Thursday, April 5, 2018

අසම්මතයේ පිපුණු මල්

- බන්ධුල සිසිර කුමාර -



මිනිසුන් ප්‍රසිද්ධියේ කථා බහ කිරීමට තරමක් මැළි වන මාතෘකාවක් පසුගිය කාලයෙහි මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වනු අප දුටුවා. ඒ සමරිසි පුද්ගලයන්, ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳ නෛතික ගැටළු ආදිය සම්බන්ධවයි. 

සමාජයකින් 10% ක පමණ ප්‍රමාණයක් සමරිසි පුද්ගලයන් (ගැහැණුන් හා පිරිමින්) විය හැකි බව කිසියම් විද්වතකු විසින් පවසා තිබුණා. එහෙත් එහි සත්‍යාසත්‍ය භාවය හෝ මූලාශ්‍රය සෙවීමට මා මෙහිදී වෙහෙස නොවන්නේ එය මෙම ලිපියේ ප්‍රස්තුතයට අදාල නොවන නිසයි. එසේ ම එබඳු පුද්ගලයන් වෙනුවෙන් හෝ ඔවුනට එරෙහි ව හෝ අදහස් ප්‍රකාශ කිරීම මෙහි අරමුණ නොවෙයි.

සමාජයේ පවතින, සහ අතීතයේ සිට පැවතගෙන එන සමහර ගී, ජනකවි ආදිය පිළිබඳ ව විමසුම් ඇසින් බැලීමේදී සමරිසි සාහිත්‍යයක් ලෙස නම් කළ හැකි යමක් ද පවතින්නේ යයි සිතෙනවා. මේ කතිකාව ඒ ගැනයි.

මෙබඳු නැඹුරුවක් පෙන්නුම් කෙරෙන ගීත කිහිපයක් ඇති අතර ඉනුදු කැපී පෙනෙන එක් ගීතයක් පිළිබඳ ව අවධානය යොමු කරමු.

(මෙහිදී සාකච්ඡා කෙරෙන ගීතයේ ගේය පද රචිකාවිය එබඳු තේමාවක් අරමුණු කරගෙන මෙම ගීතය රචනා නොකළා විය හැකියි. මා අදහස් කරන්නේ, අහඹුවකින් හෝ මෙම ගීතය නිර්මාණය වී ඇත්තේ එවැන්නක් මනා ව විවරණය කෙරෙන පරිදි බවයි. මෙම ලිපියෙන් එය සාකච්ඡාවට ගැනීමෙන්, කිසියම් අපහසුතාවක් හෝ සිත් වේදනාවක් ඇති වේ නම් ඒ පිළිබඳ ව එතුමියගෙන් සමාව අයදිනවා.)

ගහක මල් පිපිලා 
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
සිතක මල් පිපිලා 
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි
මා තවම නොදන්නෙමී
නුඹට හිත බැඳි කාරණේ
මම තවම සොයන්නෙමී


මෙම කොටසින් කියැවෙන අන්දමට, මෙම සිත් බැඳීම කුමක් නිසා සිදු වූයේ දැයි ඔහුට ම සිතා ගන්නට බැහැ. එසේ වූයේ මන්දැයි යන්න ඔහු තවමත් සොයනවා. මෙම බැඳීම සම්මත එකක් වූයේ නම් මෙබඳු පැනයක් නැගෙන්නේ නැහැ. ස්වභාවිකව ම සිදු වන ආකාරය එය නිසා.


කතරෙ වැලි කැට හිරු ට පෙම් බැඳ 
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් 
ආදරෙයි පණ මෙන්
ලොවට නො‍පෙනෙන අරුම සෙනෙහස 
ඒවගෙයි මනරම්
කරනු බැරි තහනම්

ලෝ දහම මෙ ආකාර වුව ද ඊට හාත්පසින් විරුද්ධ බැඳීම් ඇති බව ද, තම "අරුම" සෙනෙහස ද එ ආකාර බව ද, එය ලොවට නොපෙනෙන බව ද ඔහු පවසයි. සම්මත ආදරයක්, "අරුම" සෙනෙහසක් නොවන්නේ එය පොදු සමාජයට වටහා ගත හැකි හා සොබා දහමට එකඟ වූවක් නිසයි. එසේ ම ඔහුගේ ආදරය ලොවට නොපෙනෙන්නේ එය සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන නිසා සඟවාගෙන සිටීමට සිදුව ඇති බැවිනුයි. දැනට ක්‍රියාත්මක නීතිය යටතේ සමරිසි හැසිරීම් නීති විරෝධීයි. ඒ ආදරය තහනම් කළ නොහැකි බව ඔහු විශේෂයෙන් කීමට ද හේතුව එය බවයි මා සිතන්නේ. ගැහැණු - පිරිමි ආදරයකට බාධා, විරෝධතා අකුල් හෙළීම් වැනී දෑ ඇති විය හැකි නමුත් "තහනම" යන්න ඒ විෂයෙහි අදාල වන්නෙ නැහැ.


සඳට සදහට සෙනේ පෑ මුත් 
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එක ද තරුවක් 
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය 
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්


ගීතයේ දෙවන කොටස වෙන් ම, මෙම තුන් වන කොටසින් ද ඇසෙන්නේ, සොබා දහමේ සම්මත ආකාරයට පටහැනි ව ගිය අයකු ඉතා කලාතුරකින් හෝ සිටිය ‍නොහැකි ද යන්නයි. විද්‍යාත්මක පසුබිම අනුව, හිරු ද තරුවක් බව අප දන්නවා. එය ද සැලකූ විට, "හිරුට පෙම් බැඳි එක ද තරුවක් සිටිය නොහැකිද යම්" යන පාදයෙහි අරුත වඩාත් තීව්‍ර වනවා.

ඔහු තුල ඇති වූ ප්‍රේමය, ඊට බඳුන් වූ පුද්ගලයාට ද වැටහෙන්නේ නැහැ. එසේ වන්නේ එය බලාපොරොත්තු නොවන, අසාමාන්‍ය ආකාරයේ එකක් නිසයි. එය දැන ගත හොත් ඔහු පුදුම වේ යයි කියනවා. සමාජ සම්මත ආකාරයේ ආදරයක, අනෙකා තුල පුදුමය ඇති කරවන ආකාරයේ යමක් තිබිය නොහැකියි.

සමරිසි සාහිත්‍ය යනුවෙන් සාහිත්‍යාංගයක් වේ නම් ඊට ඇතුලත් කළ හැකි ජන කවි ද අපේ සාහිත්‍ය තුල තිබෙනවා. පහළ ඌවේ ජන කවි නමැති ජනකවි එකතුවෙහි, එම ප්‍රදේශයේ ජන කවි විවිධ මාතෘකා යටතේ වර්ග කර තිබෙනවා. එහි "ස්ත්‍රී ජාති ගුණ නැත බණ පොතේවත්" යනුවෙන් නම් කර ඇති කාණ්ඩය තුල ඇතුලත් ව ඇත්තේ මෙබඳු නැඹුරුවක් සහිත ජන කවි රැසක්. පහතින් දක්වා ඇත්තේ එහි වූ එක් ජන කවියක්.(දැනට දශක දෙකකට පමණ ඉහත විකාශනය වූ "ඉමදිය මංකඩ" ටෙලි නාටකයෙහිද මෙම ජන කවිය ඇතුලත් ව තිබුණා මතකයි.)


ගෑණු උපන්නේ මේ රට කඹුරන්             ට 
ගෑණු උයන බත් මාළුත් නොදකින්          ට
පිරිමි පිරිමි එක නුවරක උපදින්               ට
ගෑණු නැති රටක් නැද්දෝ මට යන්         ට


ඉහත කී ජන කවි එකතුවෙහි, අදාල කාණ්ඩයේ සියලු කවිවල දැකිය හැකි පොදු ලක්ෂණයක් ද තිබෙනවා. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තමන් තුල ඇති අකැමැත්ත මිස සාමාජීය පීඩනයක් පිළිබඳ කිසිදු අදහසක් ඒවා තුලින් ප්‍රකාශ නොවීමයි ඒ. මෙම ජන කණ්ඩායම්වල විමුක්තිය වෙනුවෙන් යයි හඬ නගන සංවිධානත්, ඔවුන්ගේ අවශ්‍යතාවනට එරෙහි වූ නීතිමය පසුබිමකුත් යන අන්ත දෙකින්ම බැහැර වූ අතීත සමාජයෙහි මෙබඳු ගැහැණුන් හා පිරිමින්, සම්මත සමාජ හර පද්ධතීන් හා රීතින් ප්‍රසිද්ධියේ බිඳ නොහෙළමින් සිය සිතැඟියාවන් ලොවට නොපෙනී ඉටු කර ගැනීම ඊට හේතුව වූවා විය හැකියි.

මුලින් සඳහන් කළ ගීතය, මේ සබැදිය ඔස්සේ අසන්න පුළුවන්.

4 comments:

  1. මේ ගීතයේ ඇත්තේ එවන් අරුතක් නොවේ. හිනා යනවා.....

    ReplyDelete
  2. ඔබ ද නිවැරදි විය හැකියි. අර්ථ දැක්වීම් කිහිපයක් හා කදිම ට ගැලපෙන තවත් ගීත ගණනාවක් තිබෙනවා. මා අදහස් කරන්නේ මේ ගීතය ඒ අදහස සමග කදිමට ගැලපෙන බව පමණයි. ඇත්තෙන් ම ගේය පද රචිකාවිය මෙය රචනා කරන්නට ඇත්තේ වෙනත් සංකල්පනාවන් මත වෙනත් අදහසක් හැඟෙන පරිදි විය හැකියි. ඕනෑ ම දෙයක් පිළිබඳ ව පූර්ව නිගමනවල නො ඉඳ නිදහස් මනසින් විමසීම මගේ ක්‍රමයයි. ඒ නිසා මට මෙම නිර්මාණය විවිධ දිසාවන් ඔස්සේ දැකිය හැකියි.

    ReplyDelete
    Replies
    1. ගීතයක් අර්ථදැක්වීම පුද්ගලානුබද්ධ බව පිලිගන්නවා. නමුත් අර්ථය විකෘති වීමෙන් රස විඳීමේ බාධාවක් සහ අදහස සම්ප්‍රේෂණය වීමේ දුර්වලතාවයක් ඇතිවෙන්න පුළුවන්.

      ගීතයක් විතරක් නෙවෙයි, ඕනෑම නිර්මාණයක් යලි අර්ථ දැක්වීමේදී රචකයාගේ අදහස අතික්‍රමණය වෙන්න තියෙන ඉඩ වැඩියි. එවිට එහි නිර්මාපකයාත් මෙතෙක් එය වෙනස් විදියට රසවිඳි අයත් සෙලවෙනවා. එය වරදක් නොවේ කියා පිලිගන්නවා. මේ ගීතයේ තියෙන්නේ කාටවත් වැටහෙන්නේ නැති ප්‍රේමනීය හැගීමක් ගැන. එතැනදී කාටවත් තේරෙන්නේ නැහැ කියන එක තමයි ඔබ අල්ලා ගන්නේ. නමුත් හිතන්න ඉතාම වැඩිහිටි පිරිමියෙක්, තමන්ට වඩා ගොඩක් බාල තරුනියෙක්ට ප්‍රේමෙන් බැඳුනොත් - එයත් කාටවත් වැටහෙන්නේ නැති එකක් වෙනවා නේද? නැතිනම් විවාහක දෙදෙනෙක් හෝ වයසින් මුහුකුරාගිය ගැහැණියකට පෙමින් බැඳෙන තරුණයෙක්?? මේ ඔක්කොම 'ලොවට නොහැඟෙන ප්‍රේම ' තමයි. සමරිසි කියා හිතන්න බැහැනේ!

      එතැනදී කියන්නේ ලෝක දෙකක ඉන්නා දෙන්නෙක් එකිනෙකාට කරන ආදරේ ගැන.

      // සඳට සදහට සෙනේ පෑ මුත්
      උදුල තරු කැටයම්
      හිරුට පෙම් බැඳි එක ද තරුවක්
      සිටිය නොහැකිද යම්
      //
      කියන්නේ ඒ නිසා නොවේද?

      Delete
  3. ඇත්තෙන් ම ඔව්. මෙය ලිංගිකත්වය පමණක් නොව, වයස, සමාජ තත්ත්වය,ඥාතිත්වය ආදි අනෙකුත් ඕනෑ ම අසම්මතයන් සම්බන්ධවත් අර්ථ දැක්විය හැකියි. පද රචිකාවිය අදහස් කරන්නට ඇත්තේ එබඳු වෙනත් අසම්මතයක් විය යුතුයි. මා කියන්නේ මෙය ලිංගික අසම්මතය හා අපූරුවට අර්ථ දැක්වෙන බව පමණයි. ඇත්තෙන් ම මේ ලිපියේදී මගේ අදහස වූයේ හුදෙක් මේ ගීතය ගැන රස භාව විවරණයක යෙදීම ම නොවෙයි. අහම්බයකින් හමු වූ ජන කවි එකතුවක් නිරීක්ෂණය කිරීමේ දී සමරිසීන්ගේ අදහස් උදහස් ද සඳහන් වන ජනකවි කාණ්ඩයක් ද දැක ගත හැකි වූයෙන් එවැනි සාහිත්‍යාංගයක් ද පැවත ඇති බව, කියවන සමාජය අතරේ බෙදා හදා ගැනීමයි.

    අප වටහා ගන්නා අරුත හැරුණු විට සමරිසි අර්ථ දැක්වීම් ඉදිරිපත් වී ඇති තවත් ගීත ත් මා අසා තිබෙනවා.

    එසේ ම බාහිර අර්ථය හැරුණුු විිට වෙනත් අර්ථ දැක්වීම් ( ලිංගික නොවන) සහිත ගීත අතරට රන්බණ්ඩා සෙනෙවිරත්න ශූරීන් ලියූ දවසක් පැළ නැති හේනේ ගිතය පවා ඇතුලත්. ඒ අනෙක් අර්ථ සඳහාත් එය කදිමට ගැලපෙනවා. මා සිතන්නේ, එක් අතකින් එය නිර්මාණ ශිල්පියාගේ ප්‍රතිභාව බවයි.

    එසේ ම, අප මහත් සේ රස විඳින සමහර ගීත වලින් කියැවෙන සැබෑ කතාව වැටහෙන්නේ නිර්මාණ ශිල්පියා විසින් එය බාහිර වශයෙන් සඳහන් කළ විට දී පමණයි. රන්බණ්ඩා සෙනෙවිරත්න ශූරීන් ම ලියූ "උල ලේනෝ" ගීතයේ සැබෑ කතාව මා ද දැන ගත්තේ එක් දිනක් එතුමා විසින් ම එය පැහැදිළි කළ පසුයි. එහෙත් එය දැන ගැනීම හෝ පෙරදී එය නොදැන සිටීම යන කරුණු මත මා ඒ ගීතයෙන් හැම දාමත් ලැබූ එස වින්දනය වෙනස් වූයේ නැහැ.

    ඒ නිසා විවිධ අර්ථ දැක්වීම සමාජගත වීම මත, නිර්මාණයක් වඩා කතා බහට ලක් වීම, වඩා ප්‍රසිද්ධියට පත්වීම සිදු වනවා මිස ඊට හානියක් වේ යයි මා සිතන්නේ නැහැ.

    ReplyDelete

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...