Wednesday, February 28, 2018

මුලට කෙටීම



- බන්ධුල සිසිර කුමාර-




මේ ලිපිය සමහර විට මගේ ම පෙර ලිපි කිහිපයකට ඌණ පූරණයක් වෙන්නත් පුළුවන්. එහෙත් ගත වූ කාලය ඇතුලත මුහුණ දුන්, ඇසූ දුටු යම් යම් දේ නිසා මෙය නැවතත් සාකච්ඡාවට බඳුන් කළ යුතු බැව් පෙනුණා.

මගේ වෘත්තීය ජීවිතයේදී තරුණ ප්‍රජාව සමග අදහස් හුවමාරු කරගැනීම්, සාකච්ඡා කිරිම් බෙහෙවින් සිදු වෙනවා. එසේ ම සමාජ ජාල හා වෙනත් මාර්ග ඔස්සේ සයිබර් අවකාශය තුලින් ද විවිධ අය හා අදහස් හුවමාරු වෙනවා. මේ දෙකින් ම බැහැර ව, සෘජු ව ම නොයෙක් පුද්ගලයන් හා සාකච්ඡා සංවාද කෙරෙන අවස්ථා ද තිබෙනවා.මේ සියලු අවස්ථාවල දී වත්මන් සමාජයේ මා දුටු එක් පැති කඩක් තිබුණා.

මෙහිදී මට මතක් වෙනවා මෑතකදී කියවූ පොතක තිබෙන සිද්ධියක්. එක් මහාචාර්යවරයකු, ඉතිහාසය පිළිබඳ ව තමා ලියූ අළුත් පොතක් ටයිප් සෙටිං කරවා ගන්නවා. එය පරීක්ෂා කර බලද්දි ඔහු දකිනවා රජවරුන්ගේ නම් පවා වැරදියට ටයිප් කර ඇති බව. “ දැන් ඉන්න ළමයි රජවරුන්ගේ නම් ටිකවත් දන්නේ නෑනේ“ කියා ඔහු කියනවා. “ දැන් ඉන්න ළමයි රජවරුන්ගේ නම් නොවෙයි - මේ රටේ හිටපු ජනාධිපතිවරුන්ගේ නම් ටිකවත් දන්නෙ නෑ සර්“ කියා එවිට වෙනත් අයකු කියනවා.

දැන් ඔබට හිතේවි මා ඉතිහාසය පිළිබඳ නීරස කතා ගොඩක් කියන්නයි මේ සූදානම කියා. එහෙත් එය නොවෙයි මේ සිදුවන්නට යන්නේ. මා දකින සමාජ අර්බුදයක්, අපේ ඉදිරි ගමනට බාධාකාරී විය හැකි ගැටළුවක් ගැන සංවාදයක් අරඹන්නයි මට අවශ්‍ය.

මෙය කියවන ඔබ වැඩිහිටියකු වෙන්නත් පුළුවන්. ඉතා ලාබාල තරුණ වයසේ අයකු වෙන්නත් පුළුවන්. ඒ අතර වූ වයස් කාණ්ඩයේ අයකු වෙන්නත් පුළුවන්. ඒ අනු ව ඔබ මා කියන දේ විවිධ අන්දමින් දකීවි. විවිධ අර්ථකථනත් දේවි.

අප ඉගෙන ගන්නා කාලයේ කිසියම් දුරකට අප ගමේ සමාජයෙන් හා පරිසරයෙන් මිදුණා. මේ නිසා ගමේ පරිසරයෙන්, හා ගැමියන්ගේ සම්ප්‍රදායික දැනුමෙන් අපට උකහා ගත හැකි ව තිබූ දැනුමෙන් හා පරිණත භාවයෙන් යම් කිසි කොටසක් අහිමි වූවා. මේ පිළිබඳ ව මා තුල වූයේ කිසියම් දුකක්. අඩුවක් පිළිබඳ හැඟීමක්.

එහෙත් අපට වූ ඒ අඩුව කොතරම් සුලු ප්‍රමාණයක් ද කියා වැටහුණේ පසුකාලීන සමාජය නිරීක්ෂණය කරන විටයි. වටපිටාවේ ලෝකය පිළිබඳ නොදැනීම ඉතා දරුණු තත්ත්වයක තිබූ පුද්ගලයන් මට හමු වී තිබෙනවා. එසේ මෑතක දී මට හමු වූ අවුරුදු තිහක් පමණ වයස් වූ එක් පුද්ගලයකු මගේ මිතුරකුගෙන් අසා තිබුණා, රටකජු හැදෙන්නේ කජු ගසේ කොතැනද කියා!! මේ එක් උදාහරණයක් පමණයි. එහෙත් එයින් අදහස් වෙන්නෙ නැහැ, නව පරපුරේ හැමෝ ම මෙබඳු යැයි කියා.

දැන් අර මහාචාර්යවරයාගේ කතාව නැවතත් මතක් කරමු. ඔබ නොවිධිමත් සමීක්ෂණයක් වශයෙන් කුඩා කණ්ඩායමක් තෝරාගෙන එක් එක් තැනැත්තාගෙන් අසා බලන්න, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිටි රාජ්‍ය නායකයන්ගේ නම්. ඔවුන් අතරින් කී දෙනෙකුට ඊට නිවැරදි පිළිතුරු දිය හැකිද යන්න එවිට ඔබට පෙනේවි.

අනෙක් අතින්, අතීතය දැන සිටිය යුත්තේ ඇයි කියාත් ප්‍රශ්නයක් නැගෙනවා නේ. ඔබ හිතන විදියට, ඇයි අපට අතීතය පිළිබඳ ව දැනුවත් භාවයක් අවශ්‍ය වන්නේ?

වර්තමානය කියන්නේ කුමත්ද? 

කාලය දිගේ නිරන්තරයෙන් ඉදිරියට තල්ලු වන සරල රේඛාවක් ලෙසයි මා නම් එය දකින්නෙ. එය ක්ෂණයක් පමණයි. එයට පසු වූ කොටස අතීතය බවට පත්වන අතර, ඉදිරියෙන් ඇති කොටස අනාගතයයි.

ඔබ ඔබගේ දෙමාපියන් කවුරුන්දැයි නොදන්නේ නම්, ඔවුන්ගෙන් ඔබට උරුම විය යුතු දේපළ හිමි කර ගැනීමේ කිසිදු මාර්ගයක් ඔබට නොපෑදේවි. ඔබට උපතින් උරුම විය යුතු ව ඇති ඉඩ කඩම්වල මායිම් ඔබ නොදැන සිටීවි. ඔබට හිමි විය යුතු ඒවා වෙනත් අය සිය බුක්තියට සවි කර ගනීවි. 

මේ කෙනෙකු තමාගේ හා සිය පවුලේ ඉතිහාසය නොදැනීමේ මුල් ම ප්‍රතිඵලයයි. එසේ ම, සිය ගමේ හා රටේ අතීතය ගැන නොදැනීමේ ප්‍රතිඵලය ද ඒ අනුව සිතා ගත හැකියි. (මේ පිළිබඳ ව මේ බ්ලොගයට ම මා ලියූ නැතුව ම බැරිද? නම් ලිපියෙහි වඩාත් විස්තරාත්මක ව සාකච්ඡා කර ඇති.) 

විවිධ අය විවිධ හේතු නිසා ඉතිහාසය ඉගෙන ගන්නා බවත් මා දුටුවා. ඒ අතරින් සමහරුන්ට අදාල වන හේතු පුදුම එළවන සුළුයි.


  • සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව උසස් පෙළට කලා විෂයයන් හැදෑරීමට සිදු වූ නිසා.

  • ඒ අනුව සරසවියේදී තෝරා ගත හැකි වූයේ එම අංශයේ විෂයයන් නිසා.

  • බාහිර උපාධියක් ලබා ගැනීම සඳහා පහසු ම විෂයය ක්ෂේත්‍රය එය වූ නිසා. (මෙය නම් හරිම අපූරුයි. තමා ඒ නිසා එය තෝරා ගත් බව මා හා කීවේ අතීතය තබා, වර්තමානය ගැනවත් මෙලෝ හැඟීමක් නැති පුද්ගලයෙක්!)

  • තමා වර්තමානයට වඩා අතීතයට ප්‍රේම කරන නිසා / අතීත කාමය නිසා

ඇත්ත වශයෙන් ම, මෙබඳු හේතු නිසා ද, අප අතීතය ගැන දැනුවත් භාවයක් ලබා ගත යුත්තේ?

සතුන් පවා අත්දැකීමෙන් පාඩම් ඉගෙන ගන්නවා. කිසියම් දෙයක් කිරිමට පෙර, ඊට සම්බන්ධ පෙර අත්දැකීම් ගැන අප සැලකිළිමත් වන්නේ නැද්ද? රෑ වැටුණු වලේ දවල් නොවැටීමට එම දැනුම උපයෝගි කර ගන්නේ නැද්ද?

සැම දිනයක් ම ඊට පෙර දිනයේ ඵලය ද, ඊට පසු දිනයේ හේතුව ද වන බව සරල සත්‍යයක්. එසේ නම් දිනකට දෙකකට පෙර වගේ ම, වසර කිහිපයකට, සියවස් කිහිපයකට පෙර හෝ ඊටත් ඈත අතීතයේ සිදු වූ දෙයක ප්‍රතිඵල අද අප භුක්ති විඳිනවා නොවේද? අනෙක් අතට, අප ඉතිහාසය නමින් උගන්නා දෙය වැඩි කොටසක් ම දේශපාලන ඉතිහාසයයි. අදින් වසර කිහිපයක් එපිට ට, දශක කිහිපයක් එපිට ට , සියවස් කිහිපයක් එපිට ට සිදු වූ දේ ගැන දැනුවත් නම්, දේශපාලකයන් (රජවරුන්ගේ සිට වත්මන් අය දක්වා) කටයුතු කරන අන්දම, ඔවුන්ගේ කටයුතු හමුවේ ජනතාව ප්‍රතික්‍රියා දක්වන අන්දම, සමරූපී සිදු වීම් ඉතිහාසය පුරාවට නැවත නැවතත් සිදු වන අන්දම ආදි දේ පිළිබඳ ව ඔබ හොඳ අවබෝධයකින් යුතු ව සිටීවි. අතිශයින් තීරණාත්මක අවස්ථාවල කටයුතු කළ යුත්තේ කෙසේ දැයි ඒ දැනුම ඔබට කියා දේවි.

මෙන්න මේ හේතුව නිසයි අතීතය යනු ගුරුවරයකු බව මා තදින් ම විශ්වාස කරන්නේ. මා අතීතය හැදෑරීමට පෙළඹවූ හේතුව ද එයයි. ඒ හැර අතීත කාමය හෝ, පෙර කී සිල්ලර හේතු කිසිවක් ඊට හේතු වූයේ නැහැ.

මා නැවතත් අවධාරණය කරනවා, අතීතය යනු අපට හරි මග සොයා ගන්නට උදව් වන ගුරුවරයකු මිස අන්ධ භක්තියෙන් වන්දනා කළ යුතු කරඬුවක් ද නොවෙයි.

මගේ ළමා කාලය ගෙවුණේ ඉතිහාසය පාසල් පෙළ පොතින් ඉවත් කර තිබූ යුගයක. එහෙත් ඒ කාලයේ හැටියට, ඒ හැටි උගත් කමක් නොතිබූ මගේ මවුපියන් බාහිර කියවීම් පොත පත ගෙනවුත් දෙමින් අපේ අතීතය, උරුමය හා සංස්කෘතිය පිළිබඳ ව මා ඥානණය කළා.ඒ නිසා සමකාලීනයන් බොහෝ දෙනෙකුට සාපේක්ෂ ව මා වැඩුණේ මුල් සිඳ නොගනිමින්.

දශක කිහිපයකට පෙර අතීතයේ වූ මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා අපගේ සමකාලීනයන් අතුරින් බොහොමයක්, අප කවුද, අපට සිදුව ඇත්තේ කුමක් ද, අප රට දිගින් දිගට ම පරිහාණියට ම ඇදෙන බව පෙනෙන්නේ මන්ද, ඊට බලපෑ හේතු මොනවාද, වැනි කරුණු විශ්ලේෂණය කර ගැනීමට අසමත්. එහෙත් ඔවුන් ඒ තත්ත්වයට වග කිව යුතු නැහැ.

එහෙත් ඊටත් පසු කාලීන ව බිහි වූ සමාජ ස්තර අතර මීටත් වඩා වියවුල් මානසික තත්ත්වයන් ට නතු වූ අය මට හමු වී තිබෙනවා. ඒ අතර සිටින සමහරුන් අපගේ අතීතය කෙරේ කකියන ද්වේශයකින්, වෛරයකින් කටයුතු කරනු මා දැක තිබෙනවා. හිඳගෙන සිටින අත්ත මුලින් කපා දැමූ විට බිම ඇද වැටෙන්නේ තමා ද සමග බව අමතක වූ මොවුන් තමාගේ ම මුල් වලට පහර දීම සඳහා යොදා ගන්නේ ද ඉතිහාසය ලෙසින් ඔවුන් ම සිතා සිටින ප්‍රලාපයන්.

සරල උදාහරණයක් ගනිමු. මහාවංශය යනු වංශ කථාවක් හෙවත් විත්ති කථා පොතක් බව ඉතිහාසය පිළිබඳ ව හදාරන ඕනෑම අයකු දන්නා දෙයක්. එහි ලියැවෙන දෙය කෙරෙහි, එහි කතුවරුන්ගේ ආකල්ප, රුචි අරුචි කම් ආදිය බලපානවා. තම යුගයට පෙර වූ සිදුවීම් ගැන ඒ අය ලියන්නේ ජනප්‍රවාද ඇසුරෙන් වන්නට පුළුවන්. එහෙත් වංශකථාව ඉතිහාසය ගොඩ නැගීමේදී මහඟු පිටිවහලක් වෙනවා, එහි දැක්වෙන සිද්ධීන් පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර ගැනීමෙන් පසුව පමණයි එය ඉතිහාසය බවට පත් වන්නේ. අප අසා ඇති සමහර කතන්දර ඓතිහාසික ව මෙතෙක් තහවුරු වී නැහැ. විජය කුමරු ලංකාවට පැමිණීම එසේ තහවුරු වී නැති තවත් එක් කතාවක්. ඉතින්, මෙවැනි දෑ ඉතිහාසය වශයෙන් ගෙන තමාගේ ම මුල් වලට පහර දෙන මිනිසුන්, මට මේ සයිබර් අවකාශය තුලදී මෙන්ම, බාහිර සමාජයේදීත් හමු වී තිබෙනවා. 

තවත් සමහර පුද්ගලයන් වර්තමානයේ යම් යම් දේශපාලකයන් කෙරේ තමා තුල වූ වෛරය, අතීත යුගවල විසූ සමහර විශිෂ්ඨ පරිපාලකයන්ගේ ප්‍රතිරූප මතට ඇලවීමට ගන්නා විකාරරූපි උත්සාහයන් පවා මා දැක තිබෙනවා.

මෙවැනි තත්ත්වයන් ඇති වීමට හේතුව කුමක් වන්නට ඇද්දැයි ඔබ සිතනවාද?

මා නම් දකින්නේ මෙය මොළ ශෝධනයක ප්‍රතිඵලයක් ලෙසයි.

අපේ රටේ මිනිසුන්ගේ මොළ සේදීමට අවශ්‍යතාවයක් තිබිය හැක්කේ කාටද කියා ගැටළුවක් ඊ ළඟට මතු වෙනවා.

වැඩිපුර වැල්වටාරම් නොකියා, මා මට හිතෙන දේ පසුගිය කාලයේ සිදු වූ සිදුවීමක් ඇසුරෙන් කියන්නම්.

හයිටි රාජ්‍යයේ පස්වල ටයිටේනියම් තිබෙන බව සොයා ගනු ලබනවා. එක් අධිරාජ්‍යවාදී රටකට මෙම පස්, සිය රටට ඇද ගැනීමට අවශ්‍ය වෙනවා. එහෙත් එය කළ නොහැකියි. හයිටියේ සිටියේ ධෛර්ය සම්පන්න ශක්තිමත්, අභිමානවක් ජන කොට්ඨාශයක්. සිය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අධිරාජ්‍යවාදීන් මෙහෙයුමක් දියත් කරනවා. දශකයක දෙකක පමණ කාලයක් තිස්සේ විවිධ උපක්‍රම මගින් මොළ ශෝධනය කරමින් හයිටි වැසියන්ගේ ආකල්ප, ආහාර පුරුදු, සංස්කෘතිය, චර්යා රටා ආදී සියල්ල වෙනස් කරනවා. අද වන විට ඒ රටේ සිටින්නේ සදාචාරාත්මක වශයෙන් අන්තයටම පිරිහුණු, වසර 40 -50 වයස් මට්ටම්වලදී විවිධ ලෙඩ රෝග වලින් මිය යන, අභිමානවත් බවක හෝ දිරිමත් බවක ලකුණක් වත් නැති - ඒ තබා, තමන්ට සිදු වූයේ කුමක්දැයි හැඟීමක්, වැටහීමක් වත් නැති අඳ බාල ජනතාවක්. ඒ අතරේ අධිරාජ්‍යවාදීන් අර ටයිටේනියම් සහිත පස් තොගය බොහොම සාර්ථක ව කපා ගෙන යමින් සිටිනවා.

අපට සිදු වෙමින් ඇත්තේ මෙය විය නොහැකිද?

ඔබ අසාවි, ඉතින් අපේ මොනවාද කපාගෙන යන්න තියෙන්නේ කියා.

අපේ රටේ, අප දන්නා මෙන් ම නොදන්නා සම්පත් ද බොහාමයි.

අපේ භූමියේ පිහිටීම පවා කෙතරම් වැදගත් ද යන්න අපට වඩා හොඳින් ඔවුන් දන්නවා ඇති.

ඔවුනට ඒවා රිසි පරිදි ඩැහැ ගත හැකි වන්නේ අප දුර්වල, අඳබාල ජන කණ්ඩායමක් වූවොත් පමණයි.

මේ මට හිතෙන හැටි.

ඔබගේ අදහස් දැන ගැනීමට කැමතියි.

Monday, February 12, 2018

මරා දැමූ නගරය


-බන්ධුල සිසිර කුමාර-




ලිපිය ආරම්භයේදී ම මා ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. 

සමෘද්ධිමත් නගරයක්. නගරය වටා වූ ප්‍රදේශය බෙහෙවින් කෘෂිකාර්මිකයි. සියල්ල යහපත් අන්දමින් සිදුවෙමින් පවතිනවා. ආර්ථිකය යහපත්. කෘෂිකාර්මික හා අනෙකුත් අවශ්‍යතා සඳහා වූ ජල සැපයුම ඉතා විධිමත් හා සංකීර්ණ වූවක්. එය කළමනාකරණය සඳහා වෙනම නිලධාරි මණ්ඩලයක් සිටිනවා.

කලක් මේ අන්දමින් ගත වෙද්දී, රටේ පාලකයන් වෙනස් වෙනවා. එතෙක් සිදු වූ සමහර යහපත් දේවල් පවා හෙළා දැකීමට අවඥාවට භාජනය වෙනවා. එහෙත් ඒ පාලන සමයත් කුමන්ත්‍රණයකින් අවසන් වෙනවා.

ඉන්පසු එළඹෙන්නේ අවිචාර සමයක්. දශකයක පමණ කාලයක් තුල පාලකයන් ගණනාවක් වරින් වර බලයට එනවා. අවිචාර සමය කූඨප්‍රාප්තියට එන්නේ ක්‍රෑර විජාතිකයකු අතට පාලනය ලැබීමෙන්.

එතෙක් පැවති සියල්ල ඔහු, උඩු යටිකුරු කරන්නේ කිසියම් පළි ගැනීමක ආකාරයෙන්. නගරයේ අලංකාර ගොඩනැගිලි, පන්සල්, පුස්තකාල වැනි දෑ විනාශ කිරීම, දවා අළු කර දැමීම සිදු කෙරෙනවා. සමහර පන්සල් ඔහුගේ හමුදාවට නවාතැන් සඳහා යොදා ගන්නවා.

අහිංසක මිනිසුන්ට හිරිහැර කිරීම, මගතොටදී දකින තරුණයන් අල්ලා නිකරුණේ පහරදීම, යමක් කමක් ඇති ධනවතුන්ගේ නිවෙස්වලට පැන ඔවුන් අල්ලා විවිධ වද බන්ධනයට ලක් කර ඔවුන්ගේ ධනය ද කොල්ල කා ගැනීම, ඔහුගේ හමුදාවන් විසින් සිදුකරනු ලබනවා.(බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් ඈත එපිට ගම් දනව් වෙත පැතිරවූ භීෂණය සිහියට නගා ගන්න.මෙයත් එබඳු වන්නට ඇති.) සියලු පරිපාලන තන්ත්‍රයන් අවුල් කර දැමෙන අතර ඒ අනුව ජල සැපයුම් පද්ධති කළමනාකරණය ද අවුල් වී ඇණ හිටිනවා.

පුරවැසියන් කරන්නේ කුමක්ද? ඔවුන් ක්‍රමයෙන් නගරය අතහැර යනවා. ධනවතුන් ජීවිතය බේරාගැනීම සඳහා දුර බැහැර පෙදෙස්වලට පලා යනවා. තමන් සතු ධනය රැගෙන ගියහොත් මගදී මංකොල්ලකෑමට ලක් ව ජීවිතය ද අහිමි ව යා හැකියි. එබැවින් ඔවුන් ඒවා මුට්ටි, කළගෙඩි ආදියෙහි බහා තම වතු පිටිවල වළ දමා පලා යනවා, තත්ත්වය යහපත් වූ කාලයක ආපසු ඒමේ අරමුණින්.

එහෙත් ඔවුන් සිතූ තරම් ඉක්මනින් තත්ත්වය යහපත් වූයේ නැහැ. සමහරුන් පලා යන අතරේදී ම මරුම් කන්නට ඇති. දුර බැහැර පෙදෙස්වලට ගිය අයගේ දරු මුණුබුරන් හට, ඔවුන ට හිමි ධනය සඟවා ඇති තැන් ගැන තොරතුරු නිසි පරිදි සන්නිවේදනය නොවන්නට ඇති. එසේත් නැත්නම් භීෂකයකුගේ ග්‍රහණයේ පැවති පලාතක වූ ඒ ධනය ගැන හැඟීමක් හෝ බලාපොරොත්තුවක් ඔවුනට නොතිබෙන්නට ඇති.

සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් ඇති කෘෂිකාර්මික ප්‍රදේශයක, ඒ වාරිමාර්ග පද්ධතියේ කළමනාකරණය බිඳ වැටුණු විට සිදු වන්නේ කුමක් ද? වගා කටයුතුවල අවශ්‍යතාව පරිදි පාලනයක් යටතේ ජලය සැපයීම සිදුනොවූ විට තව දුරටත් වගා කටයුතු සිදු කළ නොහැකියි. පාලනයෙන් තොර වූ විට ජලය තැන තැන එක් රැස්වීමත් සමහර ජල මං වියළී යාමත් සිදුවෙනවා. එක් රැස් වූ ජලය මත මදුරුවන් බෝ වීමත් ඒ නිසා වසංගත ඇති වීමත් ඊ ළඟට සිදු වෙනවා. තව දුරටත් පලා නොගොස් ඉතිරි වූ ජනකායක් වේ නම් ඔවුන් ද මේ වන විට පලා යනවා. සරු පොළවක් වූ මෙහි ගස්වැල් වැඩෙන්නේ ශීඝ්‍රයෙන්. කාලය ගත වෙද්දී ආක්‍රමණිකයා පළවා හැරියත් නගරය ඒ වන විට ගොඩ ගත හැකි මට්ටමක නැහැ.ක්‍රමයෙන් ඝන වනාන්තරය විසින් වසා ගන්නා නගරයත් අවට ප්‍රදේශයත් සියල්ලන්ටම අමතක ව යනවා.

මේ පොළොන්නරුව බිඳ වැටීමේ කථාවයි. එසේ ම, රජරට රාජධානි යුගය බිඳ වැටීමේ ද කථාවයි. මෙතෙක් අනාවරණය කරගෙන ඇති පුරාවිදු දැනුමේ කැට කැබිලිති ද, පොත පතෙහි ලියැවී ඇති දෑ ද, විවෘත මනසින් යුතු ව ජීවිතයේ කිසියම් කාලයක් එම නගරය ඇසුරේ ගත කරද්දී ඇසූ දුටු දේ ද, යන සියල්ල එකතු කර අලවා ගොඩ නගා ගත් විට මා දුටු චිත්‍රයයි ඉහතින් දැක්වෙන්නේ. එයින් සමහර දේ තහවුරු කෙරෙන තොරතුරු සමාජගත නොකළ යුතු බැවින් ප්‍රසිද්ධියේ සකච්ඡා කිරීම අනුචිතයි.

නගරයේ ඉතිරි ව පැවැති ගොඩනැගිලි අබලන් ව ඇද වැටෙමින් තිබුණු ශෝචනීය ආකාරය, දඹදෙණි යුගයේ ලියැවුනු සමහර පොතපතෙහි සඳහන් වෙනවා. ඉන්පසු ව සියවස් පහක් පුරාවට මේ නගරය වන ප්‍රවාහය තුල ගිලී යනවා.

අවසානයේදී පොළොන්නරුව යන ස්ථාන නාමය පොත පතෙහි පමණක් ඉතිරි ව තිබෙනවා.

1820 වන විට මෙම ප්‍රදේශය හැඳින්වෙමින් තිබුණේ "තෝපාරේ " යන නමින්. ලුතිනන් එම්.එච්. ෆගාන් නමැති ඉංග්‍රීසි ජාතික හමුදා නිලධරයා මඩකලපුවේ සිට මින්නේරිය දක්වා එන ගමනකදී විවේක ගැනීම පිණිස එක් දිනක් තෝපාරෙ හි නවාතැන් ගන්නවා. වනය තුලට ඇවිද ගිය අතරවාරයේදී ඇඳිරි වැටීගෙන එන මොහොතක ගල් පව්වක නෙලා ඇති අඳුරු පැහැති දැවැන්ත මිනිස් ප්‍රතිමාවන් දුටු බවත්, එවිට ඇති වූ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීම් ගැනත් පවසන ඔහු, වඩාත් විමසිල්ලෙන් බලද්දී ඒවා බුද්ධ ප්‍රතිමා බව වටහා ගත් බව කියනවා.

ක්‍රමයෙන් මෙම වනාන්තරය තුල සැඟවුනු නටබුන් එකින් එක මතු කරගැනෙද්දී එක් ඉංග්‍රීසි ජාතිකයෙක් විසින් කියා තිබූ අපූරු කියමනක් මෙහිදී සිහි වෙනවා. "ඔබ මේ වටිනා පුරාවස්තූන් ගැන උනන්දුවක් නොමැති අයෙක් නම් හුදෙක් විනෝදය පිණිස මේවා නැරඹීමට නොපැමිණෙන්න. එය මේ අගනා පුරාවස්තූන් තව දුරටත් ආරක්ෂා කර ගැනීමට හේතු වනු ඇති. " යන්නට සමාන අරුතක් එහි ගැබ් වී තිබුණා.

හෙන්රි ඩබ්. කේව්, ලංකාවේ නටබුන් නගර (Ruined Cities of Ceylon) නමැති සිය පොතෙහි ( 1896 දී) පොළොන්නරුව ගැන කරන විස්තරයෙහි මෙබඳු සඳහනක් තිබෙනවා.

"තව කොතෙක් පුරාණ වස්තු ඝන වනයේ ප්‍රතිච්ඡන්නව පවතිද්දැයි කිව නොහැකිය. නමුත් අතිශය ශ්‍රී සමෘද්ධි සම්පන්න රාජ්‍ය කාල එකක් හෝ දෙකක් තුලදී පමණක් ම කරවන ලද කර්මාන්ත රාශිය පිළිබඳ වූ ඉතිහාස ප්‍රවෘත්ති සළකා බලන විට, මෙම මුළු ප්‍රදේශය ම හෙළි කොට නැවතත් ගොවිතැනෙහි යොදන්ට වූ කාලයකදී මෙහි මහත් පුරාණ වස්තු පෑදෙන්ට පුළුවන් බව නම් අපට තරයේ ම හැඟී යන බැව් කිය යුතු ය. ඒ කාලය වන විට මේ පුරාණ නගර බැලීමට ලෝකයේ සියලු රටලින් මෙහි එන ජනයාගේ ගමනාගමනය පිණිස දුම්රිය ඇති වන්නේ යයි සිතිය යුතුය. ඒ විධියෙන් මේ පුරාණ නගර ලෝකයේ දැකුම් කටයුතු ස්ථාන අතුරෙහි යථා ස්ථානයට පත් වෙනු නියතය. " 

තවත් වරෙක පොළොන්නරුව හරහා ගිය ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු "බොහෝ දේ දුටුවා. මිනිසුන් පමණයි නොදුටුවේ. " යනුවෙන් සඳහන් කර තිබුණා.

මෙසේ, මහා ඛෙදවාචකයක් හමුවේ බිඳ වැටී අත හැර දමා ගිය පොළොන්නරුව ඉංග්‍රීසින් විසින් ‍නැවත සොයා ගනු ලබනවා. ඉන් පසුව ගත වූ කාලය ඇතුලත නැවත එළි පෙහෙළි වූ එය නැවත ජනාවාස වන්නේ ක්‍රියාදාමයන් කිහිපයක් යටතේයි. මෙහි පළමුවැන්න ලෙස හඳුනාගත හැක්කේ ඩී. එස්. සේනානායක පාලන සමයේ ඇතිකරන ලද ගොවි ජනපද ව්‍යාපාරයයි.

ඉන් පසුව සිදු වූ කැපී පෙනෙන සිදු වීම නම් දිඹුලාගල හිමියන්ගේ මෙහෙයවීම යටතේ සිදු වූ, ජනාවාස පිහිටුවීම් හා පොදු පහසුකම් සංවර්ධනයයි.

තුන් වැනි ක්‍රියාදාමය මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් සිදු කරන ලද ජනපදකරණයයි.

මේ අනුව පොළොන්නරුව නැවතත් ජනාවාසයක් බවට පත් වුව ද, අදටත් එහි ඇත්තේ අඩු ජනගහණ ඝනත්වයක්. එසේම එම ප්‍රජාව තුල ද කැපී පෙනෙන තවත් වැදගත් ලක්ෂණයක් තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ වසර දහස් ගණනක් තිස්සේ අවිච්ඡින්න ව පැවත ආ සම්ප්‍රදායක හා සිරිත් විරිත්වල නෂ්ඨාවශේෂයන් අදටත් අනුරාධපුර අවට වැසියන් අතර ඉතිරි ව තිබෙනවා. එහෙත් එබඳු සිරිත් විරිත් හෝ සාම්ප්‍රදායික ගැමි ජීවිතයක ලක්ෂණ පොළොන්නරුවේදී දැක ගත හැකි වන්නේ නැහැ. එහි වත්මන් පදිංචි කරුවන්ගේ අතීතය විමසා බැලුවහොත් දැනගන්නට ලැබෙන්නේ පරම්පරා දෙකකට හෝ තුනකට පෙර එහි සංක්‍රමණය වූ අයකුගෙන් පැවතෙන බවයි. කැලය එළි පෙහෙළි කර වගා කිරීම සඳහා පැමිණි අය ද, ගොවිජනපදවල ඉඩම් ලැබ පැමිණියවුන් ද, නිවසින් පැන ආවුන්ද, දෙවන ලෝක යුද සමයේ හමුදා සේවයේ යෙදීම වෙනුවෙන් පාරිතෝෂික ලෙස ඉඩකඩම් ලද අය ද පැරණි සංක්‍රමණිකයන් අතර වනවා. පසුකාලීන සංක්‍රමණිකයන් අතර වන්නේ මහවැලි ජලාශවලට ගම් බිම් යටවීම වෙනුවෙන් ගොඩ මඩ ඉඩම් ලද්දවුන් පිරිසයි.

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...