බන්ධුල සිසිර කුමාර
ගැහැණුන් ද මිනිසුන් ද ජීවත් වීම සඳහා විවිධ ජීවිකා වෘත්තීන් තෝරා ගන්නවා. තෝරා ගන්නවා කියා මා කියූවද ඒ යෙදුම සම්පූර්ණයෙන් ම නිවැරදි නොවිය හැකියි. තෝරා ගැනීමේ අවස්ථාව අප හැමෝට ම එක සේ උදා වන්නේ නැහැ. එසේ වූවා නම් සියලු දෙනා ම සමාජය පිළිගත්, එපමණක් නොව උසස් යයි සම්මත රැකියා පමණක් තෝරා ගනු ඇති. සමහරුන්ගේ ජීවිත දෛවය මගින් ගසාගෙන ගොස් සිහිනෙකින් වත් නොසිතූ තැන් වල රැඳෙනවා. මේ කියැවෙන්නේත් එබඳු පිරිසක් ගැන කතාවක්.
එදා මෙදා තුර සමාජයේ අතිමහත් ගර්හාවට භාජනය වන ජීවිතා වෘත්තීන් අතරින් කැපී පෙනෙන එකක් වනුයේ ලෝකයේ පැරණිතම රැකියාවයි.විසඳුමක් නැති ආර්ථික අරගලයක අවසාන පිළියම ලෙස, නොඑසේ නම් රැවටිල්ලකට හසුව මංමුලා වී නගරයට ආ ගමනක අවසානය ලෙස, ලිංගික ශ්‍රමය විකුණන්නියක් බවට පත්වන අවාසනාවන්ත ලඳුන් ගැන දයා පරවශ ව ලියූ විශිෂ්ඨ ගීත නිර්මාණ කිහිපයක් ම අපගේ නූතන ගීත සාහිත්‍යයයෙහි හමුවෙනවා. එඩ්වඩ් ජයකොඩි විසින් ගායනා කරනු ලබන“ රැයේ හමා ආ බොල් පින්නෙන්දෝ“ ගීතය හා අමරසිරි පීරිස් ගයන “ලඳුනේ“ ගීතය එවැනි විශිෂ්ඨ නිර්මාණ දෙකක්.
මේ ඇරඹුම තවත් එවැනිම වූ ගීතයක් පිළිබඳව යි. මගේ මතකය නිවැරදි නම් මේ ගීතය වසර 17 ක් හෝ 18 කට පෙර නිර්මාණය වූවක්.
බුද්ධ කාලීන භාරතයේ විසූ අම්බපාලි නගර ශෝභිනිය බුදු දහමෙහි හරය වටහාගෙන පාපකාරී ජීවිතයෙන් මිදී සසුන් ගත ව රහත් ඵලයටද පැමිණෙනවා. එසේ අම්බපාලිය යම් මළපුඩුවකින් මිදුනී ද මේ කියන ලඳ ඒ මළ පුඩුවට හසුව සිටිනවා.
යහන වැතිරුණ දුක් සුසුම්
දයාවේ නෙත් ඉමෙන් වැළහී
අම්බපාලිය මිදුණු මළ පුඩුවේ
බැඳුණිදෝ.....රන් කිකිළියේ
නගර ශෝභිනියක් සිය පාරිභෝගිකයන්ගේ නෙත් සිත් පැහැර ගැනීම පිණිස නොයෙක් විචිචූර්ණ විලාසිතා අංග රචනා ආදියට නැඹුරු වෙනවා. මතුපිට වයිවාරන්න බවක් මිස ගැඹුරක් නැති එවැනි දැයින් හැඩ වැඩ වන ඇය රන් කිකිළියක ලෙස හැඳින්වීම මොන තරම් කදිම රූපකයක් ද?
පාරිභෝගිකයා ඉදිරියෙහි ඇය පාන්නේ මවා ගත් සිනහවක්. එය ද පෙර කී අංග රචනාවන් වගේ ම පිටින් ගෑ ආලේපයක් පමණයි. එයට යටින් ඇය සඟවාගෙන සිටිනුයේ දෙගොඩ තලා ඉවුරු බිඳ ගෙන ගලා යන මහා හැඬුමක්. ඇගේ ඇස් රතු පැහැ වී ඇත්තේ රැයක් පුරා නිදි වැරීමෙන්. ඒ ගොදුරු සොයා යන්නවුන්ගේ උගුලෙහි සිර වීම නිසා.
සිනා පඬු ගෑ දෙතොල සිර කළ
ඉවුරු බිඳ හළ කඳුළු මහ වැහි
ගොදුරු ලොබ බැඳ සරන මුව වැදි
මළ පුඩුව මත නිදි වරා දෝ
නෙත පුරා රත ගෑවුණේ......
ලොවේ අනෙක් යුවතියන් පිබිදී, අළුත් දිනයකට පේ වි ගන්නා සොඳුරු උදෑසන ඇය පර මලක් සේ විඩාපත් ව, දිවියේ වටිනා ම දෑ අහිමි ව, වැළපෙන සිතින් වැතිර හිඳිනවා.
නියත විවරණ ලබන උදයක
පර මලක් දෝ රෑ කුමාරී
මල් වැලෙන් බිම වැටී වැලපෙන
ජීවිතේ රොන් සුවඳ ඉහිරී...
කිකිළියේ... රන් කිකිළියේ.....
සමාජයේ ගැරහුම් ලබන ළඳක වෙත අසීමිත දයානුකම්පාවෙන් අමතන මෙම ගීයේ පද මාලාව වත්තේ වැවේ ධම්මානන්ද හිමියන්ගේ යි. බුදු දහමේ එන අසීමිත මානව දයාව මෙම ගීතය පුරා උතුරා යාමට හේතු ව ද භික්ෂූන් වහන්සේ නමක අතින් ම මෙය ලියවීම විය යුතුයි.
ගැයූ හැම ගීයක ම පාහේ හිතන්නට යමක් ඉතිරි කළ ඉමාන් පෙරේරා යි මෙම ගීතය ගායනා කළේ.
අරුතට උචිත සංගීතය රංජිත් සුදර්මන් ගේ.
මා කියූ දෙය ඔබ හරියට ම වටහා ගන්නේ මේ ගීය ඇසූ පසුවයි. පහතින් දැක්වෙන සබැඳිය ඔස්සේ එය අසා බලමු.
No comments:
Post a Comment