Monday, July 16, 2018

ඉතිහාසය වෙනස් කළ මිනිස්සු - 2

- බන්දුල සිසිර කුමාර -


අපේ ගෙවී ගිය දවස් ගැන විමසිල්ලෙන් බලන විට පෙනී යන එක් වැදගත් කරුණක් වන්නේ වගකිවයුතු පුද්ගලයන්ගේ කිසියම් ක්‍රියාකාරිත්වයක් මුළු මහත් ජාතියක ඉරණම තීන්දු කර ඇති අන්දමයි. ඒ තීන්දුව හොඳට මෙන් ම නරකට ද විය හැකියි.

සිත්නරු බුදල්නාවන් විසින් කීර්ති කුමරු රැක බලා ගනිමින් පොළොන්නරු යුගයේදී සොළී ආක්‍රමණිකයා පළවා හැරීමට මඟ පෑදු අයුරු අප පෙරදී සඳහන් කළා. ඒ සිදු විම නොවන්නට අපගේ සභ්‍යත්වය 12 වන සිය වසේදීම අභාවයට යන්නට ඉඩ තිබුණා. 

"මහරජ ඔබ මේ භූමියේ අයිතිකරු නොව භාරකරු පමණෙකැ"යි වරෙක මිහිඳු හිමියන් දෙවන පෑතිස් රජු වෙත සිහිපත් කර දී තිබුණා. 

මේ සත්‍ය අමතක කර, අමනොඥ තීරණයන්ට එලැඹ, ඒ මගින් මුළු මහත් ජාතියක් ම අගාධයේ හෙලූ රජුන් හා ප්‍රභූන් කිහිප දෙනෙකු අප ඉතිහාසයේ හිඳිනවා. 

දේශයටත් ජාතියටත් අත් වූ ප්‍රබලතම විනාශයන්ට මග පෑදූ ඔවුන් පිළිබඳ ව, සියල්ලන්ට ම අමතකව ගොස් ඇති අතර ඉතිහාසය ගැන යම් අවබෝධයක් ඇත්තවුන් අතින් පවා දෝෂ දර්ශනයට ලක්වන්නේ ඔවුන් නොව, ඔවුන්ගේ අමන තිරණයන්හි ප්‍රතිඵල බවට පත් වූ වෙනත් අයයි. 

මෙවන් චරිත කිහිපයක් සිහිපත් කළ හැකියි. 

  • සම්ප්‍රදාය පරිදි අගබිසවුන්ගේ වැඩිමහල් පුතුට රජකම නොදී වෙනත් බිසවකගේ පුතකුට කිරුළු පැළඳවීමට තැත් කිරීමෙන් පුතුන් තිදෙන වෙතින් ම මැරුම් කෑවා වූද, ඒ පුතුන් ඉන්පසු එකිනෙකාට විරුද්ධ ව පෘතුගීසීන්ගෙන් ආධාර පැතීම නිසා පෘතුගීසීනට මෙහි පැළපදියම් විමේ අවස්ථාව උදා වීමට මූලික වගකිව යුත්තා වූවා වූද විජයබාහු V රජු. 
  • සොහොයුරන්ට විරුද්ධ ව පෘතුගීසීන්ගෙන් ආධාර ලබා ගැනීමේ අරමුණින් සිය මුණුබුරු වූ ධර්මපාල කුමරු ළදරු වියේදීම පෘතුගීසීනට පාවා දී කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට පැවරීමට නීත්‍යානුකූල ලේඛන සැකසීමට මඟ පෑදුවා වූද, විජයබාහු V රජුගේ වැඩිමහල් පුතු වූද භුවනෙකබාහු VII රජු. 
  • නායක්කර් වංශිකයන් රාජත්වයෙන් ඉවත් කිරීම හැරුණු විට ඉංග්‍රීසින්ගේ සහායෙන් තමා වෙත රජකම ලබා ගැනීමට සිහින දුටු ඇහැලේපොළ අදිකාරම. 

එහෙත් මේ ලිපියට ප්‍රස්තූත වන්නේ මොවුන් නොවේ. 

අපගේ ඉතිහාසයේ නැවත නිවැරදි කළ නොහෙන වෙනස් කම් රැසක් සිදු කරමින් අපගේ එතෙක් පැවති සම්ප්‍රදාය, තාක්ෂණය, යහපත් චර්යාවන් ආදි සියල්ල අභාවයට යැවූ දෛවෝපගත සිදු වීම වන, බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වීමේ මූල හේතුවක් නිර්මාණය කළා වූද, එහෙත් ඒ සඳහා කිසිවකුගේ චෝදනාවට ලක් නොවන්නා වූද, අන්තිම සිංහල රජු වූද, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු ගැන විමසීමක් මෙහිදී සිදු කරමු. 

1706 සිට 1739 දක්වා වසර 33 රජකම දැරූ මොහු, විමලධර්මසූරිය II රජුගේ පුතු ද, රාජසිංහ II රජුගේ මුණුබුරුද වූවා. කුඩා කල සිට ම කළහකාරි අයෙක් වූ මොහු කෘර කමින් හා දුරාචාරයෙන් ද සෙල්ලක්කාර ගති වලින් ද යුතු වූ අයකු බව කියැවෙනවා. දිවයින තුල ම වෙනත් රාජ වංශිකයන් ද වෙනත් ප්‍රභූන් ද සිටි පසු බිමෙක මොහු සිය අගබිසව ලෙස කැඳවා ගන්නේ මධුරාපුරයේ නායක්කර් නමැති ප්‍රභූ පෙළපතට අයත් කුමරියක්. 

බොහෝ විට සිංහල සම්ප්‍රදාය තුල රජකම හිමි වී ඇත්තේ අග බිසවුන්ගේ වැඩිමහල් පුතු ට වුව ද, නායක්කර් වංශයේ චාරිත්‍රය ලෙස දක්වමින්, ඔහුගේ මරණින් පසු රජ වන්නේ අග බිසවගේ සොහොයුරා වූ නායක්කර් කුමරකුයි. ඔහු ශ්‍රී විජය රාජසිංහ. 

ඇත්ත වශයෙන් ම, ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් ඇරඹුණු නායක්කර් වංශික රජවරුන් සිව් දෙනා ද සිංහල රජවරුන් පරිද්දෙන් ම අපගේ සම්ප්‍රදායන්ට හා ආගමට අනුගත ව බුදු සමය හා සාහිත්‍ය වෙනුවෙන් මහඟු දායකත්වයන් සපයා තිබෙනවා. එහෙත් අපගේ සංස්කෘතිය හින්දු සංස්කෘතියේ ලක්ෂණ මගින් සංකර වීම, දකුණු ඉන්දීය ආභාෂය නිසා ගොඩ නැගුනු බව පෙනෙන අසීමිත කුල භේදය වැනි අනිටු විපාක ද ඒ යුගයේ ප්‍රතිඵල ලෙස පෙනෙන්නට තිබෙනවා. 

නරේන්ද්‍රසිංහ රජු වග කිය යුතු වන, නායක්කර් වංශයේ ආගමනය නිසා සිදු වූ නරක ම ප්‍රතිඵලය එය නොවෙයි. 

නැවතත් සිංහල කිරුළ සිංහලයන් අතට ගත යුතුය යන අරමුණ ඉන් පසු ප්‍රභූන් තුල ඇති වූවා. ජාතියක් වශයෙන් එය යහපත් අරමුණක් වුව ද බල තණ්හාව, අන්‍යෝන්‍ය සැකය, ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණයන් ද ඒ අරමුණ ට මුසු වී තිබුණා. තුන් වන නායක්කර් රජු වූ රාජාධිරාජසිංහ රජු, 1798 ජූලි 26 වැනි දින රාත්‍රියේ අභිරහස් ලෙස මියයාමෙන් පසු රජුගේ පුතකු, සොහොයුරකු හෝ බිසවගේ සොහොයුරකු නොවූ, ඥාතියකු පමණක් වූ, 18 හැවිරිදි කන්නසාමි කුමරු රජ කරවනු ලබන්නේත් ඒ සංයුක්ත අරමුණ වෙනුවෙන්. 

ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කරවනු ලැබූ කන්නසාමි කුමරා ද ස්වාධීන ව කටයුතු කිරීමට පටන්ගත් බැවින්, ඔහු මගින්ද තම අරමුණු කරා හා නොහැකි බව වටහා ගන්නා ප්‍රභූන්, ඉංග්‍රීසීන්ගේ සහාය ලබා ඔහු ද පළවා හරිනවා. එහෙත් ප්‍රභූන්ගේ අරමුණු කිසිවක් ඉටු නොවන අතර, බලවත් ඉංග්‍රීසිනට යුද්ධ කිරීමෙන් පවා යටත් කර ගත නොහැකි වූ උඩරට රාජ්‍යය ඉතා පහසුවෙන් යටත් කර ගත හැකි වෙනවා. 

අද වන විට අප මුහුණ දෙමින් සිටින ගැටළු රාශියක් නිර්මාණය කළා වූද, එතෙක් අප ගොඩ නගාගෙන සිටි සියල්ල අපට අහිමි කළා වූද, ඉංග්‍රීසි යටත් විජිත සමය බිහි වීම සඳහා, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ වගකීම් විරහිත අමනෝඥ තීරණයක් වූ නායක්කර් වංශය රජ පවුලට සම්බන්ධ කර ගැනීම දායක වූ හැටි මෙයින් ගලපා ගත හැකි නොවේද? 

ඉතිහාසයේ වරින් වර බිහි වූ එවැනි රජවරුන් කිහිප දෙනාට අමතක වූ, මිහිඳු මා හිමියන්ගේ රුවන් වැකියෙන් මේ ලිපිය අවසන් කරනවා. 

"මහරජ ඔබ මේ භූමියේ අයිතිකරු නොව භාරකරු පමණෙකි" 

ඔබේ අදහස්වලට ද විවෘතයි.

Thursday, June 14, 2018

සකල සිරිලකට අගරජ

-බන්ධුල සිසිර කුමාර-


අපේ අතීතය රසවත් සිද්ධීන්ගෙන් ද ගහන යි. මේ සිදු වීම 1700 ගණන්වල අග භාගයේ, මහනුවර රාජධානි සමයේ සිදු වූවක්.



මොරතොට සිරි ධම්මක්ඛන්ධ මහානායක හිමි, එකල විසූ ශික්ෂාකාමී භික්ෂුවක්. ඒ යුගයේ, පිරිහී පැවති භික්ෂු සමාජය සංශෝධනය කිරීමෙහි ලා උන්වහන්ස්ගෙන් ද විශාල කාර්භාරයක් ඉටු වූ බව පැවසෙනවා. 1780 සිට 1798 දක්වා කන්ද උඩ රාජධානියෙහි පාලකයා වූ රාජාධිරාජසිංහ රජු ට ධර්මශාස්ත්‍ර උගැන්වූ බැවින්, රාජගුරු යන අභිධානය ද උන්වහන්සේට පටබැඳී තිබුණා.

මේ නිසා රජතුමා උන්වහන්සේ සම්බන්ධ ව කටයුතු කළේ බෙහෙවින් ගෞරව සම්ප්‍රයුක්තව යි.

රජුට තිබුණු මේ සමීප බව නිසා ම උන්වහන්සේ සමහරුන්ගේ ඊර්ෂ්‍යාවට බඳුන් වූ බව කියැවෙනවා. මේ කියැවෙන ජනප්‍රවාදයත් ඒ බව තහවුරු කරන්නක්.

උන්වහන්සේගේ සිල්වත් බව පිළිබඳ ව සැක උපදවන ප්‍රකාශයක් කිසිවකු විසින් රජුගේ කනේ තබනවා. එහෙත් හිමියන් ගැන හොඳින් දන්නා රජු එය විශ්වාස කිරීමට කැමති වූයේ නැහැ. කෙසේ වුවත් රජු, රහසේ ම මෙය පරීක්ෂා කර බලා සැක හැර ගැනීමට සිතන්නට ඇති.

එක්තරා රාත්‍රියක, ස්ත්‍රියක සේ හැඳ පැළඳ ගත් රජු, අඳුරේ ම විහාරයට ගියා. මොරතොට හාමුදුරුවන් සැතපෙන කුටියේ විවර ව තිබූ කවුළුවකින් අත දමා අත්ල විදහා පා සිටියා.

වළලු පැළඳි අතක්. පහනක් ගත් හිමියන් ඒ වෙත ගොස් අතින් නො අල්ලා අත පරීක්ෂා කළා. ශාස්ත්‍ර උගන්වන සමයේ රජුගේ හස්ත ‍රේඛා පිහිටීම් රටාව හිමියන්ට මතක තිබුණා විය හැකියි. එසේ නොමැති නම් රේඛා ශාස්ත්‍රය අනුව පරීක්ෂා කර බලා උන්වහන්සේ නිගමනයකට එන්නට ඇති. ඒ අනුව හිමියන් පහතින් දැක්වෙන කවිය කී බව පැවසෙනවා.


ළකල මුව තඹර සියො ගත සියු මැ  ලියේ

අසල ක නම් නිතර දැකුමට සිතු ඇ  ලියේ

ඇසල මස දුටිමි යනවා දිය කෙ       ලියේ

සකල සිරි ලකට අග රජ නුඹ ද        ලියේ


සිය සැකය හැරගත් රජු, එවිට මෙම පිළිතුරු කවිය කී බව පැවසෙනවා.


අමර ගුරු හරණ සත දත් පිනා          වන්

විතර නොවන ගුණ නැණ සපිරිනා   වන්

පතර නමැති මොරතොට යති මනා   වන්

සසර වසන තුරු මට වාසනා             වන්


Friday, June 8, 2018

තිස් පහ පැනලත්......

- බන්දුල සිසිර කුමාර -



නොනිමෙන අවිවේකය මැදින් කාලය ගෙවී යද්දී සුළු ඉසුඹුවක් ලද මොහොතක අන්තර්ජාලයෙහි සැරිසැරුවේ මා ප්‍රිය කළ එක්තරා ගීතයක් සොයා ගන්නා අටියෙන්. ඒ ගමනේදී අහම්බෙන් හමු වූයේ දශක තුනහමාරකට පමණ පෙර නව යොවුන් වියේදී ඇසූ ගීතයක්.

ඒ ගීතය ඇසූ විට සිතට නැගුණු දේ බොහොමයි. අවුරුදු තිස්පහක් පමණ කියන්නේ සුළු පටු කාලයක් ද? ජීවිත කාලයකින් අඩකටත් වැඩි විය හැකි එවන් කාල පරාසයක් තුල මොනතරම් දේ සිදු විය හැකිද? බොහෝ දේවල් උඩු යටිකුරු වීමට, වැරදි නිවැරදි වීමට, නව මංපෙත් පෑදීමට එවන් කාලයක් හොඳට ම ප්‍රමාණවත්.

දැන් මා ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. 

මොනවාද සදාතන කලා කෘති කියා කියන්නේ.

කාලයත් සමග රසය අතුරුදන් ව නොගොස් යුගයෙන් යුගයට ජනතා ව අතරේ ජීවමාන ව පවතින කලා කෘති, සදාතන කලා කෘති නමින් හඳුන්වන්න පුළුවන්.

මා මෙහි සඳහන් කරන ගීයත් සදාතන කලා කෘතියක් දැයි විටෙක සිතෙනවා. එහෙත් මෙය නම් එසේ වන්නේ අන් කවර හෝ හේතුවත් නිසා නොව ගීයේ අරුත නිසායි.

මේ කතාව සුන්දර කතාවක් නොවෙයි. අප හඬා වැටිය යුතුයි. වසර තිස්පහකට - හතලිහකට පෙර නිර්මාණය වූ මේ ගීතය, කාලයත් සමග අප සියල්ලන්ට ම අමතක ව ගොස් තිබුණත් අපේ ජන විඥානය, සමාජ ආකල්ප, දේශපාලන පසුබිම, ආර්ථික පසුබිම ආදිය ගැන අසූව දශකයේ මැද භාගයේ දී එහි කියවෙන තොරතුරු වර්තමානය හා සසඳා බලා, අද අප සිටින්නේ කොතැනදැයි ඔබ ම අවබෝධ කර ගන්න.

කිසිදු දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට හෝ පිලකට, කිසිදු ඊනියා දේශපාලන "වාද"යකට බැඳී හෝ "විකිණී" නොමැති බැවිනුත්, ජීවිතයේ ගෙවී ගිය කාලය මුළුල්ලේ, විවිධ පුද්ගලයන්, විවිධ සමාජ ස්තර, විවිධ දේශපාලන මත දරන්නන් හා ගැටෙමින් ලද ජීවිතාවබෝධයක් ඇති හෙයිනුත් යමක යථා තත්ත්වය වටහා ගැනීම දුෂ්කර නැහැ. බ්ලොග් කියවන ඔබට ද, විවිධ පාට කණ්ණාඩි නොපැළඳි පියවි ඇසින් යමක යථා ස්වභාවය දැක ගත හැකිය යන පූර්ව නිගමනයේ හිඳිමිනුයි මා මෙවැනි දෑ ඉදිරිපත් කරනුයේ.

පළමු ව ගීයේ පදමාලාව කියවා බලා අනතුරුව ගීතය රස විඳිමු. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියැවුණු, නන්දා මාලිනිය ගැයූ මේ ගීතයේ සංගීතය ඔස්ටින් මුණසිංහයන් ගේ.



පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට

ගල් කණු අතර හප කරමින් බුලත් විට

ඇවිදින විටදි නිදියන දූ පුතුන් ලද

මේ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට



කහට කෝප්පේ පොඟවා ගිලින්නට

පාන් කැබැල්ලක් යදිනා දනන් හට

ඇස් නැත සිදු ව ඇති දේ ගැන දකින්නට

එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට



රැවටී සුවහසක් බොරු කාරයින් හට

පාඩම් ලබා නැත යුග යුග ගණන් සිට

දෑසේ කඳුළු ඉතිරි ව නැත හඬන්නට

එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට



උගසට තබා මගේ රට පිට රටුන් හට

ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට

හිඟමන් යදිමු සා ගින්දර නිවන්නට

එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට


මෙන්න ගීතයේ සබැඳිය

Sunday, May 27, 2018

විකෘති

-බන්ධුල සිසිර කුමාර-


මගේ බ්ලොග් එක නිතිපතා කියවන අය අතරෙ විවිධ වයස් සීමාවල අය ඉන්නවා ඇති. අපේ සමාජයෙත් ඉන් බැහැර ලෝකයේත් සිදු වන බොහෝ දේවල් ගැන අප එකිනෙකාට අපේ ම වූ කියවීමක් ඇති.

ඒ කියවීම බොහෝ විට එකිනෙකට වෙනස්. අප යම් දෙයක් ගැන විනිශ්චය කරන්නේත් තීරණවලට එළඹ ගන්නේත් අපේ ජීවිත කාලයේ, සවන් දීමෙන්, කියැවීමෙන්, අත්විඳීමෙන් ලබා ගන්නා ජීවිතාවබෝධයට අනුවයි.

අප උස් පඩි පෙළක සිටගෙන සිටිනවා යයි මොහොතකට සිතමු. පඩි පෙළේ ඉහළ පඩිවල සිටින අයට පහළ සිටින අයට වඩා තරමක් දුර පෙනෙනවා. හැබැයි, එහෙම වෙන්නේ ඉහළ සිටින අයගේ දෑස් හොඳින් පෙනෙනවා නම් පමණයි.

ඉහළ සිටින අය දෑස් බැඳ සිටීනම් කිසිවක් නෙපෙනේවි. පෙනීමේ දෝෂ ඇත් නම් පැහැදිලි ව නොපෙනෙනු ඇති. පාට කණ්ණාඩි දමාගෙන සිටියොත් පෙනෙන්නේ තථ්‍ය ලෝකය නොව විකෘතියකුයි.

පියවි ඇසිනුත් සයිබර් අහස තුලිනුත් ලෝකය හා ගැටෙන මා හට නිරීක්ෂණය වූ දේවල් දෙකක් තිබෙනවා.

මා හට පැහැදිළි මතකයක් තිබෙන පැරණි ම කාලය වූ හැත්තෑව දශකයේ සිට මා කතාව පටන් ගන්නම්.

අත්‍යවශ්‍ය මූලික ගොඩනැගිලි කිහිපයෙන් පමණක් යන්තමින් සමන්විත වූ අපේ ගමේ පන්සල මට සිහි වෙනවා.

වස් කාලයේ හැන්දෑ වරුවල පැවැත්වෙන පූජාවන්හිදී හා මාසයේ පොහොය දෙදින පමණයි ගමේ ජනතාව බහුල වශයෙන් පන්සලට රැස්වුණේ. එහෙත් ඒ කටයුතු සඳහා ශබ්ද වාහිනී භාවිතා වූයේ නැහැ. කලකට වරක් පැවැත්වෙන ආරාධිත ධර්ම දේශනා පින්කම් හා වෙනත් විශේෂ අවස්ථා පමණයි උත්සවාකාරයෙන් පැවැත්වුණේ. එම දිනවල පමණක් ශබ්ද වාහිණි භාවිතා වූවා. ලොකු කුඩා කවුරුත් පන්සලට එක් රැස්වන එවැනි දිනයන් ළමා අපට මහත් සතුටක් ගෙන දුන්නා.

දහම් පාසල හා ළමා සමිති, පන්සල ඇසුරේ පැවැති අතර අප ළමා කැල විවිධ ශ්‍රමදාන කටයුතු ආදියේ යෙදෙමින් පන්සලේ හා ගමේ පොදු කටයුතු වලට දායක වූ අයුරු අද සිහි වන්නේ මිහිරි සිහිනයක් වගෙයි.

අසූව දශකයේ ආරම්භය සනිටුහන් වෙන්නේ විවෘත ආර්ථික රටාව හඳුන්වා දීමත් සමග. එතෙක් වූ බොහෝ දෙවල් ඒ හා සමගින් වෙනස් වනු අප දුටුවා. සියලු දෙයට ම මිලක් නියම වූවා. බාහිර විච්චූර්ණ වලට වටිනා කමක් ලැබුණා. එකිනෙකා පරයා ඉහළට නැගීමේ වුවමනාව කා තුලත් වර්ධනය වූණා. එයින් ගැලවීමට පන්සලටවත් හැකි වූයේ නැහැ. ගොඩනැගිලි, තාප්ප, විසිතුරු වාහල්කඩ හා බෝධි ප්‍රාකාර පමණක් නොව විසිතුරු පොකුණු ආදි අවශ්‍ය අනවශ්‍ය සියලු දෑ පන්සල් භූමිවල ඉදිවෙන්නට පටන් ගත් අතර මේ සඳහා විවිධ අන්දමින් දායකයන්ගේ මුදල් ඇදගන්නා පසුබිමක් බිහි වුණා.

මෙම තත්ත්වය තව දුරටත් වර්ධනය වෙමින් අසූව දශකයත් අනූව දශකයත් ගෙවී ගියා.

දෙදහසේ දශකය ආරම්භයේ සිට මීටත් වඩා විකාරරූපී සිදු වීම් මෙම අංශයේ සිදු වන අයුරු දැකගත හැකි වූවා. සම්ප්‍රදායික පුද පූජා විධි හා සමහර සංකල්ප පිළිකෙව් කරන "පොෂ් " බෞද්ධාගමික ධාරාවන් හා අර පූජා, මේ පූජා වශයෙන් එතෙක් නොවූ විරූ විච්චූර්ණ පූජාවන් කරලියට පැමිණි අතර ගෙමිදුලේ ගසකින් මල් විකක් කඩාගෙන, හවසට පන්සලට ගොස් බුදුන් වැඳ ගැනීමට තිබූ නිදහස වෙනුවට නියම කරන ලද දේවල්, නියම කරන ලද ප්‍රමාණයක් රැගෙන ඊනියා පූජාවලට සහභාගි වීමට මේ පසුබිම තුලදී සමහර බැතිමතුන්ට සිදු වුණා.

අගනුවරින් කිලෝමීටර දෙසිය ගණනක් දුර බැහැර පලාතක රැකියාවක නිරත ව සිටින මා උදෑසන හයට අවදි වූ මොහොතේ සිට පැයක පමණ කාලයක් ඇසෙන්නේ එතැනින් මඳක් එපිට වූ පන්සලක යකඩ කටකින් නැගෙන කන්දොස්කිරියාවක්. ආධාර දුන් අයගේ නම් ලැයිස්තු හා වෙනත් නොයෙකුත් දේ ඇතුලත් එම කියවීම අවට දායකයනට මොන තරම් හිරිහැරයක් වනවා ඇතිද?

බෞද්ධාගමට හා අප රටෙහි බෞද්ධ සංස්කෘතියේ මුල්වලට පහර දීමට විවිධ කණ්ඩායම් හා රාජ්‍ය නොවන සංවිධාන, මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කර ඇති බව පෙනෙන මෙකල, ඉහත කී ආකාරයේ කටයුතුවලින් සිදුවන්නේ ඔවුනට ඒ සඳහා ආයුධ සැපයීම නොවේද?

බුදු දහමේ ගැබ් ව ඇති ගැඹුරු අධ්‍යාත්මික දර්ශනය හා සරල ජීවන මාර්ගය යටපත් කරමින් අප විසින් ම කර ගනිමින් සිටිනුයේ, කුමන්ත්‍රණ කාරීන්ගේ වුවමනාව ඉටු කිරීම නොවේද?

ගංගොඩවිල සෝම හිමියන් ජීවමාන ව වැඩ විසූ යුගයේ දී ජනතාව මිත්‍යාවෙන් මුදා ගැනීමට උන්වහන්සේගේ කාලයත් ශ්‍රමයත් කැප කළ අන්දම, ඒ යුගය ඇසින් දුටු අපේ මතකයෙන් ගිලිහී නැහැ. එසේ වූ සෝම හිමියන්ගේ මඟ අනුගමනය කරනු වෙනුවට, සෞභාග්‍ය උදා කරලනු පිණිස, සෝම හිමි වන්දනා කරන ලෙස කියා සිටින පුවත් පත් ලිපියක් මා මෑතකදී දුටුවා. ඒ සඳහා සෝම හිමි වන්දනා ගාථා නම් ගාථා විශේෂයක් ද එහි දක්වා තිබුණා!( එය ලියා තිබුණේ ගිහියෙක්.)

මේ පසුබිම තුල සිදුවන අනෙක් ඛෙදවාචකය මෙයයි.

එනම්, නිදහසේ සිතා බලා යමක හොඳ නරක තේරුම් ගැනීමට උත්සාහ කරන තරුණ ප්‍රජාව මෙම විච්චූර්ණ දැක, බුද්ධාගම යනු මේ යැයි සිතා, පන්සලෙන් පමණක් නොව බුදු දහමින් ද ඉවත් වීමයි. ඒ ඉවත් වීම සංස්කෘතික ධාරාවෙන් මෙන් ම ජාතික අනන්‍යතාවයෙන් ඉවත් වීමක් බවට පත් වීම අනිවාර්යයෙන් සිදුවන්නක්. අද නිරාගමිකයන් බවට පත් ව ඇති තරුණ ප්‍රජාව අතරින් කිසියම් ප්‍රතිශතයක් මේ පසුබිම තුල එසේ වූවන් බව පැහැදිලි යි. 

චත්මන් තත්ත්වය බුදු දහමේ හෝ බෞද්ධ සංස්කෘතියේ සාමාන්‍ය තත්ත්වය නොව පසුකාලීන සමාජ විකෘතියක් බව කුඩා කල සිට ම එම තරුණ ප්‍රජාවට පෙන්වා දීම, ඔවුන්ගේ වැඩිහිටි පරපුරේ යුතුකම ව තිබුණා. එහෙත් ඉතිහාසය හා සාහිත්‍ය පාසලින් ඉවත් කිරීමෙන් පසු බිහි වූ මුල් සිඳුණු පරපුරට අයත් ඒ වැඩිහිටියන් බොහොමයක් අතින් ඒ යුතුකම ඉටු වූයේ නැහැ.

(මෙ පසුබිම තුල, බොදුනුවන් නිරාගමිකයන් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වෙන බව පැහැදිලි ව පෙනෙන කරුණක්. වෙනත් ආගමිකයන් නිරාගමිකයන් බවට පත් ව ඇද්ද යන්න විමසිලිමත් ව සොයා බලන්න! මෙය වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.)

අනෙක් අතට, මෙරට බුදු සසුන නැවත නිසි තැන පිහිටුවීමට නම් මහා පරාක්‍රමබාහු රජ සමයේ සිදු වූවාක් වැනි ශාසන සංශෝධනයක් සිදු විය යුතු යයි මා සිතනවා. එහෙත් එවැන්නක් සිදු වීම සඳහා සැපිරිය යුතු සමාජ දේශපාලනික අවශ්‍යතා රැසක් තිබෙනවා.

එතෙක්, ජනතාවගේ නෙත් අරවන, අඳුරින් එලියට රැගෙන යන ගංගොඩවිල සෝම හිමියන් වැනි සංඝ පීතෘවරයකුගේ බිහි වීම හෝ අත්‍යවශ්‍ය වෙනවා.

හැකි පමණින්වත් සමාජය ඥානණය කිරීම, අතීතය දුටු අපේ යුතුකම විය යුතු යයි මා සිතනවා.

Sunday, May 6, 2018

ආපහු යන්න නොවෙයි...

-බන්ධුල සිසිර කුමාර-



මෑතකදි එක්තරා ආයතනයකින් වැඩක් කර ගැනීමට ගිය මගේ මිතුරකු මට මෙහෙම කතාවක් කීවා.

"එයාලා මුලින් ම පුළුවන් තරම් හොයලා බලනවා, වැඩේ නොකරන්න, මොනවද යොදා ගන්න පුළුවන් හේතු කියලා. එහෙම එකක් හොයා ගන්න ම බැරි වුණොත් අන්තිම ට ඔන්න ඔහේ වැඩේ කරලා දානවා."

හිනාවට කරුණක් වගේ පෙනුනත් මේ තියෙන්නේ අප අද මුහුණ දෙන එක්තරා ඛෙදවාචකයක්. ඒ වගේම, යම් යම් දෑ පිළිබඳ ඒකාධිකාරීත්වයක් සහිත ආයතනවල පහළ මට්ටමේ සේවකයන්ගේ ක්‍රියාකලාපයන්, පාරිභෝගිකයා අධෛර්යයට, පීඩාවට පත් කරන සුළුයි කියන චෝදනාවත් බොහො ම සුලභ එකක්.

මේ හැරුණු විට, මහ පාර ට බැසගත් පමණින් අප දකින දේවල් කොතරම් ද? ගිලන් රථයට මාර්ගය ඉඩ නොදෙන රියදුරන් බොහෝ විට මා දැක තිබෙනවා. ඉස්සර කිරීමේදී, නැතහොත් මාර්ගය හරහා දැමීමේදී කිසිදු ආචාර ධර්මයක් නොසළකා කටයුතු කරන්නවුන් ද දැක ගත හැකියි. මට ඉදිරියෙන් වූ වාහනය කහ ඉර අසල දී වේගය අඩු කරද්දී හෝ නවත්වා ගනිද්දී, මා ද සුදුසු පරිදි වේගය අඩු කරනා කල, මට පසු පසින් එන පුද්ගලයකු, පැමිණි වේගයෙන් ම අප සියල්ලන්ට ම ඉස්සර කර කහ ඉර හරහා යන අන්දම, මා නිතර ම පාහේ මග තොට දී අත්දකින දෙයක්. පාරේ එන වාහනයට වේගය අඩු කර නවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොදී උදාරම් ලීලාවෙන් ක්ෂණික ව කහ ඉර හරහා ගමන් කරන පාගාමීන් ද සුලබයි.

එක්තරා විද්වතෙක් වරක් ප්‍රකාශ කර තිබුණා, අප රටේ රිය පදවන්නන් මාර්ග නීති (Road Rules) පමණයි දන්නේ, මාර්ග ශිල්පය (Road Craft) දන්නේ නැහැ කියලා. අද වන විට තත්ත්වය මෙතැනිනුත් පහළට වැටී තිබෙනවා. සමහරුන් මාර්ග නීති දන්නෙත් නැහැ. ඔවුන් දන්නෙ වාහනයේ යාන්ත්‍රික ක්‍රියා කරවීම පමණයි.

සමහර ආයතන හා මහා මාර්ග භාවිතය ගැන විතරක් කථා කළේ උදාහරණයක් ලෙස පමණයි. මේ පිරිහීම මේ වන විට පවුල් ඒකකයේ සිට අපේ සමස්ත සමාජ පද්ධතිය පුරා ම දැක ගත හැකියි.පෙර දී ද මිනිසුන් වැරදි කළා. එහෙත්, ඒ කවුරුන් හෝ දැන ගනීවිදැයි බියෙන් යුතු ව යි. අද වන විට වැරදි කිරීමට ලජ්ජාවක් හෝ බියක් නැති තත්ත්වයක් සමාජය පුරා පැතිරී ඇති බව ඔබට ද හොඳින් පෙනෙනවා ඇති.

මේ හා බැඳුනු තවත් කණගාටුදායක තත්ත්වයක් මේ සමාජය තුල ම දැක ගත හැකියි. ඒ අතීතය ගැන මනා අවබෝධයක් නොමැති නූතන පරපුරේ සමහරුන් මේ තත්ත්වය පිළිබඳ ව කලකිරී, ඒ ගැන වැරදි විග්‍රහයන් කිරීමයි.

මේ ගති සිරිත් අප ට ජානගත වී ඇති ඒවා යයි කියමින් අපට ම, අපේ මුල් වලට ම, ගරහා ගැනීම ඒ අතර බහුල ව දැකගත හැකියි.

පවත්නා පද්ධතියේ වැරදි දැක, මේ සියල්ල කඩා බිඳ දමා අළුතින් නිර්මාණය කළ යුතුය යන මතවාදයේ එල්බ ගත් කණ්ඩායම් ද වන අතර, ඔවුන් ඒ ආස්ථානයේ හිඳිමින්, මේ පද්ධතිය ම මුලිනුපුටා දැමීම සඳහා කටයුතු කරනු දැකගත නොහැකිවා නොවේ. ( මෙය වෙන ම මතවාදයක්. ඒ පිළිබඳ ව වෙනත් දිනයක කතා කරමු.)

දශක කිහිපයක ජීවිත කාලයක් ගෙවා ඇති මා මුලින් කී පරිහානිය දුටුවේ ක්‍රමික පිරිහීමක් හැටියටයි. අපගේ සම්ප්‍රදාය තුල පැවතගෙන එමින් හැත්තෑව දශකය දක්වාත් සුරැකී තිබූ සාරධර්මයන් බොහොමයක්, අසූව දශකය ආරම්භයේදී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් තැන් සිට පිරිහී යන අන්දම ඇසින් දුටු පරපුරටයි මා අයත් වන්නේ. එහෙත් සම්පූර්ණ පිරිහීම සිදු වන්නේ එම යුගය තුල ම නොවන බවත්, ඊට පෙර යුගයක දී ද එයින් කොටසක් පිරිහී ගිය බවත්, ආසන්න අතීතය අධ්‍යයනය කිරීමේදී දැකගත හැකියි.

පෙර ලිපිවලදී ද මා සඳහන් කළ පරිදි ම අපගේ සම්ප්‍රදායික ආචාර ධර්ම පද්ධතිය ගොඩ නැගුණේ බෞද්ධ සදාචාර සංකල්ප අනුවයි. එම රාමුව තුලදී, ආචාර ධර්මයන් ඉක්මවා යන්නකු වේ නම් ඔහුට ශාරීරික දඬුවම් පැමිණුනේ නැත ද බ්‍රහ්ම දණ්ඩයට සමාන විධි ක්‍රම වලින් ඔහු සමාජය තුල කොන් කිරීමටත් හුදකලා කිරීමටත් කටයුතු කෙරුණා. විකල්ප සමාජ ජීවිතයක් නොතිබුණු ඒ යුගයේ මේ තත්ත්වයට පත් වීමට කවුරුත් බිය වූවා.

විසිවන සිය වසේ මුල් දශක කිහිපය දක්වාත් අප රටේ සමහර ප්‍රදේශවල මෙම තත්ත්වය පැවති බවට සාධක තිබෙනවා. එන්. ටී. කරුණාතිලක ශූරීන් ලියූ "දැදුරු ඔයබඩ විත්ති" හි සඳහන් වන තොවිල් පහ තහනම් කිරීම මේ සඳහා උදාහරණයක්.

මේ එයින් උපුටා ගත් කොටසක්.

ගමක් නිදහසේ කටයුතු කරන්නක් ද වූයේ ය. ගැමියෝ සිරිත් විරිත් මාලාවකට අනු ව ජීවත් වූහ. ඒවා ලියන ලද නීති නොවේ. සිරිත් ය. සිරිත් කඩ කරන ලද්දේ කලාතුරකිනි. එසේ ම ඒ වරදක් සේ සළකන ලදී. එබඳු අවස්ථාවක වරද විභාග කිරීමේ ද සිරිතක් විය. ඒ විභාග කරන ලද්දේ පෙර සිට පවත්වාගෙන එන ලද පංච ප්‍රධානීන්ගේ මණ්ඩලය විසිනි. මෙකල ඒ හඳුන්වන ලද්දේ ' තොවිල් පහ' නමින් ය.

තොවිල් පහට අයත් වූවෝ නම් පන්සලේ හාමුදුරුවෝ ය, වෙදානෝ ය, වින්නඹු ආතා ය(වින්නඹුව), හේනෙ මාමා ය, වතුර මංකඩ ය යන පස් දෙනා ය.

යම් ලෙසකින් යම් අයකු කුල දූෂණයක් හෝ සම්මුතියක් කඩ කළේ නම් තොවිල් පහ රැස් වේ. ඒ පිලිබඳ සාකච්ඡා කරති. යම් ලෙසකින් චුදිතයා වැරදිකරුවකු වූයේ නම් ඔහුට හෝ ඇයට තොවිල් පහ තහනම් කළ හැක. එවිට ඔහුට පන්සල ට ඇතුළු විය නොහැක. වෙදානෝ හෝ වින්නඹුව පිහිට නොවේ. හේනමාමා නැත. වතුර මංකඩ (වැව) තහනම් ය.

එකල ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයන් වූ මෙම සේවාවන් නොමැති ව, කිසිවකුට සාමාන්‍ය ජීවිතයක් පවත්වා ගත හැකි වූයේ නැහැ. එම සමාජ ව්‍යුහයෙන් මිදී ජීවත් විය හැකි විකල්ප සමාජ තිබුණේ ද නැහැ.

මේ කියන ප්‍රදේශයේ ම මෙම තත්ත්වය පසුකාලින ව බිඳ වැටෙන අන්දම වෙනත් කෘතියක මා කියවූවා. මට මතක ඇති තරමින් ඒ මහින්ද කුමාර දළුපොතයන්ගේ "දිය හොල්මන" යි. එහි එන එක්තරා චරිතයක් ආත්මාර්ථකාමී අන්දමින් සම්ප්‍රදායන් උල්ලංඝනය කරන අතර ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් කෙරෙනවා. ඔහු අහංකාර අන්දමින් ඒ වරද දිගින් දිගට ම සිදු කරමින් ඒ වන විට ගොඩ නැගෙමින් පැවති වාණිජ පන්තිය හා එක් වෙනවා.

මේ කියවෙන යුගයත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීම වගේ ම තවත් පරිවර්තනයක් සිදු වූ යුගයක්. ඒ ගම වාණිජකරණය වීම සිදු වුණු කාලයයි.

මෙවැනි දෑ මීට පෙර ද සිදු වූ අවස්ථා ද තිබෙනවා. පහතරට යුරෝපීය ජාතීන්ට යටත් වීමේදී ඒ ප්‍රදේශයන්හිත් 1815 න් පසු උඩරට ප්‍රදේශයේත් සාමාජීය ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල ඇති වූ ආක්‍රමණශීලී පරිවර්තනයත් සමගත් ඒ දක්වා රැකී තිබුණු සම්ප්‍රදායන් බිඳ වැටුණු අතර බිය සැක නොමැති ව සම්මත සාරධර්මයන් උල්ලංඝනය කිරීමට ඉඩ හසර ලැබුණා.

ඒ නිසා මා නම් වටහාගෙන ඇත්තේ මෙය අපේ ජාන ගත දුර්වල කමක් නොව, විවිධ යුගයන්හිදී වූ සමාජ පරිවර්තනයන් සමග ඇති වූ තත්ත්වයක් ලෙසයි. 

මෙය නිවැරදි කර ගත යුතුයි. එහෙත්, ඒ සඳහා මා විශ්වාස කරන්නේ, අපේ සම්ප්‍රදාය සුරැකී පැවතුණු 1505 ට පෙර වූ යුගයට ආපසු යා යුතු බව නොවෙයි. දැනට අප තුල ඇති ආකල්ප වෙනස් කරන චින්තන විප්ලවයක් සිදුවිය යුතුයි. ඒ සඳහා අපේ පැරණි සම්ප්‍රදායන් තුලින් ගත හැකි දෑ බොහෝ වන බවත් නිසැකයි. ඒ අතර ම වත්මන් ලෝකයෙන් ගත හැකි ආදර්ශයන් ද බොහොමයි.

ඒ නිසා, විදේශගත ව සිටින සහෘදයන් වෙතින් මා ඉල්ලීමක් කරනවා.

ලෝකයේ දියුණු රටවල් බොහොමයක, මා ලිපියේ මුලින් කී දුර්වලතාවයන් දැකිය නොහැකියි.

ඔබ අවබෝධ කරගෙන ඇති අන්දමට, ඔවුන් ඒ තත්ත්වය ගොඩනගාගෙන තිබෙන්නේ කෙසේ ද? (දැඩි දඬුවම් පැනවීම / පෙර පාසල් යුගයේ සිට ආචාර ධර්මවලට අනුව හික්මවීම / ආගමික සංස්ථා හො ආගමික ග්‍රන්ථවලට ඇති බිය ආදි වශයෙන්.....)

මගේ ලිපියට කමෙන්ටුවක් ලෙස ඔබේ අදහස් දක්වන්න.

ශ්‍රී ලංකාවෙහි වෙසෙන සහෘදයන්ගේ අදහස් ද සාදරයෙන් පිළිගන්නවා.

Saturday, April 28, 2018

කෙලෙසුණු කැටයම

-බන්ධුල සිසිර කුමාර-

පසුගිය කාලය තුල මා ඉදිරිපත් කළ ලිපි ගණනාවකින් ම මා උත්සාහ කළේ අප කවුරුන් ද, අපට සිදු වී ඇත්තේ කුමක් ද, පරපුරින් අපට උරුම දේ මොනවාද යනාදී කරුණු ගැන සාකච්ඡා කිරීමටයි. අප යම් ප්‍රපාතයකට ඇද වැටී ඇත් නම් එයින් අත මිදී ඉහළ තත්ත්වයට අපව ම ඔසවා තබන්නටත් ලෝකය තුල අපට හිමි තැන නැවතත් දිනා ගන්නටත් ඒ දැනුම අපට මහෝපකාරී වේවි.

පෙර ලිපියෙන් ද සාකච්ඡා කළ පරිදි ම, අප පිළිබඳ වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ අප සැම දා පහළ පඩියේ සිටි, කොපමණ තැත දැරුවත් ඉහළ ට නැඟ ගැනීමට බැරි වූ ජාතියක් නොවීමයි. මනා ආර්ථික තත්ත්වයක්, ජීවන මට්ටමක්, පරිපාලන ව්‍යුහයක් ගොඩ නංවාගෙන, ජාත්‍යන්තරය හමුවේ අභිමානවත් ජාතියක් ලෙස නැඟී හුන් අප, අපේ ම බල ලෝභී කුමන්ත්‍රණත්, වසර දෙසීයෙන් දෙසීයට එල්ල වූ ආක්‍රමණත් හමුවේ, සියවස් කිහිපයක් ඇතුලත අන්ත අසරණ බෙලහීන ජාතියක් පත් ව තිබෙනවා. එපමණක් නොවෙයි, අප බොහෝ දෙනෙකු අද වන විට ඒ විශිෂ්ඨ යුගයන් ගැන නොදැනුවත් ව සිටීමත්, තවත් සමහරුන් ඒ යුගයන් ට ද්වේෂ කරන, වෛර කරන අන්දමත් දැක ගත හැකියි!!

ඒත් අද මා ඔබ හමුවට ගෙන එන්නේ තවත් එවැනි සිද්ධියක් පිළිබඳ විවරණයක් නොවෙයි.

පසුගිය කාලයේ මා පල කළ ලිපි බොහොමයකින් මා පැහැදිළි කළ යථාර්ථය, එකට කැටි කොට ගත් ගීයක් මගේ මතකයට නැඟුණා. දැනට වසර විසිපහකට තිහකට පමණ එපිට එළි දැක්වුණු "සඳකඩ පහණ" සිනමා පටයේ තේමා ගීතය ලෙසයි මෙය යොදා ගෙන තිබුණේ.

සාරාංශයක් වගේ කෙටියෙන් ලියාගෙන යන්න පුළුවන් වුණත්, සමහර දේවල දී ටිකක් වැල් වටාරම් කියෙව්වා ම ඔබට ත් එයින් ගත හැකි යමක් තිබේවි. අනෙක් අතින් අප බ්ලොග් කියවන්නේ වාර්තා හෝ රාජකාරි ලිපි කියවනවා වගේ මානසිකත්වයකින් නොවෙයි නේ. 

සංස්කෘතිය කියන වචනයේ තේරුම " සංස්කරණය කර ගත් දේ " යන්න නේ. අප නිරන්තරයෙන් ම අපේ නිර්මාණ, අපේ ඇඳුම් පැළඳුම්, අපේ නිෂ්පාදන, අපේ සාහිත්‍ය වැනි දේ නැවත නැවතත් සංස්කරණය කර ගනිමින් ඉන්නවා. (සජීවි සංස්කෘතියක ප්‍රධාන ලක්ෂණයක් තමයි එය. එහෙත් එහිදී අප සැළකිලිමත් විය යුතු යි, සංස්කෘතියේ පහළ මට්ටම්වලට ආපසු නොයාමටත්, පවත්නා සංස්කෘතිය ආගන්තුක සංස්කෘතීන් මගින් ප්‍රතිස්ථාපනය වීමට - තිබූ එක ඉවත් කර අළුත් එකක් රෝපණය කිරීමට- ඉඩ නොදීමටත්.)

පඩි පෙළක දෙපැත්තෙන්, පඩිපෙළෙහි ස්ථායිතාව රැත ගැනීම පිණිස ඉදිකරන බිත්ති දෙක නොහොත් පුවරු දෙක, කලක් ගත වන විට කදිම කැටයම් හා සැරසිලි වැඩවලින් අලංකාර වූවක් බවට සැකසෙන අතර කොරවක්ගල නමින් නම් කෙරෙනවා. කොරවක්ගල පහළට තල්ලු වී ඒම වැලැක්වීමට යොදන කූඤ්ඤ නැතහොත් ආධාරක ගල් දෙකත් කාලයත් සමග විශිෂ්ඨ කැටයම් සහිත, මුරගල නමැති නිර්මාණය බවට සංස්කරණය වෙනවා. පඩි‍පෙළ පා මුල පාපිස්නක් මෙන් වූ, තරමක් පුළුල් ව බිම් මට්ටමේ සැකසුණු පළමු පඩිය, පසු කාලීන ව සඳකඩ පහණ නම්වූ අති විශිෂ්ඨ නිර්මාණය බවට සැකසෙනවා.

මෙසේ විවිධාකාර සැරසිලි කැටයම් ආදිය එකතු වී අලංකාර වස්තුවක් බවට පත් වීමෙන් පසු, කොරවක්ගල්, මුරගල්, සඳකඩ පහණ ආදිය, සිවිල් ඉංජිනේරු තාක්ෂණික නිර්මාණ පමණක් නොව, කලා නිර්මාණ ද වෙනවා.

මා මීට පෙර වෙනත් දෙයක් ගැන කථා කළ ලිපියකදී කීවා සේම, කලා නිර්මාණයකට විවිධ අර්ථකථන දිය හැකියි. සමහර විට එය නිර්මාණකරුවා කිසිසේත් අදහස් නොකළ අරුතක් වන්නටත් පිළිවන්.

දැන් තමයි අප මුලින් කී ගීතය ගැන කථා කරන්නේ.

සඳකඩ පහණේ ඇති රූ රටා පිළිබඳ ව ද විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබෙනවා. මෙහි කියැවෙන්නේ මෙතෙක් නොවූ නව අර්ථකථනයක්.

ඇරඹුමේ දී කී පරිදි ම මේ ගීතයේ කියන්නේ අපට සිදුව ඇති දෙයයි.

සඳකඩ පහණේ ඇති විවිධ රූ රටා, ලිය කම් ආදිය, අප සතු ව පැවැති ශක්‍යතාවයන් (හැකියාවන්), ශක්තීන්, ගුණාංගයන් ආදියට සම කරන ගීතයේ පද රචකයා, සඳකඩ පහණ ගෙවී කැඩී බිඳී නටබුන් ව ඇති අයුරින් ම අප සනුහරය තුල වූ ඉහත කී ගුණාංගයන් ද නැතිවී ඇති බවත්, පහත් තත්ත්වයට ඇද වැටුණු අපේ වර්තමානිකයන් ඒ ගුණාංගයනට ඉඳුරාම පටහැණි වූ අයුරින් කටයුතු කරන අයුරුත් පවසනවා.


තිදස පුරේ 
පියගැට පා මුල
ශෛල තලාවෙක
සඳ ලේඛාවෙක
කල්ප විනාශය දිවැසින් දුටුවෝ
සවි කළ කැටයම සඳකඩ පහණයි.


සඳකඩ පහණෙහි වූ ඒ ඒ රූ රටාවන් එකල අප තුල වූ විවිධ ගුණාංගයන් හා සසඳා ඇත්තේ මේ අයුරින්.


නුවණ තියුණු කළ තිසර රටාවයි
තුරඟා ජවය සමානයි
සවි බලයෙන් ගිජිඳා අසමානයි
සහයෝගය ගව රෑනයි
පිවිතුර පියුමයි
බැඳුම ලියවැලයි
පිරිපුන් කැටයම සඳකඩ පහණයි.


අද වන විට ඒ සියලු ශක්‍යතාවයන් අහෝසි ව ගොස්. එසේ නොමැති නම් , එම තත්ත්වයන් දැනටත් රැකගෙන සිටින්නවුන් අසරණ වී ගොසින්. ඒ අතර නිරන්තරයෙන් ම, ඌරන්, සිවලුන් හා වවුලන් වැනි ගති සිරිත් ඇත්තවුන් විසින්, ඉතිරි ව ඇති සියල්ල ද වනසනු ලබන බව ගීතයේ අවසන් කොටසින් කියවෙනවා.


මෙදා තිසර ගජ තුරඟුන් සේනා
මරු කතරේ කුර ගානා
සිඟාල සූකර වවුලිඳු සේනා
නිරුදක පෙළහර පානා
කෙළෙසුණු පියුමයි
බිඳුණු ලිය වැලයි
නටබුන් කැටයම සඳකඩ පහණයි.


මේ ගීතයේ ගේය පද රචනය රත්නසිරි පරණවිතානයන්ගේ. සංගීතය නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. ගායනය සුනිල් එදිරිසිංහයන්ගේ.


ගීතයට සවන් දුන් විට ඔබට බොහෝ දේ සිතේවි. මේ සබැඳිය ඔස්සේ අසා බලන්න.

Sunday, April 22, 2018

උඩ ඉඳලයි වැටුණෙ....

- බන්ධුල සිසිර කුමාර -




මගේ ලිපි කියවන විට ඔබට හිතෙනවා ද දන්නේ නැහැ , අන්තිම ට කැරකිලා කැරකිලා අතීතයටමයි යන්නේ කියලා. (ඇම්ඩන් සහ මැක්කා වගේ) මගේ හැම ලිපිය ම අතීත කතා ම නොවෙයි කියලා ඔබ ට ටිකක් පසු පස ට ගිහින් බැලුවොත් සොයා ගන්නත් පුළුවන්. මා මෙතෙක් දුර කියවූ, අධ්‍යයනය කළ, ගවේෂණය කළ දේ සහ ඒ ඇසුරෙන් සොයාගත් තොරතුරු, ඔබටත් කිසි යම් ප්‍රයෝජනයක් වේය කියලා සිතුනු විට ඒවා බෙදා හදා ගැනීමයි මෙහිදී කරන්නෙ. මා අතීත කාමියකු නොවෙයි. ඒ නිසා මනසින් අතීතයෙ ජීවත් වන්නෙ නෑ. අතීතයේ තිබූ දැනුම හා ක්‍රම වේදයන් සොයා ගෙන අදට ඒවායින් ගතහැකි මොනවාද යන්න සොයා බැලීමත්, අපට වැරදුනු තැන් බලා පාඩම් ඉගෙනීමත්, අප කවුරුන්ද යන්න වටහා ගැනීමත් තමයි එයින් ලබා ගත හැකි මහත් ම ප්‍රයෝජනය.

අනුරාධපුරයේ විශාල වශයෙනුත්, පොළොන්නරුවේ සැළකිය යුතු ප්‍රමාණයකුත් අනෙක් ප්‍රදේශවල ඉඳ හිටත් හමු වන දැවැන්ත හා කලාත්මක ගොඩනැගිලි, ප්‍රතිමා, වැව් ආදිය දකින විට අප අතරින් එක් එක් අය ඉදිරිපත් කරන විවිධ අදහස් තිබෙනවා. "මිනිසුන්ගෙන් බලෙන් වැඩ ගන්න ඇති", "වහලුන්ගෙන් වගේ වැඩ ගන්න ඇති", වැනි කතා එයින් කිහිපයක්. "මේවා කරන්න ඇත්තෙ පිට රටින් ගෙන්නපු ශිල්පීන් විසින් වෙන්න ඇති" කියලා කියන අය පවා ඉන්නවා. ( ඒ කතාව කියන අය නම් දන්නෙ නැහැ කලා හා තාක්ෂණ නිර්මාණ අධ්‍යයනය කර බලා ශිල්ප සම්ප්‍රදාය හඳුනා ගන්නට හැකි බව.) ( අනෙක, බලෙන් වැඩ ගන්නා සමාජ පසුබිමකදී නම් ගුරු කුලයන් තුල ශිල්ප සම්ප්‍රදායයන්, තාක්ෂණය ආදිය ප්‍රගමනය වන්නේ, සංවර්ධනය වන්නේ, ඉතා අල්ප වශයෙන් බව පැහැදිලියි නේ.)

මේ නිර්මාණ ගැන එවැනි සෘණාත්මක කතා කියන අය පමණක් නොවෙයි, "මෙන්න අපේ අතීත රජවරුන්ගෙ හපන්කම්" කියලා සාම්ප්‍රදායික විදියට උදම් අනන අය පවා නොදන්නා කාරණයක් තිබෙනවා. ඒ කාරණය පිලිබඳ ව හමු වී ඇති ලිඛිත සාක්ෂි සීමිතයි. ඒ වුණත් මුළු රජරට රාජධානි යුගය ම පරීක්ෂා කර බැලුවාම ඒ කරුණ පිලිබඳ අලිඛිත සාක්ෂ්‍ය වටහා ගත හැකියි.

"මෙන්න අපේ රජවරුන් ගෙ හපන්කම්" කියලා එක් පිරිසක් කියන විට තවත් පිරිසක් කියනවා "රජවරු මොනවද කළේ. මේවා රටේ මිනිසුන්ගෙ ශ්‍රමය" කියලා. ඒ කථාව හරියට ම අර "රුවන්වැලි සෑය දුටුගැමුණු රජුගේ නිර්මාණයක් නොවෙයි, මේසන් බාස්ලගෙ වැඩක්" ය කියනවා වැනි බහු බූත කතාවක් කියලයි මට හිතෙන්නෙ.

මා එසේ කියන්නෙ මෙන්න මේකයි. මේසන් බාස්ලා හෝ ගල් වඩුවන් තමන්ට ඔහේ හිතුණු නිසා කරපු වැඩ එකක් වත්, මේ මහා පරිමාණ නිර්මාණ අතර ඇතැයි මා හිතන්නෙ නැහැ. අනෙක් අතට දූරාතීතයේ සිට ක්‍රි.ව. 1815 දක්වා අප රටේ විසූ පාලකයන් අතුරින් සියලු දෙනාගෙම නම් නිතර ඇසෙන්නෙ නැති වුවත් කාටත් හුරුපුරුදු මතක හිටි නම් කිහිපයක් තිබෙනවා. එසේ මතක ඇති අය සියලු දෙනාම පාහේ කැපී පෙනෙන නිමැවුමක් හෝ යම් සමාජ පරිවර්තනයක් කරවපු අය. ඒ වගේ දෙවල් කරවූයේ කොහොමද? සඳළු තලයකට වෙලා, ගැඹුරු හඬින් හා ලියන බාසාවේ බර වචන වලින්, "ඇමතිය, මෙසේ කරනු" කීවාම ඇමතිවරු කෙසේ හෝ වැඩය කරවනවා ද??? අපේ බොහෝ දෙනෙකුගේ සිතෙහි තිබෙන්නේ එවැනි චිත්‍රයක්.

ඒ වගේ විකාර හිතළුවලින් බැහැර වෙලා වඩාත් ප්‍රායෝගික ව හිතුවා ම වටහා ගත හැකි දෙය තමයි, විශිෂ්ඨ නිර්මාණ බිහි වූ, ජනතාව සුඛිත මුදිත ව ජීවත් වූවායයි කියැවෙන යුගයන්හි ඒ පාලකයන් සියල්ල සිදු කරවන්නට ඇත්තේ මනා ව සැකසුණු පරිපාලන ව්‍යුහයක් හා විධිමත් නිලධාරි තන්ත්‍රයක් මගින් බව.

මා පෙරදී කීවා වගේ ම මේ කාරණය පිලිබඳ ලිඛිත සාක්ෂි තරමක් සීමිතයි. මේ පිළිබඳ ව හමු වී ඇති වැදගත් හා විස්තරාත්මක සාක්ෂියක් වන්නෙ iv වැනි මහින්ද රජුගේ මිහින්තලා පුවරු ලිපි යි. දහ වැනි ශත වර්ෂයේ අප රටේ විධිමත් ගිණුම්කරණ ක්‍රමවේදයක් තිබුණු බව තහවුරු කරනු පමණක් නොව විධිමත් ගණකාධිකාරි සේවාවක් හා පරිපාලන සේවාවක් තිබුණු බවට පවා මෙම සෙල් ලිපි මගින් සාක්ෂ්‍ය සැපයෙනවා.

ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය මගින් වාර්ෂික ව පළ කරනු ලබන ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංහිතා සඟරාවට (වෙළුම 5 , වසර 2014) ප්‍රසාද් ෆොන්සේකා මහතා විසින් සපයා ඇති, හතරවන මිහිඳු රජුගේ (952-968) මිහින්තලේ පුවරු ලිපි නමැති ලිපියේ මේ පිලිබඳ කදිම විවරණයක් කෙරෙනවා. අදාල ලිපියෙන් උපුටා ගත් කොටස් කිහිපයක් මා පහතින් දක්වනවා. (නිල් පැහැයෙන් දක්වා ඇත්තේ උපුටා ගත් කොටස් බව සලකන්න.)

උපුටා ගැනීම

සෑගිරි විහාරයේ සියලු ම භික්ෂූන් ද, නිලධාරීන් ද, දැසි දසුන් ද අඳ ගොවීන් ද මෙම නීති මාලාවට යටත් වන අතර ඔවුන්ගේ රාජකාරි පිළිබඳ විස්තර ද, මුදල් ලැබීම් හා ගෙවීම් පිළිබඳ රෙගුලාසි ද, පරිපාලන නීති හා ගිණුම් පිළියෙල කිරීම පිළිබඳ උපදෙස් ද එසේ ම ඔවුන් ට හිමි දීමනා පිළිබඳ නියෝග ද එහි දැක්වේ.

උපුටා ගැනීම

1. (පරිපාලන) කමිටු සාමාජිකයන් වන්නේ නකා වෙහෙර පාලක හිමියන්, (ගිහි) පිරිවෙන් පාලක, විනය පාලක, ප්‍රධාන කාර්මික නිලධාරි (ඉංජිනේරු), සැපයුම් නිලධාරි, විහාර ලේකම්, කරඬු ලේකම්, කරඬු භාර නිලධාරි යන අය යි. මේ සියලු දෙනා අභයගිරි විහාර දෙඛණ්ඩයෙහි භික්ෂූන් සමග ඇත්වෙහෙරයට රැස් විය යුතු ය. ඔවුන් විසින් රාජකාරි ස්ථාන තීරණය කොට විහාරස්ථානය තුල හා පිටත (මුදල්) ලැබීම් හා ගෙවීම් ගැන සොයා බැලිය යුතු ය.

2. විහාර දේපළ පරිහරණය කරන්නන් අතින් සිදු විය හැකි අලාභ හානි සඳහා අදාල පුද්ගලයන්ගෙන් තැන්පත් මුදලක් ලබා ගත යුතු ය.

3. විහාරයේ භික්ෂූන් ට සම්බන්ධ කිසිවකු විහාර සේවයට යොදා ගෙන තිබේ නම් සියලු ම දීමනා ආපසු අය කරගෙන ඔහු සේවයෙන් පහ කළ යුතු ය.

4. ධාතු කරඬු, අදාල නිලධාරින් ඉදිරිපිට මුද්‍රා තබා නියමිත ස්ථානවල තැබිය යුතු ය.

5.ගෙවීම් කාර්යාලයේ, සහල් එකතු කරන ස්ථානයේ හා මධ්‍යාහ්නය ට පෙර දානය භාර ගන්නා ස්ථානයේ නිලධාරීන් ඉවතට යන විට ඔවුන්ගේ වැඩ බැලීම ට වෙනත් නිලධාරීන් පත් කළ යුතු ය.

6. ඇත් වෙහෙරේ ධාතු ගෘහයට අයිති කිසිවක් විකිණීම හෝ ණයට දීම නොකළ යුතු ය.

7.විහාර නිලධාරින් විසින් විහාර සේවකයන් තමන්ගේ වැඩට හෝ වෙනත් අයගේ වැඩට නොයෙදිය යුතු ය.

8. කටු මහා සෑයේ නඩත්තුවට ඒ සඳහා ඇති ඉඩම්වල ආදායම යෙදවිය යුතු ය.

9.කිරිබඬු පවු දාගැබේ නඩත්තුවට ඒ සඳහා ඇති ඉඩම්වල ආදායම යෙදවිය යුතු ය.

10.විශාල බුද්ධ ප්‍රතිමාව ඇති ධාතු මන්දිරයෙන් ද, බෝධි මළුවෙන් ද, නයින් ද,(සිද්ධස්ථානයෙන්) මිණිනාල් දෙවොලෙන් ද, කටු මහා සෑයෙන් ද, කිරිබඬු පවු දාගැබෙන් ද, කඳු ඉහළ දාගැබ්වලින් ද, පහළ ඇති ඇත් වෙහෙරේ දාගැබ්වලින් ද, ලැබෙන මුළු ආදායම හා (රජු විසින් ) පූජා කරන රන් කලං සියය ද, ඇත් වෙහෙරට ලැබෙන යහල දහයක වී ද යන සියලු ආදායම ඕනෑ ම අළුත්වැඩියාවක් සඳහා යෙදවිය හැකිය.

11. විහාරයට අයත් ගම් වැසියන්ගෙන් ද සේවකයන්ගෙන් ද අය කරනු ලබන සියලු දඩ මුදල් විහාරය සතු ය.

12. කිරිබඬු පවුවේ ගහකොළවලින් ද, සංගවැල්ලෙන් ලැබෙන ගෙවල් කුලී වලින් ද, මනුවැසර වැවෙන් හා ලිහිණි පවුවේ වැව් දෙකෙන් ද, පහණවිල හා පොරදෙණි පොකුණ අවට ඉඩම්වලින් ද ලැබෙන ආදායමෙන් තුනෙන් කොටසක් විහාරය සතු වේ.

13. විහාරයට අයත් නිවාසවල වසන අයගෙන් සාධාරණ කුලියක් අය කළ යුතු ය. එහෙත් නිලධාරීන්ගෙන් හා සේවකයන්ගෙන් කුලී අය නොකළ යුතු ය.

14. විහාරයේ කටයුත්තකට හැර යහපත් සේවකයන්ගේ දේපළ පවරා නොගත යුතු ය.

සේවකයන්ට හා සාමාන්‍ය ජනයාට අදාල නියෝග

1. විහාරයට අයිති දේපළ බදු පදනමක් යටතේ පවරා දීමට හැකි වුව ද සින්නක්කර ව පැවරිය නොහැකි ය.

2.(සාමාන්‍ය ජනයාට) දින තුනක අනිවාර්ය සේවා මුරය හැර පොහොය දින සේවය වැනි වෙනත් අතිරේක කාර්යයන් නොපැවරිය යුතුය.

3.සේවකයන් ට පවරා ඇති ඉඩම් හැර ඇත් වෙහෙරට අයත් කිසිම දේපළක් ත්‍යාගයක් ලෙස පැවරීමට හෝ බදු දීමට නොහැකිය.

4. පෙර චාරිත්‍ර ලෙස ලැබෙන සහල් හැර විහාර සේවයේ යෙදෙන කිසි ම නිලධාරියකු වෙනත් යැපීම් දීමනා ලබා නොගත යුතු ය. තම කුඹුරු අස්වැද්දීමට ගොන් බානක් හෝ නොගත යුතු ය.

5.බදුකර යටතේ ලබාගත් ඉඩම් ආපසු ලබා ගත හැක්කේ ඔවුන් (වගා නොකරන්නේ ) නම් පමණි.

6.ඉඩම්වලට අවසර නැතිව ඇතුල්වීම තහනම් වේ.

7.ගස්කොලන් කැපීම තහනම් ය. විහාරයට අයත් ඉඩම්වල තල ගස් හා මී ගස් කැපීමට විශේෂ අවසරයක් ගත යුතු ය.

8. කිසි යම් වැසියකුගෙන් දඩ මුදලක් අය කරන විට එය පෙර චාරිත්‍ර ලෙස අය කළ යුතු ය. ඒ තැනැත්තා ඒ වෙනුව ට වැව්වල වැඩ කිරීම ට ඉල්ලා සිටියොත් ඔහුට එයට ඉඩ දිය යුතු ය.

9.විහාරයට අයත් ගම්වල පාරවල් හා මහා මාර්ග ද කුල සේවකයන් ද විහාරය සතුය.

10.විහාරයට අයත් ඉඩම් කිසිවකු විසින් මිළ දී ගෙන ඇත්නම් එම මුදල විහාරය සතු කරගෙන අදාල පුද්ගලයන් විදේශයන්ට පිටුවහල් කළ යුතු ය.

11.මෙහි දක්වා ඇති නියෝග කිසිවක් උල්ලංඝනය නොකොට ක්‍රියාත්මක කළ යුතු ය.




මුදල් රෙගුලාසි හා ගිණුම් පිළියෙල කිරීම

1.යැපීම් දීමනා ලෙස ලැබෙන දේ හැර (විහාරස්ථානයට ලැබෙන) අනෙකුත් සියලු ම ලැබීම් හා නියමිත අනුමැතිය මත ගෙවන සාධාරණ සත්‍ය ගෙවීම් අදාල ස්ථානයේ පවත්වා ගෙන යන ලේඛනයක සටහන් කළ යුතු ය.

2.දිනපතා (විහාරස්ථානයේ) නඩත්තුවට වියදම් වන මුදල් ද, අළුත්වැඩියාවන් සඳහා වියදම් වන මුදල් ද ලේඛනයේ සටහන් කළ යුතු ය.

3.(ඉහත ලේඛන මත) අදාල ස්ථානයේ හෝ ව්‍යාපාරයේ (එහි පරිපාලනයේ ද) එකඟත්වය ඇති ව ගිණුම් පිළියෙල කළ යුතු ය. එසේ කිරීමේ දී වැරදි සටහන් (ඇත්නම්) ඉවත් කළ යුතු ය.

4.ගිණුම් සටහන් (පිටපතක්) කරඬුවක දමා මුද්‍රා තැබිය යුතු ය.

5. සෑම මසක ම ගිණුම් පිළියෙල කොට ප්‍රසිද්ධ කළ යුතු ය.

6.මාසික ගිණුම් දොළහ ඒකාබද්ධ කර වසරේ අවසානයේ ගිනුම් පිළියෙල කළ යුතු අතර ශේෂ පත්‍රයක් පිළියෙල කොට එය සංඝයා මධ්‍යයේ කියවිය යුතු ය.

7.මෙම නීති කඩ කරන නිලධාරීන් වෙතොත් දඩ මුදල් අය කොට සේවයෙන් පහ කළ යුතු ය.

දෙවැනි සෙල් ලිපියේ ඇත්තේ විහාර සංකීර්ණයේ සේවය කළ අයට ලැබෙන දීමනාය. එකල කුල භේදයක් නොතිබුණු බවට මේ ලිපියෙන් ඉඟියක් සපයයි. නිලධාරීන් හා සේවකයන් හඳුන්වා ඇත්තේ ඔවුන් කළ රාජකාරිවලින් පමණකි.

(උපුටා ගැනීම අවසන්)

දීමනා හිමි වන නිලධාරින් අතරින් කිහිප දෙනෙකුගේ තනතුරු මෙසේ දැක්විය හැකියි.

නකා වෙහෙරේ පාලක හිමියන්, විහාර පරිපාලක (ගිහි), පරිපාලන කමිටු නිලධාරින්, ගිහි ශිෂ්‍ය නිවාස අධිපති, සංචාරක ආරක්ෂක, උත්සව සංවිධායක, විකට නැටුම් ශිල්පීන්, ගොපල්ලන්, මැටි පාත්‍ර සපයන්නා, බාහිර කාර්ය සංවිධායක, වියන් බඳින්නා, ප්‍රධාන පින්තාරුකරු, පින්තාරුකරුවන් එකොළොස් දෙනා, අයකැමි හා ඔහුගේ සහකරුවන්, ධාන්‍ය ගබඩා පාලක, කුලී කම්කරුවන් 24 දෙනා, ප්‍රධාන අරක්කැමි, අනෙක් අරක්කැමියන්,මැටි භාජන සපයන්නා, මාස්පතා ජලපෙරන (ෆිල්ටර්) සපයන්නා, වෙදැදුරන්, කරණවෑමියා, ධාතු මන්දිර පාලක, තෙල් හා තිර සපයන්නා, නෙළුම් මල් සපයන්නන් දෙදෙනා, ගිහි ධර්ම දේශක හා ගුරුවරුන් හය දෙනා, දුම්මල සපයන්නා, ප්‍රධාන කාර්මික නිලධාරි, වඩුවන්, කම්මල් කරුවන් දෙදෙනා, හුණු සපයන්නන්.... ආදි වශයෙන්.

උපුටා ගැනීම

මෙම සෙල්ලිපියෙන් අනුමාන කල හැකි වැදගත් කරුණක් නම් එකල ශක්තිමත් රාජ්‍ය පරිපාලන නීති රීති හා සම්ප්‍රදායන් ද, ඒවා ක්‍රියාත්මක කිරීමට නිසි පරිපාලන සේවයක් ද තිබුණු බව යි. රටේ එවැනි උසස් නීති මාලාවක් ක්‍රියාත්මක වී නොතිබුණේ නම් අඩු තරමින්, මෙවැනි නීති කෙටුම්පත් කිරීමක් පවා සිදු කිරීම අපහසු ය.

උපුටා ගැනීම

විහාර දේපළ සඳහා ආරක්ෂක තැන්පතුවක් ලබා ගැනීම ඉතා උසස් හා ප්‍රායෝගික ක්‍රම වේදයක් පැවැති බවට සාධකයකි. අද පවා ව්‍යාපාර ආයතනවල මෙම ක්‍රමය ක්‍රියාත්මකය. එමෙන් ම භික්ෂූන් වහන්සේලාට සම්බන්ධ අයවලුන් හට තනතුරු නොදීම දූෂණ අවම කිරීමේ ක්‍රමවේදයකි.

උපුටා ගැනීම

වර්තමානයේ වැව් නඩත්තුව, එනම් මඩ ඉවත් කිරීම කරනු ලබන්නේ වැවක් ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වූ විට වුව ද වැව්වල නඩත්තතුව නිතිපතා කළ බවට මෙම ශිලා ලේඛන සාක්ෂි දරයි. එක් පුද්ගලයකුට පැවරෙන ප්‍රමාණය රියන් 16 ක වට ප්‍රමාණය හා රියනක ගැඹුර බව ද දක්වා තිබේ.

මෙම සෙල් ලිපියේ ඇති ඉතා ම වැදගත් කරුණ නම් අතීත ලංකාවේ ක්‍රමවත් ගිණුම්කරණයක් තිබූ බවට ලැබෙන සාක්ෂියයි. මෙවැනි නිවැරදි අංග සම්පූර්ණ ගිණුම් ක්‍රමයක් එම කාලයේ වෙනත් රටක තිබූ බවට සාක්ෂ්‍ය සොයා ගත නොහැකිය. මෙම ගිණුම්කරණ ක්‍රියාවලිය අංග සම්පූර්ණ වන්නේ මුදල් පොත ලිවීමේ සිට මාසික ගිණුම් පිළියෙල කිරීම දක්වාත් ඉන් පසු වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ඒවා ප්‍රසිද්ධ කළ යුතු බවට දී ඇති උපදෙස් නිසා ය. අවසානයේ ගිණුම් සංඝයා මධ්‍ය යෙහි කියවිය යුතු ය. දැනුදු ව්‍යාපාරවල ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමවේදය ම නිසා අතීත සිංහලයන්ගේ ගිණුම් කටයුතු ඉතා උසස් තත්ත්වයක තිබී ඇති බව පැහැදිලි ය. අනෙක් අතට, ගිණුම් කටයුතු කර ඇත්තේ විහාරයට සම්බන්ධයක් නොමැති ගණකාධිකාරිවරුන් වන අතර ඔවුන් අදාල ස්ථානයේ පරිපාලනයේ එකඟත්වය ද ඇති ව ගිණුම් පිළියෙල කළ යුතු බවට නියෝග කොට තිබේ. එසේ නම් වෙන ම ගණකාධිකරණ සේවයක් තිබෙන්නට ඇත. ලේඛන ආරක්ෂා කිරීමට ද නීති පනවා තිබේ. මේ අනු ව මෙම ශිලා ලේඛන දෙක පිළිබඳ ව ගැඹුරු විශ්ලේෂණයක් කළ හැකිවා සේ ම එමගින් ශ්‍රි ලංකාවේ අතීතය ගැන බොහෝ සාමාජයික හා ආර්ථික කරුණු සොයා ගැනීමට ද හැකි වනු ඇත.

(උපුටා ගැනීම අවසන්)

රට හා එහි ජනතාවගේ ජීවන මට්ටම වඩාත් ඉහල තලයකට ඔසවා තැබීමට සමත් වූ රජවරුන් කිහිප දෙනාගේත් ඒ තත්ත්වය බිඳ නොවැටී පවත්වාගෙන යාමට සමත් වූ රජවරුන්ගේත් පාලන සමයන් හි මෙයට සමාන පරිපාලන ව්‍යුහයක් හා ක්‍රමවේදයන් පැවතුනා නිසැකයි.

දුර්වල පාලකයන් සිටි යුගවල හා රටේ පාලක පැලැන්තිය බල ලෝභයෙන් එකිනෙකා ඇන කොටාගත් යුගවල දී මෙම පරිපාලන ව්‍යූහය බිඳ වැටෙන්නට හා නිලධාරි තන්ත්‍රය අවුල් වන්නට ඇතිවාට සැකයක් නැහැ. මෙවැනි අවස්ථාවල දී කල් යල් බලා පැමිණි ආක්‍රමණිකයන් මේ දිවයිනේ පාලනය සියතට ගෙන මේ සියලු ව්‍යුහයන් හා පද්ධතීන් උඩු යටිකුරු කරනවා. ඉතිහාසය පුරා ආසන්න වශයෙන් වසර දෙසීයකට වරක් මෙබඳු ආක්‍රමණ මගින් සිදු ව ඇති විනාශයන් දැක ගත හැකියි.

කලක් මනා ව වර්ධනය වී පැවති පරිපාලන ව්‍යුහයන් බිඳ වැටී, රාජ්‍යය ද විනාශ වූ අන්දම පිලිබඳ තොරතුරු පොළොන්නරු රාජධානිය බිඳ වැටීමේ කථාන්කරයෙන් වටහා ගත හැකියි. 

මනා පරිපාලන ව්‍යුහයක් පවත්වා ගෙන ගිය පරාක්‍රමබාහුගේ මරණින් පසු, රජ කමට පත්වන්නේ රජ මාලිගා සංකීර්ණය තුල ම කිසියම් නිලයක් දරමින් සිටි විදේශික (කාලිංග - නූතනයේ ඔරිස්සා) කුමාරයෙක්. ඔහු නිශ්ශංක මල්ල. ඔහු රජ වූ පසු හීන් සීරුවේ පරාක්‍රමබාහු ප්‍රතිරූපයට මඩ ගසන අයුරු හා පාලන තන්ත්‍රය තුල වූ පරාක්‍රමබාහු ලකුණ මකා දැමීමට උත්සාහ කරන අයුරු ඔහුගේ ම ශිලා ලිපි තුලින් හඳුනා ගත හැකියි. ඒ අරමුණින් ඔහු විවිධ අමනෝඥ ක්‍රියාවන් සිදු කර ඇති බව ද පෙනෙනවා.

එක් උදාහරණයක් මෙසේ දැක්විය හැකියි. වගා නොකර පුරන් වීමට හරින කුඹුරුවලින් පරාක්‍රමබාහු රජය බද්දක් අය කළා. මෙහි අරමුණ භාණ්ඩාගාරය තරකිරීම නොව කුඹුරු, වගා නොකර නිකරුණේ තැබීම අධෛර්යමත් කිරීම බව පැහැදිලියි. පෙර රජු පැනවූ, ජනතාව පෙළන බදු ඉවත් කරන්නෙමැයි කියා නිශ්ශංක මල්ල එම බද්ද ඉවත් කළා. ප්‍රතිඵලය බුද්ධිමත් ඔබට වටහා ගත හැකියි.

(විහාර කිහිපයක පිළිසකර කිරීම් හැරුණු විට නිශ්ශංක මල්ල විසින් කළ ජනතාවට මතක හිටින දෙයක් නැති බැවින් ඔහු කළේ විවිධ ප්‍රචාරණ උපක්‍රම මගින් සිය නම ජනයාගේ සිත්වලට ඇතුලු කිරීමට උත්සාහ කිරීමයි. තමා මෙහි වාඩි වී පිරිත් ඇසුවාය, මෙහි වාඩි වී නැටුම් බැලුවාය, ආදි වශයෙන් සටහන් කළ ගල් පුවරු පොළොන්නරු රාජධානියේ පමණක් නොව ඉන් බැහැර ස්ථානවල පවා දැක ගත හැකියි. වරක් පරාක්‍රම සමුද්‍රයේ අළුත් වැඩියාවක් කරවූ ඔහු එය නිශ්ශංක සමුද්‍රය ලෙස නම් කර ඵලකයක් සවි කරනවා.)

මෙම යුගයේ ක්‍රමික ව සිදු වූ, පාලන තන්ත්‍රයේ අවනතිය, රජ වී නව වසරකින් සිදු වූ නිශ්ශංක මල්ලගේ මරණයත් සමග තව තවත් ශීඝ්‍ර වෙනවා. ඉන් පසු ආ එකොළොස් අවුරුදු අවිචාර සමයේ මේ බිඳ වැටීම උපරිමයට යනවා.

එසේ දුබල ව පැවති දේශයට කල් යල් බලා පැමිණි කාලිංග මාඝ ආක්‍රමණිකයා විසින් අපගේ පරිපාලන ව්‍යුහයේ එතෙක් වූ සියල්ල ද විනාශ කර දැමූ බව කියැවෙනවා. ඒ විනාශයේදී අපගේ මිනිස් ජීවිත පමණක් නොව, සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම්, දැනුම, සම්ප්‍රදාය, තාක්ෂණය, පොත පත, කලා කෘති, වගා බිම්, වාරිමාර්ග ඇතුලු සියල්ල විනාශ වෙනවා.

මනා පරිපාලන ව්‍යුහයක් නොමැති ව, මහා වාරිමාර්ග පද්ධති සහිත පුළුල් කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් පවත්වාගෙන යන්නට බැහැ. ආක්‍රමණිකයා වෙනත් කිසිවක් විනාශ නොකර, පරිපාලන ව්‍යුහය පමණක් බිඳ දැමුවත් මේ ශිෂ්ටාචාරය විනාශ වී යන්නට තිබුණා.

එසේ ම ඔහු පැමිණෙන කාලය වන විට පරිපාලන ව්‍යුහය කෙතරම් බිඳ වැටී තිබුණේද යත් ආක්‍රමණයක් සිදු නොවුව ද මේ රාජධානිය බිඳ වැටී යාමට ඉඩ තිබුණු බව ට ද අදහසක් පවතිනවා.

(කාලිංග මාඝ ආක්‍රමණිකයා විනාශ කරන්නෙ පොළොන්නරුව පමණක් නොවෙයි. අවසන් චෝල ආක්‍රමණයේ දී විනාශ නොවී ඉතිරි වුණු, සහ පොළොන්නරු යුගයේ රජවරුන් විසින් පිළිසකර කරවූ අනුරාධපුරයේ වූ ඉදිකිරීම් සියල්ල ද ඔහු විනාශ කරනවා. මුළු රජරට ශිෂ්ඨාචාරය ම අත්හැර දැමීමට සිදු වන්නේ මේ ව්‍යසනයෙන් පසුවයි.)

ඉතින් අප අද සිටින්නේ කොතැන ද? අතීත යුගයන්හි සංවර්ධිත රටක් වූ අප අද ඉන්නේ කුමන අන්දමේ ප්‍රපාතයක ද? අදත් අප බත නිපදවා ගන්නේ මුලින් කී විශිෂ්ඨ පාලකයන්ගේ යුගවල ඉදි කළ මහ වැව් කිහිපය නිසා. විදේශ විනිමයෙන් කොටසක් උපයා ගන්නේ ඒ යුගවල කෙරුණු නිර්මාණයන්ගේ අවශේෂ, විදේශිකයන් ට පෙන්වීමෙන්.

අප හැමදා පහළ සිටි ජාතියක් නොව උඩ සිට පහළට ඇද වැටුණු පිරිසක් බව ඔබට පැහැදිලි වන්නට ඇති.

ඔබේ අදහස් මොනවාද කියා දැන ගැනීමටත් කැමතියි.

ඉතිහාසය වෙනස් කළ මිනිස්සු - 2

- බන්දුල සිසිර කුමාර - අපේ ගෙවී ගිය දවස් ගැන විමසිල්ලෙන් බලන විට පෙනී යන එක් වැදගත් කරුණක් වන්නේ වගකිවයුතු පුද්ගලයන්ගේ කිසියම් ක්‍රියා...