Thursday, January 18, 2018

බලය සහ සුසුම

බන්ධුල සිසිර කුමාර -



බලය මහා පුදුමාකාර දෙයක්. බලය තිබෙන තැන අකටයුතු කම්, අසාධාරණකම්, බලහත්කාරකම් සිදු වීමේ ඉඩක් තිබෙනවා. මගේ අදහස මෙය සදාකාලික සත්‍යයක් බවයි. අනෙක එවැනි දෑ අනිවාර්යයෙන් ම සිදුවන බව සහතික කරන්න බැහැ. සිදු වීමේ සම්භාවිතාවක් තිවෙන බව පමණයි කිව හැක්කේ.

දැන් ඔබ අතුරින් කෙනෙකු කියනු ඇති, අසවල් සමාජ දේශපාලනික වටපිවාව තුල පමණයි එවැනි දෑ සිදුවන්නේ, අසවල් ආකාරයේ සමාජයක එවැනි දෑ සිදු වන්නේ නැතැයි කියා. විවිධ ආකල්පයන්ගෙන් සැදුම්ලත් විවිධ සමාජ ස්තර, විවිධ දේශපාලනික මතවාද, විවිධ පුද්ගල චර්යා හා ගැටෙමින්, දීර්ඝ කාලයක් තිස්සේ මා ලද ජීවිතාවබෝධයට අනුව නම්, මෙයට කාල භේදයක්, සමාජ දේශපාලන පරිසරය ආදි වූ වෙනත් කිසිම භේදයක් අදාල වන්නේ නැහැ. ගෝත්‍රික සමාජ, රාජාණ්ඩු, වැඩවසම්, යටත් විජිත, ධනවාදී, සමාජවාදී මේ සියලු සමාජ දේශපාලනික වටපිටාවන් තුල ම බලය කේන්ද්‍රගත වූ ස්ථාන තිබෙනවා. ඒ නිසා සෛද්ධාන්තික ව කෙසේ කීවද ඉහත කී ආකාරයේ වැරදි සිදු වීම වැලැක්විය නොහැකියි. එවැනි වැරදි සිදු නොවන පද්ධතියක් සැලසුම් කිරීම ද ප්‍රායෝගික වන්නේ නැහැ. මක් නිසාද, අප සියලු දෙනා ම මිනිසුන් නිසා.

මා මේ පූර්විකාව ගෙන හැර දැක්වූයේ, ඇසෙන ඇසෙන වාරයක් පාසා මගේ හද සසල කරන තවත් අලුත් ගීතයක් ගැන සාකච්ඡා කිරීමටයි. අප කලක් තිස්සේ එක ම දිසාවක් ඔස්සේ නැවත නැවතත් දුටු යමක් , වෙනත් කෝණයක්, වෙනත් දිසාවක් ඔස්සේ බලා නිමැවූ නිර්මාණයක් ලෙස මෙය හැඳින්වීමට ද හැකියි. මීට පෙර රවි සිරිවර්ධනයන් විසින් ද අදාල ප්‍රස්තූතය දෙස මේ කෝණය ඔස්සේ බලා, ඔහුගේ "ලද නිලුපුලන් - රැහැනින් වෙලී" ගීතය රචනා කර තිබුණා.

මේ ගීතයට පසුබිම් වී ඇති කතාව රාජාණ්ඩු යුගයක සිද්ධියක්. එසේ වූ වා කියා එම යුගයට හෝ එම දේශපාලන ව්‍යුහයට ශාප කිරීම නිශ්ඵලයි. මා කලින් කී පරිදි, මෙය ඕනෑම පරිසරයක ,ඕනෑ ම යුගයක සිදු විය හැකියි. ගීතයේ අවසාන කොටස තුල ද ඒ බව ව්‍යංගයෙන් පැවසෙනවා.

සීගිරි පර්වතය ඇසුරු කරගෙන ඉදිවී ඇති, දැවැන්ත රජ මාළිගා සංකීර්ණය වෙත රූප සුන්දරියක ලෙසින් රැගෙන එන ලද යෞවනියක්. ඇය රැගෙන විත් ඇත්තේ ගැමි ගෙදරක සිට. බලවතාගේ කාම වස්තුවක් වීම ට සිය දියණිය රැගෙන ගිය ද, ඒ බලය හමුවේ කිසිදු විරෝධයක් පෑමට නොහැකි වූ අසරණ පියකුගේ සෝ සුසුම මේ ගීතය පුරාවට ම අප හදෙහි ගැටෙනවා.


අපේ පැදුරෙන් මිදී කෙල්ලට

වාසලට යන්නට වුනා

අනේ ඒකිගෙ කැකුළු ඇඟ කඳ

හැම වෙලාවෙම සිහි වුනා

මාළිගාවෙන් අපේ ගෙපැලට

තෑගි බෝගත් හිමි වුනා

දුහුල් සලු පිළි සිහිල් ජල කෙළි

දුවට හිමි බව සැළ වුනා


පියකුට, ලොකු මහත් වූ දුවක යනු තවත් දරුවකු පමණක් නොව පූජනීය කරඬුවක් වැනි වූ දෙයක්. ඒ පූජනීය වස්තුව කෙළෙසීම පිණිස ඔහුගේ ඇස් ඉදිරිපිටදීම ගෙන ගොස් ඒ වෙනුවෙන් ගෙවන මිළ මුදල් තෑගි බෝග වලින් කුමන ඵලයක් ද?


මහා සීගිරි ගලේ මුදුනක

උඹේ රුව සිත්තම් වුනා

එය බලන්න ම හොරෙන් හවසක

මාත් එතැනට ගොඩ වුනා

කරඬුවක් වගෙ උඹේ උඩු කය

අනෙක් උන් මැද දිලිසුනා

මගේ හුස්මක් වැදී වෙන්නැති

දුවේ කලු ගල හෙලවුනා


රජුන් අත කෙළි බඩුවක් වනු පිණිස නිවසින් රැගෙන ගිය දියණිය දැක ගැනීමටවත් නොලැබෙන පසුබිමක, මාළිගා පරිශ්‍රය තුල සීගිරි ගල් තලය මත සිය දියණියගේ සිතුවමක් ඇඳ ඇතැයි යන ආරංචිය ලද පියා, ජීවිත අවදානම ද නොතකා අධි ආරක්ෂිත ප්‍රදේශයට ඇතුලු වී එය නරඹනවා. එහි තම දියණියගේ නිරුවත් උඩුකය චිත්‍රණය කර ඇති අයුරු දකින පියාගේ ලයෙන් නැගුණු සුසුමින් කලු ගල සෙලවු‍ණේ යයි කීම අතිශයෝක්තියක් ද?


පපුව ටික ටික මෙලෙක් වෙන කොට

එන්න වෙයි මං දන්නවා

උඹේ දූවිලි සුවඳ තැවරුණ

පැදුර තාමත් තියෙනවා

දැනුත් සීගිරි සිංහයා

කට ඇරන් ඉන්නව පේනවා

ඒ ඉසව්වෙන් යද්දි මං

පොඩි කෙල්ල හංගා ගන්නවා


ඇගේ සිරුරෙහි නැවුම් බව කාලයත් සමග අඩු වී යද්දී සියලු සැප සම්පත් අහිමි ව ආපසු සිය පැල්පත කරා ඒමට සිදුවන බව දන්නා පියා, ඕනෑ ම මොහොතක ඇය ආපසු භාර ගැනීමට සූදානම් ව සිටින බව කියනවා. ඒ කියමන ඉතා අපූරුවට විනීත ලෙස හා ගැමි කටවහරට උච්ත ලෙස ඉදිරිපත් කිරීම ම පද රචකයාගේ ප්‍රතිභාවත් භාෂා භාවිතයේ නිපුණත්වයත් විදහා දක්වන නිදසුනක්.

දැනුත් සීගිරි සිංහයා කට ඇරන් ඉන්නවා පේනවා.... යනාදී කොටස තුල ව්‍යංගාර්ථ දෙකක් මා දකිනවා. එක් ව්‍යංගාර්ථයකින් දැක්වෙන්නේ තම ගැහැණු දරුවන් මාළිගය කරා රැගෙන යාමේ අවදානම තව දුරටත් පවතින බැවින්, පියා විසින් අනෙක් දියණිය සඟවා රැක බලා ගන්නා බවයි.

වඩාත් ම ගැඹුරෙහි වූ අනෙක් ව්‍යංගාර්ථයෙන් දැක්වෙන්නේ මා මුලින් කී යථාර්ථය යැයි මා සිතනවා. එනම් අතීතයේ වෙනත් යුගයන් හි ද, වර්තමානයේ යෙන් ම අනාගතයෙහිද බලය ඇත්තන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් බලය නොමැති අසරණයන් ගොදුරු වීමේ අවදානම දිගින් දිගට ම ඇති බවයි.

බලය හමුවේ අසරණ වන පියකුගේ හැඟීම් සමුදාය ඒ අයුරින් ම ප්‍රතිනිර්මාණය කර ඇති මේ ගීතයේ පද රචනය තුලින් මා දකින්නේ අති විශිෂ්ඨ ගණයේ ප්‍රතිභා ශක්තියක්.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල පද රචනය කර ඇති ‍මේ ගීතයට සමන් ලෙනින් විසින් ප්‍රාණ වායුව පිඹ, අප හදවත්වල ජීවත් කරවන බව ගීතය අසන විට ඔබට හැඟේවි. එසේ ම අසරණ පියකුගේ සුසුමක්, අපේ හදවතේ ගැඹුරුම පත්ල කරා ගෙන යාමට, දර්ශන රුවන් දිසානායකගේ සංගීත නිර්මාණය සමත් වී ඇති අන්දම ද ඔබ අත් දකීවි.

මෙම නිර්මාණය මා දකින්නේ වර්තමානයේ විශිෂ්ඨයන් තුන් දෙනෙකුගේ අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙසයි.

ඔබ ගීතය අසා බලා, මා නිවැරදිදැයි තීරණය කරන්න.

මෙන්න එහි සබැඳිය...

No comments:

Post a Comment

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...