Sunday, May 27, 2018

විකෘති

-බන්ධුල සිසිර කුමාර-


මගේ බ්ලොග් එක නිතිපතා කියවන අය අතරෙ විවිධ වයස් සීමාවල අය ඉන්නවා ඇති. අපේ සමාජයෙත් ඉන් බැහැර ලෝකයේත් සිදු වන බොහෝ දේවල් ගැන අප එකිනෙකාට අපේ ම වූ කියවීමක් ඇති.

ඒ කියවීම බොහෝ විට එකිනෙකට වෙනස්. අප යම් දෙයක් ගැන විනිශ්චය කරන්නේත් තීරණවලට එළඹ ගන්නේත් අපේ ජීවිත කාලයේ, සවන් දීමෙන්, කියැවීමෙන්, අත්විඳීමෙන් ලබා ගන්නා ජීවිතාවබෝධයට අනුවයි.

අප උස් පඩි පෙළක සිටගෙන සිටිනවා යයි මොහොතකට සිතමු. පඩි පෙළේ ඉහළ පඩිවල සිටින අයට පහළ සිටින අයට වඩා තරමක් දුර පෙනෙනවා. හැබැයි, එහෙම වෙන්නේ ඉහළ සිටින අයගේ දෑස් හොඳින් පෙනෙනවා නම් පමණයි.

ඉහළ සිටින අය දෑස් බැඳ සිටීනම් කිසිවක් නෙපෙනේවි. පෙනීමේ දෝෂ ඇත් නම් පැහැදිලි ව නොපෙනෙනු ඇති. පාට කණ්ණාඩි දමාගෙන සිටියොත් පෙනෙන්නේ තථ්‍ය ලෝකය නොව විකෘතියකුයි.

පියවි ඇසිනුත් සයිබර් අහස තුලිනුත් ලෝකය හා ගැටෙන මා හට නිරීක්ෂණය වූ දේවල් දෙකක් තිබෙනවා.

මා හට පැහැදිළි මතකයක් තිබෙන පැරණි ම කාලය වූ හැත්තෑව දශකයේ සිට මා කතාව පටන් ගන්නම්.

අත්‍යවශ්‍ය මූලික ගොඩනැගිලි කිහිපයෙන් පමණක් යන්තමින් සමන්විත වූ අපේ ගමේ පන්සල මට සිහි වෙනවා.

වස් කාලයේ හැන්දෑ වරුවල පැවැත්වෙන පූජාවන්හිදී හා මාසයේ පොහොය දෙදින පමණයි ගමේ ජනතාව බහුල වශයෙන් පන්සලට රැස්වුණේ. එහෙත් ඒ කටයුතු සඳහා ශබ්ද වාහිනී භාවිතා වූයේ නැහැ. කලකට වරක් පැවැත්වෙන ආරාධිත ධර්ම දේශනා පින්කම් හා වෙනත් විශේෂ අවස්ථා පමණයි උත්සවාකාරයෙන් පැවැත්වුණේ. එම දිනවල පමණක් ශබ්ද වාහිණි භාවිතා වූවා. ලොකු කුඩා කවුරුත් පන්සලට එක් රැස්වන එවැනි දිනයන් ළමා අපට මහත් සතුටක් ගෙන දුන්නා.

දහම් පාසල හා ළමා සමිති, පන්සල ඇසුරේ පැවැති අතර අප ළමා කැල විවිධ ශ්‍රමදාන කටයුතු ආදියේ යෙදෙමින් පන්සලේ හා ගමේ පොදු කටයුතු වලට දායක වූ අයුරු අද සිහි වන්නේ මිහිරි සිහිනයක් වගෙයි.

අසූව දශකයේ ආරම්භය සනිටුහන් වෙන්නේ විවෘත ආර්ථික රටාව හඳුන්වා දීමත් සමග. එතෙක් වූ බොහෝ දෙවල් ඒ හා සමගින් වෙනස් වනු අප දුටුවා. සියලු දෙයට ම මිලක් නියම වූවා. බාහිර විච්චූර්ණ වලට වටිනා කමක් ලැබුණා. එකිනෙකා පරයා ඉහළට නැගීමේ වුවමනාව කා තුලත් වර්ධනය වූණා. එයින් ගැලවීමට පන්සලටවත් හැකි වූයේ නැහැ. ගොඩනැගිලි, තාප්ප, විසිතුරු වාහල්කඩ හා බෝධි ප්‍රාකාර පමණක් නොව විසිතුරු පොකුණු ආදි අවශ්‍ය අනවශ්‍ය සියලු දෑ පන්සල් භූමිවල ඉදිවෙන්නට පටන් ගත් අතර මේ සඳහා විවිධ අන්දමින් දායකයන්ගේ මුදල් ඇදගන්නා පසුබිමක් බිහි වුණා.

මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වෙමින් අසූව දශකයත් අනූව දශකයත් ගෙවී ගියා.

දෙදහසේ දශකය ආරම්භයේ සිට මීටත් වඩා විකාරරූපී සිදු වීම් මෙම අංශයේ සිදු වන අයුරු දැකගත හැකි වූවා. සම්ප්‍රදායික පුද පූජා විධි හා සමහර සංකල්ප පිළිකෙව් කරන "පොෂ් " බෞද්ධාගමික ධාරාවන් හා අර පූජා, මේ පූජා වශයෙන් එතෙක් නොවූ විරූ විච්චූර්ණ පූජාවන් කරලියට පැමිණි අතර ගෙමිදුලේ ගසකින් මල් විකක් කඩාගෙන, හවසට පන්සලට ගොස් බුදුන් වැඳ ගැනීමට තිබූ නිදහස වෙනුවට නියම කරන ලද දේවල්, නියම කරන ලද ප්‍රමාණයක් රැගෙන ඊනියා පූජාවලට සහභාගි වීමට මේ පසුබිම තුලදී සමහර බැතිමතුන්ට සිදු වුණා.

අගනුවරින් කිලෝමීටර දෙසිය ගණනක් දුර බැහැර පලාතක රැකියාවක නිරත ව සිටින මා උදෑසන හයට අවදි වූ මොහොතේ සිට පැයක පමණ කාලයක් ඇසෙන්නේ එතැනින් මඳක් එපිට වූ පන්සලක යකඩ කටකින් නැගෙන කන්දොස්කිරියාවක්. ආධාර දුන් අයගේ නම් ලැයිස්තු හා වෙනත් නොයෙකුත් දේ ඇතුලත් එම කියවීම අවට දායකයනට මොන තරම් හිරිහැරයක් වනවා ඇතිද?

බෞද්ධාගමට හා අප රටෙහි බෞද්ධ සංස්කෘතියේ මුල්වලට පහර දීමට විවිධ කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන, මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කර ඇති බව පෙනෙන මෙකල, ඉහත කී ආකාරයේ කටයුතුවලින් සිදුවන්නේ ඔවුනට ඒ සඳහා ආයුධ සැපයීම නොවේද?

බුදු දහමේ ගැබ් ව ඇති ගැඹුරු අධ්‍යාත්මික දර්ශනය හා සරල ජීවන මාර්ගය යටපත් කරමින් අප විසින් ම කර ගනිමින් සිටිනුයේ, කුමන්ත්‍රණ කාරීන්ගේ වුවමනාව ඉටු කිරීම නොවේද?

ගංගොඩවිල සෝම හිමියන් ජීවමාන ව වැඩ විසූ යුගයේ දී ජනතාව මිත්‍යාවෙන් මුදා ගැනීමට උන්වහන්සේගේ කාලයත් ශ්‍රමයත් කැප කළ අන්දම, ඒ යුගය ඇසින් දුටු අපේ මතකයෙන් ගිලිහී නැහැ. එසේ වූ සෝම හිමියන්ගේ මඟ අනුගමනය කරනු වෙනුවට, සෞභාග්‍ය උදා කරලනු පිණිස, සෝම හිමි වන්දනා කරන ලෙස කියා සිටින පුවත් පත් ලිපියක් මා මෑතකදී දුටුවා. ඒ සඳහා සෝම හිමි වන්දනා ගාථා නම් ගාථා විශේෂයක් ද එහි දක්වා තිබුණා!( එය ලියා තිබුණේ ගිහියෙක්.)

මේ පසුබිම තුල සිදුවන අනෙක් ඛෙදවාචකය මෙයයි.

එනම්, නිදහසේ සිතා බලා යමක හොඳ නරක තේරුම් ගැනීමට උත්සාහ කරන තරුණ ප්‍රජාව මෙම විච්චූර්ණ දැක, බුද්ධාගම යනු මේ යැයි සිතා, පන්සලෙන් පමණක් නොව බුදු දහමින් ද ඉවත් වීමයි. ඒ ඉවත් වීම සංස්කෘතික ධාරාවෙන් මෙන් ම ජාතික අනන්‍යතාවයෙන් ඉවත් වීමක් බවට පත් වීම අනිවාර්යයෙන් සිදුවන්නක්. අද නිරාගමිකයන් බවට පත් ව ඇති තරුණ ප්‍රජාව අතරින් කිසියම් ප්‍රතිශතයක් මේ පසුබිම තුල එසේ වූවන් බව පැහැදිලි යි. 

චත්මන් තත්ත්වය බුදු දහමේ හෝ බෞද්ධ සංස්කෘතියේ සාමාන්‍ය තත්ත්වය නොව පසුකාලීන සමාජ විකෘතියක් බව කුඩා කල සිට ම එම තරුණ ප්‍රජාවට පෙන්වා දීම, ඔවුන්ගේ වැඩිහිටි පරපුරේ යුතුකම ව තිබුණා. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය පාසලින් ඉවත් කිරීමෙන් පසු බිහි වූ මුල් සිඳුණු පරපුරට අයත් ඒ වැඩිහිටියන් බොහොමයක් අතින් ඒ යුතුකම ඉටු වූයේ නැහැ.

(මෙ පසුබිම තුල, බොදුනුවන් නිරාගමිකයන් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වෙන බව පැහැදිලි ව පෙනෙන කරුණක්. වෙනත් ආගමිකයන් නිරාගමිකයන් බවට පත් ව ඇද්ද යන්න විමසිලිමත් ව සොයා බලන්න! මෙය වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.)

අනෙක් අතට, මෙරට බුදු සසුන නැවත නිසි තැන පිහිටුවීමට නම් මහා පරාක්‍රමබාහු රජ සමයේ සිදු වූවාක් වැනි ශාසන සංශෝධනයක් සිදු විය යුතු යයි මා සිතනවා. එහෙත් එවැන්නක් සිදු වීම සඳහා සැපිරිය යුතු සමාජ දේශපාලනික අවශ්‍යතා රැසක් තිබෙනවා.

එතෙක්, ජනතාවගේ නෙත් අරවන, අඳුරින් එලියට රැගෙන යන ගංගොඩවිල සෝම හිමියන් වැනි සංඝ පීතෘවරයකුගේ බිහි වීම හෝ අත්‍යවශ්‍ය වෙනවා.

හැකි පමණින්වත් සමාජය ඥානණය කිරීම, අතීතය දුටු අපේ යුතුකම විය යුතු යයි මා සිතනවා.

Sunday, May 6, 2018

ආපහු යන්න නොවෙයි...

-බන්ධුල සිසිර කුමාර-



මෑතකදි එක්තරා ආයතනයකින් වැඩක් කර ගැනීමට ගිය මගේ මිතුරකු මට මෙහෙම කතාවක් කීවා.

"එයාලා මුලින් ම පුළුවන් තරම් හොයලා බලනවා, වැඩේ නොකරන්න, මොනවද යොදා ගන්න පුළුවන් හේතු කියලා. එහෙම එකක් හොයා ගන්න ම බැරි වුණොත් අන්තිම ට ඔන්න ඔහේ වැඩේ කරලා දානවා."

හිනාවට කරුණක් වගේ පෙනුනත් මේ තියෙන්නේ අප අද මුහුණ දෙන එක්තරා ඛෙදවාචකයක්. ඒ වගේම, යම් යම් දෑ පිළිබඳ ඒකාධිකාරීත්වයක් සහිත ආයතනවල පහළ මට්ටමේ සේවකයන්ගේ ක්‍රියාකලාපයන්, පාරිභෝගිකයා අධෛර්යයට, පීඩාවට පත් කරන සුළුයි කියන චෝදනාවත් බොහො ම සුලභ එකක්.

මේ හැරුණු විට, මහ පාර ට බැසගත් පමණින් අප දකින දේවල් කොතරම් ද? ගිලන් රථයට මාර්ගය ඉඩ නොදෙන රියදුරන් බොහෝ විට මා දැක තිබෙනවා. ඉස්සර කිරීමේදී, නැතහොත් මාර්ගය හරහා දැමීමේදී කිසිදු ආචාර ධර්මයක් නොසළකා කටයුතු කරන්නවුන් ද දැක ගත හැකියි. මට ඉදිරියෙන් වූ වාහනය කහ ඉර අසල දී වේගය අඩු කරද්දී හෝ නවත්වා ගනිද්දී, මා ද සුදුසු පරිදි වේගය අඩු කරනා කල, මට පසු පසින් එන පුද්ගලයකු, පැමිණි වේගයෙන් ම අප සියල්ලන්ට ම ඉස්සර කර කහ ඉර හරහා යන අන්දම, මා නිතර ම පාහේ මග තොට දී අත්දකින දෙයක්. පාරේ එන වාහනයට වේගය අඩු කර නවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොදී උදාරම් ලීලාවෙන් ක්ෂණික ව කහ ඉර හරහා ගමන් කරන පාගාමීන් ද සුලබයි.

එක්තරා විද්වතෙක් වරක් ප්‍රකාශ කර තිබුණා, අප රටේ රිය පදවන්නන් මාර්ග නීති (Road Rules) පමණයි දන්නේ, මාර්ග ශිල්පය (Road Craft) දන්නේ නැහැ කියලා. අද වන විට තත්ත්වය මෙතැනිනුත් පහළට වැටී තිබෙනවා. සමහරුන් මාර්ග නීති දන්නෙත් නැහැ. ඔවුන් දන්නෙ වාහනයේ යාන්ත්‍රික ක්‍රියා කරවීම පමණයි.

සමහර ආයතන හා මහා මාර්ග භාවිතය ගැන විතරක් කථා කළේ උදාහරණයක් ලෙස පමණයි. මේ පිරිහීම මේ වන විට පවුල් ඒකකයේ සිට අපේ සමස්ත සමාජ පද්ධතිය පුරා ම දැක ගත හැකියි.පෙර දී ද මිනිසුන් වැරදි කළා. එහෙත්, ඒ කවුරුන් හෝ දැන ගනීවිදැයි බියෙන් යුතු ව යි. අද වන විට වැරදි කිරීමට ලජ්ජාවක් හෝ බියක් නැති තත්ත්වයක් සමාජය පුරා පැතිරී ඇති බව ඔබට ද හොඳින් පෙනෙනවා ඇති.

මේ හා බැඳුනු තවත් කණගාටුදායක තත්ත්වයක් මේ සමාජය තුල ම දැක ගත හැකියි. ඒ අතීතය ගැන මනා අවබෝධයක් නොමැති නූතන පරපුරේ සමහරුන් මේ තත්ත්වය පිළිබඳ ව කලකිරී, ඒ ගැන වැරදි විග්‍රහයන් කිරීමයි.

මේ ගති සිරිත් අප ට ජානගත වී ඇති ඒවා යයි කියමින් අපට ම, අපේ මුල් වලට ම, ගරහා ගැනීම ඒ අතර බහුල ව දැකගත හැකියි.

පවත්නා පද්ධතියේ වැරදි දැක, මේ සියල්ල කඩා බිඳ දමා අළුතින් නිර්මාණය කළ යුතුය යන මතවාදයේ එල්බ ගත් කණ්ඩායම් ද වන අතර, ඔවුන් ඒ ආස්ථානයේ හිඳිමින්, මේ පද්ධතිය ම මුලිනුපුටා දැමීම සඳහා කටයුතු කරනු දැකගත නොහැකිවා නොවේ. ( මෙය වෙන ම මතවාදයක්. ඒ පිළිබඳ ව වෙනත් දිනයක කතා කරමු.)

දශක කිහිපයක ජීවිත කාලයක් ගෙවා ඇති මා මුලින් කී පරිහානිය දුටුවේ ක්‍රමික පිරිහීමක් හැටියටයි. අපගේ සම්ප්‍රදාය තුල පැවතගෙන එමින් හැත්තෑව දශකය දක්වාත් සුරැකී තිබූ සාරධර්මයන් බොහොමයක්, අසූව දශකය ආරම්භයේදී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් තැන් සිට පිරිහී යන අන්දම ඇසින් දුටු පරපුරටයි මා අයත් වන්නේ. එහෙත් සම්පූර්ණ පිරිහීම සිදු වන්නේ එම යුගය තුල ම නොවන බවත්, ඊට පෙර යුගයක දී ද එයින් කොටසක් පිරිහී ගිය බවත්, ආසන්න අතීතය අධ්‍යයනය කිරීමේදී දැකගත හැකියි.

පෙර ලිපිවලදී ද මා සඳහන් කළ පරිදි ම අපගේ සම්ප්‍රදායික ආචාර ධර්ම පද්ධතිය ගොඩ නැගුණේ බෞද්ධ සදාචාර සංකල්ප අනුවයි. එම රාමුව තුලදී, ආචාර ධර්මයන් ඉක්මවා යන්නකු වේ නම් ඔහුට ශාරීරික දඬුවම් පැමිණුනේ නැත ද බ්‍රහ්ම දණ්ඩයට සමාන විධි ක්‍රම වලින් ඔහු සමාජය තුල කොන් කිරීමටත් හුදකලා කිරීමටත් කටයුතු කෙරුණා. විකල්ප සමාජ ජීවිතයක් නොතිබුණු ඒ යුගයේ මේ තත්ත්වයට පත් වීමට කවුරුත් බිය වූවා.

විසිවන සිය වසේ මුල් දශක කිහිපය දක්වාත් අප රටේ සමහර ප්‍රදේශවල මෙම තත්ත්වය පැවති බවට සාධක තිබෙනවා. එන්. ටී. කරුණාතිලක ශූරීන් ලියූ "දැදුරු ඔයබඩ විත්ති" හි සඳහන් වන තොවිල් පහ තහනම් කිරීම මේ සඳහා උදාහරණයක්.

මේ එයින් උපුටා ගත් කොටසක්.

ගමක් නිදහසේ කටයුතු කරන්නක් ද වූයේ ය. ගැමියෝ සිරිත් විරිත් මාලාවකට අනු ව ජීවත් වූහ. ඒවා ලියන ලද නීති නොවේ. සිරිත් ය. සිරිත් කඩ කරන ලද්දේ කලාතුරකිනි. එසේ ම ඒ වරදක් සේ සළකන ලදී. එබඳු අවස්ථාවක වරද විභාග කිරීමේ ද සිරිතක් විය. ඒ විභාග කරන ලද්දේ පෙර සිට පවත්වාගෙන එන ලද පංච ප්‍රධානීන්ගේ මණ්ඩලය විසිනි. මෙකල ඒ හඳුන්වන ලද්දේ ' තොවිල් පහ' නමින් ය.

තොවිල් පහට අයත් වූවෝ නම් පන්සලේ හාමුදුරුවෝ ය, වෙදානෝ ය, වින්නඹු ආතා ය(වින්නඹුව), හේනෙ මාමා ය, වතුර මංකඩ ය යන පස් දෙනා ය.

යම් ලෙසකින් යම් අයකු කුල දූෂණයක් හෝ සම්මුතියක් කඩ කළේ නම් තොවිල් පහ රැස් වේ. ඒ පිලිබඳ සාකච්ඡා කරති. යම් ලෙසකින් චුදිතයා වැරදිකරුවකු වූයේ නම් ඔහුට හෝ ඇයට තොවිල් පහ තහනම් කළ හැක. එවිට ඔහුට පන්සල ට ඇතුළු විය නොහැක. වෙදානෝ හෝ වින්නඹුව පිහිට නොවේ. හේනමාමා නැත. වතුර මංකඩ (වැව) තහනම් ය.

එකල ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයන් වූ මෙම සේවාවන් නොමැති ව, කිසිවකුට සාමාන්‍ය ජීවිතයක් පවත්වා ගත හැකි වූයේ නැහැ. එම සමාජ ව්‍යුහයෙන් මිදී ජීවත් විය හැකි විකල්ප සමාජ තිබුණේ ද නැහැ.

මේ කියන ප්‍රදේශයේ ම මෙම තත්ත්වය පසුකාලින ව බිඳ වැටෙන අන්දම වෙනත් කෘතියක මා කියවූවා. මට මතක ඇති තරමින් ඒ මහින්ද කුමාර දළුපොතයන්ගේ "දිය හොල්මන" යි. එහි එන එක්තරා චරිතයක් ආත්මාර්ථකාමී අන්දමින් සම්ප්‍රදායන් උල්ලංඝනය කරන අතර ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් කෙරෙනවා. ඔහු අහංකාර අන්දමින් ඒ වරද දිගින් දිගට ම සිදු කරමින් ඒ වන විට ගොඩ නැගෙමින් පැවති වාණිජ පන්තිය හා එක් වෙනවා.

මේ කියවෙන යුගයත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීම වගේ ම තවත් පරිවර්තනයක් සිදු වූ යුගයක්. ඒ ගම වාණිජකරණය වීම සිදු වුණු කාලයයි.

මෙවැනි දෑ මීට පෙර ද සිදු වූ අවස්ථා ද තිබෙනවා. පහතරට යුරෝපීය ජාතීන්ට යටත් වීමේදී ඒ ප්‍රදේශයන්හිත් 1815 න් පසු උඩරට ප්‍රදේශයේත් සාමාජීය ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල ඇති වූ ආක්‍රමණශීලී පරිවර්තනයත් සමගත් ඒ දක්වා රැකී තිබුණු සම්ප්‍රදායන් බිඳ වැටුණු අතර බිය සැක නොමැති ව සම්මත සාරධර්මයන් උල්ලංඝනය කිරීමට ඉඩ හසර ලැබුණා.

ඒ නිසා මා නම් වටහාගෙන ඇත්තේ මෙය අපේ ජාන ගත දුර්වල කමක් නොව, විවිධ යුගයන්හිදී වූ සමාජ පරිවර්තනයන් සමග ඇති වූ තත්ත්වයක් ලෙසයි. 

මෙය නිවැරදි කර ගත යුතුයි. එහෙත්, ඒ සඳහා මා විශ්වාස කරන්නේ, අපේ සම්ප්‍රදාය සුරැකී පැවතුණු 1505 ට පෙර වූ යුගයට ආපසු යා යුතු බව නොවෙයි. දැනට අප තුල ඇති ආකල්ප වෙනස් කරන චින්තන විප්ලවයක් සිදුවිය යුතුයි. ඒ සඳහා අපේ පැරණි සම්ප්‍රදායන් තුලින් ගත හැකි දෑ බොහෝ වන බවත් නිසැකයි. ඒ අතර ම වත්මන් ලෝකයෙන් ගත හැකි ආදර්ශයන් ද බොහොමයි.

ඒ නිසා, විදේශගත ව සිටින සහෘදයන් වෙතින් මා ඉල්ලීමක් කරනවා.

ලෝකයේ දියුණු රටවල් බොහොමයක, මා ලිපියේ මුලින් කී දුර්වලතාවයන් දැකිය නොහැකියි.

ඔබ අවබෝධ කරගෙන ඇති අන්දමට, ඔවුන් ඒ තත්ත්වය ගොඩනගාගෙන තිබෙන්නේ කෙසේ ද? (දැඩි දඬුවම් පැනවීම / පෙර පාසල් යුගයේ සිට ආචාර ධර්මවලට අනුව හික්මවීම / ආගමික සංස්ථා හො ආගමික ග්‍රන්ථවලට ඇති බිය ආදි වශයෙන්.....)

මගේ ලිපියට කමෙන්ටුවක් ලෙස ඔබේ අදහස් දක්වන්න.

ශ්‍රී ලංකාවෙහි වෙසෙන සහෘදයන්ගේ අදහස් ද සාදරයෙන් පිළිගන්නවා.

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...