Showing posts with label Thoughts. Show all posts
Showing posts with label Thoughts. Show all posts

Tuesday, April 15, 2025


වැරදි පාර...



- බන්ධුල සිසිර කුමාර -


මෙය, ශාස්ත්‍රීය පර්යේෂණයක් නොවෙයි. කාලයක් තිස්සේ සමාජය පිළිබඳව විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමෙනුත්, යම් යම් මූලාශ්‍ර පරිශීලනය කිරීමෙනුත් ලද කරුණු ඔස්සේ සිදු කෙරෙන විග්‍රහයක්. ඒ නිසා බොහෝ විට මෙය ආනුභවික (empirical) මට්ටමේ විග්‍රහයක් කිව්වොත් වඩාත් නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි මේ තොරතුරු අනුසාරයෙන් අවශ්‍ය කෙනෙකුට ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන්නත් බැරිකමක් නැහැ.

මගේ අද කතාවත් ටිකක් දුරට අතීතයට සම්බන්ධයි. හැබැයි පෙර ලිපි වලින් සාකච්ඡා කෙරුණු තරම් ඈත අතීතය නොවේ. සියවසක් හෝ ඊට මඳක් අඩු කාලයක කතාවක්.

කෙනෙකුට හිතෙන්න පුළුවන් අතීතය සම්බන්ධ කර නොගෙන යමක් කියන්නටම බැරිද කියා.

ඇත්තටම එහෙම කියන්න බැහැ. ගැටලුවක් තිබේ නම්, ඒ ගැටලුව විසඳිය යුත්තක් නම්, පළමුව ඊට හේතු සෙවිය යුතු වෙනවා. ඒ සඳහා ගැටලුව ඇති වූ ආකාරය විග්‍රහ කරගත යුතුයි. 

ඒ වගේම, කිසිදු පරපුරක් අවමානයට හෝ හාස්‍යයට ලක් කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු නොවන බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ විග්‍රහයේදී කිසිවකුට සිත් පීඩා ඇතිවේ නම් එය චේතනාන්විතව සිදු කරන්නක් නොවෙයි. රෝගයක් හෝ තුවාලයක් සුව කිරීමේ චේතනාවෙන් සිදු කරනු ලබන සැත්කම්, එන්නත් කිරීම් ආදිය ද වේදනාකාරී වූවත් එය හිංසක චේතනාවෙන් සිදු කරන්නක් නොවන බව අප දන්නවා.



හැම දෙයක්ම කිසියම් වූ හේතුවක ප්‍රතිඵලයක් නිසා, පළමුව, ඒ හේතුව සොයා යා යුතුයි. 

මේ කතාව පටන් ගැනෙන්නේ 1920-1930 කාලයෙන්.

ඔය කියන කාලයේ, රටේ නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් තිබුණෙ නැහැ. උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මුදල් මෙන් ම, ඒ මතින් ගොඩනැගුණු ඉහළ සමාජ පෙළැන්තියට අයිති වීමද අවශ්‍ය වුණා. වෙනත් අයුරකින් කියනවා නම්, තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමේ අවස්ථාව තිබුණේ රටේ ප්‍රභූ පෙළැන්තියේ අයට විතරයි. එම අධ්‍යාපනය අවසන් කළ අය, වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, සිවිල් සේවා යනාදී වූ, ඉහළ යයි සම්මත රැකියාවලට ඇතුළු වුණා. (මේ ප්‍රභූ පෙළැන්තියට, ඉංග්‍රීසීන්ට හිතවත් ව සිටි සම්ප්‍රදායික ප්‍රභූවරුන් ද, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ ස්ථාපිත කෙරුණු නව වෙළඳ ප්‍රභූ පෙළැන්තියේ අය ද, අයත් වුණා.)

රටේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට මේ අවස්ථාව හිමිවුණේ නැහැ. සීමිත මට්ටමක පාසල් අධ්‍යාපනයක් ලද ඔවුන්ට ජීවිකාව බවට පත් කර ගැනීමට සිදුවුණේ,  එතරම් ආකර්ෂණීය නොවූ,  ගොවිතැන හෝ, කය වෙහෙසන වෙනත් රැකියාවන්. 

තමන්ගේ සම වයසේ ප්‍රභූ දරුවන් උසස් අධ්‍යාපනය ලබා සමාජයේ ඉහළ පෙළැන්තියට ම අයත් රැකියාවල නිරත ව  සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත්, තමාට ඒ තත්ත්වය නොලැබීමට හේතුව තමන්ගේ දුප්පත්කම සහ සමාජ පන්තිය බවත්, ඒ අය දැන සිටියා. මෙහි සඳහන් කෙරුණු මේ  පරපුර, 1920 සහ 1930 දශකවල  උපන් අය. (පහසුව තකා මම ඒ අය, A පරපුර ලෙස නම් කරන්නම්.)

A පරපුර වැඩිවිය පත් වී දරු මල්ලන් තනා ගන්නා යුගය වන විට මේ රටේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඔවුන්ගේ දරුමල්ලන් 1950, 1960 සහ 1970,  දශකවල උපන්  අය. (B පරපුර)

තමාට සිහිනයක් පමණක් වූ ඉහළ අධ්‍යාපන අවස්ථා සහ, ඒ මගින් ඉහළ සමාජ පංතිය හා සම්බන්ධ වීමේ අවස්ථාව, නිදහස් අධ්‍යාපන පහසුකම  යටතේ තම දරුවන්ට විවෘතව තිබෙන බව දුටු A පරපුර තම දරුවන් ඒ වෙත යොමු කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරුවා.

මෙහිදී, එක්තරා සුවිශේෂී ක්‍රියාදාමයක් සිදුවුණා.

එසේ ඉගෙනීමට යොමුකළ B පරපුරේ දරුවන් කිසියම් ආකාරයකට විශේෂ හුරුවකට යොමු කිරීමක් වුණා කිව්වොත් නිවැරදියි.  සාමාන්‍යයෙන් ඒ කාලය දක්වා ම, සියලු ගැමියන් කුඩා අවධියේ සිටම හුරු කරගත් ජීවන කුසලතාවන්, සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය ආදී සියලු දෙයින්, B පරපුර ක්‍රමික ව මිදීමට පටන් ගත්තා. (එසේ වීමට බලපාන හේතු ගණනාවක් අපේ රටේ ගොඩනැගුණු අනුකාරක අධ්‍යාපන රටාව තුළ තිබුණා.) ඒ හා සමගාමී ව,  ඔවුන් එතෙක් පා තබා සිටි සමාජ සංස්කෘතික වටපිටාවෙන් විතැන් වීමක් සිදුවුණා.  තම දරුවන් ඉහළ සමාජයට ගිය පසු එම දැනුමේ හෝ උරුමයේ කිසිදු අවශ්‍යතාවක් නොවන බව විශ්වාස කළ වැඩිහිටි (A) පරපුර අතින් සිදු වුණේත්  ඒ ක්‍රියාදාමයට තව තවත් අනුබලදීමක්. ඒසේ ම, මෙහිදී ද ඒ දරුවන් හඹා යවන ලද්දේ ද පෙර කී වෛද්‍ය ඉංජිනේරු නීතිඥ හා සිවිල් සේවා වැනි සුදු කරපටි ගණයට අයත්  රැකියා පසුපසයි. 

මේ ක්‍රියාවලිය මෙසේ සිදුවන අතර ඊට සමාන්තර ව තවත් කටයුත්තක් පසුබිමෙහි සිදුවුණා. ඒ, ඉතිහාසය හා සාහිත්‍ය යන විෂයයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමයි.

ඒ අනුව,  අවාසනාවකට මෙන්, මේ නව දරු පරපුර (B) වැඩුණේ පොදු ගැමි ජීවන කුසලතා, සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය සමාජ සංස්කෘතික පදනම ආදියෙන් විතැන් ව, හා  තමන්ගේ අතීතය ගැන කිසිදු අවබෝධයකින් තොරවයි. එසේම අපේ උරුමයක්ව තිබූ චූල සහ මහා සම්ප්‍රදායේ සාහිත්‍ය පිළිබඳ දැනුම, රසාස්වාදනය ආදී සියලු දෙයින් ද දුරස්ව යි.

B පරපුර වැඩිහිටියන් වූ කල, ඔවුන්ගේ චර්යාවන් තුළ මේ අඩුපාඩුව පැහැදිලිව පෙනුනා. විශේෂයෙන් ඉහළ අධ්‍යාපන අවස්ථා හිමිකර ගැනීමෙන් ඉහළ සමාජයට පා තැබූ බොහොමයක් දෙනා, මුදල් හදල් පමණක් ඇති, අනෙක් සියලු ම අංශ වලින් හිස් වූ ජනකායක් බව මනාව කැපී පෙනුනා. 

මේ පිරිසේ දරු පරපුර (C පරපුර)  පත් වූයේ වඩාත් ඛෙදජනක තත්ත්වයකටයි. ඔවුන් 1990 -2000 යන දශකවල උපන් අය.

මේ දරුවන්ගේ මාපිය පරපුර වූයේ ඉහත කී ජීවන කුසලතාවලින්, සම්ප්‍රදායික දැනුම් පද්ධතියෙන්, උරුමය පිළිබඳ හැඟීමෙන්, ඉතිහාසය පිළිබඳ  දැනුමෙන් සහ රසවින්දන ශක්තියෙන් හීන වූ B පරපුර. (මෙම තත්ත්වයෙන් අඩු වැඩි වශයෙන් මිදී සිටියේ එම පරපුරේ සීමිත පිරිසක් පමණයි.)

පරපුරක් සතු විශේෂ හා අනිවාර්ය වගකීමක් වන්නේ තමන් එතෙක් රැගෙන ආ ජීවන කුසලතා, සංස්කෘතික හා උරුම සම්පත්, සම්ප්‍රදායගත දැනුම ආදිය ඊළඟ පරපුරට ප්‍රදානය කිරීමයි.  එහෙත් පෙර පරපුරින් මේ කිසිවක් ලබා නොගත් ඒ අය, තම දරු පරපුරට කුමක් නම් ලබා දෙන්නද? ඒ අනුව, එම වැදගත් වගකීම B පරපුර අතින් මගහැරී ගියා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ නූතන (C) පරපුරේ අති බහුතරයක් තුළ, ගැටළු විග්‍රහ කර ගැනීමේ හැකියාව සහ ඒවාට නිසි පිළියම් යෙදීමේ හැකියාව අවම බව කැපී පෙනෙනවා. ඒ ඒ ගැටළුවලට හේතු වූ මූලයන් නොදන්නා ඔවුන්, අඳුරේ අතපත ගා නිගමනවලට එළැඹෙනු බොහෝ විට දැකිය හැකියි. සමහර වැදගත් හා තීරණාත්මක කාරණාවලදී ඔවුන් අතිශය හාස්‍යජනක නිගමන වලට පවා එළඹෙන අන්දම, සමාජය දෙස විමසිල්ලෙන් බලද්දී පෙනී යනවා. ඇත්තෙන්ම, ඔවුන් මුල් සිඳුණු පරපුරක ඊළඟ පරපුර.

ගැටලු නිවැරදිව විග්‍රහ කර නොගනිමින් යන ගමනක් අතිශය භයානක එකක් විය හැකියි. 

අනෙක් අතින්, පූර්ණ වශයෙන් මුල් සිඳුණු පරපුරක්, උපක්‍රමශීලී බලවේගයනට සිය අරමුණු උදෙසා ඉතා  පහසුවෙන් මෙහෙයවා ගත හැකියි.

අවසාන වශයෙන් මා නැවතත් සඳහන් කරන්නේ, මේ තෙවන (C) පරපුරේ බහුතරයක්, පත් ව සිටින තත්ත්වයට වගකිවයුත්තේ ඔවුන් ම නොවන බවයි. පෙරද කී පරිදි, තමන්ගේ ඊළඟ පරපුර ඥානනය කිරීම සැම පරපුරකම අනිවාර්ය යුතුකමක් සහ වගකීමක්. එහෙත් මෙහි සඳහන් මැද (B) පරපුරට එය කරගත නොහැකි වී තිබෙනවා. ඊට හේතුව ද මේ කිසිදු  පරපුරක  දොසක් නොවෙයි.  එය ඒ  යුගයන්හි අප රටට මුහුණ දීමට සිදු වූ ඓතිහාසික සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක්.


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


මෙය දින වකවානු, සංඛ්‍යාලේඛන, සබැඳි විස්තර ඇතුළු සියල්ල එක් කරමින් ලියූවේ නම් ලිපිය මේ වගේ, හත් අට ගුණයක් දිග වේවි.  ඒ වගේම කියවන්නට නොසිතෙන, සංඛ්‍යාලේඛන වලින් පිරුණු එකක් වේවි. මෙහි  තිබෙන්නේ එවැනි දීර්ඝ සවිස්තරාත්මක ලිපියක සැකිල්ලක් නැතහොත් සාරාංශයක් කියතොත්, වඩාත් නිවැරදියි.



Monday, January 13, 2025

 

පඩිපෙළ පාමුල...


- බන්ධුල සිසිර කුමාර-


මෙවැනි සිදුවීමක් පිළිබඳ ව ඔබට මනෝ රූපයක් මවා ගත හැකිද?

අපේ ආර්ථික හා පරිපාලන මර්මස්ථාන සියල්ල කේන්ද්‍රගතව ඇති කොළඹ - ජයවර්ධනපුර ප්‍රදේශය, න්‍යෂ්ටික ප්‍රහාරයක් හෝ ඊට සමාන මහා ව්‍යසනයකට ලක් වෙනවා. එය නැවත වරක් යථා තත්ත්වයට පත්කර ගත හැකි පසුබිමක් ඉතිරි වන්නේ නැහැ.

ඉන්පසු විකල්පයක් ලෙස බස්නාහිර පළාතේ ම අන්තයක ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය වැනි කුඩා නගරයක අපේ පරිපාලන කේන්ද්‍රය ස්ථානගත කරගනු ලබනවා. එහෙත් ඒ පෙර පැවැති ආකර්ෂණීය හා දැවැන්ත පරිමාණයෙන් නොවෙයි. අත්‍යවශ්‍ය සාධක පමණක් සලකා ඉදිකර ගන්නා ලද කුඩා නගරයක්. මෙවැනි කුඩා වපසරියක් තුළ ස්ථාපිතව හිඳිමින් ම, එතෙක් පවත්වාගෙන ආ සාමාජීය ආර්ථික වැඩපිළිවෙළ. කිසියම් ප්‍රමාණයකට, අඛණ්ඩ ව පවත්වාගෙන යමින් සිටිනවා.

මෙසේ කලක් ගෙවෙද්දී, යළිත් වරක් වඩාත් දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. එය මොනතරම් බරපතළ හා විනාශකාරී එකක් ද කිවහොත්, එහි ප්‍රතිඵලය වන්නේ ඒ පිහිටුවාගෙන තිබුණු කුඩා අගනුවරද ඇතුළු ව මුළු බස්නාහිර පළාත ම අතහැර දැමීමට සිදුවීමයි. (රටේ ඉතිරි ප්‍රදේශ තුළ, මහා නගරයන් බිහිවී නැතැයි ද මොහොතකට උපකල්පනය කරමු.)



දිවි ගලවා ගත් සුළු පිරිස ඉන් පිටත් ව රට තුළට සංක්‍රමණය වී, දොඩංගස්ලන්ද හෝ ගල්ගමුව වැනි ඈත දුරබැහැර ගම් ප්‍රදේශයකට පැමිණ එහි දුක සේ ඉදිකර ගන්නා ලද කුඩා පරිපාලන මධ්‍යස්ථානයක් මගින්, මහත් අසීරු පසුබිමක් තුළ රටේ පරිපාලනය මෙහෙයවනු ලබනවා. දැවැන්ත වාණිජ ව්‍යාපාර ඇතුළු, එතෙක් පැවති ආර්ථික ව්‍යුහය නැවත ගොඩනඟා ගන්න ලැබෙන්නේ නෑ. භූමියේ ඉඩකඩ පමණක්, සම්පතක් ලෙස තිබෙන හෙයින්, කෘෂිකාර්මික සහ වැවිලි ආර්ථිකයක් පමණක් ආරම්භ කර පවත්වාගෙන යා හැකි වෙනවා. ඒත් බෙහෙවින් ප්‍රාථමික ආකාරයෙන්. එය, අප එතෙක් සිටි තැන සිට කෙබඳු වූ ප්‍රපාතයකට ඇද වැටීමක්දැයි සිතාගත හැකිද?


නපුරු සිහිනයක් වැනි වූ මේ සිදුවීම, මහපොළොවේ යථාර්ථයක් බවට පත් වුවහොත් අපේ ඉරණම කෙබඳු වේද?

සැබවින් ම, මෙවැන්නක්, මීට පෙර අවදියක, මේ රට තුළ සිදුව ඇති බව ඔබට විශ්වාස කළ හැකිද?



*************************************************************************

හැම දවසක් ම ඊට පෙර දිනයේ ප්‍රතිඵලයක් ද, පසු දිනය සඳහා හේතුවක් ද වෙනවා.

සති, මාස, අවුරුදු, දශක, සියවස්, සහස් වස් ගණන් ඔස්සේ අඛණ්ඩව මෙම හේතුඵල සම්බන්ධතාව එකිනෙක බැඳී පවතිනවා.

එනිසා අප අද අත්විඳින කිසියම් සමාජ ආර්ථික දේශපාලනික අර්බුදයක් වේ නම්, ඒවායේ හේතු මේ මුළු කාල පරාසය පුරාවට ම තිබිය හැකි යි. විචාරශීලීව විමසා බලද්දී ඒ බව පැහැදිලිව පෙනෙන සංසිද්ධි අපමණයි.

මෙරට පුරාණ අගනුවරක් වශයෙන් අපට දකින්නට තිබෙන අති දැවැන්ත ම ගොඩනැගිලි සහ වෙනත් විශේෂිත ඉදිකිරීම් හා කලාත්මක නිර්මාණ සම්භාරය හමුවන්නේ අනුරාධපුරයේ බව අවිවාදිතයි.




එසේ ම, විවිධ සෙල්ලිපි තුළින් පැහැදිලිව හමුවන, වඩාත් විධිමත් පැරණි පරිපාලන විධි ක්‍රම, මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද ආදිය හමුවන්නේ ද අනුරාධපුර රාජධානි අවදියට සම්බන්ධවයි. (මේ බ්ලොගයේ, කරකැවිල්ල සහ උඩ ඉඳලයි වැටුණෙ ලිපිවල මේ පිළිබඳ වැඩිමනත් තොරතුරු කියවිය හැකියි.)

එසේ වූ අනුරාධපුර රාජධානි සමයට, විවිධ අභියෝග එල්ල වුවත්, එය සහස්‍ර වර්ෂයකටත් වඩා වැඩි කාලයක් අඛණ්ඩව පවතිනවා.

ඒ විශිෂ්ට යුගය, නැවත නොනැගිටින්නට ඇද වැටෙන්නේ 1017 රාජ රාජ චෝළ ආක්‍රමණය සමඟයි.

අනුරාධපුරය අතහැර දමා පරිපාලන කේන්ද්‍රය පොළොන්නරුවට ගෙන එන ආක්‍රමණිකයන්, තමන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත් අපේ රට, "මුම්මුඩි චෝළ මණ්ඩල" යනුවෙන් නම් කරනවා.

මේ ඓතිහාසික සිද්ධිය ද ඇතුළත් සිනමා පටයක් මෑතක දී ඉන්දියාවේ නිපදවුනා. එහි නම "පොන්නියින් සෙල්වන්"


මට මතක විදියට, ඒ සිනමා පටයේ කියවෙනවා ඒ ආක්‍රමණයෙන් සිංහලයන් අවසන් බව!

ඒ කතාවේ ඇත්තක් නැතුවාමත් නොවෙයි. අනුරාධපුර යුගයේ සිටි විශිෂ්ට තත්ත්වය එයින් පසු අපට කිසිදා ගොඩනඟා ගැනීමට ලැබෙන්නේ නැහැ. ඉන්පසු කිසියම් මට්ටමක හෝ ප්‍රබල රජකු බවට පත්වන්නේ මහා පරාක්‍රමබාහු රජුයි. එසේ ම එවැනි අවසන් පාලකයාද ඔහුයි.

අප කෙබඳු තැනක සිට, කුමන ආකාරයේ තැනකට ඇද වැටුණේද යන්න, පුරාණ අනුරාධපුරය හා පොළොන්නරුව යන නගර දෙකෙහි නෂ්ටාවශේෂවල, ව්‍යාප්තිය හා පරිමාණය සසඳා බැලීමෙන් වුවද වටහා ගැනීමට පුළුවන්.

එසේ ම, පොළොන්නරුවේ අද දැකිය හැකි අවශේෂයන්ගෙන් වැඩිමනත් කොටසත්, අප පෙර සිටි විභූතිමත් තත්ත්වයට සමීප කරවූ පළමුවැනි පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද දේ යි.

(ඉහත කී, දැවැන්ත චෝළ ආක්‍රමණය පිටු දැකි පළමුවැනි විජයබාහු නිරිඳුන්ගේත්, ඔහු නිර්මාණය කිරීමේ, දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළ සිත් නරු බිම් බුදල්නාවන්ගේත් යුග මෙහෙවර මේ සටහනෙන් අවතක්සේරු වන්නේ නෑ. ඒ ගැන මෙම බ්ලොගයේ ඉතිහාසය වෙනස් කළ මිනිස්සු - 1 ලිපියෙහි සාකච්ඡා කෙරෙනවා.)

එසේ ගොඩනගා ගන්නා ලද, පොළොන්නරුව රාජධානියත්, එතෙක් අඛණ්ඩව පවත්වාගෙන ආ අපේ සමාජ ආර්ථික ක්‍රමවේදයත්, ඊට අදාළ වූ සියලු වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම්, කෘෂිකාර්මික සංකීර්ණ, කර්මාන්ත පද්ධති යනාදී වූ මේ සියල්ලත් ඇතුළු පිහිටි රට (වත්මන් උතුරු හා උතුරු මැද පළාත්) 13 වන සියවසේ අවසානයේදී අතහැර දැමීමට සිදුවෙනවා. ඊට බල පෑ අවසාන තීරණාත්මක සාධකය වන්නේ කාලීංග මාඝ ආක්‍රමණය මගින් සිදු කෙරුණු විනාශයයි. (මේ බ්ලොගයේ, මරා දැමූ නගරය ලිපියෙහි මේ පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් ව ඇති.)

අනුරාධපුරය ඇදවැටීම අපේ අවනතියේ පළමුවැනි පියවර ලෙසත්, රජරට මුළුමනින් අතහැරීමට සිදුවීම එහි දෙවැනි හා තීරණාත්මක පියවර ලෙසත් සලකන්න පුළුවන්.

ඇත්තෙන්ම, රජරට අත්හැරීමට සිදුවීම යනු අපගේ සංහතිය ලද අති දැවැන්ත පරාජයයි. අපගේ ශිෂ්ටාචාරය, එහි පරිපාලන විධි ක්‍රම, ආදි සියල්ල ගොඩ නැගී තිබුණේ ඒ බිම, ඒ පරිසරය, ඒ කෘෂි හා වරිමාර්ග පද්ධතිය කේන්ද්‍ර කරගෙනයි.

මම මෙයට, වර්තමානයෙන් උදාහරණයක් සපයන්නම්.

අද අපේ ආර්ථික හා පරිපාලන මර්මස්ථාන සියල්ල කේන්ද්‍රගත ව ඇති කොළඹ - ජයවර්ධනපුර ප්‍රදේශය, නැවත ප්‍රතිනිර්මාණය කර ගත නොහැකි මට්ටමේ මහා ව්‍යසනයකට ලක් ව, ඒ පළාතේ අන්තයක ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය වැනි කුඩා නගරයක අපේ පරිපාලන කේන්ද්‍රය නිර්මාණය කර ගැනීමට සිදුවුවහොත්...?


අනුරාධපුරය අතහැර පොළොන්නරුව පරිපාලන මධ්‍යස්ථානය ලෙසට පවත්වා ගැනීමට සිදුවීම මා දකින්නේ එවැනි දෙයක් හැටියටයි.

ඉන්පසු වඩාත් දරුණු ව්‍යසනයකින් මුළු බස්නාහිර පළාත ම අතහැරීමට සිදුවී, ගල්ගමුව හෝ දොඩංගස්ලන්ද වැනි ඈත එපිට දුර බැහැර ගම්මානයකට පසු බැස නුහුරු ආර්ථික රටාවකට හුරුවෙමින් සියල්ල මුල සිට නිර්මාණය කර ගැනීමට සිදුවුවහොත්..?

රජරට හා එහි වූ සියල්ල අතහැර ඈත එපිට නුහුරු පරිසරයක වූ දඹදෙණියේ ස්ථාපිතව, ඒ අමුතු වටපිටාවට හා එහි ඇති දේට ගැලපෙන පරිදි, ආර්ථික සාමාජීය හා පරිපාලනමය සියල්ල අලුතින් ගොඩනඟා ගැනීමට සිදුවීම මා දකින්නේ එවැනි දෙයක් හැටියටයි.

එතැන් සිට සමස්තයක් ලෙස ම දැකිය හැක්කේ ම අවනතියයි.

උතුරු මැද පළාතෙන් ඈත එපිට, වෙනත් දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් හා වෙනස් භූ විෂමතා සහිත ප්‍රදේශයක් වූ දඹදෙණියට පැමිණ, සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකට නැවත හැඩ ගැසෙමින්, අවශ්‍ය යටිතල පහසුකම් මුල සිට ගොඩනඟා ගනිමින් අලුත් ම ගමනක් නැවත ඇරඹීමටයි එතැන් සිට සිදුවන්නේ. එවන් පසුබිමක් තුළ, අතීතයේ සිටි විභූතිමත් තත්ත්වයට ආසන්න වීමටවත්, අපගේ ශිෂ්ඨාචාරයට නැවත ඉඩ ලැබෙන්නේ නැහැ. එසේ ම, ඉන් පසු ඇතිවන්නේ, එහි සිට ද කලින් කලට, එක් එක් අගනුවරට නැවත නැවත මාරුවෙමින් ගත කළ අස්ථාවර ගමනක්.



මෙසේ, දඹදෙණියට පසු, යාපහුව, කුරුණෑගල, ගම්පොළ ආදී ප්‍රදේශ අගනුවර බවට පත් කරගනිමින් යන ගමනක අවසානයේ නැවතත් ස්ථාවර සහ තරමක් ප්‍රබල රාජධානියක් ගොඩනැගෙන්නේ ශ්‍රී ජයවර්ධනපුරයේ යි . එහෙත් 1500 න් පසු එය ද ඇද වැටීම පටන් ගැනෙනවා. යුරෝපීය ආක්‍රමණ හමුවේ තවත් කෙටි කලක් ඔරොත්තු දී සිටි අපේ කන්ද උඩ රාජධානිය 1815 දී ඇද වැටෙන්නේ එතෙක් අඛණ්ඩ ව ගලාගෙන ආ අපේ සමාජ සංස්කෘතික ප්‍රවාහය ද අර්බුදයට ලක් කරමින්.

අප වැටී ඇති, අගාධයෙන් යන්තම් හෝ දිවි ගලවා ගැනීමට නම් දුරාතීතයේ සිට අද දක්වා ම වූ සිද්ධීන් අතර අන්තර් සම්බන්ධතාවය වටහාගත යුතුයි.

("අතීතය", "ඉතිහාසය" වැනි වචනවලට පවා ගරහන සමාජ වටපිටාවක් තුළ ඒ වැටහීම සමාජගත වීම නම්, සිහිනයක් පමණක් ම වේවි.)



(සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට තුති)



Sunday, May 31, 2020


කරකැවිල්ල


- බන්ධුල සිසිර කුමාර -


මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්.


එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණු පොතේ පළ වූ දෙයක් ගැන, එතැනදී අදහස් නොදක්වා ලිපියක් ලියන්නේ ඇයි ද කියා.


ඔබ මේ දිනවල මුහුණු පොත අවධානයෙන් නිරීක්ෂණය කරන අයෙක් නම් දකින්නට ඇතුවා නිසැකයි, සමහර කණ්ඩායම් තමන්ගේ විවිධ මතවාදයන් සමාජගත කිරීමේ අරමුණෙන් පෝස්ටු ඉදිරිපත් කරන ආකාරයත්, එම මතවාද ප්‍රශ්න කරන අයට වටකර පහර දෙන ආකාරයත්.


එවැනි පසුබිමක් තුල, එම අදහස් වල ඇති වැරදි තැන් සමාජයට පෙන්වා දීමේ අවස්ථාවන් කිසිසේත් උදාවන්නේ නැහැ.


එහෙත් වෙනත් මාර්ගයක් හරහා හෝ යමක නිවැරදි තතු සමාජ ගත කළ යුතුයි. එසේ නොවුනහොත් කලක් ගතවෙද්දී සත්‍යය මිත්‍යාව ලෙස ද, මිත්‍යාව සත්‍ය ලෙස ද පිළිගැනී තිබෙනු ඇති.


අදාල ලිපිය පළ කර තිබුණේ මිහින්තලයේ පුරාණ රෝහල පිළිබඳවයි. මෙම රෝහලද ඇතුළු ව, ඉපැරණි රෝහල් කිහිපයක නටබුන්, අනුරාධපුරය පොළොන්නරුව ආදී විවිධ ප්‍රදේශවලින් හමු වී තිබෙනවා. බෙහෙත් ඔරු වැනි ශිලාමය දේවල් හැරුණු විට, විවිධ වෛද්‍ය උපාංග, ශල්‍ය උපකරණ, බෙහෙත් කිරන සියුම් තරාදි ආදී විවිධ දෑ මෙම රෝහල් භූමිවලින් හමුවී තිබෙනවා. ස්ථාපිත, දියුණු වෛද්‍ය ක්‍රමයක් මෙම කාලයන් හි පැවති බවට ඒ පුරාවස්තු සාක්ෂි දරනවා.




මිහින්තලේ රෝහල සම්බන්ධව ලියවුණු, මා මුලදී සඳහන් කළ ලිපියේ කියවුන දෙයක් තමයි, අපේ මේ ඉතිහාසය අප විසින් වළ දමන ලද්දේය, යන්න.


ඇත්තටම, අපේ ඉතිහාසය හා ඉපැරණි දැනුම් පද්ධතිය වළ දැම්මේ අප ද?


අප මුලින්ම විමසා බලමු ශිෂ්ඨාචාරයකට දැනුම් පද්ධතියක් ලැබෙන්නේ කෙසේද කියා.


මිනිසා තමාගේ ජීවිතයේ එදිනෙදා කටයුතුවල යෙදෙන විට, එම කාර්යයන් අතරදී ම ඒවා ආශ්‍රයෙන් අත්පත් කරගන්නා දැනුමක් තිබෙනවා. ඒකට අප කියනවා, ප්‍රත්‍යක්ෂමූලික දැනුම නොහොත් ආනුභවික දැනුම (empirical knowledge) කියලා. ප්‍රාථමික අවධිවල මිනිසා ද මෙසේ ප්‍රත්‍යක්ෂමූලික දැනුම අත්පත් කර ගන්නවා. දිගින් දිගටම ඔහු මෙවැනි කාර්‍යයන් කරන විට, එම දැනුම තව තවත් ඔප මට්ටම වෙනවා.


ඉන්පසු, අදාල කාර්යය නිතිපතා කරන පවුල් හා කණ්ඩායම් තුල, වෙනත් අන්දමකින් කියනවා නම් ගුරුකුල තුල මෙම දැනුම තව තව ඉහළ මට්ටම් කරා දියුණු වී යනවා.


උදාහරණයක් දක්වන්නම්.


යම් පුද්ගලයෙකු, කුඩා දිය පාරක් හරස් කර අමුණක් බැඳ, තමාගේ වගාවට අවශ්‍ය ජලය සපයා ගන්නවා. ඔහු තවදුරටත් එවැනි කටයුතුවල යෙදීමෙන් ලබාගන්නා අත්දැකීම් තුළින් දැනුම තව තව ඔපමට්ටම් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගම් වැවක් තනා ගැනීමට ප්‍රමාණවත් දැනුමක් ගොඩ නැගෙනවා. මේ දැනුම, ගුරුකුලයන් තුල තවදුරටත් වර්ධනය වෙනවා. එහි ප්‍රතිඵලය ලෙස, අපේ රටේ ඇති මහ වැව් හා විශිෂ්ඨ වාරි මාර්ග ඉදි කිරීමට අවශ්‍ය මට්ටම දක්වා, දැනුම හා තාක්ෂණය දියුණුවී තිබෙනවා.


ඕනෑම ශිෂ්ටාචාරයක් තුළ මෙවැනි දැනුම් පද්ධති ගොඩනැඟෙනවා.


එහෙත් අප රටේ තත්ත්වය මීටත් වෙනස්. අප රට බොහෝ කලක් පැවතුණේ පෙරදිග හා අපරදිග යා කරන සමුද්‍ර සේද මාර්ගයේ සැතපුම් දහස් ගණනක දුර ප්‍රමාණයේ පිහිටි එකම නැවතුම්පොළ හා හුවමාරු මධ්‍යස්ථානය ලෙස. මෙම පසුබිම යටතේ අපේ රටේ නිෂ්පාදන අපනයනය කිරීම පමණක් නොව, ප්‍රති නැව්ගත කිරීම්, නැව් වලට හා නාවිකයන්ට අවශ්‍ය සේවා සැපයීම් ආදී විවිධ කටයුතු අප රටේ සිදු වූවා. මෙම වටපිටාව තුල, බොහෝ දේ අප රට හරහා ගලා ගියා. දැනුම, තාක්ෂණය, චාරිත්‍ර වාරිත්‍ර, විවිධ මතිමතාන්තර, සාහිත්‍යය, මිල මුදල් ආදිය ඒ අතරින් කිහිපයක්.

 (මේ නිසා ම, අප රට දූපතක් වුව ද, සමහරුන් පවසන ආකාරයේ ඊනියා දූපත් මානසිකත්වයක් මෙරට බිහි වූයේ ද නැහැ.)


මේ අනුව මෙහි ගොඩනැගී තිබූ දැනුම් පද්ධතිය, ලෝකයේ විවිධ දෙසින් ගලා ආ දැනුම් පද්ධතීන් සමග මිශ්‍රවීමෙන් තවදුරටත් ඔපවත් වන්නට ඇතිවා නිසැකයි. අපගේ විශේෂිත තත්ත්වය නිසා අපට මේවා ලැබෙන්නට ඇත්තේ අසල්වැසි භාරත භූමියෙන් පමණක් ම නොවෙයි.


මා පෙර ලිපියක ද කියා ඇති පරිදි, අපේ රට ජනාවාස වීමේදී මෙහි සිටි ස්වදේශික ජනයා හැරුණුවිට, විටින් විට මෙහි පැමිණ පදිංචි වූ සංක්‍රමණිකයන් ද ඒ සඳහා විශාල දායකත්වයක් දක්වන්නට ඇතිවා නිසැකයි. මේ අනුව මෙරට ජනතාව තුළ මනා ජාන සංකලනයක් සිදුවන්නට ඇති. මෙසේ විවිධ ජාන මිශ්‍ර වීමෙන් වඩාත් ඉහල ගති ලක්ෂණ සහිත පුද්ගලයන් බිහි වීම බොහෝ විට සිදු වන දෙයක්. ඇත්ත වශයෙන්ම අප රටේ ජනතාව එසේ විවිධ වූ ජාන සම්මිශ්‍රණයකින් ගොඩනැගී ඇති බව වරින් වර සිදු කෙරුනු පර්යේෂණවලින් ද හෙළි වී තිබෙනවා.


මෙය දුටුවිට ඔබ අතරින් කිසිවකු කලබල විය හැකියි, එසේ වන්නේ කෙලෙසද? අප බොහොම "සංශුද්ධ" පුද්ගලයන්ය කියා.


අප එසේ මිශ්‍ර වී නොතිබුනා නම්, අප ඊනියා "සංශුද්ධ" ජනතාවක් වූවා නම්, අපගේ පෙනුම කෙසේ වනු ඇතැයි ඔබ සිතනවාද?


එසේ වූවා නම් අප සියලු දෙනා, කළු පැහැ සම ඇති, උඩු රැවුල හා නිකටෙ හි පමණක් රැවුල වැවෙන, කම්මුල්වල රැවුල නොවැවෙන, පපුවෙහි රෝම නොවැවෙන, මඳක් කාන්තා ස්වරූපයක් ගන්නා ලැම පෙදෙසක් තිබෙන පිරිමින් වනු ඇති. අප රටේ හමු වී ඇති ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂ අනුව මේ දක්වා එළඹගෙන ඇති නිගමනය වනුයේ, අදාල මානවයා ශාරීරික පෙනුම වශයෙන් බොහෝ දුරට සමාන වනුයේ වත්මන් වැදි ජනතාව ට බවයි. ( මෙය එම ජන පිරිසට කිසිදු නිගරුවක් නොවේ.) අප බහුතරයකගේ පෙනුම මීට වඩා වෙනස් වීම ම, ඉතිහාසය පුරා සිදු වී ඇති අපේ ජාන සම්මිශ්‍රනය පිළිබඳ මනා සාධකයක්.



ජාන සම්මිශ්‍රණය පසෙක තබා අප නැවතත් අපගේ දැනුම් පද්ධති පිළිබඳ මාතෘකාව ට හැරෙමු. අනුරාධපුර යුගයේ අග භාගය වන විට, අපේ දැනුම් පද්ධතියෙහි වර්ධනය වී තිබුණේ, මෙහි මාතෘකා කොට ගත් වෛද්‍ය අංශය පමණක් නොවෙයි. වාරිමාර්ග, යකඩ හා වානේ ඇතුළු ලෝහ විද්‍යාව, වාස්තු විද්‍යාව, ගල් කැටයම් හා චිත්‍ර කලා, එම අංශයන් අතරින් කිහිපයක් පමණයි. මේ හැරුණු විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන ක්ෂේත්‍රයන් ද තිබෙනවා.


මූල්‍ය කළමනාකරණය, මුදල් රෙගුලාසි, ආයතන පරිපාලනය වැනි කටයුතු අතින් අප සිටින්නට ඇත්තේ කොතැනදැයි බොහෝ දෙනකු දන්නේ නැහැ. වත්මන් ව්‍යවහාරය අනුව බැංකු ලෙස නම් කළ හැකි මූල්‍ය ආයතන එකල තිබී ඇති බව ද නොදන්නා අය බොහොමයි. මිහින්තලයේ දක්නට ලැබෙන  IVවැනි මිහිඳු රජුගේ පුවරු ලිපිවල සඳහන් කරුණු අධ්‍යයනය කළහොත් ඒ පිළිබඳ ව තොරතුරු රැසක් අවබෝධ කරගත හැකි වේවි. (මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ඔබට මගේ උඩ ඉඳලයි වැටුණේ ලිපිය කියවීමෙන් දැනගත හැකියි.)


එසේනම් මේ දැනුම් පද්ධතියට කුමක්ද වුනේ?


සමහරුන් කියන පරිදි අප ම එය වළලා දමලාද?


අපගේ ඉතිහාසය නිරීක්ෂණය කරද්දී, දිගින් දිගට ම දැකගත හැකි දෙයක් වන්නේ, දුර්වල පාලකයන් සිටි කාල සීමාවන්හිදී මෙරට විවිධ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වී ඇති බවයි. ආක්‍රමණවල අරමුණ වන්නේ හුදෙක්, අපගේ සිංහාසනයේ ආක්‍රමණිකයන්ගෙන් කෙනෙකු වාඩි වී අපේ රට පාලනයේ යෙදීම නොවේ. එය පමණක් සිදු කිරීම සඳහා ඔවුන් ඉමහත් ධනස්කන්ධයක් හා ජීවිත විශාල සංඛ්‍යාවක් බිලි දේ දැයි සිතා බලන්න.


ඒ මගින් ඔවුන් මුදුන්පත් කර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණ වන්නට ඇත්තේ, අප රටේ බදු ආදායමෙන් විශාල කොටසක් ඔවුන්ගේ රටට ගෙන යාම, අපේ රටෙන් උපදින සම්පත් සිය මව් රටට ගෙන යාම, මා පෙරිදී කී පරිදි වැදගත් ජාත්‍යන්තර වෙළඳ සන්ධිස්ථානයක පිහිටීම නිසා අප රටට ගලා ආදායම සියතට ගැනීම, ඔවුන්ගේ සංස්කෘතිය මෙරට තුළ රෝපණය කිරීම ඇතුළු කරුණු සමුදායක්.


අනුරාධපුර රාජධානි සමයේ, අප ලෝකයේ විශිෂ්ඨතම වානේ වර්ගයක් අපනයනය කරමින් සිට තිබෙනවා.


( ලෝකයේ විශිෂ්ටතම කඩු තැනුණු සිරියාවේ දමස්කස් නුවර, ඒ කඩු සෑදීමට භාවිතා කරන ලද්දේ "සෙරන්ඩිබ් වානේ"නම් වූ මෙරටින් රැගෙන ගිය වානේ බවයි කියවෙන්නේ.)


අනුරාධපුර රාජධානිය බිඳ දමා චෝළයින් විසින් පොළොන්නරුවේ රාජධානිය පිහිටුවා ගත් ආක්‍රමණයෙන් පසු, අපගේ මේ වානේ අපනයනය නැවති තිබෙනවා. ඔවුන්ගේ ආක්‍රමණයේ එක් අරමුණක් වන්නට ඇත්තේ ම එම වෙළඳපොල කඩා දැමීමයි. ඒ වන විට දකුණු ඉන්දියාවේද වානේ තාක්ෂණය දියුණුව පැවති අතර ඉන්පසු එම වෙළඳාම ඔවුන් අතට පත්වූ බව පෙනෙනවා.


මෙවැන්නක් සිදු වූ පසු, අදාළ කර්මාන්තයේ සැලකිය යුතු බිඳ වැටීමක් සිදු වන බව වටහා ගත හැකියි. ඊට සාපේක්ෂව ඒ වටා එක් රැස් ව තිබූ විශේෂඥ දැනුම් සම්භාරයේ යම් යම් කොටස් ද, අභාවිතය නිසා, පරපුරු කිහිපයක් තුළ ගිලිහී යාම බලාපොරොත්තු විය හැකි දෙයක්.


මේ කීවේ එක් උදාහරණයක් පමණයි.


කලක් අනුරාධපුරයේ ගොඩනැගී තිබූ විභූතිමත් තත්ත්වය නොමැති වුවද, පොළොන්නරු යුගය තුල පවා, ඒ ඒ ක්ෂේත්‍රයන්හි අප ගොඩනගාගත් දැනුම් සම්භාරයේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වී තිබී ඇති බව අපට වර්තමානයේ දී දැකගත හැකි අවශේෂ වලින් වටහා ගත හැකියි.


අප රටේ දැනුම් පද්ධතියටත්, අනිකුත් බොහෝ දේටත් එල්ල වූ මාරාන්තික ප්‍රහාර වලින් එකක් එල්ල වූයේ පොළොන්නරු රාජධානි සමය පමණක් නොව රජරට ශිෂ්ටාචාරය ම අවසන් කරමින්.


කිහිප දෙනෙකු දන්නා, වර්තමානයෙහි බොහෝ දෙනකු නොදන්නා එය කාලිංග මාඝගේ ආක්‍රමණය. එය සිදු වූයේ 
 අදින් වසර 700 කට පමණ පෙර 


ඔහුගේ පාලනය යටතේ අප රට පූර්ණ වශයෙන් ම වියවුලකට ඇද දමන ලද බවයි පෙනෙන්නට තිබෙන්නේ. එතෙක් මෙරට ස්ථාපිත ව පැවති පාලන තන්ත්‍රය අවුල් කළ බවත්, සමාජ සංවිධානය අවුල් කළ බවත්, දැනුම හා දහම අන්තර්ගත ව පැවැති පොතපත විනාශ කළ බවත් කියවෙනවා. එසේ ම නිස්කාරණ බියවැද්දීම්, හිරිහැර කිරීම් හා කොල්ල කෑමවලින් ජන සමාජය තැති ගැන් වූ බව දැනට සොයා ගැනීමට ඇති ලිඛිත මූලාශ්‍රවල සඳහන් වන අතර පොළොන්නරුවේ සමහර නෂ්ටාවශේෂ පිරික්සීමෙන්ද මේ තොරතුරු කිසියම් දුරකට එය තහවුරු කරගත හැකියි. මෙම ඝාතක ආක්‍රමණිකයා හා සමකළ හැකි මෑතකාලීන චරිතය වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් යයි මා සිතනවා.


මොහුගේ කාලයේදී ධනවතුන් අල්ලා වධ දී ඔවුන්ගේ ධනය පැහැර ගත් බවත්, ළමා විය ඉක්මවූ සියලු පිරිමින් මරා දැමූ බවත්, කියැවෙන කථා ද තිබෙනවා.


එවැනි සිද්ධියක් සිදු වී නම් එහි ප්‍රතිඵලය කුමක් වේ දැ යි සිතන්න.


පරපුරක දැනුම, තාක්ෂණය ආදී වශයෙන් වූ එක් රැස් කර ගත් දැනුම් පද්ධතිය බොහෝ දුරට පවතින්නේ එම ප්‍රජාවේ පිරිමින් අතයි. ඔවුන් සමූලඝාතනය කිරීමක ප්‍රතිඵලය වනුයේ එතෙක් ගොඩනගාගත් දැනුම් පද්ධතියෙන් අති විශාල කොටසක් ද ඒ හා සමගම අතුරුදන් වී යෑමයි. එසේ ම දැනුමින් ද හීන ව, කාන්තාවන් ඇසුරේ හැදී වැඩුණු ඊළඟ පරපුරක් බිහිවීමයි.


අනුරාධපුර හා පොළොන්නරු යුගවල නශ්ඨාවශේෂයන් හා ඊට පසු යුගවල අවශේෂයන් සසඳා බැලීමේදී පැහැදිලි ව කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. ඒ, පෙර කී රජරට රාජධානි යුගවල මෙන් දැවැන්ත වාරිමාර්ග, සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම්, ගලින් කළ මනහර කැටයම්, සම්භාව්‍ය චිත්‍ර කලා ආදිය, ඉන්පසු යුග වල දක්නට ලැබීම අවම වීමයි. නිවැරදි ව කියතොත් දක්නට නොලැබෙන තරම්. ( යාපහුව හැරුණුකොට.)


කෙසේ වුවත් ඉන් පසුවට ද අප ගොඩනඟා ගත් දැනුම් සම්භාරයේ කොටසක් හෝ ඉතිරිව තිබෙනවා. ඒ ඉතිරි වූ කොටස මහනුවර යුගයේ අවසානය වන තුරු රැඳී පවතිනවා.


එතැන් සිට අපේ දැනුම් පද්ධතිය විනාශ වීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලපෑම තුලයි. එය කිහිප ආකාරයකින් සිදුවෙනවා.


අධිරාජ්‍යවාදී පාලකයන්ට භෞතිකව තර්ජනයක් විය හැකි අංගම් ශිල්ප කලාව නීතියෙන් තහනම් කිරීම ඉන් එකක්. එසේම, ඔවුන්ගේ වානේ කර්මාන්තයට අප රට තුළ වෙළෙඳපොළ ගොඩනැගීම සඳහා දේශීය වානේ කර්මාන්තය තහනම් කිරීමට ගත් පියවර ද ඇතුළත් වන්නේ ඒ කාණ්ඩයටමයි.


අපගේ දැනුම් සම්භාරය විනාශ කිරීමට බල පෑ අනෙක් කටයුත්ත නම් මෙරට එතෙක් පැවති සමාජ දේශපාලනික හා ආර්ථික ව්‍යුහය කඩා බිඳ දමා ඒ මත ඔවුන්ගේ ක්‍රමය රෝපණය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශිල්ප ශ්‍රේණි ක්‍රමය අක්‍රිය වූ අතර ගුරුකුල තුල දැනුම වර්ධනය වීම ඇනහිටීම සිදු වූවා.


මහනුවර රාජධානි සමයේ, ඉන්දියානු සමාජ සංස්කෘතික බලපෑම් මත ඇතිව තිබූ කුල පීඩනය ද දිගින් දිගටම පැවතිය යුතුය යන්න නොවේ, මෙයින් අදහස් වනුයේ. පැවති ක්‍රමය ස්වාභාවික පරිණාමයකට ලක් වූවා නම් මීට වඩා සාධනීය ප්‍රතිඵල ඉතිරි වීමට ඉඩ තිබුණා. එහෙත්, පැවති ක්‍රමය කෘත්‍රිම ව කඩා බිඳ දමා වෙනත් ක්‍රමයක් බලහත්කාරයෙන් රෝපණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පැරණි ක්‍රමයේ තිබූ යහපත් අංගයන් ද, දැනුම ද, අතුරුදන් ව ගොස් තිබෙනවා. අහෝසි විය යුතු දෙයක් වූ කුල භේදයේ නෂ්ටාවශේෂ ඉතිරිව තිබෙනවා.


ඔවුන්ගේ ආධිපත්‍යය නිසා අපේ දැනුම් පද්ධතිය අහිමි වූ තුන්වැනි ආකාරය මානසික ආක්‍රමණයක්.


ඒ, එක ම දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතිය ය යන විශ්වාසය අප ජනතාව තුළ රෝපණය කිරීමයි. මේ හේතු කොටගෙන අපේ සාම්ප්‍රදායික දැනුම නොසලකා හරින හා ඊට ගරහන මානසිකත්වයක් අපේ ජනතාව තුල ම ඇති වුණා.


විසිවන ශතවර්ෂයේ අවසාන භාගයේ සිට මේ දක්වා වූ විශ්ව ගම්මාන මායාවට හසුවූවන් අතීතයේ අප සතුව දැනුම් පද්ධතියක් තිබූ බව වත් දන්නේ නැහැ.


අද වන විට බටහිර දැනුම් පද්ධතිය බොහෝ ඉදිරියට ගොස් ඇති බව ඇත්තයි. ඔවුන් එය අධිපති මතවාදය ලෙස ලෝකය පුරා ව්‍යාප්ත කරගෙන සිටින බව ද ඇත්තයි. එහෙත් අප වටහා ගත යුතු සත්‍යය වන්නේ ලෝකයේ ඇති එක ම දැනුම් පද්ධතිය එය පමණක් ම නොවන බවයි.


මේ සියල්ල සාරාංශ කර විමසා බැලූවොත් ඔබට තීරණය කර ගත හැකි වේවි, අපේ දැනුම අප විසින් වළලා ගෙනද, නැතිනම් ඉහත විස්තර කළ ඓතිහාසික ඛේදවාචකයන් හේතු කොටගෙන වැළලී ගොසින් ද කියා.


මේ වැළලුනු අතීතය ගොඩ ගනිමින් එය අපට පෙන්වා දෙන්නේත්, පෙන්වා දී ඇත්තේත් එතෙක් මෙතෙක් අප රට බිහිවූ ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විසින්.


එහෙත් මේ වන විට අප රටේ සමාජය තුළ අමුතු “ට්‍රෙන්ඩ්” එකක් පැතිරී යන බව නිරීක්ෂණය වෙනවා. ඒ, ඉහත කී ඉතිහාසඥයන්ට හා පුරා විද්‍යාඥයන් ට ගරහමින්, රටට හා ජාතික උරුමයට ආදරය කරන මිනිසුන් මොළ ශෝධනයට ලක් කර වෙනත් මගක යැවීමයි. වෙනත් විදියකින් කියනවා නම් කරකවා හැරීමයි. මේ කරකැවිල්ල ට හසු නොවීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි.


එසේ නොවුණහොත්, අපේ සැබෑ අතීතයත්, අපේ උරුමයත්, උපන් බිමත් කරකවා හැරෙනු ඇති. සිදු වූයේ කුමක්දැයි සිහි එළවා ගන්නා විට සියල්ල අවසන් ව තිබේවි.




Monday, April 20, 2020


රාවණා ඇවිත්....

-බන්ධුල සිසිර කුමාර -







මෙම ලිපිය ඉතිහාස විෂයයට තරමක් සම්බන්ධ වුවත් සම්බන්ධ වුවත්, ඓතිහාසික සිද්ධියක් ගැන නම් නොවෙයි.

මා බොහෝ ලිපිවල නැවත නැවතත් සඳහන් කළ කරුණු කිහිපයක් මෙහිදී යළිත් සිහිපත් කරනවා.

සැම දිනයක් ම ඊට පෙර හා පසු දිනය සමග, හේතුව හා ඵලය වශයෙන් සම්බන්ධයි. ඒ නිසා අද දවසේ සිදුවන සමහර සිදු වීමක මූල හේතුව, ඈත අතීතයේ වූ සිද්ධියක් වන්නට හැකියි.

අතීතය සම කළ හැක්කේ ගුරුවරයකුටයි. එය අපට වැරදුණු තැන් පෙන්වා ඒවායින් පාඩම් ලබාගැනීමට කියා දෙනවා. සියල්ල නිවැරදි ව සිදුවූ තැන් පෙන්වා එයින් ආදර්ශ ගැනීමට කියා දෙනවා. අප කවුදැයි පෙන්වා දී අපට අයත් දේ රැක ගැනීමට උනන්දු කරවනවා.

එසේ නොමැති ව, අතීතය යනු කරඬුවක තබා වන්දනා කරමින් සිටිය යුතු දෙයක් නොවෙයි. එසේ ම, ද්වේෂයෙන් වෛරයෙන් යුතු ව පහර දී වනසා දැමිය යුතු එකක් ද නොවෙයි.

දශක තුන හතරකට පෙර වූ කාලයේ දී පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂයය ඉවත් කෙරුණා. ඉතිහාසය කන්නදැයි ඇසූ පාලකයන් ද ඒ ආසන්න යුග වල සිටියා.

ඒ ඓතිහාසික වරදෙහි ප්‍රතිඵල, දශක කිහිපයක් ගතවෙද්දී නිකුත් වන්නට පටන් ගත්තා. එය ආකාර දෙකකින් ප්‍රදර්ශනය වූවා. පළමු ව කැපී පෙනෙන්නට පටන් ගත්තේ එක් ආකාරයක්.

ඉතිහාසය යනු කුමක්දැයි මෙලෝ හසරක් නොදැන, අවිචාරයෙන්, අතීතයටත්, තමාගේ ම මුල්වලටත් ගරහන, වෛර කරන පරපුරක් බිහි වීම.

දෙවැනි ආකාරය.....

දෙවැනි ආකාරය විස්තර කිරීමට පෙර මා අතුරු කථාවක් කියන්නම්.

යුරෝපා රටවල යටත් විජිතයන් බවට පත් වීම හේතු කොට ගෙන, අප වැනි රටවලට සිදු වූ සාමාජීය, සංස්කෘතික, ආර්ථික හානි බොහොමයි. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන් පැවති සමයන්හි දී, කුතුහලයෙන් යුතු සමහර නිලධරයන්, ඒ ඒ විජිතයන්හි අතීතය පිළිබඳ ගවේෂණවල හා පර්යේෂණවල යෙදුණා.

ඉංග්‍රීසින් භාරත භූමිය යටත් කරගන්නා සමය වන විට, භාරතයේ වැසියන් (ඉන්දියානුවන්) සිය ඉතිහාසය යැයි සිතා සිටියේ දේව පුරාණ කථා සමූහයකට...!!

ඒ හැර, දූරාතීතයේ ලොව බිහි වුණු, සාපේක්ෂ ව දියුණු ශිෂ්ඨාචාර කිහිපය අතුරින් එකක් වූ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ඒ භූමියේ බිහි වූ බව, පසු කලෙක වයඹ දිග දුර්ගයන් ඔස්සේ ඉරාණ දේශය දෙසින් පැමිණි ආර්යයන් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ කර සිය ආධිපත්‍යය භාරත භූමිය තුල තහවුරු කරගත් බව, ඊ ටත් පසුව එක්තරා යුගයෙක, එතෙක් පැවති ආගමික සිරිත් විරිත්, ගතානුගතික අදහස් හා ආකල්ප ප්‍රශ්න කරමින් නව මං සොයා ගිය බුදුන් වහන්සේ ඇතුලු දාර්ශනිකයන් රැසක් බිහි වූ යුගයක් පැවති බව ඔවුන් දැන සිටියේ නැහැ.

එසේ ම භාරත භූමියේ විශාල ප්‍රදේශයක සිය බලය තහවුරු කර ගත් අශෝක නම් වූ මහා අධිරාජයකු සිටි බව, ඔහුගේ අනුග්‍රහයෙන් ලෝකයේ විශාල වපසරියක් පුරාවට බෞද්ධ ධර්ම දූතයන් යැවුණු බව, නාලන්දා, වික්‍රමශිලා වැනි දැවැන්ත විශ්වවිද්‍යාල බිහි වූ බව, වයඹ දිග දුර්ග ඔස්සේ ම පැමිණි මුස්ලිම් ආක්‍රමණිකයන් නාලන්දා විශ්වවිද්‍යාලය ඇතුලු බොහෝ දෑ ගිනිබත් කළ බව ද ඔවුන් දැන සිටියේ නැහැ.

ඉන් පසු පැමිණි මූගල් ආක්‍රමණිකයන්, එතෙක් පැවති හින්දු හා බෞද්ධ රාජ්‍යයන් යටත් කර ගනිමින් භාරත භූමියේ සිය බලය තහවුරු කර ගැනීමේ කථාව ද ඔවුන් දැන සිටියේ නැහැ. තම රටේ අතීතය පිළිබඳ මෙලෝ හසරක් නොදත් එකල ඉන්දියානුවන්, ආගමික ග්‍රන්ථවල කියැවෙන අද්භූත දේව පුරාණයන් සිය ඉතිහාසය ලෙස සිතා සිටියා.

කුඩා කල සිට රටේ ඉතිහාසය නොඋගැන්වීමෙහි දෙවැනි ප්‍රතිඵලය ලෙස අප රටේ ද සිදු වූයේ, පුරාණ භාරතීය දේව කථාවන්හි ඇති තොරතුරු අප රටේ ඉතිහාසය ලෙස ද, එම දේව කථා ඓතිහාසික මූලාශ්‍ර ලෙස ද සලකන පරපුරක් බිහි වීමයි.

දැනට අප රටේ සමාජය තුල, මෙසේ ශාස්ත්‍රීය නොවන මත කිහිපයක් ම කරලිය ට පැමිණ තිබෙනවා. ඉන් එකක් වන්නේ රාවණ රජුගේ ඓතිහාසික බව පිළිබඳ ව කියැවෙන පුවතයි. අප මෙම ප්‍රවාදයේ තර්කානුකූලභාවය මඳක් විමසා බලමු.

අපේ රටේ අතීතය, යුග කිහිපයක ට බෙදෙනවා. ඉන් වර්තමානයට ආසන්නතම කාලය හැඳින්වෙන්නේ ඓතිහාසික යුගය නමින්. මේ යුගය මහාවංශයේ සඳහන් ව ඇති අවුරුදු දෙදහස් පන්සිය ගණනක් වන කාලයයි. 

රාවණයන්ගේ පැවැත්ම ගැන දැඩි සේ විශ්වාස කරන පිරිස විසින්, එය විශ්වාස නොකරන අයට වාග් ප්‍රහාර එල්ල කරනු මා දැක තිබෙනවා, මහාවංශය කරතබාගෙන යන්නවුන් ය, විජය නමැති සොරදෙටුවකුගෙන් තමා පැවතෙතැයි විශ්වාස කරන්නවුන් ය, ආදි වශයෙන්.

ඇත්ත වශයෙන් ම රාවණාගේ ඓතිහාසිකත්වය පිළිබඳ ව විශ්වාස නොකරන්නේ, ඉතිහාසය හා පුරා විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් හා එම විෂයයන් පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් ඇත්තවුන්. මහාවංශය පිළිබඳ ව ඔවුන්ගේ මතය කුමක් දැයි විමසා බලමු.

පොදු ජනතාව විසින් මහාවංශය ඉතිහාස පොතක් ලෙස සිතා සිටියද ඉතිහාසඥයන් විසින් එය සලකනු ලබන්නේ, විත්ති කතා පොතක් හෙවත් වංශකථා පොතක් ලෙස පමණයි.

මහාවංශය ලිවීම ආරම්භ කරන කතුවරයා තමා ජීවත් වන යුගයට පෙර වූ කොටස ලියන්නේ තමා අසා ඇති දේවල් හා, තමාට විශේෂයෙන් හුවා දැක්වීමට ඇවැසි කරුණුවලට මුල් තැන ලැබෙන පරිදි යි. ලංකාවේ රජ පරපුර, බුදු හිමියන් අයත් ශාක්‍ය වංශයට නෑ දෑ කමක් ඇති බව පෙන්වීමට කියන කරුණු ඊට උදාහරණයක්. මෙවැනි විවිධ නිර්මාණය කිරීම් නිසා, එය ලියන යුගයට පෙර සිටි සමහර රජවරුන් ගේ රාජ්‍ය කාලය අසාමාන්‍ය ලෙස දීර්ඝව දක්වා තිබෙනවා. තවද ඒ ඒ යුගයෙහිත් මහාවංශය ඉදිරියට ලියාගෙන යද්දී, කතුවරයාගේ රුචි අරුචි කම්, පක්ෂග්‍රාහී වීම් හේතුකොට ගෙන, කැමති අය ගැන වැඩියෙන් හා අගයමිනුත් අකමැති අය ගැන අඩුවෙන් හා හෙළා දකිමිනුත් සඳහන් කෙරෙනවා.

මේ නිසා ඉතිහාසඥයන් විසින්, මහාවංශය, තිබෙන ආකාරයෙන් ම, ගෙඩි පිටින්, පිළිගන්නේ නැහැ. එහි තිබෙන තොරතුරු වලින්, සංගතතාවයෙන් යුතු ව තහවුරු වන, ( සමකාලීන දේශීය / විදේශීය මූලාශ්‍රවලද කියවෙන කරුණු හා ගැලපෙන) කරුණු හා, පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් තහවුරු වන තොරතුරු පමණයි, ඉතිහාසය වශයෙන් ශාස්ත්‍රීය ව පිළිගැනෙන්නේ.

මීට පෙන්විය හැකි හොඳම උදාහරණයක් තමයි, විජය කුමරු ලංකාවට පැමිණියාය කියන කතාව. මහාවංශය ලියූ හිමියන්, උන්වහන්සේ ජීවත් වූ යුගයට සියවස් කිහිපයකට එපිට සිද්ධියක් ලෙසයි එම කථාව ලියන්නේ. ඒ කථාව, සංගත ව තහවුරු කෙරෙන කිසිදු දේශීය / විදේශීය මූලාශ්‍රයක් නැහැ. එසේ ම පුරාවිද්‍යාත්මක සාධකයක් ද නැහැ. ඒ නිසා විජයාගමන කථා ව ඉතිහාසඥයන් විසින් සත්‍ය ඓතිහාසික සිද්ධියක් ලෙස පිළි ගැනීමට ලක්වන්නේ නැහැ. 

මෙහිදී මා වැදගත් කරුණු දෙකක් සඳහන් කළා.


  •  වෙනත් මූලාශ්‍ර සමග සංගතතාවයෙන් යුතු ව තහවුරු වීම 


  •  පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වීම.

සංගතතාවයෙන් යුතු ව තහවුරු වීම යනු, සළකා බැලෙන මූලාශ්‍රයේ සඳහන් තොරතුරු, වෙනත්, දේශීය හා විදේශීය මූලාශ්‍රවල සඳහන් තොරතුරු සමග ද ගැලපීමයි.

පුරාවිද්‍යාත්මක ව තහවුරු වීම යනු, අදාල මූලාශ්‍රයේ සඳහන් තොරතුරු, සොයාගන්නා ලද පුරාවිද්‍යාත්මක සාධක, පුරාවිද්‍යා කැණීම්වල ප්‍රතිඵල ආදිය මගින් තහවුරු වීමයි. 

සාහිත්‍ය කෘතියක් මූලාශ්‍රය ලෙස ගැනෙන අවස්ථා නොමැති ද? 

තිබේ.

සාහිත්‍ය කෘතියක සඳහන් වන, කර්තෘ පිළිබඳ තොරතුරු, අදාල යුගයේ පාලකයා පිළිබඳ තොරතුරු, ස්ථාන නාම, මාර්ග පිලිබඳ විස්තර ඇතුලු එම යුගයේ සමකාලීන තොරතුරු, යුගයට අදාල ව, වචනවල අරුත්, ආදී තොරතුරු සම්බන්ධයෙන්, සාහිත්‍ය කෘතියක් ද  මූලාශ්‍රයක් ලෙස ගත හැකියි. 

උදාගරණයක් ලෙස හංස සන්දේශය සළකමු. එහි කර්තෘ, එකල විසූ පාලකයා, ශ්‍රී ජයවර්ධන පුර රජ මැදුරේ සිට කෑරගල දක්වා වැටී තිබූ මාර්ගය, කෑරගල පද්මවතී පිරිවෙන, කෑරගල වනරතන හිමි ආදී ස්ථාන හා පුද්ගලයන් සම්බන්ධ ව, එම කෘතිය, සමකාලීන මූලාශ්‍ර වටිනාකමකින් යුතු ව භාවිතා කළ හැකියි.

එහෙත් කිසිවකු විසින්, කෝට්ටේ යුගයේ දී ලිපි රැගෙන ගොස් භාර දීමේ කාර්යය සඳහා  හංසයින් යොදා ගන්නා ලද්දේ යයි ප්‍රවාදයක් ගොඩ නගා, එය තහවුරු කිරීමේ සාධකයක් ලෙස හංස සන්දේශය ගත හැකි යයි කියා සිටියොත්.......?? ඔබට ඔහු ගැන සිතෙන්නේ කුමක් ද?

රාවණ රජුගේ ඓතිහාසිකත්වය පිළිබඳ ඉදිරිපත් කෙරෙන තර්කවාද සම්බන්ධයෙන් ද ඇත්තේ මේ සංගත භාවයෙන් හෝ පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කළ නොහැකි වීම පිළිබඳ ගැටළුවයි. 

භාරතයේ සාහිත්‍ය කෘතියක් වන රාමායණය, යම් කිසිවක් සම්බන්ධ ව මූලාශ්‍රයක් ලෙස යොදා ගත හැකි නම් එසේ වනු ඇත්තේ, පෙර කී පරිදි කර්තෘ පිළිබඳ ව - හා සමකාලීන සමාජයේ තොරතුරු කිසිවක් සඳහන් වේ නම් ඒ සඳහා - පමණයි. ඒ හැර, එහි කථා පුවතට ශාස්ත්‍රීය මූලාශ්‍රයක් ලෙස වටිනාකමක් නැහැ. 

මේ හැරුණු විට වෙනත් කිසිදු සැබෑ ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට, එම මතවාදය දරන්නවුන් සමත් ව නැහැ.

(සමහරුන් අදාල මතවාදයේ යම් යම් කරුණුවලට තහවුරු ව ලෙස ඉදිරිපත් කර තිබුණේ තමාගේ හිත එසේ කියන බව යි!!!)

ඇත්ත වශයෙන් ම රාවණ කථාවල කියැවෙන අන්දමේ බලගතු රජකු මේ භූමියේ සිටියා නම් එය අපේ ද අභිමානයට හේතු වනවා නිසැකයි. එහෙත්, මෙතෙක් සියලු දේ තහවුරු ව ඇත්තේ එවැනි අයකු සිටියාය කියන ප්‍රවාදය නිශේධනය වන අයුරිනුයි. පහත දැක්වෙන කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන්න.


  • රාවණ රජු සිටි බව විශ්වාස කරන විවිධ කණ්ඩායම් විසින්, එතුමා ජීවත් ව සිටි කාලය ලෙස, එකිනෙකට වෙනස් කාල පරාස කිහිපයක් සඳහන් කරනවා. ඒ හැම එකක් ම අයත් වන කාලය, අප රට ඉන්දීය භූමිය සමග ගොඩබිමින් සම්බන්ධ ව තිබූ කාලය යි. රාමාගේ පිරිස පාලමක් තනා සම්බන්ධ කළ ලංකාව මේ ය යන්න එයින් ම නිශේධනය වෙනවා.


  • ක්‍රි.ව. 6 වන සිය වසින් එපිට කාලයේ දී මේ රට සිංහලද්වීප යනුවෙන් මිස ලංකා යනුවෙන් හැඳින්වුණු බවක් තහවුරු කෙරෙන, කිසිදු ලේඛනයක් හෝ වෙනත් පුරාවිද්‍යාත්මක සාධකයක් හමු වී නැහැ. මෙතෙක් හමු වී ඇති ඉන්දීය ලේඛනවල ද සීහලදීප, ඊළාම් හා ඊළ මණ්ඩලම් (දකුණු ඉන්දියානු ලේඛනවල) වැනි නාමයන් මිස ලංකා යන වචනය හා ආසන්න වූ නමක් හෝ මේ රට වෙනුවෙන් යෙදී නැහැ.



  • රාවණ රජුගේ පැවැත්මට පක්ෂව කරුණු දක්වන අය විසින්, ඒ සම්බන්ධයව නම් කරන කාල පරාස කිහිපයක් තිබෙනවා. අප දිවයිනේ, එම කාල පරාසයන් පිළිබඳ ව පුරාවිද්‍යාත්මක ගවේෂණ විශාල සංඛ්‍යාවක් සිදු කෙරී තිබෙනවා. ඒ සැම එකකින් ම තහවුරු වී තිබෙන්නේ මේ යුග තුල හෝමෝ සාපියන් මානවයා ( නූතන මිනිසා) පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, පසු කර ක්‍රමයෙන් නව ශිලා යුගය දෙසට පරිවර්තනය වන කථාවයි. වෙනත් විදියකින් කියතොත්, සතුන් සේ ම ගල් ගුහාවල ජීවත් වීමේ සිට, යම් යම් සරල නිෂ්පාදන කර ගැනීම, චාරිත්‍ර වාරිත්‍ර වලට හුරු වීම, යන අවධි පසු කරමින් තමන්ට ඇවැසි දේ වගා කරගැනීම අරඹන, තරමක් දියුණු තැනට ඒමේ කථාවයි. විදේශීය මූලාශ්‍ර වලින් ද සංගත ව තහවුරු වන්නේ එකල ලෝකය සිටියේ එතැන බවයි. ඒ හැර ඊට සමකාලීන ව තවත් දියුණු ශිෂ්ටාචාරයක් ද මෙහි පැවතුණු සාධක කිසිවක් මෙතෙක් හමු වී නැහැ (ඇත්තටම එවැනි ශිෂ්ටාචාර දෙකක් සමකාලීන ව පැවතීමේ ඉඩකඩ ඉතා ම අඩුයි. එසේ පැවතුනහොත් වන්නේ දියුණු ශිෂ්ඨාචාරය විසින්, අනෙක විනාශ කිරීම හෝ අවශෝෂණය කර ගැනීම මගින් අවසන් කිරීමයි.)

රාවණා රජුට සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක බොහෝ ඇති බවත්, පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ සම්බන්ධ අධිකාරි බලය සහිත රාජ්‍ය ආයතනයක් විසින් එම සාධක සිතා මතා සඟවන බවත්, ඉහත කී පිරිස සමාජ මාධ්‍යයන් තුල දිගින් දිගට ම ප්‍රකාශ කරනු දකින්නට තිබුණා. එසේ සැඟවීමේ ඉඩක් තිබේ ද?

රාජ්‍ය ආයතන හැරුණු විට, මෙම විෂය පථය ගැන හැදෑරූ / උනන්දු වන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සංවිධාන කිහිපයක් මේ රටේ තිබෙන බවත්, විවිධ ගවේෂණ හා පර්යේෂණවල (කැණීම් නොවන) යෙදෙන ස්වාධීන ගවේශකයන් සැළකිය යුතු පිරිසක් මේ රටේ සිටින බවත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. රාජ්‍ය ආයතනය විසින් කරනු ලබන ගවේෂණයන් පිළිබඳවත් මේ පුද්ගලයන් හා සංගම් බලා සිටින්නේ මහත් අවධානයෙන්. රාජ්‍ය ආයතනය පූර්ව නිගමනයන්හි හිඳිමින් වැරදි මඟක යන්නේ නම් එය පළමුව අවධානයට ලක් වන්නේත්, ඒ පිළිබඳ ව විවේචනය කරනු ලබන්නේත්, බාහිර හා ස්වාධීන වූ ඒ පුද්ගලයන් විසිනුයි. ( මා අදාල රාජ්‍ය ආයතනයට අයත් වූවකු නොවන බව සැළකුව මනා යි.)

දැනට අප රටේ ඉතිහාසය ලෙස පිළිගැනෙන තොරතුරු සම්භාරය, දේශීය හා විදේශීය විද්වතුන් විසින් ගවේෂණය කිරීමෙන් සොයා ගත් ඒවායි. එයින් ඓතිහාසික යුගය ලෙස ගැනෙන කාල පරාසය ට අයත් ඒවා පුරාවිද්‍යාත්මක ව හෝ සංගතතාවය අනුව හෝ එකවර මේ ක්‍රම දෙක ම මගින් හෝ තහවුරු වූ තොරතුරුයි. ඉන් එපිට කාලයට අයත් ඒවා පුරාවිද්‍යා ගවේෂණ තුලින් පමණක් තහවුරු වූ ඒවායි. වරින් වර අළුතින් සොයා ගන්නා සාධක අනු ව මෙතෙක් තහවුරු නොවූ කොටස් අළුතින් තහවුරු වීම ද සිදු වනවා. මේ නිසා කිසියම් රටක ඉතිහාසය යනු අවසන් කර මුද්‍රා තබන විෂය කොටසක් නොවේ.


මේ තවත් අමුතු කතාවක් ගැන....

පුරාවිද්‍යා ගවේෂණයන්හිදී හමු වන දෑ, මානව නිර්මාණ, ආදී විවිධ දේ හඳුනාගනු ලබන්නේ අදාල විෂයය ගැඹුරින් හැදෑරූ ප්‍රාමාණික විද්වතුන් විසින්. එසේ වරක් හඳුනාගනු ලැබූ පුරාවස්තුවක් සම්බන්ධයෙන් වෙනත් අර්ථ දැක්වීමක් සිදු කරන්නේ නම් එය සිදු විය යුත්තේ අදාල ක්ෂේත්‍රය පිළිබඳ ව ගැඹුරු හැදෑරීමක් සහිත අයකු විසිනු යි.

රාවණ රජුගේ ඓතිහාසිකත්වය අශාස්ත්‍රීය ව ඔප්පු කිරීමට දරන උත්සාහය වැනි ම වූ විකාර රූපී ප්‍රයත්නයන් කිහිපයක් සමාජ මාධ්‍ය තුල දැක ගත හැකි බව ද මෙහි දී සඳහන් කළ යුතු වෙනවා. ඊජිප්තුවේ මමි බහා ලන ශිලාමය මිනීපෙට්ටියක් සහ අප රටේ ඇති බෙහෙත් ඔරුවක පින්තූර එක ළඟ තබා, ඊජිප්තුවේ හා ලංකාවේ මමි බහාලීමට මේවා යොදාගන්නා ලදැයි යන අරුතක් ජනිත කරවන ප්‍රකාශයක් ද සටහන් කළ පෝස්ටුවක් මා මෑත දී දුටුවා. මේ වන විටත් හඳුනාගෙන තිබෙන ගොඩනැගිලි විශේෂයක් වන පධානගරයක් රාවණා සහ සීතාවන් ට සම්බන්ධ ස්ථානයක් ලෙස හඳුන්වා දීමට දරා තිබූ උත්සාහයත් එවැන්නක්. එච්. සී. පී.බෙල්, සෙනරත් පරණවිතාන ඇතුලු කීර්තිමත් පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රතිරූපයනට ඉතා පහත් අන්දමින් පහර දීමද මීට සමාන්තර ව සිදුවෙමින් පවතිනවා.

කරුණු කාරණා නොදැනීම හේතුවෙන්, මෙම විකෘති මතයන් හි එල්බ සිටින බොහෝ දෙනෙකු සිටියත් සැළසුම් සහගත ව යම් පිරිසක් විසින් මෙය මෙහෙයවනු ලබන්නේ යයි ද සාධාරණ සැකයක් සමාජය තුල ම ඇති වී තිබෙනවා.

සාධක සහිත ව ඔප්පු කර ඇති අභිමානවත් අතීතය, ව්‍යාජ ඇස්බැන්දුමක් පෙන්වීම මගින් ප්‍රතික්ෂේප කරවීමෙන් ද සිදුවන්නේ මුල් සිඳින ලද අතරමං වූ ජනතාවක් බිහි වීමයි.

කුමන ආකාරයකින් හෝ අප රටේ, මුල් සිඳගත් ජනතාවක් බිහි වීම කාගේ අවශ්‍යතාවක් දැයි මා මගේ, දීල යමු.. හා ද..??, මුලට කෙටීම ආදී වූ පෙර ලිපිවල දිගින් දිගට ම සාකච්ඡා කර ඇති. 

(වැඩිදුර කියවීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතකු ලියූ ලිපියක් ද මෙතැන අමුණා තබනවා.)

Monday, August 13, 2018

දීල යමු...හාද....?

-බන්ධුල සිසිර කුමාර_




මා මීට කලින් ලියූ ලිපි බොහොමයක්, අපේ ඉතිහාසය, අපේ උරුමය වැනි දේ ගැන දැනුවත් කිරීම්. මෙය ඊට වඩා ටිකක් විතර වෙනස් වේවි. 

අපේ රටේ බෞද්ධ පදනමට පහර දීම මේ දවස්වල "නැගල යන වැඩක්". අනෙක් ආගම්වලට දේව අපහාස කළාම මුහුණ දෙන්න වෙන අන්දමේ දරුණු ප්‍රතිවිපාකත් නොලැබෙන නිසා ඒක බයක් නැතුව කරන්නත් පුළුවන්. 

ඒ අතරේ විවිධ පුද්ගලයන් තමන්ගෙ මනෝ විකාර මාකට් කරගන්න Negative Marketing උපක්‍රම ලෙසත් ඒවා යොදා ගන්නා අයුරුත් දැකිය හැකියි. 

මේවා පිළිබඳ ව, මුහුණු පොතේ මෙන්ම බාහිර සමාජයේත් සමහර අවස්ථාවලදී කතාබවට ලක් වන දේ ත්, ඒ ගැන විවිධ මිනිසුන්ගේ අදහස් දැක්වීමුත් දුටු විටයි, මෙය ලිවිය යුතුමයි කියා සිතුණෙ. හොඳ වෙලාවට, අපේ අක් මුල්වලට, පදනම්වලට එරෙහිව ඒ සමහරුන් කියන කතා හා සංකල්ප සාමාන්‍ය ජනතාවට තේරෙන්නෙ නැහැ. නැත් නම් ඒවා නිසා මහා විනාසයක් වෙන්නත් පුළුවන්. 

ඒ නිසා මේ සිදුවන සමහර විප්‍රකාර ගැන කාටත් තේරෙන බාසාවෙන් යම් පැහැදිළි කිරීමක් කළා නම් හොඳයි කියා මට හිතුනා. 

මෙය කතන්දරයක ස්වරූපයෙන් කිව්වාම කාටත් වටහාගන්න හැකිවෙයි කියා සිතෙන නිසා මා ඒ අයුරින් මෙය පැහැදිළි කරන්නම්. 

එකමත් එක කාලයක නොවෙයි, කිතු උපතට වසර හයසීයකට පමණ පෙර ජම්බුද්වීපය ( අද කියන විදියට නම් ඉන්දියානු උප මහාද්වීපය) අද මෙන් ම විමුක්තිය පතා දෙවියන් යදින, බිලි පුද පූජා පවත්වන දේවවාදී ආගම්වලට නතු ව තිබුණා. 

එහෙත් ඒ යුගයේ ඒ පරිසරයේ අදට වඩා වෙනසක් තිබුණා. 

එහි පවත්නා ආගම්වල සංකල්පයන් ප්‍රශ්න කරමින්, ඒවා තුල විසඳුම් නැති යම් යම් ප්‍රශ්නවලට විසඳුම් සොයමින් පරම සත්‍ය කුමක්දැයි ගවේෂණය කරමින් සිටි (කිං සච්ච ගවේසී) තරුණ හා මැදිවියේ මිනිසුන් සැළකිය යුතු ප්‍රමාණයක් ද ඒ වටපිටාවේ සිටියා. ගෘහස්ථ ජීවිතයෙන් වෙන්ව, වන උයන් ආශ්‍රිත ව සිටි ඔවුන් පොදුවේ හැඳින්වූයේ උපනිෂද් මුනිවරුන් ලෙස. 

පවත්නා රටාවේ දුර්වල තැන් හා අඩුපාඩු හඳුනාගෙන, ඒවා ට වඩාත් සතුටුදායක විසඳුම් සොයමින් හා අධිපතිවාදී මිත්‍යා සංකල්ප නිර්භය ව ප්‍රතික්ෂේප කරමින් සිටි ඔවුන් රැඩිකල් චරිත ලෙස හැඳින්වීම නිවැරදි වුවත් අපේ සමාජය තුල එසේ යයි කියා ගන්නා මිනිසුන් නිසා අර්ථය විකෘති වී කෙළෙසී ඇති එම වචනය යොදා ගැනීමෙන් වෙනත් අරුතක් ගම්‍ය වෙන්න පුළුවන්. 

මේ මුනිවරුන් අතරින් අද්විතීය චරිතය බවට බුදුන් වහන්සේ පත් වූයේ කරුණු කිහිපයක් මුල් කොට ගෙනයි. සත්වයා /පුද්ගලයා තුල නැවත නැවත උපත ලබන ආත්මයක් ඇතැයි යන එකල පිළිගත් මතය බැහැර කළ උන්වහන්සේ සත්වයා යනු දෘඩාංග හා මෘදුකාංග එකතුවක් ( එකල භාවිත වූ වචන අනු ව නාම හා රූප) බවත් සසර සරන්නේ ආත්මයක් නොව දත්ත එකතුවක් සහිත මෘදුකාංගයක් (උපාදානස්කන්ධ) බවත් පැහැදිළි කළා. එමෙන් ම මේ පීඩාකාරී වූ සසර සැරීම අවසන් කිරීමේ ක්‍රමවේදය සොයාගත් උන්වහන්සේ එය ලෝකයා වෙත ඉදිරිපත් කළා. [මා කියූ කරුණු ඔබට ගැටළු සහගත යයි හැඟේ නම් ඒ ගැන වෙන ම සාකච්ඡා කරමු.] සසර ගමන අවසන් කිරීමේ මාර්ගය සොයා පැමිණි අයට ඊට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන් අතර, අවුල් ඇති වීම අවම කරගෙන වඩාත් සාර්ථක, විචාරශීලී හා නිවැරදි ජීවිතයක් ගෙන යන ආචාරධාර්මික මාර්ගයක් පොදු ජනතාවට පෙන්වා දුන්නා. කර්මවාදයේ කියැවෙන දෑ සහ සිඟාලෝවාද, කාලාම, මංගල ආදී සූත්‍ර නිරීක්ෂණයෙන් වුව අපට ඒ දෑ පැහැදිළි වෙනවා. 

බුදු සමය ආරම්භයේදී එහි ආගමික ස්වරූපයක් නොතිබුණු බව පැහැදිළියි. 

ගරුකටයුතු අයට වන්දනා කිරීම එකල මෙන් ම අදත් පෙරදිග සමාජය තුල දැකිය හැක්කක්. උන් වහන්සේ එම සමාජ සංස්කෘතික ලක්ෂණය ප්‍රතික්ෂේප කළේ හෝ වන්දනා කරන ලෙස නියම කළේ හෝ නැහැ. එහෙත් ආමිස පූජාවන්ට වඩා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාව (පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීම) බව ප්‍රකාශ කළා. 

කෙසේ වුවත් බුදු හිමියන්ගේ පිරිනිවීමෙන් හා ආදාහනයෙන් පසු ගත වූ ශත වර්ෂ තුනක කාලය තුල, ශාරීරික ධාතු නිදන් කළ චෛත්‍යයනට වන්දනා කිරීම, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම ආදී පුද පූජා විධි ස්වල්ප ප්‍රමාණයක් බුදු සමය හා බැඳුනු සංස්කෘතියට එකතු වූ බව පෙනෙනවා. 

දැන් අපි නැවතත් අපේ රටට පැමිණෙමු. 

බුදුන් වහන්සේ ජීවමාන ව සිටි යුගය වන විට අපේ රට පැවතුනේ කුමන අන්දමින් දැයි සොයා බැලීම වැදගත්. ඒ යුගයේ යක්ෂ නාග හා දේව යන ජනවර්ගයන් තුනක් මෙහි සිටි බව ජනප්‍රවාදයේ එන අතර විධිමත් අවමංගල චාරිත්‍ර විධි, විදේශික නිෂ්පාදන ආනයනය කිරීම් වැනි දෑ සිදු කළ කිසියම් මට්ටමක දියුණු ජන කොටස් ජීවත් වී ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙනවා. මේ හැරුණු විට බෙංගාලය ප්‍රධාන කොට ඉන්දියානු උප මහාද්වීපයේ සිට පැමිණි සංක්‍රමණික ජනතාවක් ද මෙහි වූ බව පැහැදිළියි. විජය කුමරු පිළිබඳ ජනප්‍රවාදයෙන් දැක්වෙන්නේ මෙවන් සංක්‍රමණයක සිද්ධියක් විය යුතුයි. අපගේ හැඩරුව හා භාෂාව සම්බන්ධයෙන් බෙංගාලයේ ඇති සමානතා සලකා බලන විට මෙම බෙංගාලි සංක්‍රමණියන් කෙරෙන් වූ බලපෑම පැහැදිළි වෙනවා. 

ක්‍රි. ව. හය වන සියවසට පෙර ලංකාව නමින් රටක් ගැන සඳහනක් අප රටේ වත් නොමැති අතර එකල මෙය හැඳින්වූ නම සිංහලද්වීප බවට සාධක කොතෙකුත් තිබෙනවා.  වෙනකක් තබා විජය කුමරුගේ කථාව බෙංගාලි ජනප්‍රවාදවල එන්නේ "විජාය් සිං (සිංහ පරපුරේ විජය) සිංහලද්වීපය ආක්‍රමණය කළා" යනුවෙන්. 

ඉතින් පෙර කී ස්වදේශික ජනවර්ග තුනත්, සංක්‍රමණික ජනතාවත් මෙහි විසූ අතර ඔවුන් සියල්ල පොදුවේ හැඳින්වුණේ රටේ නමින්. එනම්, සිංහලයන් නමින්.  හරියටම කියතොත්, අද ශ්‍රී ලාංකිකයන් කියන්නාක් මෙන්. (මගේ සිංහලයෝ සහ ශ්‍රී ලාංකිකයෝ ලිපිය බලන්න.)

මෙසේ ජීවත් වූ ජන කණ්ඩායම වෙතට ක්‍රි. පූ. තුන් වන සියවසේදී රාජ්‍ය අනුග්‍රහයෙන් බුදු දහම හඳුන්වා දුන් පසු ඒ ජනතාව සියලු දෙනාම පාහේ එම නව දහමේ ආචාර ධර්ම පද්ධතියට අනුගත වෙනවා. තමන් එතෙක් ඇදහූ ඇදහිලි ක්‍රම ද ඊට අනුවර්තනය කර ඇතුලත් කර ගන්නවා. 

බුදු දහම හඳුන්වා දීමෙන් පසු මේ සමාජයේ පොදු ජනතාව අතර ගොඩ නැගුණේ නිවන් මගට පිළිපන් උපාසකයන් රැසක් යයි අප සිතා ගතහොත් එය බරපතල වැරදීමක්. සසර කෙලවර කිරීම වැදගත් ලෙස සිතූ අය ගිහි ජීවිතයෙන් වෙන් ව ඒ මාර්ගයේ ගියා. එහෙත් පොදු ජනතාව, බෞද්ධ ආචාර ධර්ම පද්ධතියට හැකි තරම් දුරට අනුගත වූ, කරුණාව, කළගුණ සැළකීම, සදාචාර සම්පන්න බව ආදී යහ ගුණ සහිත සමාජයක් බවට පත්වුණා. ඒ හැර පන්සිල් පද පහ අකුරට ම රැකීමේ හෝ, සතුරාටත් මෛත්‍රී කළ යුතු යයි කියා ආක්‍රමණිකයන් හමු වේ හිස පහත් කරන ස්ථාවරයක හෝ ඔවුන් සිටියේ නැහැ. මා මේ පිළිබඳ ව මේ බ්ලොගයෙහි මිනිස්සුනේ අපි මිනිස්සුනේ ලිපියේ වැඩිදුරටත් කරුණු පැහැදිළි කර ඇති. 

එක් ආචාර ධර්ම පද්ධතියකට හා සංස්කෘතියට සියලු දෙනාම අනුගත වීම හේතු කොට ගෙන, තවත් සියවස් හතරක් පහක් ගෙවෙන විට සියලු දෙනාටම සිය මුල් ජනවාර්ගික අනන්‍යතා අමතක වී ගියා. ඉන් පසු පොදුවේ ඔවුන් හැම දෙනාම, ඔවුන් විසින් ම හැඳින්වුණේ ද රටේ නමින් - සිංහලයන් නමින්- පමණයි. 

අපේ ලාංකික බෞද්ධ සමාජය ගොඩ නැගුණේ මේ අන්දමින්. එකල තිබුණේ ලංකාව නොව සිංහලය කියා රටක් බැවින්, එය සිංහල බෞද්ධ සමාජය නම් වුණා. 

මේ අතරේ ලෝකය පුරා තවත් රැල්ලක් පැතිර ගියා. ඒ රැල්ල භක්තිවාදී රැල්ලයි. ඒ ක්‍රි.ව. පළමු වන සියවස. 

භක්ති වාදී රැල්ල හමුවේ ජනප්‍රියතාව අඩුවී ගිලිහී යාම වලක්වා ගැනීම පිණිස, භක්තියට මුල් තැනක් නොදුන් සමයයන්ට ද භක්තිවාදී බාහිර ආවරණයක් දමා ගැනීමට සිදු වුණා. බුදු සමයට ද එම පියවර ගැනීමට සිදු වූ අතර, එතෙක් සිදු නොකළ දෙයක් වූ බුදු පිළිම නිර්මාණය කිරීම දඹදිව්හි ඇරඹුණේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ඇදහිලි පුද පූජා සහිත භක්තිවාදී ආවරණයක් පිටින් දමා ගැනීම නිසා. බෞද්ධ දර්ශනයත් ඇතුළු බුදු සමය අතුරුදන් නොවී තව බොහෝ කලක් රැකගත හැකි වූවා. 

මේ තත්ත්වය යටතේ අපේ රටේ වූ බෞද්ධ සංස්කෘතියටත්, පෙරදී තිබුණාට වඩා ඇදහිලි හා පුද පූජා ක්‍රම කිසියම් ප්‍රමාණයක් ඇතුළු වූවා. 

මේ අන්දමින් වර්ධනය වෙමින් පරිණාමය වෙමින් මේ රටේ බෞද්ධ සංස්කෘතිය සියවස් ගණනක් පැවත ආවා. විවිධ ආක්‍රමණයන්, මහා විනාශයන් හා සංහාරයන් වලට මුහුණ දීමෙන් අනතුරු ව පවා එහි මූලික පදනම මුළුමනින් විනාශ වූයේ නැහැ. 

ඈත අතීතයේ සිටම මෙම දිවයිනේ සුවිශේෂි පිහිටීම නිසා ඇති වූ වෙළඳ ක්‍රමෝපායික වටිනාකම නිසා විවිධ විදේශීය ජාතීන් මෙම දිවයින අත්පත් කර ගැනීමට උත්සාහ කළා. මෙහි වැසියන් දිවි පරදුවට තබා යුද වැදී ඒවා වැළැක්වූව ද සමහර අවස්ථාවලදී ආක්‍රමණිකයන් ජය ගත්තා. 

අද වන විට වාණිජමය වශයෙන් පමණක් නොව, අන්තර්ජාතික යුද්ධෝපක්‍රමික වශයෙන් ද මේ දිවයිනේ යම් යම් ස්ථානවල පිහිටීමේ සුවිශේෂීතා, ලෝක ආධිපත්‍ය සොයන බලවත් ජාතීන් විසින් හඳුනාගෙන ඇති අන්දම, විමසිලිමත් ව බැලුවොත් ඔබට සොයා දැන ගත හැකි වේවි. මේ යථාර්ථය වටහා ගැනීමට නම් අප බොහෝ දෙනෙකු දැනට හිඳින කෝෂවලින් එළියට පැමිණ වඩාත් විචාරශීලී ව හා නිරීක්ෂණාත්මක ව ලෝකය දෙස බැලිය යුතුයි. 

තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙවැනි බලවතුනට යම් කිසි ස්ථානයක් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව ඇති වුවහොත් ඔවුන් ඒ සඳහා, සිතා ගැනීමට පවා අසීරු විවිධ කූඨෝපක්‍රමයන් යොදනවා. 

ඔබට එය වටහා ගැනීම අසීරු නම් - උදාහරණයක් ලෙස- ආතර් සී. ක්ලාක් ලියූ, එස්. එම්. බන්දුසීල ශූරීන් පරිවර්තනය කළ "පාරාදීසයේ උල්පත්" නම් වූ විද්‍යා ප්‍රබන්ධය කියවන්න. අභ්‍යවකාශ සෝපානය නමැති ඉදිකිරීම සඳහා ලෝකයේ සුදුසු ම ස්ථානය ශ්‍රී පාද කඳු මුදුන ලෙස වටහා ගන්නා එක්තරා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක්, ඉතාමත් උපක්‍රමශීලී ලෙස බෞද්ධයන් වෙතින් එම ස්ථානය තමන් වෙත ඩැහැ ගන්නවා. ඉන් අනතුරු ව සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ ඊනියා අභ්‍යවකාශ අටල්ල එහි ඉදි කරනවා. 

එය, අදාල මිනිසුන් කටයුතු කරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ඇති ආතර් සී. ක්ලාක් විසින් කරන ලද ප්‍රබන්ධයක් පමණයි. සැබෑ ලෝකයේ ඔවුනට ශ්‍රීපාද කඳු මුදුනට වඩා වැදගත් වන වෙනත් බොහෝ ස්ථාන මෙහි ඇති බව කියැවෙනවා. 

මේ භූමිය ඔවුන්ගේ කෙළි මඬලක් කර ගැනීමට ඉතිරි ව ඇති මහත් බාධාවක් වන්නේ, මා මුලින් කී, ඈත අතීතයේ සිට පැමිණ තවමත් කිසියම් ප්‍රමාණයකට නොනැසී පවතින සිංහල බෞද්ධ පදනමයි. ඒ වටා වූ, ජාතියක් ලෙස එක් රැස්වන ස්වභාවයයි. එහි සාරධර්ම පද්ධතියේ අවශේෂයනුයි. 

ඒ නිසා ඔවුන් පළමු පියවර ලෙස ආරම්භ කරන්නේ එම පදනම විනාශ කිරීමයි. ඒ සඳහා පිටතින් මෙන් ම ඇතුලතින් ද විවිධ පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන අන්දම ද වඩාත් විමසිල්ලෙන් හා විචාරශීලී ව බැලුවොත් ඔබට වටහා ගත හැකි වේවි.( වැඩි දුර තොරතුරු මෙම බ්ලොගයේ මා ලියූ මුලට කෙටීම ලිපියේ ඇති. )

1970 දශකය අවසාන වෙද්දී අපේ රටට පැමිණි විවෘත ආර්ථික රටාව සමග බැඳුණු සාරධර්ම පරිහානිය හා ආකල්ප පරිවර්තනය සමග පන්සලටද වාණිජකරණයේ ලක්ෂණ ගලා ආ අන්දම සම්බන්ධයෙන් අප ඇසින් දුටු සාක්ෂි කරුවන් වනවා. ඒ සමගාමී ව මිනිසුන් තුල විවිධ අන්ධ භක්තීන් වර්ධනය වීම කැපී පෙනුණා. විසිවන සියවස නිමා වෙද්දී ගංගොඩවිල සෝම හිමියන්, එම අන්ධකාරයෙන් ජනතාව මුදා කැනීමේ දැවැන්ත කාර්යයක තනිව ම යෙදුණු අයුරු ද අප ඇසින් දුටුවා. එහෙත් උන්වහන්සේගේ හදිසි අභාවයත් සමග ගත වුණු විසි එක් වන සියවසේ දශක එක හමාර ගෙවී ගියේ, වඩාත් සංකීර්ණ ලෙස, බුදු දහම ලෙස වෙස් වලාගෙන විවිධ විච්චූරණ ඇදහිලි හා විකාරරූපී පූජාවන් පෙරටු කොට ගත් ආගමික පූජා රටාවන් විවිධ අන්දමින් කලඑළි බසිමිනුයි. (වැඩිමනත් තොරතුරු සඳහා මෙම බ්ලොගයේ මගේ  විකෘති ලිපිය කියවන්න.) 

මේ සම්බන්ධයෙන් මා දරන පෞද්ගලික අදහස නම්, මෙම නව පුද පූජා විධි ද අපගේ පදනම විනාශ කිරීම පිණිස බාහිර මෙහෙයවීමෙන්, ඇතුලතින් ක්‍රියාත්මක වන පෙරමුණු බවයි. 

එම පෙරමුණු එසේ ක්‍රියාත්මක වන අතර ම, ඒ විපරීත පුද පූජා හා ආකල්ප සහිත උප සංස්කෘතිය, බුදු සමය ලෙස ‍පෙන්වා දෙමින් ලාබාල තරුණ තරුණියන් බුදු දහම කෙරේ කළකිරවීමට ක්‍රියා කරන පෙරමුණු තවත් පසෙකින් දැකිය හැකියි. 

එසේම, අපට බොහෝ සේ ආගන්තුක වූ වටපිටාවන් හි ජීවත් වූ විවිධ දාර්ශනිකයන් සිය අත්දැකීම් හා වින්තන ක්‍රම අනුසාරයෙන් ගොඩ නැගූ ආකෘතීන් තුලට, අප සමාජයේ සිදුවීම් කෘත්‍රිම ලෙස ඔබ්බවා, විනිශ්චයන් ඉදිරිපත් කරන අනුකාරක උගතුන්ද, ඔවුනට හසුව මොළය අවුල් කර ගන්නා තරුණ ප්‍රජාවක් ද බිහිවන අයුරු ද විමසිලිමත් ව බැලුවහොත් ඔබට පෙනේවි. 

තව ද, බෞද්ධ සංස්කෘතියට අයත් පූජනීය වචන, සංකේත ආදිය අවභාවිතා කරමින් හෑල්ලුවට ලක් කරන පෙරමුණු ද දැකිය හැකියි. 

ඔබට මෙහි යථාර්ථය වටහා ගැනීමට අවශ්‍ය වේ නම් කතෝලික හා ඉස්ලාම් සංස්තෘතීන් හෑල්ලුවට ලක් කෙරෙන අවස්ථා තිබේ දැයි සොයා බලන්න. තිබේ නම් ඒ සාපේක්ෂ ව කොපමණ සංඛ්‍යාවක් දැයි සොයා බලන්න. 

සමාජ ජාල හා වෙනත් එවැනි මාර්ග ඔස්සේ සමහර පෙරමුණු ක්‍රියාත්මක මන අතර, ඒවායේ මහා හඬ නගන බොහෝ දෙනෙකු විදේශ රටවල පදිංචි ව සිටින්නන් බව ද දන්නෝ දනිති. 

මේ සියලු උපද්‍රවයන් හඳුනාගෙන ඒවා පිටු දැකීමට අප ක්‍රියා නොකළ හොත් අවසානයේ අප සනුහරය ද රතු ඉන්දියානුවන් මෙන් කෞතුක වස්තුවක් පමණක් බවට පත් වනු ඇති. අපගේ දිවයින බලවතුන්ගේ කෙළි බිමක් වනු ඇති.

වැරදි පාර... - බන්ධුල සිසිර කුමාර - මෙය, ශාස්ත්‍රීය පර්යේෂණයක් නොවෙයි. කාලයක් තිස්සේ සමාජය පිළිබඳව විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමෙනුත්, යම් යම...