බන්ධුල සිසිර කුමාර -
තෙන් තෙඳිනානේ නා තෙඳිනානේ ජල්ලි ජකිරි ජල්ලියා
රා මදිතෙයි - රා බොමුතෙයි - දබර වෙතෙයි
පාන් කතෙයි - කහට බොතෙයි - රෑ නටතෙයි
අද හිරු පායයි දෝ
හෙට හිරු පායයි දෝ
කමත වටේ යන - එක තැන කැරකෙන - අම්බරුවෝ
අඳුරේ
කුර ගානා
බාලොලි බාලොලි - සින්දු ද සීපද - රස කතන්දර කියඤ්ඤා
පැණි කොමඩු කැකිරි - සූකිරි මීපැණි - රත්තරන් හැන්දෙන් කවඤ්ඤා
හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ
අඳුරේ
කුර ගානා
ජහ් පිට ජහ් මහ් - ඉක්මන් ගමනට - පැත්තෙන් පැත්තට දක්කඤ්ඤා
කීකරු නූනොත් - චටාස් පටාස් - පිට හරහට දෙසඤ්ඤා
හොම්බට පිරිවැස්ස බැඳන් - කම්බ කනුව වට කැරකෙන - අම්බරුවෝ
අඳුරේ
කුර ගානා
මෙය අසන ඔබට විවිධ චිත්ත රූප මැවෙනවා ඇති. ඒ අනුව ඔබ මේ ගීතයට විවිධ අර්ථකථන දෙනවා ඇති. එහෙත් මට හිතෙන්නේ මේ විවරණය කරන්නේ අපේ සමාජයේ එක්තරා පැති කඩක් කියලයි.
ඊට අනුව මෙය අපේ රටේ දේශපාලනය හා බැඳුණු එක්තරා දෙයක්. මා මගේ බ්ලොගය තුල පක්ෂ දේශපාලනය පිළිබඳ ව කථා කරන්නනේ නැහැ. එහෙත් මේ කියන කතාව පක්ෂ භේදයක් නැති පොදු කථාවක්. මේ ගීතය තුලින් මා දකින දෙය විස්තර කරන්න අත්‍යවශ්‍ය වන නිසා නීරස ඒ මාතෘකාවට අදාල කරුණු කිහිපයක් පමණක් මෙහි සඳහන් කරනවා.
බහු පක්ෂ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වීමට නම් ඡන්ද දායකයා හොඳ විචාර බුද්ධියක් හා ප්‍රමාණවත් අවම දැන උගත් කමක් තිබිය යුතු අයකු විය යුතු යැයි මා සිතනවා. නිදහසින් පසු අපේ ගමන් මග විචාරශීලී ව නිරීක්ෂණය කළ හොත් ඡන්ද දායකයා විසින් වැරදි තීරණ ගත්, ඒ අනුව මුළු රටේ ම ඉදිරි ගමන වියවුල් තත්ත්වයනට මුහුණ පෑ අවස්ථා කිහිපයක් හෝ දැග ගත හැකියි. " වරද ඇත්තේ වරින් වර පාලනය කරන කණ්ඩායම් අත නොව ජනතාව අතයි. එබැවින් මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කර ගත යුතුයි" කියා කවුදෝ කියා තිබූ කියමන එවිට සිහි වෙනවා.
එවැනි ම තවත් දෙයක් මතකයට නැගෙනවා. ඉස්සර මැතිවරණ දිනවල රාත්‍රියේ රජයේ ගුවන්විදුලිය මගින් ගෙන එන මැතිවරණ ප්‍රතිඵල විකාශයක් තිබුණා. (මා හිතන්නේ එය දැනටත් සිදු වෙනවා) මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන නැඹුරුවට අනුරූප වන ගීත මෙම විකාශයේ වරින් වර වාදනය වෙනවා. දශක කිහිපයකට පෙර එක්තරා මැතිවරණයක ප්‍රතිඵලය, බලාපොරොත්තු නොවූ දිසාවකට හැරෙමින් තිබියදී "මේ රටේ මිනිස්සු - තනිකර කෙළින්නෙ පිස්සු" යන ගීතය වාදනය වූවා මට මතකයි.
මට හිතෙන අන්දමට නම් මේ තත්ත්වය අදාල වන්නෙ නූගත් ජන කණ්ඩායම් වලට පමණක් නොවෙයි. ප්‍රාමාණික උගත් කම් ඇති එහෙත් දේශපාලනික අවබෝධය හා විචාර බුද්ධිය අතින් ඉතා දිළිඳු පුද්ගලයන් මට බොහෝ සෙයින් හමුවී තිබෙනවා. ඔබ අතුරින් කිසිවකු මීට එරෙහි ව අවි අමෝරා ගෙන ආ හැකි නමුත් වරෙක මට මෙහෙම හිතෙනවා. ඒ, ප්‍රමාණවත් බුද්ධි ඵලයක් සහිත බව කිසියම් පරීක්ෂණයකින් තහවුරු කර ගත් පුද්ගලයන්ට පමණක් ඡන්ද බලය හිමි විය යුතු බවයි. (මිහිඳු හිමි දෙවන පෑතිස් රජුගේ බුද්ධි මට්ටම පිරික්සා බැලූ අයුරින් වත්.)
දැන් නැවතත් අපි ගීතයට යොමු වෙමු.
ගම්, නගර හා අර්ධ නාගරික ප්‍රදේශ යන සියලු ජනාවාසයන් හි අපට දැක ගත හැකි කිසියම් ප්‍රජාවක් සිටිනවා ඉතා අඩු බුද්ධි මට්ටම්වලින් හා පහළ අධ්‍යාපනික මට්ටම් වලින් යුතු. ඔවුන්ගේ පහළ අධ්‍යාපන මට්ටමට බොහෝ විට හේතු වන්නේත් මේ අඩු බුද්ධි ඵලයයි. මේ හේතු දෙක ම නිසා ඔවුන්ගේ ආර්ථික මට්ටම ද අයහපත්. පක්ෂ භේදයකින් තොර ව විවිධ දේශපාලකයන්ගේ පසුපස වැටී සියලු බැල මෙහෙවර සඳහා සාමාන්‍යයෙන් ඉදිරිපත් වන්නේ මේ ප්‍රජාවයි. ඇත්තෙන් ම ඔවුන් ට ඒ වෙනුවෙන් ලැබෙන්නේ ඉතා සුළු ප්‍රතිලාභයක්. එහෙත් ඔවුන් ඉන්න තත්ත්වය අනුව ඔවුන්ට එය දැනෙන්නේ මහ මෙරක් ලෙසයි. මා සිතන්නේ මේ ගීයෙන් කියවෙන්නේ ඒ ප්‍රජාව ගැන බවයි.
ගීතයේ පළමු කොටසේ විස්තර කෙරෙන්නේ වැටී ඇති තැනින් කිසිදා ගොඩ ඒමක් නොමැති ව එකම තැන කරකැවෙන ඒ මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තියයි.
තමාගේ කටයුතු කර ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් ට රස බස් කියා බලාපොරොත්තු ගොඩ නංවන ආකාරය, ගීතයේ දෙවන කොටසේ විස්තර වෙනවා. ඔවුන් කමතේ ගොයම් පෑගීමට යොදා ගන්නා ගවයන් වැනියි. ගොයම් පාගා දුන්නත් ඔවුන්ට එහි ඇති ගොයම් කන්නට බැහැ, හොම්බට කටකලියාවක් බැඳ ඇති නිසා.
අවශ්‍ය කටයුත්ත කර ගත්තට පස්සෙ ඔවුන් දක්කන්නෙ තමන්ට වුවමනා හැටියටයි. අකීකරු වෙන්න ගියොත් කෙවිටි පාර වදිනවා. තුන් වැනි කොටසෙන් කියැවෙන්නෙ එයයි.
මේ අපූරු ගීතයේ රචකයා හෝ සංගීත ශිල්පියා කවුරුන්දැයි සොයා ගන්නට බැරි වුණා. (මට හිතෙන්නේ ඒ ද රෝහණ බැද්දගේ ශූරීන් ම විය යුතු බවයි.) ඔබ ඒ පිළිබඳ යමක් දන්නේ නම් කමෙන්ටු ලෙස දක්වන්න.
No comments:
Post a Comment