Saturday, January 6, 2018

අඳුරු මතකය

බන්ධුල සිසිර කුමාර -


එදිනෙදා කටයුතු අතර කාර්ය බහුල ව අවිවේකී මනසකින් සිටින ඔබට,  වර්තමානයෙන් මඳකට මිදී අවුරුදු නවයකට එහා වූ අතීතයට නැවත මනසින් ගමන් කල හැකිනම්, අද දක්නට නොලැබෙන දේ සමූහයක්, අද නොඇසෙන වචන සමූහයක් නැවතත් හමු වනු ඇති.

ගමන් බඩු රාක්ක ගලවා ඉවත් කළ, නැතහොත් කම්බි දැල් ගසා ඒවා වසා දමා ඇති බස් රථ, පාසල් ගේට්ටු මුර කරන දෙමාපියන්, කොළඹ නගරයේ කොතැනක හෝ මහා පිපිරීමකින් ජීවිත හා දේපළ අහිමි විම්, ප්‍රාදේශීය නගර වලද සිදු වන පිපිරීම්, පිපිරීමකට බිලි ව මව හා පියා එකවර ම දරුවන් ට අහිමි විම වැලැක්වීමේ අරමුණින් මව හා පියා බස් රථ දෙකකින් කාර්යාලවලට යාම වැනි දෑ එකල එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය සිද්ධීන් බවට පත් ව තිබුණා. කොහේ හෝ සිදු වූ මහා සමූහ ඝාතනයක් පිළිබඳ තොරතුරුවලින් පුවත්පත් පිරී තිබුණා. බස් රථයක යද්දී හාත්පස ගැන මනා අවධානයෙන් නොයාම, මරණයට අත වැනීමක් වූ .ඒ යුගයේ අද මෙන් හෑන්ඩ්ස්ෆ්‍රී කට්ටලය හා ස්මාර්ට්ෆෝනය සමග හුදකලා විය හැකි වූයේ නැහැ.

එකල අපේ වදන් මාලාවට අලුතින් එකතු වූ වචන රාශියක් ද වූවා. ඒ අතුරින් එකක් වූයේ "මායිම් ගම්මාන" යන්නයි. බෙදුම්වාදීන්ගේ සිහින රාජ්‍යයේ සීමාව අසල වූ ගම්මාන මේ නමින් හැඳින්වුණු අතර ඔවුන් ඒ ගම්වලට කඩා පැන ලොකු කුඩා, බාල මහලු සියලු දෙනා කපා කොටා මරා දැමීම නිරන්තරයෙන් සිදු වුණා.

ජීවිත කාලයේ දශක කිහිපයක් ගෙවා නිම කර ඇති අප මේ මහා ව්‍යසනය ඇරඹී, පැවතී ඉන් පසු නැතිවන තුරුත් අවදියෙන් සිටි, ඒ යුගයේ ජීවමාන සාක්ෂි කරුවන්. ඒ යුගය අත් නොවිඳි අයකු එහි සැබෑ කටුක යථාර්ථය වටහා ගනු ඇතැයි මා සිත්නනේ නැහැ. එහෙත් මේ තත්ත්වය අත්දුටු අය පවා, එවැනි කාල පරිච්ඡේදයක් ඉතිහාසයේ නොවූවා සේ දොඩනු, හැසිරෙනු දකින විට ඇති වන්නේ මහත් පුදුමයක්. අපට සියලු සිදුවීම් වහා අමතක වන්නේ යයි කියමනක් තිබෙනවා. එහි ඇත්ත නැත්ත විමසන්නට මා මෙහිදී උත්සාහ කරන්නේ නැහැ. එහෙත් ඉතිහාසය බොහෝ දේ කියා දෙන ගුරුවරයකු බව අමතක කිරීම නම්, අපගේ යහපත පිණිස හේතු නොවනු ඇති.

එසේ ම, මේ බ්ලොගය තුල මා කිසිදු දේශපාලන පක්ෂයකට ආ වැඩීම හෝ ගැරහීම සිදු නොකරන බවත්, මගේ නිදහස් අදහස් මැ ඉදිරිපත් කරන බවත් වටහා තැනීමට ප්‍රමාණවත් වන බුද්ධි මට්ටමක් පාඨකයා සතු වෙතියි යන පූර්ව නිගමනයේ හිඳිමිනුයි, මා මෙවැනි තොරතුරු ගැන සාකච්ඡා කරනුයේ.

නොනිමෙන මරණ බිය සමග ම ජීවිතය ජීවත් කරවූ, මෙම යුගයේ අත් දැකීම් පසුබිම් කරගත් විවිධ කලා නිර්මාණ රැසක් බිහි වුණා. මේ අතුරින්, ඒ බිහිසුණු යුගය කරා අප මනසින් කැන්දා ගෙන යන ගීතයක් ගැන කියන්නයි මේ ඇරඹුම.

උතුරු හා නැගෙනහිර පලාත්වලට මායිම් වූ ඈත ගම්වල ජනයා දිනපතා මුහුණ දුන් අතිශය කටුක යථාර්ථය ඒ අයුරින් ම වටහා ගනු ඇත්තේ, එහි ජීවත් වූ, එයට මුහුණ දුන් අය පමණයි. ජීවිතයේ අනෙකුත් අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් හා ගැටෙන ඔවුනට ඒ සියල්ලට මුහුණ දිය යුතුව තිබුණේ නොනිමි මරණ බියක් ද සමගයි. විශේෂයෙන් මරණය ආවේ අන්ධකාරයද කැටුව.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඈත කෙළවරක, මව් නැති පවුලක දරුවන්ගේ එකම රැකවරණය වූ පියා, දරුවන් ගෙදර තබා ගොස් ඇත්තේ නොගිහින් ම බැරි ගමනක්. රාත්‍රියත් එළඹිලා. එහෙත් ඔහු තාමත් පැමිණ නැහැ. වඩ වඩාත් රෑබෝ වූ බව ට ලකුණු එකින් එක පහළ වෙනවා. එහෙත් ඔහු තාමත් නැහැ. මේ පසු බිම තුල දරුවන්ගේ හිතට දැනෙන පාළුව, භීතිය ඉතා මැනැවින් චිත්‍රණය කරන ගීතයක් මේ.


මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ
පිරිත් කියා නතර වුණා රජරට සේවේ
අප්පච්වී ඇයි තව නාවේ
මේ මැදියම් යාමේ


සංහිඳ ළඟ දෙවාලේ යාතිකා ගොළුයි
චෙට්ටියාර්ගේ කඩේ රෑ පහන නිවෙයි
නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි
රැ කළුවර පමණයි


වන්නි වනන්තරේ නපුරු යුද ගිනි පුපුරයි
අම්මා නැති ලේන් පැටව් හීනෙන් බය වෙයි
හීන දකින අප්පච්චී කළුවර නපුරුයි 
රෑ කළුවර නපුරුයි


ඉහතින් කී ආකාරයේ තර්ජනයට ලක් වූ ප්‍රදේශවල මගී බස් රථ බොහෝ අවස්ථාවලදී ක්ලේමෝ ප්‍රහාරයකට එසේ නොමැති නම් අතරමඟ නවතා කැති ගා දැමීමට ගොදුරු වූවා. දුර ගමනක් ගොස් ආපසු ගෙදර එනතුරු ජීවිතය ගැන සහතිකයක් නැහැ. එසේ වූ කල, බසය නියමිත වේලාවට නොපැමිණිම දරුවන්ගේ සිතේ ඇති කරනු ඇත්තේ කෙබඳු හැඟීමක් ද?

දේවාලේ යාතිකා හඬ නැවතීම, චෙට්ටියාර්ගේ කඩය වසා දැමීම ආදී, රෑ බෝ වීමේ ලකුණු එකින් එක පහළ වන විට ළමා සිත්වල ඇති වන නොඉවසිල්ල හා භීතිය වටහා ගැනීම අපහසු නැහැ.

මෙවන් අවදානමක් නොවූ අප කුඩා සමයේ පවා පවුලේ කිසිවකු නිවසින් බැහැර ගොස් රෑ බෝ වන තුරුත් ආපසු නො ආ විට නොඉවසිලිමත් ව බලා සිටි අයුරු මට මතක් වෙනවා. එවැනි අවස්ථාවක මැදියම් රැයටද ආසන්න ව, ගුවන් විදුලියේ වැඩ සටහන් නිමා වී පිරිත් දෙසුමකින් අනතුරු ව, දීර්ඝ ඒකාකාරී නාදයක් ඇසෙන විට අඳුරු රාත්‍රියෙහි දැනුණු පාළුව පිළිබඳ හැඟීම අද ද සිහිකළ හැකියි. මේ ගීතයේ ආරම්භයේ දී ම එය ඉතා අපූරු අන්දමින් යොදා ගෙන තිබෙනවා.

නුදුරු වටපිටාවෙහි යුද ගිනි ඇවිලෙන තත්ත්වයක් ඇති, සිහිනයෙන් පවා ඒ භීෂණය දකින, මව ද නැති මේ අහිංසක කුඩා දරුවන්ගේ සිත් සතන් පුරා ඇවිල ගත් බිය කෙතරම් ද? මේ පසුබිම තුල වුව ද සිය දරුවන් ට වඩාත් යහපත් හෙටක් ගොඩ නැගීමේ සිහිනය පියා තුල තිබෙනවා. ඔහුට ඒ වෙනුවෙන් සිය ජීවිත අවදානම නොතකා විවිධ ගමන් බිමන් යාමට සිදු වෙනවා.

දුෂ්කර පළාත් යනු මාරක පළාත් වූ යුගයක අපේ මිනිසුන් අත්විඳී කටුක යථාර්ථය සිහි ගන්වන කලා නිර්මාණ අතුරින් ඉහළ ම මට්ටමේ එකක් ලෙසයි මා මේ ගීතය දකින්නෙ. එවැනි තවත් නිර්මාණ කිහිපයක් ම ඇති අතර ඉදිරියේ දී අපි ඒවා එකින් එක විමසා බලමු.

රජරට ට අනන්‍ය කටහඬක් වූ කරුණාරත්න දිවුල්ගනේ තමයි ගීතය ගායනා කරන්නේ. පද රචනය හා සංගීත නිර්මාණය කාගේදැයි සොයා ගැනීමට මට නොහැකි වුණා. ඔබ එම තොරතුරු දන්නේ නම් එතුමන්ලාට කරන ගෞරවයක් වශයෙන් කමෙන්ටුවක් ලෙස මෙහි දක්වන්න.

මේ සබැඳිය තුලින් ගීතය අසා බලන්න.

4 comments:

  1. ගී පද : සමුද්‍ර වෙත්තසිංහ
    සංගීතය : සුනිල් දයානන්ද කෝණාර
    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
  2. මට මේක කියවද්දිත් ඒ කාලය ඒ විදියටම මැවිලා පෙනුනා. දේශපාලන මතය මොකක් උනත් ඒ යුගය අවසන් කල හැමෝටම අපි කෘතවෙදී විය යුතුයි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන් ම ඔව්. මමත් ඒ අදහස හා එකඟයි.

      Delete

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...