Saturday, April 28, 2018

කෙලෙසුණු කැටයම

-බන්ධුල සිසිර කුමාර-

පසුගිය කාලය තුල මා ඉදිරිපත් කළ ලිපි ගණනාවකින් ම මා උත්සාහ කළේ අප කවුරුන් ද, අපට සිදු වී ඇත්තේ කුමක් ද, පරපුරින් අපට උරුම දේ මොනවාද යනාදී කරුණු ගැන සාකච්ඡා කිරීමටයි. අප යම් ප්‍රපාතයකට ඇද වැටී ඇත් නම් එයින් අත මිදී ඉහළ තත්ත්වයට අපව ම ඔසවා තබන්නටත් ලෝකය තුල අපට හිමි තැන නැවතත් දිනා ගන්නටත් ඒ දැනුම අපට මහෝපකාරී වේවි.

පෙර ලිපියෙන් ද සාකච්ඡා කළ පරිදි ම, අප පිළිබඳ වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ අප සැම දා පහළ පඩියේ සිටි, කොපමණ තැත දැරුවත් ඉහළ ට නැඟ ගැනීමට බැරි වූ ජාතියක් නොවීමයි. මනා ආර්ථික තත්ත්වයක්, ජීවන මට්ටමක්, පරිපාලන ව්‍යුහයක් ගොඩ නංවාගෙන, ජාත්‍යන්තරය හමුවේ අභිමානවත් ජාතියක් ලෙස නැඟී හුන් අප, අපේ ම බල ලෝභී කුමන්ත්‍රණත්, වසර දෙසීයෙන් දෙසීයට එල්ල වූ ආක්‍රමණත් හමුවේ, සියවස් කිහිපයක් ඇතුලත අන්ත අසරණ බෙලහීන ජාතියක් පත් ව තිබෙනවා. එපමණක් නොවෙයි, අප බොහෝ දෙනෙකු අද වන විට ඒ විශිෂ්ඨ යුගයන් ගැන නොදැනුවත් ව සිටීමත්, තවත් සමහරුන් ඒ යුගයන් ට ද්වේෂ කරන, වෛර කරන අන්දමත් දැක ගත හැකියි!!

ඒත් අද මා ඔබ හමුවට ගෙන එන්නේ තවත් එවැනි සිද්ධියක් පිළිබඳ විවරණයක් නොවෙයි.

පසුගිය කාලයේ මා පල කළ ලිපි බොහොමයකින් මා පැහැදිළි කළ යථාර්ථය, එකට කැටි කොට ගත් ගීයක් මගේ මතකයට නැඟුණා. දැනට වසර විසිපහකට තිහකට පමණ එපිට එළි දැක්වුණු "සඳකඩ පහණ" සිනමා පටයේ තේමා ගීතය ලෙසයි මෙය යොදා ගෙන තිබුණේ.

සාරාංශයක් වගේ කෙටියෙන් ලියාගෙන යන්න පුළුවන් වුණත්, සමහර දේවල දී ටිකක් වැල් වටාරම් කියෙව්වා ම ඔබට ත් එයින් ගත හැකි යමක් තිබේවි. අනෙක් අතින් අප බ්ලොග් කියවන්නේ වාර්තා හෝ රාජකාරි ලිපි කියවනවා වගේ මානසිකත්වයකින් නොවෙයි නේ. 

සංස්කෘතිය කියන වචනයේ තේරුම " සංස්කරණය කර ගත් දේ " යන්න නේ. අප නිරන්තරයෙන් ම අපේ නිර්මාණ, අපේ ඇඳුම් පැළඳුම්, අපේ නිෂ්පාදන, අපේ සාහිත්‍ය වැනි දේ නැවත නැවතත් සංස්කරණය කර ගනිමින් ඉන්නවා. (සජීවි සංස්කෘතියක ප්‍රධාන ලක්ෂණයක් තමයි එය. එහෙත් එහිදී අප සැළකිලිමත් විය යුතු යි, සංස්කෘතියේ පහළ මට්ටම්වලට ආපසු නොයාමටත්, පවත්නා සංස්කෘතිය ආගන්තුක සංස්කෘතීන් මගින් ප්‍රතිස්ථාපනය වීමට - තිබූ එක ඉවත් කර අළුත් එකක් රෝපණය කිරීමට- ඉඩ නොදීමටත්.)

පඩි පෙළක දෙපැත්තෙන්, පඩිපෙළෙහි ස්ථායිතාව රැත ගැනීම පිණිස ඉදිකරන බිත්ති දෙක නොහොත් පුවරු දෙක, කලක් ගත වන විට කදිම කැටයම් හා සැරසිලි වැඩවලින් අලංකාර වූවක් බවට සැකසෙන අතර කොරවක්ගල නමින් නම් කෙරෙනවා. කොරවක්ගල පහළට තල්ලු වී ඒම වැලැක්වීමට යොදන කූඤ්ඤ නැතහොත් ආධාරක ගල් දෙකත් කාලයත් සමග විශිෂ්ඨ කැටයම් සහිත, මුරගල නමැති නිර්මාණය බවට සංස්කරණය වෙනවා. පඩි‍පෙළ පා මුල පාපිස්නක් මෙන් වූ, තරමක් පුළුල් ව බිම් මට්ටමේ සැකසුණු පළමු පඩිය, පසු කාලීන ව සඳකඩ පහණ නම්වූ අති විශිෂ්ඨ නිර්මාණය බවට සැකසෙනවා.

මෙසේ විවිධාකාර සැරසිලි කැටයම් ආදිය එකතු වී අලංකාර වස්තුවක් බවට පත් වීමෙන් පසු, කොරවක්ගල්, මුරගල්, සඳකඩ පහණ ආදිය, සිවිල් ඉංජිනේරු තාක්ෂණික නිර්මාණ පමණක් නොව, කලා නිර්මාණ ද වෙනවා.

මා මීට පෙර වෙනත් දෙයක් ගැන කථා කළ ලිපියකදී කීවා සේම, කලා නිර්මාණයකට විවිධ අර්ථකථන දිය හැකියි. සමහර විට එය නිර්මාණකරුවා කිසිසේත් අදහස් නොකළ අරුතක් වන්නටත් පිළිවන්.

දැන් තමයි අප මුලින් කී ගීතය ගැන කථා කරන්නේ.

සඳකඩ පහණේ ඇති රූ රටා පිළිබඳ ව ද විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබෙනවා. මෙහි කියැවෙන්නේ මෙතෙක් නොවූ නව අර්ථකථනයක්.

ඇරඹුමේ දී කී පරිදි ම මේ ගීතයේ කියන්නේ අපට සිදුව ඇති දෙයයි.

සඳකඩ පහණේ ඇති විවිධ රූ රටා, ලිය කම් ආදිය, අප සතු ව පැවැති ශක්‍යතාවයන් (හැකියාවන්), ශක්තීන්, ගුණාංගයන් ආදියට සම කරන ගීතයේ පද රචකයා, සඳකඩ පහණ ගෙවී කැඩී බිඳී නටබුන් ව ඇති අයුරින් ම අප සනුහරය තුල වූ ඉහත කී ගුණාංගයන් ද නැතිවී ඇති බවත්, පහත් තත්ත්වයට ඇද වැටුණු අපේ වර්තමානිකයන් ඒ ගුණාංගයනට ඉඳුරාම පටහැණි වූ අයුරින් කටයුතු කරන අයුරුත් පවසනවා.


තිදස පුරේ 
පියගැට පා මුල
ශෛල තලාවෙක
සඳ ලේඛාවෙක
කල්ප විනාශය දිවැසින් දුටුවෝ
සවි කළ කැටයම සඳකඩ පහණයි.


සඳකඩ පහණෙහි වූ ඒ ඒ රූ රටාවන් එකල අප තුල වූ විවිධ ගුණාංගයන් හා සසඳා ඇත්තේ මේ අයුරින්.


නුවණ තියුණු කළ තිසර රටාවයි
තුරඟා ජවය සමානයි
සවි බලයෙන් ගිජිඳා අසමානයි
සහයෝගය ගව රෑනයි
පිවිතුර පියුමයි
බැඳුම ලියවැලයි
පිරිපුන් කැටයම සඳකඩ පහණයි.


අද වන විට ඒ සියලු ශක්‍යතාවයන් අහෝසි ව ගොස්. එසේ නොමැති නම් , එම තත්ත්වයන් දැනටත් රැකගෙන සිටින්නවුන් අසරණ වී ගොසින්. ඒ අතර නිරන්තරයෙන් ම, ඌරන්, සිවලුන් හා වවුලන් වැනි ගති සිරිත් ඇත්තවුන් විසින්, ඉතිරි ව ඇති සියල්ල ද වනසනු ලබන බව ගීතයේ අවසන් කොටසින් කියවෙනවා.


මෙදා තිසර ගජ තුරඟුන් සේනා
මරු කතරේ කුර ගානා
සිඟාල සූකර වවුලිඳු සේනා
නිරුදක පෙළහර පානා
කෙළෙසුණු පියුමයි
බිඳුණු ලිය වැලයි
නටබුන් කැටයම සඳකඩ පහණයි.


මේ ගීතයේ ගේය පද රචනය රත්නසිරි පරණවිතානයන්ගේ. සංගීතය නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. ගායනය සුනිල් එදිරිසිංහයන්ගේ.


ගීතයට සවන් දුන් විට ඔබට බොහෝ දේ සිතේවි. මේ සබැඳිය ඔස්සේ අසා බලන්න.

Sunday, April 22, 2018

උඩ ඉඳලයි වැටුණෙ....

- බන්ධුල සිසිර කුමාර -




මගේ ලිපි කියවන විට ඔබට හිතෙනවා ද දන්නේ නැහැ , අන්තිම ට කැරකිලා කැරකිලා අතීතයටමයි යන්නේ කියලා. (ඇම්ඩන් සහ මැක්කා වගේ) මගේ හැම ලිපිය ම අතීත කතා ම නොවෙයි කියලා ඔබ ට ටිකක් පසු පස ට ගිහින් බැලුවොත් සොයා ගන්නත් පුළුවන්. මා මෙතෙක් දුර කියවූ, අධ්‍යයනය කළ, ගවේෂණය කළ දේ සහ ඒ ඇසුරෙන් සොයාගත් තොරතුරු, ඔබටත් කිසි යම් ප්‍රයෝජනයක් වේය කියලා සිතුනු විට ඒවා බෙදා හදා ගැනීමයි මෙහිදී කරන්නෙ. මා අතීත කාමියකු නොවෙයි. ඒ නිසා මනසින් අතීතයෙ ජීවත් වන්නෙ නෑ. අතීතයේ තිබූ දැනුම හා ක්‍රම වේදයන් සොයා ගෙන අදට ඒවායින් ගතහැකි මොනවාද යන්න සොයා බැලීමත්, අපට වැරදුනු තැන් බලා පාඩම් ඉගෙනීමත්, අප කවුරුන්ද යන්න වටහා ගැනීමත් තමයි එයින් ලබා ගත හැකි මහත් ම ප්‍රයෝජනය.

අනුරාධපුරයේ විශාල වශයෙනුත්, පොළොන්නරුවේ සැළකිය යුතු ප්‍රමාණයකුත් අනෙක් ප්‍රදේශවල ඉඳ හිටත් හමු වන දැවැන්ත හා කලාත්මක ගොඩනැගිලි, ප්‍රතිමා, වැව් ආදිය දකින විට අප අතරින් එක් එක් අය ඉදිරිපත් කරන විවිධ අදහස් තිබෙනවා. "මිනිසුන්ගෙන් බලෙන් වැඩ ගන්න ඇති", "වහලුන්ගෙන් වගේ වැඩ ගන්න ඇති", වැනි කතා එයින් කිහිපයක්. "මේවා කරන්න ඇත්තෙ පිට රටින් ගෙන්නපු ශිල්පීන් විසින් වෙන්න ඇති" කියලා කියන අය පවා ඉන්නවා. ( ඒ කතාව කියන අය නම් දන්නෙ නැහැ කලා හා තාක්ෂණ නිර්මාණ අධ්‍යයනය කර බලා ශිල්ප සම්ප්‍රදාය හඳුනා ගන්නට හැකි බව.) ( අනෙක, බලෙන් වැඩ ගන්නා සමාජ පසුබිමකදී නම් ගුරු කුලයන් තුල ශිල්ප සම්ප්‍රදායයන්, තාක්ෂණය ආදිය ප්‍රගමනය වන්නේ, සංවර්ධනය වන්නේ, ඉතා අල්ප වශයෙන් බව පැහැදිලියි නේ.)

මේ නිර්මාණ ගැන එවැනි සෘණාත්මක කතා කියන අය පමණක් නොවෙයි, "මෙන්න අපේ අතීත රජවරුන්ගෙ හපන්කම්" කියලා සාම්ප්‍රදායික විදියට උදම් අනන අය පවා නොදන්නා කාරණයක් තිබෙනවා. ඒ කාරණය පිලිබඳ ව හමු වී ඇති ලිඛිත සාක්ෂි සීමිතයි. ඒ වුණත් මුළු රජරට රාජධානි යුගය ම පරීක්ෂා කර බැලුවාම ඒ කරුණ පිලිබඳ අලිඛිත සාක්ෂ්‍ය වටහා ගත හැකියි.

"මෙන්න අපේ රජවරුන් ගෙ හපන්කම්" කියලා එක් පිරිසක් කියන විට තවත් පිරිසක් කියනවා "රජවරු මොනවද කළේ. මේවා රටේ මිනිසුන්ගෙ ශ්‍රමය" කියලා. ඒ කථාව හරියට ම අර "රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ නිර්මාණයක් නොවෙයි, මේසන් බාස්ලගෙ වැඩක්" ය කියනවා වැනි බහු බූත කතාවක් කියලයි මට හිතෙන්නෙ.

මා එසේ කියන්නෙ මෙන්න මේකයි. මේසන් බාස්ලා හෝ ගල් වඩුවන් තමන්ට ඔහේ හිතුණු නිසා කරපු වැඩ එකක් වත්, මේ මහා පරිමාණ නිර්මාණ අතර ඇතැයි මා හිතන්නෙ නැහැ. අනෙක් අතට දූරාතීතයේ සිට ක්‍රි.ව. 1815 දක්වා අප රටේ විසූ පාලකයන් අතුරින් සියලු දෙනාගෙම නම් නිතර ඇසෙන්නෙ නැති වුවත් කාටත් හුරුපුරුදු මතක හිටි නම් කිහිපයක් තිබෙනවා. එසේ මතක ඇති අය සියලු දෙනාම පාහේ කැපී පෙනෙන නිමැවුමක් හෝ යම් සමාජ පරිවර්තනයක් කරවපු අය. ඒ වගේ දෙවල් කරවූයේ කොහොමද? සඳළු තලයකට වෙලා, ගැඹුරු හඬින් හා ලියන බාසාවේ බර වචන වලින්, "ඇමතිය, මෙසේ කරනු" කීවාම ඇමතිවරු කෙසේ හෝ වැඩය කරවනවා ද??? අපේ බොහෝ දෙනෙකුගේ සිතෙහි තිබෙන්නේ එවැනි චිත්‍රයක්.

ඒ වගේ විකාර හිතළුවලින් බැහැර වෙලා වඩාත් ප්‍රායෝගික ව හිතුවා ම වටහා ගත හැකි දෙය තමයි, විශිෂ්ඨ නිර්මාණ බිහි වූ, ජනතාව සුඛිත මුදිත ව ජීවත් වූවායයි කියැවෙන යුගයන්හි ඒ පාලකයන් සියල්ල සිදු කරවන්නට ඇත්තේ මනා ව සැකසුණු පරිපාලන ව්‍යුහයක් හා විධිමත් නිලධාරි තන්ත්‍රයක් මගින් බව.

මා පෙරදී කීවා වගේ ම මේ කාරණය පිලිබඳ ලිඛිත සාක්ෂි තරමක් සීමිතයි. මේ පිළිබඳ ව හමු වී ඇති වැදගත් හා විස්තරාත්මක සාක්ෂියක් වන්නෙ iv වැනි මහින්ද රජුගේ මිහින්තලා පුවරු ලිපි යි. දහ වැනි ශත වර්ෂයේ අප රටේ විධිමත් ගිණුම්කරණ ක්‍රමවේදයක් තිබුණු බව තහවුරු කරනු පමණක් නොව විධිමත් ගණකාධිකාරි සේවාවක් හා පරිපාලන සේවාවක් තිබුණු බවට පවා මෙම සෙල් ලිපි මගින් සාක්ෂ්‍ය සැපයෙනවා.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය මගින් වාර්ෂික ව පළ කරනු ලබන ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සඟරාවට (වෙළුම 5 , වසර 2014) ප්‍රසාද් ෆොන්සේකා මහතා විසින් සපයා ඇති, හතරවන මිහිඳු රජුගේ (952-968) මිහින්තලේ පුවරු ලිපි නමැති ලිපියේ මේ පිලිබඳ කදිම විවරණයක් කෙරෙනවා. අදාල ලිපියෙන් උපුටා ගත් කොටස් කිහිපයක් මා පහතින් දක්වනවා. (නිල් පැහැයෙන් දක්වා ඇත්තේ උපුටා ගත් කොටස් බව සලකන්න.)

උපුටා ගැනීම

සෑගිරි විහාරයේ සියලු ම භික්ෂූන් ද, නිලධාරීන් ද, දැසි දසුන් ද අඳ ගොවීන් ද මෙම නීති මාලාවට යටත් වන අතර ඔවුන්ගේ රාජකාරි පිළිබඳ විස්තර ද, මුදල් ලැබීම් හා ගෙවීම් පිළිබඳ රෙගුලාසි ද, පරිපාලන නීති හා ගිණුම් පිළියෙල කිරීම පිළිබඳ උපදෙස් ද එසේ ම ඔවුන් ට හිමි දීමනා පිළිබඳ නියෝග ද එහි දැක්වේ.

උපුටා ගැනීම

1. (පරිපාලන) කමිටු සාමාජිකයන් වන්නේ නකා වෙහෙර පාලක හිමියන්, (ගිහි) පිරිවෙන් පාලක, විනය පාලක, ප්‍රධාන කාර්මික නිලධාරි (ඉංජිනේරු), සැපයුම් නිලධාරි, විහාර ලේකම්, කරඬු ලේකම්, කරඬු භාර නිලධාරි යන අය යි. මේ සියලු දෙනා අභයගිරි විහාර දෙඛණ්ඩයෙහි භික්ෂූන් සමග ඇත්වෙහෙරයට රැස් විය යුතු ය. ඔවුන් විසින් රාජකාරි ස්ථාන තීරණය කොට විහාරස්ථානය තුල හා පිටත (මුදල්) ලැබීම් හා ගෙවීම් ගැන සොයා බැලිය යුතු ය.

2. විහාර දේපළ පරිහරණය කරන්නන් අතින් සිදු විය හැකි අලාභ හානි සඳහා අදාල පුද්ගලයන්ගෙන් තැන්පත් මුදලක් ලබා ගත යුතු ය.

3. විහාරයේ භික්ෂූන් ට සම්බන්ධ කිසිවකු විහාර සේවයට යොදා ගෙන තිබේ නම් සියලු ම දීමනා ආපසු අය කරගෙන ඔහු සේවයෙන් පහ කළ යුතු ය.

4. ධාතු කරඬු, අදාල නිලධාරින් ඉදිරිපිට මුද්‍රා තබා නියමිත ස්ථානවල තැබිය යුතු ය.

5.ගෙවීම් කාර්යාලයේ, සහල් එකතු කරන ස්ථානයේ හා මධ්‍යාහ්නය ට පෙර දානය භාර ගන්නා ස්ථානයේ නිලධාරීන් ඉවතට යන විට ඔවුන්ගේ වැඩ බැලීම ට වෙනත් නිලධාරීන් පත් කළ යුතු ය.

6. ඇත් වෙහෙරේ ධාතු ගෘහයට අයිති කිසිවක් විකිණීම හෝ ණයට දීම නොකළ යුතු ය.

7.විහාර නිලධාරින් විසින් විහාර සේවකයන් තමන්ගේ වැඩට හෝ වෙනත් අයගේ වැඩට නොයෙදිය යුතු ය.

8. කටු මහා සෑයේ නඩත්තුවට ඒ සඳහා ඇති ඉඩම්වල ආදායම යෙදවිය යුතු ය.

9.කිරිබඬු පවු දාගැබේ නඩත්තුවට ඒ සඳහා ඇති ඉඩම්වල ආදායම යෙදවිය යුතු ය.

10.විශාල බුද්ධ ප්‍රතිමාව ඇති ධාතු මන්දිරයෙන් ද, බෝධි මළුවෙන් ද, නයින් ද,(සිද්ධස්ථානයෙන්) මිණිනාල් දෙවොලෙන් ද, කටු මහා සෑයෙන් ද, කිරිබඬු පවු දාගැබෙන් ද, කඳු ඉහළ දාගැබ්වලින් ද, පහළ ඇති ඇත් වෙහෙරේ දාගැබ්වලින් ද, ලැබෙන මුළු ආදායම හා (රජු විසින් ) පූජා කරන රන් කලං සියය ද, ඇත් වෙහෙරට ලැබෙන යහල දහයක වී ද යන සියලු ආදායම ඕනෑ ම අළුත්වැඩියාවක් සඳහා යෙදවිය හැකිය.

11. විහාරයට අයත් ගම් වැසියන්ගෙන් ද සේවකයන්ගෙන් ද අය කරනු ලබන සියලු දඩ මුදල් විහාරය සතු ය.

12. කිරිබඬු පවුවේ ගහකොළවලින් ද, සංගවැල්ලෙන් ලැබෙන ගෙවල් කුලී වලින් ද, මනුවැසර වැවෙන් හා ලිහිණි පවුවේ වැව් දෙකෙන් ද, පහණවිල හා පොරදෙණි පොකුණ අවට ඉඩම්වලින් ද ලැබෙන ආදායමෙන් තුනෙන් කොටසක් විහාරය සතු වේ.

13. විහාරයට අයත් නිවාසවල වසන අයගෙන් සාධාරණ කුලියක් අය කළ යුතු ය. එහෙත් නිලධාරීන්ගෙන් හා සේවකයන්ගෙන් කුලී අය නොකළ යුතු ය.

14. විහාරයේ කටයුත්තකට හැර යහපත් සේවකයන්ගේ දේපළ පවරා නොගත යුතු ය.

සේවකයන්ට හා සාමාන්‍ය ජනයාට අදාල නියෝග

1. විහාරයට අයිති දේපළ බදු පදනමක් යටතේ පවරා දීමට හැකි වුව ද සින්නක්කර ව පැවරිය නොහැකි ය.

2.(සාමාන්‍ය ජනයාට) දින තුනක අනිවාර්ය සේවා මුරය හැර පොහොය දින සේවය වැනි වෙනත් අතිරේක කාර්යයන් නොපැවරිය යුතුය.

3.සේවකයන් ට පවරා ඇති ඉඩම් හැර ඇත් වෙහෙරට අයත් කිසිම දේපළක් ත්‍යාගයක් ලෙස පැවරීමට හෝ බදු දීමට නොහැකිය.

4. පෙර චාරිත්‍ර ලෙස ලැබෙන සහල් හැර විහාර සේවයේ යෙදෙන කිසි ම නිලධාරියකු වෙනත් යැපීම් දීමනා ලබා නොගත යුතු ය. තම කුඹුරු අස්වැද්දීමට ගොන් බානක් හෝ නොගත යුතු ය.

5.බදුකර යටතේ ලබාගත් ඉඩම් ආපසු ලබා ගත හැක්කේ ඔවුන් (වගා නොකරන්නේ ) නම් පමණි.

6.ඉඩම්වලට අවසර නැතිව ඇතුල්වීම තහනම් වේ.

7.ගස්කොලන් කැපීම තහනම් ය. විහාරයට අයත් ඉඩම්වල තල ගස් හා මී ගස් කැපීමට විශේෂ අවසරයක් ගත යුතු ය.

8. කිසි යම් වැසියකුගෙන් දඩ මුදලක් අය කරන විට එය පෙර චාරිත්‍ර ලෙස අය කළ යුතු ය. ඒ තැනැත්තා ඒ වෙනුව ට වැව්වල වැඩ කිරීම ට ඉල්ලා සිටියොත් ඔහුට එයට ඉඩ දිය යුතු ය.

9.විහාරයට අයත් ගම්වල පාරවල් හා මහා මාර්ග ද කුල සේවකයන් ද විහාරය සතුය.

10.විහාරයට අයත් ඉඩම් කිසිවකු විසින් මිළ දී ගෙන ඇත්නම් එම මුදල විහාරය සතු කරගෙන අදාල පුද්ගලයන් විදේශයන්ට පිටුවහල් කළ යුතු ය.

11.මෙහි දක්වා ඇති නියෝග කිසිවක් උල්ලංඝනය නොකොට ක්‍රියාත්මක කළ යුතු ය.




මුදල් රෙගුලාසි හා ගිණුම් පිළියෙල කිරීම

1.යැපීම් දීමනා ලෙස ලැබෙන දේ හැර (විහාරස්ථානයට ලැබෙන) අනෙකුත් සියලු ම ලැබීම් හා නියමිත අනුමැතිය මත ගෙවන සාධාරණ සත්‍ය ගෙවීම් අදාල ස්ථානයේ පවත්වා ගෙන යන ලේඛනයක සටහන් කළ යුතු ය.

2.දිනපතා (විහාරස්ථානයේ) නඩත්තුවට වියදම් වන මුදල් ද, අළුත්වැඩියාවන් සඳහා වියදම් වන මුදල් ද ලේඛනයේ සටහන් කළ යුතු ය.

3.(ඉහත ලේඛන මත) අදාල ස්ථානයේ හෝ ව්‍යාපාරයේ (එහි පරිපාලනයේ ද) එකඟත්වය ඇති ව ගිණුම් පිළියෙල කළ යුතු ය. එසේ කිරීමේ දී වැරදි සටහන් (ඇත්නම්) ඉවත් කළ යුතු ය.

4.ගිණුම් සටහන් (පිටපතක්) කරඬුවක දමා මුද්‍රා තැබිය යුතු ය.

5. සෑම මසක ම ගිණුම් පිළියෙල කොට ප්‍රසිද්ධ කළ යුතු ය.

6.මාසික ගිණුම් දොළහ ඒකාබද්ධ කර වසරේ අවසානයේ ගිනුම් පිළියෙල කළ යුතු අතර ශේෂ පත්‍රයක් පිළියෙල කොට එය සංඝයා මධ්‍යයේ කියවිය යුතු ය.

7.මෙම නීති කඩ කරන නිලධාරීන් වෙතොත් දඩ මුදල් අය කොට සේවයෙන් පහ කළ යුතු ය.

දෙවැනි සෙල් ලිපියේ ඇත්තේ විහාර සංකීර්ණයේ සේවය කළ අයට ලැබෙන දීමනාය. එකල කුල භේදයක් නොතිබුණු බවට මේ ලිපියෙන් ඉඟියක් සපයයි. නිලධාරීන් හා සේවකයන් හඳුන්වා ඇත්තේ ඔවුන් කළ රාජකාරිවලින් පමණකි.

(උපුටා ගැනීම අවසන්)

දීමනා හිමි වන නිලධාරින් අතරින් කිහිප දෙනෙකුගේ තනතුරු මෙසේ දැක්විය හැකියි.

නකා වෙහෙරේ පාලක හිමියන්, විහාර පරිපාලක (ගිහි), පරිපාලන කමිටු නිලධාරින්, ගිහි ශිෂ්‍ය නිවාස අධිපති, සංචාරක ආරක්ෂක, උත්සව සංවිධායක, විකට නැටුම් ශිල්පීන්, ගොපල්ලන්, මැටි පාත්‍ර සපයන්නා, බාහිර කාර්ය සංවිධායක, වියන් බඳින්නා, ප්‍රධාන පින්තාරුකරු, පින්තාරුකරුවන් එකොළොස් දෙනා, අයකැමි හා ඔහුගේ සහකරුවන්, ධාන්‍ය ගබඩා පාලක, කුලී කම්කරුවන් 24 දෙනා, ප්‍රධාන අරක්කැමි, අනෙක් අරක්කැමියන්,මැටි භාජන සපයන්නා, මාස්පතා ජලපෙරන (ෆිල්ටර්) සපයන්නා, වෙදැදුරන්, කරණවෑමියා, ධාතු මන්දිර පාලක, තෙල් හා තිර සපයන්නා, නෙළුම් මල් සපයන්නන් දෙදෙනා, ගිහි ධර්ම දේශක හා ගුරුවරුන් හය දෙනා, දුම්මල සපයන්නා, ප්‍රධාන කාර්මික නිලධාරි, වඩුවන්, කම්මල් කරුවන් දෙදෙනා, හුණු සපයන්නන්.... ආදි වශයෙන්.

උපුටා ගැනීම

මෙම සෙල්ලිපියෙන් අනුමාන කල හැකි වැදගත් කරුණක් නම් එකල ශක්තිමත් රාජ්‍ය පරිපාලන නීති රීති හා සම්ප්‍රදායන් ද, ඒවා ක්‍රියාත්මක කිරීමට නිසි පරිපාලන සේවයක් ද තිබුණු බව යි. රටේ එවැනි උසස් නීති මාලාවක් ක්‍රියාත්මක වී නොතිබුණේ නම් අඩු තරමින්, මෙවැනි නීති කෙටුම්පත් කිරීමක් පවා සිදු කිරීම අපහසු ය.

උපුටා ගැනීම

විහාර දේපළ සඳහා ආරක්ෂක තැන්පතුවක් ලබා ගැනීම ඉතා උසස් හා ප්‍රායෝගික ක්‍රම වේදයක් පැවැති බවට සාධකයකි. අද පවා ව්‍යාපාර ආයතනවල මෙම ක්‍රමය ක්‍රියාත්මකය. එමෙන් ම භික්ෂූන් වහන්සේලාට සම්බන්ධ අයවලුන් හට තනතුරු නොදීම දූෂණ අවම කිරීමේ ක්‍රමවේදයකි.

උපුටා ගැනීම

වර්තමානයේ වැව් නඩත්තුව, එනම් මඩ ඉවත් කිරීම කරනු ලබන්නේ වැවක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වූ විට වුව ද වැව්වල නඩත්තතුව නිතිපතා කළ බවට මෙම ශිලා ලේඛන සාක්ෂි දරයි. එක් පුද්ගලයකුට පැවරෙන ප්‍රමාණය රියන් 16 ක වට ප්‍රමාණය හා රියනක ගැඹුර බව ද දක්වා තිබේ.

මෙම සෙල් ලිපියේ ඇති ඉතා ම වැදගත් කරුණ නම් අතීත ලංකාවේ ක්‍රමවත් ගිණුම්කරණයක් තිබූ බවට ලැබෙන සාක්ෂියයි. මෙවැනි නිවැරදි අංග සම්පූර්ණ ගිණුම් ක්‍රමයක් එම කාලයේ වෙනත් රටක තිබූ බවට සාක්ෂ්‍ය සොයා ගත නොහැකිය. මෙම ගිණුම්කරණ ක්‍රියාවලිය අංග සම්පූර්ණ වන්නේ මුදල් පොත ලිවීමේ සිට මාසික ගිණුම් පිළියෙල කිරීම දක්වාත් ඉන් පසු වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ඒවා ප්‍රසිද්ධ කළ යුතු බවට දී ඇති උපදෙස් නිසා ය. අවසානයේ ගිණුම් සංඝයා මධ්‍ය යෙහි කියවිය යුතු ය. දැනුදු ව්‍යාපාරවල ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමවේදය ම නිසා අතීත සිංහලයන්ගේ ගිණුම් කටයුතු ඉතා උසස් තත්ත්වයක තිබී ඇති බව පැහැදිලි ය. අනෙක් අතට, ගිණුම් කටයුතු කර ඇත්තේ විහාරයට සම්බන්ධයක් නොමැති ගණකාධිකාරිවරුන් වන අතර ඔවුන් අදාල ස්ථානයේ පරිපාලනයේ එකඟත්වය ද ඇති ව ගිණුම් පිළියෙල කළ යුතු බවට නියෝග කොට තිබේ. එසේ නම් වෙන ම ගණකාධිකරණ සේවයක් තිබෙන්නට ඇත. ලේඛන ආරක්ෂා කිරීමට ද නීති පනවා තිබේ. මේ අනු ව මෙම ශිලා ලේඛන දෙක පිළිබඳ ව ගැඹුරු විශ්ලේෂණයක් කළ හැකිවා සේ ම එමගින් ශ්‍රි ලංකාවේ අතීතය ගැන බොහෝ සාමාජයික හා ආර්ථික කරුණු සොයා ගැනීමට ද හැකි වනු ඇත.

(උපුටා ගැනීම අවසන්)

රට හා එහි ජනතාවගේ ජීවන මට්ටම වඩාත් ඉහල තලයකට ඔසවා තැබීමට සමත් වූ රජවරුන් කිහිප දෙනාගේත් ඒ තත්ත්වය බිඳ නොවැටී පවත්වාගෙන යාමට සමත් වූ රජවරුන්ගේත් පාලන සමයන් හි මෙයට සමාන පරිපාලන ව්‍යුහයක් හා ක්‍රමවේදයන් පැවතුනා නිසැකයි.

දුර්වල පාලකයන් සිටි යුගවල හා රටේ පාලක පැලැන්තිය බල ලෝභයෙන් එකිනෙකා ඇන කොටාගත් යුගවල දී මෙම පරිපාලන ව්‍යූහය බිඳ වැටෙන්නට හා නිලධාරි තන්ත්‍රය අවුල් වන්නට ඇතිවාට සැකයක් නැහැ. මෙවැනි අවස්ථාවල දී කල් යල් බලා පැමිණි ආක්‍රමණිකයන් මේ දිවයිනේ පාලනය සියතට ගෙන මේ සියලු ව්‍යුහයන් හා පද්ධතීන් උඩු යටිකුරු කරනවා. ඉතිහාසය පුරා ආසන්න වශයෙන් වසර දෙසීයකට වරක් මෙබඳු ආක්‍රමණ මගින් සිදු ව ඇති විනාශයන් දැක ගත හැකියි.

කලක් මනා ව වර්ධනය වී පැවති පරිපාලන ව්‍යුහයන් බිඳ වැටී, රාජ්‍යය ද විනාශ වූ අන්දම පිලිබඳ තොරතුරු පොළොන්නරු රාජධානිය බිඳ වැටීමේ කථාන්කරයෙන් වටහා ගත හැකියි. 

මනා පරිපාලන ව්‍යුහයක් පවත්වා ගෙන ගිය පරාක්‍රමබාහුගේ මරණින් පසු, රජ කමට පත්වන්නේ රජ මාලිගා සංකීර්ණය තුල ම කිසියම් නිලයක් දරමින් සිටි විදේශික (කාලිංග - නූතනයේ ඔරිස්සා) කුමාරයෙක්. ඔහු නිශ්ශංක මල්ල. ඔහු රජ වූ පසු හීන් සීරුවේ පරාක්‍රමබාහු ප්‍රතිරූපයට මඩ ගසන අයුරු හා පාලන තන්ත්‍රය තුල වූ පරාක්‍රමබාහු ලකුණ මකා දැමීමට උත්සාහ කරන අයුරු ඔහුගේ ම ශිලා ලිපි තුලින් හඳුනා ගත හැකියි. ඒ අරමුණින් ඔහු විවිධ අමනෝඥ ක්‍රියාවන් සිදු කර ඇති බව ද පෙනෙනවා.

එක් උදාහරණයක් මෙසේ දැක්විය හැකියි. වගා නොකර පුරන් වීමට හරින කුඹුරුවලින් පරාක්‍රමබාහු රජය බද්දක් අය කළා. මෙහි අරමුණ භාණ්ඩාගාරය තරකිරීම නොව කුඹුරු, වගා නොකර නිකරුණේ තැබීම අධෛර්යමත් කිරීම බව පැහැදිලියි. පෙර රජු පැනවූ, ජනතාව පෙළන බදු ඉවත් කරන්නෙමැයි කියා නිශ්ශංක මල්ල එම බද්ද ඉවත් කළා. ප්‍රතිඵලය බුද්ධිමත් ඔබට වටහා ගත හැකියි.

(විහාර කිහිපයක පිළිසකර කිරීම් හැරුණු විට නිශ්ශංක මල්ල විසින් කළ ජනතාවට මතක හිටින දෙයක් නැති බැවින් ඔහු කළේ විවිධ ප්‍රචාරණ උපක්‍රම මගින් සිය නම ජනයාගේ සිත්වලට ඇතුලු කිරීමට උත්සාහ කිරීමයි. තමා මෙහි වාඩි වී පිරිත් ඇසුවාය, මෙහි වාඩි වී නැටුම් බැලුවාය, ආදි වශයෙන් සටහන් කළ ගල් පුවරු පොළොන්නරු රාජධානියේ පමණක් නොව ඉන් බැහැර ස්ථානවල පවා දැක ගත හැකියි. වරක් පරාක්‍රම සමුද්‍රයේ අළුත් වැඩියාවක් කරවූ ඔහු එය නිශ්ශංක සමුද්‍රය ලෙස නම් කර ඵලකයක් සවි කරනවා.)

මෙම යුගයේ ක්‍රමික ව සිදු වූ, පාලන තන්ත්‍රයේ අවනතිය, රජ වී නව වසරකින් සිදු වූ නිශ්ශංක මල්ලගේ මරණයත් සමග තව තවත් ශීඝ්‍ර වෙනවා. ඉන් පසු ආ එකොළොස් අවුරුදු අවිචාර සමයේ මේ බිඳ වැටීම උපරිමයට යනවා.

එසේ දුබල ව පැවති දේශයට කල් යල් බලා පැමිණි කාලිංග මාඝ ආක්‍රමණිකයා විසින් අපගේ පරිපාලන ව්‍යුහයේ එතෙක් වූ සියල්ල ද විනාශ කර දැමූ බව කියැවෙනවා. ඒ විනාශයේදී අපගේ මිනිස් ජීවිත පමණක් නොව, සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම්, දැනුම, සම්ප්‍රදාය, තාක්ෂණය, පොත පත, කලා කෘති, වගා බිම්, වාරිමාර්ග ඇතුලු සියල්ල විනාශ වෙනවා.

මනා පරිපාලන ව්‍යුහයක් නොමැති ව, මහා වාරිමාර්ග පද්ධති සහිත පුළුල් කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් පවත්වාගෙන යන්නට බැහැ. ආක්‍රමණිකයා වෙනත් කිසිවක් විනාශ නොකර, පරිපාලන ව්‍යුහය පමණක් බිඳ දැමුවත් මේ ශිෂ්ටාචාරය විනාශ වී යන්නට තිබුණා.

එසේ ම ඔහු පැමිණෙන කාලය වන විට පරිපාලන ව්‍යුහය කෙතරම් බිඳ වැටී තිබුණේද යත් ආක්‍රමණයක් සිදු නොවුව ද මේ රාජධානිය බිඳ වැටී යාමට ඉඩ තිබුණු බව ට ද අදහසක් පවතිනවා.

(කාලිංග මාඝ ආක්‍රමණිකයා විනාශ කරන්නෙ පොළොන්නරුව පමණක් නොවෙයි. අවසන් චෝල ආක්‍රමණයේ දී විනාශ නොවී ඉතිරි වුණු, සහ පොළොන්නරු යුගයේ රජවරුන් විසින් පිළිසකර කරවූ අනුරාධපුරයේ වූ ඉදිකිරීම් සියල්ල ද ඔහු විනාශ කරනවා. මුළු රජරට ශිෂ්ඨාචාරය ම අත්හැර දැමීමට සිදු වන්නේ මේ ව්‍යසනයෙන් පසුවයි.)

ඉතින් අප අද සිටින්නේ කොතැන ද? අතීත යුගයන්හි සංවර්ධිත රටක් වූ අප අද ඉන්නේ කුමන අන්දමේ ප්‍රපාතයක ද? අදත් අප බත නිපදවා ගන්නේ මුලින් කී විශිෂ්ඨ පාලකයන්ගේ යුගවල ඉදි කළ මහ වැව් කිහිපය නිසා. විදේශ විනිමයෙන් කොටසක් උපයා ගන්නේ ඒ යුගවල කෙරුණු නිර්මාණයන්ගේ අවශේෂ, විදේශිකයන් ට පෙන්වීමෙන්.

අප හැමදා පහළ සිටි ජාතියක් නොව උඩ සිට පහළට ඇද වැටුණු පිරිසක් බව ඔබට පැහැදිලි වන්නට ඇති.

ඔබේ අදහස් මොනවාද කියා දැන ගැනීමටත් කැමතියි.

Wednesday, April 18, 2018

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

- බන්ධුල සිසිර කුමාර -




සිංහල බෞද්ධයා කියන්නනෙ කවුද? මෙය දුටු මතිනුත් කළබල වෙන සමාජ කණ්ඩායම් පවා අද සිටිනවා. එහෙත් මා දන්නා තරමින් බ්ලොග් කියවන ජනතාව යනු බුද්ධිමත් හා විචාරශීලි ජනතාවක්. ඒ නිසා අපි මෙය පැහැදිළි කර ගනිමු.

( මා අර මුලින් කී කණ්ඩායම්වලට නම් "සිංහල බෞද්ධයා" යනු බොහොම භයානක ත්‍රස්තවාදියකු බඳු සත්ත්වයකු හඳුන්වන තවත් නමක්. එසේ ම, ඉහත කී අය අතුරින් තවත් පිරිසකට අනු ව "බෞද්ධයා" නම් "උපාසකයකු" විය යුතුයි.)

මෙය ගැටළුවක් සේ පෙනේ නම් ටිකක් ආපස්සට, සහස් වස් කිහිපයක් පසුපසට ගොස් බැලූ විට එය හොඳින් නිරාකරණය කර ගත හැකියි.

එකල සිංහලය නමින් හැඳින්වුණු රටේ (මෙය මගේ හිතලුවක් නොවේ. එය තහවුරු කෙරෙන සාධක බොහොමයි) ස්වදේශික ජන වර්ග තුනක් සහ සංක්‍රමණිත  (බොහෝ විට, බෙංගාලයේ සිට සංක්‍රමණය වූ ) ජන පිරිසක් ජීවත් වෙනවා. මේ ඒ ඒ කණ්ඩායම් ඔවුන්ගේ අනන්‍ය සංස්කෘතීන් හා ප්‍රාථමික මට්ටමේ ආගමික විශ්වාසයන් තුල ජීවත් වෙනවා.

ක්‍රි. පූ. තුන් වන සිය වසේදී රාජ්‍ය අනුග්‍රහය සහිත ව නිල වශයෙන් බුදු දහම හඳුන්වා දීමෙන් පසු ව ඉහත කී ජන වර්ග හතර, ක්‍රමයෙන් තම ජීවිත තුලට මෙම අළුත් දහමේ හර පද්ධතීන් ඇතුල් කරගන්නවා. එහෙත් එහිදී ඔවුන්ගේ පැරණි ඇදහිලි හා සමහර චර්යාවන් සියයට සියයක් ඉවත් කරගන්නේ නැහැ. දැඩි නීති රීති පද්ධතියක් ඔස්සේ අනුගාමිකයා හික්මවන්නට උත්සාහ නොකළ, විචාරශීලිත්වයට ඉඩ තබා ඇති බුදු දහමින් එ‍සේ ඉවත් කර ගැනීමට බල කෙරුණෙත් නැහැ.

මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? අර සියලු ජනවර්ග, තම තමන්ගේ පැරණි දෙවිවරුන්, බුදුන් සරණ ගිය අය ලෙස නම් කර අළුත් රටාව තුලට අනුගත කර ගත්තා. එතෙක් පැවති තොවිල් පවිල්, අභිචාර විධි ආදිය වෙනස් කර ගත්තා, බුදුන් ගේ අණට දමනය වන යකුන් බවට පත්කර ගනිමින්. බිලි පූජා අවම වී බොහෝ විට ඒවායේ සංකේතයන් පමණක් ඉතිරි වුණා.

මෙසේ එකල පැවැති බෞද්ධ පුද පූජා විධිත්, ඒ අතරතුර ම, අත නොහැර දමා වෙනස් කරගත් තම පැරණි අභිචාර විධිත් පවත්වාගෙන ආ මේ ජනවර්ග හතර, තවත් සියවස් කිහිපයක් තම ජනවාර්ගික අනන්‍යතාවයන් නාමික වශයෙන් රැකගෙන සිටිනවා. අනුරාධපුර රාජධානි සමයේ මුල් කොටස තුලදී ම ක්‍රමයෙන් ඒ ජනවාර්ගික පදනම් අමකත ව ගොස් රටේ නමින් හැඳින්වෙන, රටේ ජාතිය, එනම්  " සිංහලයන්" බවට පත් වෙනවා.

ඔවුන්ගේ සංස්කෘතිය හැඳින්වෙන්නේ " සිංහල බෞද්ධ සංස්කෘතිය" නමින්. ඒ අනු ව " සිංහල බෞද්ධයා" යනු සිංහලය නමැති රටේ ජීවත් වන බෞද්ධ ආචාර ධර්ම අනුව ජීවිතය හැඩ ගසා ගත් අයෙකුට. ඔහු උපාසකයකු නොවෙයි. ( අදටත් බොහෝ ‍දෙනා අග මුල පටලවා ගන්නේ සිංහල බෞද්ධයා නමැති පුද්ගලයා උපාසකයකු විය යුතු යැයි සිතන්නට යාමෙන්!)

ඔහු උපාසකයකු නම් ගවයන් කරත්තයට බැඳ බර අද්දවා ගන්නේ නැහැ. මී ගවයන්ගේ ශ්‍රමය කෘෂි කර්මය සඳහා යොදා ගන්නෙත් නැහැ. ඒ විතරක් නොවෙයි, එහෙනම් දෙනුන්ගෙන් කිරි ලබා ගන්නෙත් නැහැ. 

(සතුන්ගෙන් කිරි දොවා ගැනීම මොන තරම් අමානුෂික, අපරාධකාරී ක්‍රියාවක් දැයි ඔබ සිතනවාද? එය වටහා ගැනීමට මෙම උපමාව සිතා බලන්න. කිරි බොන වයසේ දරුවකු සිටින මවකට, දරුවා වෙනුවෙන් එරෙන කිරි ටික වෙනත් කිසිවකු බලහත්කාරයෙන් දොවා ගෙන යන්නේ නම්!!! එය කෙබඳු ක්‍රියාවක්ද?)

උපාසකයකු නොවූ ඔහු මේ සියල්ල ම කළා. එහෙත් බර අදින ගවයා තමන්ගේ ජීවිකාව කර දෙන සගයකු, පවුලේ කෙනෙකු ලෙසයි ඔහු සැලකුවේ. මී ගවයා කෙරෙහිත් එසේමයි. දෙනුන්ගෙන් කිරි දොවා ගත්තේ පැටවාගේ අවශ්‍ය තාව සැළකිල්ලට ගෙන ඌට ප්‍රමාණවත් තරමක් ඉතිරි කරමින්. බුදු දහමෙහි කියැවෙන දේ තම සිත් සතන් තුලට ධාරණය කරගෙන සිටි ඔවුන් විශ්වාස කළා, තමන් ද සසර සරන අතර මෙවන් තිරිසනුන් වී උපදින්නට ද ඉඩ ඇති බව හා එම සතුනට ක්‍රෑර ලෙස සැළකුවහොත් එය කෙදිනක හෝ තමා කරා ද ආ හැකි බව. 

එසේ අපරාධකාරී නොවී හැකි තරම් මානුෂික වෙමින් ඔවුන් සපයා ගත් බතින් හා කිරි අහරින් තමන්ද පෝෂණය වී බුදුන් ඇතුළු තෙරුවන විෂයෙහිත් පූජා කළා.

මේ සරල උදාහරණ කිහිපයක් පමණයි. දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කරමින් පරීක්ෂා කළහොත් සොයා ගැනීමට හැකියි, සමාජය, සතුන් හා ගහකොළ ඇතුළු පරිසරය ආදිය සම්බන්යෙන් වූ සියළු කටයුතු, චර්යා ධර්මයන් සියල්ල ම පාහේ (ගැඹුරු බෞද්ධ දාර්ශනික මූලධර්ම නොව) ගිහි ජීවිතයේදී ප්‍රායෝගික ව ක්‍රියාත්මක කළ හැකි බෞද්ධ සාර ධර්ම මත ගොඩ නැගුණු ඒවා බව.

උපාසකයකු නොවූ සිංහල බෞද්ධයා මසුන් ඇල්ලුවා. එහෙත් ඒ සඳහාත් ආචාර ධර්ම පද්ධතියක් තිබුණා. වැවේ මසුන් බිලී බෑම තහනම් ක්‍රියාවක්. කෘෂිකාර්මික චක්‍රයේ එක්තරා අවස්ථාවක වැව හින්දවනු ලැබුවා.මේ සඳහා වැවට අදාල කුඹූරු හිමි සියළු දෙනා සහභාගි වුණා. පත්ලේ වූ රොන්මඩ සහිත ජලය කුඹුරු වෙත මුදා හැරුණා. ඉතිරි වන ජලයෙහි වූ මසුන් අල්ලා ගන්නා ලද අතර කුඩා පැටවුන් හා බිත්තර දැමීමට සමීප ව ඇති මසුන් ද නැවත ජලයට මුදා හැරුණා. කුඩා පැටවුන් හා ගැබ්බර සතුන් නොමැරීම සදාචාරත්මක ආචාර ධර්මයක් සේ ද පෙනෙන අතර අනෙක් අතින් මෙය තිරසාර පැවැත්මේ චර්යාවක් ද වූවා. පැටවුන් හා බිත්තර සහිත මසුන් මැරුවේ නම් ඒ මත්ස්‍ය ප්‍රජාව වැවෙන් වඳ වී යනු ඇති. 

(ඇත්ත වශයෙන් ම සිංහල බෞද්ධ සංස්කෘතිය තුල වු චර්යා ධර්මයන් සියල්ල තිරසාර පැවැත්ම හා අත්වැල් බැඳ ගෙන ඇති හැටි ඒ පිළි බඳ ව අධ්‍යයනයක් කළහොත් මනා ව වටහා ගත හැකියි.)

ඉතින්, මෙසේ අල්ලා ගන්නා ලද මත්ස්‍ය අස්වැන්නේන් මුල් කොටස වෙන් කළේ පන්සල ට! ඉන්පසු ගම් ප්‍රධානියාට, වැවේ නිලධාරින්ට, පවුලේ පිරිමියකු නැති කමින් වගා කටයුතු කර ගැනීමට නොහැකි ව අසරණ වූ කාන්තාවන්, වයස්ගත අය ආදිය සිටින පවුල් වලටත් කොටස් වෙන් කෙරුණා. ඉතිරිය, වගා කරන කුඹුරු ඉඩම් පුමාණයේ අනුපාතයට කුඹුරු හිමියන් අතරේ බෙදා දෙනු ලැබුවා.( වැවේ නඩත්තු සඳහා දායකත්වය සැපයිය යුතු වූයේද මෙම අනුපාතයටයි.)

සමහර වැව්වල මත්ස්‍ය ආදායම යම් යම් විහාරවල නඩත්තුව සඳහා පූජා කර ඇති බව දුටු විට වර්තමානයේ සිංහල බෞද්ධයා තුලින් උපාසකයකු සොයන අයට මොනවා හිතේවිද? මෙබඳු පූජාවන් ගැන කියැවෙන ශිලා ලිපි කිහිපයක් ම ඇති අතර, අනුරාධපුරයේ අභයගිරිය ආසන්නයේ පිහිටි දීඝපාසාණ ලෙනෙහි ඇති ලෙන් ලිපියෙහිද කියැවෙනවා එම ආරාමයේ නඩත්තුව සඳහා එක්තරා වැවක මත්ස්‍ය ආදායම පූජා කරන ලද බව.

ප්‍රාණඝාතය පාප කර්මයක් වුවත් විදේශ ආක්‍රමණ හමුවේ සිංහල බෞද්ධයන් නිර්භීත ලෙස සටන් කර සතුරන් මරා දමා දේශය රැක ගත්තා. එහෙත් බුදු දහමින් ඔවුන් ලබා තිබූ හික්මීම ඒ සියලු කටයුතු තුල ම වූවා. ඒ නිසා ඔවුන් බලවත් ව සිටි කාලයන් හි පවා අනුන්ගේ රටවල් අල්ලා ගැනීම පිණිස යුද වැදුණේ නැහැ.

ගවයන්, අශ්වයන්, අලි ඇතුන් ආදී සතුන් මූලික ව හීලෑ කරගන්නා ලද්දේ උන්ගේ ශ්‍රමය ලබා ගැනීමට වන අතර කල් යාමේ දී ඔවුන් සිය සංස්කෘතිකාංග තුල ට ද ඇතුලත් කරගනු ලැබුවා. මෙය මෙහි පමණක් නොව ලෝකය පුරාවටත් ආසියානු කලාපය පුරාවටත් දැකිය හැකියි. 

අලි ඇතුන් පෙරහැර සඳහා යොදා ගැනීම ගැන බොහෝ දෑ කියැවෙන මේ කාලයේ දන්ත ධාතුව ගැනත් යමක් සඳහන් නොකළ හොත් එය අඩුවක්.

මුලදී ම කී පරිදි බුදු දහමට අනුව ජීවිතය හැඩ ගස්වාගත් ජනතාවගේ සිත් සතන් තුල වූ විශිෂ්ඨතම චරිතය බුදුන් වහන්සේ වූවා. ජීවමාන ව සිටිද්දී උන් වහන්සේට ඉතා සමීප වස්තූන් වූ දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව මෙරටට ලැබුණු විට ඔවුන් ඒවා ඉතා ගෞරව සම්ප්‍රයුක්ත ව සලකන්නට වුණා. තව ද ඒවායේ ආනුභාවයෙන් සශ්‍රීකත්වය ඇතිවෙතැයි යන විශ්වාසයක් ද ගොඩ නැගුණා. මෙම විශ්වාසයන් කෙතරම් ප්‍රබල වූයේද යත්, රට තුල රජුන් කිහිප දෙනෙකු සිටින අවස්ථාවන්හිදී වැසියන් විසින් මහරජු ලෙස පිළිගන්නා ලද්දේ මෙම වස්තූන් තමා භාරයේ තබා ගෙන සිටින පාලකයායි. පාත්‍රා ධාතුව යම් කිසි කලක දී කොතැනක හෝ නිදන් කරන ලද බව කියැවෙතත් මහනුවර රාජධානියෙන් 1815 දී අපගේ රාජ වංශය අවසන් වන තුරු ම දන්ත ධාතුව රටෙහි මහරජුගේ භාරකාරිත්වයෙහි පැවතුනා. ඊට අදාල පුද පිළිවෙත්, පූජා, පෙරහැර ආදිය ද වර්ධනය වී පැවතුනා. මේ පෙරහැර සඳහා ද අලි ඇතුන් යොදා ගනු ලබන බව කවුරුනුත් හොඳින් දන්නා දෙයක්. ඒ සඳහා අලි ඇතුන් යොදා ගැනීම බුද්ධ දේශනාවට එකඟදැයි යනාදී ප්‍රශ්න, මගේ මේ ලිපිය අවබෝධයෙන් කියවූවෙකු ට නැඟෙතැයි මා සිතන්නේ නැහැ.

අලි ඇතුන් පෙරහැර සඳහා යොදා ගැනීමට එරෙහි ව අදහස් දක්වන අය අතර, කණ්ඩායම් දෙකක් මට මුණ ගැසී තිබෙනවා. මෙයින් එක් පිරිසකගේ මතය වූයේ මෙවැනි සංස්කෘතිකාංග හා අභිචාරාත්මක කටයුතු වැනි දෑ හරසුන් කටයුතු බැවින් ඒ වෙනුවෙන් සතුන් හිරිහැරයට පත් කිරීම නොකළ යුතු බවයි. 

මෙය පැහැදිළි කිරීම සඳහා මා නැවත " සිංහල බෞද්ධ සංස්කෘතිය" ඉදිරියට ගෙනෙනවා.

යමෙක් මේ රටේ පාලකයා වන්නේද ඔහු සිංහල බෞද්ධයකු විය යුතු යැයි සම්මතයක්, සම්ප්‍රදායක් රට තුල ගොඩ නැගී තිබුණා. තම පාලකයා,තම ඕනෑ එපා කම් හා තම සංස්කෘතිය මැනැවින් හඳුනා ගත්තකු විය යුතු බවත් එසේ නොවීමෙන් බොහෝ ගැටළු ඇති විය හැකි බව රටවැසියා විශ්වාස කළ නිසයි එසේ වූයේ. මේ නිසා අසිංහල හා අබෞද්ධ රජුන් පාලකයන් ලෙස පත්වූ අවස්ථාවලදී සිංහල සංස්කෘතිය තුලට අනුගත වීමටත් බුදුදහම වැළඳ ගැනීමටත් එම රජවරුනට සිදු වුණා.

සිංහල බෞද්ධ ජනතාව අනුරාධපුර යුගයේ පසු භාගයේ සිට සාමාන්‍යයෙන් වසර දෙසීයකට වරක් බැගින් දරුණු විදේශ ආක්‍රමණවලට මුහුණ පෑවා. මෙයින් සමහරකදී සමූලඝාතනය වීමට ඉතා ආසන්න තත්ත්වයේ විනාශයන් සිදු වූවා. මේ සියලු සිද්ධීන් හමුවේ අප ගොඩ නගාගෙන තිබූ බොහෝ දේ අභාවයට ගියා. මේ විනාශකාරී ක්‍රියාවලියේ, වඩාත් පසුකාලයේ අවස්ථා දෙකකදී සිදු වූ - මා මෙහි සදහන් කිරී‍මෙන් වැලකී සිටින - සිදුවීම් දෙකක් හේතු කොට ගෙන මේ " සිංහල බෞද්ධ ප්‍රජාව" ලිහිල් ව එතෙක් වූ ඒකීයත්වයෙන් විසිරී යන තත්ත්වයක් ඇති වුණා. (ඊට බල පෑ උප හේතු ද බොහෝ වූ බවත් සඳහන් කළ යුතුයි) මෙසේ විසිරී ගිය පසුත් කිසියම් දුරකට හෝ " සිංහල බෞද්ධ සංස්කෘතිය" තුල රැඳී සිටින ප්‍රජාවට, දන්ත ධාතුව, ශ්‍රී මහා බෝධිය වැනි වස්තූන් තවමත් සිය මුඳුන් මල් කඩ ව පවතිනවා.

මා මගේ වෙනත් ලිපි වල ද (මුලට කෙටීම බලන්න.) සඳහන් කර ඇති පරිදි විවිධ හේතු මත ලෝක බලවතුන්ට මේ භූමිය ඉතා වැදගත්. ඔවුන්ට ඊට ඇති මහත් බාධාවක් වන්නේ," කිසියම් දුරකට හෝ සිංහල බෞද්ධ සංස්කෘතිය තුල රැඳී සිටින ප්‍රජාවයි." එහි මුල් වලට පහර දී බිඳ හෙලනු ලැබුව හොත් ඉතිරි කටයුතු සාර්ථක කර ගැනීම ඉතා පහසුයි. ඔවුන් ඒ නිසා එම මුල් සිඳීමට, ඒ සඳහා යෙදවිය හැකි සියපු පාර්ශ්වයන් ම භාවිතා කරනවා. පෙර කී කණ්ඩායම අයත් වන්නේ එසේ භාවිතා වන එක් පිරිසකටයි.

ඉතා සුළුතරයක් වූ අනෙක් පිරිසගේ මතය වූයේ සංස්කෘතිකාංගවල වටිනාකම පිළිගන්නා නමුත් අලි ඇතුන් පෙරහැර සඳහා යොදා ගැනීම අනුමත නොකරන බවයි.සමහර විට එය ඔවුන් අදාල සියලු තතු නොදැනීම නිසා එළැඹ ගත් ආස්ථානයක් විය හැකියි. මා පෙර ද සඳහන් කළ පරිදි " සිංහල බෞද්ධ සංස්කෘතිය" යනු කුමක්දැයි වටහා ගත් පසු ඔවුන් සිය අදහස වෙනස් කර ගැනීමට ඉඩ තිබෙනවා. 

.අවසාන වශයෙන් වෙනත් බෞද්ධ සංස්කෘතීන් ගැන කියන්නට ඇත්තේත් මෙවැනි ම කථාවක්. මියන්මාර බෞද්ධ සංස්කෘතිය, තායිලන්ත බෞද්ධ සංස්කෘතිය ආදියත් " සිංහල බෞද්ධ සංස්කෘතිය" ට ද වෙනස් වූ තවත් සංස්කෘතික ප්‍රවාහයන්. අනෙක, එම සංස්කෘතීන් තුල සිටින්නන් ද, උපාසකයන්, බෝධිසත්වයන් නොවෙයි. බුදු දහමේ ආභාසය ලබා හැඩ ගස්වා ගත් සංස්කෘතියක් සහිත සාමාන්‍ය මිනිසුන්.

මේ සබැඳි ඹස්සේ මා ගීත දෙකකුත් ඉදිරිපත් කරනවා. එකිනෙකට බොහෝ වෙනස් වුවත් මා කී දෙයට ඒ දෙක ම අදාල බැව් සිතුණු නිසා.


Tuesday, April 10, 2018

කවුද හරි.....?

- බන්ධුල සිසිර කුමාර -




අප අපේ ජීවිත කාලය තුල දී,විවිධ අදහස්, මතවාද, චින්තන ධාරා තුල එල්බ ගෙන සිටිනවා. එසේ හිඳිමින් කලක් ගත වෙද්දී, තව තවත් අත්දැකීම් හරහා ජීවිතාවබෝධය ලබන විට තමා එතෙක් සිටි ආස්ථානයේ අඩු පාඩු නිරීක්ෂණය වෙනවා. ඒ මතවාදයන් ඔස්සේ සමහර සංසිද්ධීන් පැහැදිලි කළ නොහැකි බව වැටහෙනවා.

මේ ලිපිය කියවන ඔබ විවිධ වයස් මට්ටම්වල පසු වනවා විය හැකියි.විවිධ මතවාදයන් තුල සිටිනවා ද විය හැකියි. තම තමන්ගේ හිතට එකඟ ව ස්වාධීන වූ මතයන් දැරීමට ඔබටත් මටත් ඇති අයිතියට මා සැමදා ගරු කරනවා. එබැවින් මෙහි ලා මා දක්වන අදහස් ඔබ අතරින් කිසිවකු දරන්නා වූ මතය විවේචනය කිරීමේ හෝ නිෂ්ප්‍රභ කිරීමේ අරමුණින් කරන්නක් නොවන බව ඔබ වටහා ගන්නා බව මට විශ්වාසයි.

දශක කිහිපයකට පෙර මා දැඩි භෞතිකවාදියකු ව සිටියා. එසේ ම කිසිදු දෙයක්, දෙන සැටියෙන් භාර නොගෙන ප්‍රශ්න කිරිමෙන් හා විචාරීමෙන් පසුව පමණක් භාර ගන්නා ස්ථාවරයක සිටියා. ( දෙවනු කී කරුණ නම් අදටත් එසේ මැයි.)

එහෙත් භෞතිකවාදයට, මගේ සමහර ගැටළුවලට පමණක් නොව භෞතිකවාදයේ පදනම පිළිබඳ ව මා ඇසූ ප්‍රශ්නවලටත් පිළිතුරු දීමට හැකි වූයේ නැහැ.

භෞතිකවාදය යනු -මා දන්නා තරමින්- මූලික වශයෙන්, අපගේ පංචේන්ද්‍රියයන්ට ගෝචර වන දේ පමණක් පවතීය යනු පිළි ගැනීමයි. ඇස, කන, නාසය, දිව හා සම, යන ඉන්ර්‍ද්‍රියන්ට දැනෙන දෙයෙහි පැවැත්ම පමණක් පිළි ගැනීමයි.

මෙහි දී අප බොහෝ විට අමතක කරන දෙයක් වනුයේ මෙම ඉන්ද්‍රියන්ගේ සංවේදීතාවේ සීමාවයි. අපගේ කන සංවේදී වන්නේ හර්ට්ස් 20 සිට 20000 දක්වා කම්පන සංඛ්‍යාතයකින් යුතු ශබ්ද පමණයි. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ, දෘෂ්‍ය ආලෝකය නමැති සීමිත කොටසට පමණයි අපගේ ඇස සංවේදී වන්නේ. බොහෝ සතුන ට ඇති ඉව දැනීමේ හැකියාව අපගේ නාසයට නැහැ.

අපගේ ඉන්ද්‍රිය සංවේදීතාවේ සීමාව පමණක් නොව තීව්‍රතාව අනුවත් අපට සංවේදනය වන දේ වෙනස් වෙනවා. එකම දෙයක් දෙස පියවි ඇසින් හා අන්වීක්ෂය තුලින් බැලූ විට අපට පෙනෙන්නේ එක ම දෙයම ද?.

පවත්නා බව අද අප හොඳින් ම දන්නා චුම්බකත්වය, විදුලිය වැනි දේවල් අපගේ කිසිදු ඉන්ද්‍රියයකට හසු වන්නේ නැහැ.ඒවායේ පැවැත්ම අපට වටහා ගත හැක්කේ ඒවායේ විවිධ ඵලයන් (තාපන ඵල, ආලෝක ඵල,)අපගේ ඉන්ද්‍රියයන්ට ගෝචර වීම තුලිනු යි.

මෙහිදී කෙනෙකුට තර්ක කළ හැකියි, චුම්බකත්වය හා විදුලිය වැනි දේවල පැවැත්ම ඒවායේ ඵලයන් හරහා තහවුරු වී ඇති නිසාත් අති සියුම් ජීවීන්, සෛල ආදියේ පැවැත්ම අන්වීක්ෂය සොයා ගැනීම හරහා තහවුරු වී ඇති නිසාත් භෞතික වාදීන් ඒවායේ පැවැත්ම පිළි ගන්නවා කියා.

එතකොට මෙම උපකරණ සොයා ගැනීමට පෙර අතීතයේ විසූ භෞතික වාදීන්? (බුද්ධ කාලීන භාරතයේ සිටි බව කියැවෙන ෂඩ් ශාස්තෘවරුන් අතරින් එක් අයකු භෞතිකවාදියෙක්) ඔවුන් විදුලිය, චුම්බකත්වය, සියුම් ජීවීන් හා සෛල ආදියේ පැවැත්ම පිළිගන්නට ඇද්ද? නැති නම් ඉන්ද්‍රිය ගෝචර නොවන විඤ්ඤානවාදී අදහස් ලෙස බැහැර කරන්නට ඇද්ද?

විසිවන සිය වසේ ආරම්භයේ සිට අද දක්වා විද්‍යාවේ හා තාක්ෂණයේ සිදු ව ඇති දියුණුව අදහා ගැනීමටත් නොහැකි තරම්. භෞතික වාදීන් අද විඤ්ඤානවාදී අදහස් ලෙස බැහැර කරන දේවල් වල පැවැත්ම ඔප්පු කරන විද්‍යාත්මක හා තාක්ෂණික සොයා ගැනීම් අනාගතයේදී සිදු වුව හොත්? එදාට ඒවායේ පැවැත්ම පිළිගන්නවාද?

නැවතත් කෙනෙකු තර්ක කරනු ඇති, ඔව්. විද්‍යාත්මක ව යමක් තහවුරු වන්නේ නම් එය පිළි ගන්නවා කියා. එවිට මෙහි අවසානය කුමක් ද? විඤ්ඤානවාදී අදහස් සියල්ල කාලයත් සමග විද්‍යාත්මක ව තහවුරු වුව හොත් එදාට භෞතිකවාදය හා විඤ්ඤානවාදය සමපාත වෙනවාද?

ඒ ඒ අවස්ථාව දක්වා විද්‍යාත්මක ව තහවුරු වී ඇති දෑ පමණක් පිළි ගැනීමත්, විචාරශීලී වීමත් යනු එකක් නොව දෙකක්.

දෘෂ්ඨිවාද වලින් බැහැර ව, විවෘත මනසින් යුතු ව යමක් දෙස බැලීමෙන් බොහෝ දුරට එහි යථා තත්ත්වය වටහා ගත හැකියි. මා ද අනුගමනය කරන්නේ ඒ මඟ යි.

මේ සම්බන්ධ ව ඔබේ අදහස මීට වෙනස් විය හැකියි. ඔබගේ අදහස් ද දැන ගැනීමට කැමතියි.

Thursday, April 5, 2018

අසම්මතයේ පිපුණු මල්

- බන්ධුල සිසිර කුමාර -



මිනිසුන් ප්‍රසිද්ධියේ කථා බහ කිරීමට තරමක් මැළි වන මාතෘකාවක් පසුගිය කාලයෙහි මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වනු අප දුටුවා. ඒ සමරිසි පුද්ගලයන්, ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳ නෛතික ගැටළු ආදිය සම්බන්ධවයි. 

සමාජයකින් 10% ක පමණ ප්‍රමාණයක් සමරිසි පුද්ගලයන් (ගැහැණුන් හා පිරිමින්) විය හැකි බව කිසියම් විද්වතකු විසින් පවසා තිබුණා. එහෙත් එහි සත්‍යාසත්‍ය භාවය හෝ මූලාශ්‍රය සෙවීමට මා මෙහිදී වෙහෙස නොවන්නේ එය මෙම ලිපියේ ප්‍රස්තුතයට අදාල නොවන නිසයි. එසේ ම එබඳු පුද්ගලයන් වෙනුවෙන් හෝ ඔවුනට එරෙහි ව හෝ අදහස් ප්‍රකාශ කිරීම මෙහි අරමුණ නොවෙයි.

සමාජයේ පවතින, සහ අතීතයේ සිට පැවතගෙන එන සමහර ගී, ජනකවි ආදිය පිළිබඳ ව විමසුම් ඇසින් බැලීමේදී සමරිසි සාහිත්‍යයක් ලෙස නම් කළ හැකි යමක් ද පවතින්නේ යයි සිතෙනවා. මේ කතිකාව ඒ ගැනයි.

මෙබඳු නැඹුරුවක් පෙන්නුම් කෙරෙන ගීත කිහිපයක් ඇති අතර ඉනුදු කැපී පෙනෙන එක් ගීතයක් පිළිබඳ ව අවධානය යොමු කරමු.

(මෙහිදී සාකච්ඡා කෙරෙන ගීතයේ ගේය පද රචිකාවිය එබඳු තේමාවක් අරමුණු කරගෙන මෙම ගීතය රචනා නොකළා විය හැකියි. මා අදහස් කරන්නේ, අහඹුවකින් හෝ මෙම ගීතය නිර්මාණය වී ඇත්තේ එවැන්නක් මනා ව විවරණය කෙරෙන පරිදි බවයි. මෙම ලිපියෙන් එය සාකච්ඡාවට ගැනීමෙන්, කිසියම් අපහසුතාවක් හෝ සිත් වේදනාවක් ඇති වේ නම් ඒ පිළිබඳ ව එතුමියගෙන් සමාව අයදිනවා.)

ගහක මල් පිපිලා 
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
සිතක මල් පිපිලා 
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි
මා තවම නොදන්නෙමී
නුඹට හිත බැඳි කාරණේ
මම තවම සොයන්නෙමී


මෙම කොටසින් කියැවෙන අන්දමට, මෙම සිත් බැඳීම කුමක් නිසා සිදු වූයේ දැයි ඔහුට ම සිතා ගන්නට බැහැ. එසේ වූයේ මන්දැයි යන්න ඔහු තවමත් සොයනවා. මෙම බැඳීම සම්මත එකක් වූයේ නම් මෙබඳු පැනයක් නැගෙන්නේ නැහැ. ස්වභාවිකව ම සිදු වන ආකාරය එය නිසා.


කතරෙ වැලි කැට හිරු ට පෙම් බැඳ 
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරක් 
ආදරෙයි පණ මෙන්
ලොවට නො‍පෙනෙන අරුම සෙනෙහස 
ඒවගෙයි මනරම්
කරනු බැරි තහනම්

ලෝ දහම මෙ ආකාර වුව ද ඊට හාත්පසින් විරුද්ධ බැඳීම් ඇති බව ද, තම "අරුම" සෙනෙහස ද එ ආකාර බව ද, එය ලොවට නොපෙනෙන බව ද ඔහු පවසයි. සම්මත ආදරයක්, "අරුම" සෙනෙහසක් නොවන්නේ එය පොදු සමාජයට වටහා ගත හැකි හා සොබා දහමට එකඟ වූවක් නිසයි. එසේ ම ඔහුගේ ආදරය ලොවට නොපෙනෙන්නේ එය සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන නිසා සඟවාගෙන සිටීමට සිදුව ඇති බැවිනුයි. දැනට ක්‍රියාත්මක නීතිය යටතේ සමරිසි හැසිරීම් නීති විරෝධීයි. ඒ ආදරය තහනම් කළ නොහැකි බව ඔහු විශේෂයෙන් කීමට ද හේතුව එය බවයි මා සිතන්නේ. ගැහැණු - පිරිමි ආදරයකට බාධා, විරෝධතා අකුල් හෙළීම් වැනී දෑ ඇති විය හැකි නමුත් "තහනම" යන්න ඒ විෂයෙහි අදාල වන්නෙ නැහැ.


සඳට සදහට සෙනේ පෑ මුත් 
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එක ද තරුවක් 
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය 
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්


ගීතයේ දෙවන කොටස වෙන් ම, මෙම තුන් වන කොටසින් ද ඇසෙන්නේ, සොබා දහමේ සම්මත ආකාරයට පටහැනි ව ගිය අයකු ඉතා කලාතුරකින් හෝ සිටිය ‍නොහැකි ද යන්නයි. විද්‍යාත්මක පසුබිම අනුව, හිරු ද තරුවක් බව අප දන්නවා. එය ද සැලකූ විට, "හිරුට පෙම් බැඳි එක ද තරුවක් සිටිය නොහැකිද යම්" යන පාදයෙහි අරුත වඩාත් තීව්‍ර වනවා.

ඔහු තුල ඇති වූ ප්‍රේමය, ඊට බඳුන් වූ පුද්ගලයාට ද වැටහෙන්නේ නැහැ. එසේ වන්නේ එය බලාපොරොත්තු නොවන, අසාමාන්‍ය ආකාරයේ එකක් නිසයි. එය දැන ගත හොත් ඔහු පුදුම වේ යයි කියනවා. සමාජ සම්මත ආකාරයේ ආදරයක, අනෙකා තුල පුදුමය ඇති කරවන ආකාරයේ යමක් තිබිය නොහැකියි.

සමරිසි සාහිත්‍ය යනුවෙන් සාහිත්‍යාංගයක් වේ නම් ඊට ඇතුලත් කළ හැකි ජන කවි ද අපේ සාහිත්‍ය තුල තිබෙනවා. පහළ ඌවේ ජන කවි නමැති ජනකවි එකතුවෙහි, එම ප්‍රදේශයේ ජන කවි විවිධ මාතෘකා යටතේ වර්ග කර තිබෙනවා. එහි "ස්ත්‍රී ජාති ගුණ නැත බණ පොතේවත්" යනුවෙන් නම් කර ඇති කාණ්ඩය තුල ඇතුලත් ව ඇත්තේ මෙබඳු නැඹුරුවක් සහිත ජන කවි රැසක්. පහතින් දක්වා ඇත්තේ එහි වූ එක් ජන කවියක්.(දැනට දශක දෙකකට පමණ ඉහත විකාශනය වූ "ඉමදිය මංකඩ" ටෙලි නාටකයෙහිද මෙම ජන කවිය ඇතුලත් ව තිබුණා මතකයි.)


ගෑණු උපන්නේ මේ රට කඹුරන්             ට 
ගෑණු උයන බත් මාළුත් නොදකින්          ට
පිරිමි පිරිමි එක නුවරක උපදින්               ට
ගෑණු නැති රටක් නැද්දෝ මට යන්         ට


ඉහත කී ජන කවි එකතුවෙහි, අදාල කාණ්ඩයේ සියලු කවිවල දැකිය හැකි පොදු ලක්ෂණයක් ද තිබෙනවා. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තමන් තුල ඇති අකැමැත්ත මිස සාමාජීය පීඩනයක් පිළිබඳ කිසිදු අදහසක් ඒවා තුලින් ප්‍රකාශ නොවීමයි ඒ. මෙම ජන කණ්ඩායම්වල විමුක්තිය වෙනුවෙන් යයි හඬ නගන සංවිධානත්, ඔවුන්ගේ අවශ්‍යතාවනට එරෙහි වූ නීතිමය පසුබිමකුත් යන අන්ත දෙකින්ම බැහැර වූ අතීත සමාජයෙහි මෙබඳු ගැහැණුන් හා පිරිමින්, සම්මත සමාජ හර පද්ධතීන් හා රීතින් ප්‍රසිද්ධියේ බිඳ නොහෙළමින් සිය සිතැඟියාවන් ලොවට නොපෙනී ඉටු කර ගැනීම ඊට හේතුව වූවා විය හැකියි.

මුලින් සඳහන් කළ ගීතය, මේ සබැදිය ඔස්සේ අසන්න පුළුවන්.

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...