Monday, August 13, 2018

දීල යමු...හාද....?

-බන්ධුල සිසිර කුමාර_




මා මීට කලින් ලියූ ලිපි බොහොමයක්, අපේ ඉතිහාසය, අපේ උරුමය වැනි දේ ගැන දැනුවත් කිරීම්. මෙය ඊට වඩා ටිකක් විතර වෙනස් වේවි. 

අපේ රටේ බෞද්ධ පදනමට පහර දීම මේ දවස්වල "නැගල යන වැඩක්". අනෙක් ආගම්වලට දේව අපහාස කළාම මුහුණ දෙන්න වෙන අන්දමේ දරුණු ප්‍රතිවිපාකත් නොලැබෙන නිසා ඒක බයක් නැතුව කරන්නත් පුළුවන්. 

ඒ අතරේ විවිධ පුද්ගලයන් තමන්ගෙ මනෝ විකාර මාකට් කරගන්න Negative Marketing උපක්‍රම ලෙසත් ඒවා යොදා ගන්නා අයුරුත් දැකිය හැකියි. 

මේවා පිළිබඳ ව, මුහුණු පොතේ මෙන්ම බාහිර සමාජයේත් සමහර අවස්ථාවලදී කතාබවට ලක් වන දේ ත්, ඒ ගැන විවිධ මිනිසුන්ගේ අදහස් දැක්වීමුත් දුටු විටයි, මෙය ලිවිය යුතුමයි කියා සිතුණෙ. හොඳ වෙලාවට, අපේ අක් මුල්වලට, පදනම්වලට එරෙහිව ඒ සමහරුන් කියන කතා හා සංකල්ප සාමාන්‍ය ජනතාවට තේරෙන්නෙ නැහැ. නැත් නම් ඒවා නිසා මහා විනාසයක් වෙන්නත් පුළුවන්. 

ඒ නිසා මේ සිදුවන සමහර විප්‍රකාර ගැන කාටත් තේරෙන බාසාවෙන් යම් පැහැදිළි කිරීමක් කළා නම් හොඳයි කියා මට හිතුනා. 

මෙය කතන්දරයක ස්වරූපයෙන් කිව්වාම කාටත් වටහාගන්න හැකිවෙයි කියා සිතෙන නිසා මා ඒ අයුරින් මෙය පැහැදිළි කරන්නම්. 

එකමත් එක කාලයක නොවෙයි, කිතු උපතට වසර හයසීයකට පමණ පෙර ජම්බුද්වීපය ( අද කියන විදියට නම් ඉන්දියානු උප මහාද්වීපය) අද මෙන් ම විමුක්තිය පතා දෙවියන් යදින, බිලි පුද පූජා පවත්වන දේවවාදී ආගම්වලට නතු ව තිබුණා. 

එහෙත් ඒ යුගයේ ඒ පරිසරයේ අදට වඩා වෙනසක් තිබුණා. 

එහි පවත්නා ආගම්වල සංකල්පයන් ප්‍රශ්න කරමින්, ඒවා තුල විසඳුම් නැති යම් යම් ප්‍රශ්නවලට විසඳුම් සොයමින් පරම සත්‍ය කුමක්දැයි ගවේෂණය කරමින් සිටි (කිං සච්ච ගවේසී) තරුණ හා මැදිවියේ මිනිසුන් සැළකිය යුතු ප්‍රමාණයක් ද ඒ වටපිටාවේ සිටියා. ගෘහස්ථ ජීවිතයෙන් වෙන්ව, වන උයන් ආශ්‍රිත ව සිටි ඔවුන් පොදුවේ හැඳින්වූයේ උපනිෂද් මුනිවරුන් ලෙස. 

පවත්නා රටාවේ දුර්වල තැන් හා අඩුපාඩු හඳුනාගෙන, ඒවා ට වඩාත් සතුටුදායක විසඳුම් සොයමින් හා අධිපතිවාදී මිත්‍යා සංකල්ප නිර්භය ව ප්‍රතික්ෂේප කරමින් සිටි ඔවුන් රැඩිකල් චරිත ලෙස හැඳින්වීම නිවැරදි වුවත් අපේ සමාජය තුල එසේ යයි කියා ගන්නා මිනිසුන් නිසා අර්ථය විකෘති වී කෙළෙසී ඇති එම වචනය යොදා ගැනීමෙන් වෙනත් අරුතක් ගම්‍ය වෙන්න පුළුවන්. 

මේ මුනිවරුන් අතරින් අද්විතීය චරිතය බවට බුදුන් වහන්සේ පත් වූයේ කරුණු කිහිපයක් මුල් කොට ගෙනයි. සත්වයා /පුද්ගලයා තුල නැවත නැවත උපත ලබන ආත්මයක් ඇතැයි යන එකල පිළිගත් මතය බැහැර කළ උන්වහන්සේ සත්වයා යනු දෘඩාංග හා මෘදුකාංග එකතුවක් ( එකල භාවිත වූ වචන අනු ව නාම හා රූප) බවත් සසර සරන්නේ ආත්මයක් නොව දත්ත එකතුවක් සහිත මෘදුකාංගයක් (උපාදානස්කන්ධ) බවත් පැහැදිළි කළා. එමෙන් ම මේ පීඩාකාරී වූ සසර සැරීම අවසන් කිරීමේ ක්‍රමවේදය සොයාගත් උන්වහන්සේ එය ලෝකයා වෙත ඉදිරිපත් කළා. [මා කියූ කරුණු ඔබට ගැටළු සහගත යයි හැඟේ නම් ඒ ගැන වෙන ම සාකච්ඡා කරමු.] සසර ගමන අවසන් කිරීමේ මාර්ගය සොයා පැමිණි අයට ඊට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන් අතර, අවුල් ඇති වීම අවම කරගෙන වඩාත් සාර්ථක, විචාරශීලී හා නිවැරදි ජීවිතයක් ගෙන යන ආචාරධාර්මික මාර්ගයක් පොදු ජනතාවට පෙන්වා දුන්නා. කර්මවාදයේ කියැවෙන දෑ සහ සිඟාලෝවාද, කාලාම, මංගල ආදී සූත්‍ර නිරීක්ෂණයෙන් වුව අපට ඒ දෑ පැහැදිළි වෙනවා. 

බුදු සමය ආරම්භයේදී එහි ආගමික ස්වරූපයක් නොතිබුණු බව පැහැදිළියි. 

ගරුකටයුතු අයට වන්දනා කිරීම එකල මෙන් ම අදත් පෙරදිග සමාජය තුල දැකිය හැක්කක්. උන් වහන්සේ එම සමාජ සංස්කෘතික ලක්ෂණය ප්‍රතික්ෂේප කළේ හෝ වන්දනා කරන ලෙස නියම කළේ හෝ නැහැ. එහෙත් ආමිස පූජාවන්ට වඩා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාව (පෙන්වා දුන් මාර්ගයේ ගමන් කිරීම) බව ප්‍රකාශ කළා. 

කෙසේ වුවත් බුදු හිමියන්ගේ පිරිනිවීමෙන් හා ආදාහනයෙන් පසු ගත වූ ශත වර්ෂ තුනක කාලය තුල, ශාරීරික ධාතු නිදන් කළ චෛත්‍යයනට වන්දනා කිරීම, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීම ආදී පුද පූජා විධි ස්වල්ප ප්‍රමාණයක් බුදු සමය හා බැඳුනු සංස්කෘතියට එකතු වූ බව පෙනෙනවා. 

දැන් අපි නැවතත් අපේ රටට පැමිණෙමු. 

බුදුන් වහන්සේ ජීවමාන ව සිටි යුගය වන විට අපේ රට පැවතුනේ කුමන අන්දමින් දැයි සොයා බැලීම වැදගත්. ඒ යුගයේ යක්ෂ නාග හා දේව යන ජනවර්ගයන් තුනක් මෙහි සිටි බව ජනප්‍රවාදයේ එන අතර විධිමත් අවමංගල චාරිත්‍ර විධි, විදේශික නිෂ්පාදන ආනයනය කිරීම් වැනි දෑ සිදු කළ කිසියම් මට්ටමක දියුණු ජන කොටස් ජීවත් වී ඇති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවෙනවා. මේ හැරුණු විට බෙංගාලය ප්‍රධාන කොට ඉන්දියානු උප මහාද්වීපයේ සිට පැමිණි සංක්‍රමණික ජනතාවක් ද මෙහි වූ බව පැහැදිළියි. විජය කුමරු පිළිබඳ ජනප්‍රවාදයෙන් දැක්වෙන්නේ මෙවන් සංක්‍රමණයක සිද්ධියක් විය යුතුයි. අපගේ හැඩරුව හා භාෂාව සම්බන්ධයෙන් බෙංගාලයේ ඇති සමානතා සලකා බලන විට මෙම බෙංගාලි සංක්‍රමණියන් කෙරෙන් වූ බලපෑම පැහැදිළි වෙනවා. 

ක්‍රි. ව. හය වන සියවසට පෙර ලංකාව නමින් රටක් ගැන සඳහනක් අප රටේ වත් නොමැති අතර එකල මෙය හැඳින්වූ නම සිංහලද්වීප බවට සාධක කොතෙකුත් තිබෙනවා.  වෙනකක් තබා විජය කුමරුගේ කථාව බෙංගාලි ජනප්‍රවාදවල එන්නේ "විජාය් සිං (සිංහ පරපුරේ විජය) සිංහලද්වීපය ආක්‍රමණය කළා" යනුවෙන්. 

ඉතින් පෙර කී ස්වදේශික ජනවර්ග තුනත්, සංක්‍රමණික ජනතාවත් මෙහි විසූ අතර ඔවුන් සියල්ල පොදුවේ හැඳින්වුණේ රටේ නමින්. එනම්, සිංහලයන් නමින්.  හරියටම කියතොත්, අද ශ්‍රී ලාංකිකයන් කියන්නාක් මෙන්. (මගේ සිංහලයෝ සහ ශ්‍රී ලාංකිකයෝ ලිපිය බලන්න.)

මෙසේ ජීවත් වූ ජන කණ්ඩායම වෙතට ක්‍රි. පූ. තුන් වන සියවසේදී රාජ්‍ය අනුග්‍රහයෙන් බුදු දහම හඳුන්වා දුන් පසු ඒ ජනතාව සියලු දෙනාම පාහේ එම නව දහමේ ආචාර ධර්ම පද්ධතියට අනුගත වෙනවා. තමන් එතෙක් ඇදහූ ඇදහිලි ක්‍රම ද ඊට අනුවර්තනය කර ඇතුලත් කර ගන්නවා. 

බුදු දහම හඳුන්වා දීමෙන් පසු මේ සමාජයේ පොදු ජනතාව අතර ගොඩ නැගුණේ නිවන් මගට පිළිපන් උපාසකයන් රැසක් යයි අප සිතා ගතහොත් එය බරපතල වැරදීමක්. සසර කෙලවර කිරීම වැදගත් ලෙස සිතූ අය ගිහි ජීවිතයෙන් වෙන් ව ඒ මාර්ගයේ ගියා. එහෙත් පොදු ජනතාව, බෞද්ධ ආචාර ධර්ම පද්ධතියට හැකි තරම් දුරට අනුගත වූ, කරුණාව, කළගුණ සැළකීම, සදාචාර සම්පන්න බව ආදී යහ ගුණ සහිත සමාජයක් බවට පත්වුණා. ඒ හැර පන්සිල් පද පහ අකුරට ම රැකීමේ හෝ, සතුරාටත් මෛත්‍රී කළ යුතු යයි කියා ආක්‍රමණිකයන් හමු වේ හිස පහත් කරන ස්ථාවරයක හෝ ඔවුන් සිටියේ නැහැ. මා මේ පිළිබඳ ව මේ බ්ලොගයෙහි මිනිස්සුනේ අපි මිනිස්සුනේ ලිපියේ වැඩිදුරටත් කරුණු පැහැදිළි කර ඇති. 

එක් ආචාර ධර්ම පද්ධතියකට හා සංස්කෘතියට සියලු දෙනාම අනුගත වීම හේතු කොට ගෙන, තවත් සියවස් හතරක් පහක් ගෙවෙන විට සියලු දෙනාටම සිය මුල් ජනවාර්ගික අනන්‍යතා අමතක වී ගියා. ඉන් පසු පොදුවේ ඔවුන් හැම දෙනාම, ඔවුන් විසින් ම හැඳින්වුණේ ද රටේ නමින් - සිංහලයන් නමින්- පමණයි. 

අපේ ලාංකික බෞද්ධ සමාජය ගොඩ නැගුණේ මේ අන්දමින්. එකල තිබුණේ ලංකාව නොව සිංහලය කියා රටක් බැවින්, එය සිංහල බෞද්ධ සමාජය නම් වුණා. 

මේ අතරේ ලෝකය පුරා තවත් රැල්ලක් පැතිර ගියා. ඒ රැල්ල භක්තිවාදී රැල්ලයි. ඒ ක්‍රි.ව. පළමු වන සියවස. 

භක්ති වාදී රැල්ල හමුවේ ජනප්‍රියතාව අඩුවී ගිලිහී යාම වලක්වා ගැනීම පිණිස, භක්තියට මුල් තැනක් නොදුන් සමයයන්ට ද භක්තිවාදී බාහිර ආවරණයක් දමා ගැනීමට සිදු වුණා. බුදු සමයට ද එම පියවර ගැනීමට සිදු වූ අතර, එතෙක් සිදු නොකළ දෙයක් වූ බුදු පිළිම නිර්මාණය කිරීම දඹදිව්හි ඇරඹුණේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. ඇදහිලි පුද පූජා සහිත භක්තිවාදී ආවරණයක් පිටින් දමා ගැනීම නිසා. බෞද්ධ දර්ශනයත් ඇතුළු බුදු සමය අතුරුදන් නොවී තව බොහෝ කලක් රැකගත හැකි වූවා. 

මේ තත්ත්වය යටතේ අපේ රටේ වූ බෞද්ධ සංස්කෘතියටත්, පෙරදී තිබුණාට වඩා ඇදහිලි හා පුද පූජා ක්‍රම කිසියම් ප්‍රමාණයක් ඇතුළු වූවා. 

මේ අන්දමින් වර්ධනය වෙමින් පරිණාමය වෙමින් මේ රටේ බෞද්ධ සංස්කෘතිය සියවස් ගණනක් පැවත ආවා. විවිධ ආක්‍රමණයන්, මහා විනාශයන් හා සංහාරයන් වලට මුහුණ දීමෙන් අනතුරු ව පවා එහි මූලික පදනම මුළුමනින් විනාශ වූයේ නැහැ. 

ඈත අතීතයේ සිටම මෙම දිවයිනේ සුවිශේෂි පිහිටීම නිසා ඇති වූ වෙළඳ ක්‍රමෝපායික වටිනාකම නිසා විවිධ විදේශීය ජාතීන් මෙම දිවයින අත්පත් කර ගැනීමට උත්සාහ කළා. මෙහි වැසියන් දිවි පරදුවට තබා යුද වැදී ඒවා වැළැක්වූව ද සමහර අවස්ථාවලදී ආක්‍රමණිකයන් ජය ගත්තා. 

අද වන විට වාණිජමය වශයෙන් පමණක් නොව, අන්තර්ජාතික යුද්ධෝපක්‍රමික වශයෙන් ද මේ දිවයිනේ යම් යම් ස්ථානවල පිහිටීමේ සුවිශේෂීතා, ලෝක ආධිපත්‍ය සොයන බලවත් ජාතීන් විසින් හඳුනාගෙන ඇති අන්දම, විමසිලිමත් ව බැලුවොත් ඔබට සොයා දැන ගත හැකි වේවි. මේ යථාර්ථය වටහා ගැනීමට නම් අප බොහෝ දෙනෙකු දැනට හිඳින කෝෂවලින් එළියට පැමිණ වඩාත් විචාරශීලී ව හා නිරීක්ෂණාත්මක ව ලෝකය දෙස බැලිය යුතුයි. 

තම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙවැනි බලවතුනට යම් කිසි ස්ථානයක් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාව ඇති වුවහොත් ඔවුන් ඒ සඳහා, සිතා ගැනීමට පවා අසීරු විවිධ කූඨෝපක්‍රමයන් යොදනවා. 

ඔබට එය වටහා ගැනීම අසීරු නම් - උදාහරණයක් ලෙස- ආතර් සී. ක්ලාක් ලියූ, එස්. එම්. බන්දුසීල ශූරීන් පරිවර්තනය කළ "පාරාදීසයේ උල්පත්" නම් වූ විද්‍යා ප්‍රබන්ධය කියවන්න. අභ්‍යවකාශ සෝපානය නමැති ඉදිකිරීම සඳහා ලෝකයේ සුදුසු ම ස්ථානය ශ්‍රී පාද කඳු මුදුන ලෙස වටහා ගන්නා එක්තරා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක්, ඉතාමත් උපක්‍රමශීලී ලෙස බෞද්ධයන් වෙතින් එම ස්ථානය තමන් වෙත ඩැහැ ගන්නවා. ඉන් අනතුරු ව සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ ඊනියා අභ්‍යවකාශ අටල්ල එහි ඉදි කරනවා. 

එය, අදාල මිනිසුන් කටයුතු කරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ඇති ආතර් සී. ක්ලාක් විසින් කරන ලද ප්‍රබන්ධයක් පමණයි. සැබෑ ලෝකයේ ඔවුනට ශ්‍රීපාද කඳු මුදුනට වඩා වැදගත් වන වෙනත් බොහෝ ස්ථාන මෙහි ඇති බව කියැවෙනවා. 

මේ භූමිය ඔවුන්ගේ කෙළි මඬලක් කර ගැනීමට ඉතිරි ව ඇති මහත් බාධාවක් වන්නේ, මා මුලින් කී, ඈත අතීතයේ සිට පැමිණ තවමත් කිසියම් ප්‍රමාණයකට නොනැසී පවතින සිංහල බෞද්ධ පදනමයි. ඒ වටා වූ, ජාතියක් ලෙස එක් රැස්වන ස්වභාවයයි. එහි සාරධර්ම පද්ධතියේ අවශේෂයනුයි. 

ඒ නිසා ඔවුන් පළමු පියවර ලෙස ආරම්භ කරන්නේ එම පදනම විනාශ කිරීමයි. ඒ සඳහා පිටතින් මෙන් ම ඇතුලතින් ද විවිධ පෙරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන අන්දම ද වඩාත් විමසිල්ලෙන් හා විචාරශීලී ව බැලුවොත් ඔබට වටහා ගත හැකි වේවි.( වැඩි දුර තොරතුරු මෙම බ්ලොගයේ මා ලියූ මුලට කෙටීම ලිපියේ ඇති. )

1970 දශකය අවසාන වෙද්දී අපේ රටට පැමිණි විවෘත ආර්ථික රටාව සමග බැඳුණු සාරධර්ම පරිහානිය හා ආකල්ප පරිවර්තනය සමග පන්සලටද වාණිජකරණයේ ලක්ෂණ ගලා ආ අන්දම සම්බන්ධයෙන් අප ඇසින් දුටු සාක්ෂි කරුවන් වනවා. ඒ සමගාමී ව මිනිසුන් තුල විවිධ අන්ධ භක්තීන් වර්ධනය වීම කැපී පෙනුණා. විසිවන සියවස නිමා වෙද්දී ගංගොඩවිල සෝම හිමියන්, එම අන්ධකාරයෙන් ජනතාව මුදා කැනීමේ දැවැන්ත කාර්යයක තනිව ම යෙදුණු අයුරු ද අප ඇසින් දුටුවා. එහෙත් උන්වහන්සේගේ හදිසි අභාවයත් සමග ගත වුණු විසි එක් වන සියවසේ දශක එක හමාර ගෙවී ගියේ, වඩාත් සංකීර්ණ ලෙස, බුදු දහම ලෙස වෙස් වලාගෙන විවිධ විච්චූරණ ඇදහිලි හා විකාරරූපී පූජාවන් පෙරටු කොට ගත් ආගමික පූජා රටාවන් විවිධ අන්දමින් කලඑළි බසිමිනුයි. (වැඩිමනත් තොරතුරු සඳහා මෙම බ්ලොගයේ මගේ  විකෘති ලිපිය කියවන්න.) 

මේ සම්බන්ධයෙන් මා දරන පෞද්ගලික අදහස නම්, මෙම නව පුද පූජා විධි ද අපගේ පදනම විනාශ කිරීම පිණිස බාහිර මෙහෙයවීමෙන්, ඇතුලතින් ක්‍රියාත්මක වන පෙරමුණු බවයි. 

එම පෙරමුණු එසේ ක්‍රියාත්මක වන අතර ම, ඒ විපරීත පුද පූජා හා ආකල්ප සහිත උප සංස්කෘතිය, බුදු සමය ලෙස ‍පෙන්වා දෙමින් ලාබාල තරුණ තරුණියන් බුදු දහම කෙරේ කළකිරවීමට ක්‍රියා කරන පෙරමුණු තවත් පසෙකින් දැකිය හැකියි. 

එසේම, අපට බොහෝ සේ ආගන්තුක වූ වටපිටාවන් හි ජීවත් වූ විවිධ දාර්ශනිකයන් සිය අත්දැකීම් හා වින්තන ක්‍රම අනුසාරයෙන් ගොඩ නැගූ ආකෘතීන් තුලට, අප සමාජයේ සිදුවීම් කෘත්‍රිම ලෙස ඔබ්බවා, විනිශ්චයන් ඉදිරිපත් කරන අනුකාරක උගතුන්ද, ඔවුනට හසුව මොළය අවුල් කර ගන්නා තරුණ ප්‍රජාවක් ද බිහිවන අයුරු ද විමසිලිමත් ව බැලුවහොත් ඔබට පෙනේවි. 

තව ද, බෞද්ධ සංස්කෘතියට අයත් පූජනීය වචන, සංකේත ආදිය අවභාවිතා කරමින් හෑල්ලුවට ලක් කරන පෙරමුණු ද දැකිය හැකියි. 

ඔබට මෙහි යථාර්ථය වටහා ගැනීමට අවශ්‍ය වේ නම් කතෝලික හා ඉස්ලාම් සංස්තෘතීන් හෑල්ලුවට ලක් කෙරෙන අවස්ථා තිබේ දැයි සොයා බලන්න. තිබේ නම් ඒ සාපේක්ෂ ව කොපමණ සංඛ්‍යාවක් දැයි සොයා බලන්න. 

සමාජ ජාල හා වෙනත් එවැනි මාර්ග ඔස්සේ සමහර පෙරමුණු ක්‍රියාත්මක මන අතර, ඒවායේ මහා හඬ නගන බොහෝ දෙනෙකු විදේශ රටවල පදිංචි ව සිටින්නන් බව ද දන්නෝ දනිති. 

මේ සියලු උපද්‍රවයන් හඳුනාගෙන ඒවා පිටු දැකීමට අප ක්‍රියා නොකළ හොත් අවසානයේ අප සනුහරය ද රතු ඉන්දියානුවන් මෙන් කෞතුක වස්තුවක් පමණක් බවට පත් වනු ඇති. අපගේ දිවයින බලවතුන්ගේ කෙළි බිමක් වනු ඇති.

5 comments:

  1. මම පාරාදීසයේ උල්පත් කියවලා නැහැ. ආසයි හොයාගෙන කියවන්න

    ReplyDelete
    Replies
    1. මම ප්‍රකාශකයාගෙ නම හොයල පළ කරන්නම්. හැබැයි දැන් පොත ගන්න තියනවද දන්නේ නැහැ. ඒත් ප්‍රධාන පුස්තකාලවල නම් අනිවාර්යයෙන් ම ඇති.

      Delete
  2. ලිපිය ලියලා අවුරුද්දක් ගත වෙද්දි ගොඩක් දේවල් සිද්ධ වුණානෙ. ළඟම සිදුවීම පාස්කු ඉරුදින අන්තවාදී මුස්ලිම් (මුස්ලිම්) ප්‍රහාරය. ඒ සිදුවීමෙන් පස්සෙත් අපහාසයන් ආවා නම් ඒ සිංහල බෞද්ධ කියලා හඳුන්වන පිරිස මුල් කරගෙනම පමණයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි තත්ත්වය. අනතුර අද නිවැරදිව වටහා නොගත්තොත්, තව ටික කලක් වූ ගත වන විට, සිදු වූයේ කුමක්දැයි වටහා ගන්නටවත් බැරි වේවි.

      Delete
  3. කෙසේ හෝ බලන විට මේ කාලය වන විට සිංහලයාගේ ඇස් යම්තාක් දුරකට ඇරී තිබේ.එයට හේතුව සියළු දෙනා ජාතිය ගැන කතා කරමින් පැවති රජය වෙනස් කර නව පාලනයක් පිහිටුවීමයි.මා හට හැගී යන පරිදි අපේ රට මේ වන විට නැවතත් නැගී එමින් පවතී.අප කළ යුතුව ඇත්තේ සැබෑ සිංහලයන් ලෙස අපට හැකි උපරිමයෙන් එයට ජනාධිපතිවරයා ඇතුලු සියලු දෙනාට සහාය වීම නොවේද

    ReplyDelete

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...