Wednesday, April 8, 2020

බුලත් මඩිස්සලේට හෙන ගහලා...

-බන්ධුල සිසිර කුමාර-



බුදු සසුන ඇරඹුණු මුල් ම කාලය තුල බුදුන් වහන්සේ විසින්, භික්ෂු සමාජය උදෙසා ශික්ෂා පද පැනවීම සිදු කළේ නැහැ. එකල යමකු භික්ෂුත්වය ලබා ගත්තේ නම් එසේ කළේ මාර්ග ඵල ලබා සසර ගමන අවසන් කර ගැනීමේ අරමුණින් පමණයි. එසේ අවශ්‍ය නොවූ අයට බෞද්ධ ප්‍රතිපදාවන් අනුව තම ආචාර ධර්ම පද්ධතිය හැඩ ගස්වාගෙන, ගිහි බෞද්ධයන් හැටියට දිවි ගෙවීමේ හැකියාව තිබුණා. එවැනි අය බොහෝ සිටි බව පෙනෙනවා.

එහෙත් සෑහෙන කලක් ගත වන විට, බුදු දහම වැළඳගත් රාජවංශිකයන්, මහා ව්‍යාපාරිකයන් ආදීන් වෙතින්, බුදුන් වහන්සේ හා භික්ෂූන් වෙත මහත් සේ සත්කාර සම්මාන ලැබෙමින් තිබුණා. මේ යුගය වන විට, සසර ගමන අවසන් කර ගැනීමේ අරමුණින් පැවිදි වන අය පමණක් නොව, ඒ සත්කාර සම්මානවලට ගිජු කමින් පැවිදි වන කිසියම් පිරිසක් ද සිටියා.

ඔවුන් බොහෝ විට ගැටළු ඇති කර ගත් අතර ඒ නිසා විනය නීති පැනවීම ද සිදු වුණා.

ඔබ අතරින් කිසිවකු හෝ විනය පිටකය කිසියම් ප්‍රමාණයකට හෝ කියවා ඇත් නම් එම විනය නීති කෙතරම් දැඩි දැයි දැක ඇති. සසරින් මිදීමේ අරමුණින් ම යුක්ත, ඒ සඳහා කැප වූ අයකුට මිස, ඒ විනය නීති පූර්ණ වශයෙන් රැකිය නොහැකි බවයි මගේ පුද්ගලික අදහස. ලිංගික සේවනය සම්බන්ධ විනය නීති බොහෝ විට වත්මන් නීති පොත් සිහි ගන්වනවා. ඒ අනුව මිනිස් හෝ මිනිස් නොවනජීවී හෝ අජීවී, ස්ත්‍රී, පුරුෂ හෝ නපුංසක යන කුමන වර්ගයක් හෝ සමග කුමන ආකාරයේ හෝ ලිංගික ඇසුරක් පැවැත්වීමට අවසර නැහැ. එසේ වුවහොත් එය පාරාජිකා ඇවැතක්. එයින් ම භික්ෂුත්වය අහෝසි වෙනවා.

බුදුන් වහන්සේගේ යුගයෙන් පසු ව, බෞද්ධ ආගමික සංස්ථාව පරිණාමයට භාජනය වෙද්දී වනවාසී හා ග්‍රාමවාසී යනුවෙන් ප්‍රභේද දෙකක් ඇති වුණා. වනවාසී අය පෙර මෙන් තම විමුක්තිය සොයා ගිය අතර, ග්‍රාමවාසි අය මහජනතාව සමග සම්බන්ධතා පවත්වා ගනිමින්, ඔවුනට මග පෙන්වමින් හා නායකත්වය සපයමින් කටයුතු කළා. එය එසේ විය යුතු ද වුණා. බුදු දහම හා මහජනයා අතර සම්බන්ධතාවය පවත්වා ගත්  ග්‍රාමවාසී භික්ෂූන් නොසිටින්නට, බුදු දහම බොහෝ කලකට පෙර ලොවෙන් අතුරුදන් වන්නට ඉඩ තිබුණා. ඒ නිසා සෑම යුගයේ ම, සසර විමුක්තිය සෙවූ අයට, එසේ නොසොයා ගමේ විහාරයේ සිටි භික්ෂූන් වෙතින් සැලසී ඇත්තේ අපමණ මෙහෙයක්.

දැන් අපි, අප රටේ මුළු ප්‍රජාවම පාහේ බුදු දහම වැළඳගෙන ගත වී ඇති වසර 2300 ක පමණ කාලය සැළකිල්ලට ගනිමු. ඒ කාල පරාසය තුල මේ දිවයින පාලනය කළ විවිධ පාලකයන් ගැන අවධානය යොමු කරමු.

 එකල සිට අප රට පාලනය කළ රජවරුන් සංඛ්‍යාව 172 ක් පමණ වෙනවා. මේ අය සියළු දෙනාම අපගේ මතකයේ නැහැ. දක්ෂ පරිපාලකයන් හා කළමනාකරුවන් වූ අයත්, යුග පරිවර්තනයන් සිදු කළ අයත් පමණක් විශිෂ්ටයන් ලෙස අපගේ මතකයේ රැඳී තිබෙනවා.

ඉතිරි අයගෙන් ඉතා සුළු පිරිසක් සිය අදක්ෂ කම් හා අමන කම් නිසා රට ප්‍රපාතයට හා ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට හෙලූ අය. අනෙක් බහුතර පිරිස එතෙක් පැවති තත්ත්වය බිඳ වැටිය නොදී නඩත්තු කර ගැනීමට සමත් වූ අය.

මනා පරිපාලකයන් වූ අය රට පාලනය කළ හැම කාලයේ ම භික්ෂු සමාජය ද මනා ව පැවතුනා. ඒ සංස්ථාවන් තුල ගැටළු ඇති නොවන පරිදි අවශ්‍ය විධිවිධාන මෙන් ම නීති රීති ද එවැනි යුගයන් තුල  විධිමත් ව පැණවුනු හා බලාත්මක වූ නිසයි.

අපේ මාතෘකාවට කෙලින් ම අදාල වන කතාවක් මෙතැන් සිට කියන්නම්.

අදක්ෂ හා අමනොඥ පාලකයකු වූ, අනුරාධපුර රාජධානියෙහි අවසන් රජු ද වූ, පස්වැනි මිහිඳු ගේ කාලයේ දී දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණිකයන් මේ රටේ පාලන බලය අල්ලා ගත්තා. ඔවුන් එතැන් සිට වසර 48 ක කාලයක් රට පාලනය කළා. ඔවුන් අනුරාධපුර අගනුවර අතහැර, පෙර දී අනුරාධපුරයේ සිටි රජවරුන් විටින් විට පරිහරණය කළ ප්‍රාදේශීය නගරයක් වූ පොළොන්නරුව සිය පරිපාලන මධ්‍යස්ථානය බවට පත් කර ගත්තා.

ඔවුන් ගෙන ගියේ කොල්ලකාරී පාලනයක්. අප රටේ ගම් වල ආදායම දකුණු ඉන්දියාවේ විවිධ කෝවිල් නඩත්තුව සඳහා වෙන් කර රැගෙන යනු ලැබුවා. බුදු සසුනට කිසිදු ආකාරයක අනුග්‍රහයක් ලැබුණේ නැහැ. අඩ සිය වසක කාලයක් ගත වෙද්දී, අපේ අදහස්, සිරිත් විරිත් කලා ශිල්ප ආදී සියල්ල තුලට දකුණු ඉන්දීය ආභාෂය කා වැදී තිබුණා. හරියට ම, ඉංග්‍රීසින්ට යටත් වී සිටි කාලය තුල අපේ සමාජයට හා සංස්කාතියට බටහිර ආභාෂය මිශ්‍ර වී තිබුණා වගේ.

මෙසේ දුර්වල පාලකයන් යටතේත්, වෙනත් ආගමක් අදහන විජාතිකයන් යටතේත්, කිසිදු රාජකීය අනුග්‍රහයක් හෝ නොලබා, මා මුලින් කී ආකාරයේ නීති රීති හෝ ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුල දීර්ඝ කාලයක් පැවතීමෙන් බුදු සසුනට කුමක් වී තිබෙන්නට ඇද්දැයි ඔබ සිතනවා ද?

යටත් වීමෙන් වසර 48 ක් අවසානයේ පළමුවන විජයබාහු රජු විසින් මහත් පරිශ්‍රමයකින් ආක්‍රමණිකයන් පළවා හැර රට නිදහස් කර ගන්නවා. ඒ වන විට උපසම්පදාව පවා මෙරටින් තුරන් වී තිබී ඇති අතර ඔහු වත්මන් මියන්මාරයෙන් උපසම්පන්න භීක්ෂූන් ගෙන්වා භික්ෂු උපසම්පදාව නැවත පිහිටවනවා. බිඳ වැටී තිබූ රට කිසියම් දුරකට සාමාන්‍ය අතට ගෙන ඒම හැර ඊට වඩා කටයුත්තකට ඔහුට කාලයක් ඉතිරි වන්නෙ නැහැ.

ඉන් පසුව බිහි වූ පාලකයන් තුන්  දෙනා විශිෂ්ටයන් වූයේ නැහැ. එහෙත් පොළොන්නරු රාජධානිය මෙන් ම රටත්, ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තරව ද ඉහළ තලයකට ඔසවා තැබූ මනා පරිපාලකයා වූයේ  විජයබාහු රජුගෙන් වසර 44 කට පසු ව ආ මහා පරාක්‍රමබාහු යි.

ඔහුගේ පාලනයේ සෑම අංගයක් තුල ම මනා පරිපාලකයකුගේ ලක්ෂණ ගැබ් ව තිබූ බව ඓතිහාසික සාධකවලින් පෙනී යනවා. ඒ අතුරින්,. මෙහිදී මා විස්තර කරන්නේ සංඝ සමාජය හා අදාල වන තොරතුරු පමණයි.

එකල දිඹුලාගල විහාරයේ වැඩ සිටි මහා කාශ්‍යප නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ රජයේ අනුග්‍රහයෙන් ශාසන සංශෝධනයක් සිදු කෙරෙනවා. සියවසකටත් වැඩි කාලයක් තිස්සේ කිසිදු අනුග්‍රහයක් නොමැතිව ඛෙදජනක තත්ත්වයකට ඇද වැටී තිබූ සංඝ සමාජය තුල, භික්ෂුත්වයට නොගැලපෙන චරිතයෙන් යුත් සැළකිය යුතු පිරිසක් සිටියා. මෙම සංශෝධනවල විධිවිධානවලට අනුව එවැනි පුද්ගලයන් නිල වශයෙන් සිවුරු හරවා, ගිහි ඇඳුම් අන්දවා, රැකියා ලබා දී පිටත් කර හරිනු ලැබුවා.

එතැන් සිට භික්ෂූන් අනුගත විය යුතු නීති මාලාවක්, රජයේ නීතියක් බවට පත් කර පොළොන්නරු කතිකාවත නමින් ප්‍රසිද්ධියට පත් කෙරෙනවා. (Polonnaruwa Ordinance යනුවෙන් පොතපතෙහි සඳහන් වන්නේ ද මෙයයි. Ordinance = ආඥාපණත) මෙය පොළොන්නරුව ගල් විහාරයේ ප්‍රතිමා අතර සමතල ගල් මතුපිටක කොටා ඇති අතර එහි නූතන සිංහල පරිවර්තනයක් විහාරය ඉදිරිපිට සුදුයකඩ පුවරුවෙක සටහන් කර තිබෙනු දැක ගත හැකියි.

භික්ෂු සමාජය තදබල ලෙස පිරිහී ගිය සෑම යුගයකම, එහි කිසියම් පිරිසක් විසින් සිදු කරන්නේ එක ම ආකාරයේ අවර ගණයේ ක්‍රියාවන් බව, එම ලේඛනයෙහි ඇති වගන්තිවලින් පැහැදිලි වෙනවා. භික්ෂුව අවේලාවෙහි ගමට ඇතුල් නොවිය යුතු බව, තමාගේ මව වූව ද, කාන්තාවකගේ කණට ලං කර රහස් නොකිය යුතු බව, තමාගේ සොහොයුරා වුවද තරුණයකුගේ කරෙහි අත දමා සැනසිලි බස් නොකිය යුතු බව, ඉන් සමහරක්.

මෙසේ රාජ්‍ය අනුග්‍රහය නොලැබූ හා විදේශ ආක්‍රමණවලට ගොදුරු වූ, විදේශික සංස්කෘතික බලපෑම් බහුල වූ සෑම යුගයක ම මෙම ඇද වැටීම සිදු වී තිබෙනවා.පහතරට ප්‍රදේශ බටහිර ආක්‍රමණයනට හා සීතාවක රාජසිංහයන් විසින් කළ ශාසන විලෝපයටත්, උඩරට දකුණු ඉන්දීය නායක්කර් බලපෑමටත් ගොදුරු වූ 1600 ගණන් වලත් මෙවැනි පිරිහීමක් සිදු වී තිබෙනවා. ගණින්නාන්සේලා නමින් හැඳින්වුණු, කහ පැහැති ඇඳුමක් පමණක් ඇඳ සිටි, අඹු දරුවන් රක්ෂා කිරීම පවා කළ අය එකල හිඳ තිබෙනවා. එහෙත් ඔවුන්ගේ පවා අගය කළ යුතු ලක්ෂණය වන්නේ එසේ හිඳිමින් හෝ, කවදා හෝ දිනෙක බුදු සසුන නැවත නගා සිටුවන තුරු විහාරාරාමයන් හා ධර්ම ග්‍රන්ථ විනාශ වි යා නොදී රැක ගැනීමයි.

ඉන් පසුව නැවතත් මෙවැනි යුගයක් උදා වූයේ ඉංග්‍රීසි පාලන සමයේදීයි. එතෙක් පැවැති ආකාරයට ම බුදු සසුනට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නෙමැයි ගිවිසුම් වලට එළැඹ උඩ රට රාජධානියේ බලය ඩැහැ ගත් ඉංග්‍රීසීන්, වැඩි කල් නොගොස් ම, භික්ෂූන්ට ද බලපාන අයුරින් ඇඟ බද්ද පණවමින් , එය ගෙවීමට මුදල් නොමැති භික්ෂූන්ට ද පාරවල් වල වැඩ කිරීමට සිදු වන නීතිමය පසුබිමක් නිර්මාණය කළා. මුඩු බිම් පණත යටතේ, නීතිමය අයිතිය ඔප්පු කළ නොහැකි විහාර ඉඩම් පවා වැවිලි කරුවන් වෙත ලබා දුන්නා. 1848 මාතලේ නිදහස් අරගලය සඳහා භික්ෂූන්ගෙන් මහත් අනුග්‍රහයක් ලැබී ඇතැයි විශ්වාස කළ ඔවුන් භික්ෂූන් ඝාතනය කිරීමත් විහාර දේපළ මංකොල්ල කෑමත් සිදු කළා.


මේ පසු බිම මත නැවත වරක් අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ පෑ මෙරට බුදු සසුන, නැවත වරක් නැඟී සිටියේ ඉංග්‍රීසි පාලන සමයේ අවසාන භාගයේ ඇති වූ ජාතික ප්‍රබෝධයත් සමගයි. රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණ ද එකල බිහි වී සිටි බෞද්ධ ව්‍යවසායකයන් හා දානපතියන්ගේ අනුග්‍රහය ද ඊට ලැබුණා. කෙසේ වුවත් මේ පසු ව කී අවස්ථා දෙකෙහිදී ම, පරාක්‍රමබාහු යුගයේ සිදු වූවාක් වැනි පුළුල්  හා විධිමත් ශාසන සංශෝධනයක් සිදු කෙරුණෙ නැහැ. ඒ නිසා නිකාය භේද , කුල මළ සැළකිල්ලට ගැනීම වැනි අවර ගණයේ ලක්ෂණ ද  ඇතුලත් ව තිබුණා.

මේ අඩුපාඩු ද සහිත ව වුවත් ග්‍රාමවාසී භික්ෂුවගේ සම්ප්‍රදායගත කාර්ය භාරය ඉටු කරමින් අල්පේච්ඡ ජීවිත ගත කරන බහුතර භික්ෂු සමාජයක්, විසිවන සිය වසේ අග භාගය දක්වා ම අප දුටුවා.

එහෙත් 1977 සිට අප රටේ සිදු වූ සමාජ ආර්ථික හා සංස්කෘතික පෙරළිය, ඒ යුගය අත් දුටු හා එළැඹ සිටි සිහියෙන් හුන්, කිසිවකුට අමතක වන්නට හේතුවක් නැහැ. එතැන් සිට අපේ ඇස් ඉදිරිපිට, මේ රට ආර්ථික, සාමාජීය හා සංස්කෘතික වශයෙන් පාදඩකරණයට ලක් වූවා. එසේ වු සමාජයක භික්ෂූන් වහන්සේලා වෙතින් පමණක් බෝධිසත්වයන් සෙවිය හැකි වේද? එය පැරණි ප්‍රස්තාව පිරුළක් සිහි ගන්වනවා. බුලත් මඩිස්සලේට හෙණ ගැහුවාම කිල්ලෝටය හොයනවා වගේ.

අද මේ සමාජයේ විවිධ සිදු වීම් අතර ම, භික්ෂූන් අතින් සිදු වන වැරදි ද අපට විටින් විට අසන්නට ලැබෙනවා. භික්ෂුවගේ ප්‍රතිරූපයට හානි කෙරෙන කයි කතන්දර, සමාජ මාධ්‍ය තුල නැගල යන ආකාරය ඊටත් වැඩියෙන් මේ දිනවල දක්නට ලැබෙන දෙයක්.

ඔබත් මමත් දන්නා පරිදි ම, සමාජ මාධ්‍ය තුල බුද්ධිමය සංවාදයක් සිදු වනු දැකිය හැකි නම් ඒ ඉතා අඩුවෙන්. විවිධ න්‍යාය පත්‍ර මත සැකසුණු කණ්ඩායම් විසින් සිය මතයන් ප්‍රවර්ධනය කරන අයුරුත්,  මතය නිෂේධ කරමින් අදහස් දක්වන්නන්ට වට කර පහර දෙන අයුරුත් බොහෝ විට නිරීක්ෂණය වන දෙයක්. එසේ පහර දීම නිසා පහර කන්නාට හෝ ඔහු ඉදිරිපත් කරන කරුණුවල සත්‍යතාවයට වන හානියක් නැහැ. එහෙත් අත්දැකීමෙන් හා දැනුමෙන් අඩු නිරීක්ෂකයන්, ඒ විෂම මතයන් සත්‍ය ලෙස ගැනීම නම් සාමාජීය වශයෙන් සිදු වන විශාල හානියක්.

ඔබ පසුගිය දශක කිහිපය තිස්සේ අප රටෙහිත්, ලෝකයේත් විවිධ මාධ්‍යවලට විවෘත ව, විචාර බුද්ධියෙන් යුතු ව සිටි අයකු නම් හොඳින් වැටහී තිබේවි, පූජක /පූජ්‍ය  පක්ෂය අතින්  විවිධාකාර වැරදි, දූෂිත ක්‍රියා, ලිංගික අපචාර ආදී චෝදනා එල්ලවීමේ සිද්ධිවලට ආගම් භේදයක් නොමැති බව. එහෙත්, ඒ ප්‍රමාණය ඒ ඒ අදාල පූජක / පූජ්‍ය ප්‍රජාවෙන් අතිශය සුළුතරයක් බව නම්, බොහෝ දෙනෙකු හිතා මතා ම අමතක කරන දෙයක්.

මෙවැනි දෑ සිදු වන්නේ බෞද්ධ පූජ්‍ය පක්ෂය අතින් පමණක් යයිද, ඔවුන් සියලු දෙනා ම එසේ යයි ද, හුවා දක්වන්න උත්සාහ කරන පිරිස්, වසර 2500 තිස්සේත් මේවා නිවැරදි කර ගන්න බැරි වූවා දැයි ද, අසන අයුරු ද දැක ගන්නට පුළුවන්. ඉතිහාසය නොදත් පරපුර මෙවැනි අදහස් ඔස්සේ නොමග යා හැකි බැවිනුයි, මුලදී දැක්වූ කරුණු කිහිපය සටහන් කර තැබීමට අදහස් කළේ.

මේ ලිපියේ ඉහතින් සඳහන්  කළ සේ ම,ඉතිහාසය පුරාවට විදේශ ආක්‍රමණ හා වෙනත් එවැනි අර්බුද මුල් කර ගෙන, ශාසනයට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු සෑම කල්හි ම, සංඝ සමාජයේ දැවැන්ත පිරිහීමක් ඇති වීම සාමාන්‍ය දෙයක් වූවා. ඉතිහාසයේ හැමදාමත් එය නිවැරදි වී ඇත්තේ බලවත් පාලකයකුගේ මැදිහත් වීම ඇතිව සිදුවන විනය සංගායනාවක් සහ , ඒ හා සමගාමී ව සිදුවන ශාසන සංශෝධනයකින්. ඒ නිසා සංඝ සමාජයේ අද තිබෙන වැරදි නිවැරදි කර ගැනීමට නම්, එහි අවශ්‍යතාව වටහා ගන්නා ප්‍රබල පාලකයකු හා ඊට මුල් තැන ගන්නා සංඝ පීතෘවරයකුගේ පහළ වීම අත්‍යවශ්‍යයි. එතෙක් ඉවසා සිටීමට සිදු වෙනවා.

ඒ කෙසේ වුවත්,  විවිධ න්‍යාය පත්‍ර මත, සංඝ සමාජය පමණක් ම ඉලක්ක කර ගෙන පහර දෙන පුද්ගලයන්ට නොරැවටීමට තරම් මා ද ඔබ ද, විශේෂයෙන් ම, මේ යුග පරිවර්තනය ඇසින් නොදුටු හා, අතීතය අධ්‍යයනය නොකළ ඔබ ද බුද්ධිමත් විය යුතුයි.

ඔවුන් අතරින් සමහරකු එසේ කරන්නේ කරුණු  කරුණු හරිහැටි  නොදන්නා බැවින්.

එහෙත් සැළසුම් සහගත ව පහර දෙන්නන්, එසේ කරන්නේ, බොහෝ විට, ඒ වෙනුවෙන් කොහේ හෝ රටකින් ලැබෙන මුදල් ටිකක් ලබා සිය අඹුදරුවන්ගේ කුස් පිරවීමට බව වටහා ගත් විට ඔබට ඔවුන් හට අනුකම්පා කළ හැකි වේවි.


No comments:

Post a Comment

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...