Wednesday, September 27, 2023

 පසුබිම් චිත්‍රය

.


- බන්ධුල සිසිර කුමාර -

අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳහන් කරන්නේ ඒවායේ සුන්දරත්වය, විභූතිමත් බව වැනි දේ. බොහෝ විට එවැනි අදහස් අවසානයේ නවතින්නේ හුදු අතීතකාමයක් තුළ. ඒ හැරුණු විට, ඒවායින් වර්තමානයටඋකහා ගත හැකි දේ ගැන සොයා බලන්නේ අතලොස්සක් දෙනෙක්. එසේ ම, ඒවා පසුපස සැඟවී ඇති විවිධ තාක්ෂණික නිපුණතාවන් ගැන අවධානය යොමු කරන්නේ ඊටත් වඩා අඩු පිරිසක්. බොහෝ විට එක් කුඩා නිර්මාණයක පසුබිමේ පවා ශිල්ප ශාස්ත්‍ර ගණනාවක භාවිතයක් තිබෙනවා.

එසේ ම ඒවා නිර්මාණය සඳහා ශිල්ප ශාස්ත්‍ර පමණක් නොව, ආකල්පමය අංගයේ උපයෝගීතාවක් ද තිබී ඇති බව වඩාත් විචාරශීලීව සොයා බැලීමේදී පැහැදිලි වෙනවා.

(සැබැවින් ම, අද පවා තාක්ෂණික අධ්‍යාපනයේ මූලික අංග තුන ලෙස සැලකෙන්නේ දැනුම, නිපුණතා හා ආකල්පයි.)

නිර්මාණයක පසුබිමේ ඇති විවිධාකාර දැනුම්, නිපුණතා සහ ආකල්පමය අංග හඳුනාගැනීම උනන්දුව දනවන සුළු කටයුත්තක්. ඊට උදාහරණයක් ලෙස, කළු ගලකින් ප්‍රතිමාවක් නෙලීමේ කාර්යයක් ගැන සලකා බලමු.

මේ සඳහා පහත දැක්වෙන විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ දායකත්වය අවශ්‍ය වෙනවා.

1. පාෂාණ පිළිබඳ විශේෂඥ දැනුම

පහසුවෙන් කැටයම් නිර්මාණය කළ හැකි පාෂාණ වර්ග හඳුනාගැනීම සඳහා එය අවශ්‍ය යි.

2. ලෝහ විද්‍යාව (Metallurgy)

වානේ සංයෝග කිරීමේ තාක්ෂණය සහ, ලෝහ සඳහා රත් පිළියම් කිරීමේ තාක්ෂණය (පන්නරය තැබීමට අදාල තාක්ෂණය, Heat treatment) දියුණු ව පවතින පසුබිමක විවිධ ලෝහ වර්ග හා, ගල් වර්ග වැනි දැඩි ද්‍රව්‍ය කැපියහැකි ආවුද නිපදවීම අපහසු කටයුත්තක් නොවෙයි. මෙම තාක්ෂණය දියුණුව පවතින වර්තමානයේ ද එවැනි ආවුද නිර්මාණය කෙරෙනවා.

3. රසායන හා භෞතික විද්‍යාව පිළිබඳ ශික්ෂණයන්

තෝරාගන්නා ලද පාෂාණවල තිබිය හැකි අභ්‍යන්තර ප්‍රත්‍යාබලයන් ඉවත් කිරීමේ ක්‍රමවේද. (යොදා ගන්නා පාෂාණ කැබැල්ලක් තුළ සම්පීඩනයන් හෝ ආතතීන් ඉතිරි ව තිබුණහොත් කටු - මිටි පහරක දී අනවශ්‍ය ස්ථාන වලින් කැඩීයාම් සහ පිපිරීම් ඇති විය හැකියි. වර්තමානයේ ද, වානේ වර්ග, සමහර නිෆෙරස් ලෝහ සහ ඝනකම් වීදුරු වැනි දෑ සඳහා ප්‍රත්‍යාබල සංසිඳුවීමේ ක්‍රම භාවිත කෙරෙනවා.)

4. සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම් ශිල්පයට අදාල දැනුම හා නිපුණතා

ත්‍රිකෝණමිතික අනුපාත, පාදයන් සම ව බෙදා ගැනීම හා කොටස්වලට බෙදා ගැනීම, ලම්බතාවය හඳුනාගැනීම හා පවත්වා ගැනීම ඇතුළු විවිධ කටයුතු. (ප්‍රතිමා නිර්මාණයේ දී, ප්‍රතිමාවෙහි ඒ ඒ අංගයන්හි පිහිටීම සනිටුහන් කර ගැනීමට අදාල වූ ලඹ ගණනාවක් සහිත ලඹ තට්ටුව, දැනට ද කෞතුකාගාරයන්හි දී දැකගත හැකියි.)




5. ප්‍රතිමාවන්ට අදාල සම්මත මිනුම් හා අනුපාත පිළිබඳ දැනුම

ප්‍රතිමාවේ ඒ ඒ අංගයේ පිහිටීම සහ ඒ එක් එක් අංගය අතර දුර ප්‍රමාණ, එක් එක් අංගයේ දිග පළල ආදිය සකසා ගැනීමේදී අවශ්‍ය වන අනුපාතයන් දැක්වෙන පොතපත භාවිතා වී තිබෙනවා. ඒ පොතපත අතුරින් එකක් වූ "බිම්බමාන හෙවත් ශාරිපුත්‍රය" නමැති කෘතිය වර්තමානයේ ද සොයාගැනීමට තිබෙනවා.

අන්තර්ජාලයෙන් ලබාගත් ඡායාරූපයකි. මුල් හිමිකරුට තුති

6. නිර්මාණශීලීත්වය

මෙය ඉංජිනේරු දැනුමට හා හා තාක්ෂණික හැකියාවට යා හැකි දුරින් එපිට පිහිටි දෙයක්. සියලු ශිල්ප ශාස්ත්‍ර, තාක්ෂණික ක්‍රමවේද ආදිය වහල් කොටගෙන සුන්දර නිර්මාණයක් කළ හැකි වන්නේ සමහර පුද්ගලයන් තුළ නිසගයෙන් ම පිහිටා ඇති නිර්මාණශීලී හැකියාවේ උදව්වෙන්.

7. ඇදහිලි සහ විශ්වාස

මේවා අතුරින් සමහරක්, වර්තමාන මිනුම් දඬුවලට අනුව මිත්‍යාවන් සේ සලකා බැහැර කෙරෙනු ඇති. එදා මෙන් ම වර්තමානයේ ද සමාජය සැදී තිබෙන්නේ තියුණු නුවණින් හා දාර්ශනික හැකියාවෙන් යුතු මිනිසුන්ගෙන් ම පමණක් නොවෙයි. බුද්ධියෙන් අඩු මිනිසුන් යහපතෙහි මෙහෙයවීම සඳහා ඇදහිලි, විශ්වාස සහ අනුහස් පිළිබඳ අදහස්වලින් සිදුකෙරී ඇති මෙහෙය සුළුපටු නැහැ. සැබැවින් ම, මෙය ද වෙන ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්.


ප්‍රතිමා නිර්මාණයේදී, ප්‍රතිමාවක ඒ ඒ අංගය විකෘති වන සේ නිර්මාණය කළ හොත් නිර්මාණකරුවන්ගේ පවුලේ ඒ ඒ අයට විපත් පැමිණෙන බවට විශ්වාසයන් පැවතී තිබෙනවා. එවැනි පසුබිමක් තුළ නිර්මාණකරුවන් - වැඩියෙන් කාලය ගත කරමින් හෝ - අඩුපාඩුවකින් තොරව කෘතිය නිමවීමට සැලකිලිමත් වෙනවා. අපේ රටේ දැකගත හැකි ප්‍රතිමා විශාල සංඛ්‍යාව අතුරින් සුළු අඩුපාඩු හෝ සහිත ඒවා අතිශය අල්ප වීමට හේතුව මෙය බව පැහැදිලි යි.

8. සාමාජීය පසුබිම

අපේ රටේ කුල ක්‍රමය ද, වෙන ම ලිපියක් මගින් සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. එහි යම් යම් සාධනීය ලක්ෂණයන් ද තිබී ඇති බව කීවොත් සමහරවිට ඔබ කලබලයට පත්වනු ඇති. (මා මේ දක්වා කියවා ඇති තොරතුරු අනුව කුල භේදය - කුල අතර උස් පහත් බවක් පනවා ගැනීම - පොළොන්නරු යුගයෙන් මෙපිටට සිදුවූ දෙයක් බවයි පෙනෙන්නේ. බොහෝ විට එය  චෝල ආක්‍රමණිකයන් සමග මෙහි පැමිණි හින්දු ආගමික බලපෑම් නිසා ඇතිවූවක් විය හැකියි.)


විවිධ ශිල්පයන් ඒ ඒ විවිධ ශිල්පී කණ්ඩායම් තුළ වර්ධනය වීමත්, ඒ ඇසුරින් විශේෂඥතා ගොඩනැගීමත් එසේ සිදුවිය හැකි සාධනීය දේවල් අතරට වැටෙනවා. එසේ ම, ශිල්පයනට අදාල නව සොයා ගැනීම් හා නව නිර්මාණ බිහිවීමද එවැන්නක්.

මේ හැරුණු විට, ඒ සියල්ල ඇසුරින් විශිෂ්ට කලා කෘතීන් බිහිවීම සඳහා ඒවායේ නිර්මාණකරුවන්ට නිදහස් මානසික වටපිටාවක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. වර්තමානයේ, තතු නොදත් බොහෝ දෙනෙකු කියන අන්දමේ අධික මානසික පීඩාවක් රජවරුන් සහ ප්‍රධානීන් විසින් ඔවුන් මත යොදන ලද්දේ නම්, අප දකින කදිම සුන්දර නිර්මාණ ඔවුන් අතින් බිහිනොවනු වනු ඇති බව නිසැකයි.

මේ සියල්ල අනුව පැහැදිලි වන්නේ, මුලින් කී අන්දමේ නිර්මාණයක් සිදුකිරීම සඳහා, විෂය ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණත්වය මෙන් ම ඊට සාධනීයව සහාය වූ සාමාජීය පරිසරයක් ද, ඒවා නියාමනය කිරීමේ වක්‍ර කාර්යභාරයක් ඉටුකළ ඇදහිලි හා විශ්වාස පද්ධතියක් ද බලපා ඇති බවයි.

කෙසේ වුවද, මේ ලිපියෙන් මා ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කළ ප්‍රධාන කරුණ වූයේ මා ඉහතින් සදහන් නොකළ තවත් තාක්ෂණික නිපුණතාවක්. මෙවැනි විශලේෂණයක් අතරතුර පවා බොහෝ විට අමතක විය හැකි එම අංශය පිළිබඳ ව මා හට ද සිහිපත් වුණේ මෑතක දී සිදුකළ නිරීක්ෂණයක් අතරතුර.

බහුතරයක් දෙනා නොදැන සිටිය ද, පොළොන්නරුවේ නෙළුම් පොකුණු තිබෙන්නේ එකක් පමණක් නොවෙයි. පහත පින්තූරයේ දැක්වෙන්නේ පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශයේ දැකගත හැකි, සංරක්ෂණ කටයුතු නිමවා ඇති තවත් නෙළුම් පොකුණක්.




අප බොහෝ දෙනකු දැක තිබෙන, පොළොන්නරුව පුරාවිද්‍යා භූමිය තුළ පිහිටා ඇති නෙළුම් පොකුණ මෙන් ම මෙය ද කොටස් ගණනාවක් ලෙස තනා, නියමිත පිහිටුම තිර වන පරිදි සකසන ලද කුඩුම්බි හා තව් ආධාරයෙන් වද්දා එකලස් කර තිබෙනවා.

වෙනත් තැනක සවි කිරීම සඳහා කොටස් වශයෙන් සකසන නිර්මාණයක, එකිනෙක වැද්දෙන කොටස් මාරු වීම වැළැක්වීම පිණිස ඒවාට අංක යෙදීම අද පවා සිදු කෙරෙන දෙයක්.

මේ නෙළුම් පොකුණු සියල්ලෙහි ද, ඒ එක් එක් කැබැල්ලෙහි, පුරාණ සිංහල ඉලක්කම් ලෙස හඳුනාගත හැකි සලකුණු සටහන් කර තිබෙනවා.

ඒ අනුව පැහැදිලි වන කරුණක් තමයි, එකල මේවා, කොටස් වශයෙන් කිසියම් වැඩපොළක සාදා මෙම ස්ථානවලට ගෙනවුත් එකලස් කරන්නට ඇති බව.

මෙම නිර්මාණය වෙන වෙන ම කැබලි වශයෙන් වැඩපොළක සැකසෙද්දී, ඒවායේ අදාල දිග, පළල, චාප කොටස්, වෘත්ත ඛණ්ඩ ආදිය නිවැරදිව පිහිටන පරිදි කළුගලෙන් කපා නිමහම් කර නොගත්තේ නම් ඒවා මේ තරම් නිරවද්‍ය හැඩයන් පිහිටන පරිදි වැඩ බිමේදී එකලස් කර ගත නොහැකි බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ.

ඒ සඳහා මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කුමක්ද?

පළමු ව මෙම නිර්මාණයේ සම්පූර්ණ ඉංජිනේරු සැලසුම් චිත්‍ර සටහන, කිසියම් අනුපාතයකට අනුව ඇඳගත යුතු වෙනවා. ඉන්පසු එහි සඳහන් තොරතුරුවලට (Details) අනුකූල වන පරිදි කොටස් කිහිපයක් වශයෙන් එය කළුගල් කුට්ටි වලින් කපා සකසා ගත යුතු වෙනවා. ඉංජිනේරු සැලසුමට අනුව යොදාගත් අංක පිළිවෙළ, ඒ ඒ අනුයාත කොටස්වලට යෙදිය යුතු වන අතර එම අංක පිළිවෙල ද, සම මට්ටම ද (Level) පිහිටන පරිදි වැඩ බිමේදී ඒවා එකලස් කර ගත යුතු වෙනවා.

මේ අනුව අපට පැහැදිලි වන කරුණ තමයි, විශාල ගොඩනැඟිලි, ස්ථූප ආදිය පමණක් නොව, සාපේක්ෂව කුඩා වූ මෙවැනි නිර්මාණයක් පවා, ඉංජිනේරු සැලසුම් චිත්‍රකරණය (Engineering drawing) පිළිබඳ නිපුණතාවය ද නොමැතිව නිර්මාණය කළ නොහැකි බව.

බොහෝ විට අපගේ අවධානයට ලක් නොවුණ ද, අපේ පැරණි ශිල්පීන් අතර, මෙම ලිපියේ මුලදී සඳහන් කෙරුණු තාක්ෂණඥයන් හැරුණු විට ඉංජිනේරු සැලසුම් ශිල්පීන්ද සිටින්නට ඇති බව නිසැකයි. එම ශිල්පය ද අපේ පැරණි දැනුම් පද්ධතිය තුළ වූ තවත් එක් ශිල්ප ඥානයක් බව පැහැදිලියි.

(ගල්විහාර හිඳි පිළිමයේ ඡායාරූපය අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුට තුති)


Sunday, September 3, 2023

 


ගංගා හමු වූ දා....

- බන්ධුල සිසිර කුමාර -


ගංගා...
එන්නකෝ ගංගා...
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා.....

අප කුඩා දරුවන් ව සිටි 70 දශකයේ, මේ ගීතය ගුවන් විදුලියෙන් ඇසෙන විට එක්වරම හැඟී ගියේ ප්‍රේම ගීතයක් ලෙස.

එහෙත් වඩාත් උනන්දුවෙන් ඊට සවන් යොමු කරන විට ප්‍රේම ගීතයක ස්වරූපයෙන් ඒ කියවෙන්නේ, වෙනත් පුවතක් බව කුඩා කල දී ම අපට වැටහුණා.

මීට ටික කලකට පෙර මේ බ්ලොගයට මා ලියූ, මරා දැමූ නගරය  නම් වූ ලිපිය ඔබ බොහෝ දෙනකු කියවා ඇති.  පොළොන්නරුව රාජධානිය බිඳවැටීමට හේතු වූ කාරණා කීපයක් සහ ඉන් අනතුරුව එය තවදුරටත් ජනශූන්‍ය වී වනප්‍රවාහය විසින් ගිල ගැනීමට හේතුපාදක වූ කරුණු, මා එහි කිසියම් දුරකට සාකච්ඡා කළා. එසේම එක් ආක්‍රමණික පිරිසක් විසින් විනාශ කරන ලද ඒ රාජධානියේ අවශේෂ, පසු කලෙක ආ තවත් ආක්‍රමණික පිරිසක් විසින් සොයා පාදා ගත් පුවතත් එහි සඳහන් කෙරුණා. (ගොවිජනපද බිහි වෙමින්, ඒ භූමිය නැවත ජනාවාස වීමේ කතාව ඉදිරියේදී තවත් බ්ලොග් ලිපියක් ලෙස ඔබට කියවීමට ලැබේවි.)

ඉංග්‍රීසි පාලන සමයේ එක් යුගයක තමන්කඩුව දිස්ත්‍රික්කය නමින් හැඳින්වුණු මේ ඉසව්ව, පොළොන්නරුව රාජධානි සමයෙහි ගොඩනැගුණු ඉතා විධිමත් හා සංකීර්ණ වාරිමාර්ග පද්ධතියකින් යුතුව තිබූ බව විශේෂයෙන් කිව යුතු වන්නේ නැහැ.

එසේ වුවද, වනාන්තරයෙන් වැසී තිබුණු පන්සිය වසර තුළ බොහෝ දේ සිදුවී තිබුණා. සමහර වැව් බැමි බිඳී ගොස් තිබුණු අතර සමහර ඇළ බැමි ද එවැනිම ඉරණමකට මුහුණපා තිබුණා. එසේම, විශාල වැව්වල හා ඇළ මාර්ගවල සමහර කොටස් ගොඩවීමට ලක්ව තිබූ අතර ඒවා මත ද වන ගහණය වැවී තිබුණා.

අනුක්‍රමයෙන් ඒවා එළි පෙහෙළි කෙරෙමින් පාදාගනු ලැබුවා. මහා වැව්වල, ඒ වන විට ගොඩ වී නොතිබුණු කොටස්, නැවතත් භාවිතය සඳහා සකස් කෙරුණා. ඇළ මාර්ග ද අලුත්වැඩියා කරනු ලැබුවා.

මේ හා සමගාමී ව ගොවි ජනපද ව්‍යාපාර ඇරඹුණු අතර පැරණි රාජධානිය නැවතත් ජනාවාස වීමට පටන් ගත්තා.

මේ ජනාවාස වර්ධනය වෙද්දී ම, පෙනී ගිය වැදගත් කරුණක් වූවා.

පෙර ද සඳහන් කළ පරිදි, අතීතයේ මේ ප්‍රදේශය මුළුමනින්ම පාහේ ආවරණය වුණු විධිමත් සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් හා, ඒ සඳහා භාවිතයට ගැනුණු ප්‍රමාණවත් ජල මූලාශ්‍ර ව්‍යුහයක් තිබුණා. ගතවූ කාලය තුළ ස්වාභාවික සංසිද්ධි හා, වනාන්තර එලි පෙහෙළි කිරීම් සහ වාරිමාර්ග පද්ධති වෙනස්කිරීම් වැනි විවිධ මානව ක්‍රියාකාරකම්  හේතුකොට ගෙන, අතීතයේ මේ වැව් කරා ගලා ආ තරමේ ජල ප්‍රමාණයක් මේ වන විට සපයා ගත හැකි වූයේ නැහැ. ඉදිරියේදී වර්ධනය වන ජනගහනය හමුවේ වඩාත් පුළුල් ජල සැපයුමක අවශ්‍යතාව පෙනී ගියා.

එසේම, පොළොන්නරුව ප්‍රදේශය වර්තමානයේ පවා වසරේ මාස ගණනාවක් ඉතා දැඩි හිරු රැසින්  පීඩා විඳිනවා. මිනිසා පමණක් නොව ගහකොළ සතා සීපාවා පවා ඒ කාලය තුළ මුහුණ දෙන්නේ ඉතා කටුක තත්ත්වයකට. (ඇත්තෙන්ම අතීතයේදී, මේ ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිදි විධිමත් වාරිමාර්ග පද්ධතියක් ගොඩ ගන්නට ඇත්තේ ද මේ තත්ත්වය පිටු දකිනු පිණිසයි.)

පොළොන්නරුව පසෙකින් ගලාගිය අඹන්ගඟ, මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී පරාක්‍රම සමුද්‍රයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය ව තිබුණා. එහෙත් මේ වන විට අඹන් ගඟ ඔස්සේ ගලා එන සීමිත ජල ප්‍රමාණය, ප්‍රදේශයේ භාවිතය සඳහා සෑහුණේ නැහැ.

වසරේ මාස කිහිපයක් තිස්සේ පොළොන්නරුව ඉඩෝරයෙන් දැවෙද්දී, ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වූ  මහවැලි ගඟ, මහත් දිය කඳක් රැගෙන ඈත සිට අවුත්  පොළොන්නරුවේ පහළ ම ප්‍රදේශය හරහා ගලා යමින් තිබුණා. එහෙත් ප්‍රධාන වැව් සහ ඒවා මත යැපෙමින් තිබූ කුඹුරුයායවල් වූයේ ඊට සෑහෙන පමණ ඉහළින්. ඒ නිසා එහි ජල කඳින්, පොළොන්නරුවේ ජල අවශ්‍යතාවයට කිසිදු පිළිසරණක් ලැබුණේ නැහැ.

ඡායාරූපය අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුට තුති.

අරමුණු කිහිපයක් සහිත බහුකාර්ය යෝජනා ක්‍රමයක් වූ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය බිහිවූයේ මෙවන් පසුබිමක. ඒ 1950 දශකයේ අවසානය හා  1960 දශකයේ ආරම්භය සිදුවෙද්දී යි.

මහවැලි සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස, මහනුවර ආසන්නයේ පොල්ගොල්ලෙහි, මහවැලි ගඟ හරස් කර වේල්ලක් ඉදි කෙරුණු අතර එමගින් පොල්ගොල්ල ජලාශය ඉදි කෙරුණා. එහි සිට උමං මාර්ග හා පෙන්ස්ටොක් නල ඔස්සේ මහා ජල කඳක්, අඩි 200ක් පමණ පහළින් වූ  මාතලේ ද්‍රෝණියට ඇද හැලුණු අතර එහි ජවය උකුවෙල දී මෙගාවොට් 40 ක විදූලිය බවට හැරවුණා.

උකුවෙල විදුලි බලාගාරයෙන් පිටතට නික්මෙන  ජලය සුදු ගඟට යොමු වූ අතර ඉක්බිති  එය අඹන් ගඟට එක්වුණා. අඹන් ගඟ හා නාලන්දා ඔය එක් වන බෝවතැන්නේ දී ජලාශයක් නිර්මාණය කෙරුණු අතර එහි ජලකඳින් කොටසක් අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත යොමු කෙරුණා. අඹන් ගඟ ඔස්සේ ආ ප්‍රධාන ජල කඳින් කොටසක් ඇලහැර අමුණ අසලින් හරවා ඇළහැර ඇළ ඔස්සේ යැවුණා. එය යොමු වූයේ ගිරිතලේ, මින්නේරිය හා කවුඩුල්ල වැව් වෙත.

අඹන්ගඟ ඔස්සේ ආ ජල කඳින් තවත් කොටසක්, පොළොන්නරුවට ආසන්න අංගම්මැඩිල්ලේ පුරාණ අමුණට නුදුරු තැනක ඉදිවුණු නව අමුණක් මගින් පරාක්‍රම සමුද්‍රය වෙත හරවා යවනු ලැබුවා.

අංගම්මැඩිල්ල - නූතන දිය හැරවුම


මෙසේ මධ්‍යම කඳුකරයේදීම, මහවැලි ගඟෙන් හරවා අඹන් ගඟ වෙත යොමු කරවන ලද ජල කඳ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල වපසරියක් වෙත ජලය සපයන මූලාශ්‍රය බවට පත්වුණා. මේ ක්‍රියාවලිය, මේ මට්ටමට අවසන්වූයේ 1976 වර්ෂය පමණ වෙද්දී.

එයින් පසුව ක්‍රියාත්මක වූ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය මගින් තවත් බොහෝ දේ සිදු වූ අතර, ඒවායේ ප්‍රතිඵල ලෙස පොළොන්නරුව ප්‍රදේශය තව දුරටත් විශාල වශයෙන් ජනාවාස වීමත්, සහලින් ස්වයංපෝෂිත වීමේ අරමුණ කරා ක්‍රමයෙන් ලඟා වීමත් සිදු වුණා.

මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇරඹෙද්දී, ඒ හා බැඳුණු සාහිත්‍යයක්ද කිසියම් දුරකට ගොඩනැඟුණා. නවකතා, ගීත ආදිය ඒ අතර කැපී පෙනුණා. මා මෙහි මුලින් සිහිපත් කළ ගීතය නිර්මාණය වූයේ, මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පෙර කී මුල් අදියර ගොඩනැගෙමින් පැවති, 1970 දශකයේ පමණ.

නියඟයෙන් බැට කෑ ඒ යුගයේ කටුක අත්දැකීම් ගැන මෙන් ම, මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඇරඹීමත් සමඟ දැල්වෙන, නව බලාපොරොත්තුවක පහන් සිලු  පිළිබඳවත් ඒ කෙටි පද කිහිපය තුළින් අපූරුවට කියවෙනවා.

ගංගා..
එන්නකෝ ගංගා...
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා.....

දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන..
නියඟින් දා ගිය සිරුර වාරුකර.....
බලා සිටිද්දී මා..
අහක බලාගෙන ගලා ගියා ඔබ...
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ...

පිපිරුණු දෙතොලින් අහස බලාගෙන....
දිය පොද රහිතව අකලට මහලු ව...
හඬා වැටෙද්දී මා...
පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ...
නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ.....

අඩසියවසකට පමණ එපිට නිමැවුණු, මේ ගීතය ගායනා කර ඇත්තේ අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියාණන්. පද රචනය කර ඇත්තේ සුනිල් ආරියරත්නයන්. සංගීතය වික්ටර් රත්නායකයන්ගේ.

පහත සබැඳිය ඔස්සේ ගීතයට සවන් දිය හැකියි.


https://youtu.be/YlyaBoXM74k?si=s4807wETTJkTxjTq

Sunday, May 31, 2020


කරකැවිල්ල


- බන්ධුල සිසිර කුමාර -


මේ ලිපියට නිමිත්ත වුණේ මුහුණු පොතේ පළ වූ ලිපියක්.


එවිට ඔබට ගැටලුවක් පැන නැඟෙන්න පුළුවන්, මුහුණු පොතේ පළ වූ දෙයක් ගැන, එතැනදී අදහස් නොදක්වා ලිපියක් ලියන්නේ ඇයි ද කියා.


ඔබ මේ දිනවල මුහුණු පොත අවධානයෙන් නිරීක්ෂණය කරන අයෙක් නම් දකින්නට ඇතුවා නිසැකයි, සමහර කණ්ඩායම් තමන්ගේ විවිධ මතවාදයන් සමාජගත කිරීමේ අරමුණෙන් පෝස්ටු ඉදිරිපත් කරන ආකාරයත්, එම මතවාද ප්‍රශ්න කරන අයට වටකර පහර දෙන ආකාරයත්.


එවැනි පසුබිමක් තුල, එම අදහස් වල ඇති වැරදි තැන් සමාජයට පෙන්වා දීමේ අවස්ථාවන් කිසිසේත් උදාවන්නේ නැහැ.


එහෙත් වෙනත් මාර්ගයක් හරහා හෝ යමක නිවැරදි තතු සමාජ ගත කළ යුතුයි. එසේ නොවුනහොත් කලක් ගතවෙද්දී සත්‍යය මිත්‍යාව ලෙස ද, මිත්‍යාව සත්‍ය ලෙස ද පිළිගැනී තිබෙනු ඇති.


අදාල ලිපිය පළ කර තිබුණේ මිහින්තලයේ පුරාණ රෝහල පිළිබඳවයි. මෙම රෝහලද ඇතුළු ව, ඉපැරණි රෝහල් කිහිපයක නටබුන්, අනුරාධපුරය පොළොන්නරුව ආදී විවිධ ප්‍රදේශවලින් හමු වී තිබෙනවා. බෙහෙත් ඔරු වැනි ශිලාමය දේවල් හැරුණු විට, විවිධ වෛද්‍ය උපාංග, ශල්‍ය උපකරණ, බෙහෙත් කිරන සියුම් තරාදි ආදී විවිධ දෑ මෙම රෝහල් භූමිවලින් හමුවී තිබෙනවා. ස්ථාපිත, දියුණු වෛද්‍ය ක්‍රමයක් මෙම කාලයන් හි පැවති බවට ඒ පුරාවස්තු සාක්ෂි දරනවා.




මිහින්තලේ රෝහල සම්බන්ධව ලියවුණු, මා මුලදී සඳහන් කළ ලිපියේ කියවුන දෙයක් තමයි, අපේ මේ ඉතිහාසය අප විසින් වළ දමන ලද්දේය, යන්න.


ඇත්තටම, අපේ ඉතිහාසය හා ඉපැරණි දැනුම් පද්ධතිය වළ දැම්මේ අප ද?


අප මුලින්ම විමසා බලමු ශිෂ්ඨාචාරයකට දැනුම් පද්ධතියක් ලැබෙන්නේ කෙසේද කියා.


මිනිසා තමාගේ ජීවිතයේ එදිනෙදා කටයුතුවල යෙදෙන විට, එම කාර්යයන් අතරදී ම ඒවා ආශ්‍රයෙන් අත්පත් කරගන්නා දැනුමක් තිබෙනවා. ඒකට අප කියනවා, ප්‍රත්‍යක්ෂමූලික දැනුම නොහොත් ආනුභවික දැනුම (empirical knowledge) කියලා. ප්‍රාථමික අවධිවල මිනිසා ද මෙසේ ප්‍රත්‍යක්ෂමූලික දැනුම අත්පත් කර ගන්නවා. දිගින් දිගටම ඔහු මෙවැනි කාර්‍යයන් කරන විට, එම දැනුම තව තවත් ඔප මට්ටම වෙනවා.


ඉන්පසු, අදාල කාර්යය නිතිපතා කරන පවුල් හා කණ්ඩායම් තුල, වෙනත් අන්දමකින් කියනවා නම් ගුරුකුල තුල මෙම දැනුම තව තව ඉහළ මට්ටම් කරා දියුණු වී යනවා.


උදාහරණයක් දක්වන්නම්.


යම් පුද්ගලයෙකු, කුඩා දිය පාරක් හරස් කර අමුණක් බැඳ, තමාගේ වගාවට අවශ්‍ය ජලය සපයා ගන්නවා. ඔහු තවදුරටත් එවැනි කටයුතුවල යෙදීමෙන් ලබාගන්නා අත්දැකීම් තුළින් දැනුම තව තව ඔපමට්ටම් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගම් වැවක් තනා ගැනීමට ප්‍රමාණවත් දැනුමක් ගොඩ නැගෙනවා. මේ දැනුම, ගුරුකුලයන් තුල තවදුරටත් වර්ධනය වෙනවා. එහි ප්‍රතිඵලය ලෙස, අපේ රටේ ඇති මහ වැව් හා විශිෂ්ඨ වාරි මාර්ග ඉදි කිරීමට අවශ්‍ය මට්ටම දක්වා, දැනුම හා තාක්ෂණය දියුණුවී තිබෙනවා.


ඕනෑම ශිෂ්ටාචාරයක් තුළ මෙවැනි දැනුම් පද්ධති ගොඩනැඟෙනවා.


එහෙත් අප රටේ තත්ත්වය මීටත් වෙනස්. අප රට බොහෝ කලක් පැවතුණේ පෙරදිග හා අපරදිග යා කරන සමුද්‍ර සේද මාර්ගයේ සැතපුම් දහස් ගණනක දුර ප්‍රමාණයේ පිහිටි එකම නැවතුම්පොළ හා හුවමාරු මධ්‍යස්ථානය ලෙස. මෙම පසුබිම යටතේ අපේ රටේ නිෂ්පාදන අපනයනය කිරීම පමණක් නොව, ප්‍රති නැව්ගත කිරීම්, නැව් වලට හා නාවිකයන්ට අවශ්‍ය සේවා සැපයීම් ආදී විවිධ කටයුතු අප රටේ සිදු වූවා. මෙම වටපිටාව තුල, බොහෝ දේ අප රට හරහා ගලා ගියා. දැනුම, තාක්ෂණය, චාරිත්‍ර වාරිත්‍ර, විවිධ මතිමතාන්තර, සාහිත්‍යය, මිල මුදල් ආදිය ඒ අතරින් කිහිපයක්.

 (මේ නිසා ම, අප රට දූපතක් වුව ද, සමහරුන් පවසන ආකාරයේ ඊනියා දූපත් මානසිකත්වයක් මෙරට බිහි වූයේ ද නැහැ.)


මේ අනුව මෙහි ගොඩනැගී තිබූ දැනුම් පද්ධතිය, ලෝකයේ විවිධ දෙසින් ගලා ආ දැනුම් පද්ධතීන් සමග මිශ්‍රවීමෙන් තවදුරටත් ඔපවත් වන්නට ඇතිවා නිසැකයි. අපගේ විශේෂිත තත්ත්වය නිසා අපට මේවා ලැබෙන්නට ඇත්තේ අසල්වැසි භාරත භූමියෙන් පමණක් ම නොවෙයි.


මා පෙර ලිපියක ද කියා ඇති පරිදි, අපේ රට ජනාවාස වීමේදී මෙහි සිටි ස්වදේශික ජනයා හැරුණුවිට, විටින් විට මෙහි පැමිණ පදිංචි වූ සංක්‍රමණිකයන් ද ඒ සඳහා විශාල දායකත්වයක් දක්වන්නට ඇතිවා නිසැකයි. මේ අනුව මෙරට ජනතාව තුළ මනා ජාන සංකලනයක් සිදුවන්නට ඇති. මෙසේ විවිධ ජාන මිශ්‍ර වීමෙන් වඩාත් ඉහල ගති ලක්ෂණ සහිත පුද්ගලයන් බිහි වීම බොහෝ විට සිදු වන දෙයක්. ඇත්ත වශයෙන්ම අප රටේ ජනතාව එසේ විවිධ වූ ජාන සම්මිශ්‍රණයකින් ගොඩනැගී ඇති බව වරින් වර සිදු කෙරුනු පර්යේෂණවලින් ද හෙළි වී තිබෙනවා.


මෙය දුටුවිට ඔබ අතරින් කිසිවකු කලබල විය හැකියි, එසේ වන්නේ කෙලෙසද? අප බොහොම "සංශුද්ධ" පුද්ගලයන්ය කියා.


අප එසේ මිශ්‍ර වී නොතිබුනා නම්, අප ඊනියා "සංශුද්ධ" ජනතාවක් වූවා නම්, අපගේ පෙනුම කෙසේ වනු ඇතැයි ඔබ සිතනවාද?


එසේ වූවා නම් අප සියලු දෙනා, කළු පැහැ සම ඇති, උඩු රැවුල හා නිකටෙ හි පමණක් රැවුල වැවෙන, කම්මුල්වල රැවුල නොවැවෙන, පපුවෙහි රෝම නොවැවෙන, මඳක් කාන්තා ස්වරූපයක් ගන්නා ලැම පෙදෙසක් තිබෙන පිරිමින් වනු ඇති. අප රටේ හමු වී ඇති ප්‍රාග් ඓතිහාසික මානව අවශේෂ අනුව මේ දක්වා එළඹගෙන ඇති නිගමනය වනුයේ, අදාල මානවයා ශාරීරික පෙනුම වශයෙන් බොහෝ දුරට සමාන වනුයේ වත්මන් වැදි ජනතාව ට බවයි. ( මෙය එම ජන පිරිසට කිසිදු නිගරුවක් නොවේ.) අප බහුතරයකගේ පෙනුම මීට වඩා වෙනස් වීම ම, ඉතිහාසය පුරා සිදු වී ඇති අපේ ජාන සම්මිශ්‍රනය පිළිබඳ මනා සාධකයක්.



ජාන සම්මිශ්‍රණය පසෙක තබා අප නැවතත් අපගේ දැනුම් පද්ධති පිළිබඳ මාතෘකාව ට හැරෙමු. අනුරාධපුර යුගයේ අග භාගය වන විට, අපේ දැනුම් පද්ධතියෙහි වර්ධනය වී තිබුණේ, මෙහි මාතෘකා කොට ගත් වෛද්‍ය අංශය පමණක් නොවෙයි. වාරිමාර්ග, යකඩ හා වානේ ඇතුළු ලෝහ විද්‍යාව, වාස්තු විද්‍යාව, ගල් කැටයම් හා චිත්‍ර කලා, එම අංශයන් අතරින් කිහිපයක් පමණයි. මේ හැරුණු විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන ක්ෂේත්‍රයන් ද තිබෙනවා.


මූල්‍ය කළමනාකරණය, මුදල් රෙගුලාසි, ආයතන පරිපාලනය වැනි කටයුතු අතින් අප සිටින්නට ඇත්තේ කොතැනදැයි බොහෝ දෙනකු දන්නේ නැහැ. වත්මන් ව්‍යවහාරය අනුව බැංකු ලෙස නම් කළ හැකි මූල්‍ය ආයතන එකල තිබී ඇති බව ද නොදන්නා අය බොහොමයි. මිහින්තලයේ දක්නට ලැබෙන  IVවැනි මිහිඳු රජුගේ පුවරු ලිපිවල සඳහන් කරුණු අධ්‍යයනය කළහොත් ඒ පිළිබඳ ව තොරතුරු රැසක් අවබෝධ කරගත හැකි වේවි. (මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ඔබට මගේ උඩ ඉඳලයි වැටුණේ ලිපිය කියවීමෙන් දැනගත හැකියි.)


එසේනම් මේ දැනුම් පද්ධතියට කුමක්ද වුනේ?


සමහරුන් කියන පරිදි අප ම එය වළලා දමලාද?


අපගේ ඉතිහාසය නිරීක්ෂණය කරද්දී, දිගින් දිගට ම දැකගත හැකි දෙයක් වන්නේ, දුර්වල පාලකයන් සිටි කාල සීමාවන්හිදී මෙරට විවිධ විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වී ඇති බවයි. ආක්‍රමණවල අරමුණ වන්නේ හුදෙක්, අපගේ සිංහාසනයේ ආක්‍රමණිකයන්ගෙන් කෙනෙකු වාඩි වී අපේ රට පාලනයේ යෙදීම නොවේ. එය පමණක් සිදු කිරීම සඳහා ඔවුන් ඉමහත් ධනස්කන්ධයක් හා ජීවිත විශාල සංඛ්‍යාවක් බිලි දේ දැයි සිතා බලන්න.


ඒ මගින් ඔවුන් මුදුන්පත් කර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණ වන්නට ඇත්තේ, අප රටේ බදු ආදායමෙන් විශාල කොටසක් ඔවුන්ගේ රටට ගෙන යාම, අපේ රටෙන් උපදින සම්පත් සිය මව් රටට ගෙන යාම, මා පෙරිදී කී පරිදි වැදගත් ජාත්‍යන්තර වෙළඳ සන්ධිස්ථානයක පිහිටීම නිසා අප රටට ගලා ආදායම සියතට ගැනීම, ඔවුන්ගේ සංස්කෘතිය මෙරට තුළ රෝපණය කිරීම ඇතුළු කරුණු සමුදායක්.


අනුරාධපුර රාජධානි සමයේ, අප ලෝකයේ විශිෂ්ඨතම වානේ වර්ගයක් අපනයනය කරමින් සිට තිබෙනවා.


( ලෝකයේ විශිෂ්ටතම කඩු තැනුණු සිරියාවේ දමස්කස් නුවර, ඒ කඩු සෑදීමට භාවිතා කරන ලද්දේ "සෙරන්ඩිබ් වානේ"නම් වූ මෙරටින් රැගෙන ගිය වානේ බවයි කියවෙන්නේ.)


අනුරාධපුර රාජධානිය බිඳ දමා චෝළයින් විසින් පොළොන්නරුවේ රාජධානිය පිහිටුවා ගත් ආක්‍රමණයෙන් පසු, අපගේ මේ වානේ අපනයනය නැවති තිබෙනවා. ඔවුන්ගේ ආක්‍රමණයේ එක් අරමුණක් වන්නට ඇත්තේ ම එම වෙළඳපොල කඩා දැමීමයි. ඒ වන විට දකුණු ඉන්දියාවේද වානේ තාක්ෂණය දියුණුව පැවති අතර ඉන්පසු එම වෙළඳාම ඔවුන් අතට පත්වූ බව පෙනෙනවා.


මෙවැන්නක් සිදු වූ පසු, අදාළ කර්මාන්තයේ සැලකිය යුතු බිඳ වැටීමක් සිදු වන බව වටහා ගත හැකියි. ඊට සාපේක්ෂව ඒ වටා එක් රැස් ව තිබූ විශේෂඥ දැනුම් සම්භාරයේ යම් යම් කොටස් ද, අභාවිතය නිසා, පරපුරු කිහිපයක් තුළ ගිලිහී යාම බලාපොරොත්තු විය හැකි දෙයක්.


මේ කීවේ එක් උදාහරණයක් පමණයි.


කලක් අනුරාධපුරයේ ගොඩනැගී තිබූ විභූතිමත් තත්ත්වය නොමැති වුවද, පොළොන්නරු යුගය තුල පවා, ඒ ඒ ක්ෂේත්‍රයන්හි අප ගොඩනගාගත් දැනුම් සම්භාරයේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වී තිබී ඇති බව අපට වර්තමානයේ දී දැකගත හැකි අවශේෂ වලින් වටහා ගත හැකියි.


අප රටේ දැනුම් පද්ධතියටත්, අනිකුත් බොහෝ දේටත් එල්ල වූ මාරාන්තික ප්‍රහාර වලින් එකක් එල්ල වූයේ පොළොන්නරු රාජධානි සමය පමණක් නොව රජරට ශිෂ්ටාචාරය ම අවසන් කරමින්.


කිහිප දෙනෙකු දන්නා, වර්තමානයෙහි බොහෝ දෙනකු නොදන්නා එය කාලිංග මාඝගේ ආක්‍රමණය. එය සිදු වූයේ 
 අදින් වසර 700 කට පමණ පෙර 


ඔහුගේ පාලනය යටතේ අප රට පූර්ණ වශයෙන් ම වියවුලකට ඇද දමන ලද බවයි පෙනෙන්නට තිබෙන්නේ. එතෙක් මෙරට ස්ථාපිත ව පැවති පාලන තන්ත්‍රය අවුල් කළ බවත්, සමාජ සංවිධානය අවුල් කළ බවත්, දැනුම හා දහම අන්තර්ගත ව පැවැති පොතපත විනාශ කළ බවත් කියවෙනවා. එසේ ම නිස්කාරණ බියවැද්දීම්, හිරිහැර කිරීම් හා කොල්ල කෑමවලින් ජන සමාජය තැති ගැන් වූ බව දැනට සොයා ගැනීමට ඇති ලිඛිත මූලාශ්‍රවල සඳහන් වන අතර පොළොන්නරුවේ සමහර නෂ්ටාවශේෂ පිරික්සීමෙන්ද මේ තොරතුරු කිසියම් දුරකට එය තහවුරු කරගත හැකියි. මෙම ඝාතක ආක්‍රමණිකයා හා සමකළ හැකි මෑතකාලීන චරිතය වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන් යයි මා සිතනවා.


මොහුගේ කාලයේදී ධනවතුන් අල්ලා වධ දී ඔවුන්ගේ ධනය පැහැර ගත් බවත්, ළමා විය ඉක්මවූ සියලු පිරිමින් මරා දැමූ බවත්, කියැවෙන කථා ද තිබෙනවා.


එවැනි සිද්ධියක් සිදු වී නම් එහි ප්‍රතිඵලය කුමක් වේ දැ යි සිතන්න.


පරපුරක දැනුම, තාක්ෂණය ආදී වශයෙන් වූ එක් රැස් කර ගත් දැනුම් පද්ධතිය බොහෝ දුරට පවතින්නේ එම ප්‍රජාවේ පිරිමින් අතයි. ඔවුන් සමූලඝාතනය කිරීමක ප්‍රතිඵලය වනුයේ එතෙක් ගොඩනගාගත් දැනුම් පද්ධතියෙන් අති විශාල කොටසක් ද ඒ හා සමගම අතුරුදන් වී යෑමයි. එසේ ම දැනුමින් ද හීන ව, කාන්තාවන් ඇසුරේ හැදී වැඩුණු ඊළඟ පරපුරක් බිහිවීමයි.


අනුරාධපුර හා පොළොන්නරු යුගවල නශ්ඨාවශේෂයන් හා ඊට පසු යුගවල අවශේෂයන් සසඳා බැලීමේදී පැහැදිලි ව කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. ඒ, පෙර කී රජරට රාජධානි යුගවල මෙන් දැවැන්ත වාරිමාර්ග, සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම්, ගලින් කළ මනහර කැටයම්, සම්භාව්‍ය චිත්‍ර කලා ආදිය, ඉන්පසු යුග වල දක්නට ලැබීම අවම වීමයි. නිවැරදි ව කියතොත් දක්නට නොලැබෙන තරම්. ( යාපහුව හැරුණුකොට.)


කෙසේ වුවත් ඉන් පසුවට ද අප ගොඩනඟා ගත් දැනුම් සම්භාරයේ කොටසක් හෝ ඉතිරිව තිබෙනවා. ඒ ඉතිරි වූ කොටස මහනුවර යුගයේ අවසානය වන තුරු රැඳී පවතිනවා.


එතැන් සිට අපේ දැනුම් පද්ධතිය විනාශ වීම සිදුවන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලපෑම තුලයි. එය කිහිප ආකාරයකින් සිදුවෙනවා.


අධිරාජ්‍යවාදී පාලකයන්ට භෞතිකව තර්ජනයක් විය හැකි අංගම් ශිල්ප කලාව නීතියෙන් තහනම් කිරීම ඉන් එකක්. එසේම, ඔවුන්ගේ වානේ කර්මාන්තයට අප රට තුළ වෙළෙඳපොළ ගොඩනැගීම සඳහා දේශීය වානේ කර්මාන්තය තහනම් කිරීමට ගත් පියවර ද ඇතුළත් වන්නේ ඒ කාණ්ඩයටමයි.


අපගේ දැනුම් සම්භාරය විනාශ කිරීමට බල පෑ අනෙක් කටයුත්ත නම් මෙරට එතෙක් පැවති සමාජ දේශපාලනික හා ආර්ථික ව්‍යුහය කඩා බිඳ දමා ඒ මත ඔවුන්ගේ ක්‍රමය රෝපණය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ශිල්ප ශ්‍රේණි ක්‍රමය අක්‍රිය වූ අතර ගුරුකුල තුල දැනුම වර්ධනය වීම ඇනහිටීම සිදු වූවා.


මහනුවර රාජධානි සමයේ, ඉන්දියානු සමාජ සංස්කෘතික බලපෑම් මත ඇතිව තිබූ කුල පීඩනය ද දිගින් දිගටම පැවතිය යුතුය යන්න නොවේ, මෙයින් අදහස් වනුයේ. පැවති ක්‍රමය ස්වාභාවික පරිණාමයකට ලක් වූවා නම් මීට වඩා සාධනීය ප්‍රතිඵල ඉතිරි වීමට ඉඩ තිබුණා. එහෙත්, පැවති ක්‍රමය කෘත්‍රිම ව කඩා බිඳ දමා වෙනත් ක්‍රමයක් බලහත්කාරයෙන් රෝපණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, පැරණි ක්‍රමයේ තිබූ යහපත් අංගයන් ද, දැනුම ද, අතුරුදන් ව ගොස් තිබෙනවා. අහෝසි විය යුතු දෙයක් වූ කුල භේදයේ නෂ්ටාවශේෂ ඉතිරිව තිබෙනවා.


ඔවුන්ගේ ආධිපත්‍යය නිසා අපේ දැනුම් පද්ධතිය අහිමි වූ තුන්වැනි ආකාරය මානසික ආක්‍රමණයක්.


ඒ, එක ම දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතිය ය යන විශ්වාසය අප ජනතාව තුළ රෝපණය කිරීමයි. මේ හේතු කොටගෙන අපේ සාම්ප්‍රදායික දැනුම නොසලකා හරින හා ඊට ගරහන මානසිකත්වයක් අපේ ජනතාව තුල ම ඇති වුණා.


විසිවන ශතවර්ෂයේ අවසාන භාගයේ සිට මේ දක්වා වූ විශ්ව ගම්මාන මායාවට හසුවූවන් අතීතයේ අප සතුව දැනුම් පද්ධතියක් තිබූ බව වත් දන්නේ නැහැ.


අද වන විට බටහිර දැනුම් පද්ධතිය බොහෝ ඉදිරියට ගොස් ඇති බව ඇත්තයි. ඔවුන් එය අධිපති මතවාදය ලෙස ලෝකය පුරා ව්‍යාප්ත කරගෙන සිටින බව ද ඇත්තයි. එහෙත් අප වටහා ගත යුතු සත්‍යය වන්නේ ලෝකයේ ඇති එක ම දැනුම් පද්ධතිය එය පමණක් ම නොවන බවයි.


මේ සියල්ල සාරාංශ කර විමසා බැලූවොත් ඔබට තීරණය කර ගත හැකි වේවි, අපේ දැනුම අප විසින් වළලා ගෙනද, නැතිනම් ඉහත විස්තර කළ ඓතිහාසික ඛේදවාචකයන් හේතු කොටගෙන වැළලී ගොසින් ද කියා.


මේ වැළලුනු අතීතය ගොඩ ගනිමින් එය අපට පෙන්වා දෙන්නේත්, පෙන්වා දී ඇත්තේත් එතෙක් මෙතෙක් අප රට බිහිවූ ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විසින්.


එහෙත් මේ වන විට අප රටේ සමාජය තුළ අමුතු “ට්‍රෙන්ඩ්” එකක් පැතිරී යන බව නිරීක්ෂණය වෙනවා. ඒ, ඉහත කී ඉතිහාසඥයන්ට හා පුරා විද්‍යාඥයන් ට ගරහමින්, රටට හා ජාතික උරුමයට ආදරය කරන මිනිසුන් මොළ ශෝධනයට ලක් කර වෙනත් මගක යැවීමයි. වෙනත් විදියකින් කියනවා නම් කරකවා හැරීමයි. මේ කරකැවිල්ල ට හසු නොවීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි.


එසේ නොවුණහොත්, අපේ සැබෑ අතීතයත්, අපේ උරුමයත්, උපන් බිමත් කරකවා හැරෙනු ඇති. සිදු වූයේ කුමක්දැයි සිහි එළවා ගන්නා විට සියල්ල අවසන් ව තිබේවි.




 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...