Showing posts with label ගී රස වින්දන. Show all posts
Showing posts with label ගී රස වින්දන. Show all posts

Sunday, September 3, 2023

 


ගංගා හමු වූ දා....

- බන්ධුල සිසිර කුමාර -


ගංගා...
එන්නකෝ ගංගා...
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා.....

අප කුඩා දරුවන් ව සිටි 70 දශකයේ, මේ ගීතය ගුවන් විදුලියෙන් ඇසෙන විට එක්වරම හැඟී ගියේ ප්‍රේම ගීතයක් ලෙස.

එහෙත් වඩාත් උනන්දුවෙන් ඊට සවන් යොමු කරන විට ප්‍රේම ගීතයක ස්වරූපයෙන් ඒ කියවෙන්නේ, වෙනත් පුවතක් බව කුඩා කල දී ම අපට වැටහුණා.

මීට ටික කලකට පෙර මේ බ්ලොගයට මා ලියූ, මරා දැමූ නගරය  නම් වූ ලිපිය ඔබ බොහෝ දෙනකු කියවා ඇති.  පොළොන්නරුව රාජධානිය බිඳවැටීමට හේතු වූ කාරණා කීපයක් සහ ඉන් අනතුරුව එය තවදුරටත් ජනශූන්‍ය වී වනප්‍රවාහය විසින් ගිල ගැනීමට හේතුපාදක වූ කරුණු, මා එහි කිසියම් දුරකට සාකච්ඡා කළා. එසේම එක් ආක්‍රමණික පිරිසක් විසින් විනාශ කරන ලද ඒ රාජධානියේ අවශේෂ, පසු කලෙක ආ තවත් ආක්‍රමණික පිරිසක් විසින් සොයා පාදා ගත් පුවතත් එහි සඳහන් කෙරුණා. (ගොවිජනපද බිහි වෙමින්, ඒ භූමිය නැවත ජනාවාස වීමේ කතාව ඉදිරියේදී තවත් බ්ලොග් ලිපියක් ලෙස ඔබට කියවීමට ලැබේවි.)

ඉංග්‍රීසි පාලන සමයේ එක් යුගයක තමන්කඩුව දිස්ත්‍රික්කය නමින් හැඳින්වුණු මේ ඉසව්ව, පොළොන්නරුව රාජධානි සමයෙහි ගොඩනැගුණු ඉතා විධිමත් හා සංකීර්ණ වාරිමාර්ග පද්ධතියකින් යුතුව තිබූ බව විශේෂයෙන් කිව යුතු වන්නේ නැහැ.

එසේ වුවද, වනාන්තරයෙන් වැසී තිබුණු පන්සිය වසර තුළ බොහෝ දේ සිදුවී තිබුණා. සමහර වැව් බැමි බිඳී ගොස් තිබුණු අතර සමහර ඇළ බැමි ද එවැනිම ඉරණමකට මුහුණපා තිබුණා. එසේම, විශාල වැව්වල හා ඇළ මාර්ගවල සමහර කොටස් ගොඩවීමට ලක්ව තිබූ අතර ඒවා මත ද වන ගහණය වැවී තිබුණා.

අනුක්‍රමයෙන් ඒවා එළි පෙහෙළි කෙරෙමින් පාදාගනු ලැබුවා. මහා වැව්වල, ඒ වන විට ගොඩ වී නොතිබුණු කොටස්, නැවතත් භාවිතය සඳහා සකස් කෙරුණා. ඇළ මාර්ග ද අලුත්වැඩියා කරනු ලැබුවා.

මේ හා සමගාමී ව ගොවි ජනපද ව්‍යාපාර ඇරඹුණු අතර පැරණි රාජධානිය නැවතත් ජනාවාස වීමට පටන් ගත්තා.

මේ ජනාවාස වර්ධනය වෙද්දී ම, පෙනී ගිය වැදගත් කරුණක් වූවා.

පෙර ද සඳහන් කළ පරිදි, අතීතයේ මේ ප්‍රදේශය මුළුමනින්ම පාහේ ආවරණය වුණු විධිමත් සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් හා, ඒ සඳහා භාවිතයට ගැනුණු ප්‍රමාණවත් ජල මූලාශ්‍ර ව්‍යුහයක් තිබුණා. ගතවූ කාලය තුළ ස්වාභාවික සංසිද්ධි හා, වනාන්තර එලි පෙහෙළි කිරීම් සහ වාරිමාර්ග පද්ධති වෙනස්කිරීම් වැනි විවිධ මානව ක්‍රියාකාරකම්  හේතුකොට ගෙන, අතීතයේ මේ වැව් කරා ගලා ආ තරමේ ජල ප්‍රමාණයක් මේ වන විට සපයා ගත හැකි වූයේ නැහැ. ඉදිරියේදී වර්ධනය වන ජනගහනය හමුවේ වඩාත් පුළුල් ජල සැපයුමක අවශ්‍යතාව පෙනී ගියා.

එසේම, පොළොන්නරුව ප්‍රදේශය වර්තමානයේ පවා වසරේ මාස ගණනාවක් ඉතා දැඩි හිරු රැසින්  පීඩා විඳිනවා. මිනිසා පමණක් නොව ගහකොළ සතා සීපාවා පවා ඒ කාලය තුළ මුහුණ දෙන්නේ ඉතා කටුක තත්ත්වයකට. (ඇත්තෙන්ම අතීතයේදී, මේ ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිදි විධිමත් වාරිමාර්ග පද්ධතියක් ගොඩ ගන්නට ඇත්තේ ද මේ තත්ත්වය පිටු දකිනු පිණිසයි.)

පොළොන්නරුව පසෙකින් ගලාගිය අඹන්ගඟ, මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී පරාක්‍රම සමුද්‍රයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය ව තිබුණා. එහෙත් මේ වන විට අඹන් ගඟ ඔස්සේ ගලා එන සීමිත ජල ප්‍රමාණය, ප්‍රදේශයේ භාවිතය සඳහා සෑහුණේ නැහැ.

වසරේ මාස කිහිපයක් තිස්සේ පොළොන්නරුව ඉඩෝරයෙන් දැවෙද්දී, ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වූ  මහවැලි ගඟ, මහත් දිය කඳක් රැගෙන ඈත සිට අවුත්  පොළොන්නරුවේ පහළ ම ප්‍රදේශය හරහා ගලා යමින් තිබුණා. එහෙත් ප්‍රධාන වැව් සහ ඒවා මත යැපෙමින් තිබූ කුඹුරුයායවල් වූයේ ඊට සෑහෙන පමණ ඉහළින්. ඒ නිසා එහි ජල කඳින්, පොළොන්නරුවේ ජල අවශ්‍යතාවයට කිසිදු පිළිසරණක් ලැබුණේ නැහැ.

ඡායාරූපය අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුට තුති.

අරමුණු කිහිපයක් සහිත බහුකාර්ය යෝජනා ක්‍රමයක් වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය බිහිවූයේ මෙවන් පසුබිමක. ඒ 1950 දශකයේ අවසානය හා  1960 දශකයේ ආරම්භය සිදුවෙද්දී යි.

මහවැලි සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස, මහනුවර ආසන්නයේ පොල්ගොල්ලෙහි, මහවැලි ගඟ හරස් කර වේල්ලක් ඉදි කෙරුණු අතර එමගින් පොල්ගොල්ල ජලාශය ඉදි කෙරුණා. එහි සිට උමං මාර්ග හා පෙන්ස්ටොක් නල ඔස්සේ මහා ජල කඳක්, අඩි 200ක් පමණ පහළින් වූ  මාතලේ ද්‍රෝණියට ඇද හැලුණු අතර එහි ජවය උකුවෙල දී මෙගාවොට් 40 ක විදූලිය බවට හැරවුණා.

උකුවෙල විදුලි බලාගාරයෙන් පිටතට නික්මෙන  ජලය සුදු ගඟට යොමු වූ අතර ඉක්බිති  එය අඹන් ගඟට එක්වුණා. අඹන් ගඟ හා නාලන්දා ඔය එක් වන බෝවතැන්නේ දී ජලාශයක් නිර්මාණය කෙරුණු අතර එහි ජලකඳින් කොටසක් අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත යොමු කෙරුණා. අඹන් ගඟ ඔස්සේ ආ ප්‍රධාන ජල කඳින් කොටසක් ඇලහැර අමුණ අසලින් හරවා ඇළහැර ඇළ ඔස්සේ යැවුණා. එය යොමු වූයේ ගිරිතලේ, මින්නේරිය හා කවුඩුල්ල වැව් වෙත.

අඹන්ගඟ ඔස්සේ ආ ජල කඳින් තවත් කොටසක්, පොළොන්නරුවට ආසන්න අංගම්මැඩිල්ලේ පුරාණ අමුණට නුදුරු තැනක ඉදිවුණු නව අමුණක් මගින් පරාක්‍රම සමුද්‍රය වෙත හරවා යවනු ලැබුවා.

අංගම්මැඩිල්ල - නූතන දිය හැරවුම


මෙසේ මධ්‍යම කඳුකරයේදීම, මහවැලි ගඟෙන් හරවා අඹන් ගඟ වෙත යොමු කරවන ලද ජල කඳ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල වපසරියක් වෙත ජලය සපයන මූලාශ්‍රය බවට පත්වුණා. මේ ක්‍රියාවලිය, මේ මට්ටමට අවසන්වූයේ 1976 වර්ෂය පමණ වෙද්දී.

එයින් පසුව ක්‍රියාත්මක වූ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය මගින් තවත් බොහෝ දේ සිදු වූ අතර, ඒවායේ ප්‍රතිඵල ලෙස පොළොන්නරුව ප්‍රදේශය තව දුරටත් විශාල වශයෙන් ජනාවාස වීමත්, සහලින් ස්වයංපෝෂිත වීමේ අරමුණ කරා ක්‍රමයෙන් ලඟා වීමත් සිදු වුණා.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇරඹෙද්දී, ඒ හා බැඳුණු සාහිත්‍යයක්ද කිසියම් දුරකට ගොඩනැඟුණා. නවකතා, ගීත ආදිය ඒ අතර කැපී පෙනුණා. මා මෙහි මුලින් සිහිපත් කළ ගීතය නිර්මාණය වූයේ, මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පෙර කී මුල් අදියර ගොඩනැගෙමින් පැවති, 1970 දශකයේ පමණ.

නියඟයෙන් බැට කෑ ඒ යුගයේ කටුක අත්දැකීම් ගැන මෙන් ම, මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇරඹීමත් සමඟ දැල්වෙන, නව බලාපොරොත්තුවක පහන් සිලු  පිළිබඳවත් ඒ කෙටි පද කිහිපය තුළින් අපූරුවට කියවෙනවා.

ගංගා..
එන්නකෝ ගංගා...
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා.....

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන..
නියඟින් දා ගිය සිරුර වාරුකර.....
බලා සිටිද්දී මා..
අහක බලාගෙන ගලා ගියා ඔබ...
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ...

පිපිරුණු දෙතොලින් අහස බලාගෙන....
දිය පොද රහිතව අකලට මහලු ව...
හඬා වැටෙද්දී මා...
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ...
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ.....

අඩසියවසකට පමණ එපිට නිමැවුණු, මේ ගීතය ගායනා කර ඇත්තේ අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියාණන්. පද රචනය කර ඇත්තේ සුනිල් ආරියරත්නයන්. සංගීතය වික්ටර් රත්නායකයන්ගේ.

පහත සබැඳිය ඔස්සේ ගීතයට සවන් දිය හැකියි.


https://youtu.be/YlyaBoXM74k?si=s4807wETTJkTxjTq

Friday, June 8, 2018

තිස් පහ පැනලත්......

- බන්දුල සිසිර කුමාර -



නොනිමෙන අවිවේකය මැදින් කාලය ගෙවී යද්දී සුළු ඉසුඹුවක් ලද මොහොතක අන්තර්ජාලයෙහි සැරිසැරුවේ මා ප්‍රිය කළ එක්තරා ගීතයක් සොයා ගන්නා අටියෙන්. ඒ ගමනේදී අහම්බෙන් හමු වූයේ දශක තුනහමාරකට පමණ පෙර නව යොවුන් වියේදී ඇසූ ගීතයක්.

ඒ ගීතය ඇසූ විට සිතට නැගුණු දේ බොහොමයි. අවුරුදු තිස්පහක් පමණ කියන්නේ සුළු පටු කාලයක් ද? ජීවිත කාලයකින් අඩකටත් වැඩි විය හැකි එවන් කාල පරාසයක් තුල මොනතරම් දේ සිදු විය හැකිද? බොහෝ දේවල් උඩු යටිකුරු වීමට, වැරදි නිවැරදි වීමට, නව මංපෙත් පෑදීමට එවන් කාලයක් හොඳට ම ප්‍රමාණවත්.

දැන් මා ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. 

මොනවාද සදාතන කලා කෘති කියා කියන්නේ.

කාලයත් සමග රසය අතුරුදන් ව නොගොස් යුගයෙන් යුගයට ජනතා ව අතරේ ජීවමාන ව පවතින කලා කෘති, සදාතන කලා කෘති නමින් හඳුන්වන්න පුළුවන්.

මා මෙහි සඳහන් කරන ගීයත් සදාතන කලා කෘතියක් දැයි විටෙක සිතෙනවා. එහෙත් මෙය නම් එසේ වන්නේ අන් කවර හෝ හේතුවත් නිසා නොව ගීයේ අරුත නිසායි.

මේ කතාව සුන්දර කතාවක් නොවෙයි. අප හඬා වැටිය යුතුයි. වසර තිස්පහකට - හතලිහකට පෙර නිර්මාණය වූ මේ ගීතය, කාලයත් සමග අප සියල්ලන්ට ම අමතක ව ගොස් තිබුණත් අපේ ජන විඥානය, සමාජ ආකල්ප, දේශපාලන පසුබිම, ආර්ථික පසුබිම ආදිය ගැන අසූව දශකයේ මැද භාගයේ දී එහි කියවෙන තොරතුරු වර්තමානය හා සසඳා බලා, අද අප සිටින්නේ කොතැනදැයි ඔබ ම අවබෝධ කර ගන්න.

කිසිදු දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට හෝ පිලකට, කිසිදු ඊනියා දේශපාලන "වාද"යකට බැඳී හෝ "විකිණී" නොමැති බැවිනුත්, ජීවිතයේ ගෙවී ගිය කාලය මුළුල්ලේ, විවිධ පුද්ගලයන්, විවිධ සමාජ ස්තර, විවිධ දේශපාලන මත දරන්නන් හා ගැටෙමින් ලද ජීවිතාවබෝධයක් ඇති හෙයිනුත් යමක යථා තත්ත්වය වටහා ගැනීම දුෂ්කර නැහැ. බ්ලොග් කියවන ඔබට ද, විවිධ පාට කණ්ණාඩි නොපැළඳි පියවි ඇසින් යමක යථා ස්වභාවය දැක ගත හැකිය යන පූර්ව නිගමනයේ හිඳිමිනුයි මා මෙවැනි දෑ ඉදිරිපත් කරනුයේ.

පළමු ව ගීයේ පදමාලාව කියවා බලා අනතුරුව ගීතය රස විඳිමු. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියැවුණු, නන්දා මාලිනිය ගැයූ මේ ගීතයේ සංගීතය ඔස්ටින් මුණසිංහයන් ගේ.



පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට

ගල් කණු අතර හප කරමින් බුලත් විට

ඇවිදින විටදි නිදියන දූ පුතුන් ලද

මේ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට



කහට කෝප්පේ පොඟවා ගිලින්නට

පාන් කැබැල්ලක් යදිනා දනන් හට

ඇස් නැත සිදු ව ඇති දේ ගැන දකින්නට

එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට



රැවටී සුවහසක් බොරු කාරයින් හට

පාඩම් ලබා නැත යුග යුග ගණන් සිට

දෑසේ කඳුළු ඉතිරි ව නැත හඬන්නට

එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට



උගසට තබා මගේ රට පිට රටුන් හට

ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට

හිඟමන් යදිමු සා ගින්දර නිවන්නට

එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට


මෙන්න ගීතයේ සබැඳිය

Saturday, April 28, 2018

කෙලෙසුණු කැටයම

-බන්ධුල සිසිර කුමාර-

පසුගිය කාලය තුල මා ඉදිරිපත් කළ ලිපි ගණනාවකින් ම මා උත්සාහ කළේ අප කවුරුන් ද, අපට සිදු වී ඇත්තේ කුමක් ද, පරපුරින් අපට උරුම දේ මොනවාද යනාදී කරුණු ගැන සාකච්ඡා කිරීමටයි. අප යම් ප්‍රපාතයකට ඇද වැටී ඇත් නම් එයින් අත මිදී ඉහළ තත්ත්වයට අපව ම ඔසවා තබන්නටත් ලෝකය තුල අපට හිමි තැන නැවතත් දිනා ගන්නටත් ඒ දැනුම අපට මහෝපකාරී වේවි.

පෙර ලිපියෙන් ද සාකච්ඡා කළ පරිදි ම, අප පිළිබඳ වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ අප සැම දා පහළ පඩියේ සිටි, කොපමණ තැත දැරුවත් ඉහළ ට නැඟ ගැනීමට බැරි වූ ජාතියක් නොවීමයි. මනා ආර්ථික තත්ත්වයක්, ජීවන මට්ටමක්, පරිපාලන ව්‍යුහයක් ගොඩ නංවාගෙන, ජාත්‍යන්තරය හමුවේ අභිමානවත් ජාතියක් ලෙස නැඟී හුන් අප, අපේ ම බල ලෝභී කුමන්ත්‍රණත්, වසර දෙසීයෙන් දෙසීයට එල්ල වූ ආක්‍රමණත් හමුවේ, සියවස් කිහිපයක් ඇතුලත අන්ත අසරණ බෙලහීන ජාතියක් පත් ව තිබෙනවා. එපමණක් නොවෙයි, අප බොහෝ දෙනෙකු අද වන විට ඒ විශිෂ්ඨ යුගයන් ගැන නොදැනුවත් ව සිටීමත්, තවත් සමහරුන් ඒ යුගයන් ට ද්වේෂ කරන, වෛර කරන අන්දමත් දැක ගත හැකියි!!

ඒත් අද මා ඔබ හමුවට ගෙන එන්නේ තවත් එවැනි සිද්ධියක් පිළිබඳ විවරණයක් නොවෙයි.

පසුගිය කාලයේ මා පල කළ ලිපි බොහොමයකින් මා පැහැදිළි කළ යථාර්ථය, එකට කැටි කොට ගත් ගීයක් මගේ මතකයට නැඟුණා. දැනට වසර විසිපහකට තිහකට පමණ එපිට එළි දැක්වුණු "සඳකඩ පහණ" සිනමා පටයේ තේමා ගීතය ලෙසයි මෙය යොදා ගෙන තිබුණේ.

සාරාංශයක් වගේ කෙටියෙන් ලියාගෙන යන්න පුළුවන් වුණත්, සමහර දේවල දී ටිකක් වැල් වටාරම් කියෙව්වා ම ඔබට ත් එයින් ගත හැකි යමක් තිබේවි. අනෙක් අතින් අප බ්ලොග් කියවන්නේ වාර්තා හෝ රාජකාරි ලිපි කියවනවා වගේ මානසිකත්වයකින් නොවෙයි නේ. 

සංස්කෘතිය කියන වචනයේ තේරුම " සංස්කරණය කර ගත් දේ " යන්න නේ. අප නිරන්තරයෙන් ම අපේ නිර්මාණ, අපේ ඇඳුම් පැළඳුම්, අපේ නිෂ්පාදන, අපේ සාහිත්‍ය වැනි දේ නැවත නැවතත් සංස්කරණය කර ගනිමින් ඉන්නවා. (සජීවි සංස්කෘතියක ප්‍රධාන ලක්ෂණයක් තමයි එය. එහෙත් එහිදී අප සැළකිලිමත් විය යුතු යි, සංස්කෘතියේ පහළ මට්ටම්වලට ආපසු නොයාමටත්, පවත්නා සංස්කෘතිය ආගන්තුක සංස්කෘතීන් මගින් ප්‍රතිස්ථාපනය වීමට - තිබූ එක ඉවත් කර අළුත් එකක් රෝපණය කිරීමට- ඉඩ නොදීමටත්.)

පඩි පෙළක දෙපැත්තෙන්, පඩිපෙළෙහි ස්ථායිතාව රැත ගැනීම පිණිස ඉදිකරන බිත්ති දෙක නොහොත් පුවරු දෙක, කලක් ගත වන විට කදිම කැටයම් හා සැරසිලි වැඩවලින් අලංකාර වූවක් බවට සැකසෙන අතර කොරවක්ගල නමින් නම් කෙරෙනවා. කොරවක්ගල පහළට තල්ලු වී ඒම වැලැක්වීමට යොදන කූඤ්ඤ නැතහොත් ආධාරක ගල් දෙකත් කාලයත් සමග විශිෂ්ඨ කැටයම් සහිත, මුරගල නමැති නිර්මාණය බවට සංස්කරණය වෙනවා. පඩි‍පෙළ පා මුල පාපිස්නක් මෙන් වූ, තරමක් පුළුල් ව බිම් මට්ටමේ සැකසුණු පළමු පඩිය, පසු කාලීන ව සඳකඩ පහණ නම්වූ අති විශිෂ්ඨ නිර්මාණය බවට සැකසෙනවා.

මෙසේ විවිධාකාර සැරසිලි කැටයම් ආදිය එකතු වී අලංකාර වස්තුවක් බවට පත් වීමෙන් පසු, කොරවක්ගල්, මුරගල්, සඳකඩ පහණ ආදිය, සිවිල් ඉංජිනේරු තාක්ෂණික නිර්මාණ පමණක් නොව, කලා නිර්මාණ ද වෙනවා.

මා මීට පෙර වෙනත් දෙයක් ගැන කථා කළ ලිපියකදී කීවා සේම, කලා නිර්මාණයකට විවිධ අර්ථකථන දිය හැකියි. සමහර විට එය නිර්මාණකරුවා කිසිසේත් අදහස් නොකළ අරුතක් වන්නටත් පිළිවන්.

දැන් තමයි අප මුලින් කී ගීතය ගැන කථා කරන්නේ.

සඳකඩ පහණේ ඇති රූ රටා පිළිබඳ ව ද විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබෙනවා. මෙහි කියැවෙන්නේ මෙතෙක් නොවූ නව අර්ථකථනයක්.

ඇරඹුමේ දී කී පරිදි ම මේ ගීතයේ කියන්නේ අපට සිදුව ඇති දෙයයි.

සඳකඩ පහණේ ඇති විවිධ රූ රටා, ලිය කම් ආදිය, අප සතු ව පැවැති ශක්‍යතාවයන් (හැකියාවන්), ශක්තීන්, ගුණාංගයන් ආදියට සම කරන ගීතයේ පද රචකයා, සඳකඩ පහණ ගෙවී කැඩී බිඳී නටබුන් ව ඇති අයුරින් ම අප සනුහරය තුල වූ ඉහත කී ගුණාංගයන් ද නැතිවී ඇති බවත්, පහත් තත්ත්වයට ඇද වැටුණු අපේ වර්තමානිකයන් ඒ ගුණාංගයනට ඉඳුරාම පටහැණි වූ අයුරින් කටයුතු කරන අයුරුත් පවසනවා.


තිදස පුරේ 
පියගැට පා මුල
ශෛල තලාවෙක
සඳ ලේඛාවෙක
කල්ප විනාශය දිවැසින් දුටුවෝ
සවි කළ කැටයම සඳකඩ පහණයි.


සඳකඩ පහණෙහි වූ ඒ ඒ රූ රටාවන් එකල අප තුල වූ විවිධ ගුණාංගයන් හා සසඳා ඇත්තේ මේ අයුරින්.


නුවණ තියුණු කළ තිසර රටාවයි
තුරඟා ජවය සමානයි
සවි බලයෙන් ගිජිඳා අසමානයි
සහයෝගය ගව රෑනයි
පිවිතුර පියුමයි
බැඳුම ලියවැලයි
පිරිපුන් කැටයම සඳකඩ පහණයි.


අද වන විට ඒ සියලු ශක්‍යතාවයන් අහෝසි ව ගොස්. එසේ නොමැති නම් , එම තත්ත්වයන් දැනටත් රැකගෙන සිටින්නවුන් අසරණ වී ගොසින්. ඒ අතර නිරන්තරයෙන් ම, ඌරන්, සිවලුන් හා වවුලන් වැනි ගති සිරිත් ඇත්තවුන් විසින්, ඉතිරි ව ඇති සියල්ල ද වනසනු ලබන බව ගීතයේ අවසන් කොටසින් කියවෙනවා.


මෙදා තිසර ගජ තුරඟුන් සේනා
මරු කතරේ කුර ගානා
සිඟාල සූකර වවුලිඳු සේනා
නිරුදක පෙළහර පානා
කෙළෙසුණු පියුමයි
බිඳුණු ලිය වැලයි
නටබුන් කැටයම සඳකඩ පහණයි.


මේ ගීතයේ ගේය පද රචනය රත්නසිරි පරණවිතානයන්ගේ. සංගීතය නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. ගායනය සුනිල් එදිරිසිංහයන්ගේ.


ගීතයට සවන් දුන් විට ඔබට බොහෝ දේ සිතේවි. මේ සබැඳිය ඔස්සේ අසා බලන්න.

Thursday, April 5, 2018

අසම්මතයේ පිපුණු මල්

- බන්ධුල සිසිර කුමාර -



මිනිසුන් ප්‍රසිද්ධියේ කථා බහ කිරීමට තරමක් මැළි වන මාතෘකාවක් පසුගිය කාලයෙහි මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වනු අප දුටුවා. ඒ සමරිසි පුද්ගලයන්, ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳ නෛතික ගැටළු ආදිය සම්බන්ධවයි. 

සමාජයකින් 10% ක පමණ ප්‍රමාණයක් සමරිසි පුද්ගලයන් (ගැහැණුන් හා පිරිමින්) විය හැකි බව කිසියම් විද්වතකු විසින් පවසා තිබුණා. එහෙත් එහි සත්‍යාසත්‍ය භාවය හෝ මූලාශ්‍රය සෙවීමට මා මෙහිදී වෙහෙස නොවන්නේ එය මෙම ලිපියේ ප්‍රස්තුතයට අදාල නොවන නිසයි. එසේ ම එබඳු පුද්ගලයන් වෙනුවෙන් හෝ ඔවුනට එරෙහි ව හෝ අදහස් ප්‍රකාශ කිරීම මෙහි අරමුණ නොවෙයි.

සමාජයේ පවතින, සහ අතීතයේ සිට පැවතගෙන එන සමහර ගී, ජනකවි ආදිය පිළිබඳ ව විමසුම් ඇසින් බැලීමේදී සමරිසි සාහිත්‍යයක් ලෙස නම් කළ හැකි යමක් ද පවතින්නේ යයි සිතෙනවා. මේ කතිකාව ඒ ගැනයි.

මෙබඳු නැඹුරුවක් පෙන්නුම් කෙරෙන ගීත කිහිපයක් ඇති අතර ඉනුදු කැපී පෙනෙන එක් ගීතයක් පිළිබඳ ව අවධානය යොමු කරමු.

(මෙහිදී සාකච්ඡා කෙරෙන ගීතයේ ගේය පද රචිකාවිය එබඳු තේමාවක් අරමුණු කරගෙන මෙම ගීතය රචනා නොකළා විය හැකියි. මා අදහස් කරන්නේ, අහඹුවකින් හෝ මෙම ගීතය නිර්මාණය වී ඇත්තේ එවැන්නක් මනා ව විවරණය කෙරෙන පරිදි බවයි. මෙම ලිපියෙන් එය සාකච්ඡාවට ගැනීමෙන්, කිසියම් අපහසුතාවක් හෝ සිත් වේදනාවක් ඇති වේ නම් ඒ පිළිබඳ ව එතුමියගෙන් සමාව අයදිනවා.)

ගහක මල් පිපිලා 
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
සිතක මල් පිපිලා 
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි
මා තවම නොදන්නෙමී
නුඹට හිත බැඳි කාරණේ
මම තවම සොයන්නෙමී


මෙම කොටසින් කියැවෙන අන්දමට, මෙම සිත් බැඳීම කුමක් නිසා සිදු වූයේ දැයි ඔහුට ම සිතා ගන්නට බැහැ. එසේ වූයේ මන්දැයි යන්න ඔහු තවමත් සොයනවා. මෙම බැඳීම සම්මත එකක් වූයේ නම් මෙබඳු පැනයක් නැගෙන්නේ නැහැ. ස්වභාවිකව ම සිදු වන ආකාරය එය නිසා.


කතරෙ වැලි කැට හිරු ට පෙම් බැඳ 
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් 
ආදරෙයි පණ මෙන්
ලොවට නො‍පෙනෙන අරුම සෙනෙහස 
ඒවගෙයි මනරම්
කරනු බැරි තහනම්

ලෝ දහම මෙ ආකාර වුව ද ඊට හාත්පසින් විරුද්ධ බැඳීම් ඇති බව ද, තම "අරුම" සෙනෙහස ද එ ආකාර බව ද, එය ලොවට නොපෙනෙන බව ද ඔහු පවසයි. සම්මත ආදරයක්, "අරුම" සෙනෙහසක් නොවන්නේ එය පොදු සමාජයට වටහා ගත හැකි හා සොබා දහමට එකඟ වූවක් නිසයි. එසේ ම ඔහුගේ ආදරය ලොවට නොපෙනෙන්නේ එය සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන නිසා සඟවාගෙන සිටීමට සිදුව ඇති බැවිනුයි. දැනට ක්‍රියාත්මක නීතිය යටතේ සමරිසි හැසිරීම් නීති විරෝධීයි. ඒ ආදරය තහනම් කළ නොහැකි බව ඔහු විශේෂයෙන් කීමට ද හේතුව එය බවයි මා සිතන්නේ. ගැහැණු - පිරිමි ආදරයකට බාධා, විරෝධතා අකුල් හෙළීම් වැනී දෑ ඇති විය හැකි නමුත් "තහනම" යන්න ඒ විෂයෙහි අදාල වන්නෙ නැහැ.


සඳට සදහට සෙනේ පෑ මුත් 
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එක ද තරුවක් 
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය 
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්


ගීතයේ දෙවන කොටස වෙන් ම, මෙම තුන් වන කොටසින් ද ඇසෙන්නේ, සොබා දහමේ සම්මත ආකාරයට පටහැනි ව ගිය අයකු ඉතා කලාතුරකින් හෝ සිටිය ‍නොහැකි ද යන්නයි. විද්‍යාත්මක පසුබිම අනුව, හිරු ද තරුවක් බව අප දන්නවා. එය ද සැලකූ විට, "හිරුට පෙම් බැඳි එක ද තරුවක් සිටිය නොහැකිද යම්" යන පාදයෙහි අරුත වඩාත් තීව්‍ර වනවා.

ඔහු තුල ඇති වූ ප්‍රේමය, ඊට බඳුන් වූ පුද්ගලයාට ද වැටහෙන්නේ නැහැ. එසේ වන්නේ එය බලාපොරොත්තු නොවන, අසාමාන්‍ය ආකාරයේ එකක් නිසයි. එය දැන ගත හොත් ඔහු පුදුම වේ යයි කියනවා. සමාජ සම්මත ආකාරයේ ආදරයක, අනෙකා තුල පුදුමය ඇති කරවන ආකාරයේ යමක් තිබිය නොහැකියි.

සමරිසි සාහිත්‍ය යනුවෙන් සාහිත්‍යාංගයක් වේ නම් ඊට ඇතුලත් කළ හැකි ජන කවි ද අපේ සාහිත්‍ය තුල තිබෙනවා. පහළ ඌවේ ජන කවි නමැති ජනකවි එකතුවෙහි, එම ප්‍රදේශයේ ජන කවි විවිධ මාතෘකා යටතේ වර්ග කර තිබෙනවා. එහි "ස්ත්‍රී ජාති ගුණ නැත බණ පොතේවත්" යනුවෙන් නම් කර ඇති කාණ්ඩය තුල ඇතුලත් ව ඇත්තේ මෙබඳු නැඹුරුවක් සහිත ජන කවි රැසක්. පහතින් දක්වා ඇත්තේ එහි වූ එක් ජන කවියක්.(දැනට දශක දෙකකට පමණ ඉහත විකාශනය වූ "ඉමදිය මංකඩ" ටෙලි නාටකයෙහිද මෙම ජන කවිය ඇතුලත් ව තිබුණා මතකයි.)


ගෑණු උපන්නේ මේ රට කඹුරන්             ට 
ගෑණු උයන බත් මාළුත් නොදකින්          ට
පිරිමි පිරිමි එක නුවරක උපදින්               ට
ගෑණු නැති රටක් නැද්දෝ මට යන්         ට


ඉහත කී ජන කවි එකතුවෙහි, අදාල කාණ්ඩයේ සියලු කවිවල දැකිය හැකි පොදු ලක්ෂණයක් ද තිබෙනවා. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තමන් තුල ඇති අකැමැත්ත මිස සාමාජීය පීඩනයක් පිළිබඳ කිසිදු අදහසක් ඒවා තුලින් ප්‍රකාශ නොවීමයි ඒ. මෙම ජන කණ්ඩායම්වල විමුක්තිය වෙනුවෙන් යයි හඬ නගන සංවිධානත්, ඔවුන්ගේ අවශ්‍යතාවනට එරෙහි වූ නීතිමය පසුබිමකුත් යන අන්ත දෙකින්ම බැහැර වූ අතීත සමාජයෙහි මෙබඳු ගැහැණුන් හා පිරිමින්, සම්මත සමාජ හර පද්ධතීන් හා රීතින් ප්‍රසිද්ධියේ බිඳ නොහෙළමින් සිය සිතැඟියාවන් ලොවට නොපෙනී ඉටු කර ගැනීම ඊට හේතුව වූවා විය හැකියි.

මුලින් සඳහන් කළ ගීතය, මේ සබැදිය ඔස්සේ අසන්න පුළුවන්.

Sunday, March 25, 2018

මනුසත්තුන්ට ගොදුරක් විය අප්පච්චි.......

- බන්ධුල සිසිර කුමාර -



ඔබ, ඔබ ගැන මඳක් මේ අන්දමින් සිතා බලන්න.

ඔබ ඔබගේ ජීවන අරගලය තුල නිමක් නොමැති ගැටළුවලට විසඳුම් සොයමින් දිවා රෑ දෙකෙහි හෙම්බත් ව සිටිනවා. මේ අතර කිසිවකු පැමිණ ඔබගේ දේපළ විනාශ කර දමනවා. ඔබට පහර දෙනවා. නැත් නම් ඔබ මරා දමනවා. ඒ ඔබ අතින් සිදු වූ කිසිදු වරදක් නිසා නොවෙයි. ඔබ කිසියම් ජන වර්ගයකට අයත් වීම නිසා.

මේ මොන තරම් නම් ක්‍රෑර, දුෂ්ඨ, අමානුෂික ක්‍රියාවක්ද?

මා සියලු ම ආකාරයේ ජාතිවාදී ගැටුම් අතිශයින් පිළිකුල් කරන්නේ මේ නිසයි.

2009 අවසන් වූ තිස් වසර තුල අපේ රටේ ඈත ගම් දනව්වල විසූ අහිංසක ජනතාව මේ ආකාරයෙන් ම සිංහල වීම නිසා (සමහර ස්ථානවලදී, මුස්ලිම් වීම නිසා) නිරපරාදේ මරණයට ගොදුරු වූවා. බෙදුම්වාදීන්ගේ සිහින රාජ්‍යයේ සීමාවන්ට යාබද ව තිබූ, එම නිසා මායිම් ගම්මාන ලෙස නම් කෙරුණු එම ගම්වල වැසියන් මුහුණ දුන් ගැටළු ද ඔවුන්ගේ සමස්ත ජීවන අරගලය ද, අද බ්ලොග් කියවන ඔබ ද මා ද මුහුණ දෙන ගැටළුවලට වඩා බෙහෙවින් කටුකයි. එසේ දිවා රෑ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරන ඔවුන්, රාත්‍රි අඳුර තුල සැඟව එන මාරයන් විසින් කපා කොටා මරා දමන ලද බව, ගෙවල් දොරවල් ගිනි තබා දමන ලද බව, පැති බෝම්බයකට හසුව බසයක යද්දී මළ බව කියැවෙන පුවත්වලින් එකල දිනපතා හා සතිපතා පුවත්පත් පිරී ඉතිරී තිබුණා. එසේ මරා දැමුණු මිනිසුන්ගේ, වියපත් ඇත්තන්ගේ, දරු පැටවුන්ගේ, ගැබිණි මව්වරුන්ගේ, අතදරු මවුන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගෙන දිනක් කවදා එළැඹෙනු ඇති ද? 

මේ සිදු වීම්වල වේදනාව වරින් වර විවිධ කලා කෘතීන් බවටද පෙරලුනා. මෙම බ්ලොගයෙහි මගේ අඳුරු මතකය නමැති ලිපියෙහි විස්තර කෙරෙන්නේද එවන් එක් ගීත නිර්මාණයක් ගැනයි.

අදට වසර 23 කට පමණ එපිට දී සංගීතවේදිණී නන්දා මාලිනී මහත්මිය විසින් නවමු ආරක කටයුත්තක් සිදු කරනු ලැබුවා. එතෙක් කරලියට ඒමට වරම් නොලද, දිවයිනේ විවිධ පෙදෙස්වල සිටි ගේය පද රචකයන්ගේ නිර්මාණ එකතු කර ගීත කැසටයක් එළි දැක්වීමයි ඒ. අරලිය ලන්ද නමින් නම් කර තිබූ එම ගීත එකතුව සඳහා තෝරාගෙන තිබූ ගේය පද රචනා සියල්ල ම ඉතා ඉහළ මට්ටමේ පැවතුනා.

එම ගීත සමුච්චය එළි දැක, දශක දෙකකටත් වඩා ඉකුත් ව ගොස් තිබුණ ද එහි වූ සමහරක් නිර්මාණ දැනුදු හද සසල කරවන සුළුයි. එබඳු එක් ගීතයකින් කියවෙන්නේ ඉහතින් දැක්වූ ආකාරයේ වේදනාකාරි සිදුවීමක්.

ගතේ හා හිතේ වීරියෙන් මහ පොළොව සමග ඔට්ටු ‍වෙමින් සිය දරු පවුල රැක බලා ගෙන, මායිම් ගම්මානයක ජීවත් වූ පියෙක්. නියඟින් බව බෝග විනාශ වී යද්දීත් දරු පැටවුන් කුස ගින්නේ නොතබා කෙසේ හෝ දරු පැටවුන්ගේ කුස පිරවූ පියෙක්.


සූරිය උදා වුනු ගෙපැලේ පෙර දාක
යෝද ඇලේ වීරිය වූ අප්පච්චී
කුරක්කනේ නියඟෙන් ඇවිලුණු කලට
මඩු කොකු මිටක් වත් වූවයි අප්පච්චී


මව ද ජීවතුන් අතර නොමැති පසුබිමක, දරුවන් වෙත මවකගෙන් ලැබිය යුතු ආදරය, රැකවරණය ආදි සියල්ල ද ලබා දෙමින් සිය දරුවනට මව ද පියා ද වන්නේ ඔහුයි. හරි හමන් අධ්‍යාපන පහසුකමක් නැති ඒ ඈත වන්නිකරයේ සිය දරුවන්ට හැකි පමණින් වත් අධ්‍යාපනය ලබා දුන්නු බව මෙන් ම, දැනුමෙන් හීන ඒ අන්ධකාර සමාජයේ ඔහු ස්වල්ප වශයෙන් හෝ දැන උගත්කමක් ඇතිව හුන් බව ගීතයේ දෙවන කොටසින් කියැවෙනවා.


මව් නැති දොහේ නෙත ඉතිරූ කඳුලකට
අම්මා වෙලා දුක් ගත්තයි අප්පච්චී
ශිල්ප නොලද වන්නියෙ මහ කළුවරට
මී තෙල් පන්දමක් වූවයි අප්පච්චී


එබඳු වූ දුක්ඛ දෝමනස්සයන් දරා හිඳිමින්, අනන්ත අප්‍රමාණ වෙහෙස විඳිමින් සිය දරුවන් වෙනුවෙන් සිය ජීවිතම කැප කර සිටි ඔහු ලේ පිපාසිත අමනුස්සයන් විසින් බිලි ගැනීම අහස පොළොව උහුලා සිටින අපරාධයක්ද?


මායිම් ගමේ ගිනිගත් මිනිසත් කමට
උන්ට මුන්ට මැදිහත් විද අප්පච්චී
සීපා සතා තරමට බය දෙන හිතට
මනු සත්තුන්ට මැදිහත් විද අප්පච්චී
අප්පච්චී....


ප්‍රවීණයන් ලෙස එවකට ප්‍රසිද්ධියට පත්ව නොසිටි නිර්මාණශිල්පීන් අතින් බිහි වුව ද මෙම ගීත සමුච්චයේ වූ ගීත ඉතා ඉහළ ප්‍රමිතියක වූ බව මගේ හැඟීමයි. පිටු ගණනාවක් පුරා ලිවිය යුතු කතාවකින් දනවන හැඟීම් හා රස භාවයන්, ඉතා අල්ප වචන සංඛ්‍යාවක් යොදා ගනිමින් සහෘදයා තුල ප්‍රතිනිර්මාණය කිරීම ම මෙහි ගේය පද රචනය කළ සේපාලි ආටිගල ගේ ප්‍රතිභාව විදහා දක්වන්නක්. එසේම, බහු අරුත් දනවන උපමා රූපක භාවිතා කර ඇති ආකාරයත් විශිෂ්ටයි. 

හිරු උදාවක් පිළිබඳ හැඟීමක් ජනිත කරවන සංගීත ඛණ්ඩකින් ඇරඹී අනතුරු ව රාත්‍රි අන්ධකාරය තුල හිඳ ගැයෙන බවට ඉඟියක් දෙන, මේ ගීතයේ අපූර්ව සංගීත නිර්මාණය කර තිබෙන්නේ සරත් වික්‍රම. 

මෙම සබැඳිය ඔස්සේ ඔබට ගීතය රස විඳිය හැකියි.

























Thursday, January 18, 2018

බලය සහ සුසුම

බන්ධුල සිසිර කුමාර -



බලය මහා පුදුමාකාර දෙයක්. බලය තිබෙන තැන අකටයුතු කම්, අසාධාරණකම්, බලහත්කාරකම් සිදු වීමේ ඉඩක් තිබෙනවා. මගේ අදහස මෙය සදාකාලික සත්‍යයක් බවයි. අනෙක එවැනි දෑ අනිවාර්යයෙන් ම සිදුවන බව සහතික කරන්න බැහැ. සිදු වීමේ සම්භාවිතාවක් තිවෙන බව පමණයි කිව හැක්කේ.

දැන් ඔබ අතුරින් කෙනෙකු කියනු ඇති, අසවල් සමාජ දේශපාලනික වටපිවාව තුල පමණයි එවැනි දෑ සිදුවන්නේ, අසවල් ආකාරයේ සමාජයක එවැනි දෑ සිදු වන්නේ නැතැයි කියා. විවිධ ආකල්පයන්ගෙන් සැදුම්ලත් විවිධ සමාජ ස්තර, විවිධ දේශපාලනික මතවාද, විවිධ පුද්ගල චර්යා හා ගැටෙමින්, දීර්ඝ කාලයක් තිස්සේ මා ලද ජීවිතාවබෝධයට අනුව නම්, මෙයට කාල භේදයක්, සමාජ දේශපාලන පරිසරය ආදි වූ වෙනත් කිසිම භේදයක් අදාල වන්නේ නැහැ. ගෝත්‍රික සමාජ, රාජාණ්ඩු, වැඩවසම්, යටත් විජිත, ධනවාදී, සමාජවාදී මේ සියලු සමාජ දේශපාලනික වටපිටාවන් තුල ම බලය කේන්ද්‍රගත වූ ස්ථාන තිබෙනවා. ඒ නිසා සෛද්ධාන්තික ව කෙසේ කීවද ඉහත කී ආකාරයේ වැරදි සිදු වීම වැලැක්විය නොහැකියි. එවැනි වැරදි සිදු නොවන පද්ධතියක් සැලසුම් කිරීම ද ප්‍රායෝගික වන්නේ නැහැ. මක් නිසාද, අප සියලු දෙනා ම මිනිසුන් නිසා.

මා මේ පූර්විකාව ගෙන හැර දැක්වූයේ, ඇසෙන ඇසෙන වාරයක් පාසා මගේ හද සසල කරන තවත් අලුත් ගීතයක් ගැන සාකච්ඡා කිරීමටයි. අප කලක් තිස්සේ එක ම දිසාවක් ඔස්සේ නැවත නැවතත් දුටු යමක් , වෙනත් කෝණයක්, වෙනත් දිසාවක් ඔස්සේ බලා නිමැවූ නිර්මාණයක් ලෙස මෙය හැඳින්වීමට ද හැකියි. මීට පෙර රවි සිරිවර්ධනයන් විසින් ද අදාල ප්‍රස්තූතය දෙස මේ කෝණය ඔස්සේ බලා, ඔහුගේ "ලද නිලුපුලන් - රැහැනින් වෙලී" ගීතය රචනා කර තිබුණා.

මේ ගීතයට පසුබිම් වී ඇති කතාව රාජාණ්ඩු යුගයක සිද්ධියක්. එසේ වූ වා කියා එම යුගයට හෝ එම දේශපාලන ව්‍යුහයට ශාප කිරීම නිශ්ඵලයි. මා කලින් කී පරිදි, මෙය ඕනෑම පරිසරයක ,ඕනෑ ම යුගයක සිදු විය හැකියි. ගීතයේ අවසාන කොටස තුල ද ඒ බව ව්‍යංගයෙන් පැවසෙනවා.

සීගිරි පර්වතය ඇසුරු කරගෙන ඉදිවී ඇති, දැවැන්ත රජ මාළිගා සංකීර්ණය වෙත රූප සුන්දරියක ලෙසින් රැගෙන එන ලද යෞවනියක්. ඇය රැගෙන විත් ඇත්තේ ගැමි ගෙදරක සිට. බලවතාගේ කාම වස්තුවක් වීම ට සිය දියණිය රැගෙන ගිය ද, ඒ බලය හමුවේ කිසිදු විරෝධයක් පෑමට නොහැකි වූ අසරණ පියකුගේ සෝ සුසුම මේ ගීතය පුරාවට ම අප හදෙහි ගැටෙනවා.


අපේ පැදුරෙන් මිදී කෙල්ලට

වාසලට යන්නට වුනා

අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ

හැම වෙලාවෙම සිහි වුනා

මාළිගාවෙන් අපේ ගෙපැලට

තෑගි බෝගත් හිමි වුනා

දුහුල් සලු පිළි සිහිල් ජල කෙළි

දුවට හිමි බව සැළ වුනා


පියකුට, ලොකු මහත් වූ දුවක යනු තවත් දරුවකු පමණක් නොව පූජනීය කරඬුවක් වැනි වූ දෙයක්. ඒ පූජනීය වස්තුව කෙළෙසීම පිණිස ඔහුගේ ඇස් ඉදිරිපිටදීම ගෙන ගොස් ඒ වෙනුවෙන් ගෙවන මිළ මුදල් තෑගි බෝග වලින් කුමන ඵලයක් ද?


මහා සීගිරි ගලේ මුදුනක

උඹේ රුව සිත්තම් වුනා

එය බලන්න ම හොරෙන් හවසක

මාත් එතැනට ගොඩ වුනා

කරඬුවක් වගෙ උඹේ උඩු කය

අනෙක් උන් මැද දිලිසුනා

මගේ හුස්මක් වැදී වෙන්නැති

දුවේ කලු ගල හෙලවුනා


රජුන් අත කෙළි බඩුවක් වනු පිණිස නිවසින් රැගෙන ගිය දියණිය දැක ගැනීමටවත් නොලැබෙන පසුබිමක, මාළිගා පරිශ්‍රය තුල සීගිරි ගල් තලය මත සිය දියණියගේ සිතුවමක් ඇඳ ඇතැයි යන ආරංචිය ලද පියා, ජීවිත අවදානම ද නොතකා අධි ආරක්ෂිත ප්‍රදේශයට ඇතුලු වී එය නරඹනවා. එහි තම දියණියගේ නිරුවත් උඩුකය චිත්‍රණය කර ඇති අයුරු දකින පියාගේ ලයෙන් නැගුණු සුසුමින් කලු ගල සෙලවු‍ණේ යයි කීම අතිශයෝක්තියක් ද?


පපුව ටික ටික මෙලෙක් වෙන කොට

එන්න වෙයි මං දන්නවා

උඹේ දූවිලි සුවඳ තැවරුණ

පැදුර තාමත් තියෙනවා

දැනුත් සීගිරි සිංහයා

කට ඇරන් ඉන්නව පේනවා

ඒ ඉසව්වෙන් යද්දි මං

පොඩි කෙල්ල හංගා ගන්නවා


ඇගේ සිරුරෙහි නැවුම් බව කාලයත් සමග අඩු වී යද්දී සියලු සැප සම්පත් අහිමි ව ආපසු සිය පැල්පත කරා ඒමට සිදුවන බව දන්නා පියා, ඕනෑ ම මොහොතක ඇය ආපසු භාර ගැනීමට සූදානම් ව සිටින බව කියනවා. ඒ කියමන ඉතා අපූරුවට විනීත ලෙස හා ගැමි කටවහරට උච්ත ලෙස ඉදිරිපත් කිරීම ම පද රචකයාගේ ප්‍රතිභාවත් භාෂා භාවිතයේ නිපුණත්වයත් විදහා දක්වන නිදසුනක්.

දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නවා පේනවා.... යනාදී කොටස තුල ව්‍යංගාර්ථ දෙකක් මා දකිනවා. එක් ව්‍යංගාර්ථයකින් දැක්වෙන්නේ තම ගැහැණු දරුවන් මාළිගය කරා රැගෙන යාමේ අවදානම තව දුරටත් පවතින බැවින්, පියා විසින් අනෙක් දියණිය සඟවා රැක බලා ගන්නා බවයි.

වඩාත් ම ගැඹුරෙහි වූ අනෙක් ව්‍යංගාර්ථයෙන් දැක්වෙන්නේ මා මුලින් කී යථාර්ථය යැයි මා සිතනවා. එනම් අතීතයේ වෙනත් යුගයන් හි ද, වර්තමානයේ යෙන් ම අනාගතයෙහිද බලය ඇත්තන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් බලය නොමැති අසරණයන් ගොදුරු වීමේ අවදානම දිගින් දිගට ම ඇති බවයි.

බලය හමුවේ අසරණ වන පියකුගේ හැඟීම් සමුදාය ඒ අයුරින් ම ප්‍රතිනිර්මාණය කර ඇති මේ ගීතයේ පද රචනය තුලින් මා දකින්නේ අති විශිෂ්ඨ ගණයේ ප්‍රතිභා ශක්තියක්.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පද රචනය කර ඇති ‍මේ ගීතයට සමන් ලෙනින් විසින් ප්‍රාණ වායුව පිඹ, අප හදවත්වල ජීවත් කරවන බව ගීතය අසන විට ඔබට හැඟේවි. එසේ ම අසරණ පියකුගේ සුසුමක්, අපේ හදවතේ ගැඹුරුම පත්ල කරා ගෙන යාමට, දර්ශන රුවන් දිසානායකගේ සංගීත නිර්මාණය සමත් වී ඇති අන්දම ද ඔබ අත් දකීවි.

මෙම නිර්මාණය මා දකින්නේ වර්තමානයේ විශිෂ්ඨයන් තුන් දෙනෙකුගේ අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙසයි.

ඔබ ගීතය අසා බලා, මා නිවැරදිදැයි තීරණය කරන්න.

මෙන්න එහි සබැඳිය...

Saturday, January 6, 2018

අඳුරු මතකය

බන්ධුල සිසිර කුමාර -


එදිනෙදා කටයුතු අතර කාර්ය බහුල ව අවිවේකී මනසකින් සිටින ඔබට,  වර්තමානයෙන් මඳකට මිදී අවුරුදු නවයකට එහා වූ අතීතයට නැවත මනසින් ගමන් කල හැකිනම්, අද දක්නට නොලැබෙන දේ සමූහයක්, අද නොඇසෙන වචන සමූහයක් නැවතත් හමු වනු ඇති.

ගමන් බඩු රාක්ක ගලවා ඉවත් කළ, නැතහොත් කම්බි දැල් ගසා ඒවා වසා දමා ඇති බස් රථ, පාසල් ගේට්ටු මුර කරන දෙමාපියන්, කොළඹ නගරයේ කොතැනක හෝ මහා පිපිරීමකින් ජීවිත හා දේපළ අහිමි විම්, ප්‍රාදේශීය නගර වලද සිදු වන පිපිරීම්, පිපිරීමකට බිලි ව මව හා පියා එකවර ම දරුවන් ට අහිමි විම වැලැක්වීමේ අරමුණින් මව හා පියා බස් රථ දෙකකින් කාර්යාලවලට යාම වැනි දෑ එකල එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධීන් බවට පත් ව තිබුණා. කොහේ හෝ සිදු වූ මහා සමූහ ඝාතනයක් පිළිබඳ තොරතුරුවලින් පුවත්පත් පිරී තිබුණා. බස් රථයක යද්දී හාත්පස ගැන මනා අවධානයෙන් නොයාම, මරණයට අත වැනීමක් වූ .ඒ යුගයේ අද මෙන් හෑන්ඩ්ස්ෆ්‍රී කට්ටලය හා ස්මාර්ට්ෆෝනය සමග හුදකලා විය හැකි වූයේ නැහැ.

එකල අපේ වදන් මාලාවට අලුතින් එකතු වූ වචන රාශියක් ද වූවා. ඒ අතුරින් එකක් වූයේ "මායිම් ගම්මාන" යන්නයි. බෙදුම්වාදීන්ගේ සිහින රාජ්‍යයේ සීමාව අසල වූ ගම්මාන මේ නමින් හැඳින්වුණු අතර ඔවුන් ඒ ගම්වලට කඩා පැන ලොකු කුඩා, බාල මහලු සියලු දෙනා කපා කොටා මරා දැමීම නිරන්තරයෙන් සිදු වුණා.

ජීවිත කාලයේ දශක කිහිපයක් ගෙවා නිම කර ඇති අප මේ මහා ව්‍යසනය ඇරඹී, පැවතී ඉන් පසු නැතිවන තුරුත් අවදියෙන් සිටි, ඒ යුගයේ ජීවමාන සාක්ෂි කරුවන්. ඒ යුගය අත් නොවිඳි අයකු එහි සැබෑ කටුක යථාර්ථය වටහා ගනු ඇතැයි මා සිත්නනේ නැහැ. එහෙත් මේ තත්ත්වය අත්දුටු අය පවා, එවැනි කාල පරිච්ඡේදයක් ඉතිහාසයේ නොවූවා සේ දොඩනු, හැසිරෙනු දකින විට ඇති වන්නේ මහත් පුදුමයක්. අපට සියලු සිදුවීම් වහා අමතක වන්නේ යයි කියමනක් තිබෙනවා. එහි ඇත්ත නැත්ත විමසන්නට මා මෙහිදී උත්සාහ කරන්නේ නැහැ. එහෙත් ඉතිහාසය බොහෝ දේ කියා දෙන ගුරුවරයකු බව අමතක කිරීම නම්, අපගේ යහපත පිණිස හේතු නොවනු ඇති.

එසේ ම, මේ බ්ලොගය තුල මා කිසිදු දේශපාලන පක්ෂයකට ආ වැඩීම හෝ ගැරහීම සිදු නොකරන බවත්, මගේ නිදහස් අදහස් මැ ඉදිරිපත් කරන බවත් වටහා තැනීමට ප්‍රමාණවත් වන බුද්ධි මට්ටමක් පාඨකයා සතු වෙතියි යන පූර්ව නිගමනයේ හිඳිමිනුයි, මා මෙවැනි තොරතුරු ගැන සාකච්ඡා කරනුයේ.

නොනිමෙන මරණ බිය සමග ම ජීවිතය ජීවත් කරවූ, මෙම යුගයේ අත් දැකීම් පසුබිම් කරගත් විවිධ කලා නිර්මාණ රැසක් බිහි වුණා. මේ අතුරින්, ඒ බිහිසුණු යුගය කරා අප මනසින් කැන්දා ගෙන යන ගීතයක් ගැන කියන්නයි මේ ඇරඹුම.

උතුරු හා නැගෙනහිර පලාත්වලට මායිම් වූ ඈත ගම්වල ජනයා දිනපතා මුහුණ දුන් අතිශය කටුක යථාර්ථය ඒ අයුරින් ම වටහා ගනු ඇත්තේ, එහි ජීවත් වූ, එයට මුහුණ දුන් අය පමණයි. ජීවිතයේ අනෙකුත් අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් හා ගැටෙන ඔවුනට ඒ සියල්ලට මුහුණ දිය යුතුව තිබුණේ නොනිමි මරණ බියක් ද සමගයි. විශේෂයෙන් මරණය ආවේ අන්ධකාරයද කැටුව.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කෙළවරක, මව් නැති පවුලක දරුවන්ගේ එකම රැකවරණය වූ පියා, දරුවන් ගෙදර තබා ගොස් ඇත්තේ නොගිහින් ම බැරි ගමනක්. රාත්‍රියත් එළඹිලා. එහෙත් ඔහු තාමත් පැමිණ නැහැ. වඩ වඩාත් රෑබෝ වූ බව ට ලකුණු එකින් එක පහළ වෙනවා. එහෙත් ඔහු තාමත් නැහැ. මේ පසු බිම තුල දරුවන්ගේ හිතට දැනෙන පාළුව, භීතිය ඉතා මැනැවින් චිත්‍රණය කරන ගීතයක් මේ.


මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්වී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ


සංහිඳ ළඟ දෙවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑ පහන නිවෙයි
නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
රැ කළුවර පමණයි


වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි 
රෑ කළුවර නපුරුයි


ඉහතින් කී ආකාරයේ තර්ජනයට ලක් වූ ප්‍රදේශවල මගී බස් රථ බොහෝ අවස්ථාවලදී ක්ලේමෝ ප්‍රහාරයකට එසේ නොමැති නම් අතරමඟ නවතා කැති ගා දැමීමට ගොදුරු වූවා. දුර ගමනක් ගොස් ආපසු ගෙදර එනතුරු ජීවිතය ගැන සහතිකයක් නැහැ. එසේ වූ කල, බසය නියමිත වේලාවට නොපැමිණිම දරුවන්ගේ සිතේ ඇති කරනු ඇත්තේ කෙබඳු හැඟීමක් ද?

දේවාලේ යාතිකා හඬ නැවතීම, චෙට්ටියාර්ගේ කඩය වසා දැමීම ආදී, රෑ බෝ වීමේ ලකුණු එකින් එක පහළ වන විට ළමා සිත්වල ඇති වන නොඉවසිල්ල හා භීතිය වටහා ගැනීම අපහසු නැහැ.

මෙවන් අවදානමක් නොවූ අප කුඩා සමයේ පවා පවුලේ කිසිවකු නිවසින් බැහැර ගොස් රෑ බෝ වන තුරුත් ආපසු නො ආ විට නොඉවසිලිමත් ව බලා සිටි අයුරු මට මතක් වෙනවා. එවැනි අවස්ථාවක මැදියම් රැයටද ආසන්න ව, ගුවන් විදුලියේ වැඩ සටහන් නිමා වී පිරිත් දෙසුමකින් අනතුරු ව, දීර්ඝ ඒකාකාරී නාදයක් ඇසෙන විට අඳුරු රාත්‍රියෙහි දැනුණු පාළුව පිළිබඳ හැඟීම අද ද සිහිකළ හැකියි. මේ ගීතයේ ආරම්භයේ දී ම එය ඉතා අපූරු අන්දමින් යොදා ගෙන තිබෙනවා.

නුදුරු වටපිටාවෙහි යුද ගිනි ඇවිලෙන තත්ත්වයක් ඇති, සිහිනයෙන් පවා ඒ භීෂණය දකින, මව ද නැති මේ අහිංසක කුඩා දරුවන්ගේ සිත් සතන් පුරා ඇවිල ගත් බිය කෙතරම් ද? මේ පසුබිම තුල වුව ද සිය දරුවන් ට වඩාත් යහපත් හෙටක් ගොඩ නැගීමේ සිහිනය පියා තුල තිබෙනවා. ඔහුට ඒ වෙනුවෙන් සිය ජීවිත අවදානම නොතකා විවිධ ගමන් බිමන් යාමට සිදු වෙනවා.

දුෂ්කර පළාත් යනු මාරක පළාත් වූ යුගයක අපේ මිනිසුන් අත්විඳී කටුක යථාර්ථය සිහි ගන්වන කලා නිර්මාණ අතුරින් ඉහළ ම මට්ටමේ එකක් ලෙසයි මා මේ ගීතය දකින්නෙ. එවැනි තවත් නිර්මාණ කිහිපයක් ම ඇති අතර ඉදිරියේ දී අපි ඒවා එකින් එක විමසා බලමු.

රජරට ට අනන්‍ය කටහඬක් වූ කරුණාරත්න දිවුල්ගනේ තමයි ගීතය ගායනා කරන්නේ. පද රචනය හා සංගීත නිර්මාණය කාගේදැයි සොයා ගැනීමට මට නොහැකි වුණා. ඔබ එම තොරතුරු දන්නේ නම් එතුමන්ලාට කරන ගෞරවයක් වශයෙන් කමෙන්ටුවක් ලෙස මෙහි දක්වන්න.

මේ සබැඳිය තුලින් ගීතය අසා බලන්න.

Sunday, December 24, 2017

අවසාන සමුගැනීම

බන්ධුල සිසිර කුමාර -





නවකතාවක් සිනමාවට නැගීම, කතාවක් කාව්‍ය හෝ ගීත නිර්මාණයක් බවට හැරවීම ආදී වශයෙන් නිර්මාණයක් වෙනත් මාධ්‍යයකට හැරවීමේ දී සිදුවිය යුත්තේ කුමක් ද? මෙහිදී මා දරන අදහස නම් මුල් නිර්මාණය අප තුල ඇති කරන රස භාවයන් කෙබඳු ද, එම රස භාවයම හෝ ඊට ඉතා ආසන්න රස භාවයන් සහෘදයා තුල ඇති කළ හැකි නම් පමණක් ඒ නිර්මාණය වෙනත් මාධ්‍යයකට හැරවීම සාර්ථක වී ඇති බව කිව හැකියි. අපේ රටේත් විදේශ රටවලත්, නව කතා හා ඒවා ආශ්‍රයෙන් නිමැවුණු සිනමා කෘති විමසීමේදී මෙම අවශ්‍යතාවය ඉටු නොවූ අවස්ථා තමයි වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ. එය සාර්ථක ව ඉටු වූ අවස්ථා ගැන සළකා බලද්දී සිහියට නැගෙන එක් උදාහරණයක් තමයි තුංමංහන්දිය. නවකථාවේ රචකයා මෙන්ම සිනමා පටයේ අධ්‍යක්ෂ වරයාත් එක් අයකු වීම වගේම මහගම සේකරයන් වෙත වූ අති විශිෂ්ට ප්‍රතිභා ශක්තියත් මේ සඳහා බල පාන්නට ඇති.

ඒත් මා මේ ලිපිය පටන් ගත්තේ සිනමා පට ගැන කියන්නට නොවේ.

කිසියම් නවකතාවක සියලු රස භාවයන් කැටි කොට ගත් ගීතයක් නිමැවුණු අවස්ථා ඔබ අසා තිබේ ද?

මා සඳහන් කරන්නට යන ගීතය අලුත් එකක් නොවේ. එය දශක ගණනක් පැරණියි. එහෙත් පැරණි වූ පමණින් නිර්මාණයක විශිෂ්ට ලක්ෂණයන්හි කල් ඉකුත් වී යන්නෙ නැහැ. මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගේ පද රචනයක්.

මේ 
කඳුලු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි
එය ඔබේමයි

ඇඳ වියල ලඟ අඩ සඳින් දිදුලන
මළ තාරකාවක සිහිල කැටි වුණ
මේ
කඳුලු බිඳුවේ අයිතිකාරිය
ඔබ තමයි

හඬන්නට
කිසිදා නොදැන සිටි මට
මළ පොත කියා දී නොකියා ම ගිය
මේ
කඳුලු බිඳුවේ අයිතිකාරිය
ඔබ තමයි


එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා නවකතා යුගලයෙහි කියැවෙන ශෝකී ප්‍රේම වෘත්තාන්තය, එහි රස භාව ඒ ලෙසින් ම ජනිත වන ලෙස නිමැවුණු ගීතයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. නවකතාවට සම්බන්ධ ස්ථාන නාම, පුද්ගල නාම ආදි කිසිවක් සඳහන් කිරීමක් පවා නොකර එම රස භාවයන් පමණක් ප්‍රතිනිර්මාණය කළ හැකිවිම මා නම් දකින්නෙ අති විශිෂ්ට හා අති දුර්ලභ හැකියාවක් ලෙසයි.

මා මේ ගීතයේ දකින සුවිශේෂීතාව එපමණකින් නිමා වෙන්නෙ නැහැ. ඉතා සරල හා අවම වචන කිහිපයකින් මේ මහා වික්‍රමය සිදු කරන අතර ම, සිංහල භාෂාවෙ වචනවල ඇති බහු අර්ථ, ශ්ලේෂාර්ථ ආදිය මනා ව හසුරුවා ගනිමින් විවිධ මංපෙත් ඔස්සේ අර්ථ නැංවෙන අයුරින් සිදු කර ඇති භාෂා භාවිතය මේ හැරුණු විට මා දැක ඇත්තෙ ගීත අතලොස්සක විතරයි. එයිනුත් සමහර ඒවා රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගේ ම ගීත නිර්මාණ. 

ගීතයේ දෙවන කොටසෙහි, කඳුලු බිඳුව ගැන පැවසීමේ දී, එය මළ තාරකාවක් සේ ශීතල බව කියැවෙනවා. තාරකාව ස්ත්‍රී රූපී ව ගත හොත්, එය කාන්තාවකගේ මළ සිරුරක් හා එහි ශීතල සිහියට නංවනවා. අනෙක් අතින් විද්‍යාත්මකව සළකා බාහිර අර්ථය ගතහොත්? මළ තාරකාවක් - දැවී නිම වූ තාරකාවක් යනු අධි ශීත වස්තුවක්. 

තුන් වැනි කොටසෙහි භාෂාව යොදා ගැනීමත් ඒ හා සමානයි. 

"හඬන්නට කිසිදා නොදැන සිටි මට - මළ පොත කියා දී නොකියා ම ගිය"

එක් අරුතක් සළකා බැලූ විට, මළ පොත කියවීම යනු අතීතයේ දී අවමඟුල් නිවෙස් වල ශෝකී ස්වරයෙන් කළ ගායනා විශේෂයක්. මෙතෙක් කල් හඬන්නට හුරු වී නොසිටි ඔහුට ඇය එම ශෝකී පසුබිම නිර්මාණය කර නික්ම යනවා. අනෙක් අරුත සැලකූ විට, නොදන්නා කෙනෙකුට මුලින් ම අකුරු කියාදෙන පොත ලෙසත් මළ පොත සඳහන් වෙනවා නේ. (මළ පොතේ අකුරක් බැරි මිනිසුන්) ඒ අරුතින් ගත් විට දීත්, හඬන්නට නොදත් ඔහුට හැඬීමේ මළ පොත කියා දෙන්නෙ ඇයයි.

එසේ ම මේ කොටස් දෙකෙහි ම ඇසෙන "මළ" යන්නෙහි ධ්වනිතාර්ථයෙන් මේ කථාවෙහි ශෝකී අවසානය හඟවනවා.

මෙම ගීතයේ ඊ ළඟ වික්‍රමය මා දකින්නෙ සංගීත නිර්මාණකරු රෝහණ වීරසිංහයන් වෙතින්. 

මේ තරම් විශීෂ්ට ගීත රචනාවක් ව තිබියදීත්, පාද එකින් එකට විවිධ මාත්‍රා ගණන් සහිත ව නිසඳැසක් මෙන් ලියැවී ඇති මේ පද මාලාව සුගායනීය වන අයුරින් මෙන් ම අර්ථය ද කුළු ගැන්වෙන අයුරින්, අවම වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක්ද යෙදෙන පරිදි මේ ගීතයට සංගීත නිර්මාණය කර තිබීමත් අතිශය දුර්ලභ ගණයේ දක්ෂතාවක් ලෙසයි මා දකින්නෙ.

මේ සියලු දේ එක්තැන් වූ මේ අපූරු ගීතයට ප්‍රාණය දෙන්නෙ සුනිල් එදිරිසිංහයන්, ඔහුගේ සුවිශේෂී කටහඬින් හා ගායන විලාශයෙන්.

ඔබ මේ ගීතය අනන්නවත් අසා ඇති. එහෙත් මනා අවධානයෙන් නැවතත් අසා බලන්න.

මෙන්න සබැඳිය.

Tuesday, December 19, 2017

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ


බන්ධුල සිසිර කුමාර -


අපට අසන්නට ලැබෙන ගීත අතර සමහර අපූරු ගීත තිබෙනවා, ඉන් කියැවෙන්නේ කුමක් ගැනදැයි එක් වචනයකින් හෝ නොකියවෙන. රෝහණ බැද්දගේ ශූරීන් ගායනා කරන මේ ගීතයත් එබඳු එකක්.

හෝ හෝ ජල්ලියා - ජල්ලි ජකිරි ජල්ලියා

තෙන් තෙඳිනානේ නා තෙඳිනානේ ජල්ලි ජකිරි ජල්ලියා

රා මදිතෙයි - රා බොමුතෙයි - දබර වෙතෙයි

පාන් කතෙයි - කහට බොතෙයි - රෑ නටතෙයි

අද හිරු පායයි දෝ

හෙට හිරු පායයි දෝ

කමත වටේ යන - එක තැන කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



බාලොලි බාලොලි - සින්දු ද සීපද - රස කතන්දර කියඤ්ඤා

පැණි කොමඩු කැකිරි - සූකිරි මීපැණි - රත්තරන් හැන්දෙන් කවඤ්ඤා

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



ජහ් පිට ජහ් මහ් - ඉක්මන් ගමනට - පැත්තෙන් පැත්තට දක්කඤ්ඤා

කීකරු නූනොත් - චටාස් පටාස් - පිට හරහට දෙසඤ්ඤා

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



මෙය අසන ඔබට විවිධ චිත්ත රූප මැවෙනවා ඇති. ඒ අනුව ඔබ මේ ගීතයට විවිධ අර්ථකථන දෙනවා ඇති. එහෙත් මට හිතෙන්නේ මේ විවරණය කරන්නේ අපේ සමාජයේ එක්තරා පැති කඩක් කියලයි.

ඊට අනුව මෙය අපේ රටේ දේශපාලනය හා බැඳුණු එක්තරා දෙයක්. මා මගේ බ්ලොගය තුල පක්ෂ දේශපාලනය පිළිබඳ ව කථා කරන්නනේ නැහැ. එහෙත් මේ කියන කතාව පක්ෂ භේදයක් නැති පොදු කථාවක්. මේ ගීතය තුලින් මා දකින දෙය විස්තර කරන්න අත්‍යවශ්‍ය වන නිසා නීරස ඒ මාතෘකාවට අදාල කරුණු කිහිපයක් පමණක් මෙහි සඳහන් කරනවා.

බහු පක්ෂ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වීමට නම් ඡන්ද දායකයා හොඳ විචාර බුද්ධියක් හා ප්‍රමාණවත් අවම දැන උගත් කමක් තිබිය යුතු අයකු විය යුතු යැයි මා සිතනවා. නිදහසින් පසු අපේ ගමන් මග විචාරශීලී ව නිරීක්ෂණය කළ හොත් ඡන්ද දායකයා විසින් වැරදි තීරණ ගත්, ඒ අනුව මුළු රටේ ම ඉදිරි ගමන වියවුල් තත්ත්වයනට මුහුණ පෑ අවස්ථා කිහිපයක් හෝ දැග ගත හැකියි. " වරද ඇත්තේ වරින් වර පාලනය කරන කණ්ඩායම් අත නොව ජනතාව අතයි. එබැවින් මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගත යුතුයි" කියා කවුදෝ කියා තිබූ කියමන එවිට සිහි වෙනවා.

එවැනි ම තවත් දෙයක් මතකයට නැගෙනවා. ඉස්සර මැතිවරණ දිනවල රාත්‍රියේ රජයේ ගුවන්විදුලිය මගින් ගෙන එන මැතිවරණ ප්‍රතිඵල විකාශයක් තිබුණා. (මා හිතන්නේ එය දැනටත් සිදු වෙනවා) මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන නැඹුරුවට අනුරූප වන ගීත මෙම විකාශයේ වරින් වර වාදනය වෙනවා. දශක කිහිපයකට පෙර එක්තරා මැතිවරණයක ප්‍රතිඵලය, බලාපොරොත්තු නොවූ දිසාවකට හැරෙමින් තිබියදී "මේ රටේ මිනිස්සු - තනිකර කෙළින්නෙ පිස්සු" යන ගීතය වාදනය වූවා මට මතකයි.

මට හිතෙන අන්දමට නම් මේ තත්ත්වය අදාල වන්නෙ නූගත් ජන කණ්ඩායම් වලට පමණක් නොවෙයි. ප්‍රාමාණික උගත් කම් ඇති එහෙත් දේශපාලනික අවබෝධය හා විචාර බුද්ධිය අතින් ඉතා දිළිඳු පුද්ගලයන් මට බොහෝ සෙයින් හමුවී තිබෙනවා. ඔබ අතුරින් කිසිවකු මීට එරෙහි ව අවි අමෝරා ගෙන ආ හැකි නමුත් වරෙක මට මෙහෙම හිතෙනවා. ඒ, ප්‍රමාණවත් බුද්ධි ඵලයක් සහිත බව කිසියම් පරීක්ෂණයකින් තහවුරු කර ගත් පුද්ගලයන්ට පමණක් ඡන්ද බලය හිමි විය යුතු බවයි. (මිහිඳු හිමි දෙවන පෑතිස් රජුගේ බුද්ධි මට්ටම පිරික්සා බැලූ අයුරින් වත්.) 

දැන් නැවතත් අපි ගීතයට යොමු වෙමු.

ගම්, නගර හා අර්ධ නාගරික ප්‍රදේශ යන සියලු ජනාවාසයන් හි අපට දැක ගත හැකි කිසියම් ප්‍රජාවක් සිටිනවා ඉතා අඩු බුද්ධි මට්ටම්වලින් හා පහළ අධ්‍යාපනික මට්ටම් වලින් යුතු. ඔවුන්ගේ පහළ අධ්‍යාපන මට්ටමට බොහෝ විට හේතු වන්නේත් මේ අඩු බුද්ධි ඵලයයි. මේ හේතු දෙක ම නිසා ඔවුන්ගේ ආර්ථික මට්ටම ද අයහපත්. පක්ෂ භේදයකින් තොර ව විවිධ දේශපාලකයන්ගේ පසුපස වැටී සියලු බැල මෙහෙවර සඳහා සාමාන්‍යයෙන් ඉදිරිපත් වන්නේ මේ ප්‍රජාවයි. ඇත්තෙන් ම ඔවුන් ට ඒ වෙනුවෙන් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රතිලාභයක්. එහෙත් ඔවුන් ඉන්න තත්ත්වය අනුව ඔවුන්ට එය දැනෙන්නේ මහ මෙරක් ලෙසයි. මා සිතන්නේ මේ ගීයෙන් කියවෙන්නේ ඒ ප්‍රජාව ගැන බවයි.

ගීතයේ පළමු කොටසේ විස්තර කෙරෙන්නේ වැටී ඇති තැනින් කිසිදා ගොඩ ඒමක් නොමැති ව එකම තැන කරකැවෙන ඒ මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තියයි. 

තමාගේ කටයුතු කර ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් ට රස බස් කියා බලාපොරොත්තු ගොඩ නංවන ආකාරය, ගීතයේ දෙවන කොටසේ විස්තර වෙනවා. ඔවුන් කමතේ ගොයම් පෑගීමට යොදා ගන්නා ගවයන් වැනියි. ගොයම් පාගා දුන්නත් ඔවුන්ට එහි ඇති ගොයම් කන්නට බැහැ, හොම්බට කටකලියාවක් බැඳ ඇති නිසා.

අවශ්‍ය කටයුත්ත කර ගත්තට පස්සෙ ඔවුන් දක්කන්නෙ තමන්ට වුවමනා හැටියටයි. අකීකරු වෙන්න ගියොත් කෙවිටි පාර වදිනවා. තුන් වැනි කොටසෙන් කියැවෙන්නෙ එයයි.

මේ අපූරු ගීතයේ රචකයා හෝ සංගීත ශිල්පියා කවුරුන්දැයි සොයා ගන්නට බැරි වුණා. (මට හිතෙන්නේ ඒ ද රෝහණ බැද්දගේ ශූරීන් ම විය යුතු බවයි.) ඔබ ඒ පිළිබඳ යමක් දන්නේ නම් කමෙන්ටු ලෙස දක්වන්න.


පහත දැක්වෙන සබැඳිය ඔස්සේ ගීතය අසා බලන්න, ඔබට සිතෙන්නේත් මට සිතුණු දේ ම ද කියා.


Monday, December 4, 2017

ආල වඩන අකුරු පහේ තේරවිල්ල....


බන්ධුල සිසිර කුමාර

No automatic alt text available.


දැනට දශක හතරකට පමණ පෙර අප කුඩා දරුවන් ව සිටි යුගයේ “ හුලවාලි“ නම් වූ සිනමා කෘතියක් තිරගත වූවා. වට්ටෝරුගත නොවූ තේමාවක් මත ගොඩනැගුණු එය එකල කුඩා අපගේ උනන්දුව දිනා ගැනීමට බල පෑ තවත් හේතුවක් තිබුණා. ඒ එහි සමහර රූගත කිරීම් මගේ උපන් ගම ආසන්නයේ පිහිටි මල්වාන- කළුකොඳයාව ආදී ගම් ආශ්‍රිත ව සිදුව තිබීමයි. මගේ මතකයට අනුව මෙම සිනමාපටයේ ගීත දෙකක් අඩංගු වූ අතර ඒවා ද එකල ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා.“කුලගෙදරින් දුම්බර කඳුවැටියේ“ සහ “කුඩා ගමේ මද්දහනේ“ එම ගී දෙකයි.

මේ ගීත යුගලය අතුරින් වඩාත් සංවේදී මෙන් ම ජීවිතයේ යම් යම් යථාර්ථයන් විවරණ කෙරෙන සදාතනික වටිනාකමකින් යුත් නිර්මාණයක් ලෙස “කුඩා ගමේ මද්දහනේ“ ගීතය හඳුන්වා දිය හැකියි. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මෙම ගීතයේ පද රචකයා කවුරුන්දැයි යන්න මගේ මතකයෙන් ගිලිහී ගිහින්. (ඔබට එය මතක තිබේ නම් කමෙන්ටුවක සටහන් කරන්න.)

මෙම කථා පුවත දිග හැරෙන්නේ හුලවාලි ගම්මානයක ජීවන ප්‍රවෘත්තිය පසුබිම් කරගෙනයි. කථාන්තරය ඉතා කෙටියෙන් මෙසේ දැක්විය හැකියි. කිසියම් හේතුවක් නිසා හුලවාලින්ගේ ගම්මානයට ඇතුළු වන කුලවත් ආරච්චි කෙකෙකු එහිදී දකින කාන්තාවක් කෙරේ සිතක් පළ කරගෙන ඇය අයිති කරගැනීමට උත්සාහ කරනවා. ඇය රැහේ නායකයාගේ බිරිඳ වීම නිසා මෙය වඩාත් බැරෑරුම් වූ අවුලක් ජනිත කරනවා. එක් අවස්ථාවකදී රැහේ නායකයා සිය පිරිස ද සමග එක් ව ආරච්චිරාළ අල්ලා ඉතා දරුණු වධ බන්ධනයන්ට පවා ලක් කරනවා.

එහෙත් පසුව ඔහු එක්තරා කණගාටුදායක සත්‍යයක් පසක් කරගන්නවා. ඒ සිය බිරිඳ ද, ආරච්චිරාළ කෙරේ පෙම් බැඳ සිටින බවයි.

තමා මේ දක්වා කෙතරම් කැපකිරීම් කළ ද, කෙතරම් බලාපොරොත්තු හා සිහින ගොඩනගාගෙන සිටිය ද සිය බිරියගේ සිත බිඳී ‍ගොස්, වෙනත් අයකු කෙරේ බැඳී අවසන් ව ඇත් නම් වෙන කුමක් කළ ද පළක් නැති බව වටහා ගන්නා රැහේ කායකයා, ඇයට ආරච්චිරාළ හා යාමට ඉඩ හරිනවා.

කෙසේ වුව ද අවසානයේ සිදු වන්නේ රැහේ අභිමානය පාවා දීම පිළිබඳ ව උරණ වූ රැහේ ජනතාව, නායකයාට එරෙහි ව යුද වැදීමයි. අවසානයේ ඔවුන් සිය නායකයා ට ආයුධයකින් ඇන ඔහු මරා දමනවා. ඒ සිද්ධියෙන් පසු ව, පසුබිමෙහි මේ ගීතය වාදනය වෙනවා.

කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර ඉසුනු ලමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතිව ගියා

ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී

දශක ගණනාවකට පෙර ප්‍රාථමික ජීවන රටාවක් සහිත ගමක සිදුවීමක් විවරණය කෙරෙන මෙම ගීතය වත්මන් සමාජ රටාවත් ඒ තුල ජනිත වන විවිධ වූ අර්බුදයනුත් පිළිබඳ ව ද කෙතරම් අදාල වන්නේදැයි මඳක් විමසිලිමත්ව බැලුවහොත් ඔබට පෙනෙනු ඇති. විදෙස් ගත වීම නිසා භෞතික ව, පවුලෙන් දුරස් ව වෙසෙන, නැතහොත්, නිවසේ ජීවත් වුව ද ජීවන අරගලය වෙනුවෙන් දවසේ පැය විසිහතර ම ගතකිරීමට සිදුව ඇති මිනිසුන් වත්මන් සමාජයේ දැකිය හැකියි. සිය පවුලට ඇකි ආදරයෙන් ඔවුන්ගේ හදවත් පිරී පැවතුණ ද වචන හෝ ඉරියව් බවට නොපෙරලෙන ඒ ආදරය සමහර විට ඔවුන්ගේ අඹුදරුවන් විසින් වටහා ගනු ලබන්නේ නැහැ. මෙවන් අවස්ථා ඉව කරමින් සිටින සමහර අවස්ථාවාදීන් සුරතල් වදන් මගින් කාන්තාවන්ගේ සිත් සතන් තුලට රිංගා ගන්නවා. අතීත යුගයට වඩා විවිධ සන්නිවේදන පහසුකම් සුලබ වූ මෙකල මෙවැනි සිදුවීම් වඩාත් බහුල ව සිදු වන බව දිනපතා හා සති අන්ත පුවත්පත් බැලීමෙන් පමණක් වුව ද වටහා ගත හැකියි. ඒවා බොහෝ විට අවසන් වන්නේ ඛෙදවාචකයකින්. පවුලේ සියල්ලන් ම ඝාතනය කර තමා ද දිවි නසාගත් පුද්ගලයන් පිළිබඳ කතා පුවත් බොහොමයක පත්ලේ ඇත්තේ මෙබඳු සිදු වීමක්.

එසේ වුවද මේ ගීතයෙන් කියැවෙන මිනිසා ඊට වඩා ඉහළ බුද්ධි මට්ටමක හිඳිමින් ජීවිතයේ යථාර්ථය වඩාත් මැනැවින් පසක් කොට ගෙන ඇති බව පෙනෙනවා. මුලින් ම ඔහු තමා කළ කී දේවලුත්, තමා මේ තාක් වෙහෙස ගත්තේ කුමක් වෙනුවෙන් ද යන්නත්, ඒ සියලු දේ ගඟට කැපූ ඉණි බවට පත් වූ අන්දමත් ගීතයේ පළමු හා දෙවන කොටස් වලින් පවසනවා.

ගීතයේ අවසාන කොටසෙහිදී, ආදරය පිළිබඳ සදාතනික සත්තාවක් අප හමුවේ තබමින් එහි රස භාවයන් උච්චතම අවස්ථාවට රැගෙන යනවා. සිතකට වැට කඩුළු බැඳිය නොහැකියි. ඇගේ ආදරය ඔහු කෙරෙන් බිදී වෙනත් අතක බැඳුනේ නම් එතැනින් එහා කළ හැකි කිසිවක් නොමැති බව පවසන ඔහු, සැබෑ ආදරය නම්, ලෞකිකත්වයෙන් ද ඔබ්බට ගිය අධ්‍යාත්මික ගුණයක් බව “ආල වඩන යන තේරුම බෝසත් කම සකී“ යන අවසන් පදයෙන් කියා සිවිනවා.

මෙහි අපූරු ගායන විලාශය, සංගීත සංයෝජනය මෙන්ම එහි අරුතෙහි ගැබ් ව ඇති මේ සදාතනික සත්‍යය ද අද දක්වාත් එම ගීතයට හිමි ව ඇති ජනප්‍රසාදයට හේතු වන්නට ඇතැයි සිතෙනවා.

ගීතයක් ගැන පිටු සිය ගණනක් කියවුවත් එය ඇසීමෙන් ලබන රසය හා අවබෝධය ලබා ගත නොහැකියි. පහතින් දක්වා ඇති ලිංකයෙන් එය අසා බලන්න.

Wednesday, November 29, 2017

අට්ටාලයේ ලී පටි......

බන්ධුල සිසිර කුමාර



මීට පෙර මා පතල් කවි පිළිබඳ පෝස්ටු ඉදිරිපත් කළා. එහෙත් මේ සමග ඉදිරිපත් කෙරෙන්නේ පතල් කවියක් නොවෙයි. පතල් කවියේ ආකෘතිය මෙන් ම අනෙකුත් සියලු ලක්ෂණත් කැටි කොට ගත් මෙය නූතන ගීතයක්. එසේ ම මෙයින් කියවෙන්නේ මිනිරන් පතලක නොව මැණික් පතලක අත්දැකීම්. එහෙත් අර සම්ප්‍රදායික පතල් කවියක මෙන් ම මෙම ගීතයේ ත් පතල් කම්කරුවන්ගේ ජීවන දුක් ගැහැට ඉතා සංවේදී අයුරින් නිරූපණය වෙනවා.

කවියක් වගේ නොවෙයි, ගීතයක නියම රස වින්දනය සඳහා එහි පද මාලාව කියවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැනේ. ඒ නිසා පහතින් දක්වා ඇති ලින්කුවෙන් ගීයට සවන් දී බලන්න.


අට්ටාලයේ ලී පටි හඬ නගන්නේ
හරහට ඇදෙන දෝනා බිය ගෙනෙන්නේ-
අඳුරු පතල් යට අපි කල් ගෙවන්නේ
ගොඩ එන මැණික් මත කවුදෝ යැපෙන්නේ

ඉහළට ඇදෙන කූඩයෙ පස් පිරෙන්නේ
කවදද දිස්නයක් මැණිකක දකින්නේ
පතලට යට වෙලාදෝ අපි මියෙන්නේ
මැණිකක් අතින් ගෙන දෝ මතු උපදින්නේ

මරුගෙ අතක් අප ගෙල වට රැඳි හන්දා
විශ්වාසයක් නම් හෙට ගැන නැහැ රන්දා
මැණිකක තිබෙන දුලබ ගුණය නැති හන්දා
අපි කලු ගල් ය හැම තැන හමු වන හින්දා

කෝලිත භානු දිසානායක ගායන ශිල්පියාණන් ගයන මේ ගීතයේ පද රචනය හා සංගීත නිර්මාණය කාගේ දැයි මට සොයා ගැනීමට හැකි වූයේ නැහැ. ඔබ කවුරුන් හෝ එය දන්නේ නම් ඒ දෙපළට කරන ගෞරවයක් වශයෙන් කමෙන්ටුවක් ලෙස ඒ නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිනවා.

දෙවියනි නාත පාළුයි තාම මල් යහන.......

බන්ධුල සිසිර කුමාර

Image may contain: mountain, sky, outdoor and nature


එදිනෙදා ජීවිතයේ කාර්ය බහුලතාව හේතුවෙන් ටෙලිනාට්‍ය නැරඹීම සඳහා කාලයක් වෙන් කිරීම මා හට තරමක් දුෂ්කර ක්‍රියාවක් වුවද හොඳ නිර්මාණයන් ඉදිරිපත් වූ සෑම අවස්ථාවකම ඒ සඳහා කෙසේ හෝ කාලය ‍සොයා ගත්තා. දැනටත් බොහෝ විට, එවැනි හොඳ මට්ටමේ නිර්මාණ, විවේකය ඇති වේලාවක අන්තර්ජාලය තුලින් හෝ නැරඹීම සිදුකරනවා. එහෙත් එබඳු පහසුකම් අවම වූ අතීතයේ එවැනි නිර්මාණ කිහිපයක් මා හට මගහැරී ගියා. ඒ අතරින් එකක් ‘මරුවැල‘.

එම ටෙලිනාට්‍යයට අයත් වූ එක්තරා ගීතයක් අද දක්වාත් මා තුල මහත් කම්පනයක් ඇති කරන්නක්. නාට්‍යය නැරඹීමට නොහැකි වූ නිසා නාට්‍යය තුල එම ගීතයට අදාල සන්දර්භය කුමක් දැයි මා දන්නේ නැහැ.එහෙත් එම ගීතය ඇසෙන වාරයක් පාසා මගේ සිහියට නැගෙන්නේ අවුරුදු පහළොහකට විස්සකට පෙර අපේ සමාජය මුහුණ දුන් එක්තරා ඛෙදවාචකයක්.

උතුරුමැද හා නැගෙනහිර වැනි පළාත්වල ගොවිජනපද, මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතව බිහි වූ ගම්මාන ආදියේ ජීවිතය දිවයිනේ අනෙක් ප්‍රදේශවලට වඩා තරමක් වෙනස්. අප සමාජයේ බොහෝ දෙනා මාසික වැටුප් ලබනවා. තවත් සමහරුන් තමා යෙදෙන වෘත්තියෙන් හෝ ව්‍යාපාරයෙන් දිනපතා ආදායමක් ලබනවා. එහෙත් තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී ගොවිතැන වූ, මා මුලින් කී පිරිස සිය ආදායම ලබන්නේ වසරකට දෙවතාවයි. එසේ එක් කන්නයකින් ලබන ආදායමෙන් අස්වනු නෙලීමට අදාල සියලු කුලී හා ගාස්තු ගෙවා දමා, වගාව සඳහා ලබාගත් බැංකු ණය පියවා, ඉදිරි කන්නය වෙනුවෙන් ආයෝජනය කිරීමට මුදලක් වෙන් කර ඉතිරිවන මුදල ඊළඟ කන්නයේ ආදායම ලැබෙන තුරු ජීවත් වීම සඳහා කළමනාකරණය කරගත යුතු වෙනවා. කිසියම් අනපේක්ෂිත සිද්ධියකින් මෙම චක්‍රයේ සමතුලිතතාව බිඳවැටුණොත් ඇති වන්නේ මහා සාමාජීය ඛෙදවාචකයක්.නියඟය, වැස්ස, ගංවතුර, වන අලින්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, වී ගැනුම් මිළ අඩු වීම් ආදි විවිධ දෙයින් වරින් වර මෙම චක්‍රයේ සමතුලිතතාව බිඳී යනවා. විශේෂයෙන් ගංවතුරත්, නුසුදුසු කල එන නියඟය හා වැස්සත් නිසා වී වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමත් සිදු වෙනවා.

දැනට වසර පහළොහකට විස්සකට පමණ පෙර අතීතයේ මේ පළාත් වල ගොවි මහත්වරුන් කෘමිනාශක පානය කර දිවි නසා ගැනීමේ සිද්ධීන් එක පිට එක වාර්තා වන්නට වුණා. එකල මෙය සාමාජීය ගැටළුවක් වන තරමට දුර දිග ගියා.

‘මරුවැල‘ ටෙලිනාට්‍යෙ යේ මෙම ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා මගේ සිත විනිවිද යන්නේ ඒ අතීත ව්‍යසනය වෙතයි.

තුන් බිය පැමිණ තුන්කල් දුටුව සිහින දැන
රන්ගිරි මුදුන රන් මාලිගය ගිනි තියන
රන් වන් දෙදළ දන් දෙනු බැරිව දෙදණ ඇන
නුඹ තනියෙන්ද මගෙ ඇත් රජුනෙ අද මෙතැන

මේ ගීතයෙන් කියවෙන ඔහු සාමාන්‍ය ගොවියකු නොවෙයි, ගොවි රජෙක්. අනෙක් ගොවියන් අතර ප්‍රජා නායකයකු, ප්‍රභූවරයකු මෙන් විසුව පුද්ගලයෙක්. කිසිසේත් බලාපොරොත්තු නොවූ අකල් හෙණපතයකින් ඔහුගේ සියළුම සැළසුම් බිඳ වැටෙනවා. වගාවන් සඳහා ලබා ගත් දැවැන්ත බැංකු ණයක් වෙනුවෙන් ඔහුගේ ගොඩ මඩ ඉඩම් සින්න වීමට යනවා. ඒවා නැති වීමත් සමග ඔහුගේ සාමාජීය වැදගත් කමත් නැතිව යනු ඇති. ඔහු එසේ බිඳවැටී ඇති බව-නැතහොත්, දැනටමත් දිවිනසාගෙන ඇති බව- ගීතයේ මෙම පළමු කොටසින් කියැවෙනවා.

රන් කරලින් ම රන් ගෙන තැනුව රන් කිරුළ
පළඳා ගන්ට මඩ සෝදන්ට නැහැ වතුර
පාළුයි කමත වෙල් ඉපනැල්ල සිරි යහන
අම්බරුවන්ට ණය තලු මරන පින පමණ

ඔහුට සිදු වූ විනාශයට හේතු පාදක වන්නට ඇත්තේ වතුර නොලැබීමක්. එය ස්වාභාවික උපද්‍රවයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වන්නට ඇති. සිව්වන පදයේ ඇත්තේ කිසියම් ව්‍යංගාර්ථයක් බව පෙනෙනවා. රචකයා විසින් උපහාසයට ලක් කරන්නේ, ගොවියන් මුහුණ දෙන විවිධ ගැටළුවලට විසඳුම් නොදී , ගොවියන්ට ලබා දුන් ණය ප්‍රමාණ ගැන පමණක් උදම් අනන බලධරයන් ව විය හැකියි.

රන් ගාවා ද මුතු අමුණා ද අඟ මුදුන
කොළ මඩවා ද ගිනි වැදුනාම සුබ සිහින
උල්පත ගාව තුන්පත් රෑන දිව ගිලෙන
දෙවියනි නාත පාළුයි තාම මල් යහන

‘අං දෙක රන් ගාවඤ්ඤයි‘ ආදි වශයෙන් අපේ ජන සාහිත්‍ය යේ සඳහන් වන්නේ ගොවිතැනට උදව් කළ ගවයන්ට පවා කළ ගුණ සළකන, යුතුකම් ඉටු කරන අපේ සම්පුදායේ යහපත් ගුණාංගයි. එහෙත් සුබ සිහින .ගිනි වැදුණු කල යුතුකම් ඉටුකරන්නේ කෙසේද?

මෙම කොටසේ තුන් වන පදයෙන් ඔවුනට සිදුව ඇති සියලු දෙය කැටි කොට දක්වමින් ‍ගීතයෙන් ජනිත කරවන රසය එහි උච්චතම අවස්ථාව කරා රැගෙන එනවා. රචකයා මේ ගොවි පවුලට රූපකයක් ලෙස දක්වන්නේ තුනපත් රෑනක්. එනම්, සාමාන්‍ය අය නොවේ, ඔවුන් ඇතුන් වැනි අය. කවදාවත් මෙසේ වනු ඇතැයි නොසිතුනු වැදගත් පවුලක්. පිපාසයෙන් ඔවුන්ගේ දිව ගිලෙන්නේ උල්පත ත් ළඟ තිබිය දීයි. එනම් මුළු මහත් සමාජය ම එකවර ගොදුරු වූ ව්‍යසනයකට නොවේ. ඔවුන් මුහුණ පා ඇත්තේ. වට පිටාවේ, සමාජයේ, රටේතොටේ සාමාන්‍ය අන්දමින් මුදල් හදල් ගැවසෙද්දී ඔවුන් පමණක් “කම්මුතුයි“.

මේ පදමාලාව හරීම අපූරුයි. එහෙත් මෙය ගායනා කරන ආනන්ද පෙරේරා ගායන ශිල්පියාණන් අපේ ජන ගී ආරට සමීප ශෛලියකින් මෙම පදමාලාවට ‘ප්‍රාණය‘ දෙනවා. සංගීත නිර්මාණයත් එම හැඟීම් මාලාව වඩ වඩාත් තීව්‍ර කරනවා. මෙතෙක් දුර මා කී දේ නිවැරදිදැයි තීරණය කිරීම සඳහා ඔබ මේ ගීතය අසා බැලිය යුතු ම වෙනවා. ඒ සඳහා ලිංකයක් මෙහි පහතින් දක්වා ඇති.

මා කොතෙක් උත්සාහ කළත් මෙහි ගේය පද රචකයා හා සංගීත නිර්මාණ ශිල්පියා කවුදැයි සොයා ගැනීමට හැකි වූයේ නැහැ. ඔබ එම තොරතුරු දන්නේ නම් ඒ අයට කරන සාධාරණයක් ලෙස මෙහි ඒ අයගේ නම් සඳහන් කරන්න.

මා නැවතත් සඳහන් කරනවා, මරුවැල ටෙලිනාට්‍යය තුල මේ ගීතයේ අවස්ථා සම්බන්ධය මා දන්නේ නැහැ. එය මා කියන කථාවට වඩා වෙනස් එකක් වන්නටත් පුළුවනි. මා විස්තර කළේ මට දැනෙන හැඟීමයි. සමහර විට ඔබ එම ටෙලිනාට්‍යය නරඹා ඇති.


http://sarigama.lk/profile/song_profile/3024/thun-biya-pemina-ananda-perera-mp3-song-download-online-listen

සංහිඳේ දෙවියන්ගෙ පාමුල......


බන්ධුල සිසිර කුමාර

Image may contain: tree, bird, sky, plant, outdoor and nature


සංහිඳේ දෙවියන්ගෙ පාමුල..........

ගෙවී ගිය යුගයක,කොළඹ නගරයට සමීප ව දිවි ගෙවද්දී මා ඒ අත් දකින්නේ අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය යයි සිතීමි. එහෙත් කලකට පසු නගරයෙන් බැහැර ව, උතුරු මැද පලාතේ රාජකාරියෙහි යෙදෙන විට එහි ජන ජීවිතය මා එතෙක් අත්දුටු ජීවිත අත්දැකීම්වලින් කෙතරම් නම් දුරස්තරදැයි දුටුවෙමි.

විෂම කෘෂිකාර්මික ජීවන චක්‍රයකට හසුව දිවි ගෙවන ඒ ජනතාව නිරන්තරයෙන් පෙළන ලද්දේ පොදු වූ ආර්ථික පීඩනය පමණක් ම නොවේ. වගාවන් සඳහා වැය වන අධික වියදම්, නිෂ්පාදන සාධාරණ මිළකට විකුණා ගත නොහැකි වීම, වන සතුන්ගෙන් වගා බිම් රැක ගැනීමේ අරගලය ආදි අනේක විධ විශේෂිත දුක් ගැහැට විඳින ඔවුනට ගම් වදින වන අලින් හමුවේ දිවි ගලවා ගැනීමේ අරගලයක ද යෙදීමට සිදු වෙයි.

නගරයේ වෙසෙද්දී හීලෑ අලි ඇතුන් පමණක් දැක තිබූ මම ද, වන අලින් මුහුණට මුණ ගැසුණු, නිවස වටා රාත්‍රිය මුළුල්ලේ වන අලින් හක්කලං කළ, බිහිසුණු අවස්ථාවනට මෙහිදී මුහුණ පෑවෙමි.

මේ කටුක ජීවන පැවැත්ම ගෙන යන මිනිසුන් සිය දුක්ගැනැවිලිවලට සහනයත් ආරක්ෂාවත් පතා වනාශ්‍රිත දෙවිදේවතාවනට බාරහාර වන අන්දම විමලරත්න කුමාරගමයන්ගේ "අයියනායක" පැදි පෙළ තුලින් අපි දැක ඇත්තෙමු.

අද එදාටත් වඩා වන අලින්ගෙන් සිදුවන ගැහැට වැඩි වී ඇත්තේ දිගින් දිගට ම වනාන්තර එළි පෙහෙළි වීම හේතුවෙන් අලි ඇතුන්ගේ පාරම්පරික වාස භූමි අහිමි වීම නිසාවෙනි. මේ නිසා අලි ඇතුන්ට අසාධාරණයක් වි ඇති බව සැබැවි. මේ නිසාදෝ බොහෝ දෙනා වැඩියෙන් කථා කරනු ඇසෙන්නේ අලි ඇතුන්ට සිදුවන හිරිහැර ගැනය. බොහෝ විට කලා නිර්මාණ බිහි වන්නේ ද ඒ ගැන ය. අලි ඇතුන් ගම් වැදීම නිසා ගම් වැසියන් විඳින පීඩාවන් අනන්ත වුව ද ඒ ගැන ඇසෙනුයේ අඩුවෙනි. ඒ දුක කියැවෙන කලා නිර්මාණ බිහි වන්නේ ද අඩුවෙනි.
එවන් පසු බිමක මෑතකදී ඇසූ ගීතයක් මා සිත සසල කිරීමට සමත් විය.

පෙරදී කීවාක් මෙන් ම, මේ දුෂ්කර ජීවන ප්‍රවෘත්තිය ගෙන යන ජනයාට සිය දුක් ගැහැටට පිළිසරණක්, පිහිටක් ඉල්ලා යාමට ඇත්තේද, ගම අසල වූ සංහිඳක් පමණි. තම පළමු දරු උපත බලාපොරොත්තුව හිඳින ගැබිණි මවක් දෙවියන්ගෙන් සහනයක් පතා සංහිඳ වෙත ගොස් එන අතර වැව අසලදී වන අලියකු විසින් පාගා මරා දමයි. ඇගේ සැමියාගේ වේදනාලාපය මේ ගීතය තුලින් ඉදිරිපත් වෙයි. ගීතයේ වචනයක් වචනයක් පාසා ඒ සිදුවීමේ බියකරු බව චිත්‍රණය වෙයි. "ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ" යන පෙළ, එය එහි උපරිමයට රැගෙන යයි. දුෂ්කර ආහාර වළඳන ඔවුන්ගේ දිවි පෙවෙත, ඇගේ සැමියාගේ බිඳීගිය අනාගත සිහින මේ පද මාලාව තුල අප වෙත සන්නිවේදනය කරන්නේ අපුර්ව අන්දමිනි.

සුජීව හෙට්ටිතන්ත්‍රි ගේය පද රචනය කළ මෙම ගීතය සුනිල් දයානන්ද කෝනාරයන් අප හැර යාමට පෙර සංගීතවත් කළ අවසන් ගීතය ද වෙයි. අද "අපේ කම" රැඳුනු, යුගයේ කටහඬ වන සමන් ලෙනින් මෙම ගීතයට උපරිම සාධාරණය ඉටු කරයි.

මෙහි දැක්වෙන ලිංකුව ඔස්සේ ඔබට මේ ගීතය ඇසීමට හැකිවේවි. 
(මේ ගීතය මට පෙන්වූ ධනේෂ් විසුම්පෙරුම සොයුරාට ද මෙහිදී ස්තුති කරමි)

වැරදි පාර... - බන්ධුල සිසිර කුමාර - මෙය, ශාස්ත්‍රීය පර්යේෂණයක් නොවෙයි. කාලයක් තිස්සේ සමාජය පිළිබඳව විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමෙනුත්, යම් යම...