Sunday, December 31, 2017

අපිට අමතක වූ අපි


බන්ධුල සිසිර කුමාර -



අපේ අතීතය, ප්‍රධාන වශයෙන් අනුරාධපුර යුගයේ අග භාගයේ සිට විමසිල්ලෙන් නිරීක්ෂණය කළ හොත් දැක ගත හැකි දෙයක් තමයි, වසර දෙසීයකට පමණ වරක් අප මත මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී ඇති බව. මේ ප්‍රහාරයන්වලට ගොදුරු වෙමිනුත් අප අපගේ දැනුම, තාක්ෂණය, සම්ප්‍රදාය ආදි දේ රැකගෙන බොහෝ කලක් පැවතුණා. මේවා අතුරින් සමහර ප්‍රහාර අතිශය තීරණාත්මක වුණා. පොළොන්නරු යුගය අවසාන කරමින් කාලිංග මාඝ විසින් වසර හත් සියයකට පමණ පෙර එල්ල කළ ප්‍රහාර මාලාවත් 1818 න් පසු ඉංග්‍රීසින් විසින් කළ විනාශ කිරීම්, ප්‍රහාර හා තහනම් නීති රීති පැණවිම් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

කාලිංග මාඝගේ ප්‍රහාරයන් වලදී වයස 16 ට වැඩි සියලු පිරිමින් මරා දැමීමට නියෝග කළ වගක් පැවසෙනවා. (මෙවැනි ක්‍රියාවක් 1818 හෝ 1848 කැරලි සමයේදී ඉංග්‍රීසින් විසින් ද ක්‍රියාත්මක කළ බවට කතාවක් තිබෙනවා.) එවැන්නක් සිදු වුවහොත්, රටක ඒ දක්වා පැවති දැනුම, තාක්ෂණය, ශිල්ප ක්‍රම, අභිමානය ආදි බොහෝ දෑ අහෝසි වී යනවා. ඉන් පසු නැවත ජාතිය වර්ධනය වන්නේ මව් වරුන්, මිත්තණියන් ඇසුරේ හැදී වැඩුණු කුඩා ළමුන් ලොකු මහත් වීමෙන්. ඔවුනට උගැන්වීමට, මග පෙන්වීමට පිරිමි පරපුරක් නැහැ . ඇත්ත වශයෙන් ම අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හි ඉදි වූ මහා කලා නිර්මාණ, විශිෂ්ට ගණයේ සෙල් මුවා පිළිම, බිතු සිතුවම්, මහා වෙහෙර විහාර ආදිය පොළොන්නරු යුගයෙන් පසු නැවතත් ඉදි නොවීමට හේතුව මෙය විය හැකියි.

ඉංග්‍රීසි පාලකයන් විසින් ද, අපගේ ආර්ථිත රටාවන් හා සම්ප්‍රදායන් වෙනස් කිරීම, අපේ වාරිමාර්ග පද්ධතිය කඩා බිඳ දැමීම, ඉන් පසු අපට ආහාර සැපයීමේ කාර්යය අප මත ම පැටවීමේ අරමුණින් වැව් අමුණු නැවත ප්‍රතිසංස්කරණය කළ ද, පැවති විශීෂ්ට වාරිමාර්ග පද්ධතිය විකෘති කිරීම හා අපේ අද්විතීය නිර්මාණයන් වූ බිසෝ කොටුව වැනි අංගයන් කඩා ඉවත් කිරීම, ෂෙපීල්ඩ් වානේ වලටත් වඩා උසස් යයි ඔවුන් ම පිළි ගත්, සහශ්‍ර වර්ෂ ගණනාවක් වර්ධනය වී ඉතා ඉහළ මට්ටකට පැමීණ තිබූ අපේ වානේ කර්මාන්තය තහනම් කර එංගලන්තයේ වානේ වලට අපේ රට තුල වෙළඳ පොළක් සැකසීම, තමන් ට තර්ජනයක් වීම වැළැක්වීමේ අරමුණින්, ඉතා දියුණු අඩියක පැවැති අපගේ අංගම් ශිල්පය ඉගැන්වීම තහනම් කිරීම වැනි අනේක විධ විනාශයන් රැසක් අප වෙත එල්ල කළා.

නාමික ව ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී ඇත ද, ආර්ථික වශයෙන් ඔවුන්ගේ මළ පුඩුවෙහි සිර ව සිටින, නිදහසින් පසු යුගයේ ද, විජාතික කරණය, ඉතිහාසය පාසල් විෂය මාලාව තුලින් ඉවත් කිරීම ආදී කටයුතු මගින්, තමන් කවුරුන් ද, තමන්ගේ අතීතය කෙබඳු ද යන්න නොදත් ජාතියක් බිහි වීම වැනි විනාශයන් දිගින් දිගට ම සිදු වුණා.

මේ පිළිබඳ ව අපි ඉදිරි ලිපියක දී වැඩි දුරටත් කතා කරමු. අද මා කියන්න ට බලාපොරොත්තු වුණේ මෙහි කියවුණු  දෙයක් වූ වානේ කර්මාන්තය හා සෙල් මුවා පිළිම නෙලීමට අදාල පුංචි කාරණාවක්.

අනුරාධපුර හා පොළොන්නරු යුගවල ඉදි වූ සෙල් මුවා පිළිම, සඳකඩ පහණ ආදිය දකින සමහරු කියන කථාවත් තමයි, ගල් මොළොක් කරන බෙහෙත් එකල තිබෙන්නට ඇතිය කියන එක. තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයකු වන මා දන්නා දෙයක් තමයි, යමක් මනා ලෙස කැපීමට අත්‍යවශ්‍ය වන්නේ මොළොක් වීම නොව අභ්‍යන්තර ආතතීන් නොමැතී වීම හා එය කැපිය හැකි ආවුදයක් සකසා ගැනීම බව. ගල්වලට වඩා බෙහෙවින් මෙළෙක් වූ ලී කැබැල්ලකින් වුවත් නිර්මාණයක් කිරීමේදී අභ්‍යන්තර ආතතීන් නිසා එය කැඩී යා හැකියි.

ගල් මොළොක් කරන බෙහෙත් නොව, ගල්වල අභ්‍යන්තර ආතතීන් ඉවත් කරන ශිල්ප ක්‍රම හෝ රසායන ද්‍රව්‍ය තිබෙන්නට ඇති. එසේ නැත්නම් අභ්‍යන්තර ආතතීන් රහිත ගල් තෝරා ගැනීමේ ශිල්ප ක්‍රම තිබුණා විය හැකියි.

අනෙක් කරුණ වන්නේ ආවුදය සකසා ගැනීමයි. නියමාකාරයෙන් වානේ සංයෝග කිරීමේ හා නියම පමණට පණ පෙවීමේ තාක්ෂණය ඇති ශීල්පීන් හට ඉතා විශාල පරාසයක් තුල විවිධ දැඩි බවින් යුතු වූ ද්‍රව්‍යයන් කැපීම සඳහා විවිධ කැපුම් ආවුද නිපදවීම මහා ලොකු දෙයක් නොවෙයි. වානේ තාක්ෂණය අතින් ඉතා ඉහළ සිටි අපේ පැරැන්නන් ඉතා පහසුවෙන් මේ ආවුද තනා ගන්නට ඇති.

ප්‍රතිමාවල මිනුම් හා අනුපාත පිළිබඳ ව එකල තිබූ "බිම්බමානය නොහොත් ශාරිපුත්‍රය" වැනි පොතපත අදටත් සොයා ගැනීමට තිබෙනවා. නිවැරදි අනුපාත පිහිටුවා ගැනීමට ඒ දැනුම භාවිතා වන්නට ඇති. ඒ අනුපාතයන්ට අනුව ත්‍රිමාණ ව ප්‍රතිමාව නෙලීමේදී ඊට අදාල විවිධ උපකරණ හා ශිල්ප ක්‍රම යොදා ගෙන තිබෙනවා. මේ සඳහා භාවිතා වූ එක් සැකැස්මක් වන "ලඹ තට්ටුව" නමැති සැකැස්ම කොළඹ කෞතුකාගාරයේදී දැක ගත හැකියි.

මේ විශිෂ්ට නිර්මාණ සඳහා බලපෑ තවත් කරුණක් නම් ශිල්පියාගේ සංයමය හා විනය යි. ඒ සංයමය සහ විනය සඳහා සාම්ප්‍රදායික විශ්වාස ආදියත් කිසියම් බල පෑමක් ඉටු කර තිබෙන බව පෙනෙනවා. ප්‍රතිමාවක ඒ ඒ කොටස නිර්මාණයේදී වැරදි සිදු කළ හොත් ශිල්පියාගේ පවුලේ ඒ ඒ අයට අපල ඇතිවන බවට විශ්වාසයන් පැවතී තිබෙනවා. මේ නිසයි අපට විකෘති වූ ප්‍රතිමාවන් දැක ගැනීම අති දුලබ වන්නේ.

ඇත්ත වශයෙන් ම, අද අප අතරින් සමහරුන් භෞතිකවාදී ව අවඥාවෙන් බැහැර කළ ද අපගේ විනය පවත්වා ගැනීම සඳහා අතීතයේ මෙම සාම්ප්‍රදායික විශ්වාස ද, වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනෙනවා. 

තව බොහෝ දෑ ඉදිරි දිනක කතා කරමු.

මෙය ලියන විට මගේ හිතට නැගුණු ගීතයකුත් මේ සබැඳිය ඔස්සේ අහන්න.

සුද්දා බිසෝ කොටුව කඩන්න නියෝග කළේ ඇයි?



බන්ධුල සිසිර කුමාර



වේල්ලට කිසිදු හානියක් නොවී මහා ජලාශයකින්, පාලනයක් සහිතව ජලය පිටතට ගැනීමේ තාක්ෂණය ලෝතයට හඳුන්වා දුන්නෙ අප. මේ සඳහා ඉදිකරන ලද ව්‍යූහයට කියන නම තමයි බිසෝ කොටුව කියන්නෙ. ඉංග්‍රීසීන් මුලින් ම අපේ වැව් අමුණු පද්ධතිය වනසා දමනවා. ඒ එතෙක් ශක්තිමත් ව පැවතුණු අපේ පදනම බිඳ දමන්න. පසු කාලයක ඔවුන් ම අපේ මහ වැව් කිහිපයක් අළුත් වැඩියා කරනවා. ඒ යටත් වැසියාගෙ බත සපයා ගැනීමේ කාර්යය ඔහුට ම කර ගන්නට ඉඩ සළසා තමන්ගෙ වැඩ අඩු කර ගන්න. ඒත් එහිදී ඔවුන්, එතෙක් හොඳ තත්ත්වයේ පැවති බිසෝ කොටු එකක් වත් අළුත් වැඩියා කරන්න ඉඩ දෙන්නෙ නැහැ. ඒවා කඩා දාන්න නියම කරනවා. අපේ අනන්‍යතාවය හා අපේ අභිමානය ඒ නිර්මිතයෙහි රැඳී තිබෙන නිසයි ඒ එසේ කරන්නෙ. පාකර් මෙයට විරුද්ධ වුණත් ඔහුට ආණ්ඩුකාරවරයාගෙ නියෝගය ක්‍රියාත්මක කරන්න වෙනවා. මේවා කඩා දැමීමට නොහැකි .තරම් ශක්තිමත් බව ඔහු වරෙක කියනවා.

කෙසේ වුවත් අවසානයේ සිදුවන්නේ එතෙක් පැවැති බිසෝකොටු බොහොමයක් විනාශ කරනු ලැබීමත්, ඉතිරි ඒවා භාවිතයෙන් ඉවත් වීමත්. ඉංග්‍රීසීන් ඒ වෙනුවට ඒ සිද්ධාන්තයම ක්‍රියාත්මත වෙන, එහෙත් ඔවුන් ගේ අනන්‍ය ලකුණ සහිත වෙනත් නිර්මිතයන් ඒ සඳහා ඉදිකරනවා.

ජනතාවගේ අවශ්‍යතාවක් මත නොව දේශපාලකයන් අතලොස්සකගේ පුද්ගලික කෝන්තර හා බල ලෝභය හේතු කොට ගෙන, යුද්ධයකින් කවදාවත් ආක්‍රමණිතයකුට සම්පූර්ණයෙන් යටත් කරගත නොහැකි වූ අපේ රට කුමන්ත්‍රණාත්මක කපටි ව්‍යාජ ගිවිසුමක් මගින් වසර 202 කට පෙර 1815 දී ඉංග්‍රීසීන් විසින් යටත් කර ගනු ලැබුවා. 

ඒ හේතුවෙන් අපට අහිමි වී ගිය බොහෝ දේවල් අතරින් එකක් පමණයි මේ. අනෙක් ඒවාත් ලියන්න ගියොත් මේ ලිපිය බොහෝ දීර්ඝ වේවි. ඒ නිසා ඒවා ගැන පසුව කථා කරමු.

ඔබ සමහරු කියාවි අපට ඔවුන්ගෙන් ලැබුණු දේත් තියනවා නේද කියා. ඒ දේවල් ලැබෙන්නේ යටත් විජිතයක් වුණොත් විතරද? එසේ වෙනවා නම් (දෙවැනි ලෝක යුද්ධයේදී පරාජය බාර ගැනීම හැර) කවදාවත් කාගෙවත් යටත් විජිතයක් නොවුණු ජපානය අද ගල් යුගයේ ද තිබෙන්නේ...?

කවදාද අපගේ මොළය පෑදෙන්නෙ....?

මේ සබැඳියේ ඇති වීඩියෝව බලන්න. බිසෝකොටුව ගැනත්, ඊට සිදු වූ දේ ගැනත් බොහෝ දෑ දැනගත හැකි වේවි.


https://www.youtube.com/watch?v=gh0x5XusJ4M

Sunday, December 24, 2017

අවසාන සමුගැනීම

බන්ධුල සිසිර කුමාර -





නවකතාවක් සිනමාවට නැගීම, කතාවක් කාව්‍ය හෝ ගීත නිර්මාණයක් බවට හැරවීම ආදී වශයෙන් නිර්මාණයක් වෙනත් මාධ්‍යයකට හැරවීමේ දී සිදුවිය යුත්තේ කුමක් ද? මෙහිදී මා දරන අදහස නම් මුල් නිර්මාණය අප තුල ඇති කරන රස භාවයන් කෙබඳු ද, එම රස භාවයම හෝ ඊට ඉතා ආසන්න රස භාවයන් සහෘදයා තුල ඇති කළ හැකි නම් පමණක් ඒ නිර්මාණය වෙනත් මාධ්‍යයකට හැරවීම සාර්ථක වී ඇති බව කිව හැකියි. අපේ රටේත් විදේශ රටවලත්, නව කතා හා ඒවා ආශ්‍රයෙන් නිමැවුණු සිනමා කෘති විමසීමේදී මෙම අවශ්‍යතාවය ඉටු නොවූ අවස්ථා තමයි වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ. එය සාර්ථක ව ඉටු වූ අවස්ථා ගැන සළකා බලද්දී සිහියට නැගෙන එක් උදාහරණයක් තමයි තුංමංහන්දිය. නවකථාවේ රචකයා මෙන්ම සිනමා පටයේ අධ්‍යක්ෂ වරයාත් එක් අයකු වීම වගේම මහගම සේකරයන් වෙත වූ අති විශිෂ්ට ප්‍රතිභා ශක්තියත් මේ සඳහා බල පාන්නට ඇති.

ඒත් මා මේ ලිපිය පටන් ගත්තේ සිනමා පට ගැන කියන්නට නොවේ.

කිසියම් නවකතාවක සියලු රස භාවයන් කැටි කොට ගත් ගීතයක් නිමැවුණු අවස්ථා ඔබ අසා තිබේ ද?

මා සඳහන් කරන්නට යන ගීතය අලුත් එකක් නොවේ. එය දශක ගණනක් පැරණියි. එහෙත් පැරණි වූ පමණින් නිර්මාණයක විශිෂ්ට ලක්ෂණයන්හි කල් ඉකුත් වී යන්නෙ නැහැ. මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගේ පද රචනයක්.

මේ 
කඳුලු බිංදුව මගෙ නොවෙයි
එය ඔබේමයි
එය ඔබේමයි

ඇඳ වියල ලඟ අඩ සඳින් දිදුලන
මළ තාරකාවක සිහිල කැටි වුණ
මේ
කඳුලු බිඳුවේ අයිතිකාරිය
ඔබ තමයි

හඬන්නට
කිසිදා නොදැන සිටි මට
මළ පොත කියා දී නොකියා ම ගිය
මේ
කඳුලු බිඳුවේ අයිතිකාරිය
ඔබ තමයි


එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා නවකතා යුගලයෙහි කියැවෙන ශෝකී ප්‍රේම වෘත්තාන්තය, එහි රස භාව ඒ ලෙසින් ම ජනිත වන ලෙස නිමැවුණු ගීතයක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. නවකතාවට සම්බන්ධ ස්ථාන නාම, පුද්ගල නාම ආදි කිසිවක් සඳහන් කිරීමක් පවා නොකර එම රස භාවයන් පමණක් ප්‍රතිනිර්මාණය කළ හැකිවිම මා නම් දකින්නෙ අති විශිෂ්ට හා අති දුර්ලභ හැකියාවක් ලෙසයි.

මා මේ ගීතයේ දකින සුවිශේෂීතාව එපමණකින් නිමා වෙන්නෙ නැහැ. ඉතා සරල හා අවම වචන කිහිපයකින් මේ මහා වික්‍රමය සිදු කරන අතර ම, සිංහල භාෂාවෙ වචනවල ඇති බහු අර්ථ, ශ්ලේෂාර්ථ ආදිය මනා ව හසුරුවා ගනිමින් විවිධ මංපෙත් ඔස්සේ අර්ථ නැංවෙන අයුරින් සිදු කර ඇති භාෂා භාවිතය මේ හැරුණු විට මා දැක ඇත්තෙ ගීත අතලොස්සක විතරයි. එයිනුත් සමහර ඒවා රත්න ශ්‍රී විජේසිංහ ශූරීන් ගේ ම ගීත නිර්මාණ. 

ගීතයේ දෙවන කොටසෙහි, කඳුලු බිඳුව ගැන පැවසීමේ දී, එය මළ තාරකාවක් සේ ශීතල බව කියැවෙනවා. තාරකාව ස්ත්‍රී රූපී ව ගත හොත්, එය කාන්තාවකගේ මළ සිරුරක් හා එහි ශීතල සිහියට නංවනවා. අනෙක් අතින් විද්‍යාත්මකව සළකා බාහිර අර්ථය ගතහොත්? මළ තාරකාවක් - දැවී නිම වූ තාරකාවක් යනු අධි ශීත වස්තුවක්. 

තුන් වැනි කොටසෙහි භාෂාව යොදා ගැනීමත් ඒ හා සමානයි. 

"හඬන්නට කිසිදා නොදැන සිටි මට - මළ පොත කියා දී නොකියා ම ගිය"

එක් අරුතක් සළකා බැලූ විට, මළ පොත කියවීම යනු අතීතයේ දී අවමඟුල් නිවෙස් වල ශෝකී ස්වරයෙන් කළ ගායනා විශේෂයක්. මෙතෙක් කල් හඬන්නට හුරු වී නොසිටි ඔහුට ඇය එම ශෝකී පසුබිම නිර්මාණය කර නික්ම යනවා. අනෙක් අරුත සැලකූ විට, නොදන්නා කෙනෙකුට මුලින් ම අකුරු කියාදෙන පොත ලෙසත් මළ පොත සඳහන් වෙනවා නේ. (මළ පොතේ අකුරක් බැරි මිනිසුන්) ඒ අරුතින් ගත් විට දීත්, හඬන්නට නොදත් ඔහුට හැඬීමේ මළ පොත කියා දෙන්නෙ ඇයයි.

එසේ ම මේ කොටස් දෙකෙහි ම ඇසෙන "මළ" යන්නෙහි ධ්වනිතාර්ථයෙන් මේ කථාවෙහි ශෝකී අවසානය හඟවනවා.

මෙම ගීතයේ ඊ ළඟ වික්‍රමය මා දකින්නෙ සංගීත නිර්මාණකරු රෝහණ වීරසිංහයන් වෙතින්. 

මේ තරම් විශීෂ්ට ගීත රචනාවක් ව තිබියදීත්, පාද එකින් එකට විවිධ මාත්‍රා ගණන් සහිත ව නිසඳැසක් මෙන් ලියැවී ඇති මේ පද මාලාව සුගායනීය වන අයුරින් මෙන් ම අර්ථය ද කුළු ගැන්වෙන අයුරින්, අවම වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක්ද යෙදෙන පරිදි මේ ගීතයට සංගීත නිර්මාණය කර තිබීමත් අතිශය දුර්ලභ ගණයේ දක්ෂතාවක් ලෙසයි මා දකින්නෙ.

මේ සියලු දේ එක්තැන් වූ මේ අපූරු ගීතයට ප්‍රාණය දෙන්නෙ සුනිල් එදිරිසිංහයන්, ඔහුගේ සුවිශේෂී කටහඬින් හා ගායන විලාශයෙන්.

ඔබ මේ ගීතය අනන්නවත් අසා ඇති. එහෙත් මනා අවධානයෙන් නැවතත් අසා බලන්න.

මෙන්න සබැඳිය.

Tuesday, December 19, 2017

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ


බන්ධුල සිසිර කුමාර -


අපට අසන්නට ලැබෙන ගීත අතර සමහර අපූරු ගීත තිබෙනවා, ඉන් කියැවෙන්නේ කුමක් ගැනදැයි එක් වචනයකින් හෝ නොකියවෙන. රෝහණ බැද්දගේ ශූරීන් ගායනා කරන මේ ගීතයත් එබඳු එකක්.

හෝ හෝ ජල්ලියා - ජල්ලි ජකිරි ජල්ලියා

තෙන් තෙඳිනානේ නා තෙඳිනානේ ජල්ලි ජකිරි ජල්ලියා

රා මදිතෙයි - රා බොමුතෙයි - දබර වෙතෙයි

පාන් කතෙයි - කහට බොතෙයි - රෑ නටතෙයි

අද හිරු පායයි දෝ

හෙට හිරු පායයි දෝ

කමත වටේ යන - එක තැන කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



බාලොලි බාලොලි - සින්දු ද සීපද - රස කතන්දර කියඤ්ඤා

පැණි කොමඩු කැකිරි - සූකිරි මීපැණි - රත්තරන් හැන්දෙන් කවඤ්ඤා

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



ජහ් පිට ජහ් මහ් - ඉක්මන් ගමනට - පැත්තෙන් පැත්තට දක්කඤ්ඤා

කීකරු නූනොත් - චටාස් පටාස් - පිට හරහට දෙසඤ්ඤා

හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ

අඳුරේ

කුර ගානා



මෙය අසන ඔබට විවිධ චිත්ත රූප මැවෙනවා ඇති. ඒ අනුව ඔබ මේ ගීතයට විවිධ අර්ථකථන දෙනවා ඇති. එහෙත් මට හිතෙන්නේ මේ විවරණය කරන්නේ අපේ සමාජයේ එක්තරා පැති කඩක් කියලයි.

ඊට අනුව මෙය අපේ රටේ දේශපාලනය හා බැඳුණු එක්තරා දෙයක්. මා මගේ බ්ලොගය තුල පක්ෂ දේශපාලනය පිළිබඳ ව කථා කරන්නනේ නැහැ. එහෙත් මේ කියන කතාව පක්ෂ භේදයක් නැති පොදු කථාවක්. මේ ගීතය තුලින් මා දකින දෙය විස්තර කරන්න අත්‍යවශ්‍ය වන නිසා නීරස ඒ මාතෘකාවට අදාල කරුණු කිහිපයක් පමණක් මෙහි සඳහන් කරනවා.

බහු පක්ෂ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වීමට නම් ඡන්ද දායකයා හොඳ විචාර බුද්ධියක් හා ප්‍රමාණවත් අවම දැන උගත් කමක් තිබිය යුතු අයකු විය යුතු යැයි මා සිතනවා. නිදහසින් පසු අපේ ගමන් මග විචාරශීලී ව නිරීක්ෂණය කළ හොත් ඡන්ද දායකයා විසින් වැරදි තීරණ ගත්, ඒ අනුව මුළු රටේ ම ඉදිරි ගමන වියවුල් තත්ත්වයනට මුහුණ පෑ අවස්ථා කිහිපයක් හෝ දැග ගත හැකියි. " වරද ඇත්තේ වරින් වර පාලනය කරන කණ්ඩායම් අත නොව ජනතාව අතයි. එබැවින් මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගත යුතුයි" කියා කවුදෝ කියා තිබූ කියමන එවිට සිහි වෙනවා.

එවැනි ම තවත් දෙයක් මතකයට නැගෙනවා. ඉස්සර මැතිවරණ දිනවල රාත්‍රියේ රජයේ ගුවන්විදුලිය මගින් ගෙන එන මැතිවරණ ප්‍රතිඵල විකාශයක් තිබුණා. (මා හිතන්නේ එය දැනටත් සිදු වෙනවා) මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන නැඹුරුවට අනුරූප වන ගීත මෙම විකාශයේ වරින් වර වාදනය වෙනවා. දශක කිහිපයකට පෙර එක්තරා මැතිවරණයක ප්‍රතිඵලය, බලාපොරොත්තු නොවූ දිසාවකට හැරෙමින් තිබියදී "මේ රටේ මිනිස්සු - තනිකර කෙළින්නෙ පිස්සු" යන ගීතය වාදනය වූවා මට මතකයි.

මට හිතෙන අන්දමට නම් මේ තත්ත්වය අදාල වන්නෙ නූගත් ජන කණ්ඩායම් වලට පමණක් නොවෙයි. ප්‍රාමාණික උගත් කම් ඇති එහෙත් දේශපාලනික අවබෝධය හා විචාර බුද්ධිය අතින් ඉතා දිළිඳු පුද්ගලයන් මට බොහෝ සෙයින් හමුවී තිබෙනවා. ඔබ අතුරින් කිසිවකු මීට එරෙහි ව අවි අමෝරා ගෙන ආ හැකි නමුත් වරෙක මට මෙහෙම හිතෙනවා. ඒ, ප්‍රමාණවත් බුද්ධි ඵලයක් සහිත බව කිසියම් පරීක්ෂණයකින් තහවුරු කර ගත් පුද්ගලයන්ට පමණක් ඡන්ද බලය හිමි විය යුතු බවයි. (මිහිඳු හිමි දෙවන පෑතිස් රජුගේ බුද්ධි මට්ටම පිරික්සා බැලූ අයුරින් වත්.) 

දැන් නැවතත් අපි ගීතයට යොමු වෙමු.

ගම්, නගර හා අර්ධ නාගරික ප්‍රදේශ යන සියලු ජනාවාසයන් හි අපට දැක ගත හැකි කිසියම් ප්‍රජාවක් සිටිනවා ඉතා අඩු බුද්ධි මට්ටම්වලින් හා පහළ අධ්‍යාපනික මට්ටම් වලින් යුතු. ඔවුන්ගේ පහළ අධ්‍යාපන මට්ටමට බොහෝ විට හේතු වන්නේත් මේ අඩු බුද්ධි ඵලයයි. මේ හේතු දෙක ම නිසා ඔවුන්ගේ ආර්ථික මට්ටම ද අයහපත්. පක්ෂ භේදයකින් තොර ව විවිධ දේශපාලකයන්ගේ පසුපස වැටී සියලු බැල මෙහෙවර සඳහා සාමාන්‍යයෙන් ඉදිරිපත් වන්නේ මේ ප්‍රජාවයි. ඇත්තෙන් ම ඔවුන් ට ඒ වෙනුවෙන් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රතිලාභයක්. එහෙත් ඔවුන් ඉන්න තත්ත්වය අනුව ඔවුන්ට එය දැනෙන්නේ මහ මෙරක් ලෙසයි. මා සිතන්නේ මේ ගීයෙන් කියවෙන්නේ ඒ ප්‍රජාව ගැන බවයි.

ගීතයේ පළමු කොටසේ විස්තර කෙරෙන්නේ වැටී ඇති තැනින් කිසිදා ගොඩ ඒමක් නොමැති ව එකම තැන කරකැවෙන ඒ මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තියයි. 

තමාගේ කටයුතු කර ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් ට රස බස් කියා බලාපොරොත්තු ගොඩ නංවන ආකාරය, ගීතයේ දෙවන කොටසේ විස්තර වෙනවා. ඔවුන් කමතේ ගොයම් පෑගීමට යොදා ගන්නා ගවයන් වැනියි. ගොයම් පාගා දුන්නත් ඔවුන්ට එහි ඇති ගොයම් කන්නට බැහැ, හොම්බට කටකලියාවක් බැඳ ඇති නිසා.

අවශ්‍ය කටයුත්ත කර ගත්තට පස්සෙ ඔවුන් දක්කන්නෙ තමන්ට වුවමනා හැටියටයි. අකීකරු වෙන්න ගියොත් කෙවිටි පාර වදිනවා. තුන් වැනි කොටසෙන් කියැවෙන්නෙ එයයි.

මේ අපූරු ගීතයේ රචකයා හෝ සංගීත ශිල්පියා කවුරුන්දැයි සොයා ගන්නට බැරි වුණා. (මට හිතෙන්නේ ඒ ද රෝහණ බැද්දගේ ශූරීන් ම විය යුතු බවයි.) ඔබ ඒ පිළිබඳ යමක් දන්නේ නම් කමෙන්ටු ලෙස දක්වන්න.


පහත දැක්වෙන සබැඳිය ඔස්සේ ගීතය අසා බලන්න, ඔබට සිතෙන්නේත් මට සිතුණු දේ ම ද කියා.


Tuesday, December 12, 2017

ඉතිහාසය වෙනස් කළ මිනිස්සු -1

බන්ධුල සිසිර කුමාර-





අප සියලු දෙනා ම ජීවිතයේ යම් යම් තීරණාත්මක සන්ධිස්ථානයන් පසු කරනවා. එවැනි අවස්ථාවක දී, මෙසේ නොවී එසේ වූවා නම් අද අපගේ ජීවිත මීට වඩා හාත්පසින් ම වෙනස් තැනක තිබෙනු ඇති. ඔබේ ජීවිතයේ එබඳු අවස්ථාවන් කීයක් ඔබට සිහිපත් කළ හැකිද?

ඔබේ සිතිවිලි තවත් ටිකක් එපිටට විහිදුවා බැලුවොත් ඔබට පෙනේවි, අපේ ජීවිතයේ වගේ ම අපේ රටේ, ලෝකයේ ඉරණම, ගමන් මඟ තීරණය කළ තීරණාත්මක සන්ධිස්ථානයන් ද තිබුණු බව.


1815 දී අප රට මුළුමනින් ම ඉංග්‍රීසීන්ට යටත් නොවූයේ නම්............?

1505 පෘතුගීසීන්ට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත හැකි නොවූයේ නම්......??

1818 නිදහස් අරගලය ජයග්‍රහණයෙන් ම කෙළවර වූයේ නම්..........??


මේ එක් එක් සිද්ධිය මෙසේ වූයේ නම් අද අප රටේ තත්ත්වය කෙබඳු වනු ඇති ද?

මා මෙයට පෙර ලිපියකදීත් පැහැදිලි කළා, සැම දිනයක් ම ඊට පෙර දිනයේ ප්‍රතිඵලයක් මෙන් ම, ඊට පසු දිනයේ හේතුව ද වන බව. ඒ අනුව සතියකට, මාසයකට, අවුරුද්දකට, සියවසකට හෝ දහස් වසකට පෙර වුවත් සිදුවූ සිදු වීමක ප්‍රතිඵල අප අදටත් බුක්ති විඳිනවා. මේ කියන්න යන කථාවේ පසුබිමත් අපේ පරම්පරා කතාවේ එක් සන්ධිස්ථානයක්.

අපේ රටේ අද්විතීය අගනුවර වූ අනුරාධපුරයට වරින් වර දකුණු ඉන්දීය ආක්‍රමණ එල්ල වෙනවා. වරින් වර සතුරන්ට යටත් වෙමින්, යලි ඔවුන් පළවා හරිමින් සහශ්‍ර වර්ෂ ගණනාවක් මේ රාජධානිය බිඳ නොවැටී පවතිනවා. එහෙත් මීට හරියට ම වසර දහසකට පෙර 1017 දී අනුරාධපුරයට පහර දී රාජ්‍ය පැහැරගත් සොළී ආක්‍රමණිකයන් අනුරාධපුර නගරය අතහැර, එවකට ප්‍රත්‍යන්ත නගරයක් ව තිබූ පොළොන්නරුව සිය අගනුවර බවට පත් කර ගන්නවා.

තමන් විසින් අල්ලා ගත් යටත් විජිතයක් නැවත ගිලිහීයාමට කිසිදු ආක්‍රමණිකයකු ඉඩ තබන්නේ නැහැ. ආරක්ෂක විධිවිධාන, බුද්ධි සේවා, රහස් ප්‍රහාරක කණ්ඩායම් ආදි සකල විධ උපක්‍රම ඔවුන් ඒ සඳහා භාවිතා කරනවා. විශේෂයෙන් තමන්ට අභියෝග කිරීමට ඉඩ ඇති රාජ වංශිකයන් සොය සොයා ඝාතනය කර දැමීමද නිරන්තරයෙන් සිදු වූ බව පෙනෙනවා. මේ නිසා එවැනි ආක්‍රමණිකයකු හා සටන් කර ජය ලැබීමට ඉදිරිපත් වන පුද්ගලයා ද එවැනි ම වූ බුද්ධි සේවා ජාලයක්, පිරිස් බලයක්, අවි බලයක්, යුදවිද්‍යා දැනුම ආදී බොහෝ දෑ ගොඩ නගා ගත යුතුයි.

මේ සොළී පාලනයට වසර 48 ක් වෙද්දී කීර්ති නමැති කුමාරයෙක් සටන් මාලාවකින් අනතුරු ව ජයගෙන සොළීන් පළවා හරිනවා.

එය එසේ සිදු නොවූයේ නම් අප රටේ අද තත්ත්වය කුමක් විය හැකිද?

  • එතෙක් පැවැති සිංහල බෞද්ධ සංස්කෘතිය අහෝසි වී ගොස් මුලු රට ම ද්‍රවිඩ හින්දු රාජ්‍යයක් වී තිබෙනු ඇති......!
  • අප රට ඉන්දියාවේ ප්‍රාන්තයක් ව තිබෙනු ඇති.......!
  • අප රට තමිල්නාඩුවට අයත් භූමි ප්‍රදේශයක් ව තිබෙනු ඇති......!!
  • පසුකාලීන ව කිසිවකු විසින් සොළීන් පලවා හැරියත් ඒ වන විට ජාතිය හා සංස්කෘතිය බෙහෙවින් සංකර ව තිබෙනු ඇති....!!
මේ අතුරින් කිසියම් දෙයක් සිදු ව තිබිය හැකියි.

කීර්ති කුමාරයා, සොළීන් පළවා හැර අප රට නැවත නිදහස් කරගෙන විජයබාහු (i) නමින් රජ වූ බැවින් ඒ කිසිවක් සිදු වූයේ නැහැ.


ඒත් මා මේ කියන්න යන්නෙ කීර්ති කුමාරයා ගැන නොවෙයි..!


එහෙනම්......?

කීර්ති කුමරුගේ පියා ඔහු රැගෙන සැඟව යන විට ඔහු කුඩා දරුවෙක්. ප්‍රබල ඔත්තු සේවා ජාලයකින් යුක්ත ව රාජවංශිකයන් සොය සොයා ඝාතනය කරමින් සිටි වට පිටාවක ඔහුට සුරක්ෂිත ව හැදී වැඩී සටන් පුහුණුව ලබා සේනා සංවිධානය කර ගැනීම සඳහා ලැබුණු මහා රැකවරණය කුමක්ද?

අප රටේ ඈත ඉතිහාසයේ සිට ඇති වූ මෙවැනි පරිවර්තන ලක්ෂ්‍යයන් දෙස විමසිල්ලෙන් බැලුවහොත් ඒ අවස්ථාවන් පසුපස අප්‍රසිද්ධියේ හිඳින පුද්ගල චරිත දැක ගත හැකියි. අප ආක්‍රමණියන්ගේ ග්‍රහණයට හසු වූ යම් අවස්ථා විශ්ලේෂණය කරගෙන යාමේ දී යම් යම් පාලකයන්ගේ බල අරගල, සල්ලාලකම් ආදිය ඒ සිදුවීම්වලට මූල බීජය සපයා ඇති අන්දම පෙනී යනවා. එසේ ම මහා ජයග්‍රාහි අවස්ථාවන් පසුපස ද කිසියම් පුද්ගලයකුගේ හෝ සුළු පිරිසකගේ අසීමාන්තික කැප කිරීම් නිරීක්ෂණය වෙනවා.

කීර්ති කුමරුට කළ හැකි වූ මහා වික්‍රමය පසුපස හිඳින්නේ ද අති මහත් දේශමාමකත්වයෙන් යුතු වූ යුග පුරුෂයෙක්. අවාසනාවකට මෙන් මෙවන් චරිතයන් ප්‍රමාණවත් තරම් සම්භාවනාවට භාජනය වී නැහැ.

ඔහු රුහුණේ දණ්ඩනායක සිත්නරු බිම බුදල්නා. (බුද්ධරාජ නමින් ද හැඳින්වෙනවා.)

වර්ෂ 1948 මාතර පනාකඩුව ගමේ වෙල් යායක තිබී ගොවි මහතකුට තඹ සන්නසක් හමු වූවා. (70-80 දශකවල සිංහල පෙළ පොතක ඇතුලත් ව තිබූ "උදැල්ලේ ගැටුණු තඹ තහඩුව" මතක ඇති අය ඔබ අතර ඇති.) සිත්නරු බිම් බුදල්නාවනට කෘත ගුණ සැළකීමේ අරමුණින් කෙරෙන ප්‍රදානයන් ගැන එහි කියවෙනවා.




"දෙමළුන්ගේ ආවුද බලයෙන් අප පවුල රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැඟවී වාසය කරන කල්හි අප පියා වන මහා ස්වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ඇතුලු මුලු පවුල සිය පිරිසෙන් ආරක්ෂා කර අප බාලකාලයෙහි හදා වඩා වන මුල් පලාපල වලින් පෝෂණය කොට පා තැබූ තන්හි තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවිමට දුක් වින්ද ප්‍රසාදයට මොවුන්ගේ දරු මුනුබුරන්.........." 


( https://si.wikipedia.org/wiki/පනාකඩුව_තඹ_සන්නස වෙතින් ඔබට මුළු සන්නස ම කියවිය හැකියි.)


යනා දී අයුරින් වත්මන් සිංහලයෙන් අරුත් ගැන්වෙන මෙම සන්නසෙහි කියවෙන්නේ සැඟවී පලා ආ රජ පවුල රහසේ රැකගෙන පෝෂණය කරමින් සතුරන් වෙතින් සඟවා ගනිමින් අවසානයේ මව් බිමින් සතුරන් පළවා හරින තුරු මේ යුග පුරුෂයා අප්‍රසිද්ධියේ සිදු කළ මහා මෙහෙවරට කෘතගුණ සැළකීම පිළිබඳව යි.


පනාකඩුවේ තඹ සන්නස සොයා නොගන්නට, මේ අප්‍රසිද්ධ පුද්ගලයා සිදු කළ යුග මෙහෙවර ඉතිහාසය තුල ම සැඟවී යන්නට ඉඩ තිබුණා.

එසේ සැඟවී ගිය චරිත ඉතිහාසය තුල කොපමණ නම් විය හැකිද?

Monday, December 4, 2017

ආල වඩන අකුරු පහේ තේරවිල්ල....


බන්ධුල සිසිර කුමාර

No automatic alt text available.


දැනට දශක හතරකට පමණ පෙර අප කුඩා දරුවන් ව සිටි යුගයේ “ හුලවාලි“ නම් වූ සිනමා කෘතියක් තිරගත වූවා. වට්ටෝරුගත නොවූ තේමාවක් මත ගොඩනැගුණු එය එකල කුඩා අපගේ උනන්දුව දිනා ගැනීමට බල පෑ තවත් හේතුවක් තිබුණා. ඒ එහි සමහර රූගත කිරීම් මගේ උපන් ගම ආසන්නයේ පිහිටි මල්වාන- කළුකොඳයාව ආදී ගම් ආශ්‍රිත ව සිදුව තිබීමයි. මගේ මතකයට අනුව මෙම සිනමාපටයේ ගීත දෙකක් අඩංගු වූ අතර ඒවා ද එකල ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා.“කුලගෙදරින් දුම්බර කඳුවැටියේ“ සහ “කුඩා ගමේ මද්දහනේ“ එම ගී දෙකයි.

මේ ගීත යුගලය අතුරින් වඩාත් සංවේදී මෙන් ම ජීවිතයේ යම් යම් යථාර්ථයන් විවරණ කෙරෙන සදාතනික වටිනාකමකින් යුත් නිර්මාණයක් ලෙස “කුඩා ගමේ මද්දහනේ“ ගීතය හඳුන්වා දිය හැකියි. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මෙම ගීතයේ පද රචකයා කවුරුන්දැයි යන්න මගේ මතකයෙන් ගිලිහී ගිහින්. (ඔබට එය මතක තිබේ නම් කමෙන්ටුවක සටහන් කරන්න.)

මෙම කථා පුවත දිග හැරෙන්නේ හුලවාලි ගම්මානයක ජීවන ප්‍රවෘත්තිය පසුබිම් කරගෙනයි. කථාන්තරය ඉතා කෙටියෙන් මෙසේ දැක්විය හැකියි. කිසියම් හේතුවක් නිසා හුලවාලින්ගේ ගම්මානයට ඇතුළු වන කුලවත් ආරච්චි කෙකෙකු එහිදී දකින කාන්තාවක් කෙරේ සිතක් පළ කරගෙන ඇය අයිති කරගැනීමට උත්සාහ කරනවා. ඇය රැහේ නායකයාගේ බිරිඳ වීම නිසා මෙය වඩාත් බැරෑරුම් වූ අවුලක් ජනිත කරනවා. එක් අවස්ථාවකදී රැහේ නායකයා සිය පිරිස ද සමග එක් ව ආරච්චිරාළ අල්ලා ඉතා දරුණු වධ බන්ධනයන්ට පවා ලක් කරනවා.

එහෙත් පසුව ඔහු එක්තරා කණගාටුදායක සත්‍යයක් පසක් කරගන්නවා. ඒ සිය බිරිඳ ද, ආරච්චිරාළ කෙරේ පෙම් බැඳ සිටින බවයි.

තමා මේ දක්වා කෙතරම් කැපකිරීම් කළ ද, කෙතරම් බලාපොරොත්තු හා සිහින ගොඩනගාගෙන සිටිය ද සිය බිරියගේ සිත බිඳී ‍ගොස්, වෙනත් අයකු කෙරේ බැඳී අවසන් ව ඇත් නම් වෙන කුමක් කළ ද පළක් නැති බව වටහා ගන්නා රැහේ කායකයා, ඇයට ආරච්චිරාළ හා යාමට ඉඩ හරිනවා.

කෙසේ වුව ද අවසානයේ සිදු වන්නේ රැහේ අභිමානය පාවා දීම පිළිබඳ ව උරණ වූ රැහේ ජනතාව, නායකයාට එරෙහි ව යුද වැදීමයි. අවසානයේ ඔවුන් සිය නායකයා ට ආයුධයකින් ඇන ඔහු මරා දමනවා. ඒ සිද්ධියෙන් පසු ව, පසුබිමෙහි මේ ගීතය වාදනය වෙනවා.

කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර ඉසුනු ලමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ලමැද වසා ගියා
රිදී පොටක් කරලන්නට වරම් නැතිව ගියා

ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී

දශක ගණනාවකට පෙර ප්‍රාථමික ජීවන රටාවක් සහිත ගමක සිදුවීමක් විවරණය කෙරෙන මෙම ගීතය වත්මන් සමාජ රටාවත් ඒ තුල ජනිත වන විවිධ වූ අර්බුදයනුත් පිළිබඳ ව ද කෙතරම් අදාල වන්නේදැයි මඳක් විමසිලිමත්ව බැලුවහොත් ඔබට පෙනෙනු ඇති. විදෙස් ගත වීම නිසා භෞතික ව, පවුලෙන් දුරස් ව වෙසෙන, නැතහොත්, නිවසේ ජීවත් වුව ද ජීවන අරගලය වෙනුවෙන් දවසේ පැය විසිහතර ම ගතකිරීමට සිදුව ඇති මිනිසුන් වත්මන් සමාජයේ දැකිය හැකියි. සිය පවුලට ඇකි ආදරයෙන් ඔවුන්ගේ හදවත් පිරී පැවතුණ ද වචන හෝ ඉරියව් බවට නොපෙරලෙන ඒ ආදරය සමහර විට ඔවුන්ගේ අඹුදරුවන් විසින් වටහා ගනු ලබන්නේ නැහැ. මෙවන් අවස්ථා ඉව කරමින් සිටින සමහර අවස්ථාවාදීන් සුරතල් වදන් මගින් කාන්තාවන්ගේ සිත් සතන් තුලට රිංගා ගන්නවා. අතීත යුගයට වඩා විවිධ සන්නිවේදන පහසුකම් සුලබ වූ මෙකල මෙවැනි සිදුවීම් වඩාත් බහුල ව සිදු වන බව දිනපතා හා සති අන්ත පුවත්පත් බැලීමෙන් පමණක් වුව ද වටහා ගත හැකියි. ඒවා බොහෝ විට අවසන් වන්නේ ඛෙදවාචකයකින්. පවුලේ සියල්ලන් ම ඝාතනය කර තමා ද දිවි නසාගත් පුද්ගලයන් පිළිබඳ කතා පුවත් බොහොමයක පත්ලේ ඇත්තේ මෙබඳු සිදු වීමක්.

එසේ වුවද මේ ගීතයෙන් කියැවෙන මිනිසා ඊට වඩා ඉහළ බුද්ධි මට්ටමක හිඳිමින් ජීවිතයේ යථාර්ථය වඩාත් මැනැවින් පසක් කොට ගෙන ඇති බව පෙනෙනවා. මුලින් ම ඔහු තමා කළ කී දේවලුත්, තමා මේ තාක් වෙහෙස ගත්තේ කුමක් වෙනුවෙන් ද යන්නත්, ඒ සියලු දේ ගඟට කැපූ ඉණි බවට පත් වූ අන්දමත් ගීතයේ පළමු හා දෙවන කොටස් වලින් පවසනවා.

ගීතයේ අවසාන කොටසෙහිදී, ආදරය පිළිබඳ සදාතනික සත්තාවක් අප හමුවේ තබමින් එහි රස භාවයන් උච්චතම අවස්ථාවට රැගෙන යනවා. සිතකට වැට කඩුළු බැඳිය නොහැකියි. ඇගේ ආදරය ඔහු කෙරෙන් බිදී වෙනත් අතක බැඳුනේ නම් එතැනින් එහා කළ හැකි කිසිවක් නොමැති බව පවසන ඔහු, සැබෑ ආදරය නම්, ලෞකිකත්වයෙන් ද ඔබ්බට ගිය අධ්‍යාත්මික ගුණයක් බව “ආල වඩන යන තේරුම බෝසත් කම සකී“ යන අවසන් පදයෙන් කියා සිවිනවා.

මෙහි අපූරු ගායන විලාශය, සංගීත සංයෝජනය මෙන්ම එහි අරුතෙහි ගැබ් ව ඇති මේ සදාතනික සත්‍යය ද අද දක්වාත් එම ගීතයට හිමි ව ඇති ජනප්‍රසාදයට හේතු වන්නට ඇතැයි සිතෙනවා.

ගීතයක් ගැන පිටු සිය ගණනක් කියවුවත් එය ඇසීමෙන් ලබන රසය හා අවබෝධය ලබා ගත නොහැකියි. පහතින් දක්වා ඇති ලිංකයෙන් එය අසා බලන්න.

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...