Wednesday, November 29, 2017

දෙවියනි නාත පාළුයි තාම මල් යහන.......

බන්ධුල සිසිර කුමාර

Image may contain: mountain, sky, outdoor and nature


එදිනෙදා ජීවිතයේ කාර්ය බහුලතාව හේතුවෙන් ටෙලිනාට්‍ය නැරඹීම සඳහා කාලයක් වෙන් කිරීම මා හට තරමක් දුෂ්කර ක්‍රියාවක් වුවද හොඳ නිර්මාණයන් ඉදිරිපත් වූ සෑම අවස්ථාවකම ඒ සඳහා කෙසේ හෝ කාලය ‍සොයා ගත්තා. දැනටත් බොහෝ විට, එවැනි හොඳ මට්ටමේ නිර්මාණ, විවේකය ඇති වේලාවක අන්තර්ජාලය තුලින් හෝ නැරඹීම සිදුකරනවා. එහෙත් එබඳු පහසුකම් අවම වූ අතීතයේ එවැනි නිර්මාණ කිහිපයක් මා හට මගහැරී ගියා. ඒ අතරින් එකක් ‘මරුවැල‘.

එම ටෙලිනාට්‍යයට අයත් වූ එක්තරා ගීතයක් අද දක්වාත් මා තුල මහත් කම්පනයක් ඇති කරන්නක්. නාට්‍යය නැරඹීමට නොහැකි වූ නිසා නාට්‍යය තුල එම ගීතයට අදාල සන්දර්භය කුමක් දැයි මා දන්නේ නැහැ.එහෙත් එම ගීතය ඇසෙන වාරයක් පාසා මගේ සිහියට නැගෙන්නේ අවුරුදු පහළොහකට විස්සකට පෙර අපේ සමාජය මුහුණ දුන් එක්තරා ඛෙදවාචකයක්.

උතුරුමැද හා නැගෙනහිර වැනි පළාත්වල ගොවිජනපද, මහවැලි ව්‍යාපාරය ආශ්‍රිතව බිහි වූ ගම්මාන ආදියේ ජීවිතය දිවයිනේ අනෙක් ප්‍රදේශවලට වඩා තරමක් වෙනස්. අප සමාජයේ බොහෝ දෙනා මාසික වැටුප් ලබනවා. තවත් සමහරුන් තමා යෙදෙන වෘත්තියෙන් හෝ ව්‍යාපාරයෙන් දිනපතා ආදායමක් ලබනවා. එහෙත් තමන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වී ගොවිතැන වූ, මා මුලින් කී පිරිස සිය ආදායම ලබන්නේ වසරකට දෙවතාවයි. එසේ එක් කන්නයකින් ලබන ආදායමෙන් අස්වනු නෙලීමට අදාල සියලු කුලී හා ගාස්තු ගෙවා දමා, වගාව සඳහා ලබාගත් බැංකු ණය පියවා, ඉදිරි කන්නය වෙනුවෙන් ආයෝජනය කිරීමට මුදලක් වෙන් කර ඉතිරිවන මුදල ඊළඟ කන්නයේ ආදායම ලැබෙන තුරු ජීවත් වීම සඳහා කළමනාකරණය කරගත යුතු වෙනවා. කිසියම් අනපේක්ෂිත සිද්ධියකින් මෙම චක්‍රයේ සමතුලිතතාව බිඳවැටුණොත් ඇති වන්නේ මහා සාමාජීය ඛෙදවාචකයක්.නියඟය, වැස්ස, ගංවතුර, වන අලින්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, වී ගැනුම් මිළ අඩු වීම් ආදි විවිධ දෙයින් වරින් වර මෙම චක්‍රයේ සමතුලිතතාව බිඳී යනවා. විශේෂයෙන් ගංවතුරත්, නුසුදුසු කල එන නියඟය හා වැස්සත් නිසා වී වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමත් සිදු වෙනවා.

දැනට වසර පහළොහකට විස්සකට පමණ පෙර අතීතයේ මේ පළාත් වල ගොවි මහත්වරුන් කෘමිනාශක පානය කර දිවි නසා ගැනීමේ සිද්ධීන් එක පිට එක වාර්තා වන්නට වුණා. එකල මෙය සාමාජීය ගැටළුවක් වන තරමට දුර දිග ගියා.

‘මරුවැල‘ ටෙලිනාට්‍යෙ යේ මෙම ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා මගේ සිත විනිවිද යන්නේ ඒ අතීත ව්‍යසනය වෙතයි.

තුන් බිය පැමිණ තුන්කල් දුටුව සිහින දැන
රන්ගිරි මුදුන රන් මාලිගය ගිනි තියන
රන් වන් දෙදළ දන් දෙනු බැරිව දෙදණ ඇන
නුඹ තනියෙන්ද මගෙ ඇත් රජුනෙ අද මෙතැන

මේ ගීතයෙන් කියවෙන ඔහු සාමාන්‍ය ගොවියකු නොවෙයි, ගොවි රජෙක්. අනෙක් ගොවියන් අතර ප්‍රජා නායකයකු, ප්‍රභූවරයකු මෙන් විසුව පුද්ගලයෙක්. කිසිසේත් බලාපොරොත්තු නොවූ අකල් හෙණපතයකින් ඔහුගේ සියළුම සැළසුම් බිඳ වැටෙනවා. වගාවන් සඳහා ලබා ගත් දැවැන්ත බැංකු ණයක් වෙනුවෙන් ඔහුගේ ගොඩ මඩ ඉඩම් සින්න වීමට යනවා. ඒවා නැති වීමත් සමග ඔහුගේ සාමාජීය වැදගත් කමත් නැතිව යනු ඇති. ඔහු එසේ බිඳවැටී ඇති බව-නැතහොත්, දැනටමත් දිවිනසාගෙන ඇති බව- ගීතයේ මෙම පළමු කොටසින් කියැවෙනවා.

රන් කරලින් ම රන් ගෙන තැනුව රන් කිරුළ
පළඳා ගන්ට මඩ සෝදන්ට නැහැ වතුර
පාළුයි කමත වෙල් ඉපනැල්ල සිරි යහන
අම්බරුවන්ට ණය තලු මරන පින පමණ

ඔහුට සිදු වූ විනාශයට හේතු පාදක වන්නට ඇත්තේ වතුර නොලැබීමක්. එය ස්වාභාවික උපද්‍රවයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වන්නට ඇති. සිව්වන පදයේ ඇත්තේ කිසියම් ව්‍යංගාර්ථයක් බව පෙනෙනවා. රචකයා විසින් උපහාසයට ලක් කරන්නේ, ගොවියන් මුහුණ දෙන විවිධ ගැටළුවලට විසඳුම් නොදී , ගොවියන්ට ලබා දුන් ණය ප්‍රමාණ ගැන පමණක් උදම් අනන බලධරයන් ව විය හැකියි.

රන් ගාවා ද මුතු අමුණා ද අඟ මුදුන
කොළ මඩවා ද ගිනි වැදුනාම සුබ සිහින
උල්පත ගාව තුන්පත් රෑන දිව ගිලෙන
දෙවියනි නාත පාළුයි තාම මල් යහන

‘අං දෙක රන් ගාවඤ්ඤයි‘ ආදි වශයෙන් අපේ ජන සාහිත්‍ය යේ සඳහන් වන්නේ ගොවිතැනට උදව් කළ ගවයන්ට පවා කළ ගුණ සළකන, යුතුකම් ඉටු කරන අපේ සම්පුදායේ යහපත් ගුණාංගයි. එහෙත් සුබ සිහින .ගිනි වැදුණු කල යුතුකම් ඉටුකරන්නේ කෙසේද?

මෙම කොටසේ තුන් වන පදයෙන් ඔවුනට සිදුව ඇති සියලු දෙය කැටි කොට දක්වමින් ‍ගීතයෙන් ජනිත කරවන රසය එහි උච්චතම අවස්ථාව කරා රැගෙන එනවා. රචකයා මේ ගොවි පවුලට රූපකයක් ලෙස දක්වන්නේ තුනපත් රෑනක්. එනම්, සාමාන්‍ය අය නොවේ, ඔවුන් ඇතුන් වැනි අය. කවදාවත් මෙසේ වනු ඇතැයි නොසිතුනු වැදගත් පවුලක්. පිපාසයෙන් ඔවුන්ගේ දිව ගිලෙන්නේ උල්පත ත් ළඟ තිබිය දීයි. එනම් මුළු මහත් සමාජය ම එකවර ගොදුරු වූ ව්‍යසනයකට නොවේ. ඔවුන් මුහුණ පා ඇත්තේ. වට පිටාවේ, සමාජයේ, රටේතොටේ සාමාන්‍ය අන්දමින් මුදල් හදල් ගැවසෙද්දී ඔවුන් පමණක් “කම්මුතුයි“.

මේ පදමාලාව හරීම අපූරුයි. එහෙත් මෙය ගායනා කරන ආනන්ද පෙරේරා ගායන ශිල්පියාණන් අපේ ජන ගී ආරට සමීප ශෛලියකින් මෙම පදමාලාවට ‘ප්‍රාණය‘ දෙනවා. සංගීත නිර්මාණයත් එම හැඟීම් මාලාව වඩ වඩාත් තීව්‍ර කරනවා. මෙතෙක් දුර මා කී දේ නිවැරදිදැයි තීරණය කිරීම සඳහා ඔබ මේ ගීතය අසා බැලිය යුතු ම වෙනවා. ඒ සඳහා ලිංකයක් මෙහි පහතින් දක්වා ඇති.

මා කොතෙක් උත්සාහ කළත් මෙහි ගේය පද රචකයා හා සංගීත නිර්මාණ ශිල්පියා කවුදැයි සොයා ගැනීමට හැකි වූයේ නැහැ. ඔබ එම තොරතුරු දන්නේ නම් ඒ අයට කරන සාධාරණයක් ලෙස මෙහි ඒ අයගේ නම් සඳහන් කරන්න.

මා නැවතත් සඳහන් කරනවා, මරුවැල ටෙලිනාට්‍යය තුල මේ ගීතයේ අවස්ථා සම්බන්ධය මා දන්නේ නැහැ. එය මා කියන කථාවට වඩා වෙනස් එකක් වන්නටත් පුළුවනි. මා විස්තර කළේ මට දැනෙන හැඟීමයි. සමහර විට ඔබ එම ටෙලිනාට්‍යය නරඹා ඇති.


http://sarigama.lk/profile/song_profile/3024/thun-biya-pemina-ananda-perera-mp3-song-download-online-listen

No comments:

Post a Comment

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...