරින්, අවම වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක්ද යෙදෙන පරිදි මේ ගීතයට සංගීත නිර්මාණය කර තිබීමත් අතිශය දුර්ලභ ගණයේ දක්ෂතාවක් ලෙසයි මා දකින්නෙ.

මේ සියලු දේ එක්තැන් වූ මේ අපූරු ගීතයට ප්‍රාණය දෙන්නෙ සුනිල් එදිරිසිංහයන්, ඔහුගේ සුවිශේෂී කටහඬින් හා ගායන විලාශයෙන්.

ඔබ මේ ගීතය අනන්නවත් අසා ඇති. එහෙත් මනා අවධානයෙන් නැවතත් අසා බලන්න.

මෙන්න සබැඳිය.

Tuesday, December 19, 2017

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ


බන්ධුල සිසිර කුමාර -


අපට අසන්නට ලැබෙන ගීත අතර සමහර අපූරු ගීත තිබෙනවා, ඉන් කියැවෙන්නේ කුමක් ගැනදැයි එක් වචනයකින් හෝ නොකියවෙන. රෝහණ බැද්දගේ ශූරීන් ගායනා කරන මේ ගීතයත් එබඳු එකක්.

හෝ හෝ ජල්ලියා - ජල්ලි ජකිරි ජල්ලියා

තෙන් තෙඳිනානේ නා තෙඳිනානේ ජල්ලි ජකිරි ජල්ලියා

රා මදිතෙයි - රා බොමුතෙයි - දබර වෙතෙයි

පාන් කතෙයි - කහට බොතෙයි - රෑ නටතෙයි

අද හිරු පායයි දෝ

හෙට හිරු පායයි දෝ

කමත වටේ යන - එක තැන කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



බාලොලි බාලොලි - සින්දු ද සීපද - රස කතන්දර කියඤ්ඤා

පැණි කොමඩු කැකිරි - සූකිරි මීපැණි - රත්තරන් හැන්දෙන් කවඤ්ඤා

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



ජහ් පිට ජහ් මහ් - ඉක්මන් ගමනට - පැත්තෙන් පැත්තට දක්කඤ්ඤා

කීකරු නූනොත් - චටාස් පටාස් - පිට හරහට දෙසඤ්ඤා

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



මෙය අසන ඔබට විවිධ චිත්ත රූප මැවෙනවා ඇති. ඒ අනුව ඔබ මේ ගීතයට විවිධ අර්ථකථන දෙනවා ඇති. එහෙත් මට හිතෙන්නේ මේ විවරණය කරන්නේ අපේ සමාජයේ එක්තරා පැති කඩක් කියලයි.

ඊට අනුව මෙය අපේ රටේ දේශපාලනය හා බැඳුණු එක්තරා දෙයක්. මා මගේ බ්ලොගය තුල පක්ෂ දේශපාලනය පිළිබඳ ව කථා කරන්නනේ නැහැ. එහෙත් මේ කියන කතාව පක්ෂ භේදයක් නැති පොදු කථාවක්. මේ ගීතය තුලින් මා දකින දෙය විස්තර කරන්න අත්‍යවශ්‍ය වන නිසා නීරස ඒ මාතෘකාවට අදාල කරුණු කිහිපයක් පමණක් මෙහි සඳහන් කරනවා.

බහු පක්ෂ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වීමට නම් ඡන්ද දායකයා හොඳ විචාර බුද්ධියක් හා ප්‍රමාණවත් අවම දැන උගත් කමක් තිබිය යුතු අයකු විය යුතු යැයි මා සිතනවා. නිදහසින් පසු අපේ ගමන් මග විචාරශීලී ව නිරීක්ෂණය කළ හොත් ඡන්ද දායකයා විසින් වැරදි තීරණ ගත්, ඒ අනුව මුළු රටේ ම ඉදිරි ගමන වියවුල් තත්ත්වයනට මුහුණ පෑ අවස්ථා කිහිපයක් හෝ දැග ගත හැකියි. " වරද ඇත්තේ වරින් වර පාලනය කරන කණ්ඩායම් අත නොව ජනතාව අතයි. එබැවින් මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගත යුතුයි" කියා කවුදෝ කියා තිබූ කියමන එවිට සිහි වෙනවා.

එවැනි ම තවත් දෙයක් මතකයට නැගෙනවා. ඉස්සර මැතිවරණ දිනවල රාත්‍රියේ රජයේ ගුවන්විදුලිය මගින් ගෙන එන මැතිවරණ ප්‍රතිඵල විකාශයක් තිබුණා. (මා හිතන්නේ එය දැනටත් සිදු වෙනවා) මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන නැඹුරුවට අනුරූප වන ගීත මෙම විකාශයේ වරින් වර වාදනය වෙනවා. දශක කිහිපයකට පෙර එක්තරා මැතිවරණයක ප්‍රතිඵලය, බලාපොරොත්තු නොවූ දිසාවකට හැරෙමින් තිබියදී "මේ රටේ මිනිස්සු - තනිකර කෙළින්නෙ පිස්සු" යන ගීතය වාදනය වූවා මට මතකයි.

මට හිතෙන අන්දමට නම් මේ තත්ත්වය අදාල වන්නෙ නූගත් ජන කණ්ඩායම් වලට පමණක් නොවෙයි. ප්‍රාමාණික උගත් කම් ඇති එහෙත් දේශපාලනික අවබෝධය හා විචාර බුද්ධිය අතින් ඉතා දිළිඳු පුද්ගලයන් මට බොහෝ සෙයින් හමුවී තිබෙනවා. ඔබ අතුරින් කිසිවකු මීට එරෙහි ව අවි අමෝරා ගෙන ආ හැකි නමුත් වරෙක මට මෙහෙම හිතෙනවා. ඒ, ප්‍රමාණවත් බුද්ධි ඵලයක් සහිත බව කිසියම් පරීක්ෂණයකින් තහවුරු කර ගත් පුද්ගලයන්ට පමණක් ඡන්ද බලය හිමි විය යුතු බවයි. (මිහිඳු හිමි දෙවන පෑතිස් රජුගේ බුද්ධි මට්ටම පිරික්සා බැලූ අයුරින් වත්.) 

දැන් නැවතත් අපි ගීතයට යොමු වෙමු.

ගම්, නගර හා අර්ධ නාගරික ප්‍රදේශ යන සියලු ජනාවාසයන් හි අපට දැක ගත හැකි කිසියම් ප්‍රජාවක් සිටිනවා ඉතා අඩු බුද්ධි මට්ටම්වලින් හා පහළ අධ්‍යාපනික මට්ටම් වලින් යුතු. ඔවුන්ගේ පහළ අධ්‍යාපන මට්ටමට බොහෝ විට හේතු වන්නේත් මේ අඩු බුද්ධි ඵලයයි. මේ හේතු දෙක ම නිසා ඔවුන්ගේ ආර්ථික මට්ටම ද අයහපත්. පක්ෂ භේදයකින් තොර ව විවිධ දේශපාලකයන්ගේ පසුපස වැටී සියලු බැල මෙහෙවර සඳහා සාමාන්‍යයෙන් ඉදිරිපත් වන්නේ මේ ප්‍රජාවයි. ඇත්තෙන් ම ඔවුන් ට ඒ වෙනුවෙන් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රතිලාභයක්. එහෙත් ඔවුන් ඉන්න තත්ත්වය අනුව ඔවුන්ට එය දැනෙන්නේ මහ මෙරක් ලෙසයි. මා සිතන්නේ මේ ගීයෙන් කියවෙන්නේ ඒ ප්‍රජාව ගැන බවයි.

ගීතයේ පළමු කොටසේ විස්තර කෙරෙන්නේ වැටී ඇති තැනින් කිසිදා ගොඩ ඒමක් නොමැති ව එකම තැන කරකැවෙන ඒ මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තියයි. 

තමාගේ කටයුතු කර ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් ට රස බස් කියා බලාපොරොත්තු ගොඩ නංවන ආකාරය, ගීතයේ දෙවන කොටසේ විස්තර වෙනවා. ඔවුන් කමතේ ගොයම් පෑගීමට යොදා ගන්නා ගවයන් වැනියි. ගොයම් පාගා දුන්නත් ඔවුන්ට එහි ඇති ගොයම් කන්නට බැහැ, හොම්බට කටකලියාවක් බැඳ ඇති නිසා.

අවශ්‍ය කටයුත්ත කර ගත්තට පස්සෙ ඔවුන් දක්කන්නෙ තමන්ට වුවමනා හැටියටයි. අකීකරු වෙන්න ගියොත් කෙවිටි පාර වදිනවා. තුන් වැනි කොටසෙන් කියැවෙන්නෙ එයයි.

මේ අපූරු ගීතයේ රචකයා හෝ සංගීත ශිල්පියා කවුරුන්දැයි සොයා ගන්නට බැරි වුණා. (මට හිතෙන්නේ ඒ ද රෝහණ බැද්දගේ ශූරීන් ම විය යුතු බවයි.) ඔබ ඒ පිළිබඳ යමක් දන්නේ නම් කමෙන්ටු ලෙස දක්වන්න.


පහත දැක්වෙන සබැඳිය ඔස්සේ ගීතය අසා බලන්න, ඔබට සිතෙන්නේත් මට සිතුණු දේ ම ද කියා.


Tuesday, December 12, 2017

ඉතිහාසය වෙනස් කළ මිනිස්සු -1

බන්ධුල සිසිර කුමාර-





අප සියලු දෙනා ම ජීවිතයේ යම් යම් තීරණාත්මක සන්ධිස්ථානයන් පසු කරනවා. එවැනි අවස්ථාවක දී, මෙසේ නොවී එසේ වූවා නම් අද අපගේ ජීවිත මීට වඩා හාත්පසින් ම වෙනස් තැනක තිබෙනු ඇති. ඔබේ ජීවිතයේ එබඳු අවස්ථාවන් කීයක් ඔබට සිහිපත් කළ හැකිද?

ඔබේ සිතිවිලි තවත් ටිකක් එපිටට විහිදුවා බැලුවොත් ඔබට පෙනේවි, අපේ ජීවිතයේ වගේ ම අපේ රටේ, ලෝකයේ ඉරණම, ගමන් මඟ තීරණය කළ තීරණාත්මක සන්ධිස්ථානයන් ද තිබුණු බව.


1815 දී අප රට මුළුමනින් ම ඉංග්‍රීසීන්ට යටත් නොවූයේ නම්............?

1505 පෘතුගීසීන්ට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත හැකි නොවූයේ නම්......??

1818 නිදහස් අරගලය ජයග්‍රහණයෙන් ම කෙළවර වූයේ නම්..........??


මේ එක් එක් සිද්ධිය මෙසේ වූයේ නම් අද අප රටේ තත්ත්වය කෙබඳු වනු ඇති ද?

මා මෙයට පෙර ලිපියකදීත් පැහැදිලි කළා, සැම දිනයක් ම ඊට පෙර දිනයේ ප්‍රතිඵලයක් මෙන් ම, ඊට පසු දිනයේ හේතුව ද වන බව. ඒ අනුව සතියකට, මාසයකට, අවුරුද්දකට, සියවසකට හෝ දහස් වසකට පෙර වුවත් සිදුවූ සිදු වීමක ප්‍රතිඵල අප අදටත් බුක්ති විඳිනවා. මේ කියන්න යන කථාවේ පසුබිමත් අපේ පරම්පරා කතාවේ එක් සන්ධිස්ථානයක්.

අපේ රටේ අද්විතීය අගනුවර වූ අනුරාධපුරයට වරින් වර දකුණු ඉන්දීය ආක්‍රමණ එල්ල වෙනවා. වරින් වර සතුරන්ට යටත් වෙමින්, යලි ඔවුන් පළවා හරිමින් සහශ්‍ර වර්ෂ ගණනාවක් මේ රාජධානිය බිඳ නොවැටී පවතිනවා. එහෙත් මීට හරියට ම වසර දහසකට පෙර 1017 දී අනුරාධපුරයට පහර දී රාජ්‍ය පැහැරගත් සොළී ආක්‍රමණිකයන් අනුරාධපුර නගරය අතහැර, එවකට ප්‍රත්‍යන්ත නගරයක් ව තිබූ පොළොන්නරුව සිය අගනුවර බවට පත් කර ගන්නවා.

තමන් විසින් අල්ලා ගත් යටත් විජිතයක් නැවත ගිලිහීයාමට කිසිදු ආක්‍රමණිකයකු ඉඩ තබන්නේ නැහැ. ආරක්ෂක විධිවිධාන, බුද්ධි සේවා, රහස් ප්‍රහාරක කණ්ඩායම් ආදි සකල විධ උපක්‍රම ඔවුන් ඒ සඳහා භාවිතා කරනවා. විශේෂයෙන් තමන්ට අභියෝග කිරීමට ඉඩ ඇති රාජ වංශිකයන් සොය සොයා ඝාතනය කර දැමීමද නිරන්තරයෙන් සිදු වූ බව පෙනෙනවා. මේ නිසා එවැනි ආක්‍රමණිකයකු හා සටන් කර ජය ලැබීමට ඉදිරිපත් වන පුද්ගලයා ද එවැනි ම වූ බුද්ධි සේවා ජාලයක්, පිරිස් බලයක්, අවි බලයක්, යුදවිද්‍යා දැනුම ආදී බොහෝ දෑ ගොඩ නගා ගත යුතුයි.

මේ සොළී පාලනයට වසර 48 ක් වෙද්දී කීර්ති නමැති කුමාරයෙක් සටන් මාලාවකින් අනතුරු ව ජයගෙන සොළීන් පළවා හරිනවා.

එය එසේ සිදු නොවූයේ නම් අප රටේ අද තත්ත්වය කුමක් විය හැකිද?

  • එතෙක් පැවැති සිංහල බෞද්ධ සංස්කෘතිය අහෝසි වී ගොස් මුලු රට ම ද්‍රවිඩ හින්දු රාජ්‍යයක් වී තිබෙනු ඇති......!
  • අප රට ඉන්දියාවේ ප්‍රාන්තයක් ව තිබෙනු ඇති.......!
  • අප රට තමිල්නාඩුවට අයත් භූමි ප්‍රදේශයක් ව තිබෙනු ඇති......!!
  • පසුකාලීන ව කිසිවකු විසින් සොළීන් පලවා හැරියත් ඒ වන විට ජාතිය හා සංස්කෘතිය බෙහෙවින් සංකර ව තිබෙනු ඇති....!!
මේ අතුරින් කිසියම් දෙයක් සිදු ව තිබිය හැකියි.

කීර්ති කුමාරයා, සොළීන් පළවා හැර අප රට නැවත නිදහස් කරගෙන විජයබාහු (i) නමින් රජ වූ බැවින් ඒ කිසිවක් සිදු වූයේ නැහැ.


ඒත් මා මේ කියන්න යන්නෙ කීර්ති කුමාරයා ගැන නොවෙයි..!


එහෙනම්......?

කීර්ති කුමරුගේ පියා ඔහු රැගෙන සැඟව යන විට ඔහු කුඩා දරුවෙක්. ප්‍රබල ඔත්තු සේවා ජාලයකින් යුක්ත ව රාජවංශිකයන් සොය සොයා ඝාතනය කරමින් සිටි වට පිටාවක ඔහුට සුරක්ෂිත ව හැදී වැඩී සටන් පුහුණුව ලබා සේනා සංවිධානය කර ගැනීම සඳහා ලැබුණු මහා රැකවරණය කුමක්ද?

අප රටේ ඈත ඉතිහාසයේ සිට ඇති වූ මෙවැනි පරිවර්තන ලක්ෂ්‍යයන් දෙස විමසිල්ලෙන් බැලුවහොත් ඒ අවස්ථාවන් පසුපස අප්‍රසිද්ධියේ හිඳින පුද්ගල චරිත දැක ගත හැකියි. අප ආක්‍රමණියන්ගේ ග්‍රහණයට හසු වූ යම් අවස්ථා විශ්ලේෂණය කරගෙන යාමේ දී යම් යම් පාලකයන්ගේ බල අරගල, සල්ලාලකම් ආදිය ඒ සිදුවීම්වලට මූල බීජය සපයා ඇති අන්දම පෙනී යනවා. එසේ ම මහා ජයග්‍රාහි අවස්ථාවන් පසුපස ද කිසියම් පුද්ගලයකුගේ හෝ සුළු පිරිසකගේ අසීමාන්තික කැප කිරීම් නිරීක්ෂණය වෙනවා.

කීර්ති කුමරුට කළ හැකි වූ මහා වික්‍රමය පසුපස හිඳින්නේ ද අති මහත් දේශමාමකත්වයෙන් යුතු වූ යුග පුරුෂයෙක්. අවාසනාවකට මෙන් මෙවන් චරිතයන් ප්‍රමාණවත් තරම් සම්භාවනාවට භාජනය වී නැහැ.

ඔහු රුහුණේ දණ්ඩනායක සිත්නරු බිම බුදල්නා. (බුද්ධරාජ නමින් ද හැඳින්වෙනවා.)

වර්ෂ 1948 මාතර පනාකඩුව ගමේ වෙල් යායක තිබී ගොවි මහතකුට තඹ සන්නසක් හමු වූවා. (70-80 දශකවල සිංහල පෙළ පොතක ඇතුලත් ව තිබූ "උදැල්ලේ ගැටුණු තඹ තහඩුව" මතක ඇති අය ඔබ අතර ඇති.) සිත්නරු බිම් බුදල්නාවනට කෘත ගුණ සැළකීමේ අරමුණින් කෙරෙන ප්‍රදානයන් ගැන එහි කියවෙනවා.




"දෙමළුන්ගේ ආවුද බලයෙන් අප පවුල රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැඟවී වාසය කරන කල්හි අප පියා වන මහා ස්වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ඇතුලු මුලු පවුල සිය පිරිසෙන් ආරක්ෂා කර අප බාලකාලයෙහි හදා වඩා වන මුල් පලාපල වලින් පෝෂණය කොට පා තැබූ තන්හි තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවිමට දුක් වින්ද ප්‍රසාදයට මොවුන්ගේ දරු මුනුබුරන්.........." 


( https://si.wikipedia.org/wiki/පනාකඩුව_තඹ_සන්නස වෙතින් ඔබට මුළු සන්නස ම කියවිය හැකියි.)


යනා දී අයුරින් වත්මන් සිංහලයෙන් අරුත් ගැන්වෙන මෙම සන්නසෙහි කියවෙන්නේ සැඟවී පලා ආ රජ පවුල රහසේ රැකගෙන පෝෂණය කරමින් සතුරන් වෙතින් සඟවා ගනිමින් අවසානයේ මව් බිමින් සතුරන් පළවා හරින තුරු මේ යුග පුරුෂයා අප්‍රසිද්ධියේ සිදු කළ මහා මෙහෙවරට කෘතගුණ සැළකීම පිළිබඳව යි.


පනාකඩුවේ තඹ සන්නස සොයා නොගන්නට, මේ අප්‍රසිද්ධ පුද්ගලයා සිදු කළ යුග මෙහෙවර ඉතිහාසය තුල ම සැඟවී යන්නට ඉඩ තිබුණා.

එසේ සැඟවී ගිය චරිත ඉතිහාසය තුල කොපමණ නම් විය හැකිද?

Monday, December 4, 2017

ආල වඩන අකුරු පහේ තේරවිල්ල....


බන්ධුල සිසිර කුමාර

No automatic alt text available.


දැනට දශක හතරකට පමණ පෙර අප කුඩා දරුවන් ව සිටි යුගයේ “ හුලවාලි“ නම් වූ සිනමා කෘතියක් තිරගත වූවා. වට්ටෝරුගත නොවූ තේමාවක් මත ගොඩනැගුණු එය එකල කුඩා අපගේ උනන්දුව දිනා ගැනීමට බල පෑ තවත් හේතුවක් තිබුණා. ඒ එහි සමහර රූගත කිරීම් මගේ උපන් ගම ආසන්නයේ පිහිටි මල්වාන- කළුකොඳයාව ආදී ගම් ආශ්‍රිත ව සිදුව තිබීමයි. මගේ මතකයට අනුව මෙම සිනමාපටයේ ගීත දෙකක් අඩංගු වූ අතර ඒවා ද එකල ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා.“කුලගෙදරින් දුම්බර කඳුවැටියේ“ සහ “කුඩා ගමේ මද්දහනේ“ එම ගී දෙකයි.

මේ ගීත යුගලය අතුරින් වඩාත් සංවේදී මෙන් ම ජීවිතයේ යම් යම් යථාර්ථයන් විවරණ කෙරෙන සදාතනික වටිනාකමකින් යුත් නිර්මාණයක් ලෙස “කුඩා ගමේ මද්දහනේ“ ගීතය හඳුන්වා දිය හැකියි. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මෙම ගීතයේ පද රචකයා කවුරුන්දැයි යන්න මගේ මතකයෙන් ගිලිහී ගිහින්. (ඔබට එය මතක තිබේ නම් කමෙන්ටුවක සටහන් කරන්න.)

මෙම කථා පුවත දිග හැරෙන්නේ හුලවාලි ගම්මානයක ජීවන ප්‍රවෘත්තිය පසුබිම් කරගෙනයි. කථාන්තරය ඉතා කෙටියෙන් මෙසේ දැක්විය හැකියි. කිසියම් හේතුවක් නිසා හුලවාලින්ගේ ගම්මානයට ඇතුළු වන කුලවත් ආරච්චි කෙකෙකු එහිදී දකින කාන්තාවක් කෙරේ සිතක් පළ කරගෙන ඇය අයිති කරගැනීමට උත්සාහ කරනවා. ඇය රැහේ නායකයාගේ බිරිඳ වීම නිසා මෙය වඩාත් බැරෑරුම් වූ අවුලක් ජනිත කරනවා. එක් අවස්ථාවකදී රැහේ නායකයා සිය පිරිස ද සමග එක් ව ආරච්චිරාළ අල්ලා ඉතා දරුණු වධ බන්ධනයන්ට පවා ලක් කරනවා.

එහෙත් පසුව ඔහු එක්තරා කණගාටුදායක සත්‍යයක් පසක් කරගන්නවා. ඒ සිය බිරිඳ ද, ආරච්චිරාළ කෙරේ පෙම් බැඳ සිටින බවයි.

තමා මේ දක්වා කෙතරම් කැපකිරීම් කළ ද, කෙතරම් බලාපොරොත්තු හා සිහින ගොඩනගාගෙන සිටිය ද සිය බිරියගේ සිත බිඳී ‍ගොස්, වෙනත් අයකු කෙරේ බැඳී අවසන් ව ඇත් නම් වෙන කුමක් කළ ද පළක් නැති බව වටහා ගන්නා රැහේ කායකයා, ඇයට ආරච්චිරාළ හා යාමට ඉඩ හරිනවා.

කෙසේ වුව ද අවසානයේ සිදු වන්නේ රැහේ අභිමානය පාවා දීම පිළිබඳ ව උරණ වූ රැහේ ජනතාව, නායකයාට එරෙහි ව යුද වැදීමයි. අවසානයේ ඔවුන් සිය නායකයා ට ආයුධයකින් ඇන ඔහු මරා දමනවා. ඒ සිද්ධියෙන් පසු ව, පසුබිමෙහි මේ ගීතය වාදනය වෙනවා.

කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර ඉසුනු ලමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතිව ගියා

ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී

දශක ගණනාවකට පෙර ප්‍රාථමික ජීවන රටාවක් සහිත ගමක සිදුවීමක් විවරණය කෙරෙන මෙම ගීතය වත්මන් සමාජ රටාවත් ඒ තුල ජනිත වන විවිධ වූ අර්බුදයනුත් පිළිබඳ ව ද කෙතරම් අදාල වන්නේදැයි මඳක් විමසිලිමත්ව බැලුවහොත් ඔබට පෙනෙනු ඇති. විදෙස් ගත වීම නිසා භෞතික ව, පවුලෙන් දුරස් ව වෙසෙන, නැතහොත්, නිවසේ ජීවත් වුව ද ජීවන අරගලය වෙනුවෙන් දවසේ පැය විසිහතර ම ගතකිරීමට සිදුව ඇති මිනිසුන් වත්මන් සමාජයේ දැකිය හැකියි. සිය පවුලට ඇකි ආදරයෙන් ඔවුන්ගේ හදවත් පිරී පැවතුණ ද වචන හෝ ඉරියව් බවට නොපෙරලෙන ඒ ආදරය සමහර විට ඔවුන්ගේ අඹුදරුවන් විසින් වටහා ගනු ලබන්නේ නැහැ. මෙවන් අවස්ථා ඉව කරමින් සිටින සමහර අවස්ථාවාදීන් සුරතල් වදන් මගින් කාන්තාවන්ගේ සිත් සතන් තුලට රිංගා ගන්නවා. අතීත යුගයට වඩා විවිධ සන්නිවේදන පහසුකම් සුලබ වූ මෙකල මෙවැනි සිදුවීම් වඩාත් බහුල ව සිදු වන බව දිනපතා හා සති අන්ත පුවත්පත් බැලීමෙන් පමණක් වුව ද වටහා ගත හැකියි. ඒවා බොහෝ විට අවසන් වන්නේ ඛෙදවාචකයකින්. පවුලේ සියල්ලන් ම ඝාතනය කර තමා ද දිවි නසාගත් පුද්ගලයන් පිළිබඳ කතා පුවත් බොහොමයක පත්ලේ ඇත්තේ මෙබඳු සිදු වීමක්.

එසේ වුවද මේ ගීතයෙන් කියැවෙන මිනිසා ඊට වඩා ඉහළ බුද්ධි මට්ටමක හිඳිමින් ජීවිතයේ යථාර්ථය වඩාත් මැනැවින් පසක් කොට ගෙන ඇති බව පෙනෙනවා. මුලින් ම ඔහු තමා කළ කී දේවලුත්, තමා මේ තාක් වෙහෙස ගත්තේ කුමක් වෙනුවෙන් ද යන්නත්, ඒ සියලු දේ ගඟට කැපූ ඉණි බවට පත් වූ අන්දමත් ගීතයේ පළමු හා දෙවන කොටස් වලින් පවසනවා.

ගීතයේ අවසාන කොටසෙහිදී, ආදරය පිළිබඳ සදාතනික සත්තාවක් අප හමුවේ තබමින් එහි රස භාවයන් උච්චතම අවස්ථාවට රැගෙන යනවා. සිතකට වැට කඩුළු බැඳිය නොහැකියි. ඇගේ ආදරය ඔහු කෙරෙන් බිදී වෙනත් අතක බැඳුනේ නම් එතැනින් එහා කළ හැකි කිසිවක් නොමැති බව පවසන ඔහු, සැබෑ ආදරය නම්, ලෞකිකත්වයෙන් ද ඔබ්බට ගිය අධ්‍යාත්මික ගුණයක් බව “ආල වඩන යන තේරුම බෝසත් කම සකී“ යන අවසන් පදයෙන් කියා සිවිනවා.

මෙහි අපූරු ගායන විලාශය, සංගීත සංයෝජනය මෙන්ම එහි අරුතෙහි ගැබ් ව ඇති මේ සදාතනික සත්‍යය ද අද දක්වාත් එම ගීතයට හිමි ව ඇති ජනප්‍රසාදයට හේතු වන්නට ඇතැයි සිතෙනවා.

ගීතයක් ගැන පිටු සිය ගණනක් කියවුවත් එය ඇසීමෙන් ලබන රසය හා අවබෝධය ලබා ගත නොහැකියි. පහතින් දක්වා ඇති ලිංකයෙන් එය අසා බලන්න.

Thursday, November 30, 2017

කීර්තිමත් රාජ්‍ය සේවකයාගේ කථා වස්තුව


බන්ධුල සිසිර කුමාර-




දශක දෙක හමාරකට විතර ඉස්සරින් දිනයක ඉරිදා දිවයින පත්තරයක එක්තරා ලිපියක් පළ වුණා. මට මතක තරමින් එහි මාතෘකාව වූයේ “කීර්තිමත් රාජ්‍ය සේවකයාගේ කථා වස්තුව“ යන්න. මගේ මේ ඇරඹුම කථා ‍දෙකක් කියන්නයි. එකක් අතීත කථාවක්. අනෙක නූතන කාවක්. අතීත කථාව අර දිවයින පත්තරයේ තිබුණු කථාවමයි. 

අපේ අතීතයේ පැවැති සමාජ ආර්ථික ව්‍යූහයෙහි අවශ්‍යතාවයනට අනුව ඒ අතීත පරිපාලන පද්ධතිය සකස් ව තිබුණා. එකල වූ සමාජ ආර්ථික ව්‍යූහයේ වැවට අයත් වූයේ ඉතා වැදගත් තැනක්. එකිනෙකින් බැඳුණු වැව් රැසකින් හා විධිමත් ව සැකසුණු වගා බිම්-වන බිම්-ජනාවාස ආදියෙන් යුතු මේ පද්ධතිවෙය් කටයුතු භාර නිලධාරි පිරිසක් සිටියා. අපේ කථා නායකයා අනුරාධපුර යුගයේ එක්තරා කාල සීමාවක කලා වැවේ කටයුතු භාරව සිටි නිලධරයෙක්.

සිරිත් පරිදි ඔහු දිනකට කිහිප වතාවක් වැවේ විශේෂිත ස්ථාන නිරීක්ෂණය කිරීමේ රාජකාරි ගමන් වල යෙදෙන්නට ඇති. මෙසේ එක්තරා රාත්‍රියක රාජකාරිය අතරතුර වැව් බැම්මේ වේගවත් ජල කාන්දුවක් නිරීක්ෂණය වෙනවා.පැය කිහිපයකින් එතැන විශාල වී වැව් බැම්ම බිඳී යා හැකි බවත් එහි ප්‍රතිඵලය කෙතරම් බිහිසුණු ද යන්නත් ඔහුට වැටහෙනවා. ( 80 දශකයේ ජීවත් වූ අයට මතක ඇති, කන්තලේ වැව් බැම්ම බිඳී ගොස් සිදුවූ මහා ව්‍යසනය.) ඔහු සියළු වැර යොදා හඬ ගා මිනිසුන් කැඳවා ගන්නට උත්සාහ කරන්නට ඇති. 

වැව් බැම්ම බිඳීම වැළැක්විමට හදිසියේ කළ හැකිව තිබූ එකම දෙය ඔහු කළා විය යුතුයි. ඒ වැවට බැස ජල කාන්දුව සිදුවන තැන සිරුරෙන් වසා ගෙන කවුරුන් හෝ එනතුරු තාවකාලික ව අනතුර වළක්වා ගැනීමයි. එහෙත් ඒ රාත්‍රියේ ඔහුගේ හඬ කිසිවකුට නොඇසුනා වන්නට ඇති. කෙසේ හෝ කිසිවකු එහි පැමිණියේ නැහැ. රාත්‍රියක් පුරා අධික ශීතල හා ජලයේ පීඩනය දරා ගෙන හිතේ හයියෙන් හුදකලා සටනක් කළත් මිනිසකුට දරා ගත හැකි සීමාවක් තිබෙනවා. ඒ රාත්‍රියේ ඔහු එහිම මියගොස් තිබුණා.

පසුදා උදෑසන එහි ආ මිනිසුන් ට ඔහුගේ මළ සිරුර දැක ගැනීමට ලැබුණා. මළ සිරුර තිබූ තැනින් ඉවත් කළ විට නැවතත් වැව් බැම්ම තුලින් ජලය විදින්නට පටන් ගත්තා. පහළ මිටියාවතේ ගම්මානවල මිනිසුන්ගේ ජීවිත, දේපළ හා වගා බිම් රැක දීම සඳහා මේ මිනිසා සිය ජීවිතය පූජා කර ඇති බව සියලු දෙනාටම වැටහී ගියා. ඔහුගේ අවසන් කටයුතු ගරු සරු ඇතිව නිම කිරීමෙන් පසු ඒ මිනිසුන් කලා වැව් බැම්ම මත දේවාලයක් තනා, තමන් වෙනුවෙන් දිවි පිදූ මිනිසා දේවත්වයට නංවා පුද පූජා කිරීමට පටන් ගත්තා. කලා වැවේ කඩවර දෙවියන් පිදීම ඇරඹුනේ මේ අන්දමිනුයි. ඒ යහපත් මිනිසාගේ දිවි පිදීම සිදු වී වසර දහසක් පමණ ගත ව තිබුණත් ඔහු අදත් වැඳුම් පිදුම් ලබනවා.

මේ පැරණි කථාව මට සිහිපත් වුණේ නූතන කථාවක් නිසයි. තවත් මිනිසුන් පිරිසකට ආපසු ගෙවල් දොරවල්වට යාමට අවස්ථාව ලබා දීම සඳහා සිය කැමැත්තෙන් මරණය තෝරා ගත් කීර්ති බණ්ඩාර ශ්‍රීලංගම රියදුරු මහතා ඔබ සියලු දෙනාට තාමත් මතක ඇතැයි සිතනවා. පල්ලමේදී තිරිංග අක්‍රිය වූ බස් රථය මිනිසුන් සියළු දෙනා සමග ප්‍රපාතයට ඇද වැටීම වැළැක්වීම සඳහා තමා සිටි පැත්ත ගල් පව්වක වැදීමට සලස්වා නතර කර ගත් ඔහු කළ දිවි පිදීම කඩවර දෙවියන්ගේ ජීවිත පූජාවට දෙවැනි වන්නේද?

එකල අප වෙනුවෙන් දිවි පිදූ මිනිසකු දෙවියකු බවට පත් කර ගත්, කෙළෙහි ගුණ දත් ජාතියක් වූ අප සියවස් ගණනකට පසු අද සිටින්නේ කොහිදැයි අප අපෙන් ම ප්‍රශ්න කළ යුතු නොවේද? කීර්ති බණ්ඩාර මහතාගේ ජීවිත පූජාවෙන් පසු ව එතුමන්ගේ දරු පවුල මුහුණ පා ඇති ගැටළු පිළිබඳ ව පසු ගිය දිනවල මාධ්‍යවල පල වූ තොරතුරු වලට සංවේදී වූවන් කී දෙනෙක් වේද?

වසර දහස් ගණනක් කෙළෙහි ගුණ සිහි තබා ගන්නා ජනතාවක් වූ අප සියල්ල සතියකින් අමතක කරන තත්ත්වයට ඇද වැටී ඇති අන්දම පුදුම සහගත නොවේද?

(ඡායා රූප අන්තර්ජාලයෙනි. ඒවායේ අයිතිය හිමි භවතුනට ස්තුති පූර්වක වෙමි.)

Wednesday, November 29, 2017

අට්ටාලයේ ලී පටි......

බන්ධුල සිසිර කුමාර



මීට පෙර මා පතල් කවි පිළිබඳ පෝස්ටු ඉදිරිපත් කළා. එහෙත් මේ සමග ඉදිරිපත් කෙරෙන්නේ පතල් කවියක් නොවෙයි. පතල් කවියේ ආකෘතිය මෙන් ම අනෙකුත් සියලු ලක්ෂණත් කැටි කොට ගත් මෙය නූතන ගීතයක්. එසේ ම මෙයින් කියවෙන්නේ මිනිරන් පතලක නොව මැණික් පතලක අත්දැකීම්. එහෙත් අර සම්ප්‍රදායික පතල් කවියක මෙන් ම මෙම ගීතයේ ත් පතල් කම්කරුවන්ගේ ජීවන දුක් ගැහැට ඉතා සංවේදී අයුරින් නිරූපණය වෙනවා.

කවියක් වගේ නොවෙයි, ගීතයක නියම රස වින්දනය සඳහා එහි පද මාලාව කියවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැනේ. ඒ නිසා පහතින් දක්වා ඇති ලින්කුවෙන් ගීයට සවන් දී බලන්න.


අට්ටාලයේ ලී පටි හඬ නගන්නේ
හරහට ඇදෙන දෝනා බිය ගෙනෙන්නේ-
අඳුරු පතල් යට අපි කල් ගෙවන්නේ
ගොඩ එන මැණික් මත කවුදෝ යැපෙන්නේ

ඉහළට ඇදෙන කූඩයෙ පස් පිරෙන්නේ
කවදද දිස්නයක් මැණිකක දකින්නේ
පතලට යට වෙලාදෝ අපි මියෙන්නේ
මැණිකක් අතින් ගෙන දෝ මතු උපදින්නේ

මරුගෙ අතක් අප ගෙල වට රැඳි හන්දා
විශ්වාසයක් නම් හෙට ගැන නැහැ රන්දා
මැණිකක තිබෙන දුලබ ගුණය නැති හන්දා
අපි කලු ගල් ය හැම තැන හමු වන හින්දා

කෝලිත භානු දිසානායක ගායන ශිල්පියාණන් ගයන මේ ගීතයේ පද රචනය හා සංගීත නිර්මාණය කාගේ දැයි මට සොයා ගැනීමට හැකි වූයේ නැහැ. ඔබ කවුරුන් හෝ එය දන්නේ නම් ඒ දෙපළට කරන ගෞරවයක් වශයෙන් කමෙන්ටුවක් ලෙස ඒ නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිනවා.

දෙවියනි නාත පාළුයි තාම මල් යහන.......

බන්ධුල සිසිර කුමාර

Image may contain: mountain, sky, outdoor and nature


එදිනෙදා ජීවිතයේ කාර්ය බහුලතාව හේතුවෙන් ටෙලිනාට්‍ය නැරඹීම සඳහා කාලයක් වෙන් කිරීම මා හට තරමක් දුෂ්කර ක්‍රියාවක් වුවද හොඳ නිර්මාණයන් ඉදිරිපත් වූ සෑම අවස්ථාවකම ඒ සඳහා කෙසේ හෝ කාලය ‍සොයා ගත්තා. දැනටත් බොහෝ විට, එවැනි හොඳ මට්ටමේ නිර්මාණ, විවේකය ඇති වේලාවක අන්තර්ජාලය තුලින් හෝ නැරඹීම සිදුකරනවා. එහෙත් එබඳු පහසුකම් අවම වූ අතීතයේ එවැනි නිර්මාණ කිහිපයක් මා හට මගහැරී ගියා. ඒ අතරින් එකක් ‘මරුවැල‘.

එම ටෙලිනාට්‍යයට අයත් වූ එක්තරා ගීතයක් අද දක්වාත් මා තුල මහත් කම්පනයක් ඇති කරන්නක්. නාට්‍යය නැරඹීමට නොහැකි වූ නිසා නාට්‍යය තුල එම ගීතයට අදාල සන්දර්භය කුමක් දැයි මා දන්නේ නැහැ.එහෙත් එම ගීතය ඇසෙන වාරයක් පාසා මගේ සිහියට නැගෙන්නේ අවුරුදු පහළොහකට විස්සකට පෙර අපේ සමාජය මුහුණ දුන් එක්තරා ඛෙදවාචකයක්.

උතුරුමැද හා නැගෙනහිර වැනි පළාත්වල ගොවිජනපද, මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතව බිහි වූ ගම්මාන ආදියේ ජීවිතය දිවයිනේ අනෙක් ප්‍රදේශවලට වඩා තරමක් වෙනස්. අප සමාජයේ බොහෝ දෙනා මාසික වැටුප් ලබනවා. තවත් සමහරුන් තමා යෙදෙන වෘත්තියෙන් හෝ ව්‍යාපාරයෙන් දිනපතා ආදායමක් ලබනවා. එහෙත් තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී ගොවිතැන වූ, මා මුලින් කී පිරිස සිය ආදායම ලබන්නේ වසරකට දෙවතාවයි. එසේ එක් කන්නයකින් ලබන ආදායමෙන් අස්වනු නෙලීමට අදාල සියලු කුලී හා ගාස්තු ගෙවා දමා, වගාව සඳහා ලබාගත් බැංකු ණය පියවා, ඉදිරි කන්නය වෙනුවෙන් ආයෝජනය කිරීමට මුදලක් වෙන් කර ඉතිරිවන මුදල ඊළඟ කන්නයේ ආදායම ලැබෙන තුරු ජීවත් වීම සඳහා කළමනාකරණය කරගත යුතු වෙනවා. කිසියම් අනපේක්ෂිත සිද්ධියකින් මෙම චක්‍රයේ සමතුලිතතාව බිඳවැටුණොත් ඇති වන්නේ මහා සාමාජීය ඛෙදවාචකයක්.නියඟය, වැස්ස, ගංවතුර, වන අලින්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, වී ගැනුම් මිළ අඩු වීම් ආදි විවිධ දෙයින් වරින් වර මෙම චක්‍රයේ සමතුලිතතාව බිඳී යනවා. විශේෂයෙන් ගංවතුරත්, නුසුදුසු කල එන නියඟය හා වැස්සත් නිසා වී වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමත් සිදු වෙනවා.

දැනට වසර පහළොහකට විස්සකට පමණ පෙර අතීතයේ මේ පළාත් වල ගොවි මහත්වරුන් කෘමිනාශක පානය කර දිවි නසා ගැනීමේ සිද්ධීන් එක පිට එක වාර්තා වන්නට වුණා. එකල මෙය සාමාජීය ගැටළුවක් වන තරමට දුර දිග ගියා.

‘මරුවැල‘ ටෙලිනාට්‍යෙ යේ මෙම ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා මගේ සිත විනිවිද යන්නේ ඒ අතීත ව්‍යසනය වෙතයි.

තුන් බිය පැමිණ තුන්කල් දුටුව සිහින දැන
රන්ගිරි මුදුන රන් මාලිගය ගිනි තියන
රන් වන් දෙදළ දන් දෙනු බැරිව දෙදණ ඇන
නුඹ තනියෙන්ද මගෙ ඇත් රජුනෙ අද මෙතැන

මේ ගීතයෙන් කියවෙන ඔහු සාමාන්‍ය ගොවියකු නොවෙයි, ගොවි රජෙක්. අනෙක් ගොවියන් අතර ප්‍රජා නායකයකු, ප්‍රභූවරයකු මෙන් විසුව පුද්ගලයෙක්. කිසිසේත් බලාපොරොත්තු නොවූ අකල් හෙණපතයකින් ඔහුගේ සියළුම සැළසුම් බිඳ වැටෙනවා. වගාවන් සඳහා ලබා ගත් දැවැන්ත බැංකු ණයක් වෙනුවෙන් ඔහුගේ ගොඩ මඩ ඉඩම් සින්න වීමට යනවා. ඒවා නැති වීමත් සමග ඔහුගේ සාමාජීය වැදගත් කමත් නැතිව යනු ඇති. ඔහු එසේ බිඳවැටී ඇති බව-නැතහොත්, දැනටමත් දිවිනසාගෙන ඇති බව- ගීතයේ මෙම පළමු කොටසින් කියැවෙනවා.

රන් කරලින් ම රන් ගෙන තැනුව රන් කිරුළ
පළඳා ගන්ට මඩ සෝදන්ට නැහැ වතුර
පාළුයි කමත වෙල් ඉපනැල්ල සිරි යහන
අම්බරුවන්ට ණය තලු මරන පින පමණ

ඔහුට සිදු වූ විනාශයට හේතු පාදක වන්නට ඇත්තේ වතුර නොලැබීමක්. එය ස්වාභාවික උපද්‍රවයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වන්නට ඇති. සිව්වන පදයේ ඇත්තේ කිසියම් ව්‍යංගාර්ථයක් බව පෙනෙනවා. රචකයා විසින් උපහාසයට ලක් කරන්නේ, ගොවියන් මුහුණ දෙන විවිධ ගැටළුවලට විසඳුම් නොදී , ගොවියන්ට ලබා දුන් ණය ප්‍රමාණ ගැන පමණක් උදම් අනන බලධරයන් ව විය හැකියි.

රන් ගාවා ද මුතු අමුණා ද අඟ මුදුන
කොළ මඩවා ද ගිනි වැදුනාම සුබ සිහින
උල්පත ගාව තුන්පත් රෑන දිව ගිලෙන
දෙවියනි නාත පාළුයි තාම මල් යහන

‘අං දෙක රන් ගාවඤ්ඤයි‘ ආදි වශයෙන් අපේ ජන සාහිත්‍ය යේ සඳහන් වන්නේ ගොවිතැනට උදව් කළ ගවයන්ට පවා කළ ගුණ සළකන, යුතුකම් ඉටු කරන අපේ සම්පුදායේ යහපත් ගුණාංගයි. එහෙත් සුබ සිහින .ගිනි වැදුණු කල යුතුකම් ඉටුකරන්නේ කෙසේද?

මෙම කොටසේ තුන් වන පදයෙන් ඔවුනට සිදුව ඇති සියලු දෙය කැටි කොට දක්වමින් ‍ගීතයෙන් ජනිත කරවන රසය එහි උච්චතම අවස්ථාව කරා රැගෙන එනවා. රචකයා මේ ගොවි පවුලට රූපකයක් ලෙස දක්වන්නේ තුනපත් රෑනක්. එනම්, සාමාන්‍ය අය නොවේ, ඔවුන් ඇතුන් වැනි අය. කවදාවත් මෙසේ වනු ඇතැයි නොසිතුනු වැදගත් පවුලක්. පිපාසයෙන් ඔවුන්ගේ දිව ගිලෙන්නේ උල්පත ත් ළඟ තිබිය දීයි. එනම් මුළු මහත් සමාජය ම එකවර ගොදුරු වූ ව්‍යසනයකට නොවේ. ඔවුන් මුහුණ පා ඇත්තේ. වට පිටාවේ, සමාජයේ, රටේතොටේ සාමාන්‍ය අන්දමින් මුදල් හදල් ගැවසෙද්දී ඔවුන් පමණක් “කම්මුතුයි“.

මේ පදමාලාව හරීම අපූරුයි. එහෙත් මෙය ගායනා කරන ආනන්ද පෙරේරා ගායන ශිල්පියාණන් අපේ ජන ගී ආරට සමීප ශෛලියකින් මෙම පදමාලාවට ‘ප්‍රාණය‘ දෙනවා. සංගීත නිර්මාණයත් එම හැඟීම් මාලාව වඩ වඩාත් තීව්‍ර කරනවා. මෙතෙක් දුර මා කී දේ නිවැරදිදැයි තීරණය කිරීම සඳහා ඔබ මේ ගීතය අසා බැලිය යුතු ම වෙනවා. ඒ සඳහා ලිංකයක් මෙහි පහතින් දක්වා ඇති.

මා කොතෙක් උත්සාහ කළත් මෙහි ගේය පද රචකයා හා සංගීත නිර්මාණ ශිල්පියා කවුදැයි සොයා ගැනීමට හැකි වූයේ නැහැ. ඔබ එම තොරතුරු දන්නේ නම් ඒ අයට කරන සාධාරණයක් ලෙස මෙහි ඒ අයගේ නම් සඳහන් කරන්න.

මා නැවතත් සඳහන් කරනවා, මරුවැල ටෙලිනාට්‍යය තුල මේ ගීතයේ අවස්ථා සම්බන්ධය මා දන්නේ නැහැ. එය මා කියන කථාවට වඩා වෙනස් එකක් වන්නටත් පුළුවනි. මා විස්තර කළේ මට දැනෙන හැඟීමයි. සමහර විට ඔබ එම ටෙලිනාට්‍යය නරඹා ඇති.


http://sarigama.lk/profile/song_profile/3024/thun-biya-pemina-ananda-perera-mp3-song-download-online-listen

සංහිඳේ දෙවියන්ගෙ පාමුල......


බන්ධුල සිසිර කුමාර

Image may contain: tree, bird, sky, plant, outdoor and nature


සංහිඳේ දෙවියන්ගෙ පාමුල..........

ගෙවී ගිය යුගයක,කොළඹ නගරයට සමීප ව දිවි ගෙවද්දී මා ඒ අත් දකින්නේ අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය යයි සිතීමි. එහෙත් කලකට පසු නගරයෙන් බැහැර ව, උතුරු මැද පලාතේ රාජකාරියෙහි යෙදෙන විට එහි ජන ජීවිතය මා එතෙක් අත්දුටු ජීවිත අත්දැකීම්වලින් කෙතරම් නම් දුරස්තරදැයි දුටුවෙමි.

විෂම කෘෂිකාර්මික ජීවන චක්‍රයකට හසුව දිවි ගෙවන ඒ ජනතාව නිරන්තරයෙන් පෙළන ලද්දේ පොදු වූ ආර්ථික පීඩනය පමණක් ම නොවේ. වගාවන් සඳහා වැය වන අධික වියදම්, නිෂ්පාදන සාධාරණ මිළකට විකුණා ගත නොහැකි වීම, වන සතුන්ගෙන් වගා බිම් රැක ගැනීමේ අරගලය ආදි අනේක විධ විශේෂිත දුක් ගැහැට විඳින ඔවුනට ගම් වදින වන අලින් හමුවේ දිවි ගලවා ගැනීමේ අරගලයක ද යෙදීමට සිදු වෙයි.

නගරයේ වෙසෙද්දී හීලෑ අලි ඇතුන් පමණක් දැක තිබූ මම ද, වන අලින් මුහුණට මුණ ගැසුණු, නිවස වටා රාත්‍රිය මුළුල්ලේ වන අලින් හක්කලං කළ, බිහිසුණු අවස්ථාවනට මෙහිදී මුහුණ පෑවෙමි.

මේ කටුක ජීවන පැවැත්ම ගෙන යන මිනිසුන් සිය දුක්ගැනැවිලිවලට සහනයත් ආරක්ෂාවත් පතා වනාශ්‍රිත දෙවිදේවතාවනට බාරහාර වන අන්දම විමලරත්න කුමාරගමයන්ගේ "අයියනායක" පැදි පෙළ තුලින් අපි දැක ඇත්තෙමු.

අද එදාටත් වඩා වන අලින්ගෙන් සිදුවන ගැහැට වැඩි වී ඇත්තේ දිගින් දිගට ම වනාන්තර එළි පෙහෙළි වීම හේතුවෙන් අලි ඇතුන්ගේ පාරම්පරික වාස භූමි අහිමි වීම නිසාවෙනි. මේ නිසා අලි ඇතුන්ට අසාධාරණයක් වි ඇති බව සැබැවි. මේ නිසාදෝ බොහෝ දෙනා වැඩියෙන් කථා කරනු ඇසෙන්නේ අලි ඇතුන්ට සිදුවන හිරිහැර ගැනය. බොහෝ විට කලා නිර්මාණ බිහි වන්නේ ද ඒ ගැන ය. අලි ඇතුන් ගම් වැදීම නිසා ගම් වැසියන් විඳින පීඩාවන් අනන්ත වුව ද ඒ ගැන ඇසෙනුයේ අඩුවෙනි. ඒ දුක කියැවෙන කලා නිර්මාණ බිහි වන්නේ ද අඩුවෙනි.
එවන් පසු බිමක මෑතකදී ඇසූ ගීතයක් මා සිත සසල කිරීමට සමත් විය.

පෙරදී කීවාක් මෙන් ම, මේ දුෂ්කර ජීවන ප්‍රවෘත්තිය ගෙන යන ජනයාට සිය දුක් ගැහැටට පිළිසරණක්, පිහිටක් ඉල්ලා යාමට ඇත්තේද, ගම අසල වූ සංහිඳක් පමණි. තම පළමු දරු උපත බලාපොරොත්තුව හිඳින ගැබිණි මවක් දෙවියන්ගෙන් සහනයක් පතා සංහිඳ වෙත ගොස් එන අතර වැව අසලදී වන අලියකු විසින් පාගා මරා දමයි. ඇගේ සැමියාගේ වේදනාලාපය මේ ගීතය තුලින් ඉදිරිපත් වෙයි. ගීතයේ වචනයක් වචනයක් පාසා ඒ සිදුවීමේ බියකරු බව චිත්‍රණය වෙයි. "ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ" යන පෙළ, එය එහි උපරිමයට රැගෙන යයි. දුෂ්කර ආහාර වළඳන ඔවුන්ගේ දිවි පෙවෙත, ඇගේ සැමියාගේ බිඳීගිය අනාගත සිහින මේ පද මාලාව තුල අප වෙත සන්නිවේදනය කරන්නේ අපුර්ව අන්දමිනි.

සුජීව හෙට්ටිතන්ත්‍රි ගේය පද රචනය කළ මෙම ගීතය සුනිල් දයානන්ද කෝනාරයන් අප හැර යාමට පෙර සංගීතවත් කළ අවසන් ගීතය ද වෙයි. අද "අපේ කම" රැඳුනු, යුගයේ කටහඬ වන සමන් ලෙනින් මෙම ගීතයට උපරිම සාධාරණය ඉටු කරයි.

මෙහි දැක්වෙන ලිංකුව ඔස්සේ ඔබට මේ ගීතය ඇසීමට හැකිවේවි. 
(මේ ගීතය මට පෙන්වූ ධනේෂ් විසුම්පෙරුම සොයුරාට ද මෙහිදී ස්තුති කරමි)

ඇයි අපිටමෙහෙම වෙන්නෙ?

බන්ධුල සිසිර කුමාර


අනුරාධපුර රාජධානිය බිඳ වැටුණු වර්ෂ 1017සිට, වසර දෙසීයකට පමණ වරක් බැගින් අපි දුෂ්ඨ සතුරු අභියෝගයකට නැවත නැවතත් මුහුණ දෙමින් සිටිමු.

අනුරාධපුර රාජධානිය බිඳ හෙළීමෙන් පසු ගොඩ නැගුණු පොළොන්නරු රාජධානිය වසර දෙසිය ගණනක් ගත වූ පසු කාලිංග මාඝයා විසින් වනසා දමන ලදී. ඉන්පසු ගත වූ වසර දෙසිය ගණන තුල දඹදෙණිය, යාපහුව, කුරුණෑගල හා ගම්පොල හරහා කෝට්ටේ ට පැමිණ කූට ප්‍රාප්තියට පත් වූ අප රාජධානිය 1505 දී පෘතුගීසින් විසින් විනාශ කරන ලදී. එයින් වසර 300 ක් ගත වෙද්දී දිවයින මධ්‍යයේ හෝ ඉතිරිව තිබූ අපගේ ස්වාධීනත්වය ඉංග්‍රීසින් විසින් වනසනු ලැබිණි. එතැන් සිට මේ 2017  දක්වා ගත වී ඇත්තේ වසර 202 කි. නියමිත කාල පරාසය ගතවෙද්දී අප නැවතත් තර්ජනයකට මුහුණ පා ඇති බවක් නොපෙනේද?

සුළු ජාතීන් අසාධාරණයට ලක් වන්නේ යයි කියනු ලැබේ.

කතාව සහතික ඇත්තය.

ලෝකයේ සුළු ජාතියක් වන අප දිගින් දිගටම බැට කෑවේ වර්ෂ1017 සිට පමණක් නොවේ. අපගේ ශිෂ්ටාචාරය ආරම්භ වූ තැන සිට අප හිස ඔසවන වාරයක් වාරයක් පාසා ම පහර දී අප බිම හෙළන ලදී. අනුරාධපුර රාජධානිය අත් හැර දැමීමට සිදු වන තරම් ව්නාශ වූයේ ඒ නිසා ය. දුරාතීතයේ සිට වර්ෂ 1505 දක්වා දකුණු ඉන්දියාව විසින් ද, 1505 සිට විසිවැනි සිය වස දක්වා යුරෝපීයයන් විසින් ද අපගේ ශිෂ්ටාචාරය වනසන ලදී. මේ වන විට යුරෝපීයයන් හා දකුණු ඉන්දියාව එක් ව අප ව වැනසීම ට කැස කවමින් සිටින අන්දම පෙනේ.

පැරණි ශිෂ්ටාචාරයන් සහිත රටවල, අතීතයේ ශ්‍රී විභූතිය ට සාක්ෂි දරන සිය වස් ගණන් පැරණි රජ මාලිගා ආදිය ඉතිරි ව පවතී. එසේ වුවත් අප රටේ, වසර හත් සියයකට වඩා පැරණි නොවූ පොළොනන්රුවේ පවා දක්නට ඇත්තේ ගිනි තබා විනාශ කරන ලද රජ මාළිගාවල නටබුන් ය. වසර202 කට පෙර පැවැති මහනුවර රජ මාළිගාවේ පවා ඉතිරි ව ඇත්තේ කොටස් කිහිපයක් පමණි.

මේ, ලෝකයේ සුළු ජාතියක් වීමේ ආදීනවයයි.

එසේ වූ කල අප, අපගේ දැනුම, සම්ප්‍රදාය, ශිල්ප ක්‍රම හා ආචාර ධර්ම අතුරින් අංශු මාත්‍රයක් හෝ රැකගෙන අද දක්වාත් ඉතිරි ව සිටීම ම අරුමයෙකි.

සිංහලයෝ සහ ශ්‍රී ලාංකිකයෝ


බන්ධුල සිසිර කුමාර

කිසි යම් ජාතියක් හෝ කිසි යම් දේශපාලන පක්‍ෂයක සාමාජික පිරිසක් නොව අපගේ මාතෘ භූමියත් එහි සමස්ත ජනතාවත් අභියෝගයකට ලක් ව ඇත. මෙම තීරණාත්මක අවස්ථාවෙහි මම ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමි. ඔබ සිංහලයෙක් ද, ශ්‍රී ලාංකිකයෙක් ද? මීට ඔබ දෙන පිළිතුර කුමක්ද?

මා මෙම ප්‍රවේශය මෙහිදී යොදා ගත්තේ සිංහලයා යන වචනය අද සමහර සිංහලයනට පවා විෂ වන බැවිනි. සිංහලයා කීවොත් ඔහු ජාති වාදී ය. ( හැබැයි ඒ වුනාට වෙනත් ජන වර්ග වල අය තමන්ගේ ජාතියේ නම කීවාට නම් කමක් නැත.!...?...¿....%Ø¥%¤¢# ï ÿ ) හොඳ ලමයි කියන්නේ "අපි ශ්‍රී ලාංකිකයෝ " කියාය. එහෙත් ඒ හොඳ ලමයි නොදන්නා එක දෙයක් වනුයේ සිංහලයා යන්නෙහි අරුත ශ්‍රී ලාංකිකයා බවය. (ඊලාම් යන වචනයේ මුල් අරුත සිංහල දේශය බව ද ඒ හොඳ ලමයි නොදන්නා තවත් දෙයකි.)

ඈත අතීතයේ මේ රට හඳුන්වනු ලැබ ඇත්තේ "ශ්‍රී ලංකාව" යනුවෙන් නොව "සිංහලද්වීප" යනුවෙන් බව පුරාණ සංස්කෘත හා පාළි ග්‍රන්ථයන් හි සිංහලද්වීප ,සීහලදීප ආදී වශයෙන් සඳහන් ව තිබීමෙන් පෙනී යයි. ඒවායේ ශ්‍රී ලංකාද්වීප යනුවෙන් ඇති සඳහනක් දැක ගැනීමට නොමැති තරම් ය. එමෙන් ම බොහෝ රටවල් අප රට හැඳින්වීමට යොදා ගත් නම් සියල්ල ම පාහේ ලංකා යන්නෙන් නොව සිංහලද්වීප යන්නෙන් බිඳී ආ බව පෙනෙයි. සෙරන් දිබ්, සිලෝන්, සෙලාන්, සෙයිලාඕ, ඊලාම් ආදි වශයෙනි. (1178 දී චෝල දේශයේ රජ වූ කුලෝත්තුංග රජු ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු, කරවන ලද සෙල් ලිපියක "අපි ඊලාම් නරවරයාගේ කිරුල මත පා තැබීමු" යනා දී වශයෙන් වූ පුරසාරමක් ලියවා ඇත.)

සිංහල ජාතියේ ආරම්භය ලෙස විජයාගමනය ශාස්ත්‍රීය වශයෙන් පිළිගැනෙන සත්‍යයක් නොවේ. වරින් වර හෝ එක වර බෙංගාලයෙන් සැලකිය යුතු තරම් පිරිසක් පැමිණීම හේතු කොට ගෙන එවැනි ජන ප්‍රවාදයක් බිහි වන්නට ඇති. කෙසේ වුව ද වඩාත් තර්කානුකූල අදහස වනුයේ ආසියාකරයේ විවිධ රට වලින් සිංහලද්වීපයට පැමිණි ජන කණ්ඩායම් වලින් හා එහි වාසය කළ ස්වදේශික ගෝත්‍රයන්ගෙන් එම දිවයින ජනාවාස වූ බවත්, එම සියලු දෙනා තමන්ගේ මවු රටවල හෝ ගෝත්‍රවල නම් වලින් නොව දිවයිනෙහි නමින් සිංහලයන් ලෙස පොදුවේ හැඳින්වුණු බවත්ය.

අපගේ කාලයේ ද මෙවැනි දෑ සිදු වනු අප දැක ඇත. අමෙරිකාව යනුවෙන් නම් කරන ලද භූමියට එංගලන්තයෙන්, ස්පාඤ්ඤයෙන්, ප්‍රංශයෙන් හා වෙනත් රටවලින් පැමිණ පදිංචි වූවන් ද, වහල් මෙහෙය සඳහා අප්‍රිකා මහාද්වීපයෙන් රැගෙන ආ විවිධ ගෝත්‍රිකයන් ද, ස්වදේශික කණ්ඩායම් ද අද ඔවුන්ගේ මුල් ජාති, ගෝත්‍ර නම් වලින් නොව අමෙරිකානුවන් යන පොදු නමින් හඳුන්වනු ලබයි. මේ හා සමාන අනෙක් උදාහරණය නම් ඔස්ට්‍රේලියාවයි. අමෙරිකානුවන් අමෙරිකාවේ මිස වෙනත් රටක නැත. ඔස්ට්‍රේලියානුවන් ඔස්ට්‍රේලියාවේ මිස වෙනත් රටක නැත. ඒ අයුරින් ම සිංහලයන් ද සිංහලද්වීපයේ (අද ශ්‍රී ලංකාවේ) මිස වෙනත් රටක නැත.

රටෙහි නමින් සිංහලයන් ලෙස පොදුවේ හැඳින්වුව ද, සිය මුල් ගෝත්‍ර නාම තවත් සැළකිය යුතු කාලයක් භාවිතා වූ බව අනුරාධපුර යුගයේ දී ද කියැවෙන යක‍්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ ජන ප්‍රවාදවලින් පෙනීයයි.

මෙසේ සංක්‍රමණය වීමත්, එසේ පැමිණ එක් ජාතියක් බවට පත් වීමත් බොහෝ කාලයක් තුල සිදුවන්නට ඇති බව පෙනේ. අද ද සිංහලයන් අතර වැදි, බෙංගාලි, දකුණු ඉන්දීය, මොන්ගෝලයිඩ් හා අප්‍රිකානු දේහ ලක්ෂණ ඇති අය වෙති.

සිංහල භාෂාව පිළිබඳ ව විමසිල්ලෙන් බැලීමෙන් ද මෙය පැහැදිලි වේ. සිංහල භාෂාව ගොඩ නැගී ඇත්තේ ප්‍රධාන වශයෙන් ස්වදේශික බස (නිපන් වචන), බෙංගාලි, පාලි , සංස්කෘත දකුණු ඉන්දීය ( හා පසු කාලීන ව අපරදිග භාෂා ) භාෂාවන් වෙතින් පෝෂණය වීමෙනි. අක්ෂර මාලාව ද එසේ වෙයි. බ්‍රාහ්මී අක්‍ෂර ද බ්‍රාහ්මී නොවන ස්වදේශික අක්‍ෂර ද වෙතින් සිංහල අකුරු පරිණාමය වී ඇත.

පසුකාලීන ව විදේශවලින් සංක්‍රමණය වූවන් අතුරින් විවිධ හේතු මත, තමා පෙර අයත් ව සිටි ජාතිකත්වය රැකගත් පිරිසක් ඉතිරි වීම නිසා ශ්‍රී ලංකාව ජාතීන් කිහිපයක් වෙසෙන රටක් බවට පත් වී ඇත.විශේෂයෙන් ඉස්ලාම් ආගම බිහි වීමෙන් අනතුරු ව එහි දැඩි නීති රීති පද්ධතිය හේතු කොට ගෙන එම භක්තිකයන් අමිශ්‍ර ව වෙනම ඒකකයක් ලෙස පවතින්න ට ඇතැයි සිතිය හැකිය.

සිංහලයා යනු ශ්‍රී ලංකාවේ එක් ජන වර්ගයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ ජනතාව හැඳින්වුණු පොදු නාමයයි. ගැටළු මතු ව ඇත්තේ අනෙක් ජන කණ්ඩායම්, පොදු ප්‍රවාහයට එකතු නොවීමටත් වඩා, ඒවාට අයත් සමහරුන් පොදු ප්‍රවාහය කෙරෙහි සතුරු ආකල්පයකින් යුතු වීම නිසා යයි මට සිතේ.



කරවනැල්ල ඉස්ටේසම ටිකට් දෙන


බන්ධුල සිසිර කුමාර

යටත්විජිත සමයේ අවසාන කාලයේ ඇරඹී සීමිත කාලයක් පැවතී අනතුරු ව වසා දමන ලද දුම්රිය මාර්ග කිහිපයක් ද ශ්‍රී ලංකාවේ දුම්රිය වංශ කථාව තුල වෙයි. මේ අතුරින් අවිස්සාවේල්ල - ඕපනායක පටු දුම්රිය මාර්ගයටත් වඩා මේ වන විට ජන විඥානයෙන් ගිලිහී ගොස් ඇති තවත් දුම්රිය මාර්ගයක් ඒ අසල ම ප්‍රදේශයක ක්‍රියාත්මක විණි. ඒ අවිස්සාවේල්ල - යටියන්තොට පටු දුම්රිය මාර්ගයයි. දිගින් කිලෝමීටර 20ක් වූ මෙම දුම්රිය මාර්ගය 1903 දී ආරම්භ විය. තල්දූව, දෙහිඕවිට, කරවනැල්ල හා යටියන්තොට යන දුම්රිය ස්ථාන මෙම මාර්ගයේ පිහිටා තිබිණි. 1942 දී මෙම දුම්රිය මාර්ගය වසා දමන ලදී. දෙවැනි ලෝක යුද සමයේ මතුවූ ආර්ථික අර්බුද, අවිිධිමත් කළමනාකරණය හා ජනතාව ටිකෙන් ටික මහා මාර්ගය හා බැඳුණු ප්‍රවාහන මාධ්‍යයනට හුරු වීම එකල සිදු වූ දුම්රිය මාර්ග වසා දැමීම්වලට හේතු වී යයි කියනු ලැබේ. මාගම් තෙන්නකෝන් ශූරින් ලියූ "දිවි සයුරෙන් දිය දෝතක්" කෘතියෙහි මෙම දුම්රිය මාර්ගය පිළිබඳ මතක සටහන් සඳහන් ව ඇත. දෙහිඕවිට වැනි ප්‍රදේශවල ඇල මාර්ග හරහා වැටී ඇති වල්බිහිවෙමින් තිබෙන පැරණි දුම්රිය පාලම් මෙම අතීත දුම්රිය මාර්ගයේ නෂ්ටාවශේෂ ලෙස තවමත් ඉතිරි ව තිබෙනු දැක ගත හැකිය..


ජන කවියා අතින් පබැඳෙන ජන ගී තුල ඔහු අසන, දකින, විිඳින දේත් ඔහුගේ ආකල්ප හා මනෝභාවයනුත්, රැඳී ඇති අන්දම අපි දනිමු. පහත දැක්වෙන පතල් කවිය තුල එහි නිර්මාපකයා නිතර දකින ස්ථාන හතරක් සඳහන් වෙයි. ඒ අනුව මෙම පතල් කවිය නිර්මාණය වී ඇත්තේ ද මෙම දුම්රිය මාර්ගය ක්‍රියාත්මකව පැවති කාලයේ බව පෙනී යයි.

කරවනැල්ල ඉස්ටේසම ටිකට්        දෙන
රුවන්වැල්ල කන්තෝරුව ලියුම්    දෙන
කොටියා කුඹුරෙ ඉස්ටෝරුව බඩු  කිරන
මා බෝගල පතලෙයි මම වැඩ       කරන

කහටගහ පතල සිරිලක රන් කොතලේ

බන්ධුල සිසිර කුමාර

අපේ සාහිත්‍යයේ චූල සම්ප්‍රදායට අයත් ප්‍රධාන අංගයක් ලෙස ජන කවිය හැඳින්විය හැකියි. පැල් කවි, නෙලුම් කවි, කරත්ත කවි,පතල් කවි ආදී වශයෙන් කාණ්ඩ ගණනාවකට මේවා වෙන් කළ හැකි වන අතර ඒ ඒ වෘත්තීන්වල යෙදෙන්නන් අතර ඒවා බිහි වී තිබෙනවා. ඔවුන් සිය රැකියාවේ යෙදෙද්දී අසන, දකින, විඳින දේ, රැකියාවට ආවේණික කම් කටොලු, අත්විඳින විවිධ මනෝ භාවයන් ඒවා තුලින් මනාව නිරූපණය වෙනවා මෙහි පහතින් දැක්වෙන පතල් කවි දෙක කහටගහ මිනිරන් පතල ආශ්‍රිත ව බිහි වූ ජන කවි දෙකක්. එක් කවියකින් ඔවුන් එහි රැඳී සිට විඳින දුක් ගැහැට ගැන කියවෙනවා. අනෙක් කවියෙන් පතල හා එහි හිමිකරු ගැන කියවෙනවා. එකල කහටගහ පතල හිමිකරු ව සිටි සර් ජෝන් කොතලාවල මහතා තුලින් කවියා දුටු චරිත ලක්ෂණ ඔහු විස්තර කරන්නේ තරමක හාස්‍යයකුත් ඇති වන පරිදි යි. මේ කවි දෙක දෙදෙනෙකු ලියූ වා විය හැකියි.


මදුරාගොඩට අපි ඇවිදින් විඳින         දුකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයා      කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට   දුකා
මීට වැඩිය නරකද ගම හිඟා              කකා

කහටගහ පතල සිරිලක රන්      කොතලේ
කහටගහ පතල ලොක්කා ජෝ  කොතලේ
රටට සැර නමුත් අප හට කරයි      ලොලේ
ඊටත් වඩා ගෑණුන් හට කරයි        ලොලේ

පර මලක් දෝ රෑ කුමාරී

බන්ධුල සිසිර කුමාර




ගැහැණුන් ද මිනිසුන් ද ජීවත් වීම සඳහා විවිධ ජීවිකා වෘත්තීන් තෝරා ගන්නවා. තෝරා ගන්නවා කියා මා කියූවද ඒ යෙදුම සම්පූර්ණයෙන් ම නිවැරදි නොවිය හැකියි. තෝරා ගැනීමේ අවස්ථාව අප හැමෝට ම එක සේ උදා වන්නේ නැහැ. එසේ වූවා නම් සියලු දෙනා ම සමාජය පිළිගත්, එපමණක් නොව උසස් යයි සම්මත රැකියා පමණක් තෝරා ගනු ඇති. සමහරුන්ගේ ජීවිත දෛවය මගින් ගසාගෙන ගොස් සිහිනෙකින් වත් නොසිතූ තැන් වල රැඳෙනවා. මේ කියැවෙන්නේත් එබඳු පිරිසක් ගැන කතාවක්.

එදා මෙදා තුර සමාජයේ අතිමහත් ගර්හාවට භාජනය වන ජීවිතා වෘත්තීන් අතරින් කැපී පෙනෙන එකක් වනුයේ ලෝකයේ පැරණිතම රැකියාවයි.විසඳුමක් නැති ආර්ථික අරගලයක අවසාන පිළියම ලෙස, නොඑසේ නම් රැවටිල්ලකට හසුව මංමුලා වී නගරයට ආ ගමනක අවසානය ලෙස, ලිංගික ශ්‍රමය විකුණන්නියක් බවට පත්වන අවාසනාවන්ත ලඳුන් ගැන දයා පරවශ ව ලියූ විශිෂ්ඨ ගීත නිර්මාණ කිහිපයක් ම අපගේ නූතන ගීත සාහිත්‍යයයෙහි හමුවෙනවා. එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කරනු ලබන“ රැයේ හමා ආ බොල් පින්නෙන්දෝ“ ගීතය හා අමරසිරි පීරිස් ගයන “ලඳුනේ“ ගීතය එවැනි විශිෂ්ඨ නිර්මාණ දෙකක්.

මේ ඇරඹුම තවත් එවැනිම වූ ගීතයක් පිළිබඳව යි. මගේ මතකය නිවැරදි නම් මේ ගීතය වසර 17 ක් හෝ 18 කට පෙර නිර්මාණය වූවක්.

බුද්ධ කාලීන භාරතයේ විසූ අම්බපාලි නගර ශෝභිනිය බුදු දහමෙහි හරය වටහාගෙන පාපකාරී ජීවිතයෙන් මිදී සසුන් ගත ව රහත් ඵලයටද පැමිණෙනවා. එසේ අම්බපාලිය යම් මළපුඩුවකින් මිදුනී ද මේ කියන ලඳ ඒ මළ පුඩුවට හසුව සිටිනවා.

සලෙල පහසින් කිලිටි වූ රෑ
යහන වැතිරුණ දුක් සුසුම්
දයාවේ නෙත් ඉමෙන් වැළහී
අම්බපාලිය මිදුණු මළ පුඩුවේ
බැඳුණිදෝ.....රන් කිකිළියේ

නගර ශෝභිනියක් සිය පාරිභෝගිකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීම පිණිස නොයෙක් විචිචූර්ණ විලාසිතා අංග රචනා ආදියට නැඹුරු වෙනවා. මතුපිට වයිවාරන්න බවක් මිස ගැඹුරක් නැති එවැනි දැයින් හැඩ වැඩ වන ඇය රන් කිකිළියක ලෙස හැඳින්වීම මොන තරම් කදිම රූපකයක් ද?

පාරිභෝගිකයා ඉදිරියෙහි ඇය පාන්නේ මවා ගත් සිනහවක්. එය ද පෙර කී අංග රචනාවන් වගේ ම පිටින් ගෑ ආලේපයක් පමණයි. එයට යටින් ඇය සඟවාගෙන සිටිනුයේ දෙගොඩ තලා ඉවුරු බිඳ ගෙන ගලා යන මහා හැඬුමක්. ඇගේ ඇස් රතු පැහැ වී ඇත්තේ රැයක් පුරා නිදි වැරීමෙන්. ඒ ගොදුරු සොයා යන්නවුන්ගේ උගුලෙහි සිර වීම නිසා.

සිනා පඬු ගෑ දෙතොල සිර කළ
ඉවුරු බිඳ හළ කඳුළු මහ වැහි
ගොදුරු ලොබ බැඳ සරන මුව වැදි
මළ පුඩුව මත නිදි වරා දෝ
නෙත පුරා රත ගෑවුණේ......

ලොවේ අනෙක් යුවතියන් පිබිදී, අළුත් දිනයකට පේ වි ගන්නා සොඳුරු උදෑසන ඇය පර මලක් සේ විඩාපත් ව, දිවියේ වටිනා ම දෑ අහිමි ව, වැළපෙන සිතින් වැතිර හිඳිනවා.

පිණි දියෙන් මුව දොවා මල් කැන්
නියත විවරණ ලබන උදයක
පර මලක් දෝ රෑ කුමාරී
මල් වැලෙන් බිම වැටී වැලපෙන
ජීවිතේ රොන් සුවඳ ඉහිරී...
කිකිළියේ... රන් කිකිළියේ.....

සමාජයේ ගැරහුම් ලබන ළඳක වෙත අසීමිත දයානුකම්පාවෙන් අමතන මෙම ගීයේ පද මාලාව වත්තේ වැවේ ධම්මානන්ද හිමියන්ගේ යි. බුදු දහමේ එන අසීමිත මානව දයාව මෙම ගීතය පුරා උතුරා යාමට හේතු ව ද භික්ෂූන් වහන්සේ නමක අතින් ම මෙය ලියවීම විය යුතුයි.

ගැයූ හැම ගීයක ම පාහේ හිතන්නට යමක් ඉතිරි කළ ඉමාන් පෙරේරා යි මෙම ගීතය ගායනා කළේ.
අරුතට උචිත සංගීතය රංජිත් සුදර්මන් ගේ.

මා කියූ දෙය ඔබ හරියට ම වටහා ගන්නේ මේ ගීය ඇසූ පසුවයි. පහතින් දැක්වෙන සබැඳිය ඔස්සේ එය අසා බලමු.

අපේ වැව් සහ අපි


බන්ධුල සිසිර කුමාර


ඉතිහාසය හා ඒ සමග අන්තර් සම්බන්ධතාවක් සහිත විෂයයක් වූ සාහිත්‍ය, පාසල් විෂය මාලාවෙන් ඉවත් කළ පසු බිහි වූ පරපුර හා ඔවුන්ගේ දූ දරු පරපුරේ සම හරක් තම අක් මුල් නොදැන නන්දොඩවන අයුරු, පොදු සමාජය තුල පමණක් නොව සමාජ ජාල තුල ද දැක ගත හැකියි. තමා කාගේ කවුදැයි නොදන්නා පුද්ගලයා තමන්ගේ උරුමයන් නොදත් , තමාට පරපුරෙන් හිමි වී ඇත්තේ මොනවා දැයි නොදන්නා ගන්ධබ්බයකු වන අන්දම මෙයට පෙර ලිපියකින්ද පැහැදිළි කෙරුණා. මේ වන විට ලැබී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව. අපගේ ශිෂ්ඨාචාරය වසර තුන් දහසකට ආසන්න කාලයක් තිස්සේ පැවතී ඇති බවත් , ජාත්‍යන්තර වෙළඳ සන්ධිස්ථානයක පිහිටා කිබීම නිසා අපගේ පරපුර, දැනුම තාක්ෂණය හා ආකල්ප අතින් මහාද්වීපික මානසිකත්වයක මිස දූපත් මානසිකත්වයකින් යුක්ත නොවූ බවත් දැන සිටින්නේ කෙතරම් සුළු පිරිසක්ද? එපමණක් නොව සම හරක් හිස් මුදුනින් පිළි ගන්නා අමෙරිකානු ශිෂ්ඨාචාරය, වසර දෙතුන් සියයකට වඩා පැරණි නොවන බව ද නොදැනීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ දැනුම කෙතරම් දිළිඳු ද යන්න නොවේද?


මේ පැරණි රූපවාහිනී වැඩ සටහන, අප කවුදැයි වටහා ගන්නට කැමැති අයට සුලු වශයෙන් හෝ දැනුම් පොදක් දෙන බව දුටු බැවින් මෙම සබැඳිය ඉදිරිපත් කරනවා.

වෙරළු ගහ යට


බන්ධුල සිසිර කුමාර





කොළඹ අවට ඉපිද හැදී වැඩී, කොළඹ නගරයේ ඉගෙනුම ලැබ, කොළඹ නගරයේ ම රැකියාවේ යෙදුණු මට ඈත දුර බැහැර ගම්දනව් පිළිබඳ සෞන්දර්යාත්මක සිහිනයන් තිබුණා. ඉසිඹුවක් ලද සැම කල්හි ම මා ඒ ගම් දනව් වල සංචාරය කළා. ජීවිතයේ පසු කලෙක හුරු පුරුදු නගරයට සමු දී මැද පලාතේ ඈත කෙළවරක පදිංචි ව උතුරු මැද පලාතේ රාජකාරියෙහි යෙදෙන විට දුරට පෙනෙන සුන්දරත්වයට යටින් දිවෙන ඒ ජීවිතයේ කටුක සත්තාවත් ජීවන අරගලයේ වේදනාවත් මා දුටුවා.

කවදාවත් නිමක් නොදකින, ඉදිරි ගමනක්, සුගතියක් ද නැති කෘෂිකාර්මික ජීවන චක්‍රයෙන් මිදී යාමට ඒ ඈත ගම් දනව්වල තරුණ පරපුර තුල පොපියන ආශාව මා හොඳින් ම දුටුවා. ශිල්පයක් උගෙන, හොඳ රැකියාවක් හෝ වැඩිදුර ඉගෙනීමක් සඳහා, අරමුණක් ඇතිව ගමෙන් පිටවන තරුණයන් මෙන් ම, කුමක් හෝ රැකියාවක් සොයා ඉබාගාතේ කොළඹට එන තරුණ පෙළක් ද එහි දී දුටුවා. එසේ අරමුණකින් තොර ව නගරයට එන තරුණයන්ගේ ජීවිත එතරම් සුන්දර වුනේ නැහැ.

මේ අත්දැකීම් මත සිටින මගේ සිතේ මහත් කම්පනයක් ඇති කළ ගීතයක් මෑතකදී අසන්නට ලැබුණා.එය ගැයුවේ කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාණන්.

වෙරළු ගහ යට පුංචි කාලය - කොහේ කොතැනද අහන මොහොතක
මාවතේ - දුරකතන හදවත නැවතුනා
අනේ අම්මේ කාසි ඉවරයි - ආදරේ බව කියන්නටවත් බැරි වුණා

ගමෙන් ගෙන ආ හීන කවරය - තවම ඇත බෝඩිමේ ඇඳ යට
සිහින විමසන මදුරුවන් මැද - නිදාගන්නත් බැරි වුණා
අනේ අම්මේ හීනයක්වත් දකින්නට මට බැරි වුණා

ගමේ ගෙදර සිට නගරයේ බෝඩිමක පදිංචියට එන තරුණයා එතෙක් තමා ප්‍රිය කළ පොත පත, තමාගේ විනෝදාංශවලට අදාල දේවල්, අළුත් වටපිටාවේදී කළ හැකි වේ යැයි පෙරදී සිහින දුටු විවිධ කටයුතු වේ නම් ඊට අදාල කළමණා ආදියත් රැගෙන එනවා. එහෙත් නගරයේ බෝඩිං ජීවිතයේ ඒකාකාරි චක්‍රයට අසුවන ඔහුට ඒ කිසිවක් කරන්නට ලැබෙන්නේ නැහැ.“ගමෙන් ගෙන ආ හීන කවරය - තාම ඇත බෝඩිමේ ඇඳ යට“ යන්නේ කියැවෙන්නේ එය බවයි මගේ අදහස. (ජීවිතයේ සැළකිය යුතු තරම් කාලයක් නවාතැන්වල ගත කළ මා ද මෙම තත්ත්වය හොඳින් ම අත් දැක තිබෙනවා.)

බෝඩිමක නැවතී කොළඹ අවට සාමාන්‍ය රැකියාවක් කරන්නකුගේ ජීවිතයට ආවේණික කම්කටොලු රැසක් තිබෙනවා.අවිවේකය, අඩු පහසුකම් හා සනීපාරක්ෂාව ඒ අතරින් ප්‍රධාන යි. ඒ පීඩාවන් තුල දිවි ගෙවන තරුණයාට මව ගැන සිතන්නට සොයන්නට අතපසු වෙනවා.මදුරුවන් නිසා නිදා ගන්නට බැරි වූ බවත් ඒ නිසා හීනයක්වත් දකින්නට- මව හීනෙන්වත් දකින්නට- නොහැකි වූ බව ඔහු සමාව ඉල්ලන ස්වරයෙන් කියනවා.

කොළොම්පුරයට ඉර වඩම්මන - පෙරහැරේ රිය සෙනග අතරේ
කහ ඉරක් මත හැපී මිය යන - ප්‍රේමයක් මට හමු වුණා
අනේ අම්මේ වතුර උගුරක් දෙන්නවත් මට බැරි වුණා

නගරයේ දී අහම්බෙන් හමු වන තැනැත්තියක හා ඔහු අතර ප්‍රේමයක් ඇති වෙනවා. එහෙත් එය අසාධාරණ අන්දමින් ඔහු ව හැරයන තාවකාලික ප්‍රේමයක්. “කහ ඉරක් මත හැපී මිය යන“ යෙදුමෙන් නිරූපණය වන්නේ එයයි. මේ ප්‍රේමය පැවතුණු කාලය තුල අම්මා තව දුරටත් ඔහුගේ අවධානයෙන් ගිලිහෙනවා. අම්මා ඇගේ දුක් කම් කටොලුවලින් මුදා ගෙන රැක බලා ගත හැකි පසු බිමක් ගොඩ නැගෙන්නටත් පෙර ඇය මිය යනවා.

ඔහු මාවතේ දුරකතන කුටියකින් අම්මාට කතා කළ මොහොතක අම්මා ඔහුගේ කුඩා කාලය ගැන කියනවා.ඒ කතාබහ අවසන් වෙන්නටත් පෙර මුදල් අවසන් වී දුරකතනය විසන්ධි වෙනවා. එය ඔහුට අම්මා සමග කළ හැකි වූ අවසන් කතා බහ වන්නට ඇති. ඔහු අතින් වතුර උගුරක් හෝ පොවන්නට නොලැබෙන පසුබිමක ඇය මෙලොව හැර යනවා.

“අනේ අම්මේ කාසි ඉවරයි“ , “වතුර උගුරක් දෙන්නවත් මට බැරි වුණා“ වැනි යෙදුම්වල ධ්වනිතාර්ථය තුලින් ඔහු ඇද වැටී ඇති ආර්ථික මට්ටම පිළිබඳ ව ඉඟි කෙරෙනවා.

සමස්තය ම සළකා බලන විට ගුණදාස කපුගේ ශිල්පියාණන් ගැයූ “දවසක් පැල නැති හේනේ“ ගීතයට පමණක් දෙවැනි වන, නැතහොත් ඒ හා සම මට්ටමේ වූ ගීතයක් ලෙස මා මෙය දකිනවා.

මේ ගීතයෙන් කියවෙන අරුත වඩාත් තීව්‍ර කරන සංගීත සංයෝජනයත් අති විශීෂ්ටයි.

ඔබත් මේ ගීතය රසවිඳින්නේ නම්, ඔබගේ අදහස කොමෙන්ටුවක් සේ දක්වන්න. සමහර විට මේ අත්දැකීම්වලින් ස්වල්පයක් හෝ ඔබටත් ඇති.

මේ අපූරු ගීතයේ ගේය පද රචනය රජීව වසන්ත වෙල්ගමයන්ගේ. සංගීත ශිල්පියා කවුදැයි මට සොයා ගැනීමට ලැබුණේ නැහැ. ඒ අයට කරන සාධාරණයක් හැටියටත් මගේ දැන ගැනීම උදෙසාත් ඔබ දන්නේ නම් එම අයගේ නම් සඳහන් කරන්න.

මේ සබැඳිය ඔස්සේ ගීතය අසා බලන්න.

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...