බන්ධුල සිසිර කුමාර
අනුරාධපුර රාජධානිය බිඳ වැටුණු වර්ෂ 1017සිට, වසර දෙසීයකට පමණ වරක් බැගින් අපි දුෂ්ඨ සතුරු අභියෝගයකට නැවත නැවතත් මුහුණ දෙමින් සිටිමු.
අනුරාධපුර රාජධානිය බිඳ හෙළීමෙන් පසු ගොඩ නැගුණු පොළොන්නරු රාජධානිය වසර දෙසිය ගණනක් ගත වූ පසු කාලිංග මාඝයා විසින් වනසා දමන ලදී. ඉන්පසු ගත වූ වසර දෙසිය ගණන තුල දඹදෙණිය, යාපහුව, කුරුණෑගල හා ගම්පොල හරහා කෝට්ටේ ට පැමිණ කූට ප්‍රාප්තියට පත් වූ අප රාජධානිය 1505 දී පෘතුගීසින් විසින් විනාශ කරන ලදී. එයින් වසර 300 ක් ගත වෙද්දී දිවයින මධ්‍යයේ හෝ ඉතිරිව තිබූ අපගේ ස්වාධීනත්වය ඉංග්‍රීසින් විසින් වනසනු ලැබිණි. එතැන් සිට මේ 2017 දක්වා ගත වී ඇත්තේ වසර 202 කි. නියමිත කාල පරාසය ගතවෙද්දී අප නැවතත් තර්ජනයකට මුහුණ පා ඇති බවක් නොපෙනේද?
සුළු ජාතීන් අසාධාරණයට ලක් වන්නේ යයි කියනු ලැබේ.
කතාව සහතික ඇත්තය.
ලෝකයේ සුළු ජාතියක් වන අප දිගින් දිගටම බැට කෑවේ වර්ෂ1017 සිට පමණක් නොවේ. අපගේ ශිෂ්ටාචාරය ආරම්භ වූ තැන සිට අප හිස ඔසවන වාරයක් වාරයක් පාසා ම පහර දී අප බිම හෙළන ලදී. අනුරාධපුර රාජධානිය අත් හැර දැමීමට සිදු වන තරම් ව්නාශ වූයේ ඒ නිසා ය. දුරාතීතයේ සිට වර්ෂ 1505 දක්වා දකුණු ඉන්දියාව විසින් ද, 1505 සිට විසිවැනි සිය වස දක්වා යුරෝපීයයන් විසින් ද අපගේ ශිෂ්ටාචාරය වනසන ලදී. මේ වන විට යුරෝපීයයන් හා දකුණු ඉන්දියාව එක් ව අප ව වැනසීම ට කැස කවමින් සිටින අන්දම පෙනේ.
පැරණි ශිෂ්ටාචාරයන් සහිත රටවල, අතීතයේ ශ්‍රී විභූතිය ට සාක්ෂි දරන සිය වස් ගණන් පැරණි රජ මාලිගා ආදිය ඉතිරි ව පවතී. එසේ වුවත් අප රටේ, වසර හත් සියයකට වඩා පැරණි නොවූ පොළොනන්රුවේ පවා දක්නට ඇත්තේ ගිනි තබා විනාශ කරන ලද රජ මාළිගාවල නටබුන් ය. වසර202 කට පෙර පැවැති මහනුවර රජ මාළිගාවේ පවා ඉතිරි ව ඇත්තේ කොටස් කිහිපයක් පමණි.
මේ, ලෝකයේ සුළු ජාතියක් වීමේ ආදීනවයයි.
එසේ වූ කල අප, අපගේ දැනුම, සම්ප්‍රදාය, ශිල්ප ක්‍රම හා ආචාර ධර්ම අතුරින් අංශු මාත්‍රයක් හෝ රැකගෙන අද දක්වාත් ඉතිරි ව සිටීම ම අරුමයෙකි.
No comments:
Post a Comment