Tuesday, April 15, 2025


වැරදි පාර...



- බන්ධුල සිසිර කුමාර -


මෙය, ශාස්ත්‍රීය පර්යේෂණයක් නොවෙයි. කාලයක් තිස්සේ සමාජය පිළිබඳව විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමෙනුත්, යම් යම් මූලාශ්‍ර පරිශීලනය කිරීමෙනුත් ලද කරුණු ඔස්සේ සිදු කෙරෙන විග්‍රහයක්. ඒ නිසා බොහෝ විට මෙය ආනුභවික (empirical) මට්ටමේ විග්‍රහයක් කිව්වොත් වඩාත් නිවැරදි වෙන්න පුළුවන්. හැබැයි මේ තොරතුරු අනුසාරයෙන් අවශ්‍ය කෙනෙකුට ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරන්නත් බැරිකමක් නැහැ.

මගේ අද කතාවත් ටිකක් දුරට අතීතයට සම්බන්ධයි. හැබැයි පෙර ලිපි වලින් සාකච්ඡා කෙරුණු තරම් ඈත අතීතය නොවේ. සියවසක් හෝ ඊට මඳක් අඩු කාලයක කතාවක්.

කෙනෙකුට හිතෙන්න පුළුවන් අතීතය සම්බන්ධ කර නොගෙන යමක් කියන්නටම බැරිද කියා.

ඇත්තටම එහෙම කියන්න බැහැ. ගැටලුවක් තිබේ නම්, ඒ ගැටලුව විසඳිය යුත්තක් නම්, පළමුව ඊට හේතු සෙවිය යුතු වෙනවා. ඒ සඳහා ගැටලුව ඇති වූ ආකාරය විග්‍රහ කරගත යුතුයි. 

ඒ වගේම, කිසිදු පරපුරක් අවමානයට හෝ හාස්‍යයට ලක් කිරීම මෙම ලිපියෙන් බලාපොරොත්තු නොවන බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ විග්‍රහයේදී කිසිවකුට සිත් පීඩා ඇතිවේ නම් එය චේතනාන්විතව සිදු කරන්නක් නොවෙයි. රෝගයක් හෝ තුවාලයක් සුව කිරීමේ චේතනාවෙන් සිදු කරනු ලබන සැත්කම්, එන්නත් කිරීම් ආදිය ද වේදනාකාරී වූවත් එය හිංසක චේතනාවෙන් සිදු කරන්නක් නොවන බව අප දන්නවා.



හැම දෙයක්ම කිසියම් වූ හේතුවක ප්‍රතිඵලයක් නිසා, පළමුව, ඒ හේතුව සොයා යා යුතුයි. 

මේ කතාව පටන් ගැනෙන්නේ 1920-1930 කාලයෙන්.

ඔය කියන කාලයේ, රටේ නිදහස් අධ්‍යාපනය කියලා දෙයක් තිබුණෙ නැහැ. උසස් අධ්‍යාපනය ලැබීම සඳහා මුදල් මෙන් ම, ඒ මතින් ගොඩනැගුණු ඉහළ සමාජ පෙළැන්තියට අයිති වීමද අවශ්‍ය වුණා. වෙනත් අයුරකින් කියනවා නම්, තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබා දීමේ අවස්ථාව තිබුණේ රටේ ප්‍රභූ පෙළැන්තියේ අයට විතරයි. එම අධ්‍යාපනය අවසන් කළ අය, වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, සිවිල් සේවා යනාදී වූ, ඉහළ යයි සම්මත රැකියාවලට ඇතුළු වුණා. (මේ ප්‍රභූ පෙළැන්තියට, ඉංග්‍රීසීන්ට හිතවත් ව සිටි සම්ප්‍රදායික ප්‍රභූවරුන් ද, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ ස්ථාපිත කෙරුණු නව වෙළඳ ප්‍රභූ පෙළැන්තියේ අය ද, අයත් වුණා.)

රටේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට මේ අවස්ථාව හිමිවුණේ නැහැ. සීමිත මට්ටමක පාසල් අධ්‍යාපනයක් ලද ඔවුන්ට ජීවිකාව බවට පත් කර ගැනීමට සිදුවුණේ,  එතරම් ආකර්ෂණීය නොවූ,  ගොවිතැන හෝ, කය වෙහෙසන වෙනත් රැකියාවන්. 

තමන්ගේ සම වයසේ ප්‍රභූ දරුවන් උසස් අධ්‍යාපනය ලබා සමාජයේ ඉහළ පෙළැන්තියට ම අයත් රැකියාවල නිරත ව  සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත්, තමාට ඒ තත්ත්වය නොලැබීමට හේතුව තමන්ගේ දුප්පත්කම සහ සමාජ පන්තිය බවත්, ඒ අය දැන සිටියා. මෙහි සඳහන් කෙරුණු මේ  පරපුර, 1920 සහ 1930 දශකවල  උපන් අය. (පහසුව තකා මම ඒ අය, A පරපුර ලෙස නම් කරන්නම්.)

A පරපුර වැඩිවිය පත් වී දරු මල්ලන් තනා ගන්නා යුගය වන විට මේ රටේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඔවුන්ගේ දරුමල්ලන් 1950, 1960 සහ 1970,  දශකවල උපන්  අය. (B පරපුර)

තමාට සිහිනයක් පමණක් වූ ඉහළ අධ්‍යාපන අවස්ථා සහ, ඒ මගින් ඉහළ සමාජ පංතිය හා සම්බන්ධ වීමේ අවස්ථාව, නිදහස් අධ්‍යාපන පහසුකම  යටතේ තම දරුවන්ට විවෘතව තිබෙන බව දුටු A පරපුර තම දරුවන් ඒ වෙත යොමු කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරුවා.

මෙහිදී, එක්තරා සුවිශේෂී ක්‍රියාදාමයක් සිදුවුණා.

එසේ ඉගෙනීමට යොමුකළ B පරපුරේ දරුවන් කිසියම් ආකාරයකට විශේෂ හුරුවකට යොමු කිරීමක් වුණා කිව්වොත් නිවැරදියි.  සාමාන්‍යයෙන් ඒ කාලය දක්වා ම, සියලු ගැමියන් කුඩා අවධියේ සිටම හුරු කරගත් ජීවන කුසලතාවන්, සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය ආදී සියලු දෙයින්, B පරපුර ක්‍රමික ව මිදීමට පටන් ගත්තා. (එසේ වීමට බලපාන හේතු ගණනාවක් අපේ රටේ ගොඩනැගුණු අනුකාරක අධ්‍යාපන රටාව තුළ තිබුණා.) ඒ හා සමගාමී ව,  ඔවුන් එතෙක් පා තබා සිටි සමාජ සංස්කෘතික වටපිටාවෙන් විතැන් වීමක් සිදුවුණා.  තම දරුවන් ඉහළ සමාජයට ගිය පසු එම දැනුමේ හෝ උරුමයේ කිසිදු අවශ්‍යතාවක් නොවන බව විශ්වාස කළ වැඩිහිටි (A) පරපුර අතින් සිදු වුණේත්  ඒ ක්‍රියාදාමයට තව තවත් අනුබලදීමක්. ඒසේ ම, මෙහිදී ද ඒ දරුවන් හඹා යවන ලද්දේ ද පෙර කී වෛද්‍ය ඉංජිනේරු නීතිඥ හා සිවිල් සේවා වැනි සුදු කරපටි ගණයට අයත්  රැකියා පසුපසයි. 

මේ ක්‍රියාවලිය මෙසේ සිදුවන අතර ඊට සමාන්තර ව තවත් කටයුත්තක් පසුබිමෙහි සිදුවුණා. ඒ, ඉතිහාසය හා සාහිත්‍ය යන විෂයයන් පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමයි.

ඒ අනුව,  අවාසනාවකට මෙන්, මේ නව දරු පරපුර (B) වැඩුණේ පොදු ගැමි ජීවන කුසලතා, සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය සමාජ සංස්කෘතික පදනම ආදියෙන් විතැන් ව, හා  තමන්ගේ අතීතය ගැන කිසිදු අවබෝධයකින් තොරවයි. එසේම අපේ උරුමයක්ව තිබූ චූල සහ මහා සම්ප්‍රදායේ සාහිත්‍ය පිළිබඳ දැනුම, රසාස්වාදනය ආදී සියලු දෙයින් ද දුරස්ව යි.

B පරපුර වැඩිහිටියන් වූ කල, ඔවුන්ගේ චර්යාවන් තුළ මේ අඩුපාඩුව පැහැදිලිව පෙනුනා. විශේෂයෙන් ඉහළ අධ්‍යාපන අවස්ථා හිමිකර ගැනීමෙන් ඉහළ සමාජයට පා තැබූ බොහොමයක් දෙනා, මුදල් හදල් පමණක් ඇති, අනෙක් සියලු ම අංශ වලින් හිස් වූ ජනකායක් බව මනාව කැපී පෙනුනා. 

මේ පිරිසේ දරු පරපුර (C පරපුර)  පත් වූයේ වඩාත් ඛෙදජනක තත්ත්වයකටයි. ඔවුන් 1990 -2000 යන දශකවල උපන් අය.

මේ දරුවන්ගේ මාපිය පරපුර වූයේ ඉහත කී ජීවන කුසලතාවලින්, සම්ප්‍රදායික දැනුම් පද්ධතියෙන්, උරුමය පිළිබඳ හැඟීමෙන්, ඉතිහාසය පිළිබඳ  දැනුමෙන් සහ රසවින්දන ශක්තියෙන් හීන වූ B පරපුර. (මෙම තත්ත්වයෙන් අඩු වැඩි වශයෙන් මිදී සිටියේ එම පරපුරේ සීමිත පිරිසක් පමණයි.)

පරපුරක් සතු විශේෂ හා අනිවාර්ය වගකීමක් වන්නේ තමන් එතෙක් රැගෙන ආ ජීවන කුසලතා, සංස්කෘතික හා උරුම සම්පත්, සම්ප්‍රදායගත දැනුම ආදිය ඊළඟ පරපුරට ප්‍රදානය කිරීමයි.  එහෙත් පෙර පරපුරින් මේ කිසිවක් ලබා නොගත් ඒ අය, තම දරු පරපුරට කුමක් නම් ලබා දෙන්නද? ඒ අනුව, එම වැදගත් වගකීම B පරපුර අතින් මගහැරී ගියා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ නූතන (C) පරපුරේ අති බහුතරයක් තුළ, ගැටළු විග්‍රහ කර ගැනීමේ හැකියාව සහ ඒවාට නිසි පිළියම් යෙදීමේ හැකියාව අවම බව කැපී පෙනෙනවා. ඒ ඒ ගැටළුවලට හේතු වූ මූලයන් නොදන්නා ඔවුන්, අඳුරේ අතපත ගා නිගමනවලට එළැඹෙනු බොහෝ විට දැකිය හැකියි. සමහර වැදගත් හා තීරණාත්මක කාරණාවලදී ඔවුන් අතිශය හාස්‍යජනක නිගමන වලට පවා එළඹෙන අන්දම, සමාජය දෙස විමසිල්ලෙන් බලද්දී පෙනී යනවා. ඇත්තෙන්ම, ඔවුන් මුල් සිඳුණු පරපුරක ඊළඟ පරපුර.

ගැටලු නිවැරදිව විග්‍රහ කර නොගනිමින් යන ගමනක් අතිශය භයානක එකක් විය හැකියි. 

අනෙක් අතින්, පූර්ණ වශයෙන් මුල් සිඳුණු පරපුරක්, උපක්‍රමශීලී බලවේගයනට සිය අරමුණු උදෙසා ඉතා  පහසුවෙන් මෙහෙයවා ගත හැකියි.

අවසාන වශයෙන් මා නැවතත් සඳහන් කරන්නේ, මේ තෙවන (C) පරපුරේ බහුතරයක්, පත් ව සිටින තත්ත්වයට වගකිවයුත්තේ ඔවුන් ම නොවන බවයි. පෙරද කී පරිදි, තමන්ගේ ඊළඟ පරපුර ඥානනය කිරීම සැම පරපුරකම අනිවාර්ය යුතුකමක් සහ වගකීමක්. එහෙත් මෙහි සඳහන් මැද (B) පරපුරට එය කරගත නොහැකි වී තිබෙනවා. ඊට හේතුව ද මේ කිසිදු  පරපුරක  දොසක් නොවෙයි.  එය ඒ  යුගයන්හි අප රටට මුහුණ දීමට සිදු වූ ඓතිහාසික සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක්.


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


මෙය දින වකවානු, සංඛ්‍යාලේඛන, සබැඳි විස්තර ඇතුළු සියල්ල එක් කරමින් ලියූවේ නම් ලිපිය මේ වගේ, හත් අට ගුණයක් දිග වේවි.  ඒ වගේම කියවන්නට නොසිතෙන, සංඛ්‍යාලේඛන වලින් පිරුණු එකක් වේවි. මෙහි  තිබෙන්නේ එවැනි දීර්ඝ සවිස්තරාත්මක ලිපියක සැකිල්ලක් නැතහොත් සාරාංශයක් කියතොත්, වඩාත් නිවැරදියි.



Monday, January 13, 2025

 

පඩිපෙළ පාමුල...


- බන්ධුල සිසිර කුමාර-


මෙවැනි සිදුවීමක් පිළිබඳ ව ඔබට මනෝ රූපයක් මවා ගත හැකිද?

අපේ ආර්ථික හා පරිපාලන මර්මස්ථාන සියල්ල කේන්ද්‍රගතව ඇති කොළඹ - ජයවර්ධනපුර ප්‍රදේශය, න්‍යෂ්ටික ප්‍රහාරයක් හෝ ඊට සමාන මහා ව්‍යසනයකට ලක් වෙනවා. එය නැවත වරක් යථා තත්ත්වයට පත්කර ගත හැකි පසුබිමක් ඉතිරි වන්නේ නැහැ.

ඉන්පසු විකල්පයක් ලෙස බස්නාහිර පළාතේ ම අන්තයක ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය වැනි කුඩා නගරයක අපේ පරිපාලන කේන්ද්‍රය ස්ථානගත කරගනු ලබනවා. එහෙත් ඒ පෙර පැවැති ආකර්ෂණීය හා දැවැන්ත පරිමාණයෙන් නොවෙයි. අත්‍යවශ්‍ය සාධක පමණක් සලකා ඉදිකර ගන්නා ලද කුඩා නගරයක්. මෙවැනි කුඩා වපසරියක් තුළ ස්ථාපිතව හිඳිමින් ම, එතෙක් පවත්වාගෙන ආ සාමාජීය ආර්ථික වැඩපිළිවෙළ. කිසියම් ප්‍රමාණයකට, අඛණ්ඩ ව පවත්වාගෙන යමින් සිටිනවා.

මෙසේ කලක් ගෙවෙද්දී, යළිත් වරක් වඩාත් දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. එය මොනතරම් බරපතළ හා විනාශකාරී එකක් ද කිවහොත්, එහි ප්‍රතිඵලය වන්නේ ඒ පිහිටුවාගෙන තිබුණු කුඩා අගනුවරද ඇතුළු ව මුළු බස්නාහිර පළාත ම අතහැර දැමීමට සිදුවීමයි. (රටේ ඉතිරි ප්‍රදේශ තුළ, මහා නගරයන් බිහිවී නැතැයි ද මොහොතකට උපකල්පනය කරමු.)



දිවි ගලවා ගත් සුළු පිරිස ඉන් පිටත් ව රට තුළට සංක්‍රමණය වී, දොඩංගස්ලන්ද හෝ ගල්ගමුව වැනි ඈත දුරබැහැර ගම් ප්‍රදේශයකට පැමිණ එහි දුක සේ ඉදිකර ගන්නා ලද කුඩා පරිපාලන මධ්‍යස්ථානයක් මගින්, මහත් අසීරු පසුබිමක් තුළ රටේ පරිපාලනය මෙහෙයවනු ලබනවා. දැවැන්ත වාණිජ ව්‍යාපාර ඇතුළු, එතෙක් පැවති ආර්ථික ව්‍යුහය නැවත ගොඩනඟා ගන්න ලැබෙන්නේ නෑ. භූමියේ ඉඩකඩ පමණක්, සම්පතක් ලෙස තිබෙන හෙයින්, කෘෂිකාර්මික සහ වැවිලි ආර්ථිකයක් පමණක් ආරම්භ කර පවත්වාගෙන යා හැකි වෙනවා. ඒත් බෙහෙවින් ප්‍රාථමික ආකාරයෙන්. එය, අප එතෙක් සිටි තැන සිට කෙබඳු වූ ප්‍රපාතයකට ඇද වැටීමක්දැයි සිතාගත හැකිද?


නපුරු සිහිනයක් වැනි වූ මේ සිදුවීම, මහපොළොවේ යථාර්ථයක් බවට පත් වුවහොත් අපේ ඉරණම කෙබඳු වේද?

සැබවින් ම, මෙවැන්නක්, මීට පෙර අවදියක, මේ රට තුළ සිදුව ඇති බව ඔබට විශ්වාස කළ හැකිද?



*************************************************************************

හැම දවසක් ම ඊට පෙර දිනයේ ප්‍රතිඵලයක් ද, පසු දිනය සඳහා හේතුවක් ද වෙනවා.

සති, මාස, අවුරුදු, දශක, සියවස්, සහස් වස් ගණන් ඔස්සේ අඛණ්ඩව මෙම හේතුඵල සම්බන්ධතාව එකිනෙක බැඳී පවතිනවා.

එනිසා අප අද අත්විඳින කිසියම් සමාජ ආර්ථික දේශපාලනික අර්බුදයක් වේ නම්, ඒවායේ හේතු මේ මුළු කාල පරාසය පුරාවට ම තිබිය හැකි යි. විචාරශීලීව විමසා බලද්දී ඒ බව පැහැදිලිව පෙනෙන සංසිද්ධි අපමණයි.

මෙරට පුරාණ අගනුවරක් වශයෙන් අපට දකින්නට තිබෙන අති දැවැන්ත ම ගොඩනැගිලි සහ වෙනත් විශේෂිත ඉදිකිරීම් හා කලාත්මක නිර්මාණ සම්භාරය හමුවන්නේ අනුරාධපුරයේ බව අවිවාදිතයි.




එසේ ම, විවිධ සෙල්ලිපි තුළින් පැහැදිලිව හමුවන, වඩාත් විධිමත් පැරණි පරිපාලන විධි ක්‍රම, මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද ආදිය හමුවන්නේ ද අනුරාධපුර රාජධානි අවදියට සම්බන්ධවයි. (මේ බ්ලොගයේ, කරකැවිල්ල සහ උඩ ඉඳලයි වැටුණෙ ලිපිවල මේ පිළිබඳ වැඩිමනත් තොරතුරු කියවිය හැකියි.)

එසේ වූ අනුරාධපුර රාජධානි සමයට, විවිධ අභියෝග එල්ල වුවත්, එය සහස්‍ර වර්ෂයකටත් වඩා වැඩි කාලයක් අඛණ්ඩව පවතිනවා.

ඒ විශිෂ්ට යුගය, නැවත නොනැගිටින්නට ඇද වැටෙන්නේ 1017 රාජ රාජ චෝළ ආක්‍රමණය සමඟයි.

අනුරාධපුරය අතහැර දමා පරිපාලන කේන්ද්‍රය පොළොන්නරුවට ගෙන එන ආක්‍රමණිකයන්, තමන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත් අපේ රට, "මුම්මුඩි චෝළ මණ්ඩල" යනුවෙන් නම් කරනවා.

මේ ඓතිහාසික සිද්ධිය ද ඇතුළත් සිනමා පටයක් මෑතක දී ඉන්දියාවේ නිපදවුනා. එහි නම "පොන්නියින් සෙල්වන්"


මට මතක විදියට, ඒ සිනමා පටයේ කියවෙනවා ඒ ආක්‍රමණයෙන් සිංහලයන් අවසන් බව!

ඒ කතාවේ ඇත්තක් නැතුවාමත් නොවෙයි. අනුරාධපුර යුගයේ සිටි විශිෂ්ට තත්ත්වය එයින් පසු අපට කිසිදා ගොඩනඟා ගැනීමට ලැබෙන්නේ නැහැ. ඉන්පසු කිසියම් මට්ටමක හෝ ප්‍රබල රජකු බවට පත්වන්නේ මහා පරාක්‍රමබාහු රජුයි. එසේ ම එවැනි අවසන් පාලකයාද ඔහුයි.

අප කෙබඳු තැනක සිට, කුමන ආකාරයේ තැනකට ඇද වැටුණේද යන්න, පුරාණ අනුරාධපුරය හා පොළොන්නරුව යන නගර දෙකෙහි නෂ්ටාවශේෂවල, ව්‍යාප්තිය හා පරිමාණය සසඳා බැලීමෙන් වුවද වටහා ගැනීමට පුළුවන්.

එසේ ම, පොළොන්නරුවේ අද දැකිය හැකි අවශේෂයන්ගෙන් වැඩිමනත් කොටසත්, අප පෙර සිටි විභූතිමත් තත්ත්වයට සමීප කරවූ පළමුවැනි පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද දේ යි.

(ඉහත කී, දැවැන්ත චෝළ ආක්‍රමණය පිටු දැකි පළමුවැනි විජයබාහු නිරිඳුන්ගේත්, ඔහු නිර්මාණය කිරීමේ, දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළ සිත් නරු බිම් බුදල්නාවන්ගේත් යුග මෙහෙවර මේ සටහනෙන් අවතක්සේරු වන්නේ නෑ. ඒ ගැන මෙම බ්ලොගයේ ඉතිහාසය වෙනස් කළ මිනිස්සු - 1 ලිපියෙහි සාකච්ඡා කෙරෙනවා.)

එසේ ගොඩනගා ගන්නා ලද, පොළොන්නරුව රාජධානියත්, එතෙක් අඛණ්ඩව පවත්වාගෙන ආ අපේ සමාජ ආර්ථික ක්‍රමවේදයත්, ඊට අදාළ වූ සියලු වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම්, කෘෂිකාර්මික සංකීර්ණ, කර්මාන්ත පද්ධති යනාදී වූ මේ සියල්ලත් ඇතුළු පිහිටි රට (වත්මන් උතුරු හා උතුරු මැද පළාත්) 13 වන සියවසේ අවසානයේදී අතහැර දැමීමට සිදුවෙනවා. ඊට බල පෑ අවසාන තීරණාත්මක සාධකය වන්නේ කාලීංග මාඝ ආක්‍රමණය මගින් සිදු කෙරුණු විනාශයයි. (මේ බ්ලොගයේ, මරා දැමූ නගරය ලිපියෙහි මේ පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් ව ඇති.)

අනුරාධපුරය ඇදවැටීම අපේ අවනතියේ පළමුවැනි පියවර ලෙසත්, රජරට මුළුමනින් අතහැරීමට සිදුවීම එහි දෙවැනි හා තීරණාත්මක පියවර ලෙසත් සලකන්න පුළුවන්.

ඇත්තෙන්ම, රජරට අත්හැරීමට සිදුවීම යනු අපගේ සංහතිය ලද අති දැවැන්ත පරාජයයි. අපගේ ශිෂ්ටාචාරය, එහි පරිපාලන විධි ක්‍රම, ආදි සියල්ල ගොඩ නැගී තිබුණේ ඒ බිම, ඒ පරිසරය, ඒ කෘෂි හා වරිමාර්ග පද්ධතිය කේන්ද්‍ර කරගෙනයි.

මම මෙයට, වර්තමානයෙන් උදාහරණයක් සපයන්නම්.

අද අපේ ආර්ථික හා පරිපාලන මර්මස්ථාන සියල්ල කේන්ද්‍රගත ව ඇති කොළඹ - ජයවර්ධනපුර ප්‍රදේශය, නැවත ප්‍රතිනිර්මාණය කර ගත නොහැකි මට්ටමේ මහා ව්‍යසනයකට ලක් ව, ඒ පළාතේ අන්තයක ඇති මිනුවන්ගොඩ, දිවුලපිටිය වැනි කුඩා නගරයක අපේ පරිපාලන කේන්ද්‍රය නිර්මාණය කර ගැනීමට සිදුවුවහොත්...?


අනුරාධපුරය අතහැර පොළොන්නරුව පරිපාලන මධ්‍යස්ථානය ලෙසට පවත්වා ගැනීමට සිදුවීම මා දකින්නේ එවැනි දෙයක් හැටියටයි.

ඉන්පසු වඩාත් දරුණු ව්‍යසනයකින් මුළු බස්නාහිර පළාත ම අතහැරීමට සිදුවී, ගල්ගමුව හෝ දොඩංගස්ලන්ද වැනි ඈත එපිට දුර බැහැර ගම්මානයකට පසු බැස නුහුරු ආර්ථික රටාවකට හුරුවෙමින් සියල්ල මුල සිට නිර්මාණය කර ගැනීමට සිදුවුවහොත්..?

රජරට හා එහි වූ සියල්ල අතහැර ඈත එපිට නුහුරු පරිසරයක වූ දඹදෙණියේ ස්ථාපිතව, ඒ අමුතු වටපිටාවට හා එහි ඇති දේට ගැලපෙන පරිදි, ආර්ථික සාමාජීය හා පරිපාලනමය සියල්ල අලුතින් ගොඩනඟා ගැනීමට සිදුවීම මා දකින්නේ එවැනි දෙයක් හැටියටයි.

එතැන් සිට සමස්තයක් ලෙස ම දැකිය හැක්කේ ම අවනතියයි.

උතුරු මැද පළාතෙන් ඈත එපිට, වෙනත් දේශගුණික සහ කාලගුණික තත්ත්වයන් හා වෙනස් භූ විෂමතා සහිත ප්‍රදේශයක් වූ දඹදෙණියට පැමිණ, සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකට නැවත හැඩ ගැසෙමින්, අවශ්‍ය යටිතල පහසුකම් මුල සිට ගොඩනඟා ගනිමින් අලුත් ම ගමනක් නැවත ඇරඹීමටයි එතැන් සිට සිදුවන්නේ. එවන් පසුබිමක් තුළ, අතීතයේ සිටි විභූතිමත් තත්ත්වයට ආසන්න වීමටවත්, අපගේ ශිෂ්ඨාචාරයට නැවත ඉඩ ලැබෙන්නේ නැහැ. එසේ ම, ඉන් පසු ඇතිවන්නේ, එහි සිට ද කලින් කලට, එක් එක් අගනුවරට නැවත නැවත මාරුවෙමින් ගත කළ අස්ථාවර ගමනක්.



මෙසේ, දඹදෙණියට පසු, යාපහුව, කුරුණෑගල, ගම්පොළ ආදී ප්‍රදේශ අගනුවර බවට පත් කරගනිමින් යන ගමනක අවසානයේ නැවතත් ස්ථාවර සහ තරමක් ප්‍රබල රාජධානියක් ගොඩනැගෙන්නේ ශ්‍රී ජයවර්ධනපුරයේ යි . එහෙත් 1500 න් පසු එය ද ඇද වැටීම පටන් ගැනෙනවා. යුරෝපීය ආක්‍රමණ හමුවේ තවත් කෙටි කලක් ඔරොත්තු දී සිටි අපේ කන්ද උඩ රාජධානිය 1815 දී ඇද වැටෙන්නේ එතෙක් අඛණ්ඩ ව ගලාගෙන ආ අපේ සමාජ සංස්කෘතික ප්‍රවාහය ද අර්බුදයට ලක් කරමින්.

අප වැටී ඇති, අගාධයෙන් යන්තම් හෝ දිවි ගලවා ගැනීමට නම් දුරාතීතයේ සිට අද දක්වා ම වූ සිද්ධීන් අතර අන්තර් සම්බන්ධතාවය වටහාගත යුතුයි.

("අතීතය", "ඉතිහාසය" වැනි වචනවලට පවා ගරහන සමාජ වටපිටාවක් තුළ ඒ වැටහීම සමාජගත වීම නම්, සිහිනයක් පමණක් ම වේවි.)



(සියලු ඡායාරූප අන්තර්ජාලයෙනි. මුල් හිමිකරුවන්ට තුති)



වැරදි පාර... - බන්ධුල සිසිර කුමාර - මෙය, ශාස්ත්‍රීය පර්යේෂණයක් නොවෙයි. කාලයක් තිස්සේ සමාජය පිළිබඳව විමසිල්ලෙන් නිරීක්ෂණය කිරීමෙනුත්, යම් යම...