Monday, February 12, 2018

මරා දැමූ නගරය


-බන්ධුල සිසිර කුමාර-




ලිපිය ආරම්භයේදී ම මා ඔබට ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. 

සමෘද්ධිමත් නගරයක්. නගරය වටා වූ ප්‍රදේශය බෙහෙවින් කෘෂිකාර්මිකයි. සියල්ල යහපත් අන්දමින් සිදුවෙමින් පවතිනවා. ආර්ථිකය යහපත්. කෘෂිකාර්මික හා අනෙකුත් අවශ්‍යතා සඳහා වූ ජල සැපයුම ඉතා විධිමත් හා සංකීර්ණ වූවක්. එය කළමනාකරණය සඳහා වෙනම නිලධාරි මණ්ඩලයක් සිටිනවා.

කලක් මේ අන්දමින් ගත වෙද්දී, රටේ පාලකයන් වෙනස් වෙනවා. එතෙක් සිදු වූ සමහර යහපත් දේවල් පවා හෙළා දැකීමට අවඥාවට භාජනය වෙනවා. එහෙත් ඒ පාලන සමයත් කුමන්ත්‍රණයකින් අවසන් වෙනවා.

ඉන්පසු එළඹෙන්නේ අවිචාර සමයක්. දශකයක පමණ කාලයක් තුල පාලකයන් ගණනාවක් වරින් වර බලයට එනවා. අවිචාර සමය කූඨප්‍රාප්තියට එන්නේ ක්‍රෑර විජාතිකයකු අතට පාලනය ලැබීමෙන්.

එතෙක් පැවති සියල්ල ඔහු, උඩු යටිකුරු කරන්නේ කිසියම් පළි ගැනීමක ආකාරයෙන්. නගරයේ අලංකාර ගොඩනැගිලි, පන්සල්, පුස්තකාල වැනි දෑ විනාශ කිරීම, දවා අළු කර දැමීම සිදු කෙරෙනවා. සමහර පන්සල් ඔහුගේ හමුදාවට නවාතැන් සඳහා යොදා ගන්නවා.

අහිංසක මිනිසුන්ට හිරිහැර කිරීම, මගතොටදී දකින තරුණයන් අල්ලා නිකරුණේ පහරදීම, යමක් කමක් ඇති ධනවතුන්ගේ නිවෙස්වලට පැන ඔවුන් අල්ලා විවිධ වද බන්ධනයට ලක් කර ඔවුන්ගේ ධනය ද කොල්ල කා ගැනීම, ඔහුගේ හමුදාවන් විසින් සිදුකරනු ලබනවා.(බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් ඈත එපිට ගම් දනව් වෙත පැතිරවූ භීෂණය සිහියට නගා ගන්න.මෙයත් එබඳු වන්නට ඇති.) සියලු පරිපාලන තන්ත්‍රයන් අවුල් කර දැමෙන අතර ඒ අනුව ජල සැපයුම් පද්ධති කළමනාකරණය ද අවුල් වී ඇණ හිටිනවා.

පුරවැසියන් කරන්නේ කුමක්ද? ඔවුන් ක්‍රමයෙන් නගරය අතහැර යනවා. ධනවතුන් ජීවිතය බේරාගැනීම සඳහා දුර බැහැර පෙදෙස්වලට පලා යනවා. තමන් සතු ධනය රැගෙන ගියහොත් මගදී මංකොල්ලකෑමට ලක් ව ජීවිතය ද අහිමි ව යා හැකියි. එබැවින් ඔවුන් ඒවා මුට්ටි, කළගෙඩි ආදියෙහි බහා තම වතු පිටිවල වළ දමා පලා යනවා, තත්ත්වය යහපත් වූ කාලයක ආපසු ඒමේ අරමුණින්.

එහෙත් ඔවුන් සිතූ තරම් ඉක්මනින් තත්ත්වය යහපත් වූයේ නැහැ. සමහරුන් පලා යන අතරේදී ම මරුම් කන්නට ඇති. දුර බැහැර පෙදෙස්වලට ගිය අයගේ දරු මුණුබුරන් හට, ඔවුන ට හිමි ධනය සඟවා ඇති තැන් ගැන තොරතුරු නිසි පරිදි සන්නිවේදනය නොවන්නට ඇති. එසේත් නැත්නම් භීෂකයකුගේ ග්‍රහණයේ පැවති පලාතක වූ ඒ ධනය ගැන හැඟීමක් හෝ බලාපොරොත්තුවක් ඔවුනට නොතිබෙන්නට ඇති.

සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් ඇති කෘෂිකාර්මික ප්‍රදේශයක, ඒ වාරිමාර්ග පද්ධතියේ කළමනාකරණය බිඳ වැටුණු විට සිදු වන්නේ කුමක් ද? වගා කටයුතුවල අවශ්‍යතාව පරිදි පාලනයක් යටතේ ජලය සැපයීම සිදුනොවූ විට තව දුරටත් වගා කටයුතු සිදු කළ නොහැකියි. පාලනයෙන් තොර වූ විට ජලය තැන තැන එක් රැස්වීමත් සමහර ජල මං වියළී යාමත් සිදුවෙනවා. එක් රැස් වූ ජලය මත මදුරුවන් බෝ වීමත් ඒ නිසා වසංගත ඇති වීමත් ඊ ළඟට සිදු වෙනවා. තව දුරටත් පලා නොගොස් ඉතිරි වූ ජනකායක් වේ නම් ඔවුන් ද මේ වන විට පලා යනවා. සරු පොළවක් වූ මෙහි ගස්වැල් වැඩෙන්නේ ශීඝ්‍රයෙන්. කාලය ගත වෙද්දී ආක්‍රමණිකයා පළවා හැරියත් නගරය ඒ වන විට ගොඩ ගත හැකි මට්ටමක නැහැ.ක්‍රමයෙන් ඝන වනාන්තරය විසින් වසා ගන්නා නගරයත් අවට ප්‍රදේශයත් සියල්ලන්ටම අමතක ව යනවා.

මේ පොළොන්නරුව බිඳ වැටීමේ කථාවයි. එසේ ම, රජරට රාජධානි යුගය බිඳ වැටීමේ ද කථාවයි. මෙතෙක් අනාවරණය කරගෙන ඇති පුරාවිදු දැනුමේ කැට කැබිලිති ද, පොත පතෙහි ලියැවී ඇති දෑ ද, විවෘත මනසින් යුතු ව ජීවිතයේ කිසියම් කාලයක් එම නගරය ඇසුරේ ගත කරද්දී ඇසූ දුටු දේ ද, යන සියල්ල එකතු කර අලවා ගොඩ නගා ගත් විට මා දුටු චිත්‍රයයි ඉහතින් දැක්වෙන්නේ. එයින් සමහර දේ තහවුරු කෙරෙන තොරතුරු සමාජගත නොකළ යුතු බැවින් ප්‍රසිද්ධියේ සකච්ඡා කිරීම අනුචිතයි.

නගරයේ ඉතිරි ව පැවැති ගොඩනැගිලි අබලන් ව ඇද වැටෙමින් තිබුණු ශෝචනීය ආකාරය, දඹදෙණි යුගයේ ලියැවුනු සමහර පොතපතෙහි සඳහන් වෙනවා. ඉන්පසු ව සියවස් පහක් පුරාවට මේ නගරය වන ප්‍රවාහය තුල ගිලී යනවා.

අවසානයේදී පොළොන්නරුව යන ස්ථාන නාමය පොත පතෙහි පමණක් ඉතිරි ව තිබෙනවා.

1820 වන විට මෙම ප්‍රදේශය හැඳින්වෙමින් තිබුණේ "තෝපාරේ " යන නමින්. ලුතිනන් එම්.එච්. ෆගාන් නමැති ඉංග්‍රීසි ජාතික හමුදා නිලධරයා මඩකලපුවේ සිට මින්නේරිය දක්වා එන ගමනකදී විවේක ගැනීම පිණිස එක් දිනක් තෝපාරෙ හි නවාතැන් ගන්නවා. වනය තුලට ඇවිද ගිය අතරවාරයේදී ඇඳිරි වැටීගෙන එන මොහොතක ගල් පව්වක නෙලා ඇති අඳුරු පැහැති දැවැන්ත මිනිස් ප්‍රතිමාවන් දුටු බවත්, එවිට ඇති වූ වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීම් ගැනත් පවසන ඔහු, වඩාත් විමසිල්ලෙන් බලද්දී ඒවා බුද්ධ ප්‍රතිමා බව වටහා ගත් බව කියනවා.

ක්‍රමයෙන් මෙම වනාන්තරය තුල සැඟවුනු නටබුන් එකින් එක මතු කරගැනෙද්දී එක් ඉංග්‍රීසි ජාතිකයෙක් විසින් කියා තිබූ අපූරු කියමනක් මෙහිදී සිහි වෙනවා. "ඔබ මේ වටිනා පුරාවස්තූන් ගැන උනන්දුවක් නොමැති අයෙක් නම් හුදෙක් විනෝදය පිණිස මේවා නැරඹීමට නොපැමිණෙන්න. එය මේ අගනා පුරාවස්තූන් තව දුරටත් ආරක්ෂා කර ගැනීමට හේතු වනු ඇති. " යන්නට සමාන අරුතක් එහි ගැබ් වී තිබුණා.

හෙන්රි ඩබ්. කේව්, ලංකාවේ නටබුන් නගර (Ruined Cities of Ceylon) නමැති සිය පොතෙහි ( 1896 දී) පොළොන්නරුව ගැන කරන විස්තරයෙහි මෙබඳු සඳහනක් තිබෙනවා.

"තව කොතෙක් පුරාණ වස්තු ඝන වනයේ ප්‍රතිච්ඡන්නව පවතිද්දැයි කිව නොහැකිය. නමුත් අතිශය ශ්‍රී සමෘද්ධි සම්පන්න රාජ්‍ය කාල එකක් හෝ දෙකක් තුලදී පමණක් ම කරවන ලද කර්මාන්ත රාශිය පිළිබඳ වූ ඉතිහාස ප්‍රවෘත්ති සළකා බලන විට, මෙම මුළු ප්‍රදේශය ම හෙළි කොට නැවතත් ගොවිතැනෙහි යොදන්ට වූ කාලයකදී මෙහි මහත් පුරාණ වස්තු පෑදෙන්ට පුළුවන් බව නම් අපට තරයේ ම හැඟී යන බැව් කිය යුතු ය. ඒ කාලය වන විට මේ පුරාණ නගර බැලීමට ලෝකයේ සියලු රටලින් මෙහි එන ජනයාගේ ගමනාගමනය පිණිස දුම්රිය ඇති වන්නේ යයි සිතිය යුතුය. ඒ විධියෙන් මේ පුරාණ නගර ලෝකයේ දැකුම් කටයුතු ස්ථාන අතුරෙහි යථා ස්ථානයට පත් වෙනු නියතය. " 

තවත් වරෙක පොළොන්නරුව හරහා ගිය ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයකු "බොහෝ දේ දුටුවා. මිනිසුන් පමණයි නොදුටුවේ. " යනුවෙන් සඳහන් කර තිබුණා.

මෙසේ, මහා ඛෙදවාචකයක් හමුවේ බිඳ වැටී අත හැර දමා ගිය පොළොන්නරුව ඉංග්‍රීසින් විසින් ‍නැවත සොයා ගනු ලබනවා. ඉන් පසුව ගත වූ කාලය ඇතුලත නැවත එළි පෙහෙළි වූ එය නැවත ජනාවාස වන්නේ ක්‍රියාදාමයන් කිහිපයක් යටතේයි. මෙහි පළමුවැන්න ලෙස හඳුනාගත හැක්කේ ඩී. එස්. සේනානායක පාලන සමයේ ඇතිකරන ලද ගොවි ජනපද ව්‍යාපාරයයි.

ඉන් පසුව සිදු වූ කැපී පෙනෙන සිදු වීම නම් දිඹුලාගල හිමියන්ගේ මෙහෙයවීම යටතේ සිදු වූ, ජනාවාස පිහිටුවීම් හා පොදු පහසුකම් සංවර්ධනයයි.

තුන් වැනි ක්‍රියාදාමය මහවැලි සංවර්ධන ව්‍යාපාරය මගින් සිදු කරන ලද ජනපදකරණයයි.

මේ අනුව පොළොන්නරුව නැවතත් ජනාවාසයක් බවට පත් වුව ද, අදටත් එහි ඇත්තේ අඩු ජනගහණ ඝනත්වයක්. එසේම එම ප්‍රජාව තුල ද කැපී පෙනෙන තවත් වැදගත් ලක්ෂණයක් තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ වසර දහස් ගණනක් තිස්සේ අවිච්ඡින්න ව පැවත ආ සම්ප්‍රදායක හා සිරිත් විරිත්වල නෂ්ඨාවශේෂයන් අදටත් අනුරාධපුර අවට වැසියන් අතර ඉතිරි ව තිබෙනවා. එහෙත් එබඳු සිරිත් විරිත් හෝ සාම්ප්‍රදායික ගැමි ජීවිතයක ලක්ෂණ පොළොන්නරුවේදී දැක ගත හැකි වන්නේ නැහැ. එහි වත්මන් පදිංචි කරුවන්ගේ අතීතය විමසා බැලුවහොත් දැනගන්නට ලැබෙන්නේ පරම්පරා දෙකකට හෝ තුනකට පෙර එහි සංක්‍රමණය වූ අයකුගෙන් පැවතෙන බවයි. කැලය එළි පෙහෙළි කර වගා කිරීම සඳහා පැමිණි අය ද, ගොවිජනපදවල ඉඩම් ලැබ පැමිණියවුන් ද, නිවසින් පැන ආවුන්ද, දෙවන ලෝක යුද සමයේ හමුදා සේවයේ යෙදීම වෙනුවෙන් පාරිතෝෂික ලෙස ඉඩකඩම් ලද අය ද පැරණි සංක්‍රමණිකයන් අතර වනවා. පසුකාලීන සංක්‍රමණිකයන් අතර වන්නේ මහවැලි ජලාශවලට ගම් බිම් යටවීම වෙනුවෙන් ගොඩ මඩ ඉඩම් ලද්දවුන් පිරිසයි.

9 comments:

  1. වටිනා ලිපියක්!

    ReplyDelete
  2. Replies
    1. ඔව්. තමන්කඩුව නමින් හැඳින්වෙන්නේත් ‍මෙම පුදේශයයි.

      Delete
  3. පරාක්‍රමබාහු රජු ගොඩ නැගු අධිරාජ්‍ය බිඳ වැටුනේ, යුද්ධය අවසන් වූ වහාම ඇති විශාල වැව් සහ මාලිගා ත ඉදිකිරීම් සඳහා සාමාන්‍ය ජනතාව මත පැටවුණු රාජකාරි වැඩ දරාගන්න බැරුව මිනිස්සු රජුගේ සෙබළුන්ට හොරෙන් රෑට රෑට ගම්බිම් අත්හැර කුරුනෑගල පැත්තට කැලේ මැදින් සංක්‍රමණය වූ නිසබව පේරාදෙණියේ හිටපු උපකුලපතිවරයකු පර්යේෂණ වලින් මතයක් ගොඩනැගුවා, එයට මුලික සාදකය වුයේ පරාක්‍රම සමුද්‍රය තනා වසරක් ඇතුලත ජලධරිතව දර ගැනීමට නොහැකිව කිප තැනකින්ම බිඳී ගොස් ඇතිබව සහ එහි ජලය කෙදිනකවත් ගොවිබින්වලට සපයා නොතිබුණු බවත් පුර විද්‍යාත්මක ගවේෂණ වලින් සොයා ගත නිසා බව කියවුන. එකදිපතියන් නගර අලංකරණයට අතිවිශාල යෙදවුම් නිසා බිඳ වැටුණු සිස්ටචර ලෝකයේ වෙනත් රටවලත් තියේලු. වන්දිබට්ටයෝ ලියපු ඉතිහාස පොත වල සත්‍ය ලියවෙන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. මිතුර,
      සමහර උගතුන් යයි කියා ගන්නා පුද්ගලයන් පිළිබඳ ව හා ඔවුන්ගේ කියුම් කෙරුම් පිළිබඳ ව නම් මට අපමණ අත්දැකීම් තිබෙනවා. එක් එක් අයගේ මුදල් කුට්ටි වෙනුවෙන්, ඒ මුදල් සපයන අයට වුවමනා ප්‍රතිඵල තහවුරු වන ලෙස පර්යේෂණ කරන අය අප දන්න අය අතරත් නැතිවා ම නොවෙයි. මේ යුගය පිළිබඳ ව තොරතුරු හොයන්න ඒ තරම් දුෂ්කර නැහැ.(ස්වාධීන ගවේෂකයකු වන මා මේ ලිපි ලියන්නේ ද ශාස්ත්‍රීය පදනම්වල හිඳමින් පමණයි.කිසිදු චරිතයක් ඔසවා තැබීමෙන් හෝ ගර්හාවට ලක් කිරීමෙන් මට ලබා ගත හැකි හෝ නැතිවන හෝ දෙයක් නැහැ.) රට ඉහළ තැනකට ඔසවා තැබීමට අවශ්‍ය කටයුතු බොහොමයක් පරාක්‍රමබාහු අතින් සිදු වෙනවා. ඔහු අතින් සිදු වන රාජ්‍ය තාන්ත්‍රික වරද වන්නේ ද්වි පාර්ශ්වික ආරක්ෂක ගිවිසුම් කෙරෙහි වඩාත් වගකීම් සහිතව කටයුතු කරන්නට යාමෙන්- චෝලයන් හා පාණ්ඩ්‍යයන් අතර යුද්ධයට මැදිහත් ව - සැළකිය යුතු තරම් ජාතික ධනය ප්‍රමාණයක් හානි කර ගැනීමයි. පොළොන්නරුව බිඳ වැටෙන්නේ ඔහුගේ මරණයෙන්ද බොහෝ කලකට පසුවයි. ඔහු මිය ගිය පසු මාළිගයේ ලේඛකාධිකාරි කටයුත්තක් වැනි රාජකරියක් කරමින් සිටි කාලිංග (ඔරිස්සා) කුමාරයකු යි රජකමට පත් වන්නේ. ඔහු නමින් නිශ්ශංකමල්ල. විදේශික සම්භවයක් සහිත ඔහු.මහජනතාව අතර ජනප්‍රිය වීමට උත්සාහ කරන්නේ ප්‍රචාරණ (Advertising) විධී භාවිතා කරමින්.අනුන්ගේ නිර්මාණ මත තම නම ගසා ප්‍රසිද්ධ වීමට ඔහු දරා ඇති අසීමිත උත්සාහයන් ගැන අපමණ පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයේ නම පවා ඔහු නිශ්ශංක සමුද්‍රය නමින් වෙනස් කරනවා.එපමණකින් නොනැවතී ඔහු තමාගේ පූර්වගාමිකයා වූ පරාක්‍රමබාහු ප්‍රතිරූපයට සියුම් ලෙස මඩ ගැසීමත් සිදු කරගෙන යනවා. ජනතාවගේ බදු බර ඉවත් කිරීමට යයි කියා රටේ යහපත වෙනුවෙන් පනවා තිබූ යම් යම් බදු වර්ග ඉවත් කරනවා. වගා නොකර පුරන් වීමට හරින කුඹුරු වෙනුවෙන් ගෙවිය යුතු වූ "පිසඹුරුවත" එවැනි බද්දක්. මේ මොන මොන සෙල්ලම් දමා තැන හදා ගැනීමට උත්සාහ කළත්, රජ වී වසර නවයක් ගෙවෙද්දී ඔහු ද ඝාතනය නරනු ලබනවා.එතැන් සිට එළැඹෙන්නේ අවිචාර සමයක්.මුලින් නිශ්ශංකමල්ලගේ මාස ගණනක් වයසැති බිළිඳු පුතා රජ කමට පත් කෙරෙනවා . ඔහු ද ඝාතනය වෙනවා. මේ අයුරින් වසර එකොළහක් තුල රජවරුන් රැජිණියන් නව දෙනෙකු පත් කෙරෙනවා. ඇත්ත වශයෙන් ම මේ සියලු කුමන්ත්‍රණ පසුපස සිටින්නේ ආයස්මන්ත නම් වූ සෙන්පතියෙක්. විවිධ අය ඉදිරියට දමා පාලනය ගෙන යන්නේ මොහුයි. මේ අවිචාර සම්පන්න වසර එකොළහ ගතවන විට පරාක්‍රමබාහු විසින් ස්ථාපිත කළ මනා පරිපාලන තන්ත්‍රය බොහෝ දුරට අවුල් වෙලා. මේ වෙලාවේ කල් යල් බලා පැමිණෙන කාලිංග මාඝ ආක්‍රමණිකයා සිදු කරන විනාශය හමුවේ තමයි පොළොන්නරුව නැවත නොනැගිටින්නට ඇද වැටෙන්නේ.එය සාරාංශ වශයෙන් මගේ ලිපියේ විස්තර කර ඇති. අවසාන වශයෙන්, පසු ව ආපසු පැමිණීමේ බලාපොරොත්තුවෙන් හදිසි පලා යෑම් සිදු වී ඇති බව පෙනෙනවා. ඒ බව තහවුරු කෙරෙන සාධක පවතින බව , යම් යම් පර්යේෂණ කටයුතු වල ද යෙදෙමින් දැනට කලක් තිස්සේ පොළොන්නරුවේ රාජකාරි කරන මා දන්නවා.
      වැව් හතරක් ඇතුලත් වන පරිදි සකසන පරාක්‍රම සමුද්‍රය දැනට දක්නට ඇති, ඉංග්‍රීසීන් විසින් විකෘති කරන ලද ජලාශය හෝ වාරිමාර්ගයන් ද නොවේ. එකල පැවති වැවේ සමහර කොටස් අද වන විට ගොඩ බිම්. සමහර කොටස් වැවක නමින් යුතු ගම්මාන බවට පත් වෙලා. සමහර ගම්මාන මැද, වියලී ගිය වැවේ කොටස් හා ඇලවල් හඳුනා ගත හැකියි.
      ඉතිහාසය ගවේෂණය කරන්නන් මහාවංශය ගෙඩිය පිටින් ගන්නේ නැහැ. එය මග පෙන්වන විත්ති කතා පොතක් පමණයි. එහි ඇති දෑ පර්යේෂණ මගින් තහවුරු වුවහොත් පමණයි එය ඉතිහාසය වන්නේ. ඒ නිසා වන්දිභට්ටයන් කොහොම ලියූවත් එය ඉතිහාසඥයාට වැදගත් නැහැ.
      ඒකාධිපතියන් ගැන කීව් කියමන ගැන නම් කියන්නට ඇත්තේ සියලු ම රජවරුන් ඒකාධිපතියන් බවයි. එහෙත් පරාක්‍රමබාහු, නගර අලංකරණය වැනි සිල්ලර කාරණා ගැන අවධානය යොමු කළ බවට නම් මා දන්නා තරමින්, පුරා විද්‍යාත්මක සාක්ෂි ලැබී නැහැ.
      ඉතිහාසය වැනි විෂයයන් අධ්‍යයනය කරද්දී අප එය කළ යුත්තේ උපේක්ෂා සහගත ව හා මධ්‍යස්ථ ව ඉඳිමිනුයි. පූර්ව නිගමනවල හිඳිමින් එය කරන්නට ගිය විට අතිශය වැදගත් සාධක නොපෙනී යනවා. එවිට තමන්ට ම ලැබෙන්නේ වැරදි පිළිතුරක්.

      Delete
  4. මෙම සබැඳිය ඔස්සේ ඇති ලිපියෙහි ද පොළොන්නරුව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සඳහන් ව තිබෙනවා.http://trisinhala.blogspot.com/2018/03/blog-post.html

    ReplyDelete

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...