බන්ධුල සිසිර කුමාර
මීට පෙර මා පතල් කවි පිළිබඳ පෝස්ටු ඉදිරිපත් කළා. එහෙත් මේ සමග ඉදිරිපත් කෙරෙන්නේ පතල් කවියක් නොවෙයි. පතල් කවියේ ආකෘතිය මෙන් ම අනෙකුත් සියලු ලක්ෂණත් කැටි කොට ගත් මෙය නූතන ගීතයක්. එසේ ම මෙයින් කියවෙන්නේ මිනිරන් පතලක නොව මැණික් පතලක අත්දැකීම්. එහෙත් අර සම්ප්‍රදායික පතල් කවියක මෙන් ම මෙම ගීතයේ ත් පතල් කම්කරුවන්ගේ ජීවන දුක් ගැහැට ඉතා සංවේදී අයුරින් නිරූපණය වෙනවා.
කවියක් වගේ නොවෙයි, ගීතයක නියම රස වින්දනය සඳහා එහි පද මාලාව කියවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැනේ. ඒ නිසා පහතින් දක්වා ඇති ලින්කුවෙන් ගීයට සවන් දී බලන්න.
හරහට ඇදෙන දෝනා බිය ගෙනෙන්නේ-
අඳුරු පතල් යට අපි කල් ගෙවන්නේ
ගොඩ එන මැණික් මත කවුදෝ යැපෙන්නේ
ඉහළට ඇදෙන කූඩයෙ පස් පිරෙන්නේ
කවදද දිස්නයක් මැණිකක දකින්නේ
පතලට යට වෙලාදෝ අපි මියෙන්නේ
මැණිකක් අතින් ගෙන දෝ මතු උපදින්නේ
මරුගෙ අතක් අප ගෙල වට රැඳි හන්දා
විශ්වාසයක් නම් හෙට ගැන නැහැ රන්දා
මැණිකක තිබෙන දුලබ ගුණය නැති හන්දා
අපි කලු ගල් ය හැම තැන හමු වන හින්දා
කෝලිත භානු දිසානායක ගායන ශිල්පියාණන් ගයන මේ ගීතයේ පද රචනය හා සංගීත නිර්මාණය කාගේ දැයි මට සොයා ගැනීමට හැකි වූයේ නැහැ. ඔබ කවුරුන් හෝ එය දන්නේ නම් ඒ දෙපළට කරන ගෞරවයක් වශයෙන් කමෙන්ටුවක් ලෙස ඒ නම් සඳහන් කරන මෙන් ඉල්ලා සිටිනවා.
No comments:
Post a Comment