Sunday, May 27, 2018

විකෘති

-බන්ධුල සිසිර කුමාර-


මගේ බ්ලොග් එක නිතිපතා කියවන අය අතරෙ විවිධ වයස් සීමාවල අය ඉන්නවා ඇති. අපේ සමාජයෙත් ඉන් බැහැර ලෝකයේත් සිදු වන බොහෝ දේවල් ගැන අප එකිනෙකාට අපේ ම වූ කියවීමක් ඇති.

ඒ කියවීම බොහෝ විට එකිනෙකට වෙනස්. අප යම් දෙයක් ගැන විනිශ්චය කරන්නේත් තීරණවලට එළඹ ගන්නේත් අපේ ජීවිත කාලයේ, සවන් දීමෙන්, කියැවීමෙන්, අත්විඳීමෙන් ලබා ගන්නා ජීවිතාවබෝධයට අනුවයි.

අප උස් පඩි පෙළක සිටගෙන සිටිනවා යයි මොහොතකට සිතමු. පඩි පෙළේ ඉහළ පඩිවල සිටින අයට පහළ සිටින අයට වඩා තරමක් දුර පෙනෙනවා. හැබැයි, එහෙම වෙන්නේ ඉහළ සිටින අයගේ දෑස් හොඳින් පෙනෙනවා නම් පමණයි.

ඉහළ සිටින අය දෑස් බැඳ සිටීනම් කිසිවක් නෙපෙනේවි. පෙනීමේ දෝෂ ඇත් නම් පැහැදිලි ව නොපෙනෙනු ඇති. පාට කණ්ණාඩි දමාගෙන සිටියොත් පෙනෙන්නේ තථ්‍ය ලෝකය නොව විකෘතියකුයි.

පියවි ඇසිනුත් සයිබර් අහස තුලිනුත් ලෝකය හා ගැටෙන මා හට නිරීක්ෂණය වූ දේවල් දෙකක් තිබෙනවා.

මා හට පැහැදිළි මතකයක් තිබෙන පැරණි ම කාලය වූ හැත්තෑව දශකයේ සිට මා කතාව පටන් ගන්නම්.

අත්‍යවශ්‍ය මූලික ගොඩනැගිලි කිහිපයෙන් පමණක් යන්තමින් සමන්විත වූ අපේ ගමේ පන්සල මට සිහි වෙනවා.

වස් කාලයේ හැන්දෑ වරුවල පැවැත්වෙන පූජාවන්හිදී හා මාසයේ පොහොය දෙදින පමණයි ගමේ ජනතාව බහුල වශයෙන් පන්සලට රැස්වුණේ. එහෙත් ඒ කටයුතු සඳහා ශබ්ද වාහිනී භාවිතා වූයේ නැහැ. කලකට වරක් පැවැත්වෙන ආරාධිත ධර්ම දේශනා පින්කම් හා වෙනත් විශේෂ අවස්ථා පමණයි උත්සවාකාරයෙන් පැවැත්වුණේ. එම දිනවල පමණක් ශබ්ද වාහිණි භාවිතා වූවා. ලොකු කුඩා කවුරුත් පන්සලට එක් රැස්වන එවැනි දිනයන් ළමා අපට මහත් සතුටක් ගෙන දුන්නා.

දහම් පාසල හා ළමා සමිති, පන්සල ඇසුරේ පැවැති අතර අප ළමා කැල විවිධ ශ්‍රමදාන කටයුතු ආදියේ යෙදෙමින් පන්සලේ හා ගමේ පොදු කටයුතු වලට දායක වූ අයුරු අද සිහි වන්නේ මිහිරි සිහිනයක් වගෙයි.

අසූව දශකයේ ආරම්භය සනිටුහන් වෙන්නේ විවෘත ආර්ථික රටාව හඳුන්වා දීමත් සමග. එතෙක් වූ බොහෝ දෙවල් ඒ හා සමගින් වෙනස් වනු අප දුටුවා. සියලු දෙයට ම මිලක් නියම වූවා. බාහිර විච්චූර්ණ වලට වටිනා කමක් ලැබුණා. එකිනෙකා පරයා ඉහළට නැගීමේ වුවමනාව කා තුලත් වර්ධනය වූණා. එයින් ගැලවීමට පන්සලටවත් හැකි වූයේ නැහැ. ගොඩනැගිලි, තාප්ප, විසිතුරු වාහල්කඩ හා බෝධි ප්‍රාකාර පමණක් නොව විසිතුරු පොකුණු ආදි අවශ්‍ය අනවශ්‍ය සියලු දෑ පන්සල් භූමිවල ඉදිවෙන්නට පටන් ගත් අතර මේ සඳහා විවිධ අන්දමින් දායකයන්ගේ මුදල් ඇදගන්නා පසුබිමක් බිහි වුණා.

මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වෙමින් අසූව දශකයත් අනූව දශකයත් ගෙවී ගියා.

දෙදහසේ දශකය ආරම්භයේ සිට මීටත් වඩා විකාරරූපී සිදු වීම් මෙම අංශයේ සිදු වන අයුරු දැකගත හැකි වූවා. සම්ප්‍රදායික පුද පූජා විධි හා සමහර සංකල්ප පිළිකෙව් කරන "පොෂ් " බෞද්ධාගමික ධාරාවන් හා අර පූජා, මේ පූජා වශයෙන් එතෙක් නොවූ විරූ විච්චූර්ණ පූජාවන් කරලියට පැමිණි අතර ගෙමිදුලේ ගසකින් මල් විකක් කඩාගෙන, හවසට පන්සලට ගොස් බුදුන් වැඳ ගැනීමට තිබූ නිදහස වෙනුවට නියම කරන ලද දේවල්, නියම කරන ලද ප්‍රමාණයක් රැගෙන ඊනියා පූජාවලට සහභාගි වීමට මේ පසුබිම තුලදී සමහර බැතිමතුන්ට සිදු වුණා.

අගනුවරින් කිලෝමීටර දෙසිය ගණනක් දුර බැහැර පලාතක රැකියාවක නිරත ව සිටින මා උදෑසන හයට අවදි වූ මොහොතේ සිට පැයක පමණ කාලයක් ඇසෙන්නේ එතැනින් මඳක් එපිට වූ පන්සලක යකඩ කටකින් නැගෙන කන්දොස්කිරියාවක්. ආධාර දුන් අයගේ නම් ලැයිස්තු හා වෙනත් නොයෙකුත් දේ ඇතුලත් එම කියවීම අවට දායකයනට මොන තරම් හිරිහැරයක් වනවා ඇතිද?

බෞද්ධාගමට හා අප රටෙහි බෞද්ධ සංස්කෘතියේ මුල්වලට පහර දීමට විවිධ කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන, මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කර ඇති බව පෙනෙන මෙකල, ඉහත කී ආකාරයේ කටයුතුවලින් සිදුවන්නේ ඔවුනට ඒ සඳහා ආයුධ සැපයීම නොවේද?

බුදු දහමේ ගැබ් ව ඇති ගැඹුරු අධ්‍යාත්මික දර්ශනය හා සරල ජීවන මාර්ගය යටපත් කරමින් අප විසින් ම කර ගනිමින් සිටිනුයේ, කුමන්ත්‍රණ කාරීන්ගේ වුවමනාව ඉටු කිරීම නොවේද?

ගංගොඩවිල සෝම හිමියන් ජීවමාන ව වැඩ විසූ යුගයේ දී ජනතාව මිත්‍යාවෙන් මුදා ගැනීමට උන්වහන්සේගේ කාලයත් ශ්‍රමයත් කැප කළ අන්දම, ඒ යුගය ඇසින් දුටු අපේ මතකයෙන් ගිලිහී නැහැ. එසේ වූ සෝම හිමියන්ගේ මඟ අනුගමනය කරනු වෙනුවට, සෞභාග්‍ය උදා කරලනු පිණිස, සෝම හිමි වන්දනා කරන ලෙස කියා සිටින පුවත් පත් ලිපියක් මා මෑතකදී දුටුවා. ඒ සඳහා සෝම හිමි වන්දනා ගාථා නම් ගාථා විශේෂයක් ද එහි දක්වා තිබුණා!( එය ලියා තිබුණේ ගිහියෙක්.)

මේ පසුබිම තුල සිදුවන අනෙක් ඛෙදවාචකය මෙයයි.

එනම්, නිදහසේ සිතා බලා යමක හොඳ නරක තේරුම් ගැනීමට උත්සාහ කරන තරුණ ප්‍රජාව මෙම විච්චූර්ණ දැක, බුද්ධාගම යනු මේ යැයි සිතා, පන්සලෙන් පමණක් නොව බුදු දහමින් ද ඉවත් වීමයි. ඒ ඉවත් වීම සංස්කෘතික ධාරාවෙන් මෙන් ම ජාතික අනන්‍යතාවයෙන් ඉවත් වීමක් බවට පත් වීම අනිවාර්යයෙන් සිදුවන්නක්. අද නිරාගමිකයන් බවට පත් ව ඇති තරුණ ප්‍රජාව අතරින් කිසියම් ප්‍රතිශතයක් මේ පසුබිම තුල එසේ වූවන් බව පැහැදිලි යි. 

චත්මන් තත්ත්වය බුදු දහමේ හෝ බෞද්ධ සංස්කෘතියේ සාමාන්‍ය තත්ත්වය නොව පසුකාලීන සමාජ විකෘතියක් බව කුඩා කල සිට ම එම තරුණ ප්‍රජාවට පෙන්වා දීම, ඔවුන්ගේ වැඩිහිටි පරපුරේ යුතුකම ව තිබුණා. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය පාසලින් ඉවත් කිරීමෙන් පසු බිහි වූ මුල් සිඳුණු පරපුරට අයත් ඒ වැඩිහිටියන් බොහොමයක් අතින් ඒ යුතුකම ඉටු වූයේ නැහැ.

(මෙ පසුබිම තුල, බොදුනුවන් නිරාගමිකයන් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වෙන බව පැහැදිලි ව පෙනෙන කරුණක්. වෙනත් ආගමිකයන් නිරාගමිකයන් බවට පත් ව ඇද්ද යන්න විමසිලිමත් ව සොයා බලන්න! මෙය වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.)

අනෙක් අතට, මෙරට බුදු සසුන නැවත නිසි තැන පිහිටුවීමට නම් මහා පරාක්‍රමබාහු රජ සමයේ සිදු වූවාක් වැනි ශාසන සංශෝධනයක් සිදු විය යුතු යයි මා සිතනවා. එහෙත් එවැන්නක් සිදු වීම සඳහා සැපිරිය යුතු සමාජ දේශපාලනික අවශ්‍යතා රැසක් තිබෙනවා.

එතෙක්, ජනතාවගේ නෙත් අරවන, අඳුරින් එලියට රැගෙන යන ගංගොඩවිල සෝම හිමියන් වැනි සංඝ පීතෘවරයකුගේ බිහි වීම හෝ අත්‍යවශ්‍ය වෙනවා.

හැකි පමණින්වත් සමාජය ඥානණය කිරීම, අතීතය දුටු අපේ යුතුකම විය යුතු යයි මා සිතනවා.

4 comments:

  1. ලංකාවේ ආචරශීලීබව නීතිගරුකබව වගේ දේවල් අඩුවෙලා ආගම් (සහ අනෙකුත් විස්වාස ) ඇදහීම වැඩිවෙලා. ආගම් සහ පූජකයින් මොන මගුලක් කරගත්තත් මට කමක් නෑ, කණ පැලෙන්න ලවුඩ් ස්පීකර් නොදා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම, "ඇදහිලි" වැඩිවෙලා. අවබෝධය අඩු වෙලා.

      Delete
  2. රටේ තියෙන බෝ ගස් හැම එකකම දැන් ඉස්පීකර් හයිකරලා උදේ ඉඳන් රෑ වෙනකල් අපට ධර්මය බෙදනවා. කරච්චලයක් තමා ඒ උනාට පව් සිද්දවෙයි කියල කට්ටිය මොකුත් කියන්නෙ නෑ. රෑට මහන්සි වෙලා නිදාගන්න ලෑස්ති වෙන අය පාඩම කරන ළමයි කොච්චර ඉන්නවද මේ වදේ විඳගන්න බැරිව.


    ReplyDelete
    Replies
    1. ඔව්, මේ දැන් තියෙන්නෙ මහා විකෘතියක්. දශක කිහිපයකට පෙර බුද්ධාගමේ මේ වාගෙ විකාර පූජා, විච්චූර්ණ ඇදහිලි ක්‍රම, ජනතාවට හිරිහැර සිදුවන ඝෝෂාවන්, තිබුනෙ නැහැ. එකල අපි පන්සල්වලට ගියේ ම, හිත ටිකක් නිවා ගන්න. අද සම්පූර්ණයෙන් ම ඒකෙ අනෙක් පැත්ත.

      මූලික ව ගත්තොත් බුදුදහම කියන්නෙ ම ඇදහිලි ක්‍රමයක් නොව දර්ශනවාදයක්. එක්තරා යුගයකදි එය ආගමක් බවට පත් කර ගනු ලැබුවත් ඒවා බොහොම සරල පූජා විධි. බුද්ධාගමේ දැඩි නීති රීති නැත්තේත් ඒ නිසයි.

      සියලුම ආගම්වල සිද්ධස්ථානයන්හි මෙවැනි ශබ්ද විකාශන යන්ත්‍ර දිනපතා භාවිතය තහනම් කළ යුතු බවට නීතියක් ගෙන ආ යුතු යැයි මා සිතනවා. අවශ්‍ය නම් සිද්ධස්ථානය ඇතුලත ප්‍රදේශය පමණක් ආවරණය වන පරිදි බෆල් යොදා ගැනීමට පමණක් අවසර දිය යුතුයි. (මගේ මතකයට අනුව මෙම ලවුඩ්ස්පීකර් භාවිතය මුලින් ම ඇරඹුනේ පන්සල්වල නොවෙයි. පන්සල් ඊට යොමු වුනේ ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙසටයි.)

      Delete

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...