Monday, July 16, 2018

ඉතිහාසය වෙනස් කළ මිනිස්සු - 2

- බන්දුල සිසිර කුමාර -


අපේ ගෙවී ගිය දවස් ගැන විමසිල්ලෙන් බලන විට පෙනී යන එක් වැදගත් කරුණක් වන්නේ වගකිවයුතු පුද්ගලයන්ගේ කිසියම් ක්‍රියාකාරිත්වයක් මුළු මහත් ජාතියක ඉරණම තීන්දු කර ඇති අන්දමයි. ඒ තීන්දුව හොඳට මෙන් ම නරකට ද විය හැකියි.

සිත්නරු බුදල්නාවන් විසින් කීර්ති කුමරු රැක බලා ගනිමින් පොළොන්නරු යුගයේදී සොළී ආක්‍රමණිකයා පළවා හැරීමට මඟ පෑදු අයුරු අප පෙරදී සඳහන් කළා. ඒ සිදු විම නොවන්නට අපගේ සභ්‍යත්වය 12 වන සිය වසේදීම අභාවයට යන්නට ඉඩ තිබුණා. 

"මහරජ ඔබ මේ භූමියේ අයිතිකරු නොව භාරකරු පමණෙකැ"යි වරෙක මිහිඳු හිමියන් දෙවන පෑතිස් රජු වෙත සිහිපත් කර දී තිබුණා. 

මේ සත්‍ය අමතක කර, අමනොඥ තීරණයන්ට එලැඹ, ඒ මගින් මුළු මහත් ජාතියක් ම අගාධයේ හෙලූ රජුන් හා ප්‍රභූන් කිහිප දෙනෙකු අප ඉතිහාසයේ හිඳිනවා. 

දේශයටත් ජාතියටත් අත් වූ ප්‍රබලතම විනාශයන්ට මග පෑදූ ඔවුන් පිළිබඳ ව, සියල්ලන්ට ම අමතකව ගොස් ඇති අතර ඉතිහාසය ගැන යම් අවබෝධයක් ඇත්තවුන් අතින් පවා දෝෂ දර්ශනයට ලක්වන්නේ ඔවුන් නොව, ඔවුන්ගේ අමන තිරණයන්හි ප්‍රතිඵල බවට පත් වූ වෙනත් අයයි. 

මෙවන් චරිත කිහිපයක් සිහිපත් කළ හැකියි. 

  • සම්ප්‍රදාය පරිදි අගබිසවුන්ගේ වැඩිමහල් පුතුට රජකම නොදී වෙනත් බිසවකගේ පුතකුට කිරුළු පැළඳවීමට තැත් කිරීමෙන් පුතුන් තිදෙන වෙතින් ම මැරුම් කෑවා වූද, ඒ පුතුන් ඉන්පසු එකිනෙකාට විරුද්ධ ව පෘතුගීසීන්ගෙන් ආධාර පැතීම නිසා පෘතුගීසීනට මෙහි පැළපදියම් විමේ අවස්ථාව උදා වීමට මූලික වගකිව යුත්තා වූවා වූද විජයබාහු V රජු. 
  • සොහොයුරන්ට විරුද්ධ ව පෘතුගීසීන්ගෙන් ආධාර ලබා ගැනීමේ අරමුණින් සිය මුණුබුරු වූ ධර්මපාල කුමරු ළදරු වියේදීම පෘතුගීසීනට පාවා දී කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට පැවරීමට නීත්‍යානුකූල ලේඛන සැකසීමට මඟ පෑදුවා වූද, විජයබාහු V රජුගේ වැඩිමහල් පුතු වූද භුවනෙකබාහු VII රජු. 
  • නායක්කර් වංශිකයන් රාජත්වයෙන් ඉවත් කිරීම හැරුණු විට ඉංග්‍රීසින්ගේ සහායෙන් තමා වෙත රජකම ලබා ගැනීමට සිහින දුටු ඇහැලේපොළ අදිකාරම. 

එහෙත් මේ ලිපියට ප්‍රස්තූත වන්නේ මොවුන් නොවේ. 

අපගේ ඉතිහාසයේ නැවත නිවැරදි කළ නොහෙන වෙනස් කම් රැසක් සිදු කරමින් අපගේ එතෙක් පැවති සම්ප්‍රදාය, තාක්ෂණය, යහපත් චර්යාවන් ආදි සියල්ල අභාවයට යැවූ දෛවෝපගත සිදු වීම වන, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වීමේ මූල හේතුවක් නිර්මාණය කළා වූද, එහෙත් ඒ සඳහා කිසිවකුගේ චෝදනාවට ලක් නොවන්නා වූද, අන්තිම සිංහල රජු වූද, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ගැන විමසීමක් මෙහිදී සිදු කරමු. 

1706 සිට 1739 දක්වා වසර 33 රජකම දැරූ මොහු, විමලධර්මසූරිය II රජුගේ පුතු ද, රාජසිංහ II රජුගේ මුණුබුරුද වූවා. කුඩා කල සිට ම කළහකාරි අයෙක් වූ මොහු කෘර කමින් හා දුරාචාරයෙන් ද සෙල්ලක්කාර ගති වලින් ද යුතු වූ අයකු බව කියැවෙනවා. දිවයින තුල ම වෙනත් රාජ වංශිකයන් ද වෙනත් ප්‍රභූන් ද සිටි පසු බිමෙක මොහු සිය අගබිසව ලෙස කැඳවා ගන්නේ මධුරාපුරයේ නායක්කර් නමැති ප්‍රභූ පෙළපතට අයත් කුමරියක්. 

බොහෝ විට සිංහල සම්ප්‍රදාය තුල රජකම හිමි වී ඇත්තේ අග බිසවුන්ගේ වැඩිමහල් පුතු ට වුව ද, නායක්කර් වංශයේ චාරිත්‍රය ලෙස දක්වමින්, ඔහුගේ මරණින් පසු රජ වන්නේ අග බිසවගේ සොහොයුරා වූ නායක්කර් කුමරකුයි. ඔහු ශ්‍රී විජය රාජසිංහ. 

ඇත්ත වශයෙන් ම, ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් ඇරඹුණු නායක්කර් වංශික රජවරුන් සිව් දෙනා ද සිංහල රජවරුන් පරිද්දෙන් ම අපගේ සම්ප්‍රදායන්ට හා ආගමට අනුගත ව බුදු සමය හා සාහිත්‍ය වෙනුවෙන් මහඟු දායකත්වයන් සපයා තිබෙනවා. එහෙත් අපගේ සංස්කෘතිය හින්දු සංස්කෘතියේ ලක්ෂණ මගින් සංකර වීම, දකුණු ඉන්දීය ආභාෂය නිසා ගොඩ නැගුනු බව පෙනෙන අසීමිත කුල භේදය වැනි අනිටු විපාක ද ඒ යුගයේ ප්‍රතිඵල ලෙස පෙනෙන්නට තිබෙනවා. 

නරේන්ද්‍රසිංහ රජු වග කිය යුතු වන, නායක්කර් වංශයේ ආගමනය නිසා සිදු වූ නරක ම ප්‍රතිඵලය එය නොවෙයි. 

නැවතත් සිංහල කිරුළ සිංහලයන් අතට ගත යුතුය යන අරමුණ ඉන් පසු ප්‍රභූන් තුල ඇති වූවා. ජාතියක් වශයෙන් එය යහපත් අරමුණක් වුව ද බල තණ්හාව, අන්‍යෝන්‍ය සැකය, ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණයන් ද ඒ අරමුණ ට මුසු වී තිබුණා. තුන් වන නායක්කර් රජු වූ රාජාධිරාජසිංහ රජු, 1798 ජූලි 26 වැනි දින රාත්‍රියේ අභිරහස් ලෙස මියයාමෙන් පසු රජුගේ පුතකු, සොහොයුරකු හෝ බිසවගේ සොහොයුරකු නොවූ, ඥාතියකු පමණක් වූ, 18 හැවිරිදි කන්නසාමි කුමරු රජ කරවනු ලබන්නේත් ඒ සංයුක්ත අරමුණ වෙනුවෙන්. 

ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කරවනු ලැබූ කන්නසාමි කුමරා ද ස්වාධීන ව කටයුතු කිරීමට පටන්ගත් බැවින්, ඔහු මගින්ද තම අරමුණු කරා හා නොහැකි බව වටහා ගන්නා ප්‍රභූන්, ඉංග්‍රීසීන්ගේ සහාය ලබා ඔහු ද පළවා හරිනවා. එහෙත් ප්‍රභූන්ගේ අරමුණු කිසිවක් ඉටු නොවන අතර, බලවත් ඉංග්‍රීසිනට යුද්ධ කිරීමෙන් පවා යටත් කර ගත නොහැකි වූ උඩරට රාජ්‍යය ඉතා පහසුවෙන් යටත් කර ගත හැකි වෙනවා. 

අද වන විට අප මුහුණ දෙමින් සිටින ගැටළු රාශියක් නිර්මාණය කළා වූද, එතෙක් අප ගොඩ නගාගෙන සිටි සියල්ල අපට අහිමි කළා වූද, ඉංග්‍රීසි යටත් විජිත සමය බිහි වීම සඳහා, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වගකීම් විරහිත අමනෝඥ තීරණයක් වූ නායක්කර් වංශය රජ පවුලට සම්බන්ධ කර ගැනීම දායක වූ හැටි මෙයින් ගලපා ගත හැකි නොවේද? 

ඉතිහාසයේ වරින් වර බිහි වූ එවැනි රජවරුන් කිහිප දෙනාට අමතක වූ, මිහිඳු මා හිමියන්ගේ රුවන් වැකියෙන් මේ ලිපිය අවසන් කරනවා. 

"මහරජ ඔබ මේ භූමියේ අයිතිකරු නොව භාරකරු පමණෙකි" 

ඔබේ අදහස්වලට ද විවෘතයි.

No comments:

Post a Comment

කරකැවිල්ල - බන්ධුල සිසිර කුමාර - මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්. එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණ...