Monday, April 20, 2020


රාවණා ඇවිත්....

-බන්ධුල සිසිර කුමාර -







මෙම ලිපිය ඉතිහාස විෂයයට තරමක් සම්බන්ධ වුවත් සම්බන්ධ වුවත්, ඓතිහාසික සිද්ධියක් ගැන නම් නොවෙයි.

මා බොහෝ ලිපිවල නැවත නැවතත් සඳහන් කළ කරුණු කිහිපයක් මෙහිදී යළිත් සිහිපත් කරනවා.

සැම දිනයක් ම ඊට පෙර හා පසු දිනය සමග, හේතුව හා ඵලය වශයෙන් සම්බන්ධයි. ඒ නිසා අද දවසේ සිදුවන සමහර සිදු වීමක මූල හේතුව, ඈත අතීතයේ වූ සිද්ධියක් වන්නට හැකියි.

අතීතය සම කළ හැක්කේ ගුරුවරයකුටයි. එය අපට වැරදුණු තැන් පෙන්වා ඒවායින් පාඩම් ලබාගැනීමට කියා දෙනවා. සියල්ල නිවැරදි ව සිදුවූ තැන් පෙන්වා එයින් ආදර්ශ ගැනීමට කියා දෙනවා. අප කවුදැයි පෙන්වා දී අපට අයත් දේ රැක ගැනීමට උනන්දු කරවනවා.

එසේ නොමැති ව, අතීතය යනු කරඬුවක තබා වන්දනා කරමින් සිටිය යුතු දෙයක් නොවෙයි. එසේ ම, ද්වේෂයෙන් වෛරයෙන් යුතු ව පහර දී වනසා දැමිය යුතු එකක් ද නොවෙයි.

දශක තුන හතරකට පෙර වූ කාලයේ දී පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය විෂයය ඉවත් කෙරුණා. ඉතිහාසය කන්නදැයි ඇසූ පාලකයන් ද ඒ ආසන්න යුග වල සිටියා.

ඒ ඓතිහාසික වරදෙහි ප්‍රතිඵල, දශක කිහිපයක් ගතවෙද්දී නිකුත් වන්නට පටන් ගත්තා. එය ආකාර දෙකකින් ප්‍රදර්ශනය වූවා. පළමු ව කැපී පෙනෙන්නට පටන් ගත්තේ එක් ආකාරයක්.

ඉතිහාසය යනු කුමක්දැයි මෙලෝ හසරක් නොදැන, අවිචාරයෙන්, අතීතයටත්, තමාගේ ම මුල්වලටත් ගරහන, වෛර කරන පරපුරක් බිහි වීම.

දෙවැනි ආකාරය.....

දෙවැනි ආකාරය විස්තර කිරීමට පෙර මා අතුරු කථාවක් කියන්නම්.

යුරෝපා රටවල යටත් විජිතයන් බවට පත් වීම හේතු කොට ගෙන, අප වැනි රටවලට සිදු වූ සාමාජීය, සංස්කෘතික, ආර්ථික හානි බොහොමයි. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතයන් පැවති සමයන්හි දී, කුතුහලයෙන් යුතු සමහර නිලධරයන්, ඒ ඒ විජිතයන්හි අතීතය පිළිබඳ ගවේෂණවල හා පර්යේෂණවල යෙදුණා.

ඉංග්‍රීසින් භාරත භූමිය යටත් කරගන්නා සමය වන විට, භාරතයේ වැසියන් (ඉන්දියානුවන්) සිය ඉතිහාසය යැයි සිතා සිටියේ දේව පුරාණ කථා සමූහයකට...!!

ඒ හැර, දූරාතීතයේ ලොව බිහි වුණු, සාපේක්ෂ ව දියුණු ශිෂ්ඨාචාර කිහිපය අතුරින් එකක් වූ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ඒ භූමියේ බිහි වූ බව, පසු කලෙක වයඹ දිග දුර්ගයන් ඔස්සේ ඉරාණ දේශය දෙසින් පැමිණි ආර්යයන් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ කර සිය ආධිපත්‍යය භාරත භූමිය තුල තහවුරු කරගත් බව, ඊ ටත් පසුව එක්තරා යුගයෙක, එතෙක් පැවති ආගමික සිරිත් විරිත්, ගතානුගතික අදහස් හා ආකල්ප ප්‍රශ්න කරමින් නව මං සොයා ගිය බුදුන් වහන්සේ ඇතුලු දාර්ශනිකයන් රැසක් බිහි වූ යුගයක් පැවති බව ඔවුන් දැන සිටියේ නැහැ.

එසේ ම භාරත භූමියේ විශාල ප්‍රදේශයක සිය බලය තහවුරු කර ගත් අශෝක නම් වූ මහා අධිරාජයකු සිටි බව, ඔහුගේ අනුග්‍රහයෙන් ලෝකයේ විශාල වපසරියක් පුරාවට බෞද්ධ ධර්ම දූතයන් යැවුණු බව, නාලන්දා, වික්‍රමශිලා වැනි දැවැන්ත විශ්වවිද්‍යාල බිහි වූ බව, වයඹ දිග දුර්ග ඔස්සේ ම පැමිණි මුස්ලිම් ආක්‍රමණිකයන් නාලන්දා විශ්වවිද්‍යාලය ඇතුලු බොහෝ දෑ ගිනිබත් කළ බව ද ඔවුන් දැන සිටියේ නැහැ.

ඉන් පසු පැමිණි මූගල් ආක්‍රමණිකයන්, එතෙක් පැවති හින්දු හා බෞද්ධ රාජ්‍යයන් යටත් කර ගනිමින් භාරත භූමියේ සිය බලය තහවුරු කර ගැනීමේ කථාව ද ඔවුන් දැන සිටියේ නැහැ. තම රටේ අතීතය පිළිබඳ මෙලෝ හසරක් නොදත් එකල ඉන්දියානුවන්, ආගමික ග්‍රන්ථවල කියැවෙන අද්භූත දේව පුරාණයන් සිය ඉතිහාසය ලෙස සිතා සිටියා.

කුඩා කල සිට රටේ ඉතිහාසය නොඋගැන්වීමෙහි දෙවැනි ප්‍රතිඵලය ලෙස අප රටේ ද සිදු වූයේ, පුරාණ භාරතීය දේව කථාවන්හි ඇති තොරතුරු අප රටේ ඉතිහාසය ලෙස ද, එම දේව කථා ඓතිහාසික මූලාශ්‍ර ලෙස ද සලකන පරපුරක් බිහි වීමයි.

දැනට අප රටේ සමාජය තුල, මෙසේ ශාස්ත්‍රීය නොවන මත කිහිපයක් ම කරලිය ට පැමිණ තිබෙනවා. ඉන් එකක් වන්නේ රාවණ රජුගේ ඓතිහාසික බව පිළිබඳ ව කියැවෙන පුවතයි. අප මෙම ප්‍රවාදයේ තර්කානුකූලභාවය මඳක් විමසා බලමු.

අපේ රටේ අතීතය, යුග කිහිපයක ට බෙදෙනවා. ඉන් වර්තමානයට ආසන්නතම කාලය හැඳින්වෙන්නේ ඓතිහාසික යුගය නමින්. මේ යුගය මහාවංශයේ සඳහන් ව ඇති අවුරුදු දෙදහස් පන්සිය ගණනක් වන කාලයයි. 

රාවණයන්ගේ පැවැත්ම ගැන දැඩි සේ විශ්වාස කරන පිරිස විසින්, එය විශ්වාස නොකරන අයට වාග් ප්‍රහාර එල්ල කරනු මා දැක තිබෙනවා, මහාවංශය කරතබාගෙන යන්නවුන් ය, විජය නමැති සොරදෙටුවකුගෙන් තමා පැවතෙතැයි විශ්වාස කරන්නවුන් ය, ආදි වශයෙන්.

ඇත්ත වශයෙන් ම රාවණාගේ ඓතිහාසිකත්වය පිළිබඳ ව විශ්වාස නොකරන්නේ, ඉතිහාසය හා පුරා විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විද්වතුන් හා එම විෂයයන් පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් ඇත්තවුන්. මහාවංශය පිළිබඳ ව ඔවුන්ගේ මතය කුමක් දැයි විමසා බලමු.

පොදු ජනතාව විසින් මහාවංශය ඉතිහාස පොතක් ලෙස සිතා සිටියද ඉතිහාසඥයන් විසින් එය සලකනු ලබන්නේ, විත්ති කතා පොතක් හෙවත් වංශකථා පොතක් ලෙස පමණයි.

මහාවංශය ලිවීම ආරම්භ කරන කතුවරයා තමා ජීවත් වන යුගයට පෙර වූ කොටස ලියන්නේ තමා අසා ඇති දේවල් හා, තමාට විශේෂයෙන් හුවා දැක්වීමට ඇවැසි කරුණුවලට මුල් තැන ලැබෙන පරිදි යි. ලංකාවේ රජ පරපුර, බුදු හිමියන් අයත් ශාක්‍ය වංශයට නෑ දෑ කමක් ඇති බව පෙන්වීමට කියන කරුණු ඊට උදාහරණයක්. මෙවැනි විවිධ නිර්මාණය කිරීම් නිසා, එය ලියන යුගයට පෙර සිටි සමහර රජවරුන් ගේ රාජ්‍ය කාලය අසාමාන්‍ය ලෙස දීර්ඝව දක්වා තිබෙනවා. තවද ඒ ඒ යුගයෙහිත් මහාවංශය ඉදිරියට ලියාගෙන යද්දී, කතුවරයාගේ රුචි අරුචි කම්, පක්ෂග්‍රාහී වීම් හේතුකොට ගෙන, කැමති අය ගැන වැඩියෙන් හා අගයමිනුත් අකමැති අය ගැන අඩුවෙන් හා හෙළා දකිමිනුත් සඳහන් කෙරෙනවා.

මේ නිසා ඉතිහාසඥයන් විසින්, මහාවංශය, තිබෙන ආකාරයෙන් ම, ගෙඩි පිටින්, පිළිගන්නේ නැහැ. එහි තිබෙන තොරතුරු වලින්, සංගතතාවයෙන් යුතු ව තහවුරු වන, ( සමකාලීන දේශීය / විදේශීය මූලාශ්‍රවලද කියවෙන කරුණු හා ගැලපෙන) කරුණු හා, පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් තහවුරු වන තොරතුරු පමණයි, ඉතිහාසය වශයෙන් ශාස්ත්‍රීය ව පිළිගැනෙන්නේ.

මීට පෙන්විය හැකි හොඳම උදාහරණයක් තමයි, විජය කුමරු ලංකාවට පැමිණියාය කියන කතාව. මහාවංශය ලියූ හිමියන්, උන්වහන්සේ ජීවත් වූ යුගයට සියවස් කිහිපයකට එපිට සිද්ධියක් ලෙසයි එම කථාව ලියන්නේ. ඒ කථාව, සංගත ව තහවුරු කෙරෙන කිසිදු දේශීය / විදේශීය මූලාශ්‍රයක් නැහැ. එසේ ම පුරාවිද්‍යාත්මක සාධකයක් ද නැහැ. ඒ නිසා විජයාගමන කථා ව ඉතිහාසඥයන් විසින් සත්‍ය ඓතිහාසික සිද්ධියක් ලෙස පිළි ගැනීමට ලක්වන්නේ නැහැ. 

මෙහිදී මා වැදගත් කරුණු දෙකක් සඳහන් කළා.


  •  වෙනත් මූලාශ්‍ර සමග සංගතතාවයෙන් යුතු ව තහවුරු වීම 


  •  පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වීම.

සංගතතාවයෙන් යුතු ව තහවුරු වීම යනු, සළකා බැලෙන මූලාශ්‍රයේ සඳහන් තොරතුරු, වෙනත්, දේශීය හා විදේශීය මූලාශ්‍රවල සඳහන් තොරතුරු සමග ද ගැලපීමයි.

පුරාවිද්‍යාත්මක ව තහවුරු වීම යනු, අදාල මූලාශ්‍රයේ සඳහන් තොරතුරු, සොයාගන්නා ලද පුරාවිද්‍යාත්මක සාධක, පුරාවිද්‍යා කැණීම්වල ප්‍රතිඵල ආදිය මගින් තහවුරු වීමයි. 

සාහිත්‍ය කෘතියක් මූලාශ්‍රය ලෙස ගැනෙන අවස්ථා නොමැති ද? 

තිබේ.

සාහිත්‍ය කෘතියක සඳහන් වන, කර්තෘ පිළිබඳ තොරතුරු, අදාල යුගයේ පාලකයා පිළිබඳ තොරතුරු, ස්ථාන නාම, මාර්ග පිලිබඳ විස්තර ඇතුලු එම යුගයේ සමකාලීන තොරතුරු, යුගයට අදාල ව, වචනවල අරුත්, ආදී තොරතුරු සම්බන්ධයෙන්, සාහිත්‍ය කෘතියක් ද  මූලාශ්‍රයක් ලෙස ගත හැකියි. 

උදාගරණයක් ලෙස හංස සන්දේශය සළකමු. එහි කර්තෘ, එකල විසූ පාලකයා, ශ්‍රී ජයවර්ධන පුර රජ මැදුරේ සිට කෑරගල දක්වා වැටී තිබූ මාර්ගය, කෑරගල පද්මවතී පිරිවෙන, කෑරගල වනරතන හිමි ආදී ස්ථාන හා පුද්ගලයන් සම්බන්ධ ව, එම කෘතිය, සමකාලීන මූලාශ්‍ර වටිනාකමකින් යුතු ව භාවිතා කළ හැකියි.

එහෙත් කිසිවකු විසින්, කෝට්ටේ යුගයේ දී ලිපි රැගෙන ගොස් භාර දීමේ කාර්යය සඳහා  හංසයින් යොදා ගන්නා ලද්දේ යයි ප්‍රවාදයක් ගොඩ නගා, එය තහවුරු කිරීමේ සාධකයක් ලෙස හංස සන්දේශය ගත හැකි යයි කියා සිටියොත්.......?? ඔබට ඔහු ගැන සිතෙන්නේ කුමක් ද?

රාවණ රජුගේ ඓතිහාසිකත්වය පිළිබඳ ඉදිරිපත් කෙරෙන තර්කවාද සම්බන්ධයෙන් ද ඇත්තේ මේ සංගත භාවයෙන් හෝ පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කළ නොහැකි වීම පිළිබඳ ගැටළුවයි. 

භාරතයේ සාහිත්‍ය කෘතියක් වන රාමායණය, යම් කිසිවක් සම්බන්ධ ව මූලාශ්‍රයක් ලෙස යොදා ගත හැකි නම් එසේ වනු ඇත්තේ, පෙර කී පරිදි කර්තෘ පිළිබඳ ව - හා සමකාලීන සමාජයේ තොරතුරු කිසිවක් සඳහන් වේ නම් ඒ සඳහා - පමණයි. ඒ හැර, එහි කථා පුවතට ශාස්ත්‍රීය මූලාශ්‍රයක් ලෙස වටිනාකමක් නැහැ. 

මේ හැරුණු විට වෙනත් කිසිදු සැබෑ ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට, එම මතවාදය දරන්නවුන් සමත් ව නැහැ.

(සමහරුන් අදාල මතවාදයේ යම් යම් කරුණුවලට තහවුරු ව ලෙස ඉදිරිපත් කර තිබුණේ තමාගේ හිත එසේ කියන බව යි!!!)

ඇත්ත වශයෙන් ම රාවණ කථාවල කියැවෙන අන්දමේ බලගතු රජකු මේ භූමියේ සිටියා නම් එය අපේ ද අභිමානයට හේතු වනවා නිසැකයි. එහෙත්, මෙතෙක් සියලු දේ තහවුරු ව ඇත්තේ එවැනි අයකු සිටියාය කියන ප්‍රවාදය නිශේධනය වන අයුරිනුයි. පහත දැක්වෙන කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන්න.


  • රාවණ රජු සිටි බව විශ්වාස කරන විවිධ කණ්ඩායම් විසින්, එතුමා ජීවත් ව සිටි කාලය ලෙස, එකිනෙකට වෙනස් කාල පරාස කිහිපයක් සඳහන් කරනවා. ඒ හැම එකක් ම අයත් වන කාලය, අප රට ඉන්දීය භූමිය සමග ගොඩබිමින් සම්බන්ධ ව තිබූ කාලය යි. රාමාගේ පිරිස පාලමක් තනා සම්බන්ධ කළ ලංකාව මේ ය යන්න එයින් ම නිශේධනය වෙනවා.


  • ක්‍රි.ව. 6 වන සිය වසින් එපිට කාලයේ දී මේ රට සිංහලද්වීප යනුවෙන් මිස ලංකා යනුවෙන් හැඳින්වුණු බවක් තහවුරු කෙරෙන, කිසිදු ලේඛනයක් හෝ වෙනත් පුරාවිද්‍යාත්මක සාධකයක් හමු වී නැහැ. මෙතෙක් හමු වී ඇති ඉන්දීය ලේඛනවල ද සීහලදීප, ඊළාම් හා ඊළ මණ්ඩලම් (දකුණු ඉන්දියානු ලේඛනවල) වැනි නාමයන් මිස ලංකා යන වචනය හා ආසන්න වූ නමක් හෝ මේ රට වෙනුවෙන් යෙදී නැහැ.



  • රාවණ රජුගේ පැවැත්මට පක්ෂව කරුණු දක්වන අය විසින්, ඒ සම්බන්ධයව නම් කරන කාල පරාස කිහිපයක් තිබෙනවා. අප දිවයිනේ, එම කාල පරාසයන් පිළිබඳ ව පුරාවිද්‍යාත්මක ගවේෂණ විශාල සංඛ්‍යාවක් සිදු කෙරී තිබෙනවා. ඒ සැම එකකින් ම තහවුරු වී තිබෙන්නේ මේ යුග තුල හෝමෝ සාපියන් මානවයා ( නූතන මිනිසා) පූර්ව ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, පසු කර ක්‍රමයෙන් නව ශිලා යුගය දෙසට පරිවර්තනය වන කථාවයි. වෙනත් විදියකින් කියතොත්, සතුන් සේ ම ගල් ගුහාවල ජීවත් වීමේ සිට, යම් යම් සරල නිෂ්පාදන කර ගැනීම, චාරිත්‍ර වාරිත්‍ර වලට හුරු වීම, යන අවධි පසු කරමින් තමන්ට ඇවැසි දේ වගා කරගැනීම අරඹන, තරමක් දියුණු තැනට ඒමේ කථාවයි. විදේශීය මූලාශ්‍ර වලින් ද සංගත ව තහවුරු වන්නේ එකල ලෝකය සිටියේ එතැන බවයි. ඒ හැර ඊට සමකාලීන ව තවත් දියුණු ශිෂ්ටාචාරයක් ද මෙහි පැවතුණු සාධක කිසිවක් මෙතෙක් හමු වී නැහැ (ඇත්තටම එවැනි ශිෂ්ටාචාර දෙකක් සමකාලීන ව පැවතීමේ ඉඩකඩ ඉතා ම අඩුයි. එසේ පැවතුනහොත් වන්නේ දියුණු ශිෂ්ඨාචාරය විසින්, අනෙක විනාශ කිරීම හෝ අවශෝෂණය කර ගැනීම මගින් අවසන් කිරීමයි.)

රාවණා රජුට සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධක බොහෝ ඇති බවත්, පුරාවිද්‍යාත්මක කැණීම් හා ගවේෂණ සම්බන්ධ අධිකාරි බලය සහිත රාජ්‍ය ආයතනයක් විසින් එම සාධක සිතා මතා සඟවන බවත්, ඉහත කී පිරිස සමාජ මාධ්‍යයන් තුල දිගින් දිගට ම ප්‍රකාශ කරනු දකින්නට තිබුණා. එසේ සැඟවීමේ ඉඩක් තිබේ ද?

රාජ්‍ය ආයතන හැරුණු විට, මෙම විෂය පථය ගැන හැදෑරූ / උනන්දු වන පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සංවිධාන කිහිපයක් මේ රටේ තිබෙන බවත්, විවිධ ගවේෂණ හා පර්යේෂණවල (කැණීම් නොවන) යෙදෙන ස්වාධීන ගවේශකයන් සැළකිය යුතු පිරිසක් මේ රටේ සිටින බවත් බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. රාජ්‍ය ආයතනය විසින් කරනු ලබන ගවේෂණයන් පිළිබඳවත් මේ පුද්ගලයන් හා සංගම් බලා සිටින්නේ මහත් අවධානයෙන්. රාජ්‍ය ආයතනය පූර්ව නිගමනයන්හි හිඳිමින් වැරදි මඟක යන්නේ නම් එය පළමුව අවධානයට ලක් වන්නේත්, ඒ පිළිබඳ ව විවේචනය කරනු ලබන්නේත්, බාහිර හා ස්වාධීන වූ ඒ පුද්ගලයන් විසිනුයි. ( මා අදාල රාජ්‍ය ආයතනයට අයත් වූවකු නොවන බව සැළකුව මනා යි.)

දැනට අප රටේ ඉතිහාසය ලෙස පිළිගැනෙන තොරතුරු සම්භාරය, දේශීය හා විදේශීය විද්වතුන් විසින් ගවේෂණය කිරීමෙන් සොයා ගත් ඒවායි. එයින් ඓතිහාසික යුගය ලෙස ගැනෙන කාල පරාසය ට අයත් ඒවා පුරාවිද්‍යාත්මක ව හෝ සංගතතාවය අනුව හෝ එකවර මේ ක්‍රම දෙක ම මගින් හෝ තහවුරු වූ තොරතුරුයි. ඉන් එපිට කාලයට අයත් ඒවා පුරාවිද්‍යා ගවේෂණ තුලින් පමණක් තහවුරු වූ ඒවායි. වරින් වර අළුතින් සොයා ගන්නා සාධක අනු ව මෙතෙක් තහවුරු නොවූ කොටස් අළුතින් තහවුරු වීම ද සිදු වනවා. මේ නිසා කිසියම් රටක ඉතිහාසය යනු අවසන් කර මුද්‍රා තබන විෂය කොටසක් නොවේ.


මේ තවත් අමුතු කතාවක් ගැන....

පුරාවිද්‍යා ගවේෂණයන්හිදී හමු වන දෑ, මානව නිර්මාණ, ආදී විවිධ දේ හඳුනාගනු ලබන්නේ අදාල විෂයය ගැඹුරින් හැදෑරූ ප්‍රාමාණික විද්වතුන් විසින්. එසේ වරක් හඳුනාගනු ලැබූ පුරාවස්තුවක් සම්බන්ධයෙන් වෙනත් අර්ථ දැක්වීමක් සිදු කරන්නේ නම් එය සිදු විය යුත්තේ අදාල ක්ෂේත්‍රය පිළිබඳ ව ගැඹුරු හැදෑරීමක් සහිත අයකු විසිනු යි.

රාවණ රජුගේ ඓතිහාසිකත්වය අශාස්ත්‍රීය ව ඔප්පු කිරීමට දරන උත්සාහය වැනි ම වූ විකාර රූපී ප්‍රයත්නයන් කිහිපයක් සමාජ මාධ්‍ය තුල දැක ගත හැකි බව ද මෙහි දී සඳහන් කළ යුතු වෙනවා. ඊජිප්තුවේ මමි බහා ලන ශිලාමය මිනීපෙට්ටියක් සහ අප රටේ ඇති බෙහෙත් ඔරුවක පින්තූර එක ළඟ තබා, ඊජිප්තුවේ හා ලංකාවේ මමි බහාලීමට මේවා යොදාගන්නා ලදැයි යන අරුතක් ජනිත කරවන ප්‍රකාශයක් ද සටහන් කළ පෝස්ටුවක් මා මෑත දී දුටුවා. මේ වන විටත් හඳුනාගෙන තිබෙන ගොඩනැගිලි විශේෂයක් වන පධානගරයක් රාවණා සහ සීතාවන් ට සම්බන්ධ ස්ථානයක් ලෙස හඳුන්වා දීමට දරා තිබූ උත්සාහයත් එවැන්නක්. එච්. සී. පී.බෙල්, සෙනරත් පරණවිතාන ඇතුලු කීර්තිමත් පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රතිරූපයනට ඉතා පහත් අන්දමින් පහර දීමද මීට සමාන්තර ව සිදුවෙමින් පවතිනවා.

කරුණු කාරණා නොදැනීම හේතුවෙන්, මෙම විකෘති මතයන් හි එල්බ සිටින බොහෝ දෙනෙකු සිටියත් සැළසුම් සහගත ව යම් පිරිසක් විසින් මෙය මෙහෙයවනු ලබන්නේ යයි ද සාධාරණ සැකයක් සමාජය තුල ම ඇති වී තිබෙනවා.

සාධක සහිත ව ඔප්පු කර ඇති අභිමානවත් අතීතය, ව්‍යාජ ඇස්බැන්දුමක් පෙන්වීම මගින් ප්‍රතික්ෂේප කරවීමෙන් ද සිදුවන්නේ මුල් සිඳින ලද අතරමං වූ ජනතාවක් බිහි වීමයි.

කුමන ආකාරයකින් හෝ අප රටේ, මුල් සිඳගත් ජනතාවක් බිහි වීම කාගේ අවශ්‍යතාවක් දැයි මා මගේ, දීල යමු.. හා ද..??, මුලට කෙටීම ආදී වූ පෙර ලිපිවල දිගින් දිගට ම සාකච්ඡා කර ඇති. 

(වැඩිදුර කියවීම සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතකු ලියූ ලිපියක් ද මෙතැන අමුණා තබනවා.)

7 comments:

  1. මට ‌පේන්නෙ, ‌මේ අවිද්‍යාව ‌දෙ ආකාරයි. එකක් තමයි රාවණා, බුදුන් ලංකාවේ ඉපදීම ආදී ‌ඓතිහාසික අවිද්‍යාව. අනික ‌දේශපාලනික අවිද්‍යාව. ඔය ‌දෙකම ලංකාවේ ඔඩු දුවන්නේ ඉතා ‌ලේසියෙන් යමක් සමාජගත කරන්නට හැකි සමාජ මාධ්‍ය මගිනුයි. යන්තම් දැනගත් ‌හෝ ‌මොනවත්ම ‌නොදැනගත් පිරිසක් ‌මේ ‌දේවල් ඉතා පහසුවෙන් ‌බෙදා හරිමින් සහ එයට ප්‍රති තර්ක නගන්නන්ට ඉතා සාහසිකව පහර ‌දෙමින් ‌මේවා ජනප්‍රිය තලයට ‌ගේනවා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කියවීම හරි එකඟයි.

      Delete
  2. ඔව්. අපේ රටේ, සැළකිය යුතු අධ්‍යාපනික පසුබිමක් ඇති අය අතර පවා, විචාර බුද්ධිය අන්තිමයි.ඔබ සඳහන් කළ ක්ෂේත්‍ර දෙකෙහි පමණක් නොවෙයි, වෙනත් ඕනෑ ම ක්ෂේත්‍රයක් සළකා බැලුවත් තත්ත්වය එයාකාරයි. මුද්‍රිත, විද්‍යුත් හා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ඕනෑ ම මිත්‍යාවක් මේ ජනතාව අතර වැපිරිය හැකි බවයි පෙනෙන්නෙ. මේ අන්ධභූත බව දුරු කිරීම ලෙහෙසි නැහැ. එහෙත් අප ට හැකි උපරිමය ඒ වෙනුවෙන් ඉටු කර තැබිය යුතු වෙනවා,අඩු තරමින්, අපේ දරුවන්ට ද අයත් අනාගතය ගැන සිතා වත්...

    ReplyDelete
    Replies
    1. ඔබගේ කියවීම හරි එකඟයි.මේ තත්වයන් පෙන්වාදීමත් මේ අදහස් සමාජගත කිරීමත් අද දවසේ අප වෙත ඉතිහාසය විසින් පවරා තිබෙන අත්හළ නොහැකි වගකීමක් බව විශ්වාශ කරමි.ඒ සඳහා ඔබ දරන උත්සාහය ඉමහත් සේ අගය කරමි.හැකි අයුරින් අපද ඔබට ශක්තියක් වෙමින් ඔබ සමග රැඳී සිටින බවත් සටහන් කරමි.

      Delete
  3. මෙවැනි ලිපියක් තුලින් වර්තමානයේ මුල් බැසගත් මිත්‍යා විශ්වාස ඔස්සේ දුවන අසරණ මිනිසුන්හට බුද්ධියෙන් හා ප්‍රඥාවෙන් සත්‍යය වටහා දීමට ඉදිරිපත් වීම පිළිබඳව ඔබතුමන්ට කෘතඥතාවය පල කරමි. තවදුරටත් මෙවැනි ලිපි ඔස්සේ සිදුවෙන්නට යන විනාශය වලක්වා ගැනීමට පිටුවහලක් වන බව මම විශ්වාස කරමි. ඒ සඳහා ඔබට ශක්තියල් ලැබේවා යන්නත් තවත් මෙවැනි ලිපි ඔස්සේ විනයානුකූල ලෙස භාෂාව හසුරුවමින් පිළිතුරක් ඔවුන්ට ලබාදෙන්න හැකියාව ලැබේවා....

    ReplyDelete
    Replies
    1. ඔබගේ ඇගයීම පිළිබඳ ව ඉතාමත් ම ස්තුතිවන්ත වෙනවා.

      Delete
    2. ඔබගේ කියවීම හරි එකඟයි.

      Delete

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...