Wednesday, February 28, 2018

මුලට කෙටීම



- බන්ධුල සිසිර කුමාර-




මේ ලිපිය සමහර විට මගේ ම පෙර ලිපි කිහිපයකට ඌණ පූරණයක් වෙන්නත් පුළුවන්. එහෙත් ගත වූ කාලය ඇතුලත මුහුණ දුන්, ඇසූ දුටු යම් යම් දේ නිසා මෙය නැවතත් සාකච්ඡාවට බඳුන් කළ යුතු බැව් පෙනුණා.

මගේ වෘත්තීය ජීවිතයේදී තරුණ ප්‍රජාව සමග අදහස් හුවමාරු කරගැනීම්, සාකච්ඡා කිරිම් බෙහෙවින් සිදු වෙනවා. එසේ ම සමාජ ජාල හා වෙනත් මාර්ග ඔස්සේ සයිබර් අවකාශය තුලින් ද විවිධ අය හා අදහස් හුවමාරු වෙනවා. මේ දෙකින් ම බැහැර ව, සෘජු ව ම නොයෙක් පුද්ගලයන් හා සාකච්ඡා සංවාද කෙරෙන අවස්ථා ද තිබෙනවා.මේ සියලු අවස්ථාවල දී වත්මන් සමාජයේ මා දුටු එක් පැති කඩක් තිබුණා.

මෙහිදී මට මතක් වෙනවා මෑතකදී කියවූ පොතක තිබෙන සිද්ධියක්. එක් මහාචාර්යවරයකු, ඉතිහාසය පිළිබඳ ව තමා ලියූ අළුත් පොතක් ටයිප් සෙටිං කරවා ගන්නවා. එය පරීක්ෂා කර බලද්දි ඔහු දකිනවා රජවරුන්ගේ නම් පවා වැරදියට ටයිප් කර ඇති බව. “ දැන් ඉන්න ළමයි රජවරුන්ගේ නම් ටිකවත් දන්නේ නෑනේ“ කියා ඔහු කියනවා. “ දැන් ඉන්න ළමයි රජවරුන්ගේ නම් නොවෙයි - මේ රටේ හිටපු ජනාධිපතිවරුන්ගේ නම් ටිකවත් දන්නෙ නෑ සර්“ කියා එවිට වෙනත් අයකු කියනවා.

දැන් ඔබට හිතේවි මා ඉතිහාසය පිළිබඳ නීරස කතා ගොඩක් කියන්නයි මේ සූදානම කියා. එහෙත් එය නොවෙයි මේ සිදුවන්නට යන්නේ. මා දකින සමාජ අර්බුදයක්, අපේ ඉදිරි ගමනට බාධාකාරී විය හැකි ගැටළුවක් ගැන සංවාදයක් අරඹන්නයි මට අවශ්‍ය.

මෙය කියවන ඔබ වැඩිහිටියකු වෙන්නත් පුළුවන්. ඉතා ලාබාල තරුණ වයසේ අයකු වෙන්නත් පුළුවන්. ඒ අතර වූ වයස් කාණ්ඩයේ අයකු වෙන්නත් පුළුවන්. ඒ අනු ව ඔබ මා කියන දේ විවිධ අන්දමින් දකීවි. විවිධ අර්ථකථනත් දේවි.

අප ඉගෙන ගන්නා කාලයේ කිසියම් දුරකට අප ගමේ සමාජයෙන් හා පරිසරයෙන් මිදුණා. මේ නිසා ගමේ පරිසරයෙන්, හා ගැමියන්ගේ සම්ප්‍රදායික දැනුමෙන් අපට උකහා ගත හැකි ව තිබූ දැනුමෙන් හා පරිණත භාවයෙන් යම් කිසි කොටසක් අහිමි වූවා. මේ පිළිබඳ ව මා තුල වූයේ කිසියම් දුකක්. අඩුවක් පිළිබඳ හැඟීමක්.

එහෙත් අපට වූ ඒ අඩුව කොතරම් සුලු ප්‍රමාණයක් ද කියා වැටහුණේ පසුකාලීන සමාජය නිරීක්ෂණය කරන විටයි. වටපිටාවේ ලෝකය පිළිබඳ නොදැනීම ඉතා දරුණු තත්ත්වයක තිබූ පුද්ගලයන් මට හමු වී තිබෙනවා. එසේ මෑතක දී මට හමු වූ අවුරුදු තිහක් පමණ වයස් වූ එක් පුද්ගලයකු මගේ මිතුරකුගෙන් අසා තිබුණා, රටකජු හැදෙන්නේ කජු ගසේ කොතැනද කියා!! මේ එක් උදාහරණයක් පමණයි. එහෙත් එයින් අදහස් වෙන්නෙ නැහැ, නව පරපුරේ හැමෝ ම මෙබඳු යැයි කියා.

දැන් අර මහාචාර්යවරයාගේ කතාව නැවතත් මතක් කරමු. ඔබ නොවිධිමත් සමීක්ෂණයක් වශයෙන් කුඩා කණ්ඩායමක් තෝරාගෙන එක් එක් තැනැත්තාගෙන් අසා බලන්න, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිටි රාජ්‍ය නායකයන්ගේ නම්. ඔවුන් අතරින් කී දෙනෙකුට ඊට නිවැරදි පිළිතුරු දිය හැකිද යන්න එවිට ඔබට පෙනේවි.

අනෙක් අතින්, අතීතය දැන සිටිය යුත්තේ ඇයි කියාත් ප්‍රශ්නයක් නැගෙනවා නේ. ඔබ හිතන විදියට, ඇයි අපට අතීතය පිළිබඳ ව දැනුවත් භාවයක් අවශ්‍ය වන්නේ?

වර්තමානය කියන්නේ කුමත්ද? 

කාලය දිගේ නිරන්තරයෙන් ඉදිරියට තල්ලු වන සරල රේඛාවක් ලෙසයි මා නම් එය දකින්නෙ. එය ක්ෂණයක් පමණයි. එයට පසු වූ කොටස අතීතය බවට පත්වන අතර, ඉදිරියෙන් ඇති කොටස අනාගතයයි.

ඔබ ඔබගේ දෙමාපියන් කවුරුන්දැයි නොදන්නේ නම්, ඔවුන්ගෙන් ඔබට උරුම විය යුතු දේපළ හිමි කර ගැනීමේ කිසිදු මාර්ගයක් ඔබට නොපෑදේවි. ඔබට උපතින් උරුම විය යුතු ව ඇති ඉඩ කඩම්වල මායිම් ඔබ නොදැන සිටීවි. ඔබට හිමි විය යුතු ඒවා වෙනත් අය සිය බුක්තියට සවි කර ගනීවි. 

මේ කෙනෙකු තමාගේ හා සිය පවුලේ ඉතිහාසය නොදැනීමේ මුල් ම ප්‍රතිඵලයයි. එසේ ම, සිය ගමේ හා රටේ අතීතය ගැන නොදැනීමේ ප්‍රතිඵලය ද ඒ අනුව සිතා ගත හැකියි. (මේ පිළිබඳ ව මේ බ්ලොගයට ම මා ලියූ නැතුව ම බැරිද? නම් ලිපියෙහි වඩාත් විස්තරාත්මක ව සාකච්ඡා කර ඇති.) 

විවිධ අය විවිධ හේතු නිසා ඉතිහාසය ඉගෙන ගන්නා බවත් මා දුටුවා. ඒ අතරින් සමහරුන්ට අදාල වන හේතු පුදුම එළවන සුළුයි.


  • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව උසස් පෙළට කලා විෂයයන් හැදෑරීමට සිදු වූ නිසා.

  • ඒ අනුව සරසවියේදී තෝරා ගත හැකි වූයේ එම අංශයේ විෂයයන් නිසා.

  • බාහිර උපාධියක් ලබා ගැනීම සඳහා පහසු ම විෂයය ක්ෂේත්‍රය එය වූ නිසා. (මෙය නම් හරිම අපූරුයි. තමා ඒ නිසා එය තෝරා ගත් බව මා හා කීවේ අතීතය තබා, වර්තමානය ගැනවත් මෙලෝ හැඟීමක් නැති පුද්ගලයෙක්!)

  • තමා වර්තමානයට වඩා අතීතයට ප්‍රේම කරන නිසා / අතීත කාමය නිසා

ඇත්ත වශයෙන් ම, මෙබඳු හේතු නිසා ද, අප අතීතය ගැන දැනුවත් භාවයක් ලබා ගත යුත්තේ?

සතුන් පවා අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගන්නවා. කිසියම් දෙයක් කිරිමට පෙර, ඊට සම්බන්ධ පෙර අත්දැකීම් ගැන අප සැලකිළිමත් වන්නේ නැද්ද? රෑ වැටුණු වලේ දවල් නොවැටීමට එම දැනුම උපයෝගි කර ගන්නේ නැද්ද?

සැම දිනයක් ම ඊට පෙර දිනයේ ඵලය ද, ඊට පසු දිනයේ හේතුව ද වන බව සරල සත්‍යයක්. එසේ නම් දිනකට දෙකකට පෙර වගේ ම, වසර කිහිපයකට, සියවස් කිහිපයකට පෙර හෝ ඊටත් ඈත අතීතයේ සිදු වූ දෙයක ප්‍රතිඵල අද අප භුක්ති විඳිනවා නොවේද? අනෙක් අතට, අප ඉතිහාසය නමින් උගන්නා දෙය වැඩි කොටසක් ම දේශපාලන ඉතිහාසයයි. අදින් වසර කිහිපයක් එපිට ට, දශක කිහිපයක් එපිට ට , සියවස් කිහිපයක් එපිට ට සිදු වූ දේ ගැන දැනුවත් නම්, දේශපාලකයන් (රජවරුන්ගේ සිට වත්මන් අය දක්වා) කටයුතු කරන අන්දම, ඔවුන්ගේ කටයුතු හමුවේ ජනතාව ප්‍රතික්‍රියා දක්වන අන්දම, සමරූපී සිදු වීම් ඉතිහාසය පුරාවට නැවත නැවතත් සිදු වන අන්දම ආදි දේ පිළිබඳ ව ඔබ හොඳ අවබෝධයකින් යුතු ව සිටීවි. අතිශයින් තීරණාත්මක අවස්ථාවල කටයුතු කළ යුත්තේ කෙසේ දැයි ඒ දැනුම ඔබට කියා දේවි.

මෙන්න මේ හේතුව නිසයි අතීතය යනු ගුරුවරයකු බව මා තදින් ම විශ්වාස කරන්නේ. මා අතීතය හැදෑරීමට පෙළඹවූ හේතුව ද එයයි. ඒ හැර අතීත කාමය හෝ, පෙර කී සිල්ලර හේතු කිසිවක් ඊට හේතු වූයේ නැහැ.

මා නැවතත් අවධාරණය කරනවා, අතීතය යනු අපට හරි මග සොයා ගන්නට උදව් වන ගුරුවරයකු මිස අන්ධ භක්තියෙන් වන්දනා කළ යුතු කරඬුවක් ද නොවෙයි.

මගේ ළමා කාලය ගෙවුණේ ඉතිහාසය පාසල් පෙළ පොතින් ඉවත් කර තිබූ යුගයක. එහෙත් ඒ කාලයේ හැටියට, ඒ හැටි උගත් කමක් නොතිබූ මගේ මවුපියන් බාහිර කියවීම් පොත පත ගෙනවුත් දෙමින් අපේ අතීතය, උරුමය හා සංස්කෘතිය පිළිබඳ ව මා ඥානණය කළා.ඒ නිසා සමකාලීනයන් බොහෝ දෙනෙකුට සාපේක්ෂ ව මා වැඩුණේ මුල් සිඳ නොගනිමින්.

දශක කිහිපයකට පෙර අතීතයේ වූ මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා අපගේ සමකාලීනයන් අතුරින් බොහොමයක්, අප කවුද, අපට සිදුව ඇත්තේ කුමක් ද, අප රට දිගින් දිගට ම පරිහාණියට ම ඇදෙන බව පෙනෙන්නේ මන්ද, ඊට බලපෑ හේතු මොනවාද, වැනි කරුණු විශ්ලේෂණය කර ගැනීමට අසමත්. එහෙත් ඔවුන් ඒ තත්ත්වයට වග කිව යුතු නැහැ.

එහෙත් ඊටත් පසු කාලීන ව බිහි වූ සමාජ ස්තර අතර මීටත් වඩා වියවුල් මානසික තත්ත්වයන් ට නතු වූ අය මට හමු වී තිබෙනවා. ඒ අතර සිටින සමහරුන් අපගේ අතීතය කෙරේ කකියන ද්වේශයකින්, වෛරයකින් කටයුතු කරනු මා දැක තිබෙනවා. හිඳගෙන සිටින අත්ත මුලින් කපා දැමූ විට බිම ඇද වැටෙන්නේ තමා ද සමග බව අමතක වූ මොවුන් තමාගේ ම මුල් වලට පහර දීම සඳහා යොදා ගන්නේ ද ඉතිහාසය ලෙසින් ඔවුන් ම සිතා සිටින ප්‍රලාපයන්.

සරල උදාහරණයක් ගනිමු. මහාවංශය යනු වංශ කථාවක් හෙවත් විත්ති කථා පොතක් බව ඉතිහාසය පිළිබඳ ව හදාරන ඕනෑම අයකු දන්නා දෙයක්. එහි ලියැවෙන දෙය කෙරෙහි, එහි කතුවරුන්ගේ ආකල්ප, රුචි අරුචි කම් ආදිය බලපානවා. තම යුගයට පෙර වූ සිදුවීම් ගැන ඒ අය ලියන්නේ ජනප්‍රවාද ඇසුරෙන් වන්නට පුළුවන්. එහෙත් වංශකථාව ඉතිහාසය ගොඩ නැගීමේදී මහඟු පිටිවහලක් වෙනවා, එහි දැක්වෙන සිද්ධීන් පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ගැනීමෙන් පසුව පමණයි එය ඉතිහාසය බවට පත් වන්නේ. අප අසා ඇති සමහර කතන්දර ඓතිහාසික ව මෙතෙක් තහවුරු වී නැහැ. විජය කුමරු ලංකාවට පැමිණීම එසේ තහවුරු වී නැති තවත් එක් කතාවක්. ඉතින්, මෙවැනි දෑ ඉතිහාසය වශයෙන් ගෙන තමාගේ ම මුල් වලට පහර දෙන මිනිසුන්, මට මේ සයිබර් අවකාශය තුලදී මෙන්ම, බාහිර සමාජයේදීත් හමු වී තිබෙනවා. 

තවත් සමහර පුද්ගලයන් වර්තමානයේ යම් යම් දේශපාලකයන් කෙරේ තමා තුල වූ වෛරය, අතීත යුගවල විසූ සමහර විශිෂ්ඨ පරිපාලකයන්ගේ ප්‍රතිරූප මතට ඇලවීමට ගන්නා විකාරරූපි උත්සාහයන් පවා මා දැක තිබෙනවා.

මෙවැනි තත්ත්වයන් ඇති වීමට හේතුව කුමක් වන්නට ඇද්දැයි ඔබ සිතනවාද?

මා නම් දකින්නේ මෙය මොළ ශෝධනයක ප්‍රතිඵලයක් ලෙසයි.

අපේ රටේ මිනිසුන්ගේ මොළ සේදීමට අවශ්‍යතාවයක් තිබිය හැක්කේ කාටද කියා ගැටළුවක් ඊ ළඟට මතු වෙනවා.

වැඩිපුර වැල්වටාරම් නොකියා, මා මට හිතෙන දේ පසුගිය කාලයේ සිදු වූ සිදුවීමක් ඇසුරෙන් කියන්නම්.

හයිටි රාජ්‍යයේ පස්වල ටයිටේනියම් තිබෙන බව සොයා ගනු ලබනවා. එක් අධිරාජ්‍යවාදී රටකට මෙම පස්, සිය රටට ඇද ගැනීමට අවශ්‍ය වෙනවා. එහෙත් එය කළ නොහැකියි. හයිටියේ සිටියේ ධෛර්ය සම්පන්න ශක්තිමත්, අභිමානවක් ජන කොට්ඨාශයක්. සිය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අධිරාජ්‍යවාදීන් මෙහෙයුමක් දියත් කරනවා. දශකයක දෙකක පමණ කාලයක් තිස්සේ විවිධ උපක්‍රම මගින් මොළ ශෝධනය කරමින් හයිටි වැසියන්ගේ ආකල්ප, ආහාර පුරුදු, සංස්කෘතිය, චර්යා රටා ආදී සියල්ල වෙනස් කරනවා. අද වන විට ඒ රටේ සිටින්නේ සදාචාරාත්මක වශයෙන් අන්තයටම පිරිහුණු, වසර 40 -50 වයස් මට්ටම්වලදී විවිධ ලෙඩ රෝග වලින් මිය යන, අභිමානවත් බවක හෝ දිරිමත් බවක ලකුණක් වත් නැති - ඒ තබා, තමන්ට සිදු වූයේ කුමක්දැයි හැඟීමක්, වැටහීමක් වත් නැති අඳ බාල ජනතාවක්. ඒ අතරේ අධිරාජ්‍යවාදීන් අර ටයිටේනියම් සහිත පස් තොගය බොහොම සාර්ථක ව කපා ගෙන යමින් සිටිනවා.

අපට සිදු වෙමින් ඇත්තේ මෙය විය නොහැකිද?

ඔබ අසාවි, ඉතින් අපේ මොනවාද කපාගෙන යන්න තියෙන්නේ කියා.

අපේ රටේ, අප දන්නා මෙන් ම නොදන්නා සම්පත් ද බොහාමයි.

අපේ භූමියේ පිහිටීම පවා කෙතරම් වැදගත් ද යන්න අපට වඩා හොඳින් ඔවුන් දන්නවා ඇති.

ඔවුනට ඒවා රිසි පරිදි ඩැහැ ගත හැකි වන්නේ අප දුර්වල, අඳබාල ජන කණ්ඩායමක් වූවොත් පමණයි.

මේ මට හිතෙන හැටි.

ඔබගේ අදහස් දැන ගැනීමට කැමතියි.

1 comment:

  1. මහාවංශයේ නූතන යුගට පොත ලියලා පසුව ඒක ඉවත් කලා. මතක විදිහට ප්‍රෙමදාස කලෙද කොහෙද? මොකද 1971 තරුණ කැරුල්ල ලියල තිබෙන හැටි පාලකයන්ට ඇල්ලුවෙ නැහැ.

    ReplyDelete

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...