Sunday, December 31, 2017

අපිට අමතක වූ අපි


බන්ධුල සිසිර කුමාර -



අපේ අතීතය, ප්‍රධාන වශයෙන් අනුරාධපුර යුගයේ අග භාගයේ සිට විමසිල්ලෙන් නිරීක්ෂණය කළ හොත් දැක ගත හැකි දෙයක් තමයි, වසර දෙසීයකට පමණ වරක් අප මත මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී ඇති බව. මේ ප්‍රහාරයන්වලට ගොදුරු වෙමිනුත් අප අපගේ දැනුම, තාක්ෂණය, සම්ප්‍රදාය ආදි දේ රැකගෙන බොහෝ කලක් පැවතුණා. මේවා අතුරින් සමහර ප්‍රහාර අතිශය තීරණාත්මක වුණා. පොළොන්නරු යුගය අවසාන කරමින් කාලිංග මාඝ විසින් වසර හත් සියයකට පමණ පෙර එල්ල කළ ප්‍රහාර මාලාවත් 1818 න් පසු ඉංග්‍රීසින් විසින් කළ විනාශ කිරීම්, ප්‍රහාර හා තහනම් නීති රීති පැණවිම් මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

කාලිංග මාඝගේ ප්‍රහාරයන් වලදී වයස 16 ට වැඩි සියලු පිරිමින් මරා දැමීමට නියෝග කළ වගක් පැවසෙනවා. (මෙවැනි ක්‍රියාවක් 1818 හෝ 1848 කැරලි සමයේදී ඉංග්‍රීසින් විසින් ද ක්‍රියාත්මක කළ බවට කතාවක් තිබෙනවා.) එවැන්නක් සිදු වුවහොත්, රටක ඒ දක්වා පැවති දැනුම, තාක්ෂණය, ශිල්ප ක්‍රම, අභිමානය ආදි බොහෝ දෑ අහෝසි වී යනවා. ඉන් පසු නැවත ජාතිය වර්ධනය වන්නේ මව් වරුන්, මිත්තණියන් ඇසුරේ හැදී වැඩුණු කුඩා ළමුන් ලොකු මහත් වීමෙන්. ඔවුනට උගැන්වීමට, මග පෙන්වීමට පිරිමි පරපුරක් නැහැ . ඇත්ත වශයෙන් ම අනුරාධපුර හා පොළොන්නරු යුගයන්හි ඉදි වූ මහා කලා නිර්මාණ, විශිෂ්ට ගණයේ සෙල් මුවා පිළිම, බිතු සිතුවම්, මහා වෙහෙර විහාර ආදිය පොළොන්නරු යුගයෙන් පසු නැවතත් ඉදි නොවීමට හේතුව මෙය විය හැකියි.

ඉංග්‍රීසි පාලකයන් විසින් ද, අපගේ ආර්ථිත රටාවන් හා සම්ප්‍රදායන් වෙනස් කිරීම, අපේ වාරිමාර්ග පද්ධතිය කඩා බිඳ දැමීම, ඉන් පසු අපට ආහාර සැපයීමේ කාර්යය අප මත ම පැටවීමේ අරමුණින් වැව් අමුණු නැවත ප්‍රතිසංස්කරණය කළ ද, පැවති විශීෂ්ට වාරිමාර්ග පද්ධතිය විකෘති කිරීම හා අපේ අද්විතීය නිර්මාණයන් වූ බිසෝ කොටුව වැනි අංගයන් කඩා ඉවත් කිරීම, ෂෙපීල්ඩ් වානේ වලටත් වඩා උසස් යයි ඔවුන් ම පිළි ගත්, සහශ්‍ර වර්ෂ ගණනාවක් වර්ධනය වී ඉතා ඉහළ මට්ටකට පැමීණ තිබූ අපේ වානේ කර්මාන්තය තහනම් කර එංගලන්තයේ වානේ වලට අපේ රට තුල වෙළඳ පොළක් සැකසීම, තමන් ට තර්ජනයක් වීම වැළැක්වීමේ අරමුණින්, ඉතා දියුණු අඩියක පැවැති අපගේ අංගම් ශිල්පය ඉගැන්වීම තහනම් කිරීම වැනි අනේක විධ විනාශයන් රැසක් අප වෙත එල්ල කළා.

නාමික ව ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදී ඇත ද, ආර්ථික වශයෙන් ඔවුන්ගේ මළ පුඩුවෙහි සිර ව සිටින, නිදහසින් පසු යුගයේ ද, විජාතික කරණය, ඉතිහාසය පාසල් විෂය මාලාව තුලින් ඉවත් කිරීම ආදී කටයුතු මගින්, තමන් කවුරුන් ද, තමන්ගේ අතීතය කෙබඳු ද යන්න නොදත් ජාතියක් බිහි වීම වැනි විනාශයන් දිගින් දිගට ම සිදු වුණා.

මේ පිළිබඳ ව අපි ඉදිරි ලිපියක දී වැඩි දුරටත් කතා කරමු. අද මා කියන්න ට බලාපොරොත්තු වුණේ මෙහි කියවුණු  දෙයක් වූ වානේ කර්මාන්තය හා සෙල් මුවා පිළිම නෙලීමට අදාල පුංචි කාරණාවක්.

අනුරාධපුර හා පොළොන්නරු යුගවල ඉදි වූ සෙල් මුවා පිළිම, සඳකඩ පහණ ආදිය දකින සමහරු කියන කථාවත් තමයි, ගල් මොළොක් කරන බෙහෙත් එකල තිබෙන්නට ඇතිය කියන එක. තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයකු වන මා දන්නා දෙයක් තමයි, යමක් මනා ලෙස කැපීමට අත්‍යවශ්‍ය වන්නේ මොළොක් වීම නොව අභ්‍යන්තර ආතතීන් නොමැතී වීම හා එය කැපිය හැකි ආවුදයක් සකසා ගැනීම බව. ගල්වලට වඩා බෙහෙවින් මෙළෙක් වූ ලී කැබැල්ලකින් වුවත් නිර්මාණයක් කිරීමේදී අභ්‍යන්තර ආතතීන් නිසා එය කැඩී යා හැකියි.

ගල් මොළොක් කරන බෙහෙත් නොව, ගල්වල අභ්‍යන්තර ආතතීන් ඉවත් කරන ශිල්ප ක්‍රම හෝ රසායන ද්‍රව්‍ය තිබෙන්නට ඇති. එසේ නැත්නම් අභ්‍යන්තර ආතතීන් රහිත ගල් තෝරා ගැනීමේ ශිල්ප ක්‍රම තිබුණා විය හැකියි.

අනෙක් කරුණ වන්නේ ආවුදය සකසා ගැනීමයි. නියමාකාරයෙන් වානේ සංයෝග කිරීමේ හා නියම පමණට පණ පෙවීමේ තාක්ෂණය ඇති ශීල්පීන් හට ඉතා විශාල පරාසයක් තුල විවිධ දැඩි බවින් යුතු වූ ද්‍රව්‍යයන් කැපීම සඳහා විවිධ කැපුම් ආවුද නිපදවීම මහා ලොකු දෙයක් නොවෙයි. වානේ තාක්ෂණය අතින් ඉතා ඉහළ සිටි අපේ පැරැන්නන් ඉතා පහසුවෙන් මේ ආවුද තනා ගන්නට ඇති.

ප්‍රතිමාවල මිනුම් හා අනුපාත පිළිබඳ ව එකල තිබූ "බිම්බමානය නොහොත් ශාරිපුත්‍රය" වැනි පොතපත අදටත් සොයා ගැනීමට තිබෙනවා. නිවැරදි අනුපාත පිහිටුවා ගැනීමට ඒ දැනුම භාවිතා වන්නට ඇති. ඒ අනුපාතයන්ට අනුව ත්‍රිමාණ ව ප්‍රතිමාව නෙලීමේදී ඊට අදාල විවිධ උපකරණ හා ශිල්ප ක්‍රම යොදා ගෙන තිබෙනවා. මේ සඳහා භාවිතා වූ එක් සැකැස්මක් වන "ලඹ තට්ටුව" නමැති සැකැස්ම කොළඹ කෞතුකාගාරයේදී දැක ගත හැකියි.

මේ විශිෂ්ට නිර්මාණ සඳහා බලපෑ තවත් කරුණක් නම් ශිල්පියාගේ සංයමය හා විනය යි. ඒ සංයමය සහ විනය සඳහා සාම්ප්‍රදායික විශ්වාස ආදියත් කිසියම් බල පෑමක් ඉටු කර තිබෙන බව පෙනෙනවා. ප්‍රතිමාවක ඒ ඒ කොටස නිර්මාණයේදී වැරදි සිදු කළ හොත් ශිල්පියාගේ පවුලේ ඒ ඒ අයට අපල ඇතිවන බවට විශ්වාසයන් පැවතී තිබෙනවා. මේ නිසයි අපට විකෘති වූ ප්‍රතිමාවන් දැක ගැනීම අති දුලබ වන්නේ.

ඇත්ත වශයෙන් ම, අද අප අතරින් සමහරුන් භෞතිකවාදී ව අවඥාවෙන් බැහැර කළ ද අපගේ විනය පවත්වා ගැනීම සඳහා අතීතයේ මෙම සාම්ප්‍රදායික විශ්වාස ද, වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව පෙනෙනවා. 

තව බොහෝ දෑ ඉදිරි දිනක කතා කරමු.

මෙය ලියන විට මගේ හිතට නැගුණු ගීතයකුත් මේ සබැඳිය ඔස්සේ අහන්න.

1 comment:

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...