Wednesday, November 29, 2017

වෙරළු ගහ යට


බන්ධුල සිසිර කුමාර





කොළඹ අවට ඉපිද හැදී වැඩී, කොළඹ නගරයේ ඉගෙනුම ලැබ, කොළඹ නගරයේ ම රැකියාවේ යෙදුණු මට ඈත දුර බැහැර ගම්දනව් පිළිබඳ සෞන්දර්යාත්මක සිහිනයන් තිබුණා. ඉසිඹුවක් ලද සැම කල්හි ම මා ඒ ගම් දනව් වල සංචාරය කළා. ජීවිතයේ පසු කලෙක හුරු පුරුදු නගරයට සමු දී මැද පලාතේ ඈත කෙළවරක පදිංචි ව උතුරු මැද පලාතේ රාජකාරියෙහි යෙදෙන විට දුරට පෙනෙන සුන්දරත්වයට යටින් දිවෙන ඒ ජීවිතයේ කටුක සත්තාවත් ජීවන අරගලයේ වේදනාවත් මා දුටුවා.

කවදාවත් නිමක් නොදකින, ඉදිරි ගමනක්, සුගතියක් ද නැති කෘෂිකාර්මික ජීවන චක්‍රයෙන් මිදී යාමට ඒ ඈත ගම් දනව්වල තරුණ පරපුර තුල පොපියන ආශාව මා හොඳින් ම දුටුවා. ශිල්පයක් උගෙන, හොඳ රැකියාවක් හෝ වැඩිදුර ඉගෙනීමක් සඳහා, අරමුණක් ඇතිව ගමෙන් පිටවන තරුණයන් මෙන් ම, කුමක් හෝ රැකියාවක් සොයා ඉබාගාතේ කොළඹට එන තරුණ පෙළක් ද එහි දී දුටුවා. එසේ අරමුණකින් තොර ව නගරයට එන තරුණයන්ගේ ජීවිත එතරම් සුන්දර වුනේ නැහැ.

මේ අත්දැකීම් මත සිටින මගේ සිතේ මහත් කම්පනයක් ඇති කළ ගීතයක් මෑතකදී අසන්නට ලැබුණා.එය ගැයුවේ කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාණන්.

වෙරළු ගහ යට පුංචි කාලය - කොහේ කොතැනද අහන මොහොතක
මාවතේ - දුරකතන හදවත නැවතුනා
අනේ අම්මේ කාසි ඉවරයි - ආදරේ බව කියන්නටවත් බැරි වුණා

ගමෙන් ගෙන ආ හීන කවරය - තවම ඇත බෝඩිමේ ඇඳ යට
සිහින විමසන මදුරුවන් මැද - නිදාගන්නත් බැරි වුණා
අනේ අම්මේ හීනයක්වත් දකින්නට මට බැරි වුණා

ගමේ ගෙදර සිට නගරයේ බෝඩිමක පදිංචියට එන තරුණයා එතෙක් තමා ප්‍රිය කළ පොත පත, තමාගේ විනෝදාංශවලට අදාල දේවල්, අළුත් වටපිටාවේදී කළ හැකි වේ යැයි පෙරදී සිහින දුටු විවිධ කටයුතු වේ නම් ඊට අදාල කළමණා ආදියත් රැගෙන එනවා. එහෙත් නගරයේ බෝඩිං ජීවිතයේ ඒකාකාරි චක්‍රයට අසුවන ඔහුට ඒ කිසිවක් කරන්නට ලැබෙන්නේ නැහැ.“ගමෙන් ගෙන ආ හීන කවරය - තාම ඇත බෝඩිමේ ඇඳ යට“ යන්නේ කියැවෙන්නේ එය බවයි මගේ අදහස. (ජීවිතයේ සැළකිය යුතු තරම් කාලයක් නවාතැන්වල ගත කළ මා ද මෙම තත්ත්වය හොඳින් ම අත් දැක තිබෙනවා.)

බෝඩිමක නැවතී කොළඹ අවට සාමාන්‍ය රැකියාවක් කරන්නකුගේ ජීවිතයට ආවේණික කම්කටොලු රැසක් තිබෙනවා.අවිවේකය, අඩු පහසුකම් හා සනීපාරක්ෂාව ඒ අතරින් ප්‍රධාන යි. ඒ පීඩාවන් තුල දිවි ගෙවන තරුණයාට මව ගැන සිතන්නට සොයන්නට අතපසු වෙනවා.මදුරුවන් නිසා නිදා ගන්නට බැරි වූ බවත් ඒ නිසා හීනයක්වත් දකින්නට- මව හීනෙන්වත් දකින්නට- නොහැකි වූ බව ඔහු සමාව ඉල්ලන ස්වරයෙන් කියනවා.

කොළොම්පුරයට ඉර වඩම්මන - පෙරහැරේ රිය සෙනග අතරේ
කහ ඉරක් මත හැපී මිය යන - ප්‍රේමයක් මට හමු වුණා
අනේ අම්මේ වතුර උගුරක් දෙන්නවත් මට බැරි වුණා

නගරයේ දී අහම්බෙන් හමු වන තැනැත්තියක හා ඔහු අතර ප්‍රේමයක් ඇති වෙනවා. එහෙත් එය අසාධාරණ අන්දමින් ඔහු ව හැරයන තාවකාලික ප්‍රේමයක්. “කහ ඉරක් මත හැපී මිය යන“ යෙදුමෙන් නිරූපණය වන්නේ එයයි. මේ ප්‍රේමය පැවතුණු කාලය තුල අම්මා තව දුරටත් ඔහුගේ අවධානයෙන් ගිලිහෙනවා. අම්මා ඇගේ දුක් කම් කටොලුවලින් මුදා ගෙන රැක බලා ගත හැකි පසු බිමක් ගොඩ නැගෙන්නටත් පෙර ඇය මිය යනවා.

ඔහු මාවතේ දුරකතන කුටියකින් අම්මාට කතා කළ මොහොතක අම්මා ඔහුගේ කුඩා කාලය ගැන කියනවා.ඒ කතාබහ අවසන් වෙන්නටත් පෙර මුදල් අවසන් වී දුරකතනය විසන්ධි වෙනවා. එය ඔහුට අම්මා සමග කළ හැකි වූ අවසන් කතා බහ වන්නට ඇති. ඔහු අතින් වතුර උගුරක් හෝ පොවන්නට නොලැබෙන පසුබිමක ඇය මෙලොව හැර යනවා.

“අනේ අම්මේ කාසි ඉවරයි“ , “වතුර උගුරක් දෙන්නවත් මට බැරි වුණා“ වැනි යෙදුම්වල ධ්වනිතාර්ථය තුලින් ඔහු ඇද වැටී ඇති ආර්ථික මට්ටම පිළිබඳ ව ඉඟි කෙරෙනවා.

සමස්තය ම සළකා බලන විට ගුණදාස කපුගේ ශිල්පියාණන් ගැයූ “දවසක් පැල නැති හේනේ“ ගීතයට පමණක් දෙවැනි වන, නැතහොත් ඒ හා සම මට්ටමේ වූ ගීතයක් ලෙස මා මෙය දකිනවා.

මේ ගීතයෙන් කියවෙන අරුත වඩාත් තීව්‍ර කරන සංගීත සංයෝජනයත් අති විශීෂ්ටයි.

ඔබත් මේ ගීතය රසවිඳින්නේ නම්, ඔබගේ අදහස කොමෙන්ටුවක් සේ දක්වන්න. සමහර විට මේ අත්දැකීම්වලින් ස්වල්පයක් හෝ ඔබටත් ඇති.

මේ අපූරු ගීතයේ ගේය පද රචනය රජීව වසන්ත වෙල්ගමයන්ගේ. සංගීත ශිල්පියා කවුදැයි මට සොයා ගැනීමට ලැබුණේ නැහැ. ඒ අයට කරන සාධාරණයක් හැටියටත් මගේ දැන ගැනීම උදෙසාත් ඔබ දන්නේ නම් එම අයගේ නම් සඳහන් කරන්න.

මේ සබැඳිය ඔස්සේ ගීතය අසා බලන්න.

1 comment:

  1. සංගීතය:- නවරත්න ගමගේ සංගීත ශිල්පයා

    ReplyDelete

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...