Monday, January 13, 2025

 

පඩිපෙළ පාමුල...


- බන්ධුල සිසිර කුමාර-


මෙවැනි සිදුවීමක් පිළිබඳ ව ඔබට මනෝ රූපයක් මවා ගත හැකිද?

අපේ ආර්ථික හා පරිපාලන මර්මස්ථාන සියල්ල කේන්ද්‍රගතව ඇති කොළඹ - ජයවර්ධනපුර ප්‍රදේශය, න්‍යෂ්ටික ප්‍රහාරයක් හෝ ඊට සමාන මහා ව්‍යසනයකට ලක් වෙනවා. එය නැවත වරක් යථා තත්ත්වයට පත්කර ගත හැකි පසුබිමක් ඉතිරි වන්නේ නැහැ.

ඉන්පසු විකල්පයක් ලෙස බස්නාහිර පළාතේ ම අන්තයක ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය වැනි කුඩා නගරයක අපේ පරිපාලන කේන්ද්‍රය ස්ථානගත කරගනු ලබනවා. එහෙත් ඒ පෙර පැවැති ආකර්ෂණීය හා දැවැන්ත පරිමාණයෙන් නොවෙයි. අත්‍යවශ්‍ය සාධක පමණක් සලකා ඉදිකර ගන්නා ලද කුඩා නගරයක්. මෙවැනි කුඩා වපසරියක් තුළ ස්ථාපිතව හිඳිමින් ම, එතෙක් පවත්වාගෙන ආ සාමාජීය ආර්ථික වැඩපිළිවෙළ. කිසියම් ප්‍රමාණයකට, අඛණ්ඩ ව පවත්වාගෙන යමින් සිටිනවා.

මෙසේ කලක් ගෙවෙද්දී, යළිත් වරක් වඩාත් දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. එය මොනතරම් බරපතළ හා විනාශකාරී එකක් ද කිවහොත්, එහි ප්‍රතිඵලය වන්නේ ඒ පිහිටුවාගෙන තිබුණු කුඩා අගනුවරද ඇතුළු ව මුළු බස්නාහිර පළාත ම අතහැර දැමීමට සිදුවීමයි. (රටේ ඉතිරි ප්‍රදේශ තුළ, මහා නගරයන් බිහිවී නැතැයි ද මොහොතකට උපකල්පනය කරමු.)



දිවි ගලවා ගත් සුළු පිරිස ඉන් පිටත් ව රට තුළට සංක්‍රමණය වී, දොඩංගස්ලන්ද හෝ ගල්ගමුව වැනි ඈත දුරබැහැර ගම් ප්‍රදේශයකට පැමිණ එහි දුක සේ ඉදිකර ගන්නා ලද කුඩා පරිපාලන මධ්‍යස්ථානයක් මගින්, මහත් අසීරු පසුබිමක් තුළ රටේ පරිපාලනය මෙහෙයවනු ලබනවා. දැවැන්ත වාණිජ ව්‍යාපාර ඇතුළු, එතෙක් පැවති ආර්ථික ව්‍යුහය නැවත ගොඩනඟා ගන්න ලැබෙන්නේ නෑ. භූමියේ ඉඩකඩ පමණක්, සම්පතක් ලෙස තිබෙන හෙයින්, කෘෂිකාර්මික සහ වැවිලි ආර්ථිකයක් පමණක් ආරම්භ කර පවත්වාගෙන යා හැකි වෙනවා. ඒත් බෙහෙවින් ප්‍රාථමික ආකාරයෙන්. එය, අප එතෙක් සිටි තැන සිට කෙබඳු වූ ප්‍රපාතයකට ඇද වැටීමක්දැයි සිතාගත හැකිද?


නපුරු සිහිනයක් වැනි වූ මේ සිදුවීම, මහපොළොවේ යථාර්ථයක් බවට පත් වුවහොත් අපේ ඉරණම කෙබඳු වේද?

සැබවින් ම, මෙවැන්නක්, මීට පෙර අවදියක, මේ රට තුළ සිදුව ඇති බව ඔබට විශ්වාස කළ හැකිද?



*************************************************************************

හැම දවසක් ම ඊට පෙර දිනයේ ප්‍රතිඵලයක් ද, පසු දිනය සඳහා හේතුවක් ද වෙනවා.

සති, මාස, අවුරුදු, දශක, සියවස්, සහස් වස් ගණන් ඔස්සේ අඛණ්ඩව මෙම හේතුඵල සම්බන්ධතාව එකිනෙක බැඳී පවතිනවා.

එනිසා අප අද අත්විඳින කිසියම් සමාජ ආර්ථික දේශපාලනික අර්බුදයක් වේ නම්, ඒවායේ හේතු මේ මුළු කාල පරාසය පුරාවට ම තිබිය හැකි යි. විචාරශීලීව විමසා බලද්දී ඒ බව පැහැදිලිව පෙනෙන සංසිද්ධි අපමණයි.

මෙරට පුරාණ අගනුවරක් වශයෙන් අපට දකින්නට තිබෙන අති දැවැන්ත ම ගොඩනැගිලි සහ වෙනත් විශේෂිත ඉදිකිරීම් හා කලාත්මක නිර්මාණ සම්භාරය හමුවන්නේ අනුරාධපුරයේ බව අවිවාදිතයි.




එසේ ම, විවිධ සෙල්ලිපි තුළින් පැහැදිලිව හමුවන, වඩාත් විධිමත් පැරණි පරිපාලන විධි ක්‍රම, මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද ආදිය හමුවන්නේ ද අනුරාධපුර රාජධානි අවදියට සම්බන්ධවයි. (මේ බ්ලොගයේ, කරකැවිල්ල සහ උඩ ඉඳලයි වැටුණෙ ලිපිවල මේ පිළිබඳ වැඩිමනත් තොරතුරු කියවිය හැකියි.)

එසේ වූ අනුරාධපුර රාජධානි සමයට, විවිධ අභියෝග එල්ල වුවත්, එය සහස්‍ර වර්ෂයකටත් වඩා වැඩි කාලයක් අඛණ්ඩව පවතිනවා.

ඒ විශිෂ්ට යුගය, නැවත නොනැගිටින්නට ඇද වැටෙන්නේ 1017 රාජ රාජ චෝළ ආක්‍රමණය සමඟයි.

අනුරාධපුරය අතහැර දමා පරිපාලන කේන්ද්‍රය පොළොන්නරුවට ගෙන එන ආක්‍රමණිකයන්, තමන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත් අපේ රට, "මුම්මුඩි චෝළ මණ්ඩල" යනුවෙන් නම් කරනවා.

මේ ඓතිහාසික සිද්ධිය ද ඇතුළත් සිනමා පටයක් මෑතක දී ඉන්දියාවේ නිපදවුනා. එහි නම "පොන්නියින් සෙල්වන්"


මට මතක විදියට, ඒ සිනමා පටයේ කියවෙනවා ඒ ආක්‍රමණයෙන් සිංහලයන් අවසන් බව!

ඒ කතාවේ ඇත්තක් නැතුවාමත් නොවෙයි. අනුරාධපුර යුගයේ සිටි විශිෂ්ට තත්ත්වය එයින් පසු අපට කිසිදා ගොඩනඟා ගැනීමට ලැබෙන්නේ නැහැ. ඉන්පසු කිසියම් මට්ටමක හෝ ප්‍රබල රජකු බවට පත්වන්නේ මහා පරාක්‍රමබාහු රජුයි. එසේ ම එවැනි අවසන් පාලකයාද ඔහුයි.

අප කෙබඳු තැනක සිට, කුමන ආකාරයේ තැනකට ඇද වැටුණේද යන්න, පුරාණ අනුරාධපුරය හා පොළොන්නරුව යන නගර දෙකෙහි නෂ්ටාවශේෂවල, ව්‍යාප්තිය හා පරිමාණය සසඳා බැලීමෙන් වුවද වටහා ගැනීමට පුළුවන්.

එසේ ම, පොළොන්නරුවේ අද දැකිය හැකි අවශේෂයන්ගෙන් වැඩිමනත් කොටසත්, අප පෙර සිටි විභූතිමත් තත්ත්වයට සමීප කරවූ පළමුවැනි පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද දේ යි.

(ඉහත කී, දැවැන්ත චෝළ ආක්‍රමණය පිටු දැකි පළමුවැනි විජයබාහු නිරිඳුන්ගේත්, ඔහු නිර්මාණය කිරීමේ, දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළ සිත් නරු බිම් බුදල්නාවන්ගේත් යුග මෙහෙවර මේ සටහනෙන් අවතක්සේරු වන්නේ නෑ. ඒ ගැන මෙම බ්ලොගයේ ඉතිහාසය වෙනස් කළ මිනිස්සු - 1 ලිපියෙහි සාකච්ඡා කෙරෙනවා.)

එසේ ගොඩනගා ගන්නා ලද, පොළොන්නරුව රාජධානියත්, එතෙක් අඛණ්ඩව පවත්වාගෙන ආ අපේ සමාජ ආර්ථික ක්‍රමවේදයත්, ඊට අදාළ වූ සියලු වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම්, කෘෂිකාර්මික සංකීර්ණ, කර්මාන්ත පද්ධති යනාදී වූ මේ සියල්ලත් ඇතුළු පිහිටි රට (වත්මන් උතුරු හා උතුරු මැද පළාත්) 13 වන සියවසේ අවසානයේදී අතහැර දැමීමට සිදුවෙනවා. ඊට බල පෑ අවසාන තීරණාත්මක සාධකය වන්නේ කාලීංග මාඝ ආක්‍රමණය මගින් සිදු කෙරුණු විනාශයයි. (මේ බ්ලොගයේ, මරා දැමූ නගරය ලිපියෙහි මේ පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් ව ඇති.)

අනුරාධපුරය ඇදවැටීම අපේ අවනතියේ පළමුවැනි පියවර ලෙසත්, රජරට මුළුමනින් අතහැරීමට සිදුවීම එහි දෙවැනි හා තීරණාත්මක පියවර ලෙසත් සලකන්න පුළුවන්.

ඇත්තෙන්ම, රජරට අත්හැරීමට සිදුවීම යනු අපගේ සංහතිය ලද අති දැවැන්ත පරාජයයි. අපගේ ශිෂ්ටාචාරය, එහි පරිපාලන විධි ක්‍රම, ආදි සියල්ල ගොඩ නැගී තිබුණේ ඒ බිම, ඒ පරිසරය, ඒ කෘෂි හා වරිමාර්ග පද්ධතිය කේන්ද්‍ර කරගෙනයි.

මම මෙයට, වර්තමානයෙන් උදාහරණයක් සපයන්නම්.

අද අපේ ආර්ථික හා පරිපාලන මර්මස්ථාන සියල්ල කේන්ද්‍රගත ව ඇති කොළඹ - ජයවර්ධනපුර ප්‍රදේශය, නැවත ප්‍රතිනිර්මාණය කර ගත නොහැකි මට්ටමේ මහා ව්‍යසනයකට ලක් ව, ඒ පළාතේ අන්තයක ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය වැනි කුඩා නගරයක අපේ පරිපාලන කේන්ද්‍රය නිර්මාණය කර ගැනීමට සිදුවුවහොත්...?


අනුරාධපුරය අතහැර පොළොන්නරුව පරිපාලන මධ්‍යස්ථානය ලෙසට පවත්වා ගැනීමට සිදුවීම මා දකින්නේ එවැනි දෙයක් හැටියටයි.

ඉන්පසු වඩාත් දරුණු ව්‍යසනයකින් මුළු බස්නාහිර පළාත ම අතහැරීමට සිදුවී, ගල්ගමුව හෝ දොඩංගස්ලන්ද වැනි ඈත එපිට දුර බැහැර ගම්මානයකට පසු බැස නුහුරු ආර්ථික රටාවකට හුරුවෙමින් සියල්ල මුල සිට නිර්මාණය කර ගැනීමට සිදුවුවහොත්..?

රජරට හා එහි වූ සියල්ල අතහැර ඈත එපිට නුහුරු පරිසරයක වූ දඹදෙණියේ ස්ථාපිතව, ඒ අමුතු වටපිටාවට හා එහි ඇති දේට ගැලපෙන පරිදි, ආර්ථික සාමාජීය හා පරිපාලනමය සියල්ල අලුතින් ගොඩනඟා ගැනීමට සිදුවීම මා දකින්නේ එවැනි දෙයක් හැටියටයි.

එතැන් සිට සමස්තයක් ලෙස ම දැකිය හැක්කේ ම අවනතියයි.

උතුරු මැද පළාතෙන් ඈත එපිට, වෙනත් දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් හා වෙනස් භූ විෂමතා සහිත ප්‍රදේශයක් වූ දඹදෙණියට පැමිණ, සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකට නැවත හැඩ ගැසෙමින්, අවශ්‍ය යටිතල පහසුකම් මුල සිට ගොඩනඟා ගනිමින් අලුත් ම ගමනක් නැවත ඇරඹීමටයි එතැන් සිට සිදුවන්නේ. එවන් පසුබිමක් තුළ, අතීතයේ සිටි විභූතිමත් තත්ත්වයට ආසන්න වීමටවත්, අපගේ ශිෂ්ඨාචාරයට නැවත ඉඩ ලැබෙන්නේ නැහැ. එසේ ම, ඉන් පසු ඇතිවන්නේ, එහි සිට ද කලින් කලට, එක් එක් අගනුවරට නැවත නැවත මාරුවෙමින් ගත කළ අස්ථාවර ගමනක්.



මෙසේ, දඹදෙණියට පසු, යාපහුව, කුරුණෑගල, ගම්පොළ ආදී ප්‍රදේශ අගනුවර බවට පත් කරගනිමින් යන ගමනක අවසානයේ නැවතත් ස්ථාවර සහ තරමක් ප්‍රබල රාජධානියක් ගොඩනැගෙන්නේ ශ්‍රී ජයවර්ධනපුරයේ යි . එහෙත් 1500 න් පසු එය ද ඇද වැටීම පටන් ගැනෙනවා. යුරෝපීය ආක්‍රමණ හමුවේ තවත් කෙටි කලක් ඔරොත්තු දී සිටි අපේ කන්ද උඩ රාජධානිය 1815 දී ඇද වැටෙන්නේ එතෙක් අඛණ්ඩ ව ගලාගෙන ආ අපේ සමාජ සංස්කෘතික ප්‍රවාහය ද අර්බුදයට ලක් කරමින්.

අප වැටී ඇති, අගාධයෙන් යන්තම් හෝ දිවි ගලවා ගැනීමට නම් දුරාතීතයේ සිට අද දක්වා ම වූ සිද්ධීන් අතර අන්තර් සම්බන්ධතාවය වටහාගත යුතුයි.

("අතීතය", "ඉතිහාසය" වැනි වචනවලට පවා ගරහන සමාජ වටපිටාවක් තුළ ඒ වැටහීම සමාජගත වීම නම්, සිහිනයක් පමණක් ම වේවි.)



(සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට තුති)



Wednesday, September 27, 2023

 පසුබිම් චිත්‍රය

.


- බන්ධුල සිසිර කුමාර -

අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳහන් කරන්නේ ඒවායේ සුන්දරත්වය, විභූතිමත් බව වැනි දේ. බොහෝ විට එවැනි අදහස් අවසානයේ නවතින්නේ හුදු අතීතකාමයක් තුළ. ඒ හැරුණු විට, ඒවායින් වර්තමානයටඋකහා ගත හැකි දේ ගැන සොයා බලන්නේ අතලොස්සක් දෙනෙක්. එසේ ම, ඒවා පසුපස සැඟවී ඇති විවිධ තාක්ෂණික නිපුණතාවන් ගැන අවධානය යොමු කරන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. බොහෝ විට එක් කුඩා නිර්මාණයක පසුබිමේ පවා ශිල්ප ශාස්ත්‍ර ගණනාවක භාවිතයක් තිබෙනවා.

එසේ ම ඒවා නිර්මාණය සඳහා ශිල්ප ශාස්ත්‍ර පමණක් නොව, ආකල්පමය අංගයේ උපයෝගීතාවක් ද තිබී ඇති බව වඩාත් විචාරශීලීව සොයා බැලීමේදී පැහැදිලි වෙනවා.

(සැබැවින් ම, අද පවා තාක්ෂණික අධ්‍යාපනයේ මූලික අංග තුන ලෙස සැලකෙන්නේ දැනුම, නිපුණතා හා ආකල්පයි.)

නිර්මාණයක පසුබිමේ ඇති විවිධාකාර දැනුම්, නිපුණතා සහ ආකල්පමය අංග හඳුනාගැනීම උනන්දුව දනවන සුළු කටයුත්තක්. ඊට උදාහරණයක් ලෙස, කළු ගලකින් ප්‍රතිමාවක් නෙලීමේ කාර්යයක් ගැන සලකා බලමු.

මේ සඳහා පහත දැක්වෙන විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ දායකත්වය අවශ්‍ය වෙනවා.

1. පාෂාණ පිළිබඳ විශේෂඥ දැනුම

පහසුවෙන් කැටයම් නිර්මාණය කළ හැකි පාෂාණ වර්ග හඳුනාගැනීම සඳහා එය අවශ්‍ය යි.

2. ලෝහ විද්‍යාව (Metallurgy)

වානේ සංයෝග කිරීමේ තාක්ෂණය සහ, ලෝහ සඳහා රත් පිළියම් කිරීමේ තාක්ෂණය (පන්නරය තැබීමට අදාල තාක්ෂණය, Heat treatment) දියුණු ව පවතින පසුබිමක විවිධ ලෝහ වර්ග හා, ගල් වර්ග වැනි දැඩි ද්‍රව්‍ය කැපියහැකි ආවුද නිපදවීම අපහසු කටයුත්තක් නොවෙයි. මෙම තාක්ෂණය දියුණුව පවතින වර්තමානයේ ද එවැනි ආවුද නිර්මාණය කෙරෙනවා.

3. රසායන හා භෞතික විද්‍යාව පිළිබඳ ශික්ෂණයන්

තෝරාගන්නා ලද පාෂාණවල තිබිය හැකි අභ්‍යන්තර ප්‍රත්‍යාබලයන් ඉවත් කිරීමේ ක්‍රමවේද. (යොදා ගන්නා පාෂාණ කැබැල්ලක් තුළ සම්පීඩනයන් හෝ ආතතීන් ඉතිරි ව තිබුණහොත් කටු - මිටි පහරක දී අනවශ්‍ය ස්ථාන වලින් කැඩීයාම් සහ පිපිරීම් ඇති විය හැකියි. වර්තමානයේ ද, වානේ වර්ග, සමහර නිෆෙරස් ලෝහ සහ ඝනකම් වීදුරු වැනි දෑ සඳහා ප්‍රත්‍යාබල සංසිඳුවීමේ ක්‍රම භාවිත කෙරෙනවා.)

4. සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම් ශිල්පයට අදාල දැනුම හා නිපුණතා

ත්‍රිකෝණමිතික අනුපාත, පාදයන් සම ව බෙදා ගැනීම හා කොටස්වලට බෙදා ගැනීම, ලම්බතාවය හඳුනාගැනීම හා පවත්වා ගැනීම ඇතුළු විවිධ කටයුතු. (ප්‍රතිමා නිර්මාණයේ දී, ප්‍රතිමාවෙහි ඒ ඒ අංගයන්හි පිහිටීම සනිටුහන් කර ගැනීමට අදාල වූ ලඹ ගණනාවක් සහිත ලඹ තට්ටුව, දැනට ද කෞතුකාගාරයන්හි දී දැකගත හැකියි.)




5. ප්‍රතිමාවන්ට අදාල සම්මත මිනුම් හා අනුපාත පිළිබඳ දැනුම

ප්‍රතිමාවේ ඒ ඒ අංගයේ පිහිටීම සහ ඒ එක් එක් අංගය අතර දුර ප්‍රමාණ, එක් එක් අංගයේ දිග පළල ආදිය සකසා ගැනීමේදී අවශ්‍ය වන අනුපාතයන් දැක්වෙන පොතපත භාවිතා වී තිබෙනවා. ඒ පොතපත අතුරින් එකක් වූ "බිම්බමාන හෙවත් ශාරිපුත්‍රය" නමැති කෘතිය වර්තමානයේ ද සොයාගැනීමට තිබෙනවා.

අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි. මුල් හිමිකරුට තුති

6. නිර්මාණශීලීත්වය

මෙය ඉංජිනේරු දැනුමට හා හා තාක්ෂණික හැකියාවට යා හැකි දුරින් එපිට පිහිටි දෙයක්. සියලු ශිල්ප ශාස්ත්‍ර, තාක්ෂණික ක්‍රමවේද ආදිය වහල් කොටගෙන සුන්දර නිර්මාණයක් කළ හැකි වන්නේ සමහර පුද්ගලයන් තුළ නිසගයෙන් ම පිහිටා ඇති නිර්මාණශීලී හැකියාවේ උදව්වෙන්.

7. ඇදහිලි සහ විශ්වාස

මේවා අතුරින් සමහරක්, වර්තමාන මිනුම් දඬුවලට අනුව මිත්‍යාවන් සේ සලකා බැහැර කෙරෙනු ඇති. එදා මෙන් ම වර්තමානයේ ද සමාජය සැදී තිබෙන්නේ තියුණු නුවණින් හා දාර්ශනික හැකියාවෙන් යුතු මිනිසුන්ගෙන් ම පමණක් නොවෙයි. බුද්ධියෙන් අඩු මිනිසුන් යහපතෙහි මෙහෙයවීම සඳහා ඇදහිලි, විශ්වාස සහ අනුහස් පිළිබඳ අදහස්වලින් සිදුකෙරී ඇති මෙහෙය සුළුපටු නැහැ. සැබැවින් ම, මෙය ද වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.


ප්‍රතිමා නිර්මාණයේදී, ප්‍රතිමාවක ඒ ඒ අංගය විකෘති වන සේ නිර්මාණය කළ හොත් නිර්මාණකරුවන්ගේ පවුලේ ඒ ඒ අයට විපත් පැමිණෙන බවට විශ්වාසයන් පැවතී තිබෙනවා. එවැනි පසුබිමක් තුළ නිර්මාණකරුවන් - වැඩියෙන් කාලය ගත කරමින් හෝ - අඩුපාඩුවකින් තොරව කෘතිය නිමවීමට සැලකිලිමත් වෙනවා. අපේ රටේ දැකගත හැකි ප්‍රතිමා විශාල සංඛ්‍යාව අතුරින් සුළු අඩුපාඩු හෝ සහිත ඒවා අතිශය අල්ප වීමට හේතුව මෙය බව පැහැදිලි යි.

8. සාමාජීය පසුබිම

අපේ රටේ කුල ක්‍රමය ද, වෙන ම ලිපියක් මගින් සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. එහි යම් යම් සාධනීය ලක්ෂණයන් ද තිබී ඇති බව කීවොත් සමහරවිට ඔබ කලබලයට පත්වනු ඇති. (මා මේ දක්වා කියවා ඇති තොරතුරු අනුව කුල භේදය - කුල අතර උස් පහත් බවක් පනවා ගැනීම - පොළොන්නරු යුගයෙන් මෙපිටට සිදුවූ දෙයක් බවයි පෙනෙන්නේ. බොහෝ විට එය  චෝල ආක්‍රමණිකයන් සමග මෙහි පැමිණි හින්දු ආගමික බලපෑම් නිසා ඇතිවූවක් විය හැකියි.)


විවිධ ශිල්පයන් ඒ ඒ විවිධ ශිල්පී කණ්ඩායම් තුළ වර්ධනය වීමත්, ඒ ඇසුරින් විශේෂඥතා ගොඩනැගීමත් එසේ සිදුවිය හැකි සාධනීය දේවල් අතරට වැටෙනවා. එසේ ම, ශිල්පයනට අදාල නව සොයා ගැනීම් හා නව නිර්මාණ බිහිවීමද එවැන්නක්.

මේ හැරුණු විට, ඒ සියල්ල ඇසුරින් විශිෂ්ට කලා කෘතීන් බිහිවීම සඳහා ඒවායේ නිර්මාණකරුවන්ට නිදහස් මානසික වටපිටාවක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. වර්තමානයේ, තතු නොදත් බොහෝ දෙනෙකු කියන අන්දමේ අධික මානසික පීඩාවක් රජවරුන් සහ ප්‍රධානීන් විසින් ඔවුන් මත යොදන ලද්දේ නම්, අප දකින කදිම සුන්දර නිර්මාණ ඔවුන් අතින් බිහිනොවනු වනු ඇති බව නිසැකයි.

මේ සියල්ල අනුව පැහැදිලි වන්නේ, මුලින් කී අන්දමේ නිර්මාණයක් සිදුකිරීම සඳහා, විෂය ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණත්වය මෙන් ම ඊට සාධනීයව සහාය වූ සාමාජීය පරිසරයක් ද, ඒවා නියාමනය කිරීමේ වක්‍ර කාර්යභාරයක් ඉටුකළ ඇදහිලි හා විශ්වාස පද්ධතියක් ද බලපා ඇති බවයි.

කෙසේ වුවද, මේ ලිපියෙන් මා ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කළ ප්‍රධාන කරුණ වූයේ මා ඉහතින් සදහන් නොකළ තවත් තාක්ෂණික නිපුණතාවක්. මෙවැනි විශලේෂණයක් අතරතුර පවා බොහෝ විට අමතක විය හැකි එම අංශය පිළිබඳ ව මා හට ද සිහිපත් වුණේ මෑතක දී සිදුකළ නිරීක්ෂණයක් අතරතුර.

බහුතරයක් දෙනා නොදැන සිටිය ද, පොළොන්නරුවේ නෙළුම් පොකුණු තිබෙන්නේ එකක් පමණක් නොවෙයි. පහත පින්තූරයේ දැක්වෙන්නේ පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශයේ දැකගත හැකි, සංරක්ෂණ කටයුතු නිමවා ඇති තවත් නෙළුම් පොකුණක්.




අප බොහෝ දෙනකු දැක තිබෙන, පොළොන්නරුව පුරාවිද්‍යා භූමිය තුළ පිහිටා ඇති නෙළුම් පොකුණ මෙන් ම මෙය ද කොටස් ගණනාවක් ලෙස තනා, නියමිත පිහිටුම තිර වන පරිදි සකසන ලද කුඩුම්බි හා තව් ආධාරයෙන් වද්දා එකලස් කර තිබෙනවා.

වෙනත් තැනක සවි කිරීම සඳහා කොටස් වශයෙන් සකසන නිර්මාණයක, එකිනෙක වැද්දෙන කොටස් මාරු වීම වැළැක්වීම පිණිස ඒවාට අංක යෙදීම අද පවා සිදු කෙරෙන දෙයක්.

මේ නෙළුම් පොකුණු සියල්ලෙහි ද, ඒ එක් එක් කැබැල්ලෙහි, පුරාණ සිංහල ඉලක්කම් ලෙස හඳුනාගත හැකි සලකුණු සටහන් කර තිබෙනවා.

ඒ අනුව පැහැදිලි වන කරුණක් තමයි, එකල මේවා, කොටස් වශයෙන් කිසියම් වැඩපොළක සාදා මෙම ස්ථානවලට ගෙනවුත් එකලස් කරන්නට ඇති බව.

මෙම නිර්මාණය වෙන වෙන ම කැබලි වශයෙන් වැඩපොළක සැකසෙද්දී, ඒවායේ අදාල දිග, පළල, චාප කොටස්, වෘත්ත ඛණ්ඩ ආදිය නිවැරදිව පිහිටන පරිදි කළුගලෙන් කපා නිමහම් කර නොගත්තේ නම් ඒවා මේ තරම් නිරවද්‍ය හැඩයන් පිහිටන පරිදි වැඩ බිමේදී එකලස් කර ගත නොහැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ.

ඒ සඳහා මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කුමක්ද?

පළමු ව මෙම නිර්මාණයේ සම්පූර්ණ ඉංජිනේරු සැලසුම් චිත්‍ර සටහන, කිසියම් අනුපාතයකට අනුව ඇඳගත යුතු වෙනවා. ඉන්පසු එහි සඳහන් තොරතුරුවලට (Details) අනුකූල වන පරිදි කොටස් කිහිපයක් වශයෙන් එය කළුගල් කුට්ටි වලින් කපා සකසා ගත යුතු වෙනවා. ඉංජිනේරු සැලසුමට අනුව යොදාගත් අංක පිළිවෙළ, ඒ ඒ අනුයාත කොටස්වලට යෙදිය යුතු වන අතර එම අංක පිළිවෙල ද, සම මට්ටම ද (Level) පිහිටන පරිදි වැඩ බිමේදී ඒවා එකලස් කර ගත යුතු වෙනවා.

මේ අනුව අපට පැහැදිලි වන කරුණ තමයි, විශාල ගොඩනැඟිලි, ස්ථූප ආදිය පමණක් නොව, සාපේක්ෂව කුඩා වූ මෙවැනි නිර්මාණයක් පවා, ඉංජිනේරු සැලසුම් චිත්‍රකරණය (Engineering drawing) පිළිබඳ නිපුණතාවය ද නොමැතිව නිර්මාණය කළ නොහැකි බව.

බොහෝ විට අපගේ අවධානයට ලක් නොවුණ ද, අපේ පැරණි ශිල්පීන් අතර, මෙම ලිපියේ මුලදී සඳහන් කෙරුණු තාක්ෂණඥයන් හැරුණු විට ඉංජිනේරු සැලසුම් ශිල්පීන්ද සිටින්නට ඇති බව නිසැකයි. එම ශිල්පය ද අපේ පැරණි දැනුම් පද්ධතිය තුළ වූ තවත් එක් ශිල්ප ඥානයක් බව පැහැදිලියි.

(ගල්විහාර හිඳි පිළිමයේ ඡායාරූපය අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුට තුති)


  පඩිපෙළ පාමුල ... - බන්ධුල සිසිර කුමාර- මෙවැනි සිදුවීමක් පිළිබඳ ව ඔබට මනෝ රූපයක් මවා ගත හැකිද ? අපේ ආර්ථික හා පරිපාලන මර්මස්ථාන සියල්ල කේන්...