Saturday, April 28, 2018

කෙලෙසුණු කැටයම

-බන්ධුල සිසිර කුමාර-

පසුගිය කාලය තුල මා ඉදිරිපත් කළ ලිපි ගණනාවකින් ම මා උත්සාහ කළේ අප කවුරුන් ද, අපට සිදු වී ඇත්තේ කුමක් ද, පරපුරින් අපට උරුම දේ මොනවාද යනාදී කරුණු ගැන සාකච්ඡා කිරීමටයි. අප යම් ප්‍රපාතයකට ඇද වැටී ඇත් නම් එයින් අත මිදී ඉහළ තත්ත්වයට අපව ම ඔසවා තබන්නටත් ලෝකය තුල අපට හිමි තැන නැවතත් දිනා ගන්නටත් ඒ දැනුම අපට මහෝපකාරී වේවි.

පෙර ලිපියෙන් ද සාකච්ඡා කළ පරිදි ම, අප පිළිබඳ වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ අප සැම දා පහළ පඩියේ සිටි, කොපමණ තැත දැරුවත් ඉහළ ට නැඟ ගැනීමට බැරි වූ ජාතියක් නොවීමයි. මනා ආර්ථික තත්ත්වයක්, ජීවන මට්ටමක්, පරිපාලන ව්‍යුහයක් ගොඩ නංවාගෙන, ජාත්‍යන්තරය හමුවේ අභිමානවත් ජාතියක් ලෙස නැඟී හුන් අප, අපේ ම බල ලෝභී කුමන්ත්‍රණත්, වසර දෙසීයෙන් දෙසීයට එල්ල වූ ආක්‍රමණත් හමුවේ, සියවස් කිහිපයක් ඇතුලත අන්ත අසරණ බෙලහීන ජාතියක් පත් ව තිබෙනවා. එපමණක් නොවෙයි, අප බොහෝ දෙනෙකු අද වන විට ඒ විශිෂ්ඨ යුගයන් ගැන නොදැනුවත් ව සිටීමත්, තවත් සමහරුන් ඒ යුගයන් ට ද්වේෂ කරන, වෛර කරන අන්දමත් දැක ගත හැකියි!!

ඒත් අද මා ඔබ හමුවට ගෙන එන්නේ තවත් එවැනි සිද්ධියක් පිළිබඳ විවරණයක් නොවෙයි.

පසුගිය කාලයේ මා පල කළ ලිපි බොහොමයකින් මා පැහැදිළි කළ යථාර්ථය, එකට කැටි කොට ගත් ගීයක් මගේ මතකයට නැඟුණා. දැනට වසර විසිපහකට තිහකට පමණ එපිට එළි දැක්වුණු "සඳකඩ පහණ" සිනමා පටයේ තේමා ගීතය ලෙසයි මෙය යොදා ගෙන තිබුණේ.

සාරාංශයක් වගේ කෙටියෙන් ලියාගෙන යන්න පුළුවන් වුණත්, සමහර දේවල දී ටිකක් වැල් වටාරම් කියෙව්වා ම ඔබට ත් එයින් ගත හැකි යමක් තිබේවි. අනෙක් අතින් අප බ්ලොග් කියවන්නේ වාර්තා හෝ රාජකාරි ලිපි කියවනවා වගේ මානසිකත්වයකින් නොවෙයි නේ. 

සංස්කෘතිය කියන වචනයේ තේරුම " සංස්කරණය කර ගත් දේ " යන්න නේ. අප නිරන්තරයෙන් ම අපේ නිර්මාණ, අපේ ඇඳුම් පැළඳුම්, අපේ නිෂ්පාදන, අපේ සාහිත්‍ය වැනි දේ නැවත නැවතත් සංස්කරණය කර ගනිමින් ඉන්නවා. (සජීවි සංස්කෘතියක ප්‍රධාන ලක්ෂණයක් තමයි එය. එහෙත් එහිදී අප සැළකිලිමත් විය යුතු යි, සංස්කෘතියේ පහළ මට්ටම්වලට ආපසු නොයාමටත්, පවත්නා සංස්කෘතිය ආගන්තුක සංස්කෘතීන් මගින් ප්‍රතිස්ථාපනය වීමට - තිබූ එක ඉවත් කර අළුත් එකක් රෝපණය කිරීමට- ඉඩ නොදීමටත්.)

පඩි පෙළක දෙපැත්තෙන්, පඩිපෙළෙහි ස්ථායිතාව රැත ගැනීම පිණිස ඉදිකරන බිත්ති දෙක නොහොත් පුවරු දෙක, කලක් ගත වන විට කදිම කැටයම් හා සැරසිලි වැඩවලින් අලංකාර වූවක් බවට සැකසෙන අතර කොරවක්ගල නමින් නම් කෙරෙනවා. කොරවක්ගල පහළට තල්ලු වී ඒම වැලැක්වීමට යොදන කූඤ්ඤ නැතහොත් ආධාරක ගල් දෙකත් කාලයත් සමග විශිෂ්ඨ කැටයම් සහිත, මුරගල නමැති නිර්මාණය බවට සංස්කරණය වෙනවා. පඩි‍පෙළ පා මුල පාපිස්නක් මෙන් වූ, තරමක් පුළුල් ව බිම් මට්ටමේ සැකසුණු පළමු පඩිය, පසු කාලීන ව සඳකඩ පහණ නම්වූ අති විශිෂ්ඨ නිර්මාණය බවට සැකසෙනවා.

මෙසේ විවිධාකාර සැරසිලි කැටයම් ආදිය එකතු වී අලංකාර වස්තුවක් බවට පත් වීමෙන් පසු, කොරවක්ගල්, මුරගල්, සඳකඩ පහණ ආදිය, සිවිල් ඉංජිනේරු තාක්ෂණික නිර්මාණ පමණක් නොව, කලා නිර්මාණ ද වෙනවා.

මා මීට පෙර වෙනත් දෙයක් ගැන කථා කළ ලිපියකදී කීවා සේම, කලා නිර්මාණයකට විවිධ අර්ථකථන දිය හැකියි. සමහර විට එය නිර්මාණකරුවා කිසිසේත් අදහස් නොකළ අරුතක් වන්නටත් පිළිවන්.

දැන් තමයි අප මුලින් කී ගීතය ගැන කථා කරන්නේ.

සඳකඩ පහණේ ඇති රූ රටා පිළිබඳ ව ද විවිධ අර්ථකථන ඉදිරිපත් වී තිබෙනවා. මෙහි කියැවෙන්නේ මෙතෙක් නොවූ නව අර්ථකථනයක්.

ඇරඹුමේ දී කී පරිදි ම මේ ගීතයේ කියන්නේ අපට සිදුව ඇති දෙයයි.

සඳකඩ පහණේ ඇති විවිධ රූ රටා, ලිය කම් ආදිය, අප සතු ව පැවැති ශක්‍යතාවයන් (හැකියාවන්), ශක්තීන්, ගුණාංගයන් ආදියට සම කරන ගීතයේ පද රචකයා, සඳකඩ පහණ ගෙවී කැඩී බිඳී නටබුන් ව ඇති අයුරින් ම අප සනුහරය තුල වූ ඉහත කී ගුණාංගයන් ද නැතිවී ඇති බවත්, පහත් තත්ත්වයට ඇද වැටුණු අපේ වර්තමානිකයන් ඒ ගුණාංගයනට ඉඳුරාම පටහැණි වූ අයුරින් කටයුතු කරන අයුරුත් පවසනවා.


තිදස පුරේ 
පියගැට පා මුල
ශෛල තලාවෙක
සඳ ලේඛාවෙක
කල්ප විනාශය දිවැසින් දුටුවෝ
සවි කළ කැටයම සඳකඩ පහණයි.


සඳකඩ පහණෙහි වූ ඒ ඒ රූ රටාවන් එකල අප තුල වූ විවිධ ගුණාංගයන් හා සසඳා ඇත්තේ මේ අයුරින්.


නුවණ තියුණු කළ තිසර රටාවයි
තුරඟා ජවය සමානයි
සවි බලයෙන් ගිජිඳා අසමානයි
සහයෝගය ගව රෑනයි
පිවිතුර පියුමයි
බැඳුම ලියවැලයි
පිරිපුන් කැටයම සඳකඩ පහණයි.


අද වන විට ඒ සියලු ශක්‍යතාවයන් අහෝසි ව ගොස්. එසේ නොමැති නම් , එම තත්ත්වයන් දැනටත් රැකගෙන සිටින්නවුන් අසරණ වී ගොසින්. ඒ අතර නිරන්තරයෙන් ම, ඌරන්, සිවලුන් හා වවුලන් වැනි ගති සිරිත් ඇත්තවුන් විසින්, ඉතිරි ව ඇති සියල්ල ද වනසනු ලබන බව ගීතයේ අවසන් කොටසින් කියවෙනවා.


මෙදා තිසර ගජ තුරඟුන් සේනා
මරු කතරේ කුර ගානා
සිඟාල සූකර වවුලිඳු සේනා
නිරුදක පෙළහර පානා
කෙළෙසුණු පියුමයි
බිඳුණු ලිය වැලයි
නටබුන් කැටයම සඳකඩ පහණයි.


මේ ගීතයේ ගේය පද රචනය රත්නසිරි පරණවිතානයන්ගේ. සංගීතය නිර්මාණය කළේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. ගායනය සුනිල් එදිරිසිංහයන්ගේ.


ගීතයට සවන් දුන් විට ඔබට බොහෝ දේ සිතේවි. මේ සබැඳිය ඔස්සේ අසා බලන්න.

2 comments:

  1. මාරයි... මම කවදාවත් අහපු නැති සිංදුවක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ප්‍රමාණවත් තරම් සහෘද අවධානයට ලක් නොවූ එවැනි සිංදු ගනනාවක් කිබෙනවා. අප ඒවා එකින් එක ගැන කථා කරමු.

      Delete

 පසුබිම් චිත්‍රය . - බන්ධුල සිසිර කුමාර - අපේ මුල් කාලීන රාජධානිවල ඇති ගලින් නෙලූ ප්‍රතිමා, විචිත්‍ර කැටයම් වැනි දේ දකින බොහෝ අය කොතෙකුත් සඳ...