Sunday, May 6, 2018

ආපහු යන්න නොවෙයි...

-බන්ධුල සිසිර කුමාර-



මෑතකදි එක්තරා ආයතනයකින් වැඩක් කර ගැනීමට ගිය මගේ මිතුරකු මට මෙහෙම කතාවක් කීවා.

"එයාලා මුලින් ම පුළුවන් තරම් හොයලා බලනවා, වැඩේ නොකරන්න, මොනවද යොදා ගන්න පුළුවන් හේතු කියලා. එහෙම එකක් හොයා ගන්න ම බැරි වුණොත් අන්තිම ට ඔන්න ඔහේ වැඩේ කරලා දානවා."

හිනාවට කරුණක් වගේ පෙනුනත් මේ තියෙන්නේ අප අද මුහුණ දෙන එක්තරා ඛෙදවාචකයක්. ඒ වගේම, යම් යම් දෑ පිළිබඳ ඒකාධිකාරීත්වයක් සහිත ආයතනවල පහළ මට්ටමේ සේවකයන්ගේ ක්‍රියාකලාපයන්, පාරිභෝගිකයා අධෛර්යයට, පීඩාවට පත් කරන සුළුයි කියන චෝදනාවත් බොහො ම සුලභ එකක්.

මේ හැරුණු විට, මහ පාර ට බැසගත් පමණින් අප දකින දේවල් කොතරම් ද? ගිලන් රථයට මාර්ගය ඉඩ නොදෙන රියදුරන් බොහෝ විට මා දැක තිබෙනවා. ඉස්සර කිරීමේදී, නැතහොත් මාර්ගය හරහා දැමීමේදී කිසිදු ආචාර ධර්මයක් නොසළකා කටයුතු කරන්නවුන් ද දැක ගත හැකියි. මට ඉදිරියෙන් වූ වාහනය කහ ඉර අසල දී වේගය අඩු කරද්දී හෝ නවත්වා ගනිද්දී, මා ද සුදුසු පරිදි වේගය අඩු කරනා කල, මට පසු පසින් එන පුද්ගලයකු, පැමිණි වේගයෙන් ම අප සියල්ලන්ට ම ඉස්සර කර කහ ඉර හරහා යන අන්දම, මා නිතර ම පාහේ මග තොට දී අත්දකින දෙයක්. පාරේ එන වාහනයට වේගය අඩු කර නවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොදී උදාරම් ලීලාවෙන් ක්ෂණික ව කහ ඉර හරහා ගමන් කරන පාගාමීන් ද සුලබයි.

එක්තරා විද්වතෙක් වරක් ප්‍රකාශ කර තිබුණා, අප රටේ රිය පදවන්නන් මාර්ග නීති (Road Rules) පමණයි දන්නේ, මාර්ග ශිල්පය (Road Craft) දන්නේ නැහැ කියලා. අද වන විට තත්ත්වය මෙතැනිනුත් පහළට වැටී තිබෙනවා. සමහරුන් මාර්ග නීති දන්නෙත් නැහැ. ඔවුන් දන්නෙ වාහනයේ යාන්ත්‍රික ක්‍රියා කරවීම පමණයි.

සමහර ආයතන හා මහා මාර්ග භාවිතය ගැන විතරක් කථා කළේ උදාහරණයක් ලෙස පමණයි. මේ පිරිහීම මේ වන විට පවුල් ඒකකයේ සිට අපේ සමස්ත සමාජ පද්ධතිය පුරා ම දැක ගත හැකියි.පෙර දී ද මිනිසුන් වැරදි කළා. එහෙත්, ඒ කවුරුන් හෝ දැන ගනීවිදැයි බියෙන් යුතු ව යි. අද වන විට වැරදි කිරීමට ලජ්ජාවක් හෝ බියක් නැති තත්ත්වයක් සමාජය පුරා පැතිරී ඇති බව ඔබට ද හොඳින් පෙනෙනවා ඇති.

මේ හා බැඳුනු තවත් කණගාටුදායක තත්ත්වයක් මේ සමාජය තුල ම දැක ගත හැකියි. ඒ අතීතය ගැන මනා අවබෝධයක් නොමැති නූතන පරපුරේ සමහරුන් මේ තත්ත්වය පිළිබඳ ව කලකිරී, ඒ ගැන වැරදි විග්‍රහයන් කිරීමයි.

මේ ගති සිරිත් අප ට ජානගත වී ඇති ඒවා යයි කියමින් අපට ම, අපේ මුල් වලට ම, ගරහා ගැනීම ඒ අතර බහුල ව දැකගත හැකියි.

පවත්නා පද්ධතියේ වැරදි දැක, මේ සියල්ල කඩා බිඳ දමා අළුතින් නිර්මාණය කළ යුතුය යන මතවාදයේ එල්බ ගත් කණ්ඩායම් ද වන අතර, ඔවුන් ඒ ආස්ථානයේ හිඳිමින්, මේ පද්ධතිය ම මුලිනුපුටා දැමීම සඳහා කටයුතු කරනු දැකගත නොහැකිවා නොවේ. ( මෙය වෙන ම මතවාදයක්. ඒ පිළිබඳ ව වෙනත් දිනයක කතා කරමු.)

දශක කිහිපයක ජීවිත කාලයක් ගෙවා ඇති මා මුලින් කී පරිහානිය දුටුවේ ක්‍රමික පිරිහීමක් හැටියටයි. අපගේ සම්ප්‍රදාය තුල පැවතගෙන එමින් හැත්තෑව දශකය දක්වාත් සුරැකී තිබූ සාරධර්මයන් බොහොමයක්, අසූව දශකය ආරම්භයේදී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් තැන් සිට පිරිහී යන අන්දම ඇසින් දුටු පරපුරටයි මා අයත් වන්නේ. එහෙත් සම්පූර්ණ පිරිහීම සිදු වන්නේ එම යුගය තුල ම නොවන බවත්, ඊට පෙර යුගයක දී ද එයින් කොටසක් පිරිහී ගිය බවත්, ආසන්න අතීතය අධ්‍යයනය කිරීමේදී දැකගත හැකියි.

පෙර ලිපිවලදී ද මා සඳහන් කළ පරිදි ම අපගේ සම්ප්‍රදායික ආචාර ධර්ම පද්ධතිය ගොඩ නැගුණේ බෞද්ධ සදාචාර සංකල්ප අනුවයි. එම රාමුව තුලදී, ආචාර ධර්මයන් ඉක්මවා යන්නකු වේ නම් ඔහුට ශාරීරික දඬුවම් පැමිණුනේ නැත ද බ්‍රහ්ම දණ්ඩයට සමාන විධි ක්‍රම වලින් ඔහු සමාජය තුල කොන් කිරීමටත් හුදකලා කිරීමටත් කටයුතු කෙරුණා. විකල්ප සමාජ ජීවිතයක් නොතිබුණු ඒ යුගයේ මේ තත්ත්වයට පත් වීමට කවුරුත් බිය වූවා.

විසිවන සිය වසේ මුල් දශක කිහිපය දක්වාත් අප රටේ සමහර ප්‍රදේශවල මෙම තත්ත්වය පැවති බවට සාධක තිබෙනවා. එන්. ටී. කරුණාතිලක ශූරීන් ලියූ "දැදුරු ඔයබඩ විත්ති" හි සඳහන් වන තොවිල් පහ තහනම් කිරීම මේ සඳහා උදාහරණයක්.

මේ එයින් උපුටා ගත් කොටසක්.

ගමක් නිදහසේ කටයුතු කරන්නක් ද වූයේ ය. ගැමියෝ සිරිත් විරිත් මාලාවකට අනු ව ජීවත් වූහ. ඒවා ලියන ලද නීති නොවේ. සිරිත් ය. සිරිත් කඩ කරන ලද්දේ කලාතුරකිනි. එසේ ම ඒ වරදක් සේ සළකන ලදී. එබඳු අවස්ථාවක වරද විභාග කිරීමේ ද සිරිතක් විය. ඒ විභාග කරන ලද්දේ පෙර සිට පවත්වාගෙන එන ලද පංච ප්‍රධානීන්ගේ මණ්ඩලය විසිනි. මෙකල ඒ හඳුන්වන ලද්දේ ' තොවිල් පහ' නමින් ය.

තොවිල් පහට අයත් වූවෝ නම් පන්සලේ හාමුදුරුවෝ ය, වෙදානෝ ය, වින්නඹු ආතා ය(වින්නඹුව), හේනෙ මාමා ය, වතුර මංකඩ ය යන පස් දෙනා ය.

යම් ලෙසකින් යම් අයකු කුල දූෂණයක් හෝ සම්මුතියක් කඩ කළේ නම් තොවිල් පහ රැස් වේ. ඒ පිලිබඳ සාකච්ඡා කරති. යම් ලෙසකින් චුදිතයා වැරදිකරුවකු වූයේ නම් ඔහුට හෝ ඇයට තොවිල් පහ තහනම් කළ හැක. එවිට ඔහුට පන්සල ට ඇතුළු විය නොහැක. වෙදානෝ හෝ වින්නඹුව පිහිට නොවේ. හේනමාමා නැත. වතුර මංකඩ (වැව) තහනම් ය.

එකල ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයන් වූ මෙම සේවාවන් නොමැති ව, කිසිවකුට සාමාන්‍ය ජීවිතයක් පවත්වා ගත හැකි වූයේ නැහැ. එම සමාජ ව්‍යුහයෙන් මිදී ජීවත් විය හැකි විකල්ප සමාජ තිබුණේ ද නැහැ.

මේ කියන ප්‍රදේශයේ ම මෙම තත්ත්වය පසුකාලින ව බිඳ වැටෙන අන්දම වෙනත් කෘතියක මා කියවූවා. මට මතක ඇති තරමින් ඒ මහින්ද කුමාර දළුපොතයන්ගේ "දිය හොල්මන" යි. එහි එන එක්තරා චරිතයක් ආත්මාර්ථකාමී අන්දමින් සම්ප්‍රදායන් උල්ලංඝනය කරන අතර ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් කෙරෙනවා. ඔහු අහංකාර අන්දමින් ඒ වරද දිගින් දිගට ම සිදු කරමින් ඒ වන විට ගොඩ නැගෙමින් පැවති වාණිජ පන්තිය හා එක් වෙනවා.

මේ කියවෙන යුගයත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීම වගේ ම තවත් පරිවර්තනයක් සිදු වූ යුගයක්. ඒ ගම වාණිජකරණය වීම සිදු වුණු කාලයයි.

මෙවැනි දෑ මීට පෙර ද සිදු වූ අවස්ථා ද තිබෙනවා. පහතරට යුරෝපීය ජාතීන්ට යටත් වීමේදී ඒ ප්‍රදේශයන්හිත් 1815 න් පසු උඩරට ප්‍රදේශයේත් සාමාජීය ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රවල ඇති වූ ආක්‍රමණශීලී පරිවර්තනයත් සමගත් ඒ දක්වා රැකී තිබුණු සම්ප්‍රදායන් බිඳ වැටුණු අතර බිය සැක නොමැති ව සම්මත සාරධර්මයන් උල්ලංඝනය කිරීමට ඉඩ හසර ලැබුණා.

ඒ නිසා මා නම් වටහාගෙන ඇත්තේ මෙය අපේ ජාන ගත දුර්වල කමක් නොව, විවිධ යුගයන්හිදී වූ සමාජ පරිවර්තනයන් සමග ඇති වූ තත්ත්වයක් ලෙසයි. 

මෙය නිවැරදි කර ගත යුතුයි. එහෙත්, ඒ සඳහා මා විශ්වාස කරන්නේ, අපේ සම්ප්‍රදාය සුරැකී පැවතුණු 1505 ට පෙර වූ යුගයට ආපසු යා යුතු බව නොවෙයි. දැනට අප තුල ඇති ආකල්ප වෙනස් කරන චින්තන විප්ලවයක් සිදුවිය යුතුයි. ඒ සඳහා අපේ පැරණි සම්ප්‍රදායන් තුලින් ගත හැකි දෑ බොහෝ වන බවත් නිසැකයි. ඒ අතර ම වත්මන් ලෝකයෙන් ගත හැකි ආදර්ශයන් ද බොහොමයි.

ඒ නිසා, විදේශගත ව සිටින සහෘදයන් වෙතින් මා ඉල්ලීමක් කරනවා.

ලෝකයේ දියුණු රටවල් බොහොමයක, මා ලිපියේ මුලින් කී දුර්වලතාවයන් දැකිය නොහැකියි.

ඔබ අවබෝධ කරගෙන ඇති අන්දමට, ඔවුන් ඒ තත්ත්වය ගොඩනගාගෙන තිබෙන්නේ කෙසේ ද? (දැඩි දඬුවම් පැනවීම / පෙර පාසල් යුගයේ සිට ආචාර ධර්මවලට අනුව හික්මවීම / ආගමික සංස්ථා හො ආගමික ග්‍රන්ථවලට ඇති බිය ආදි වශයෙන්.....)

මගේ ලිපියට කමෙන්ටුවක් ලෙස ඔබේ අදහස් දක්වන්න.

ශ්‍රී ලංකාවෙහි වෙසෙන සහෘදයන්ගේ අදහස් ද සාදරයෙන් පිළිගන්නවා.

No comments:

Post a Comment

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...