ඉතිහාසය, පුරාවිද්‍යාව, ගී රස භාව වින්දන, ජන කවි හා ජනශ්රැති, සමාජ විමර්ශන ඇතුලත් නිදහස් ලේඛන එකතුවකි.
Showing posts with label Thoughts. Show all posts
Showing posts with label Thoughts. Show all posts
Sunday, May 31, 2020
වර්ගීකරණය:
Archaeology,
History,
Social Review,
Thoughts
Monday, April 20, 2020
රාවණා ඇවිත්....
-බන්ධුල සිසිර කුමාර -
මෙම ලිපිය ඉතිහාස විෂයයට තරමක් සම්බන්ධ වුවත් සම්බන්ධ වුවත්, ඓතිහාසික සිද්ධියක් ගැන නම් නොවෙයි.
මා බොහෝ ලිපිවල නැවත නැවතත් සඳහන් කළ කරුණු කිහිපයක් මෙහිදී යළිත් සිහිපත් කරනවා.
සැම දිනයක් ම ඊට පෙර හා පසු දිනය සමග, හේතුව හා ඵලය වශයෙන් සම්බන්ධයි. ඒ නිසා අද දවසේ සිදුවන සමහර සිදු වීමක මූල හේතුව, ඈත අතීතයේ වූ සිද්ධියක් වන්නට හැකියි.
අතීතය සම කළ හැක්කේ ගුරුවරයකුටයි. එය අපට වැරදුණු තැන් පෙන්වා ඒවායින් පාඩම් ලබාගැනීමට කියා දෙනවා. සියල්ල නිවැරදි ව සිදුවූ තැන් පෙන්වා එයින් ආදර්ශ ගැනීමට කියා දෙනවා. අප කවුදැයි පෙන්වා දී අපට අයත් දේ රැක ගැනීමට උනන්දු කරවනවා.
එසේ නොමැති ව, අතීතය යනු කරඬුවක තබා වන්දනා කරමින් සිටිය යුතු දෙයක් නොවෙයි. එසේ ම, ද්වේෂයෙන් වෛරයෙන් යුතු ව පහර දී වනසා දැමිය යුතු එකක් ද නොවෙයි.
දශක තුන හතරකට පෙර වූ කාලයේ දී පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂයය ඉවත් කෙරුණා. ඉතිහාසය කන්නදැයි ඇසූ පාලකයන් ද ඒ ආසන්න යුග වල සිටියා.
ඒ ඓතිහාසික වරදෙහි ප්‍රතිඵල, දශක කිහිපයක් ගතවෙද්දී නිකුත් වන්නට පටන් ගත්තා. එය ආකාර දෙකකින් ප්‍රදර්ශනය වූවා. පළමු ව කැපී පෙනෙන්නට පටන් ගත්තේ එක් ආකාරයක්.
ඉතිහාසය යනු කුමක්දැයි මෙලෝ හසරක් නොදැන, අවිචාරයෙන්, අතීතයටත්, තමාගේ ම මුල්වලටත් ගරහන, වෛර කරන පරපුරක් බිහි වීම.
දෙවැනි ආකාරය.....
දෙවැනි ආකාරය විස්තර කිරීමට පෙර මා අතුරු කථාවක් කියන්නම්.
යුරෝපා රටවල යටත් විජිතයන් බවට පත් වීම හේතු කොට ගෙන, අප වැනි රටවලට සිදු වූ සාමාජීය, සංස්කෘතික, ආර්ථික හානි බොහොමයි. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන් පැවති සමයන්හි දී, කුතුහලයෙන් යුතු සමහර නිලධරයන්, ඒ ඒ විජිතයන්හි අතීතය පිළිබඳ ගවේෂණවල හා පර්යේෂණවල යෙදුණා.
ඉංග්‍රීසින් භාරත භූමිය යටත් කරගන්නා සමය වන විට, භාරතයේ වැසියන් (ඉන්දියානුවන්) සිය ඉතිහාසය යැයි සිතා සිටියේ දේව පුරාණ කථා සමූහයකට...!!
ඒ හැර, දූරාතීතයේ ලොව බිහි වුණු, සාපේක්ෂ ව දියුණු ශිෂ්ඨාචාර කිහිපය අතුරින් එකක් වූ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ඒ භූමියේ බිහි වූ බව, පසු කලෙක වයඹ දිග දුර්ගයන් ඔස්සේ ඉරාණ දේශය දෙසින් පැමිණි ආර්යයන් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ කර සිය ආධිපත්‍යය භාරත භූමිය තුල තහවුරු කරගත් බව, ඊ ටත් පසුව එක්තරා යුගයෙක, එතෙක් පැවති ආගමික සිරිත් විරිත්, ගතානුගතික අදහස් හා ආකල්ප ප්‍රශ්න කරමින් නව මං සොයා ගිය බුදුන් වහන්සේ ඇතුලු දාර්ශනිකයන් රැසක් බිහි වූ යුගයක් පැවති බව ඔවුන් දැන සිටියේ නැහැ.
එසේ ම භාරත භූමියේ විශාල ප්‍රදේශයක සිය බලය තහවුරු කර ගත් අශෝක නම් වූ මහා අධිරාජයකු සිටි බව, ඔහුගේ අනුග්‍රහයෙන් ලෝකයේ විශාල වපසරියක් පුරාවට බෞද්ධ ධර්ම දූතයන් යැවුණු බව, නාලන්දා, වික්‍රමශිලා වැනි දැවැන්ත විශ්වවිද්‍යාල බිහි වූ බව, වයඹ දිග දුර්ග ඔස්සේ ම පැමිණි මුස්ලිම් ආක්‍රමණිකයන් නාලන්දා විශ්වවිද්‍යාලය ඇතුලු බොහෝ දෑ ගිනිබත් කළ බව ද ඔවුන් දැන සිටියේ නැහැ.
ඉන් පසු පැමිණි මූගල් ආක්‍රමණිකයන්, එතෙක් පැවති හින්දු හා බෞද්ධ රාජ්‍යයන් යටත් කර ගනිමින් භාරත භූමියේ සිය බලය තහවුරු කර ගැනීමේ කථාව ද ඔවුන් දැන සිටියේ නැහැ. තම රටේ අතීතය පිළිබඳ මෙලෝ හසරක් නොදත් එකල ඉන්දියානුවන්, ආගමික ග්‍රන්ථවල කියැවෙන අද්භූත දේව පුරාණයන් සිය ඉතිහාසය ලෙස සිතා සිටියා.
කුඩා කල සිට රටේ ඉතිහාසය නොඋගැන්වීමෙහි දෙවැනි ප්‍රතිඵලය ලෙස අප රටේ ද සිදු වූයේ, පුරාණ භාරතීය දේව කථාවන්හි ඇති තොරතුරු අප රටේ ඉතිහාසය ලෙස ද, එම දේව කථා ඓතිහාසික මූලාශ්‍ර ලෙස ද සලකන පරපුරක් බිහි වීමයි.
දැනට අප රටේ සමාජය තුල, මෙසේ ශාස්ත්‍රීය නොවන මත කිහිපයක් ම කරලිය ට පැමිණ තිබෙනවා. ඉන් එකක් වන්නේ රාවණ රජුගේ ඓතිහාසික බව පිළිබඳ ව කියැවෙන පුවතයි. අප මෙම ප්‍රවාදයේ තර්කානුකූලභාවය මඳක් විමසා බලමු.
අපේ රටේ අතීතය, යුග කිහිපයක ට බෙදෙනවා. ඉන් වර්තමානයට ආසන්නතම කාලය හැඳින්වෙන්නේ ඓතිහාසික යුගය නමින්. මේ යුගය මහාවංශයේ සඳහන් ව ඇති අවුරුදු දෙදහස් පන්සිය ගණනක් වන කාලයයි.
රාවණයන්ගේ පැවැත්ම ගැන දැඩි සේ විශ්වාස කරන පිරිස විසින්, එය විශ්වාස නොකරන අයට වාග් ප්‍රහාර එල්ල කරනු මා දැක තිබෙනවා, මහාවංශය කරතබාගෙන යන්නවුන් ය, විජය නමැති සොරදෙටුවකුගෙන් තමා පැවතෙතැයි විශ්වාස කරන්නවුන් ය, ආදි වශයෙන්.
ඇත්ත වශයෙන් ම රාවණාගේ ඓතිහාසිකත්වය පිළිබඳ ව විශ්වාස නොකරන්නේ, ඉතිහාසය හා පුරා විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් හා එම විෂයයන් පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් ඇත්තවුන්. මහාවංශය පිළිබඳ ව ඔවුන්ගේ මතය කුමක් දැයි විමසා බලමු.
පොදු ජනතාව විසින් මහාවංශය ඉතිහාස පොතක් ලෙස සිතා සිටියද ඉතිහාසඥයන් විසින් එය සලකනු ලබන්නේ, විත්ති කතා පොතක් හෙවත් වංශකථා පොතක් ලෙස පමණයි.
මහාවංශය ලිවීම ආරම්භ කරන කතුවරයා තමා ජීවත් වන යුගයට පෙර වූ කොටස ලියන්නේ තමා අසා ඇති දේවල් හා, තමාට විශේෂයෙන් හුවා දැක්වීමට ඇවැසි කරුණුවලට මුල් තැන ලැබෙන පරිදි යි. ලංකාවේ රජ පරපුර, බුදු හිමියන් අයත් ශාක්‍ය වංශයට නෑ දෑ කමක් ඇති බව පෙන්වීමට කියන කරුණු ඊට උදාහරණයක්. මෙවැනි විවිධ නිර්මාණය කිරීම් නිසා, එය ලියන යුගයට පෙර සිටි සමහර රජවරුන් ගේ රාජ්‍ය කාලය අසාමාන්‍ය ලෙස දීර්ඝව දක්වා තිබෙනවා. තවද ඒ ඒ යුගයෙහිත් මහාවංශය ඉදිරියට ලියාගෙන යද්දී, කතුවරයාගේ රුචි අරුචි කම්, පක්ෂග්‍රාහී වීම් හේතුකොට ගෙන, කැමති අය ගැන වැඩියෙන් හා අගයමිනුත් අකමැති අය ගැන අඩුවෙන් හා හෙළා දකිමිනුත් සඳහන් කෙරෙනවා.
මේ නිසා ඉතිහාසඥයන් විසින්, මහාවංශය, තිබෙන ආකාරයෙන් ම, ගෙඩි පිටින්, පිළිගන්නේ නැහැ. එහි තිබෙන තොරතුරු වලින්, සංගතතාවයෙන් යුතු ව තහවුරු වන, ( සමකාලීන දේශීය / විදේශීය මූලාශ්‍රවලද කියවෙන කරුණු හා ගැලපෙන) කරුණු හා, පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් තහවුරු වන තොරතුරු පමණයි, ඉතිහාසය වශයෙන් ශාස්ත්‍රීය ව පිළිගැනෙන්නේ.
මීට පෙන්විය හැකි හොඳම උදාහරණයක් තමයි, විජය කුමරු ලංකාවට පැමිණියාය කියන කතාව. මහාවංශය ලියූ හිමියන්, උන්වහන්සේ ජීවත් වූ යුගයට සියවස් කිහිපයකට එපිට සිද්ධියක් ලෙසයි එම කථාව ලියන්නේ. ඒ කථාව, සංගත ව තහවුරු කෙරෙන කිසිදු දේශීය / විදේශීය මූලාශ්‍රයක් නැහැ. එසේ ම පුරාවිද්‍යාත්මක සාධකයක් ද නැහැ. ඒ නිසා විජයාගමන කථා ව ඉතිහාසඥයන් විසින් සත්‍ය ඓතිහාසික සිද්ධියක් ලෙස පිළි ගැනීමට ලක්වන්නේ නැහැ.
මෙහිදී මා වැදගත් කරුණු දෙකක් සඳහන් කළා.
- වෙනත් මූලාශ්‍ර සමග සංගතතාවයෙන් යුතු ව තහවුරු වීම
- පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වීම.
සංගතතාවයෙන් යුතු ව තහවුරු වීම යනු, සළකා බැලෙන මූලාශ්‍රයේ සඳහන් තොරතුරු, වෙනත්, දේශීය හා විදේශීය මූලාශ්‍රවල සඳහන් තොරතුරු සමග ද ගැලපීමයි.
පුරාවිද්‍යාත්මක ව තහවුරු වීම යනු, අදාල මූලාශ්‍රයේ සඳහන් තොරතුරු, සොයාගන්නා ලද පුරාවිද්‍යාත්මක සාධක, පුරාවිද්‍යා කැණීම්වල ප්‍රතිඵල ආදිය මගින් තහවුරු වීමයි.
සාහිත්‍ය කෘතියක් මූලාශ්‍රය ලෙස ගැනෙන අවස්ථා නොමැති ද?
තිබේ.
සාහිත්‍ය කෘතියක සඳහන් වන, කර්තෘ පිළිබඳ තොරතුරු, අදාල යුගයේ පාලකයා පිළිබඳ තොරතුරු, ස්ථාන නාම, මාර්ග පිලිබඳ විස්තර ඇතුලු එම යුගයේ සමකාලීන තොරතුරු, යුගයට අදාල ව, වචනවල අරුත්, ආදී තොරතුරු සම්බන්ධයෙන්, සාහිත්‍ය කෘතියක් ද මූලාශ්‍රයක් ලෙස ගත හැකියි.
උදාගරණයක් ලෙස හංස සන්දේශය සළකමු. එහි කර්තෘ, එකල විසූ පාලකයා, ශ්‍රී ජයවර්ධන පුර රජ මැදුරේ සිට කෑරගල දක්වා වැටී තිබූ මාර්ගය, කෑරගල පද්මවතී පිරිවෙන, කෑරගල වනරතන හිමි ආදී ස්ථාන හා පුද්ගලයන් සම්බන්ධ ව, එම කෘතිය, සමකාලීන මූලාශ්‍ර වටිනාකමකින් යුතු ව භාවිතා කළ හැකියි.
එහෙත් කිසිවකු විසින්, කෝට්ටේ යුගයේ දී ලිපි රැගෙන ගොස් භාර දීමේ කාර්යය සඳහා හංසයින් යොදා ගන්නා ලද්දේ යයි ප්‍රවාදයක් ගොඩ නගා, එය තහවුරු කිරීමේ සාධකයක් ලෙස හංස සන්දේශය ගත හැකි යයි කියා සිටියොත්.......?? ඔබට ඔහු ගැන සිතෙන්නේ කුමක් ද?
රාවණ රජුගේ ඓතිහාසිකත්වය පිළිබඳ ඉදිරිපත් කෙරෙන තර්කවාද සම්බන්ධයෙන් ද ඇත්තේ මේ සංගත භාවයෙන් හෝ පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කළ නොහැකි වීම පිළිබඳ ගැටළුවයි.
භාරතයේ සාහිත්‍ය කෘතියක් වන රාමායණය, යම් කිසිවක් සම්බන්ධ ව මූලාශ්‍රයක් ලෙස යොදා ගත හැකි නම් එසේ වනු ඇත්තේ, පෙර කී පරිදි කර්තෘ පිළිබඳ ව - හා සමකාලීන සමාජයේ තොරතුරු කිසිවක් සඳහන් වේ නම් ඒ සඳහා - පමණයි. ඒ හැර, එහි කථා පුවතට ශාස්ත්‍රීය මූලාශ්‍රයක් ලෙස වටිනාකමක් නැහැ.
මේ හැරුණු විට වෙනත් කිසිදු සැබෑ ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට, එම මතවාදය දරන්නවුන් සමත් ව නැහැ.
(සමහරුන් අදාල මතවාදයේ යම් යම් කරුණුවලට තහවුරු ව ලෙස ඉදිරිපත් කර තිබුණේ තමාගේ හිත එසේ කියන බව යි!!!)
ඇත්ත වශයෙන් ම රාවණ කථාවල කියැවෙන අන්දමේ බලගතු රජකු මේ භූමියේ සිටියා නම් එය අපේ ද අභිමානයට හේතු වනවා නිසැකයි. එහෙත්, මෙතෙක් සියලු දේ තහවුරු ව ඇත්තේ එවැනි අයකු සිටියාය කියන ප්‍රවාදය නිශේධනය වන අයුරිනුයි. පහත දැක්වෙන කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන්න.
- රාවණ රජු සිටි බව විශ්වාස කරන විවිධ කණ්ඩායම් විසින්, එතුමා ජීවත් ව සිටි කාලය ලෙස, එකිනෙකට වෙනස් කාල පරාස කිහිපයක් සඳහන් කරනවා. ඒ හැම එකක් ම අයත් වන කාලය, අප රට ඉන්දීය භූමිය සමග ගොඩබිමින් සම්බන්ධ ව තිබූ කාලය යි. රාමාගේ පිරිස පාලමක් තනා සම්බන්ධ කළ ලංකාව මේ ය යන්න එයින් ම නිශේධනය වෙනවා.
- ක්‍රි.ව. 6 වන සිය වසින් එපිට කාලයේ දී මේ රට සිංහලද්වීප යනුවෙන් මිස ලංකා යනුවෙන් හැඳින්වුණු බවක් තහවුරු කෙරෙන, කිසිදු ලේඛනයක් හෝ වෙනත් පුරාවිද්‍යාත්මක සාධකයක් හමු වී නැහැ. මෙතෙක් හමු වී ඇති ඉන්දීය ලේඛනවල ද සීහලදීප, ඊළාම් හා ඊළ මණ්ඩලම් (දකුණු ඉන්දියානු ලේඛනවල) වැනි නාමයන් මිස ලංකා යන වචනය හා ආසන්න වූ නමක් හෝ මේ රට වෙනුවෙන් යෙදී නැහැ.
- රාවණ රජුගේ පැවැත්මට පක්ෂව කරුණු දක්වන අය විසින්, ඒ සම්බන්ධයව නම් කරන කාල පරාස කිහිපයක් තිබෙනවා. අප දිවයිනේ, එම කාල පරාසයන් පිළිබඳ ව පුරාවිද්‍යාත්මක ගවේෂණ විශාල සංඛ්‍යාවක් සිදු කෙරී තිබෙනවා. ඒ සැම එකකින් ම තහවුරු වී තිබෙන්නේ මේ යුග තුල හෝමෝ සාපියන් මානවයා ( නූතන මිනිසා) පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, පසු කර ක්‍රමයෙන් නව ශිලා යුගය දෙසට පරිවර්තනය වන කථාවයි. වෙනත් විදියකින් කියතොත්, සතුන් සේ ම ගල් ගුහාවල ජීවත් වීමේ සිට, යම් යම් සරල නිෂ්පාදන කර ගැනීම, චාරිත්‍ර වාරිත්‍ර වලට හුරු වීම, යන අවධි පසු කරමින් තමන්ට ඇවැසි දේ වගා කරගැනීම අරඹන, තරමක් දියුණු තැනට ඒමේ කථාවයි. විදේශීය මූලාශ්‍ර වලින් ද සංගත ව තහවුරු වන්නේ එකල ලෝකය සිටියේ එතැන බවයි. ඒ හැර ඊට සමකාලීන ව තවත් දියුණු ශිෂ්ටාචාරයක් ද මෙහි පැවතුණු සාධක කිසිවක් මෙතෙක් හමු වී නැහැ (ඇත්තටම එවැනි ශිෂ්ටාචාර දෙකක් සමකාලීන ව පැවතීමේ ඉඩකඩ ඉතා ම අඩුයි. එසේ පැවතුනහොත් වන්නේ දියුණු ශිෂ්ඨාචාරය විසින්, අනෙක විනාශ කිරීම හෝ අවශෝෂණය කර ගැනීම මගින් අවසන් කිරීමයි.)
රාවණා රජුට සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක බොහෝ ඇති බවත්, පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ සම්බන්ධ අධිකාරි බලය සහිත රාජ්‍ය ආයතනයක් විසින් එම සාධක සිතා මතා සඟවන බවත්, ඉහත කී පිරිස සමාජ මාධ්‍යයන් තුල දිගින් දිගට ම ප්‍රකාශ කරනු දකින්නට තිබුණා. එසේ සැඟවීමේ ඉඩක් තිබේ ද?
රාජ්‍ය ආයතන හැරුණු විට, මෙම විෂය පථය ගැන හැදෑරූ / උනන්දු වන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සංවිධාන කිහිපයක් මේ රටේ තිබෙන බවත්, විවිධ ගවේෂණ හා පර්යේෂණවල (කැණීම් නොවන) යෙදෙන ස්වාධීන ගවේශකයන් සැළකිය යුතු පිරිසක් මේ රටේ සිටින බවත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. රාජ්‍ය ආයතනය විසින් කරනු ලබන ගවේෂණයන් පිළිබඳවත් මේ පුද්ගලයන් හා සංගම් බලා සිටින්නේ මහත් අවධානයෙන්. රාජ්‍ය ආයතනය පූර්ව නිගමනයන්හි හිඳිමින් වැරදි මඟක යන්නේ නම් එය පළමුව අවධානයට ලක් වන්නේත්, ඒ පිළිබඳ ව විවේචනය කරනු ලබන්නේත්, බාහිර හා ස්වාධීන වූ ඒ පුද්ගලයන් විසිනුයි. ( මා අදාල රාජ්‍ය ආයතනයට අයත් වූවකු නොවන බව සැළකුව මනා යි.)
දැනට අප රටේ ඉතිහාසය ලෙස පිළිගැනෙන තොරතුරු සම්භාරය, දේශීය හා විදේශීය විද්වතුන් විසින් ගවේෂණය කිරීමෙන් සොයා ගත් ඒවායි. එයින් ඓතිහාසික යුගය ලෙස ගැනෙන කාල පරාසය ට අයත් ඒවා පුරාවිද්‍යාත්මක ව හෝ සංගතතාවය අනුව හෝ එකවර මේ ක්‍රම දෙක ම මගින් හෝ තහවුරු වූ තොරතුරුයි. ඉන් එපිට කාලයට අයත් ඒවා පුරාවිද්‍යා ගවේෂණ තුලින් පමණක් තහවුරු වූ ඒවායි. වරින් වර අළුතින් සොයා ගන්නා සාධක අනු ව මෙතෙක් තහවුරු නොවූ කොටස් අළුතින් තහවුරු වීම ද සිදු වනවා. මේ නිසා කිසියම් රටක ඉතිහාසය යනු අවසන් කර මුද්‍රා තබන විෂය කොටසක් නොවේ.
මේ තවත් අමුතු කතාවක් ගැන....
පුරාවිද්‍යා ගවේෂණයන්හිදී හමු වන දෑ, මානව නිර්මාණ, ආදී විවිධ දේ හඳුනාගනු ලබන්නේ අදාල විෂයය ගැඹුරින් හැදෑරූ ප්‍රාමාණික විද්වතුන් විසින්. එසේ වරක් හඳුනාගනු ලැබූ පුරාවස්තුවක් සම්බන්ධයෙන් වෙනත් අර්ථ දැක්වීමක් සිදු කරන්නේ නම් එය සිදු විය යුත්තේ අදාල ක්ෂේත්‍රය පිළිබඳ ව ගැඹුරු හැදෑරීමක් සහිත අයකු විසිනු යි.
රාවණ රජුගේ ඓතිහාසිකත්වය අශාස්ත්‍රීය ව ඔප්පු කිරීමට දරන උත්සාහය වැනි ම වූ විකාර රූපී ප්‍රයත්නයන් කිහිපයක් සමාජ මාධ්‍ය තුල දැක ගත හැකි බව ද මෙහි දී සඳහන් කළ යුතු වෙනවා. ඊජිප්තුවේ මමි බහා ලන ශිලාමය මිනීපෙට්ටියක් සහ අප රටේ ඇති බෙහෙත් ඔරුවක පින්තූර එක ළඟ තබා, ඊජිප්තුවේ හා ලංකාවේ මමි බහාලීමට මේවා යොදාගන්නා ලදැයි යන අරුතක් ජනිත කරවන ප්‍රකාශයක් ද සටහන් කළ පෝස්ටුවක් මා මෑත දී දුටුවා. මේ වන විටත් හඳුනාගෙන තිබෙන ගොඩනැගිලි විශේෂයක් වන පධානගරයක් රාවණා සහ සීතාවන් ට සම්බන්ධ ස්ථානයක් ලෙස හඳුන්වා දීමට දරා තිබූ උත්සාහයත් එවැන්නක්. එච්. සී. පී.බෙල්, සෙනරත් පරණවිතාන ඇතුලු කීර්තිමත් පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රතිරූපයනට ඉතා පහත් අන්දමින් පහර දීමද මීට සමාන්තර ව සිදුවෙමින් පවතිනවා.
කරුණු කාරණා නොදැනීම හේතුවෙන්, මෙම විකෘති මතයන් හි එල්බ සිටින බොහෝ දෙනෙකු සිටියත් සැළසුම් සහගත ව යම් පිරිසක් විසින් මෙය මෙහෙයවනු ලබන්නේ යයි ද සාධාරණ සැකයක් සමාජය තුල ම ඇති වී තිබෙනවා.
සාධක සහිත ව ඔප්පු කර ඇති අභිමානවත් අතීතය, ව්‍යාජ ඇස්බැන්දුමක් පෙන්වීම මගින් ප්‍රතික්ෂේප කරවීමෙන් ද සිදුවන්නේ මුල් සිඳින ලද අතරමං වූ ජනතාවක් බිහි වීමයි.
කුමන ආකාරයකින් හෝ අප රටේ, මුල් සිඳගත් ජනතාවක් බිහි වීම කාගේ අවශ්‍යතාවක් දැයි මා මගේ, දීල යමු.. හා ද..??, මුලට කෙටීම ආදී වූ පෙර ලිපිවල දිගින් දිගට ම සාකච්ඡා කර ඇති.
(වැඩිදුර කියවීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතකු ලියූ ලිපියක් ද මෙතැන අමුණා තබනවා.)
වර්ගීකරණය:
Archaeology,
History,
Social Review,
Thoughts
Monday, August 13, 2018
දීල යමු...හාද....?
-බන්ධුල සිසිර කුමාර_
මා මීට කලින් ලියූ ලිපි බොහොමයක්, අපේ ඉතිහාසය, අපේ උරුමය වැනි දේ ගැන දැනුවත් කිරීම්. මෙය ඊට වඩා ටිකක් විතර වෙනස් වේවි.
අපේ රටේ බෞද්ධ පදනමට පහර දීම මේ දවස්වල "නැගල යන වැඩක්". අනෙක් ආගම්වලට දේව අපහාස කළාම මුහුණ දෙන්න වෙන අන්දමේ දරුණු ප්‍රතිවිපාකත් නොලැබෙන නිසා ඒක බයක් නැතුව කරන්නත් පුළුවන්.
ඒ අතරේ විවිධ පුද්ගලයන් තමන්ගෙ මනෝ විකාර මාකට් කරගන්න Negative Marketing උපක්‍රම ලෙසත් ඒවා යොදා ගන්නා අයුරුත් දැකිය හැකියි.
මේවා පිළිබඳ ව, මුහුණු පොතේ මෙන්ම බාහිර සමාජයේත් සමහර අවස්ථාවලදී කතාබවට ලක් වන දේ ත්, ඒ ගැන විවිධ මිනිසුන්ගේ අදහස් දැක්වීමුත් දුටු විටයි, මෙය ලිවිය යුතුමයි කියා සිතුණෙ. හොඳ වෙලාවට, අපේ අක් මුල්වලට, පදනම්වලට එරෙහිව ඒ සමහරුන් කියන කතා හා සංකල්ප සාමාන්‍ය ජනතාවට තේරෙන්නෙ නැහැ. නැත් නම් ඒවා නිසා මහා විනාසයක් වෙන්නත් පුළුවන්.
ඒ නිසා මේ සිදුවන සමහර විප්‍රකාර ගැන කාටත් තේරෙන බාසාවෙන් යම් පැහැදිළි කිරීමක් කළා නම් හොඳයි කියා මට හිතුනා.
මෙය කතන්දරයක ස්වරූපයෙන් කිව්වාම කාටත් වටහාගන්න හැකිවෙයි කියා සිතෙන නිසා මා ඒ අයුරින් මෙය පැහැදිළි කරන්නම්.
එකමත් එක කාලයක නොවෙයි, කිතු උපතට වසර හයසීයකට පමණ පෙර ජම්බුද්වීපය ( අද කියන විදියට නම් ඉන්දියානු උප මහාද්වීපය) අද මෙන් ම විමුක්තිය පතා දෙවියන් යදින, බිලි පුද පූජා පවත්වන දේවවාදී ආගම්වලට නතු ව තිබුණා.
එහෙත් ඒ යුගයේ ඒ පරිසරයේ අදට වඩා වෙනසක් තිබුණා.
එහි පවත්නා ආගම්වල සංකල්පයන් ප්‍රශ්න කරමින්, ඒවා තුල විසඳුම් නැති යම් යම් ප්‍රශ්නවලට විසඳුම් සොයමින් පරම සත්‍ය කුමක්දැයි ගවේෂණය කරමින් සිටි (කිං සච්ච ගවේසී) තරුණ හා මැදිවියේ මිනිසුන් සැළකිය යුතු ප්‍රමාණයක් ද ඒ වටපිටාවේ සිටියා. ගෘහස්ථ ජීවිතයෙන් වෙන්ව, වන උයන් ආශ්‍රිත ව සිටි ඔවුන් පොදුවේ හැඳින්වූයේ උපනිෂද් මුනිවරුන් ලෙස.
පවත්නා රටාවේ දුර්වල තැන් හා අඩුපාඩු හඳුනාගෙන, ඒවා ට වඩාත් සතුටුදායක විසඳුම් සොයමින් හා අධිපතිවාදී මිත්‍යා සංකල්ප නිර්භය ව ප්‍රතික්ෂේප කරමින් සිටි ඔවුන් රැඩිකල් චරිත ලෙස හැඳින්වීම නිවැරදි වුවත් අපේ සමාජය තුල එසේ යයි කියා ගන්නා මිනිසුන් නිසා අර්ථය විකෘති වී කෙළෙසී ඇති එම වචනය යොදා ගැනීමෙන් වෙනත් අරුතක් ගම්‍ය වෙන්න පුළුවන්.
මේ මුනිවරුන් අතරින් අද්විතීය චරිතය බවට බුදුන් වහන්සේ පත් වූයේ කරුණු කිහිපයක් මුල් කොට ගෙනයි. සත්වයා /පුද්ගලයා තුල නැවත නැවත උපත ලබන ආත්මයක් ඇතැයි යන එකල පිළිගත් මතය බැහැර කළ උන්වහන්සේ සත්වයා යනු දෘඩාංග හා මෘදුකාංග එකතුවක් ( එකල භාවිත වූ වචන අනු ව නාම හා රූප) බවත් සසර සරන්නේ ආත්මයක් නොව දත්ත එකතුවක් සහිත මෘදුකාංගයක් (උපාදානස්කන්ධ) බවත් පැහැදිළි කළා. එමෙන් ම මේ පීඩාකාරී වූ සසර සැරීම අවසන් කිරීමේ ක්‍රමවේදය සොයාගත් උන්වහන්සේ එය ලෝකයා වෙත ඉදිරිපත් කළා. [මා කියූ කරුණු ඔබට ගැටළු සහගත යයි හැඟේ නම් ඒ ගැන වෙන ම සාකච්ඡා කරමු.] සසර ගමන අවසන් කිරීමේ මාර්ගය සොයා පැමිණි අයට ඊට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන් අතර, අවුල් ඇති වීම අවම කරගෙන වඩාත් සාර්ථක, විචාරශීලී හා නිවැරදි ජීවිතයක් ගෙන යන ආචාරධාර්මික මාර්ගයක් පොදු ජනතාවට පෙන්වා දුන්නා. කර්මවාදයේ කියැවෙන දෑ සහ සිඟාලෝවාද, කාලාම, මංගල ආදී සූත්‍ර නිරීක්ෂණයෙන් වුව අපට ඒ දෑ පැහැදිළි වෙනවා.
බුදු සමය ආරම්භයේදී එහි ආගමික ස්වරූපයක් නොතිබුණු බව පැහැදිළියි.
ගරුකටයුතු අයට වන්දනා කිරීම එකල මෙන් ම අදත් පෙරදිග සමාජය තුල දැකිය හැක්කක්. උන් වහන්සේ එම සමාජ සංස්කෘතික ලක්ෂණය ප්‍රතික්ෂේප කළේ හෝ වන්දනා කරන ලෙස නියම කළේ හෝ නැහැ. එහෙත් ආමිස පූජාවන්ට වඩා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාව (පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීම) බව ප්‍රකාශ කළා.
කෙසේ වුවත් බුදු හිමියන්ගේ පිරිනිවීමෙන් හා ආදාහනයෙන් පසු ගත වූ ශත වර්ෂ තුනක කාලය තුල, ශාරීරික ධාතු නිදන් කළ චෛත්‍යයනට වන්දනා කිරීම, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම ආදී පුද පූජා විධි ස්වල්ප ප්‍රමාණයක් බුදු සමය හා බැඳුනු සංස්කෘතියට එකතු වූ බව පෙනෙනවා.
දැන් අපි නැවතත් අපේ රටට පැමිණෙමු.
බුදුන් වහන්සේ ජීවමාන ව සිටි යුගය වන විට අපේ රට පැවතුනේ කුමන අන්දමින් දැයි සොයා බැලීම වැදගත්. ඒ යුගයේ යක්ෂ නාග හා දේව යන ජනවර්ගයන් තුනක් මෙහි සිටි බව ජනප්‍රවාදයේ එන අතර විධිමත් අවමංගල චාරිත්‍ර විධි, විදේශික නිෂ්පාදන ආනයනය කිරීම් වැනි දෑ සිදු කළ කිසියම් මට්ටමක දියුණු ජන කොටස් ජීවත් වී ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙනවා. මේ හැරුණු විට බෙංගාලය ප්‍රධාන කොට ඉන්දියානු උප මහාද්වීපයේ සිට පැමිණි සංක්‍රමණික ජනතාවක් ද මෙහි වූ බව පැහැදිළියි. විජය කුමරු පිළිබඳ ජනප්‍රවාදයෙන් දැක්වෙන්නේ මෙවන් සංක්‍රමණයක සිද්ධියක් විය යුතුයි. අපගේ හැඩරුව හා භාෂාව සම්බන්ධයෙන් බෙංගාලයේ ඇති සමානතා සලකා බලන විට මෙම බෙංගාලි සංක්‍රමණියන් කෙරෙන් වූ බලපෑම පැහැදිළි වෙනවා.
ක්‍රි. ව. හය වන සියවසට පෙර ලංකාව නමින් රටක් ගැන සඳහනක් අප රටේ වත් නොමැති අතර එකල මෙය හැඳින්වූ නම සිංහලද්වීප බවට සාධක කොතෙකුත් තිබෙනවා. වෙනකක් තබා විජය කුමරුගේ කථාව බෙංගාලි ජනප්‍රවාදවල එන්නේ "විජාය් සිං (සිංහ පරපුරේ විජය) සිංහලද්වීපය ආක්‍රමණය කළා" යනුවෙන්.
ඉතින් පෙර කී ස්වදේශික ජනවර්ග තුනත්, සංක්‍රමණික ජනතාවත් මෙහි විසූ අතර ඔවුන් සියල්ල පොදුවේ හැඳින්වුණේ රටේ නමින්. එනම්, සිංහලයන් නමින්. හරියටම කියතොත්, අද ශ්‍රී ලාංකිකයන් කියන්නාක් මෙන්. (මගේ සිංහලයෝ සහ ශ්‍රී ලාංකිකයෝ ලිපිය බලන්න.)
මෙසේ ජීවත් වූ ජන කණ්ඩායම වෙතට ක්‍රි. පූ. තුන් වන සියවසේදී රාජ්‍ය අනුග්‍රහයෙන් බුදු දහම හඳුන්වා දුන් පසු ඒ ජනතාව සියලු දෙනාම පාහේ එම නව දහමේ ආචාර ධර්ම පද්ධතියට අනුගත වෙනවා. තමන් එතෙක් ඇදහූ ඇදහිලි ක්‍රම ද ඊට අනුවර්තනය කර ඇතුලත් කර ගන්නවා.
බුදු දහම හඳුන්වා දීමෙන් පසු මේ සමාජයේ පොදු ජනතාව අතර ගොඩ නැගුණේ නිවන් මගට පිළිපන් උපාසකයන් රැසක් යයි අප සිතා ගතහොත් එය බරපතල වැරදීමක්. සසර කෙලවර කිරීම වැදගත් ලෙස සිතූ අය ගිහි ජීවිතයෙන් වෙන් ව ඒ මාර්ගයේ ගියා. එහෙත් පොදු ජනතාව, බෞද්ධ ආචාර ධර්ම පද්ධතියට හැකි තරම් දුරට අනුගත වූ, කරුණාව, කළගුණ සැළකීම, සදාචාර සම්පන්න බව ආදී යහ ගුණ සහිත සමාජයක් බවට පත්වුණා. ඒ හැර පන්සිල් පද පහ අකුරට ම රැකීමේ හෝ, සතුරාටත් මෛත්‍රී කළ යුතු යයි කියා ආක්‍රමණිකයන් හමු වේ හිස පහත් කරන ස්ථාවරයක හෝ ඔවුන් සිටියේ නැහැ. මා මේ පිළිබඳ ව මේ බ්ලොගයෙහි මිනිස්සුනේ අපි මිනිස්සුනේ ලිපියේ වැඩිදුරටත් කරුණු පැහැදිළි කර ඇති.
එක් ආචාර ධර්ම පද්ධතියකට හා සංස්කෘතියට සියලු දෙනාම අනුගත වීම හේතු කොට ගෙන, තවත් සියවස් හතරක් පහක් ගෙවෙන විට සියලු දෙනාටම සිය මුල් ජනවාර්ගික අනන්‍යතා අමතක වී ගියා. ඉන් පසු පොදුවේ ඔවුන් හැම දෙනාම, ඔවුන් විසින් ම හැඳින්වුණේ ද රටේ නමින් - සිංහලයන් නමින්- පමණයි.
අපේ ලාංකික බෞද්ධ සමාජය ගොඩ නැගුණේ මේ අන්දමින්. එකල තිබුණේ ලංකාව නොව සිංහලය කියා රටක් බැවින්, එය සිංහල බෞද්ධ සමාජය නම් වුණා.
මේ අතරේ ලෝකය පුරා තවත් රැල්ලක් පැතිර ගියා. ඒ රැල්ල භක්තිවාදී රැල්ලයි. ඒ ක්‍රි.ව. පළමු වන සියවස.
භක්ති වාදී රැල්ල හමුවේ ජනප්‍රියතාව අඩුවී ගිලිහී යාම වලක්වා ගැනීම පිණිස, භක්තියට මුල් තැනක් නොදුන් සමයයන්ට ද භක්තිවාදී බාහිර ආවරණයක් දමා ගැනීමට සිදු වුණා. බුදු සමයට ද එම පියවර ගැනීමට සිදු වූ අතර, එතෙක් සිදු නොකළ දෙයක් වූ බුදු පිළිම නිර්මාණය කිරීම දඹදිව්හි ඇරඹුණේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ඇදහිලි පුද පූජා සහිත භක්තිවාදී ආවරණයක් පිටින් දමා ගැනීම නිසා. බෞද්ධ දර්ශනයත් ඇතුළු බුදු සමය අතුරුදන් නොවී තව බොහෝ කලක් රැකගත හැකි වූවා.
මේ තත්ත්වය යටතේ අපේ රටේ වූ බෞද්ධ සංස්කෘතියටත්, පෙරදී තිබුණාට වඩා ඇදහිලි හා පුද පූජා ක්‍රම කිසියම් ප්‍රමාණයක් ඇතුළු වූවා.
මේ අන්දමින් වර්ධනය වෙමින් පරිණාමය වෙමින් මේ රටේ බෞද්ධ සංස්කෘතිය සියවස් ගණනක් පැවත ආවා. විවිධ ආක්‍රමණයන්, මහා විනාශයන් හා සංහාරයන් වලට මුහුණ දීමෙන් අනතුරු ව පවා එහි මූලික පදනම මුළුමනින් විනාශ වූයේ නැහැ.
ඈත අතීතයේ සිටම මෙම දිවයිනේ සුවිශේෂි පිහිටීම නිසා ඇති වූ වෙළඳ ක්‍රමෝපායික වටිනාකම නිසා විවිධ විදේශීය ජාතීන් මෙම දිවයින අත්පත් කර ගැනීමට උත්සාහ කළා. මෙහි වැසියන් දිවි පරදුවට තබා යුද වැදී ඒවා වැළැක්වූව ද සමහර අවස්ථාවලදී ආක්‍රමණිකයන් ජය ගත්තා.
අද වන විට වාණිජමය වශයෙන් පමණක් නොව, අන්තර්ජාතික යුද්ධෝපක්‍රමික වශයෙන් ද මේ දිවයිනේ යම් යම් ස්ථානවල පිහිටීමේ සුවිශේෂීතා, ලෝක ආධිපත්‍ය සොයන බලවත් ජාතීන් විසින් හඳුනාගෙන ඇති අන්දම, විමසිලිමත් ව බැලුවොත් ඔබට සොයා දැන ගත හැකි වේවි. මේ යථාර්ථය වටහා ගැනීමට නම් අප බොහෝ දෙනෙකු දැනට හිඳින කෝෂවලින් එළියට පැමිණ වඩාත් විචාරශීලී ව හා නිරීක්ෂණාත්මක ව ලෝකය දෙස බැලිය යුතුයි.
තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙවැනි බලවතුනට යම් කිසි ස්ථානයක් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව ඇති වුවහොත් ඔවුන් ඒ සඳහා, සිතා ගැනීමට පවා අසීරු විවිධ කූඨෝපක්‍රමයන් යොදනවා.
ඔබට එය වටහා ගැනීම අසීරු නම් - උදාහරණයක් ලෙස- ආතර් සී. ක්ලාක් ලියූ, එස්. එම්. බන්දුසීල ශූරීන් පරිවර්තනය කළ "පාරාදීසයේ උල්පත්" නම් වූ විද්‍යා ප්‍රබන්ධය කියවන්න. අභ්‍යවකාශ සෝපානය නමැති ඉදිකිරීම සඳහා ලෝකයේ සුදුසු ම ස්ථානය ශ්‍රී පාද කඳු මුදුන ලෙස වටහා ගන්නා එක්තරා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක්, ඉතාමත් උපක්‍රමශීලී ලෙස බෞද්ධයන් වෙතින් එම ස්ථානය තමන් වෙත ඩැහැ ගන්නවා. ඉන් අනතුරු ව සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ ඊනියා අභ්‍යවකාශ අටල්ල එහි ඉදි කරනවා.
එය, අදාල මිනිසුන් කටයුතු කරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ඇති ආතර් සී. ක්ලාක් විසින් කරන ලද ප්‍රබන්ධයක් පමණයි. සැබෑ ලෝකයේ ඔවුනට ශ්‍රීපාද කඳු මුදුනට වඩා වැදගත් වන වෙනත් බොහෝ ස්ථාන මෙහි ඇති බව කියැවෙනවා.
මේ භූමිය ඔවුන්ගේ කෙළි මඬලක් කර ගැනීමට ඉතිරි ව ඇති මහත් බාධාවක් වන්නේ, මා මුලින් කී, ඈත අතීතයේ සිට පැමිණ තවමත් කිසියම් ප්‍රමාණයකට නොනැසී පවතින සිංහල බෞද්ධ පදනමයි. ඒ වටා වූ, ජාතියක් ලෙස එක් රැස්වන ස්වභාවයයි. එහි සාරධර්ම පද්ධතියේ අවශේෂයනුයි.
ඒ නිසා ඔවුන් පළමු පියවර ලෙස ආරම්භ කරන්නේ එම පදනම විනාශ කිරීමයි. ඒ සඳහා පිටතින් මෙන් ම ඇතුලතින් ද විවිධ පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන අන්දම ද වඩාත් විමසිල්ලෙන් හා විචාරශීලී ව බැලුවොත් ඔබට වටහා ගත හැකි වේවි.( වැඩි දුර තොරතුරු මෙම බ්ලොගයේ මා ලියූ මුලට කෙටීම ලිපියේ ඇති. )
1970 දශකය අවසාන වෙද්දී අපේ රටට පැමිණි විවෘත ආර්ථික රටාව සමග බැඳුණු සාරධර්ම පරිහානිය හා ආකල්ප පරිවර්තනය සමග පන්සලටද වාණිජකරණයේ ලක්ෂණ ගලා ආ අන්දම සම්බන්ධයෙන් අප ඇසින් දුටු සාක්ෂි කරුවන් වනවා. ඒ සමගාමී ව මිනිසුන් තුල විවිධ අන්ධ භක්තීන් වර්ධනය වීම කැපී පෙනුණා. විසිවන සියවස නිමා වෙද්දී ගංගොඩවිල සෝම හිමියන්, එම අන්ධකාරයෙන් ජනතාව මුදා කැනීමේ දැවැන්ත කාර්යයක තනිව ම යෙදුණු අයුරු ද අප ඇසින් දුටුවා. එහෙත් උන්වහන්සේගේ හදිසි අභාවයත් සමග ගත වුණු විසි එක් වන සියවසේ දශක එක හමාර ගෙවී ගියේ, වඩාත් සංකීර්ණ ලෙස, බුදු දහම ලෙස වෙස් වලාගෙන විවිධ විච්චූරණ ඇදහිලි හා විකාරරූපී පූජාවන් පෙරටු කොට ගත් ආගමික පූජා රටාවන් විවිධ අන්දමින් කලඑළි බසිමිනුයි. (වැඩිමනත් තොරතුරු සඳහා මෙම බ්ලොගයේ මගේ විකෘති ලිපිය කියවන්න.)
මේ සම්බන්ධයෙන් මා දරන පෞද්ගලික අදහස නම්, මෙම නව පුද පූජා විධි ද අපගේ පදනම විනාශ කිරීම පිණිස බාහිර මෙහෙයවීමෙන්, ඇතුලතින් ක්‍රියාත්මක වන පෙරමුණු බවයි.
එම පෙරමුණු එසේ ක්‍රියාත්මක වන අතර ම, ඒ විපරීත පුද පූජා හා ආකල්ප සහිත උප සංස්කෘතිය, බුදු සමය ලෙස පෙන්වා දෙමින් ලාබාල තරුණ තරුණියන් බුදු දහම කෙරේ කළකිරවීමට ක්‍රියා කරන පෙරමුණු තවත් පසෙකින් දැකිය හැකියි.
එසේම, අපට බොහෝ සේ ආගන්තුක වූ වටපිටාවන් හි ජීවත් වූ විවිධ දාර්ශනිකයන් සිය අත්දැකීම් හා වින්තන ක්‍රම අනුසාරයෙන් ගොඩ නැගූ ආකෘතීන් තුලට, අප සමාජයේ සිදුවීම් කෘත්‍රිම ලෙස ඔබ්බවා, විනිශ්චයන් ඉදිරිපත් කරන අනුකාරක උගතුන්ද, ඔවුනට හසුව මොළය අවුල් කර ගන්නා තරුණ ප්‍රජාවක් ද බිහිවන අයුරු ද විමසිලිමත් ව බැලුවහොත් ඔබට පෙනේවි.
තව ද, බෞද්ධ සංස්කෘතියට අයත් පූජනීය වචන, සංකේත ආදිය අවභාවිතා කරමින් හෑල්ලුවට ලක් කරන පෙරමුණු ද දැකිය හැකියි.
ඔබට මෙහි යථාර්ථය වටහා ගැනීමට අවශ්‍ය වේ නම් කතෝලික හා ඉස්ලාම් සංස්තෘතීන් හෑල්ලුවට ලක් කෙරෙන අවස්ථා තිබේ දැයි සොයා බලන්න. තිබේ නම් ඒ සාපේක්ෂ ව කොපමණ සංඛ්‍යාවක් දැයි සොයා බලන්න.
සමාජ ජාල හා වෙනත් එවැනි මාර්ග ඔස්සේ සමහර පෙරමුණු ක්‍රියාත්මක මන අතර, ඒවායේ මහා හඬ නගන බොහෝ දෙනෙකු විදේශ රටවල පදිංචි ව සිටින්නන් බව ද දන්නෝ දනිති.
මේ සියලු උපද්‍රවයන් හඳුනාගෙන ඒවා පිටු දැකීමට අප ක්‍රියා නොකළ හොත් අවසානයේ අප සනුහරය ද රතු ඉන්දියානුවන් මෙන් කෞතුක වස්තුවක් පමණක් බවට පත් වනු ඇති. අපගේ දිවයින බලවතුන්ගේ කෙළි බිමක් වනු ඇති.
වර්ගීකරණය:
History,
Social Review,
Thoughts
Monday, July 16, 2018
ඉතිහාසය වෙනස් කළ මිනිස්සු - 2
- බන්දුල සිසිර කුමාර -
අපේ ගෙවී ගිය දවස් ගැන විමසිල්ලෙන් බලන විට පෙනී යන එක් වැදගත් කරුණක් වන්නේ වගකිවයුතු පුද්ගලයන්ගේ කිසියම් ක්‍රියාකාරිත්වයක් මුළු මහත් ජාතියක ඉරණම තීන්දු කර ඇති අන්දමයි. ඒ තීන්දුව හොඳට මෙන් ම නරකට ද විය හැකියි.
සිත්නරු බුදල්නාවන් විසින් කීර්ති කුමරු රැක බලා ගනිමින් පොළොන්නරු යුගයේදී සොළී ආක්‍රමණිකයා පළවා හැරීමට මඟ පෑදු අයුරු අප පෙරදී සඳහන් කළා. ඒ සිදු විම නොවන්නට අපගේ සභ්‍යත්වය 12 වන සිය වසේදීම අභාවයට යන්නට ඉඩ තිබුණා.
"මහරජ ඔබ මේ භූමියේ අයිතිකරු නොව භාරකරු පමණෙකැ"යි වරෙක මිහිඳු හිමියන් දෙවන පෑතිස් රජු වෙත සිහිපත් කර දී තිබුණා.
මේ සත්‍ය අමතක කර, අමනොඥ තීරණයන්ට එලැඹ, ඒ මගින් මුළු මහත් ජාතියක් ම අගාධයේ හෙලූ රජුන් හා ප්‍රභූන් කිහිප දෙනෙකු අප ඉතිහාසයේ හිඳිනවා.
දේශයටත් ජාතියටත් අත් වූ ප්‍රබලතම විනාශයන්ට මග පෑදූ ඔවුන් පිළිබඳ ව, සියල්ලන්ට ම අමතකව ගොස් ඇති අතර ඉතිහාසය ගැන යම් අවබෝධයක් ඇත්තවුන් අතින් පවා දෝෂ දර්ශනයට ලක්වන්නේ ඔවුන් නොව, ඔවුන්ගේ අමන තිරණයන්හි ප්‍රතිඵල බවට පත් වූ වෙනත් අයයි.
මෙවන් චරිත කිහිපයක් සිහිපත් කළ හැකියි.
- සම්ප්‍රදාය පරිදි අගබිසවුන්ගේ වැඩිමහල් පුතුට රජකම නොදී වෙනත් බිසවකගේ පුතකුට කිරුළු පැළඳවීමට තැත් කිරීමෙන් පුතුන් තිදෙන වෙතින් ම මැරුම් කෑවා වූද, ඒ පුතුන් ඉන්පසු එකිනෙකාට විරුද්ධ ව පෘතුගීසීන්ගෙන් ආධාර පැතීම නිසා පෘතුගීසීනට මෙහි පැළපදියම් විමේ අවස්ථාව උදා වීමට මූලික වගකිව යුත්තා වූවා වූද විජයබාහු V රජු.
- සොහොයුරන්ට විරුද්ධ ව පෘතුගීසීන්ගෙන් ආධාර ලබා ගැනීමේ අරමුණින් සිය මුණුබුරු වූ ධර්මපාල කුමරු ළදරු වියේදීම පෘතුගීසීනට පාවා දී කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට පැවරීමට නීත්‍යානුකූල ලේඛන සැකසීමට මඟ පෑදුවා වූද, විජයබාහු V රජුගේ වැඩිමහල් පුතු වූද භුවනෙකබාහු VII රජු.
- නායක්කර් වංශිකයන් රාජත්වයෙන් ඉවත් කිරීම හැරුණු විට ඉංග්‍රීසින්ගේ සහායෙන් තමා වෙත රජකම ලබා ගැනීමට සිහින දුටු ඇහැලේපොළ අදිකාරම.
එහෙත් මේ ලිපියට ප්‍රස්තූත වන්නේ මොවුන් නොවේ.
අපගේ ඉතිහාසයේ නැවත නිවැරදි කළ නොහෙන වෙනස් කම් රැසක් සිදු කරමින් අපගේ එතෙක් පැවති සම්ප්‍රදාය, තාක්ෂණය, යහපත් චර්යාවන් ආදි සියල්ල අභාවයට යැවූ දෛවෝපගත සිදු වීම වන, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වීමේ මූල හේතුවක් නිර්මාණය කළා වූද, එහෙත් ඒ සඳහා කිසිවකුගේ චෝදනාවට ලක් නොවන්නා වූද, අන්තිම සිංහල රජු වූද, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ගැන විමසීමක් මෙහිදී සිදු කරමු.
1706 සිට 1739 දක්වා වසර 33 රජකම දැරූ මොහු, විමලධර්මසූරිය II රජුගේ පුතු ද, රාජසිංහ II රජුගේ මුණුබුරුද වූවා. කුඩා කල සිට ම කළහකාරි අයෙක් වූ මොහු කෘර කමින් හා දුරාචාරයෙන් ද සෙල්ලක්කාර ගති වලින් ද යුතු වූ අයකු බව කියැවෙනවා. දිවයින තුල ම වෙනත් රාජ වංශිකයන් ද වෙනත් ප්‍රභූන් ද සිටි පසු බිමෙක මොහු සිය අගබිසව ලෙස කැඳවා ගන්නේ මධුරාපුරයේ නායක්කර් නමැති ප්‍රභූ පෙළපතට අයත් කුමරියක්.
බොහෝ විට සිංහල සම්ප්‍රදාය තුල රජකම හිමි වී ඇත්තේ අග බිසවුන්ගේ වැඩිමහල් පුතු ට වුව ද, නායක්කර් වංශයේ චාරිත්‍රය ලෙස දක්වමින්, ඔහුගේ මරණින් පසු රජ වන්නේ අග බිසවගේ සොහොයුරා වූ නායක්කර් කුමරකුයි. ඔහු ශ්‍රී විජය රාජසිංහ.
ඇත්ත වශයෙන් ම, ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් ඇරඹුණු නායක්කර් වංශික රජවරුන් සිව් දෙනා ද සිංහල රජවරුන් පරිද්දෙන් ම අපගේ සම්ප්‍රදායන්ට හා ආගමට අනුගත ව බුදු සමය හා සාහිත්‍ය වෙනුවෙන් මහඟු දායකත්වයන් සපයා තිබෙනවා. එහෙත් අපගේ සංස්කෘතිය හින්දු සංස්කෘතියේ ලක්ෂණ මගින් සංකර වීම, දකුණු ඉන්දීය ආභාෂය නිසා ගොඩ නැගුනු බව පෙනෙන අසීමිත කුල භේදය වැනි අනිටු විපාක ද ඒ යුගයේ ප්‍රතිඵල ලෙස පෙනෙන්නට තිබෙනවා.
නරේන්ද්‍රසිංහ රජු වග කිය යුතු වන, නායක්කර් වංශයේ ආගමනය නිසා සිදු වූ නරක ම ප්‍රතිඵලය එය නොවෙයි.
නැවතත් සිංහල කිරුළ සිංහලයන් අතට ගත යුතුය යන අරමුණ ඉන් පසු ප්‍රභූන් තුල ඇති වූවා. ජාතියක් වශයෙන් එය යහපත් අරමුණක් වුව ද බල තණ්හාව, අන්‍යෝන්‍ය සැකය, ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණයන් ද ඒ අරමුණ ට මුසු වී තිබුණා. තුන් වන නායක්කර් රජු වූ රාජාධිරාජසිංහ රජු, 1798 ජූලි 26 වැනි දින රාත්‍රියේ අභිරහස් ලෙස මියයාමෙන් පසු රජුගේ පුතකු, සොහොයුරකු හෝ බිසවගේ සොහොයුරකු නොවූ, ඥාතියකු පමණක් වූ, 18 හැවිරිදි කන්නසාමි කුමරු රජ කරවනු ලබන්නේත් ඒ සංයුක්ත අරමුණ වෙනුවෙන්.
ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කරවනු ලැබූ කන්නසාමි කුමරා ද ස්වාධීන ව කටයුතු කිරීමට පටන්ගත් බැවින්, ඔහු මගින්ද තම අරමුණු කරා හා නොහැකි බව වටහා ගන්නා ප්‍රභූන්, ඉංග්‍රීසීන්ගේ සහාය ලබා ඔහු ද පළවා හරිනවා. එහෙත් ප්‍රභූන්ගේ අරමුණු කිසිවක් ඉටු නොවන අතර, බලවත් ඉංග්‍රීසිනට යුද්ධ කිරීමෙන් පවා යටත් කර ගත නොහැකි වූ උඩරට රාජ්‍යය ඉතා පහසුවෙන් යටත් කර ගත හැකි වෙනවා.
අද වන විට අප මුහුණ දෙමින් සිටින ගැටළු රාශියක් නිර්මාණය කළා වූද, එතෙක් අප ගොඩ නගාගෙන සිටි සියල්ල අපට අහිමි කළා වූද, ඉංග්‍රීසි යටත් විජිත සමය බිහි වීම සඳහා, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වගකීම් විරහිත අමනෝඥ තීරණයක් වූ නායක්කර් වංශය රජ පවුලට සම්බන්ධ කර ගැනීම දායක වූ හැටි මෙයින් ගලපා ගත හැකි නොවේද?
ඉතිහාසයේ වරින් වර බිහි වූ එවැනි රජවරුන් කිහිප දෙනාට අමතක වූ, මිහිඳු මා හිමියන්ගේ රුවන් වැකියෙන් මේ ලිපිය අවසන් කරනවා.
"මහරජ ඔබ මේ භූමියේ අයිතිකරු නොව භාරකරු පමණෙකි"
ඔබේ අදහස්වලට ද විවෘතයි.
වර්ගීකරණය:
History,
Social Review,
Thoughts
Wednesday, April 18, 2018
මිනිස්සුනේ අපි මිනිස්සුනේ
- බන්ධුල සිසිර කුමාර -
සිංහල බෞද්ධයා කියන්නනෙ කවුද? මෙය දුටු මතිනුත් කළබල වෙන සමාජ කණ්ඩායම් පවා අද සිටිනවා. එහෙත් මා දන්නා තරමින් බ්ලොග් කියවන ජනතාව යනු බුද්ධිමත් හා විචාරශීලි ජනතාවක්. ඒ නිසා අපි මෙය පැහැදිළි කර ගනිමු.
( මා අර මුලින් කී කණ්ඩායම්වලට නම් "සිංහල බෞද්ධයා" යනු බොහොම භයානක ත්‍රස්තවාදියකු බඳු සත්ත්වයකු හඳුන්වන තවත් නමක්. එසේ ම, ඉහත කී අය අතුරින් තවත් පිරිසකට අනු ව "බෞද්ධයා" නම් "උපාසකයකු" විය යුතුයි.)
මෙය ගැටළුවක් සේ පෙනේ නම් ටිකක් ආපස්සට, සහස් වස් කිහිපයක් පසුපසට ගොස් බැලූ විට එය හොඳින් නිරාකරණය කර ගත හැකියි.
එකල සිංහලය නමින් හැඳින්වුණු රටේ (මෙය මගේ හිතලුවක් නොවේ. එය තහවුරු කෙරෙන සාධක බොහොමයි) ස්වදේශික ජන වර්ග තුනක් සහ සංක්‍රමණිත (බොහෝ විට, බෙංගාලයේ සිට සංක්‍රමණය වූ ) ජන පිරිසක් ජීවත් වෙනවා. මේ ඒ ඒ කණ්ඩායම් ඔවුන්ගේ අනන්‍ය සංස්කෘතීන් හා ප්‍රාථමික මට්ටමේ ආගමික විශ්වාසයන් තුල ජීවත් වෙනවා.
ක්‍රි. පූ. තුන් වන සිය වසේදී රාජ්‍ය අනුග්‍රහය සහිත ව නිල වශයෙන් බුදු දහම හඳුන්වා දීමෙන් පසු ව ඉහත කී ජන වර්ග හතර, ක්‍රමයෙන් තම ජීවිත තුලට මෙම අළුත් දහමේ හර පද්ධතීන් ඇතුල් කරගන්නවා. එහෙත් එහිදී ඔවුන්ගේ පැරණි ඇදහිලි හා සමහර චර්යාවන් සියයට සියයක් ඉවත් කරගන්නේ නැහැ. දැඩි නීති රීති පද්ධතියක් ඔස්සේ අනුගාමිකයා හික්මවන්නට උත්සාහ නොකළ, විචාරශීලිත්වයට ඉඩ තබා ඇති බුදු දහමින් එසේ ඉවත් කර ගැනීමට බල කෙරුණෙත් නැහැ.
මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? අර සියලු ජනවර්ග, තම තමන්ගේ පැරණි දෙවිවරුන්, බුදුන් සරණ ගිය අය ලෙස නම් කර අළුත් රටාව තුලට අනුගත කර ගත්තා. එතෙක් පැවති තොවිල් පවිල්, අභිචාර විධි ආදිය වෙනස් කර ගත්තා, බුදුන් ගේ අණට දමනය වන යකුන් බවට පත්කර ගනිමින්. බිලි පූජා අවම වී බොහෝ විට ඒවායේ සංකේතයන් පමණක් ඉතිරි වුණා.
මෙසේ එකල පැවැති බෞද්ධ පුද පූජා විධිත්, ඒ අතරතුර ම, අත නොහැර දමා වෙනස් කරගත් තම පැරණි අභිචාර විධිත් පවත්වාගෙන ආ මේ ජනවර්ග හතර, තවත් සියවස් කිහිපයක් තම ජනවාර්ගික අනන්‍යතාවයන් නාමික වශයෙන් රැකගෙන සිටිනවා. අනුරාධපුර රාජධානි සමයේ මුල් කොටස තුලදී ම ක්‍රමයෙන් ඒ ජනවාර්ගික පදනම් අමකත ව ගොස් රටේ නමින් හැඳින්වෙන, රටේ ජාතිය, එනම් " සිංහලයන්" බවට පත් වෙනවා.
ඔවුන්ගේ සංස්කෘතිය හැඳින්වෙන්නේ " සිංහල බෞද්ධ සංස්කෘතිය" නමින්. ඒ අනු ව " සිංහල බෞද්ධයා" යනු සිංහලය නමැති රටේ ජීවත් වන බෞද්ධ ආචාර ධර්ම අනුව ජීවිතය හැඩ ගසා ගත් අයෙකුට. ඔහු උපාසකයකු නොවෙයි. ( අදටත් බොහෝ දෙනා අග මුල පටලවා ගන්නේ සිංහල බෞද්ධයා නමැති පුද්ගලයා උපාසකයකු විය යුතු යැයි සිතන්නට යාමෙන්!)
ඔහු උපාසකයකු නම් ගවයන් කරත්තයට බැඳ බර අද්දවා ගන්නේ නැහැ. මී ගවයන්ගේ ශ්‍රමය කෘෂි කර්මය සඳහා යොදා ගන්නෙත් නැහැ. ඒ විතරක් නොවෙයි, එහෙනම් දෙනුන්ගෙන් කිරි ලබා ගන්නෙත් නැහැ.
(සතුන්ගෙන් කිරි දොවා ගැනීම මොන තරම් අමානුෂික, අපරාධකාරී ක්‍රියාවක් දැයි ඔබ සිතනවාද? එය වටහා ගැනීමට මෙම උපමාව සිතා බලන්න. කිරි බොන වයසේ දරුවකු සිටින මවකට, දරුවා වෙනුවෙන් එරෙන කිරි ටික වෙනත් කිසිවකු බලහත්කාරයෙන් දොවා ගෙන යන්නේ නම්!!! එය කෙබඳු ක්‍රියාවක්ද?)
උපාසකයකු නොවූ ඔහු මේ සියල්ල ම කළා. එහෙත් බර අදින ගවයා තමන්ගේ ජීවිකාව කර දෙන සගයකු, පවුලේ කෙනෙකු ලෙසයි ඔහු සැලකුවේ. මී ගවයා කෙරෙහිත් එසේමයි. දෙනුන්ගෙන් කිරි දොවා ගත්තේ පැටවාගේ අවශ්‍ය තාව සැළකිල්ලට ගෙන ඌට ප්‍රමාණවත් තරමක් ඉතිරි කරමින්. බුදු දහමෙහි කියැවෙන දේ තම සිත් සතන් තුලට ධාරණය කරගෙන සිටි ඔවුන් විශ්වාස කළා, තමන් ද සසර සරන අතර මෙවන් තිරිසනුන් වී උපදින්නට ද ඉඩ ඇති බව හා එම සතුනට ක්‍රෑර ලෙස සැළකුවහොත් එය කෙදිනක හෝ තමා කරා ද ආ හැකි බව.
එසේ අපරාධකාරී නොවී හැකි තරම් මානුෂික වෙමින් ඔවුන් සපයා ගත් බතින් හා කිරි අහරින් තමන්ද පෝෂණය වී බුදුන් ඇතුළු තෙරුවන විෂයෙහිත් පූජා කළා.
මේ සරල උදාහරණ කිහිපයක් පමණයි. දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කරමින් පරීක්ෂා කළහොත් සොයා ගැනීමට හැකියි, සමාජය, සතුන් හා ගහකොළ ඇතුළු පරිසරය ආදිය සම්බන්යෙන් වූ සියළු කටයුතු, චර්යා ධර්මයන් සියල්ල ම පාහේ (ගැඹුරු බෞද්ධ දාර්ශනික මූලධර්ම නොව) ගිහි ජීවිතයේදී ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ හැකි බෞද්ධ සාර ධර්ම මත ගොඩ නැගුණු ඒවා බව.
උපාසකයකු නොවූ සිංහල බෞද්ධයා මසුන් ඇල්ලුවා. එහෙත් ඒ සඳහාත් ආචාර ධර්ම පද්ධතියක් තිබුණා. වැවේ මසුන් බිලී බෑම තහනම් ක්‍රියාවක්. කෘෂිකාර්මික චක්‍රයේ එක්තරා අවස්ථාවක වැව හින්දවනු ලැබුවා.මේ සඳහා වැවට අදාල කුඹූරු හිමි සියළු දෙනා සහභාගි වුණා. පත්ලේ වූ රොන්මඩ සහිත ජලය කුඹුරු වෙත මුදා හැරුණා. ඉතිරි වන ජලයෙහි වූ මසුන් අල්ලා ගන්නා ලද අතර කුඩා පැටවුන් හා බිත්තර දැමීමට සමීප ව ඇති මසුන් ද නැවත ජලයට මුදා හැරුණා. කුඩා පැටවුන් හා ගැබ්බර සතුන් නොමැරීම සදාචාරත්මක ආචාර ධර්මයක් සේ ද පෙනෙන අතර අනෙක් අතින් මෙය තිරසාර පැවැත්මේ චර්යාවක් ද වූවා. පැටවුන් හා බිත්තර සහිත මසුන් මැරුවේ නම් ඒ මත්ස්‍ය ප්‍රජාව වැවෙන් වඳ වී යනු ඇති.
(ඇත්ත වශයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය තුල වු චර්යා ධර්මයන් සියල්ල තිරසාර පැවැත්ම හා අත්වැල් බැඳ ගෙන ඇති හැටි ඒ පිළි බඳ ව අධ්‍යයනයක් කළහොත් මනා ව වටහා ගත හැකියි.)
ඉතින්, මෙසේ අල්ලා ගන්නා ලද මත්ස්‍ය අස්වැන්නේන් මුල් කොටස වෙන් කළේ පන්සල ට! ඉන්පසු ගම් ප්‍රධානියාට, වැවේ නිලධාරින්ට, පවුලේ පිරිමියකු නැති කමින් වගා කටයුතු කර ගැනීමට නොහැකි ව අසරණ වූ කාන්තාවන්, වයස්ගත අය ආදිය සිටින පවුල් වලටත් කොටස් වෙන් කෙරුණා. ඉතිරිය, වගා කරන කුඹුරු ඉඩම් පුමාණයේ අනුපාතයට කුඹුරු හිමියන් අතරේ බෙදා දෙනු ලැබුවා.( වැවේ නඩත්තු සඳහා දායකත්වය සැපයිය යුතු වූයේද මෙම අනුපාතයටයි.)
සමහර වැව්වල මත්ස්‍ය ආදායම යම් යම් විහාරවල නඩත්තුව සඳහා පූජා කර ඇති බව දුටු විට වර්තමානයේ සිංහල බෞද්ධයා තුලින් උපාසකයකු සොයන අයට මොනවා හිතේවිද? මෙබඳු පූජාවන් ගැන කියැවෙන ශිලා ලිපි කිහිපයක් ම ඇති අතර, අනුරාධපුරයේ අභයගිරිය ආසන්නයේ පිහිටි දීඝපාසාණ ලෙනෙහි ඇති ලෙන් ලිපියෙහිද කියැවෙනවා එම ආරාමයේ නඩත්තුව සඳහා එක්තරා වැවක මත්ස්‍ය ආදායම පූජා කරන ලද බව.
ප්‍රාණඝාතය පාප කර්මයක් වුවත් විදේශ ආක්‍රමණ හමුවේ සිංහල බෞද්ධයන් නිර්භීත ලෙස සටන් කර සතුරන් මරා දමා දේශය රැක ගත්තා. එහෙත් බුදු දහමින් ඔවුන් ලබා තිබූ හික්මීම ඒ සියලු කටයුතු තුල ම වූවා. ඒ නිසා ඔවුන් බලවත් ව සිටි කාලයන් හි පවා අනුන්ගේ රටවල් අල්ලා ගැනීම පිණිස යුද වැදුණේ නැහැ.
ගවයන්, අශ්වයන්, අලි ඇතුන් ආදී සතුන් මූලික ව හීලෑ කරගන්නා ලද්දේ උන්ගේ ශ්‍රමය ලබා ගැනීමට වන අතර කල් යාමේ දී ඔවුන් සිය සංස්කෘතිකාංග තුල ට ද ඇතුලත් කරගනු ලැබුවා. මෙය මෙහි පමණක් නොව ලෝකය පුරාවටත් ආසියානු කලාපය පුරාවටත් දැකිය හැකියි.
අලි ඇතුන් පෙරහැර සඳහා යොදා ගැනීම ගැන බොහෝ දෑ කියැවෙන මේ කාලයේ දන්ත ධාතුව ගැනත් යමක් සඳහන් නොකළ හොත් එය අඩුවක්.
මුලදී ම කී පරිදි බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වාගත් ජනතාවගේ සිත් සතන් තුල වූ විශිෂ්ඨතම චරිතය බුදුන් වහන්සේ වූවා. ජීවමාන ව සිටිද්දී උන් වහන්සේට ඉතා සමීප වස්තූන් වූ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව මෙරටට ලැබුණු විට ඔවුන් ඒවා ඉතා ගෞරව සම්ප්‍රයුක්ත ව සලකන්නට වුණා. තව ද ඒවායේ ආනුභාවයෙන් සශ්‍රීකත්වය ඇතිවෙතැයි යන විශ්වාසයක් ද ගොඩ නැගුණා. මෙම විශ්වාසයන් කෙතරම් ප්‍රබල වූයේද යත්, රට තුල රජුන් කිහිප දෙනෙකු සිටින අවස්ථාවන්හිදී වැසියන් විසින් මහරජු ලෙස පිළිගන්නා ලද්දේ මෙම වස්තූන් තමා භාරයේ තබා ගෙන සිටින පාලකයායි. පාත්‍රා ධාතුව යම් කිසි කලක දී කොතැනක හෝ නිදන් කරන ලද බව කියැවෙතත් මහනුවර රාජධානියෙන් 1815 දී අපගේ රාජ වංශය අවසන් වන තුරු ම දන්ත ධාතුව රටෙහි මහරජුගේ භාරකාරිත්වයෙහි පැවතුනා. ඊට අදාල පුද පිළිවෙත්, පූජා, පෙරහැර ආදිය ද වර්ධනය වී පැවතුනා. මේ පෙරහැර සඳහා ද අලි ඇතුන් යොදා ගනු ලබන බව කවුරුනුත් හොඳින් දන්නා දෙයක්. ඒ සඳහා අලි ඇතුන් යොදා ගැනීම බුද්ධ දේශනාවට එකඟදැයි යනාදී ප්‍රශ්න, මගේ මේ ලිපිය අවබෝධයෙන් කියවූවෙකු ට නැඟෙතැයි මා සිතන්නේ නැහැ.
අලි ඇතුන් පෙරහැර සඳහා යොදා ගැනීමට එරෙහි ව අදහස් දක්වන අය අතර, කණ්ඩායම් දෙකක් මට මුණ ගැසී තිබෙනවා. මෙයින් එක් පිරිසකගේ මතය වූයේ මෙවැනි සංස්කෘතිකාංග හා අභිචාරාත්මක කටයුතු වැනි දෑ හරසුන් කටයුතු බැවින් ඒ වෙනුවෙන් සතුන් හිරිහැරයට පත් කිරීම නොකළ යුතු බවයි.
මෙය පැහැදිළි කිරීම සඳහා මා නැවත " සිංහල බෞද්ධ සංස්කෘතිය" ඉදිරියට ගෙනෙනවා.
යමෙක් මේ රටේ පාලකයා වන්නේද ඔහු සිංහල බෞද්ධයකු විය යුතු යැයි සම්මතයක්, සම්ප්‍රදායක් රට තුල ගොඩ නැගී තිබුණා. තම පාලකයා,තම ඕනෑ එපා කම් හා තම සංස්කෘතිය මැනැවින් හඳුනා ගත්තකු විය යුතු බවත් එසේ නොවීමෙන් බොහෝ ගැටළු ඇති විය හැකි බව රටවැසියා විශ්වාස කළ නිසයි එසේ වූයේ. මේ නිසා අසිංහල හා අබෞද්ධ රජුන් පාලකයන් ලෙස පත්වූ අවස්ථාවලදී සිංහල සංස්කෘතිය තුලට අනුගත වීමටත් බුදුදහම වැළඳ ගැනීමටත් එම රජවරුනට සිදු වුණා.
සිංහල බෞද්ධ ජනතාව අනුරාධපුර යුගයේ පසු භාගයේ සිට සාමාන්‍යයෙන් වසර දෙසීයකට වරක් බැගින් දරුණු විදේශ ආක්‍රමණවලට මුහුණ පෑවා. මෙයින් සමහරකදී සමූලඝාතනය වීමට ඉතා ආසන්න තත්ත්වයේ විනාශයන් සිදු වූවා. මේ සියලු සිද්ධීන් හමුවේ අප ගොඩ නගාගෙන තිබූ බොහෝ දේ අභාවයට ගියා. මේ විනාශකාරී ක්‍රියාවලියේ, වඩාත් පසුකාලයේ අවස්ථා දෙකකදී සිදු වූ - මා මෙහි සදහන් කිරීමෙන් වැලකී සිටින - සිදුවීම් දෙකක් හේතු කොට ගෙන මේ " සිංහල බෞද්ධ ප්‍රජාව" ලිහිල් ව එතෙක් වූ ඒකීයත්වයෙන් විසිරී යන තත්ත්වයක් ඇති වුණා. (ඊට බල පෑ උප හේතු ද බොහෝ වූ බවත් සඳහන් කළ යුතුයි) මෙසේ විසිරී ගිය පසුත් කිසියම් දුරකට හෝ " සිංහල බෞද්ධ සංස්කෘතිය" තුල රැඳී සිටින ප්‍රජාවට, දන්ත ධාතුව, ශ්‍රී මහා බෝධිය වැනි වස්තූන් තවමත් සිය මුඳුන් මල් කඩ ව පවතිනවා.
මා මගේ වෙනත් ලිපි වල ද (මුලට කෙටීම බලන්න.) සඳහන් කර ඇති පරිදි විවිධ හේතු මත ලෝක බලවතුන්ට මේ භූමිය ඉතා වැදගත්. ඔවුන්ට ඊට ඇති මහත් බාධාවක් වන්නේ," කිසියම් දුරකට හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය තුල රැඳී සිටින ප්‍රජාවයි." එහි මුල් වලට පහර දී බිඳ හෙලනු ලැබුව හොත් ඉතිරි කටයුතු සාර්ථක කර ගැනීම ඉතා පහසුයි. ඔවුන් ඒ නිසා එම මුල් සිඳීමට, ඒ සඳහා යෙදවිය හැකි සියපු පාර්ශ්වයන් ම භාවිතා කරනවා. පෙර කී කණ්ඩායම අයත් වන්නේ එසේ භාවිතා වන එක් පිරිසකටයි.
ඉතා සුළුතරයක් වූ අනෙක් පිරිසගේ මතය වූයේ සංස්කෘතිකාංගවල වටිනාකම පිළිගන්නා නමුත් අලි ඇතුන් පෙරහැර සඳහා යොදා ගැනීම අනුමත නොකරන බවයි.සමහර විට එය ඔවුන් අදාල සියලු තතු නොදැනීම නිසා එළැඹ ගත් ආස්ථානයක් විය හැකියි. මා පෙර ද සඳහන් කළ පරිදි " සිංහල බෞද්ධ සංස්කෘතිය" යනු කුමක්දැයි වටහා ගත් පසු ඔවුන් සිය අදහස වෙනස් කර ගැනීමට ඉඩ තිබෙනවා.
.අවසාන වශයෙන් වෙනත් බෞද්ධ සංස්කෘතීන් ගැන කියන්නට ඇත්තේත් මෙවැනි ම කථාවක්. මියන්මාර බෞද්ධ සංස්කෘතිය, තායිලන්ත බෞද්ධ සංස්කෘතිය ආදියත් " සිංහල බෞද්ධ සංස්කෘතිය" ට ද වෙනස් වූ තවත් සංස්කෘතික ප්‍රවාහයන්. අනෙක, එම සංස්කෘතීන් තුල සිටින්නන් ද, උපාසකයන්, බෝධිසත්වයන් නොවෙයි. බුදු දහමේ ආභාසය ලබා හැඩ ගස්වා ගත් සංස්කෘතියක් සහිත සාමාන්‍ය මිනිසුන්.
මේ සබැඳි ඹස්සේ මා ගීත දෙකකුත් ඉදිරිපත් කරනවා. එකිනෙකට බොහෝ වෙනස් වුවත් මා කී දෙයට ඒ දෙක ම අදාල බැව් සිතුණු නිසා.
වර්ගීකරණය:
History,
Social Review,
Thoughts
Tuesday, April 10, 2018
කවුද හරි.....?
- බන්ධුල සිසිර කුමාර -
අප අපේ ජීවිත කාලය තුල දී,විවිධ අදහස්, මතවාද, චින්තන ධාරා තුල එල්බ ගෙන සිටිනවා. එසේ හිඳිමින් කලක් ගත වෙද්දී, තව තවත් අත්දැකීම් හරහා ජීවිතාවබෝධය ලබන විට තමා එතෙක් සිටි ආස්ථානයේ අඩු පාඩු නිරීක්ෂණය වෙනවා. ඒ මතවාදයන් ඔස්සේ සමහර සංසිද්ධීන් පැහැදිලි කළ නොහැකි බව වැටහෙනවා.
මේ ලිපිය කියවන ඔබ විවිධ වයස් මට්ටම්වල පසු වනවා විය හැකියි.විවිධ මතවාදයන් තුල සිටිනවා ද විය හැකියි. තම තමන්ගේ හිතට එකඟ ව ස්වාධීන වූ මතයන් දැරීමට ඔබටත් මටත් ඇති අයිතියට මා සැමදා ගරු කරනවා. එබැවින් මෙහි ලා මා දක්වන අදහස් ඔබ අතරින් කිසිවකු දරන්නා වූ මතය විවේචනය කිරීමේ හෝ නිෂ්ප්‍රභ කිරීමේ අරමුණින් කරන්නක් නොවන බව ඔබ වටහා ගන්නා බව මට විශ්වාසයි.
දශක කිහිපයකට පෙර මා දැඩි භෞතිකවාදියකු ව සිටියා. එසේ ම කිසිදු දෙයක්, දෙන සැටියෙන් භාර නොගෙන ප්‍රශ්න කිරිමෙන් හා විචාරීමෙන් පසුව පමණක් භාර ගන්නා ස්ථාවරයක සිටියා. ( දෙවනු කී කරුණ නම් අදටත් එසේ මැයි.)
එහෙත් භෞතිකවාදයට, මගේ සමහර ගැටළුවලට පමණක් නොව භෞතිකවාදයේ පදනම පිළිබඳ ව මා ඇසූ ප්‍රශ්නවලටත් පිළිතුරු දීමට හැකි වූයේ නැහැ.
භෞතිකවාදය යනු -මා දන්නා තරමින්- මූලික වශයෙන්, අපගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර වන දේ පමණක් පවතීය යනු පිළි ගැනීමයි. ඇස, කන, නාසය, දිව හා සම, යන ඉන්ර්‍ද්‍රියන්ට දැනෙන දෙයෙහි පැවැත්ම පමණක් පිළි ගැනීමයි.
මෙහි දී අප බොහෝ විට අමතක කරන දෙයක් වනුයේ මෙම ඉන්ද්‍රියන්ගේ සංවේදීතාවේ සීමාවයි. අපගේ කන සංවේදී වන්නේ හර්ට්ස් 20 සිට 20000 දක්වා කම්පන සංඛ්‍යාතයකින් යුතු ශබ්ද පමණයි. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ, දෘෂ්‍ය ආලෝකය නමැති සීමිත කොටසට පමණයි අපගේ ඇස සංවේදී වන්නේ. බොහෝ සතුන ට ඇති ඉව දැනීමේ හැකියාව අපගේ නාසයට නැහැ.
අපගේ ඉන්ද්‍රිය සංවේදීතාවේ සීමාව පමණක් නොව තීව්‍රතාව අනුවත් අපට සංවේදනය වන දේ වෙනස් වෙනවා. එකම දෙයක් දෙස පියවි ඇසින් හා අන්වීක්ෂය තුලින් බැලූ විට අපට පෙනෙන්නේ එක ම දෙයම ද?.
පවත්නා බව අද අප හොඳින් ම දන්නා චුම්බකත්වය, විදුලිය වැනි දේවල් අපගේ කිසිදු ඉන්ද්‍රියයකට හසු වන්නේ නැහැ.ඒවායේ පැවැත්ම අපට වටහා ගත හැක්කේ ඒවායේ විවිධ ඵලයන් (තාපන ඵල, ආලෝක ඵල,)අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර වීම තුලිනු යි.
මෙහිදී කෙනෙකුට තර්ක කළ හැකියි, චුම්බකත්වය හා විදුලිය වැනි දේවල පැවැත්ම ඒවායේ ඵලයන් හරහා තහවුරු වී ඇති නිසාත් අති සියුම් ජීවීන්, සෛල ආදියේ පැවැත්ම අන්වීක්ෂය සොයා ගැනීම හරහා තහවුරු වී ඇති නිසාත් භෞතික වාදීන් ඒවායේ පැවැත්ම පිළි ගන්නවා කියා.
එතකොට මෙම උපකරණ සොයා ගැනීමට පෙර අතීතයේ විසූ භෞතික වාදීන්? (බුද්ධ කාලීන භාරතයේ සිටි බව කියැවෙන ෂඩ් ශාස්තෘවරුන් අතරින් එක් අයකු භෞතිකවාදියෙක්) ඔවුන් විදුලිය, චුම්බකත්වය, සියුම් ජීවීන් හා සෛල ආදියේ පැවැත්ම පිළිගන්නට ඇද්ද? නැති නම් ඉන්ද්‍රිය ගෝචර නොවන විඤ්ඤානවාදී අදහස් ලෙස බැහැර කරන්නට ඇද්ද?
විසිවන සිය වසේ ආරම්භයේ සිට අද දක්වා විද්‍යාවේ හා තාක්ෂණයේ සිදු ව ඇති දියුණුව අදහා ගැනීමටත් නොහැකි තරම්. භෞතික වාදීන් අද විඤ්ඤානවාදී අදහස් ලෙස බැහැර කරන දේවල් වල පැවැත්ම ඔප්පු කරන විද්‍යාත්මක හා තාක්ෂණික සොයා ගැනීම් අනාගතයේදී සිදු වුව හොත්? එදාට ඒවායේ පැවැත්ම පිළිගන්නවාද?
නැවතත් කෙනෙකු තර්ක කරනු ඇති, ඔව්. විද්‍යාත්මක ව යමක් තහවුරු වන්නේ නම් එය පිළි ගන්නවා කියා. එවිට මෙහි අවසානය කුමක් ද? විඤ්ඤානවාදී අදහස් සියල්ල කාලයත් සමග විද්‍යාත්මක ව තහවුරු වුව හොත් එදාට භෞතිකවාදය හා විඤ්ඤානවාදය සමපාත වෙනවාද?
ඒ ඒ අවස්ථාව දක්වා විද්‍යාත්මක ව තහවුරු වී ඇති දෑ පමණක් පිළි ගැනීමත්, විචාරශීලී වීමත් යනු එකක් නොව දෙකක්.
දෘෂ්ඨිවාද වලින් බැහැර ව, විවෘත මනසින් යුතු ව යමක් දෙස බැලීමෙන් බොහෝ දුරට එහි යථා තත්ත්වය වටහා ගත හැකියි. මා ද අනුගමනය කරන්නේ ඒ මඟ යි.
මේ සම්බන්ධ ව ඔබේ අදහස මීට වෙනස් විය හැකියි. ඔබගේ අදහස් ද දැන ගැනීමට කැමතියි.
වර්ගීකරණය:
Social Review,
Thoughts
Subscribe to:
Posts (Atom)
පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...